ඛුද්දක නිකාය

ධම්මපදය

22. නිරය වග්ගෝ

22. නිරය ගැන වදාළ කොටස

306.1. අභූතවාදී නිරයං උපේති
යෝ චාපි කත්වා න කරෝමීති චාහ
උභෝ’පි තේ පෙච්ච සමා භවන්ති
නිහීනකම්මා මනුජා පරත්ථ

අනුන්ට අභූත චෝදනා කරන කෙනාට නිරයේ තමයි උපදින්ට වෙන්නෙ. තමන් යම් පවක් කරලා, ඒක කළේ නැතෙයි කියන කෙනාත්, නිරයේ ම තමයි උපදින්නෙ. පහත් ක්‍රියාවලින් යුතු ඒ මිනිස්සු දෙන්නම මැරිලා ගිය දවසක නිරයේ ඉපදීමෙන් සමාන වෙනවා.

(ජේතවනාරාමයේදී සුන්දරී පරිබ්‍රාජිකාව අරභයා වදාළ ගාථාවකි.)

307.2. කාසාවකණ්ඨා බහවෝ
පාපධම්මා අසඤ්ඤතා
පාපා පාපේහි කම්මේහි
නිරයං තේ උපපජ්ජරේ

කිසි සංවරකමක් නැති, පාපී අකුසල් ඇති බොහෝ දෙනෙක් සිවුර විතරක් බෙල්ලෙ ඔතාගෙන ඉන්නවා. ඒ පවිටු පුද්ගලයන් තමන්ම කරගෙන යන පව් නිසා, ගිහින් උපදින්නේ නිරයේ.

(වේළුවනයේදී ප්‍රේතව දුක් විඳින පිරිසක් අරභයා වදාළ ගාථාවකි.)

308.3. සෙය්‍යෝ අයෝගුළෝ භුත්තෝ
තත්තෝ අග්ගිසිඛූපමෝ
යඤ්චේ භුඤ්ජෙය්‍ය දුස්සීලෝ
රට්ඨපිණ්ඩං අසඤ්ඤතෝ

දුස්සීලව ඉඳගෙන, අසංවරව ජීවත් වෙමින්, සැදැහැවතුන් පූජා කරන දන් පැන් වළඳනවා නම්, ඔයිට වඩා හොඳයි, ගිනිදැල් විහිදෙන රත්වුණු යකඩගුලි ගිලින එක.

(විශාලා මහනුවරදී වග්ගුමුදා ගංතෙර තෙරවරුන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි.)

309.4. චත්තාරි ඨානානි නරෝ පමත්තෝ
ආපජ්ජති පරදාරූපසේවී
අපුඤ්ඤලාභං න නිකාමසෙය්‍යං
නින්දං තතියං නිරයං චතුත්ථං

පර ස්ත්‍රීන් සේවනය කරන ප්‍රමාදී පුද්ගලයා කරදර හතරකට ගොදුරු වෙනවා. පළවෙනි එක පව් රැස්වීම, හිතේ චකිතය නිසා සතුටක් විඳින්ට නැතිකම දෙවැන්නයි. තුන්වෙනි එක නින්දාවයි. සතරවැන්න නිරයේ ඉපදීමයි.

310.5. අපුඤ්ඤලාභෝ ච ගතී ච පාපිකා
භීතස්ස භීතාය රතී ච ථෝකිකා
රාජා ච දණ්ඩං ගරුකං පණේති
තස්මා නරෝ පරදාරං න සේවේ

පව් රැස්කරගත්තු කෙනෙකුගේ උපතත් පාපීමයි. බියේ ගැහි ගැහී, තවත් භයවෙච්ච කාන්තාවක් එක්ක ඇතිකරගත්ත ඔය කාම සේවනයෙන් ඇතිවන ආශ්වාදය හරිම චුට්ටයි. ආණ්ඩුවට අහුවුණොත් බරපතල දඬුවම් විඳින්ට සිද්ධ වෙනවා. ඒ නිසා බුද්ධිමත් මනුෂ්‍යයා පරස්ත්‍රීන් සේවනය නොකළ යුතුයි.

(සැවැත් නුවරදී ඛේම සිටුවරයා අරභයා වදාළ ගාථාවන්ය.)

311.6. කුසෝ යථා දුග්ගහිතෝ
හත්ථමේවානුකන්තති
සාමඤ්ඤං දුප්පරාමට්ඨං
නිරයායූපකඩ්ඪති

වැරදි විදිහට කුසතණ ගහ ඇල්ලුවොත්, ඒක අල්ලපු අතමයි කැපිල යන්නෙ. වැරදි විදිහට පුරුදු කරපු මහණකමෙන් නිරයට ම යි ඇදගෙන යන්නෙ.

312.7. යං කිඤ්චි සිථිලං කම්මං
සංකිලිට්ඨං ච යං වතං
සංකස්සරං බ්‍රහ්මචරියං
න තං හෝති මහප්ඵලං

ස්ථිර අදහසකින් තොරව, බුරුලට ගත් යම් සීලාදියක් තියෙනවා නම්, කිලුටු සහිත යම් ව්‍රතයක් තියෙනවා නම්, සැක කටයුතු මහණකමක් තියෙනවා නම්, ඒ කිසි දේකින් සාර්ථක ප්‍රතිඵල ලබන්නට බෑ.

313.8. කයිරා චේ කයිරාථේනං
දළ්හමේනං පරක්කමේ
සිථිලෝ හි පරිබ්බාජෝ
භිය්‍යෝ ආකිරතේ රජං

ඉදින් සීලාදී ගුණ ධර්ම දියුණු කරනවා නම්, දැඩි වීරියකින්, පරාක්‍රමයකින් ම යි කරන්ට ඕනෙ. පැවිද්ද ලිහිල්ව ගත්තොත්, බොහෝ විට සිදුවෙන්නෙ කෙලෙස් වැගිරෙන එක.

(ජේතවනාරාමයේදී එක්තරා අලජ්ජී භික්ෂුවක් අරභයා වදාළ ගාථාවන්ය.)

314.9. අකතං දුක්කතං සෙය්‍යෝ
පච්ඡා තපති දුක්කතං
කතං ච සුකතං සෙය්‍යෝ
යං කත්වා නානුතප්පති

පාපී අකුසල් නොකරන එකමයි හොඳ. නැත්නම්, පස්සේ දුක් විඳින්ට සිදුවෙනවා. යමක් කළාට පස්සේ පසුතැවිල්ලක් නැත්නම්, අන්න එබඳු කුසල් දහම් කිරීම තමයි හොඳ.

(ජේතවනාරාමයේදී ඉරිසියාකාර ස්ත්‍රියක් අරභයා වදාළ ගාථාවකි.)

315.10. නගරං යථා පච්චන්තං
ගුත්තං සන්තරබාහිරං
ඒවං ගෝපේථ අත්තානං
ඛණෝ වෝ මා උපච්චගා
ඛණාතීතා හි සෝචන්ති
නිරයම්හි සමප්පිතා

ඇතුළතත්, පිටතත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු, දුර පළාතක තියෙන නගරයක් වගේ තමන්ගේ ජීවිතය ද වරදට වැටෙන්ට නොදී රැකගන්ට ඕනෙ. මේ උතුම් අවස්ථාව ඔබට නම් මගහැරෙන්ට එපා! මේ උතුම් අවස්ථාව ඉක්ම ගියොත්, නිරයේ වැටිලා ශෝක කරන්නට වෙනවා.

(ජේතවනාරාමයේදී බොහෝ ආගන්තුක භික්ෂු පිරිසක් අරභයා වදාළ ගාථාවකි.)

316.11. අලජ්ජිතායේ ලජ්ජන්ති
ලජ්ජිතායේ න ලජ්ජරේ
මිච්ඡාදිට්ඨිසමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගතිං

විලි වසාගෙන සිටීම ගැන ලැජ්ජා විය යුතු නෑ. (මේ නිගණ්ඨයින් ඒකටත් ලැජ්ජයි.) නමුත් ලැජ්ජා විය යුත්තේ නිර්වස්ත්‍රව සිටීමටයි. (මේ නිගණ්ඨයින් ඒකට ලැජ්ජා නෑ.) මිථ්‍යා දෘෂ්ටිය පුරුදු කරන සත්වයන් අපායට ගිහිල්ලයි නවතින්නෙ.

317.12. අභයේ භයදස්සිනෝ
භයේ චාභයදස්සිනෝ
මිච්ඡාදිට්ඨිසමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගතිං

බිය රහිත වූ නිවන් මග ගැන (මේ නිගණ්ඨයින්) භයවෙලා ඉන්නෙ, බිය විය යුතු දේවල් පුරුදු කිරීම ගැන (මේ නිගණ්ඨයින්ට) කිසි භයක් නෑ. මිථ්‍යා දෘෂ්ටි පුරුදු කරන සත්වයා අපායේ තමයි උපදින්නේ.

(ජේතවනාරාමයේදී නිගණ්ඨයින් අරභයා වදාළ ගාථාවන්ය.)

318.13. අවජ්ජේ වජ්ජමතිනෝ
වජ්ජේ චාවජ්ජදස්සිනෝ
මිච්ඡාදිට්ඨිසමාදානා
සත්තා ගච්ඡන්ති දුග්ගතිං

නිවැරදි වූ ආර්ය ධර්මය ගැන (මිථ්‍යා දෘෂ්ටික උදවිය) හිතාගෙන ඉන්නෙ වැරදි විදිහටයි. නමුත් වැරදි අධර්මය ඔවුන්ට පේන්නේ ඉතා නිවැරදි දෙයක් හැටියටයි. මිථ්‍යා දෘෂ්ටිය පුරුදු කරන සත්වයන් අපායේ තමයි උපදින්නේ.

319.14. වජ්ජං ච වජ්ජතෝ ඤත්වා
අවජ්ජං ච අවජ්ජතෝ
සම්මාදිට්ඨිසමාදානා
සත්තා ගච්ඡන්ති සුග්ගතිං

වැරදි දේ වැරදි දේ විදිහට දැනගෙන, නිවැරදි වූ ධර්මය නිවැරදි දේ හැටියට දැනගෙන, සම්මා දිට්ඨිය පුරුදු කරන සත්වයන් සුගතියේ තමයි උපදින්නේ.

(ජේතවනාරාමයේදී අන්‍යාගමිකයන් පිරිසක් අරභයා වදාළ ගාථාවන්ය.)

සාදු! සාදු!! සාදු!!!

නිරය ගැන වදාළ කොටස නිමා විය.

(නිරය වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-22/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M