සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ ශික්ෂා දුබලකම් පහකි. ඒ කවර පසක් ද යත්;
සතුන් මැරීම ය, සොරකම ය, වැරදි කාම සේවනය ය, බොරු කීම ය, මත්පැන් – මත්ද්‍රව්‍ය භාවිතය ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ ශික්ෂා දුබලකම් ය. මහණෙනි, මේ පසක් වූ ශික්ෂා දුබලකම් නැසීම පිණිස සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය. ඒ කවර සතරක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. වේදනාවන් පිළිබඳව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන් පිළිබඳ ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මහණෙනි, මේ පසක් වූ ශික්ෂා දුබලකම් නැසීම පිණිස මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සික්ඛාදුබ්බල්‍ය සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ නීවරණ පහකි. ඒ කවර පසක් ද යත්;
කාමච්ඡන්ද නීවරණය, ව්‍යාපාද නීවරණය, ථීනමිද්ධ නීවරණය, උද්ධච්ච කුක්කුච්ච නීවරණය, විචිකිච්ඡා නීවරණය ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ නීවරණයන් ය. මහණෙනි, මේ පසක් වූ නීවරණයන් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
නීවරණ සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ කාමගුණ පහකි. ඒ කවර පසක් ද යත්;
ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ ඇසෙන් දැක්ක යුතු රූපයෝ ය. කනෙන් දත යුතු ශබ්දයෝ ය ….(පෙ)…. නාසයෙන් දත යුතු ගන්ධයෝ ය. ….(පෙ)…. දිවෙන් දත යුතු රසයෝ ය. ….(පෙ)…. කයෙන් දත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ, ප්‍රිය ස්වභාව ඇති, කාමූපසංහිත වූ, රජනීය වූ ස්පර්ශයෝ ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ කාම ගුණයෝ ය. මහණෙනි, මේ පසක් වූ කාම ගුණයන් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
කාමගුණ සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ උපාදානස්කන්ධ පහකි. ඒ කවර පසක් ද යත්;
රූප උපාදානස්කන්ධය ය, වේදනා උපාදානස්කන්ධය ය, සංඥා උපාදානස්කන්ධය ය, සංස්කාර උපාදානස්කන්ධය ය, විඤ්ඤාණ උපාදානස්කන්ධය ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ උපාදානස්කන්ධයෝ ය. මහණෙනි, මේ පසක් වූ උපාදානස්කන්ධයන් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
උපාදානක්ඛන්ධ සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ ඕරම්භාගිය සංයෝජන පහකි. ඒ කවර පසක් ද යත්;
සක්කාය දිට්ඨිය, විචිකිච්ඡාව, සීලබ්බත පරාමාස, කාමච්ඡන්දය, ව්‍යාපාදය ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ ඕරම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ පසක් වූ ඕරම්භාගිය සංයෝජනයන් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ඕරම්භාගිය සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ ගති උපත් පහකි. ඒ කවර පසක් ද යත්;
නිරය ය, තිරිසන් යෝනිය ය, ප්‍රේත විෂය ය, මිනිස්සු ය, දෙවියෝ ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ ගති උපත් ය. මහණෙනි, මේ පසක් වූ ගති උපත් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ගති සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ මසුරුකම් පහකි. ඒ කවර පසක් ද යත්;
ආවාස ගැන ඇති මසුරුකම ය, දායක පවුල් ගැන ඇති මසුරුකම ය, ලාභ ගැන ඇති මසුරුකම ය, වර්ණනා කිරීම ගැන ඇති මසුරුකම ය, ධර්මය ගැන ඇති මසුරුකම ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ මසුරුකම් ය. මහණෙනි, මේ පසක් වූ මසුරුකම් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
මච්ඡරිය සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ උද්ධම්භාගිය සංයෝජන පහකි. ඒ කවර පසක් ද යත්;
රූපරාග ය, අරූපරාග ය, මාන්නය ය, උද්ධච්චය ය, අවිද්‍යාව ය.
මහණෙනි, මේ වනාහී පසක් වූ උද්ධම්භාගිය සංයෝජනයෝ ය. මහණෙනි, මේ පසක් වූ උද්ධම්භාගිය සංයෝජන ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
උද්ධම්භාගිය සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ සිතෙහි ඇණෙන හුල් පහකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයි. විචිකිච්ඡා කරයි. නොබැසගනියි. නොපහදියි. මහණෙනි, යම් මේ භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ කෙරෙහි සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, නොබැසගනියි ද, නොපහදියි ද, වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට ප්‍රධන් වීරිය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට, ප්‍රධන් වීරිය කිරීමට නොනැමෙයි ද, මෙය සිතෙහි ඇණෙන පළමුවෙනි හුල යි.
තව ද මහණෙනි, භික්ෂුව ධර්මය කෙරෙහි සැක කරයි. ….(පෙ)…. සංඝයා කෙරෙහි සැක කරයි. ….(පෙ)…. ශික්ෂාව කෙරෙහි සැක කරයි ….(පෙ)…. සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කිපුණේ වෙයි. නොසතුටු වූයේ වෙයි. ගැටුණු සිත් ඇත්තේ වෙයි. ද්වේෂ හුල හටගත්තේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි කිපුණේ වෙයි ද, නොසතුටු වූයේ වෙයි ද, ගැටුණු සිත් ඇත්තේ වෙයි ද, ද්වේෂ හුල හටගත්තේ ද, වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට, ප්‍රධන් වීරිය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට ප්‍රධන් වීරිය කිරීමට නොනැමෙයි ද, මෙය සිතෙහි ඇණෙන පස්වෙනි හුල යි.
මහණෙනි, මේ වනාහී පසක් වූ සිතෙහි ඇණෙන හුල් ය. මහණෙනි, මේ පසක් වූ සිතෙහි ඇණෙන හුල් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
චේතෝඛිල සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මේ සිත වෙලා ගත් කෙලෙස් බන්ධන පහකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන් කෙරෙහි රාගය දුරු නොකළේ වෙයි. කැමැත්ත දුරු නොකළේ වෙයි. ප්‍රේමය දුරු නොකළේ වෙයි. පිපාසය දුරු නොකළේ වෙයි. දාහය දුරු නොකළේ වෙයි. තෘෂ්ණාව දුරු නොකළේ වෙයි. මහණෙනි, යම් මේ භික්ෂුවක් කාමයන් කෙරෙහි රාගය දුරු නොකළේ වෙයි ද, කැමැත්ත දුරු නොකළේ වෙයි ද, ප්‍රේමය දුරු නොකළේ වෙයි ද, පිපාසය දුරු නොකළේ වෙයි ද, දාහය දුරු නොකළේ වෙයි ද, තෘෂ්ණාව දුරු නොකළේ වෙයි ද, වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට, ප්‍රධන් වීරිය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට ප්‍රධන් වීරිය කිරීමට නොනැමෙයි ද, මෙය සිත වෙලාගත් පළමුවෙනි කෙලෙස් බන්ධනය යි.
තවද මහණෙනි, භික්ෂුව කය පිළිබඳ රාගය දුරු නොකළේ වෙයි. ….(පෙ)…. රූපය පිළිබඳ රාගය දුරු නොකළේ වෙයි ….(පෙ)…. කැමති තාක් කුස පුරා අනුභව කොට සැතපෙන සුවය, ස්පර්ශ සුවය, නිදිමත සුවය යන මෙහි යෙදී සිටින්නේ වෙයි. ….(පෙ)…. එක්තරා දෙව්ලොවක උපදින්නට සිත පිහිටුවාගෙන බඹසර හැසිරෙයි. මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් වන්නෙමි, අන්‍ය වූ දෙවියෙක් හෝ වන්නෙමි කියා ය. මහණෙනි. යම් මේ භික්ෂුවක් එක්තරා දෙව්ලොවක උපදින්නට සිත පිහිටුවාගෙන බඹසර හැසිරෙයි ද, මම මේ සීලයෙන් හෝ ව්‍රතයෙන් හෝ තපසින් හෝ බඹසරින් හෝ දෙවියෙක් වන්නෙමි, අන්‍ය වූ දෙවියෙක් හෝ වන්නෙමි කියා, වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට ප්‍රධන් වීරිය කිරීමට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත වීරිය කිරීමට, නැවත නැවත යෙදීමට, නිරතුරු ව කිරීමට, ප්‍රධන් වීරිය කිරීමට නොනැමෙයි ද, මෙය සිත වෙලාගත් පස්වෙනි කෙලෙස් බන්ධනය යි.
මහණෙනි, මේ වනාහී පසක් වූ සිත වෙළා ගත් කෙලෙස් බන්ධනයන් ය. මහණෙනි, මේ පසක් වූ සිත වෙළා ගත් කෙලෙස් බන්ධනයන් ප්‍රහාණය කිරීම පිණිස ….(පෙ)…. මේ සතර සතිපට්ඨානය වැඩිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
චේතෝවිනිබන්ධ සතිපට්ඨාන සූත්‍රය නිමා විය.
දෙවෙනි සතිපට්ඨාන වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සික්ඛා සූත්‍රය, නීවරණ සූත්‍රය, කාම සූත්‍රය, ඛන්ධ සූත්‍රය, ඕරම්භාගිය සූත්‍රය, ගති සූත්‍රය, මච්ඡේර සූත්‍රය, උද්ධම්භාගිය සූත්‍රය, චේතෝඛිල සූත්‍රය සහ විනිබන්ධ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M