මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි වැඩවසන සේක. එකල්හී පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා මධ්‍යම රාත්‍රියෙහි මනස්කාන්ත පැහැයෙන් යුතුව, මුළුමහත් ගිජ්ඣකූට පර්වතය බබුළුවාගෙන භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව සිටගත්තේ ය. එකත්පස් ව සිටගත් පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, මා විසින් තව්තිසා දෙවියන් ඉදිරියෙහි යමක් අසන ලද්දේ ද, පිළිගන්නා ලද්දේ ද, එය භාග්‍යවතුන් වහන්සේට සැළකරම් ද?”
“පඤ්චසිඛයෙනි, ඔබ එය මට සැළකරව” යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
“ස්වාමීනී, පෙර දවසක, බොහෝ පෙර දවසක ඒ වස් පවාරණය ඇති, පසළොස්වක පොහෝ දවසෙහි පුන්සඳ ඇති රාත්‍රියෙහි සියළු තව්තිසාවැසි දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි එක්රැස් ව, එක් ව හුන්නාහු ය. හාත්පසින් ම මහත් වූ දිව්‍ය පිරිස ද එක්රැස් ව, එක් ව හුන්නාහු ය. සතර වරම් දෙව් මහරජවරු ත් සිව් දිශාවෙහි හුන්නාහු වෙති. ධතරාෂ්ට දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට බටහිර දෙසට මුහුණලා පෙරදිග දිශාවෙහි හුන්නාහු වෙති. විරූළ්හක දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට උතුරු දෙසට මුහුණලා දකුණු දිශාවෙහි හුන්නාහු වෙති. විරූපාක්ෂ දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට පෙරදිග දෙසට මුහුණලා බටහිර දිශාවෙහි හුන්නාහු වෙති. වෙසමුණි දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට දකුණු දෙසට මුහුණලා උතුරු දිශාවෙහි හුන්නාහු වෙති.
ස්වාමීනී, යම් කලෙක මුළු මහත් තව්තිසාවෙහි දෙව් පිරිස ද, සුධර්මා දිව්‍ය සභාවෙහි එක්රැස් ව හුන්නාහු වෙත් ද, මහත් වූ දිව්‍ය පිරිස ද හාත්පසින් රැස්ව හුන්නාහු වෙත් ද, සතර වරම් දෙව්මහරජවරු ද සිව් දිශාවෙහි හුන්නාහු වෙත් ද, මෙය ඔවුන්ගේ අසුන් ගැනීම වෙයි. අපගේ අසුන් ගැනීම වන්නේ ඊට පසුව ය.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බඹසර හැසිර ළඟදී තව්තිසාවෙහි උපන් යම් ඒ දෙවියෝ වෙත් ද, ඔවුහු අන්‍ය දෙවිවරුන්ට වඩා පැහැයෙන් ද, යසසින් ද බබලත්. ස්වාමීනී, එකරුණෙන් තව්තිසා දෙවියෝ බොහෝ සතුටු වෙති. ප්‍රමුදිත වෙති. ප්‍රීති සොම්නස් හටගත්තාහු වෙති. ‘භවත්නි, ඒකාන්තයෙන් දිව්‍ය කායයෝ පිරී යති. අසුර කායයෝ පිරිහී යති’ යනුවෙනි.
ඉක්බිති ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන්ගේ ප්‍රසාදය දැන මේ ගාථාවන්ගෙන් අනුමෝදන් වූයේ ය.
භවත්නි, ඒකාන්තයෙන් ඉන්ද්‍ර දෙව්රජ ප්‍රමුඛ තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, තථාගත ධර්මයෙහි ඇති උතුම් පිළිසරණට ද නමස්කාර කරමින් ප්‍රීති වෙති.
සුගතයන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර මෙහි අළුතෙන් උපන් දෙවියන් පැහැයෙන් ද, යසසින් ද සිටිනු දකිමින් සතුටු වෙති.
මහා ප්‍රාඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මගඵල ලබා මෙහි උපන් විට අන්‍ය වූ දෙවිවරුන්ට වඩා ඔවුහු පැහැයෙන් ද, යසසින් ද, ආයුෂයෙන් ද අතිශයින් ම බබලති.
මෙය දැක ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසාවෙහි දෙවිවරු තථාගතයන් වහන්සේට ත්, තථාගත ධර්මයෙහි තිබෙන උතුම් පිළිසරණට ත් නමස්කාර කරමින් සතුටු වෙති’
ස්වාමීනී, එකරුණෙන් තව්තිසාවැසි දෙවිවරු බොහෝ සෙයින් සොම්නස් ව, සතුටු ව, ප්‍රමුදිත ව, ප්‍රීති සොම්නස් හටගත්තාහු වෙති. ‘භවත්නි, ඒකාන්තයෙන් දෙව් පිරිස පිරී යති. අසුර පිරිස පිරිහී යති’ යි කියා ය.
එකල්හී ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන්ගේ සතුට දැන තව්තිසා දෙවියන් ඇමතූහ.
“නිදුක්වරුනි, ඔබ ඒ භාග්‍යවතුන් වහන්සේගේ තිබෙන්නා වූ ම ගුණ අටක් අසන්නට කැමැත්තහු ද?”
“නිදුකාණෙනි, අපි ඒ භාග්‍යවතුන් වහන්සේගේ තිබෙන්නා වූ ම ගුණ අට අසන්නට කැමැත්තෙමු.”
ඉක්බිති ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන් හට භාග්‍යවතුන් වහන්සේගේ තිබෙන්නා වූ ම අෂ්ට ගුණයන් පැවසූහ.
“භවත් තව්තිසාවැසි දෙවියනි, ඒ කිමෙකැයි හඟිව් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නම් බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිතසුව පිණිස පිළිපන් සේක් ද යත්; මෙසේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස, පිළිපන් මේ ගුණාංගයෙන් යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය දේශනා කරන ලද්දේ ය. එය මේ ජීවිතයේදී ම තමා ම දැක්ක යුත්තේ ය. කල් නොයවා ඵල ලැබෙන්නේ ය. ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැතියන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය. මෙසේ තමා තුළට පමුණුවා ගත යුතු ධර්මයක් දේශනා කරන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය කුසලය යැ’ යි මැනැවින් පණවන ලද්දේ ය. ‘මෙය අකුසලය යැ’ යි මැනැවින් පණවන ලද්දේ ය. ‘මෙය වරද සහිත ය ….(පෙ)…. මෙය නිවැරදි ය ….(පෙ)…. මෙය සේවනය කළ යුත්තේ ය ….(පෙ)…. මෙය සේවනය නොකළ යුත්තේ ය ….(පෙ)…. මෙය හීන දෙයකි ….(පෙ)…. මෙය උසස් ය ….(පෙ)…. මෙය කළු සුදු පැහැ ගත් ධර්මයන් සමාන දේ ය වශයෙන් මැනැවින් පවසන ලද්දේ ය. මෙසේ කුසල් – අකුසල්, වැරදි – නිවැරදි, සේවනය කළ යුත්ත – සේවනය නොකළ යුත්ත, හීන – ප්‍රණීත, කළු සුදු පැහැගත් දෙයින් යුක්ත දෙය වශයෙන් මේ ධර්මයන් පණවන්නා වූ මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට නිවන කරා යන ප්‍රතිපදාව මැනැවින් පණවන ලද්දේ ය. නිවන ප්‍රතිපදාවට ත්, ප්‍රතිපදාව නිවනට ත් මැනැවින් සැසඳෙයි. යම් සේ ගංගා නදියෙහි ජලය යමුනා නදියෙහි ජලය හා ගැලපී යයි ද, සම වෙයි ද, එසෙයින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට නිවන කරා යන ප්‍රතිපදාව මැනැවින් පණවන ලද්දේ ය. නිවන ප්‍රතිපදාවට ත්, ප්‍රතිපදාව නිවනට ත් මැනැවින් සැසඳෙයි. මෙසේ නිවන කරා යන්නා වූ ප්‍රතිපදාව පණවන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේට අතිශයින් ම ලාභ උපන්නේ ය. අතිශයින් ම කීර්තිය උපන්නේ ය. ක්ෂත්‍රියයන්ගේ සිට යම්තාක් සියළු දෙවි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේට ප්‍රිය කරන සුළු ව වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී ප්‍රහාණය කරන ලද මත්වීමෙන් යුතුව දන් වළඳන සේක. මෙසේ ප්‍රහාණය කරන ලද මත් වීමෙන් යුතුව දන් වළඳන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ නිවන් මගෙහි හික්මීමට පිළිපන් සේඛ ශ්‍රාවකයන්ගෙන් ද, බඹසර වැස නිමකළ රහතන් වහන්සේලාගෙන් ද, ලද සහායයෙන් යුතු සේක. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සිතින් බැහැර කොට හුදෙකලා බවෙහි ඇළුණු සිතින් වසන සේක. මෙසේ ශ්‍රාවක පිරිස් මැද හුදෙකලා බවෙහි ඇළුණු සිතින් වසන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී යම් අයුරකින් වදාරණ සේක් ද, ඒ අයුරින් කරන සේක. යම් අයුරින් කරන සේක් ද, ඒ අයුරින් පවසන සේක. මෙසේ යථාවාදී – තථාකාරී, යථාකාරී – තථාවාදී වන සේක. මෙසේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතුව මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ නිවන් මගට මුල්වන කරුණු පිළිබඳ ව තරණය කළ සැක ඇති සේක. ‘කෙසේ ද? කෙසේ ද?’ යන්න දුරු කළ සේක. සම්පූර්ණත්වයට පත් වූ අපේක්ෂා ඇති සේක. මෙසේ නිවන් මගට මුල්වන කරුණු පිළිබඳ ව තරණය කළ සැක ඇති, ‘කෙසේ ද? කෙසේ ද?’ යන්න දුරු කළ, සම්පූර්ණත්වයට පත් වූ අපේක්ෂා ඇති, මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.”
ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා වැසි දෙවියන් හට භාග්‍යවතුන් වහන්සේගේ ඇත්තාවූ ම මේ ගුණ අට පැවසූහ. ස්වාමීනී, ඒ හේතුවෙන් තව්තිසා දෙවියෝ බොහෝ සෙයින් ම සතුටු සිත් ඇති වූහ. භාග්‍යවතුන් වහන්සේගේ ඇත්තා වූ ම අෂ්ට ගුණයන් අසා, ප්‍රමුදිත ව, ප්‍රීති සොම්නස් හටගත්තාහු ය. එහිදී ස්වාමීනී, ඇතැම් දෙවි කෙනෙක් මෙසේ කීවාහු ය.
“අහෝ! නිදුකාණෙනි, ඒකාන්තයෙන් ම සම්මා සම්බුදුවරු සතර නමක් ලෝකයෙහි පහළ වන සේක් නම්, අපගේ භාග්‍යවතුන් වහන්සේ සෙයින් ධර්මය ත් දේශනා කරන සේක් නම්, එය බොහෝ ජනයා හට හිත පිණිස, බොහෝ ජනයා හට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත සුව පිණිස හේතුවන්නේ ම ය.”
ඇතැම් දෙවි කෙනෙක් මෙසේ කීවාහු ය.
“නිදුකාණෙනි, සම්මා සම්බුදුවරු සතර නමක් සිටිත්වා! අහෝ! නිදුකාණෙනි, ඒකාන්තයෙන් ම සම්මා සම්බුදුවරු තුන් නමක් ලෝකයෙහි පහළ වන සේක් නම්, අපගේ භාග්‍යවතුන් වහන්සේ සෙයින් ධර්මය ත් දේශනා කරන සේක් නම්, එය බොහෝ ජනයා හට හිත පිණිස, බොහෝ ජනයා හට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත සුව පිණිස හේතුවන්නේ ම ය.”
ඇතැම් දෙවි කෙනෙක් මෙසේ කීවාහු ය.
“නිදුකාණෙනි, සම්මා සම්බුදුවරු තුන් නමක් සිටිත්වා! අහෝ! නිදුකාණෙනි, ඒකාන්තයෙන් ම සම්මා සම්බුදුවරු දෙනමක් ලෝකයෙහි පහළ වන සේක් නම්, අපගේ භාග්‍යවතුන් වහන්සේ සෙයින් ධර්මය ත් දේශනා කරන සේක් නම්, එය බොහෝ ජනයා හට හිත පිණිස, බොහෝ ජනයා හට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත සුව පිණිස හේතුවන්නේ ම ය.”
ස්වාමීනී, මෙසේ පැවසූ කල්හී ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන් හට මෙසේ පැවසූහ.
“නිදුක්වරුනි, ‘එක් ලෝක ධාතුවක අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දෙනමක් පෙර – පසු නොවී පහළ වන සේක’ යන මෙකරුණ සිදු නොවන දෙයකි. එවැන්නකට අවකාශ නැත්තේ ය. එය දකින්නට නොමැති දෙයකි.
අහෝ! නිදුක්වරුනි, ඒකාන්තයෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අසනීපයක් නැතිව, නීරෝග ව, චිරාත් කාලයක් වැඩවසන සේක් නම්, එය බොහෝ ජනයා හට හිත පිණිස, බොහෝ ජනයා හට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිත සුව පිණිස හේතුවන්නේ ම ය.”
ඉක්බිති ස්වාමීනී, යම් අර්ථයක් කරණ කොට ගෙන තව්තිසාවැසි දෙවියෝ සුධර්මා දිව්‍ය සභාවෙහි රැස්ව හුන්නාහු වෙත් ද, ඒ අර්ථය සිතා, ඒ අර්ථය සාකච්ඡා කොට, සතරවරම් මහරජවරු ඒ අර්ථය ගැන පවසන ලද වචන ඇත්තාහු, සතරවරම් මහරජවරු ඒ අර්ථය ගැන යළි යළි අනුශාසනා කරන ලද වචන ඇත්තාහු, එතැනින් නොගොස් තම තමන්ගේ අසුන්වල සිටියාහු ය.
‘තව්තිසා දෙවියන් විසින් කියන ලද වචන ඇති ඒ සතර වරම් මහරජවරු ඒ දෙවියන්ගේ අනුශාසනාව පිළිගෙන ඉතා පැහැදුණු සිතින් යුතුව සිය අසුන්හි රැඳී සිටියහ.’
ස්වාමීනි, එකල්හී උතුරු දිශාවෙන් උදාර වූ ආලෝකයක් හටගත්තේ ය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහත් වූ ආලෝකයක් පහළ වූයේය.
ඉක්බිති ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන් ඇමතූහ.
“නිදුකාණෙනි, යම් සේ නිමිති දකින්නට ලැබෙයි ද, උදාර වූ ආලෝකයක් හටගත්තේ ද, එළියක් පහළ වූයේ ද, ‘බ්‍රහ්ම තෙමේ පහළ වන්නේ ය’ යම් මේ ආලෝකයක් හටගන්නේ ද, එළියක් පහළ වන්නේ ද, මෙය බ්‍රහ්මයාගේ පහළ වීමට පෙර නිමිත්ත යි.”
‘යම් සේ නිමිති දිස්වෙයි ද, බ්‍රහ්මයා පහළ වන්නේ ය. මහත් වූ විපුල වූ ආලෝකයක් පහළ වීම බ්‍රහ්මයාගේ පහළ වීමට මෙය නිමිත්ත ය.’
“එකල්හී ස්වාමීනී, තව්තිසා දෙවියෝ ‘මේ පහළ වූ එළිය ගැන දැනගන්නෙමු. මෙහි යම් ප්‍රතිඵලයක් වන්නේ නම්, එය ද ප්‍රත්‍යක්ෂ කොට ම යන්නෙමු’ යි තම තමන්ගේ අසුන්හි හිඳගෙන සිටියාහු ය. සතර වරම් මහරජවරු ත්, ‘මේ පහළ වූ එළිය ගැන දැනගන්නෙමු. මෙහි යම් ප්‍රතිඵලයක් වන්නේ නම්, එය ද ප්‍රත්‍යක්ෂ කොට ම යන්නෙමු’ යි තම තමන්ගේ අසුන්හි හිඳගෙන සිටියාහු ය. ‘මේ පහළ වූ එළිය ගැන දැනගන්නෙමු. මෙහි යම් ප්‍රතිඵලයක් වන්නේ නම්, එය ද ප්‍රත්‍යක්ෂ කොට ම යන්නෙමු’ යි යන කථාව අසා තව්තිසා දෙවිවරු චිත්තේකාග්‍රතාවයට සමවැදුණාහ.
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ යම් කලෙක තව්තිසා දෙවියන් අතර පහළ වෙයි නම්, ගොරෝසු ආත්මභාවයක් මවාගෙන පහළ වෙයි. ස්වාමීනී, බ්‍රහ්මරාජයාගේ යම් ප්‍රකෘති දැක්මක් ඇද්ද, එය තව්තිසා දෙවියන්ගේ නේත්‍ර පථයට ගෝචර නොවෙයි. ස්වාමීනී, යම් කලෙක සනංකුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා දෙවියන් අතර පහළ වෙයි ද, ඔහු අනිත් දෙවියන් අභිබවා වර්ණයෙන් හා යසසින් බබලයි. ස්වාමීනී, මිනිස් රූපය අභිබවා රනින් කළ රුව බබලන්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, යම් කලෙක සනංකුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා දෙවියන් අතර පහළ වෙයි ද, ඔහු අනිත් දෙවියන් අභිබවා වර්ණයෙන් හා යසසින් බබලයි.
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ යම් කලෙක තව්තිසා දෙවියන් අතර පහළ වෙයි ද, එකල්හී ඒ පිරිසෙහි කිසි දෙවියෙක් ඔහුට නොවඳියි. දැක හුනස්නෙන් නොනැගිටියි. ළඟට නොයයි. අසුනෙන් නොපවරයි. සියල්ලෝ ම නිහඬ ව ඇඳිලි බැඳ වැඳගෙන හිඳගෙන සිටිති. ඒ ‘දැන් සනංකුමාර බ්‍රහ්මරාජයා යම් දෙවි කෙනෙකුගේ අසුනෙහි හිඳගනු කැමති වන්නේ ද, ඒ දෙවියාගේ අසුනෙහි හිඳගන්නේ ය’ යි සිතා ය. ස්වාමීනී, යම් දෙවියෙකුගේ අසුනෙහි සනංකුමාර බ්‍රහ්මයා හිඳගන්නේ ද, එකල්හී ඒ දෙවියා උදාර වූ මහා සතුටක් ලබයි. ඒ දෙවියා උදාර වූ මහා සොම්නසක් ලබයි. ස්වාමීනී, රාජ්‍යයෙන් අළුත අභිෂේක ලැබූ ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙක් උදාර වූ සතුටක් ලබන්නේ යම් සේ ද, උදාර වූ මහා සොම්නසක් ලබන්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, යම් දෙවියෙකුගේ අසුනෙහි සනංකුමාර බ්‍රහ්මයා හිඳගන්නේ ද, එකල්හී ඒ දෙවියා උදාර වූ මහා සතුටක් ලබයි. ඒ දෙවියා උදාර වූ මහා සොම්නසක් ලබයි.
ඉක්බිති ස්වාමීනී, සනං කුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා දෙවියන් ගේ ප්‍රසාදය දැන, නොපෙනී හිඳ මේ ගාථාවලින් අනුමෝදන් වූයේ ය.
භවත්නි, ඒකාන්තයෙන් ඉන්ද්‍ර දෙව්රජ ප්‍රමුඛ තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, තථාගත ධර්මයෙහි ඇති උතුම් පිළිසරණට ද නමස්කාර කරමින් ප්‍රීති වෙති.
සුගතයන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර මෙහි අළුතෙන් උපන් දෙවියන් පැහැයෙන් ද, යසසින් ද සිටිනු දකිමින් සතුටු වෙති.
මහා ප්‍රාඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මගඵල ලබා මෙහි උපන් විට අන්‍ය වූ දෙවිවරුන්ට වඩා ඔවුහු පැහැයෙන් ද, යසසින් ද, ආයුෂයෙන් ද අතිශයින් ම බබලති.
මෙය දැක ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසාවෙහි දෙවිවරු තථාගතයන් වහන්සේට ත්, තථාගත ධර්මයෙහි තිබෙන උතුම් පිළිසරණට ත් නමස්කාර කරමින් සතුටු වෙති’
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ මෙකරුණ පැවසුවේ ය. ස්වාමීනි, මෙකරුණ පවසන සනංකුමාර බ්‍රහ්මයාගේ හඬ අංග අටකින් යුක්ත වෙයි. සුවසේ වචන නික්මෙයි. අරුත් පැහැදිලි ය. මියුරු ය. කනට සුව එළවයි. හඬ එකට කැටි වෙයි. නොවිසිරෙයි. ගැඹුරු ය. දෝංකාර දෙයි. ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මයා යම් පමණ පිරිසකට හඬින් දන්වයි ද, ඔහුගේ පිරිසෙන් බාහිරට හඬ නොයයි. ස්වාමීනී, යම් කෙනෙකුට මේ අෂ්ට අංගයන්ගෙන් යුක්ත වූ කටහඬක් වෙයි ද, ඔහුට ‘බ්‍රහ්ම ස්වර ඇත්තා’ යැයි කියනු ලැබේ.
ඉක්බිති ස්වාමීනී, තව්තිසාවැසි දෙවියෝ සනංකුමාර බ්‍රහ්මරාජයාට මෙය පැවසූහ.
“මහා බ්‍රහ්මයෙනි, ඉතා මැනැවි. අපි මෙකරුණ ගැන ම ප්‍රීති වෙමු. ශක්‍ර දේවේන්ද්‍රයන් විසින් ඒ භාග්‍යවතුන් වහන්සේගේ තිබෙන්නා වූ ම අටක් වූ උතුම් ගුණයෝ ද පවසන ලද්දාහු ය. අපි ඒ පිළිබඳ වත් ප්‍රීති වෙමු.”
ඉක්බිති ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මරාජයා සක් දෙවිඳුන් හට මෙය පැවසුවේ ය.
“ඉතා මැනැවි දේවේන්ද්‍රයෙනි, අපි ත් ඒ භාග්‍යවතුන් වහන්සේගේ තිබෙන්නා වූ ම අෂ්ට ගුණාංගයන් පිළිබඳ වර්ණනාව අසන්නෙමු.”
ස්වාමීනී, “එසේ ය, මහා බ්‍රහ්මය” යැයි ශක්‍ර දේවේන්ද්‍රයෝ සනං කුමාර බ්‍රහ්මයාට භාග්‍යවතුන් වහන්සේගේ තිබෙන්නා වූ ම අට ගුණ පැවසුවේ ය.
“භවත් මහා බ්‍රහ්මයාණෙනි, එය කිමෙකැයි සිතන්නෙහි ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නම් බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත, හිතසුව පිණිස පිළිපන් සේක් ද යත්; මෙසේ බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පා පිණිස, දෙව් මිනිසුන්ගේ යහපත හිතසුව පිණිස, පිළිපන් මේ ගුණාංගයෙන් යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය දේශනා කරන ලද්දේ ය. එය මේ ජීවිතයේදී ම තමා ම දැක්ක යුත්තේ ය. කල් නොයවා ඵල ලැබෙන්නේ ය. ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැතියන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය. මෙසේ තමා තුළට පමුණුවා ගත යුතු ධර්මයක් දේශනා කරන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ‘මෙය කුසලය යැ’ යි මැනැවින් පණවන ලද්දේ ය. ‘මෙය අකුසලය යැ’ යි මැනැවින් පණවන ලද්දේ ය. ‘මෙය වරද සහිත ය ….(පෙ)…. මෙය නිවැරදි ය ….(පෙ)…. මෙය සේවනය කළ යුත්තේ ය ….(පෙ)…. මෙය සේවනය නොකළ යුත්තේ ය ….(පෙ)…. මෙය හීන දෙයකි ….(පෙ)…. මෙය උසස් ය ….(පෙ)…. මෙය කළු සුදු පැහැ ගත් ධර්මයන් සමාන දේ ය වශයෙන් මැනැවින් පණවන ලද්දේ ය. මෙසේ කුසල් – අකුසල්, වැරදි – නිවැරදි, සේවනය කළ යුත්ත – සේවනය නොකළ යුත්ත, හීන – ප්‍රණීත, කළු සුදු පැහැගත් දෙයින් යුක්ත දෙය වශයෙන් මේ ධර්මයන් පණවන්නා වූ මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට නිවන කරා යන ප්‍රතිපදාව මැනැවින් පණවන ලද්දේ ය. නිවන ප්‍රතිපදාවට ත්, ප්‍රතිපදාව නිවනට ත් මැනැවින් සැසඳෙයි. යම් සේ ගංගා නදියෙහි ජලය යමුනා නදියෙහි ජලය හා ගැලපී යයි ද, සම වෙයි ද, එසෙයින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ශ්‍රාවකයන් හට නිවන කරා යන ප්‍රතිපදාව මැනැවින් පණවන ලද්දේ ය. නිවන ප්‍රතිපදාවට ත්, ප්‍රතිපදාව නිවනට ත් මැනැවින් සැසඳෙයි. මෙසේ නිවන කරා යන්නා වූ ප්‍රතිපදාව පණවන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේට අතිශයින් ම ලාභ උපන්නේ ය. අතිශයින් ම කීර්තිය උපන්නේ ය. ක්ෂත්‍රියයන්ගේ සිට යම්තාක් සියළු දෙවි මිනිස්සු භාග්‍යවතුන් වහන්සේට ප්‍රිය කරන සුළු ව වෙසෙති. ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී ප්‍රහාණය කරන ලද මත්වීමෙන් යුතුව දන් වළඳන සේක. මෙසේ ප්‍රහාණය කරන ලද මත් වීමෙන් යුතුව දන් වළඳන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ නිවන් මගෙහි හික්මීමට පිළිපන් සේඛ ශ්‍රාවකයන්ගෙන් ද, බඹසර වැස නිමකළ රහතන් වහන්සේලාගෙන් ද, ලද සහායයෙන් යුතු සේක. භාග්‍යවතුන් වහන්සේ ඔවුන් සිතින් බැහැර කොට හුදෙකලා බවෙහි ඇළුණු සිතින් වසන සේක. මෙසේ ශ්‍රාවක පිරිස් මැද හුදෙකලා බවෙහි ඇළුණු සිතින් වසන මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ වනාහී යම් අයුරකින් වදාරණ සේක් ද, ඒ අයුරින් කරන සේක. යම් අයුරින් කරන සේක් ද, ඒ අයුරින් පවසන සේක. මෙසේ යථාවාදී – තථාකාරී, යථාකාරී – තථාවාදී වන සේක. මෙසේ ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුතුව මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.
ඒ භාග්‍යවතුන් වහන්සේ නිවන් මගට මුල්වන කරුණු පිළිබඳ ව තරණය කළ සැක ඇති සේක. ‘කෙසේ ද? කෙසේ ද?’ යන්න දුරු කළ සේක. සම්පූර්ණත්වයට පත් වූ අපේක්ෂා ඇති සේක. මෙසේ නිවන් මගට මුල්වන කරුණු පිළිබඳ ව තරණය කළ සැක ඇති, ‘කෙසේ ද? කෙසේ ද?’ යන්න දුරු කළ, සම්පූර්ණත්වයට පත් වූ අපේක්ෂා ඇති, මේ ගුණාංගයෙන් ද යුක්ත වූ ශාස්තෘවරයෙක් අතීතයේ ත් නොදකිමු. මෙකල්හිත් ඒ භාග්‍යවතුන් වහන්සේ හැර අන්‍යයෙකු නොදකිමු.”
ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ සනංකුමාර බ්‍රහ්මයා හට භාග්‍යවතුන් වහන්සේගේ ඇත්තාවූ ම මේ ගුණ අට පැවසූහ. ස්වාමීනී, ඒ හේතුවෙන් සනං කුමාර බ්‍රහ්ම තෙමේ සතුටු සිත් ඇති වූයේ ය. භාග්‍යවතුන් වහන්සේගේ ඇත්තා වූ ම අෂ්ට ගුණයන් අසා ප්‍රමුදිත වූයේ ය. ප්‍රීති සොම්නස් හටගත්තේ ය.
ඉක්බිති ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මයා ගොරෝසු ආත්ම භාවයක් මවා පඤ්චසිඛ කුමාර වේශයෙන් තව්තිසා දෙවියන් අතර පහළ වූයේ ය. ඔහු අහසට පැන නැඟී අහසෙහි පළඟක් බැඳ හිඳගත්තේ ය. ස්වාමීනී, බලවත් පුරුෂයෙක් මැනැවින් ඇතිරිලි අතුරන ලද අසුනක හෝ සම භූමියක හෝ පළඟක් බැඳ වාඩිවෙන්නේ යම් සේ ද, ස්වාමීනී, එසෙයින් ම සනංකුමාර බ්‍රහ්මයා අහසට පැන නැඟී අහසෙහි පළඟක් බැඳ හිඳගෙන තව්තිසා දෙවියන් ඇමතුවේ ය.
“භවත් තව්තිසා දෙවිවරුනි, ඒ කිමෙකැයි හඟිව් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් දීර්ඝ කාලයක් නම් මහා ප්‍රඥාවෙන් යුතුව වැඩසිටි සේක් ද යත්, භවත්නි, මෙය පෙර සිදුවූවකි.
දිසම්පති නම් රජෙක් සිටියේ ය. දිසම්පති රජුට ගෝවින්ද නම් බ්‍රාහ්මණ පුරෝහිතයෙක් සිටියේ ය. දිසම්පති රජුට රේණු නම් පුත් කුමරෙක් සිටියේ ය. ගෝවින්ද බ්‍රාහ්මණයාට ජෝතිපාල නම් තරුණ පුත්‍රයෙක් සිටියේ ය. මෙසේ රේණු රාජ පුත්‍රයා ත්, ජෝතිපාල මාණවකයා ත් අන්‍ය වූ ක්ෂත්‍රියයෝ සය දෙනෙකුත් වශයෙන් යහළුවෝ අට දෙනෙක් සිටියාහු ය.
ඉතින් භවත් දෙවිවරුනි, දීර්ඝ කාලයකට පසු ගෝවින්ද බ්‍රාහ්මණයා කලුරිය කළේ ය. ගෝවින්ද බ්‍රාහ්මණයා කලුරිය කළ කල්හී දිසම්පති රජු වැළපුණේ ය. ‘අහෝ! ඒකාන්තයෙන් ම අපි යම් කලෙක ගෝවින්ද බ්‍රාහ්මණයාට සියළු කටයුතු මැනැවින් පවරා පංච කාම ගුණයන් පිරිවරා, ඉඳුරන් පිනවමින් වාසය කළෙමු ද, එකල අපගේ ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ කලුරිය කළේ නොවැ’ යි.
භවත් දෙවිවරුනි, මෙසේ කී කල්හී රේණු රාජපුත්‍රයා දිසම්පති රජුට මෙය පැවසුවේ ය. ‘දේවයිනි, ගෝවින්ද බ්‍රාහ්මණයා කලුරිය කළ කල්හී ඔබවහන්සේ ඉතා බලවත් ලෙස නොවැලපෙනු මැනැව. දේවයිනි, ගෝවින්ද බ්‍රාහ්මණයාට ජෝතිපාල නම් මාණවක පුත්‍රයෙක් සිටියි. ඔහු පියාට වඩා නුවණැත්තෙකි. ඒ ඒ කටයුතු දැකීමෙහි පියාට වඩා දක්ෂයෙකි. ඔහුගේ පියා යම් කරුණු පිණිස අනුශාසනා කළේ ද, ඒ කරුණු පිණිස අනුශාසනා ලැබ ගත්තේ ජෝතිපාල මාණවකයාගෙන් ය.’
“එසේ ද කුමාරය?”
“එසේ ය, දේවයිනි.”
ඉතින් භවත්නි, දිසම්පති රජු එක්තරා පුරුෂයෙකු ඇමතී ය.
“එම්බා පුරුෂය, එව. ඔබ ජෝතිපාල නම් මාණවකයා කරා යව. ගොස් ජෝතිපාල මාණවකයාට මෙසේ පවසව. ‘භවත් ජෝතිපාල මානවකයාණන්ට යහපතක් වේවා! දිසම්පති රජු භවත් ජෝතිපාල මාණවකයන් අමතයි. දිසම්පති රජු භවත් ජෝතිපාල මාණවකයාණන් දකිනු කැමති වෙයි’ යනුවෙන් පවසව.”
භවත් දෙවිවරුනි, “එසේ ය, දේවයිනි” යි ඒ පුරුෂයා දිසම්පති රජුට පිළිවදන් දී ජෝතිපාල මාණවකයා කරා එළැඹියේ ය. එළැඹ ජෝතිපාල මාණවකයාට මෙය පැවසීය.
“භවත් ජෝතිපාල මාණවකයාණන්ට යහපතක් වේවා! දිසම්පති රජු භවත් ජෝතිපාල මාණවකයන් අමතයි. දිසම්පති රජු භවත් ජෝතිපාල මාණවකයාණන් දකිනු කැමති වෙයි.”
“එසේ ය, භවත” යි ඒ ජෝතිපාල මාණවක තෙමේ ඒ පුරුෂයාට පිළිවදන් දී දිසම්පති රජු වෙත එළැඹියේ ය. එළැඹ දිසම්පති රජු සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. භවත් දෙවිවරුනි, එකත්පස් ව හුන් ජෝතිපාල මාණවකයාට දිසම්පති රජු මෙය පැවසුවේ ය.
“භවත් ජෝතිපාල තෙමේ අපට අනුශාසනා කෙරේවා! භවත් ජෝතිපාලයෝ අපට අනුශාසනා කිරීම ප්‍රතික්ෂේප කරන්නට එපා. ඔබ පියාගේ තනතුරෙහි තබන්නෙමි. පිය ගෝවින්දයන්ගේ තනතුරෙහි අභිෂේක කරන්නෙමි.”
“එසේ ය, භවත” යි ඒ ජෝතිපාල මාණවක තෙමේ දිසම්පති රජු හට පිළිවදන් දුන්නේ ය.
ඉතින් භවත් දෙවිවරුනි, දිසම්පති රජු ජෝතිපාල මාණවකයා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ තනතුරෙහි අභිෂේක කළේ ය. පිය බ්‍රාහ්මණයා සිටි තැනෙහි තැබුවේ ය. පුරෝහිත තනතුරෙහි අභිෂේක ලත්, පිය බ්‍රාහ්මණ තනතුරෙහි තබන ලද ජෝතිපාල මාණවක තෙමේ තම පියා යම් කරුණකින් අනුශාසනා කළේ ද, ඒ කරුණෙනුත් අනුශාසනා කරයි. තම පියා යම් කරුණු අරභයා අනුශාසනා නොකළේ ද, ඒ කරුණෙනුත් අනුශාසනා කරයි. තම පියා යම් කර්මාන්තයන් කළේ ද, ඒ කර්මාන්ත ත් කරයි. තම පියා යම් කර්මාන්තයන් නොකළේ ද, ඒ කර්මාන්ත ත් කරයි. එවිට ඔහු පිළිබඳ ව මිනිස්සු මෙසේ කීහ. ‘භවත්නි, ඒකාන්තයෙන් ගෝවින්ද බ්‍රාහ්මණයා නොවැ! භවත්නි ඒකාන්තයෙන් මහා ගෝවින්ද බ්‍රාහ්මණයා නොවැ!’ යනුවෙනි.
මෙසේ භවත් දෙවිවරුනි, මේ ක්‍රමයෙන් ජෝතිපාල මාණවකයාට ‘ගෝවින්ද ය, මහා ගෝවින්ද ය’ යන නම හටගත්තේ ය.
ඉතින් භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්ෂත්‍රියයන් සය දෙනා වෙත එළැඹියේ ය. එළැඹ ඒ ක්ෂත්‍රියයන් සය දෙනාට මෙය පැවසුවේ ය.
“භවත්නි, දිසම්පති රජු දිරා ගියේ, වයෝවෘද්ධ වූයේ, මහළු වූයේ, ක්‍රමයෙන් වයසට ගියේ වෙයි. භවත්නි, ජීවිතය වනාහී කොපමණ කල් පවතින්නේ දැයි කවුරු දනිත් ද? යම් හෙයකින් දිසම්පති රජු කලුරිය කළ විට රජෙකු පත් කරන අමාත්‍යයෝ රේණු රාජ පුත්‍රයා ව රාජ්‍යයෙහි අභිෂේක කරන්නාහු ය යන්න පැහැදිලි ව පෙනෙන දෙයකි. භවත්හු පැමිණෙත්වා! රේණු රාජපුත්‍රයා වෙත එළඹෙව්. එළැඹ රේණු රාජපුත්‍රයාට මෙසේ පවසව්.
‘අපි වනාහී භවත් රේණු හට ප්‍රිය වූ, මනාප වූ, නොපිළිකුල් වූ යහළුවෝ වෙමු. භවතුන් යම් සැපයකින් යුක්ත ද, අපි ද ඒ සැප ඇත්තෙමු. භවතුන් යම් දුකින් යුක්ත ද, අපි ද ඒ දුකින් යුතු වෙමු. භවත, දිසම්පති රජු දිරා ගියේ, වයෝවෘද්ධ වූයේ, මහළු වූයේ, ක්‍රමයෙන් වයසට ගියේ වෙයි. භවත්නි, ජීවිතය වනාහී කොපමණ කල් පවතින්නේ දැයි කවුරු දනිත් ද! යම් හෙයකින් දිසම්පති රජු කලුරිය කළ විට රජෙකු පත් කරන අමාත්‍යයෝ භවත් රේණු රාජ පුත්‍රයා ව රාජ්‍යයෙහි අභිෂේක කරන්නාහු ය යන්න පැහැදිලි ව පෙනෙන දෙයකි. ඉදින් භවත් රේණු රාජ්‍යය ලබන්නේ ද, අපට රාජ්‍යයෙන් කොටස් බෙදා දෙනු මැනැව’ යි පවසව්.
ඉතින් භවත් දෙවිවරුනි, ඒ ක්ෂත්‍රියයෝ සය දෙනා ‘එසේ ය, භවත’ යැයි මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට පිළිතුරු දී රේණු රාජ පුත්‍රයා වෙත පැමිණියහ. පැමිණ රේණු රාජපුත්‍රයාට මෙය පැවසූහ.
“අපි වනාහී භවත් රේණු හට ප්‍රිය වූ, මනාප වූ, නොපිළිකුල් වූ යහළුවෝ වෙමු. භවතුන් යම් සැපයකින් යුක්ත ද, අපි ද ඒ සැප ඇත්තෙමු. භවතුන් යම් දුකින් යුක්ත ද, අපි ද ඒ දුකින් යුතු වෙමු. භවත, දිසම්පති රජු දිරා ගියේ, වයෝවෘද්ධ වූයේ, මහළු වූයේ, ක්‍රමයෙන් වයසට ගියේ වෙයි. භවත්නි, ජීවිතය වනාහී කොපමණ කල් පවතින්නේ දැයි කවුරු දනිත් ද! යම් හෙයකින් දිසම්පති රජු කලුරිය කළ විට රජෙකු පත් කරන අමාත්‍යයෝ භවත් රේණු රාජ පුත්‍රයා ව රාජ්‍යයෙහි අභිෂේක කරන්නාහු ය යන්න පැහැදිලි ව පෙනෙන දෙයකි. ඉදින් භවත් රේණු රාජ්‍යය ලබන්නේ ද, අපට රාජ්‍යයෙන් කොටස් බෙදා දෙනු මැනැව.”
“භවත්නි, භවතුන් හැර මාගේ විජිතයෙහි වෙන කවරහු නම් සැපයට පැමිණෙන්නාහු ද? ඉදින් භවත්නි, මම රාජ්‍යය ලබන්නෙම් නම්, ඔබට රාජ්‍යයෙන් බෙදන්නෙමි.”
ඉක්බිති භවත් දෙවිවරුනි, කල් ඇවෑමෙන් දිසම්පති රජු මිය ගියේ ය. දිසම්පති රජු මියගිය කල්හී රජෙකු පත්කරවන අමාත්‍යයෝ රේණු රාජපුත්‍රයා රාජ්‍යයෙහි අභිෂේක කළාහු ය. රාජ්‍යයෙන් අභිෂේක ලත් රේණු රජු පංච කාම ගුණයන්ගෙන් පිරිවරා ගෙන එහි සතුටු වෙමින් ප්‍රීතියෙන් වසයි.
එකල්හී භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්ෂත්‍රියයන් සය දෙනා වෙත එළැඹියේ ය. එළැඹ ඒ ක්ෂත්‍රියයන් සය දෙනාට මෙය පැවසුවේය.
“භවත්නි, දිසම්පති රජු මිය ගියේ ය. රාජ්‍යයෙන් අභිෂේක ලත් රේණු රජු පංච කාම ගුණයන්ගෙන් පිරිවරා ගෙන එහි සතුටු වෙමින් ප්‍රීතියෙන් වසයි.
භවත්නි, කාමයෝ මත් වීමට කරුණු ය. එහෙයින් භවතුන් හා පෙර කථා කළ දේ රජු සිහිකරන්නේ දැයි කවුරු දනිත් ද? භවත්හු පැමිණෙත්වා! රේණු රජු වෙත එළැඹෙව්. එළැඹ රේණු රජුට මෙසේ පවසව්. ‘භවත, දිසම්පති රජු කලුරිය කළේ ය. භවත් රේණු රාජ්‍යයෙන් අභිෂේක කරන ලද්දේ ය. භවතුන් පෙර අප හා පොරොන්දු වූ වචනය සිහි කරයි ද?’ යනුවෙනි.”
භවත් දෙවිවරුනි, “එසේ ය, භවත” යි ඒ ක්ෂත්‍රියයෝ සය දෙනා මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට පිළිවදන් දී රේණු රජු වෙත එළැඹියහ. එළැඹ රේණු රජුට මෙය පැවසූහ.
“භවත, දිසම්පති රජු කලුරිය කළේ ය. භවත් රේණු රාජ්‍යයෙන් අභිෂේක කරන ලද්දේ ය. භවතුන් පෙර අප හා පොරොන්දු වූ වචනය සිහි කරයි ද?”
“භවත්නි, ඒ වචනය මම සිහි කරමි. භවත්නි, උතුරින් දික් ව, දකුණින් ගැල් මුව සේ පිහිටි මේ මහා පොළොව සම ලෙස සත් කොටසකට මැනැවින් බෙදන්නට කවරෙක් සමත් වෙයි ද?”
“භවත, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා හැර අන් කවරෙක් නම් සමත් වෙයි ද?”
ඉක්බිති භවත් දෙවිවරුනි, රේණු රජු එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.
“එම්බා පුරුෂය, මෙහි එව. ඔබ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා වෙත එළඹෙව. එළැඹ මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට මෙසේ පවසව. ‘ස්වාමීනී, රේණු රජ තෙමේ ඔබ අමතයි’ යි.”
භවත් දෙවිවරුනි, “එසේ ය, දේවයිනි” ඒ පුරුෂයා රේණු රජුට පිළිවදන් දී මහා ගෝවින්ද බ්‍රාහ්මණයා වෙත එළැඹියේ ය. එළැඹ මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, රේණු රජ තෙමේ ඔබ අමතයි”
“එසේ ය, භවත” යි ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ඒ පුරුෂයාට පිළිතුරු දී රේණු රජු වෙත එළැඹියේ ය. එළැඹ රේණු රජු සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කථා බහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. භවත් දෙවිවරුනි, එකත්පස් ව හුන් මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට රේණු රජු මෙය පැවසුවේ ය.
“භවත් ගෝවින්දයෝ පැමිණෙත්වා! උතුරින් දික් ව, දකුණින් ගැල් මුව සේ පිහිටි මේ මහපොළොව සම ලෙස සත් කොටසකට මැනැවින් බෙදත්වා!”
“එසේ ය, භවත” යි ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා රේණු රජුට පිළිතුරු දී උතුරින් දික් වූ, දකුණින් ගැල් මුව සේ සිටින ලෙස මේ මහ පොළොව සමාන ලෙස සත් කොටසකට මැනැවින් බෙදීය. සියළු රාජ්‍යයන් ගැල්මුව සේ සිටින ලෙස පිහිටෙව්වේ ය. එහි මැද රේණු රජුගේ ජනපදය වෙයි.
‘කාලිංගයන්ගේ දන්ත පුරය ය, අස්සකයන්ගේ පෝතන පුරය ද, අවන්තියන්ගේ මාහිස්සතී පුරය ය, සෝවීරයන්ගේ රෝරුක පුරය ය,
විදේහයන්ගේ මිථිලා පුරය ය, අංග රටෙහි චම්පා නුවර ද ඉදිකරන ලද්දේ ය. කසී රට වැසියන්ගේ බරණැස් නුවර ය යන මේවා මහා ගෝවින්ද බ්‍රාහ්මණයා විසින් කරවන ලද්දේ ය.’
භවත් දෙවිවරුනි, ඉතින් ඒ ක්ෂත්‍රියවරු සය දෙනා යම් පරිදි තමන් ලද ලාභයෙන් සතුටු වූවාහු ය. සම්පූර්ණ වූ අපේක්ෂා ඇති වූවාහු ය. එනම්, ‘ඒකාන්තයෙන් අප විසින් යමක් කැමති වන ලද්දේ ද, යමක් අපේක්ෂා කරන ලද්දේ ද, යමක් අදහස් කරන ලද්දේ ද, යමක් පතන ලද්දේ ද, එය අපට ලැබුණේ ය’ යනුවෙනි.
‘සත්තභූ රජු ය, බඹදත් රජු ය, වෙස්සභූ රජු ය, භරත රජු ය, රේණු නමින් රජවරු දෙදෙනෙකි, ධෘතරාෂ්ඨ රජු ද වශයෙන් එදා භාරත රජවරු සත් දෙනෙක් වූහ.’
ඉක්බිති භවත් දෙවිවරුනි, ඒ ක්ෂත්‍රියයෝ සය දෙන මහා ගෝවින්ද බ්‍රාහ්මණයා කරා පැමිණියාහු ය. පැමිණ මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට මෙය පැවසූහ.
“භවත් ගෝවින්දයෝ රේණු රජු හට යම් සේ මිත්‍ර ව, ප්‍රිය මනාප ව, නොපිළිකුල් ව සිටිත් ද, එසෙයින් ම භවත් ගෝවින්දයෝ අපට ත් මිත්‍ර ය. ප්‍රිය ය. මනාප ය. නොපිළිකුල් ය. භවත් ගෝවින්දයෝ අපට අනුශාසනා කරත්වා! භවත් ගෝවින්දයෝ අපට අනුශාසනා කිරීම ප්‍රතික්ෂේප කරන්නට එපා.”
“එසේ ය, භවත්නි” යි ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ඒ ක්ෂත්‍රියවරුන් සය දෙනාට පිළිතුරු දුන්නේ ය.
එකල්හී භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා අභිෂේක ලත්, ඔටුණු පළන් ක්ෂත්‍රිය රජවරුන් සත් දෙනාට ද අනුශාසනා කළේ ය. අනු පුරෝහිත මහාසාර බ්‍රාහ්මණයන් සත් දෙනාට ද, බ්‍රාහ්මණ ශිෂ්‍යයන් සත්සියයකට ද වේද මන්ත්‍ර හැදෑරවීය.
ඉක්බිති භවත් දෙවිවරුනි, පසු කලෙක මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් පැනනැංගේ ය. ‘මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා හැබැහින් දකියි. මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා සමඟ හැබැහින් ම සාකච්ඡා කරයි. කතා කරයි. මන්ත්‍රණය කරයි’ යනුවෙනි.
එවිට භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට මේ අදහස ඇතිවූයේ ය. ‘මා පිළිබඳ ව වනාහී මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් පැනනැංගේ ය. ‘මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා හැබැහින් දකියි. මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා සමඟ හැබැහින් ම සාකච්ඡා කරයි. කතා කරයි. මන්ත්‍රණය කරයි’ යනුවෙනි. එනමුත් මම වනාහී බ්‍රහ්මයා නොදකිමි. බ්‍රහ්මයා සමඟ සාකච්ඡා නොකරමි. බ්‍රහ්මයා සමඟ නොදොඩමි. බ්‍රහ්මයා සමඟ මන්ත්‍රණය නොකරමි. මා විසින් වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්යප්‍රාචාර්ය බ්‍රාහ්මණයන් විසින් කියනු ලබන මේ වචනය අසන ලද්දේ ය. ‘යමෙක් වැසි සාර මාසයෙහි හුදෙකලාවෙහි ඉන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, ඔහු බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා හා සාකච්ඡා කරයි. බ්‍රහ්මයා හා දොඩයි. බ්‍රහ්මයා හා මන්ත්‍රණය කරයි’ කියා ය. යම් හෙයකින් මම වැසි සාර මාසයෙහි හුදෙකලා වන්නෙම් නම්, කරුණා ධ්‍යානය වඩන්නෙම් නම් මැනැව’ යි.
ඉක්බිති භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ රේණු රජු වෙත පැමිණියේ ය. පැමිණ රේණු රජුට මෙය පැවසුවේ ය.
“භවත, මා පිළිබඳ ව වනාහී මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් පැනනැංගේ ය. ‘මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා හැබැහින් දකියි. මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා සමඟ හැබැහින් ම සාකච්ඡා කරයි. කතා කරයි. මන්ත්‍රණය කරයි’ යනුවෙනි. එනමුත් භවත, මම වනාහී බ්‍රහ්මයා නොදකිමි. බ්‍රහ්මයා සමඟ සාකච්ඡා නොකරමි. බ්‍රහ්මයා සමඟ නොදොඩමි. බ්‍රහ්මයා සමඟ මන්ත්‍රණය නොකරමි.
මා විසින් වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්යප්‍රාචාර්ය බ්‍රාහ්මණයන් විසින් කියනු ලබන මේ වචනය අසන ලද්දේ ය. ‘යමෙක් වැසි සාර මාසයෙහි හුදෙකලාවෙහි ඉන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, ඔහු බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා හා සාකච්ඡා කරයි. බ්‍රහ්මයා හා දොඩයි. බ්‍රහ්මයා හා මන්ත්‍රණය කරයි’ කියා ය. භවත, වැසි සාර මාසයෙහි හුදෙකලාවේ වසන්නට ත්, කරුණා ධ්‍යානය වඩන්නට ත් කැමති වෙමි. මට ආහාර ගෙන එන කෙනා හැර අන් කිසිවෙකු විසින් එළඹිය යුත්තෙම් නොවෙමි.”
“දැන් යමකට කාලය නම්, භවත් ගෝවින්දයෝ එය දනිති” යි රේණු රජ පැවසුවේ ය.
ඉක්බිති ඒ මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්ෂත්‍රීය රජවරුන් සය දෙනා වෙත එළැඹියේ ය. එළැඹ ඒ ක්ෂත්‍රිය රජවරුන් සය දෙනාට මෙය පැවසුවේ ය.
“භවත්නි, මා පිළිබඳ ව වනාහී මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් පැනනැංගේ ය. ‘මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා හැබැහින් දකියි. මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා සමඟ හැබැහින් ම සාකච්ඡා කරයි. කතා කරයි. මන්ත්‍රණය කරයි’ යනුවෙනි. එනමුත් මම වනාහී බ්‍රහ්මයා නොදකිමි. බ්‍රහ්මයා සමඟ සාකච්ඡා නොකරමි. බ්‍රහ්මයා සමඟ නොදොඩමි. බ්‍රහ්මයා සමඟ මන්ත්‍රණය නොකරමි. මා විසින් වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්යප්‍රාචාර්ය බ්‍රාහ්මණයන් විසින් පවසන ලද මේ වචනය අසන ලද්දේ ය. ‘යමෙක් වැසි සාර මාසයෙහි හුදෙකලාවෙහි ඉන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, ඔහු බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා හා සාකච්ඡා කරයි. බ්‍රහ්මයා හා දොඩයි. බ්‍රහ්මයා හා මන්ත්‍රණය කරයි’ කියා ය. භවත්නි, වැසි සාර මාසයෙහි හුදෙකලාවේ වසන්නට ත්, කරුණා ධ්‍යානය වඩන්නට ත් මම කැමති වෙමි. මට ආහාර ගෙන එන කෙනා හැර අන් කිසිවෙකු විසින් එළඹිය යුත්තෙම් නොවෙමි.”
“දැන් යමකට කාලය නම්, භවත් ගෝවින්දයෝ එය දනිති” යි ක්ෂත්‍රියයෝ සය දෙනා පැවසූහ.
භවත් දෙවිවරුනි, ඉක්බිති මහා ගෝවින්ද බ්‍රාහ්මණයා මහාසාර බ්‍රාහ්මණයන් සත්දෙනා ත්, ශිෂ්‍ය බ්‍රාහ්මණයන් සත්සියදෙනා ත් වෙත එළැඹියේ ය. එළඹ, මහාසාර බ්‍රාහ්මණයින් සත්දෙනාට ත්, බ්‍රාහ්මණ ශිෂ්‍යයින් සත්සියදෙනාට ත් මෙය පැවසුවේ ය.
“භවත්නි, මා පිළිබඳ ව වනාහී මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් පැනනැංගේ ය. ‘මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා හැබැහින් දකියි. මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා සමඟ හැබැහින් ම සාකච්ඡා කරයි. කතා කරයි. මන්ත්‍රණය කරයි’ යනුවෙනි. එනමුත් මම වනාහී බ්‍රහ්මයා නොදකිමි. බ්‍රහ්මයා සමඟ සාකච්ඡා නොකරමි. බ්‍රහ්මයා සමඟ නොදොඩමි. බ්‍රහ්මයා සමඟ මන්ත්‍රණය නොකරමි. මා විසින් වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්යප්‍රාචාර්යය බ්‍රාහ්මණයන්ගේ මේ වචනය අසන ලද්දේ ය. ‘යමෙක් වැසි සාර මාසයෙහි හුදෙකලාවෙහි ඉන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, ඔහු බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා හා සාකච්ඡා කරයි. බ්‍රහ්මයා හා දොඩයි. බ්‍රහ්මයා හා මන්ත්‍රණය කරයි’ කියා ය. එසේ වී නම් භවත්නි, මන්ත්‍රයන් අසන ලද්දේ යම් සේ ද, පිරිවහන ලද්දේ යම් සේ ද, විස්තර වශයෙන් සජ්ඣායනා කරව්. එකිනොකට මන්ත්‍ර කටපාඩම් කරව්. භවත්නි, වැසි සාර මාසයෙහි හුදෙකලාවේ වසන්නට ත්, කරුණා ධ්‍යානය වඩන්නට ත් කැමති වෙමි. මට ආහාර ගෙන එන කෙනා හැර අන් කිසිවෙකු විසින් එළඹිය යුත්තෙම් නොවෙමි.”
“දැන් යමකට කාලය නම්, භවත් ගෝවින්දයෝ එය දනිති” යි ඔවුහු පැවසූහ.
ඉක්බිති භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා සමාන වූ බිරින්දෑවරුන් සතළිස් දෙනා වෙත එළැඹියේ ය. එළැඹ ඒ සමාන බිරින්දෑවරුන් සතළිස් දෙනාට මෙය පැවසුවේ ය.
“භවතියෙනි, මා පිළිබඳ ව වනාහී මෙබඳු වූ කල්‍යාණ කීර්ති රාවයක් පැනනැංගේ ය. ‘මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා හැබැහින් දකියි. මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ බ්‍රහ්මයා සමඟ හැබැහින් ම සාකච්ඡා කරයි. කතා කරයි. මන්ත්‍රණය කරයි’ යනුවෙනි. එනමුත් භවතියෙනි, මම වනාහී බ්‍රහ්මයා නොදකිමි. බ්‍රහ්මයා සමඟ සාකච්ඡා නොකරමි. බ්‍රහ්මයා සමඟ නොදොඩමි. බ්‍රහ්මයා සමඟ මන්ත්‍රණය නොකරමි. මා විසින් වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්යප්‍රාචාර්ය බ්‍රාහ්මණයන් විසින් පවසන ලද මේ වචනය අසන ලද්දේ ය. ‘යමෙක් වැසි සාර මාසයෙහි හුදෙකලාවෙහි ඉන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, ඔහු බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා හා සාකච්ඡා කරයි. බ්‍රහ්මයා හා දොඩයි. බ්‍රහ්මයා හා මන්ත්‍රණය කරයි’ කියා ය. භවතියෙනි, වැසි සාර මාසයෙහි හුදෙකලාවේ වසන්නට ත්, කරුණා ධ්‍යානය වඩන්නට ත් මම කැමති වෙමි. මට ආහාර ගෙන එන කෙනා හැර අන් කිසිවෙකු විසින් එළඹිය යුත්තෙම් නොවෙමි.”
“දැන් යමකට කාලය නම්, භවත් ගෝවින්දයෝ එය දනිති” යි ඔවුහු පැවසූහ.
භවත් දෙවිවරුනි, ඉක්බිති මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ නගරයට පෙර දිගින් අලුත් සන්ථාගාරයක් කරවා, වැසි සාර මාසයෙහි හුදෙකලාවේ භාවනා කළේ ය. කරුණා ධ්‍යානය වැඩුවේ ය. එහිදී ඔහු වෙත ආහාර රැගෙන එන කෙනා හැර අන් කිසිවෙක් නොපැමිණියේ ය.
එකල්හී භවත් දෙවිවරුනි, වැසි සාර මාසය ඇවෑමෙන් මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට කලකිරීමක් ම ඇතිවූයේ ය. ආශාවෙන් පෙළීමක් ම ඇතිවූයේ ය. එනම් මා විසින් වයෝවෘද්ධ වූ, මහළු වූ, ආචාර්යප්‍රාචාර්ය බ්‍රාහ්මණයන් විසින් කියනු ලබන මේ වචනය අසන ලද්දේ ය. ‘යමෙක් වැසි සාර මාසයෙහි හුදෙකලාවෙහි ඉන්නේ නම්, කරුණා ධ්‍යානය වඩන්නේ නම්, ඔහු බ්‍රහ්මයා දකියි. බ්‍රහ්මයා හා සාකච්ඡා කරයි. බ්‍රහ්මයා හා දොඩයි. බ්‍රහ්මයා හා මන්ත්‍රණය කරයි’ කියා ය. එහෙත් මම බ්‍රහ්මයා නොදකිමි. බ්‍රහ්මයා සමඟ සාකච්ඡා නොකරමි. බ්‍රහ්මයා සමඟ නොදොඩමි. බ්‍රහ්මයා හා මන්ත්‍රණය නොකරමි’ යි.
එකල්හී භවත් දෙවිවරුනි, සනංකුමාර බ්‍රහ්මරාජයා තම සිතින් මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ චිත්ත පරිවිතර්කය දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දික් කරන්නේ යම් සේ ද, දික් කළ අතක් හකුළන්නේ යම් සේ ද, එසෙයින් ම බඹලොවෙන් නොපෙනී ගොස් මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ඉදිරියෙහි පහළ වූයේ ය. එවිට භවත් දෙවිවරුනි, යම් සේ පෙර නුදුටු විරූ ඒ රූපය දැක මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට භයක් හටගත්තේ ම ය. තැති ගැනීමක් හටගත්තේ ම ය. ලොමු දහගැනීමක් හටගත්තේ ම ය.
ඉතින් භවත් දෙවිවරුනි, බියට පත්, සංවේගයට පත්, ලොමු දහගැනීමට පත් මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ සනංකුමාර බ්‍රහ්මයා හට ගාථාවන් පැවසුවේ ය.
‘නිදුකාණෙනි, ඔබ පැහැපත් ය. යසස් ඇත්තේ ය. ශ්‍රීය ඇත්තේ ය. කවරෙක් වෙහි ද? ඔබ ගැන නොදන්නා හෙයින් අසමි. අපි එය කෙසේ දැනගන්නෙමු ද?’
‘ඒකාන්තයෙන් මා පිළිබඳ ව සනංකුමාර වශයෙන් බඹලොවෙහි දනිත්. සියළු දෙවියෝ මා පිළිබඳ ව මෙසේ දනිති. ගෝවින්දයෙනි, මෙසේ දැනගනුව.’
‘බ්‍රහ්මරාජයා හට ආසනය ද, ජලය ද, තෙල් ද, මියුරු ආහාර ද යන මේ සුදුසු දැයෙන් භවතුන් ගෙන් අසමු. භවතාණෝ අපගේ මේ සංග්‍රහය පිළිගනිත්වා’
‘ගෝවින්දයෙනි, ඔබ යමක් කියන්නෙහි ද, ඔබගේ ඒ පූජා ද්‍රව්‍යයන් අපි පිළිගනිමු. මෙලොව යහපත පිණිස ද, පරලොව සැපය පිණිස ද, යම් කිසිවක් විශේෂයෙන් පතන ලද්දේ නම්, කරන ලද අවකාශ ඇති ඔබ එය අසව.’
ඉක්බිති භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා හට මේ අදහස ඇතිවූයේ ය. ‘සනංකුමාර බ්‍රහ්මරාජයා විසින් කරන ලද අවකාශ ඇත්තෙමි. මම වනාහී සනංකුමාර බ්‍රහ්මරාජයාගෙන් මෙලොව යහපත හෝ පරලොව යහපත හෝ කුමක් අසන්නෙම් ද?’
ඉක්බිති භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට මේ අදහස ඇතිවිය. ‘මම මෙලොව යහපතට අදාළ කරුණු පිළිබඳ ව දක්ෂ වෙමි. අන්‍යයෝ ත් මාගෙන් මෙලොව යහපතට අදාළ කරුණු විමසති. යම්හෙයකින් මම සනංකුමාර බ්‍රහ්මරාජයාගෙන් පරලොව යහපතට හේතු වන කරුණු අසන්නෙම් නම් මැනැවි.’ ඉක්බිති භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ සනංකුමාර බ්‍රහ්මරාජයාගෙන් ගාථාවකින් මෙය ඇසුවේ ය.
‘සැක ඇති මම අන්‍යයන්ගේ ප්‍රශ්නයන් පිළිබඳ ව සැක රහිත වූ සනංකුමාර බ්‍රහ්මරාජයාගෙන් අසමි. කුමක පිහිටි, කුමක හික්මෙන මනුෂ්‍යයා ද, අමෘතය වූ බඹලොවට පැමිණෙන්නේ?’
(සනංකුමාර බ්‍රහ්මරාජයා )
‘බ්‍රාහ්මණය, මිනිසුන් අතර මමත්වය අත්හැර, හුදෙකලාවෙහි වාසය කරමින්, කරුණා භාවනාවෙහි ඇලී, ආමගන්ධ නම් කෙලෙස් රහිත ව, මෛථුනයෙන් වෙන් වී සිටියි ද, මෙම කරුණ තුළ සිටින, මේ තුළ හික්මෙන මිනිසා අමෘතය වූ බඹලොවට පැමිණෙන්නේ ය.’
“ ‘මමත්වය අත්හැර’ යනුවෙන් භවතුන් කී වචනය මම දනිමි. මෙහි ඇතැම් කෙනෙක් අල්ප වූ හෝ භෝග සම්පත් රැස අත්හැර, මහා වූ හෝ භෝග සම්පත් රැස අත්හැර, අල්ප වූ හෝ නෑ පිරිවර අත්හැර, මහත් වූ හෝ නෑ පිරිවර අත්හැර, කෙස් රැවුල් බහා, කසාවත් පොරොවා, ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙයි. මෙසේ ‘මමත්වය අත්හැර’ යනුවෙන් භවතාණන් පැවසූ කරුණ මම තේරුම් ගනිමි.
‘හුදෙකලා වූයේ’ යනුවෙන් භවතුන් පැවසූ වචනය මම තේරුම් ගනිමි. මෙහිලා ඇතැම් කෙනෙක් ඉතා දුර බැහැර අරණ්‍යය, රුක් මුල්, පර්වත, කඳුරැලි, ගිරිගුහා, සොහොන්, වනපෙත්, එළිමහන, පිදුරු ගොඩ ආදී හුදෙකලා සෙනසුනක් අසුරු කරති. මෙසේ ‘හුදෙකලා වූයේ’ යනුවෙන් භවතාණන් පැවසූ කරුණ මම තේරුම් ගනිමි.
‘කරුණා භාවනාවෙහි ඇලුණේ’ යනුවෙන් පැවසූ භවතුන්ගේ වචනය මම තේරුම් ගනිමි. මෙහිලා ඇතැමෙක් කරුණා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කරයි. එසේ ම දෙවෙනි දිශාවට ත්, එසේ ම තුන්වෙනි දිශාවටත්, එසේ ම සතරවෙනි දිශාවට ත්, එසේ ම උඩ – යට – සරසට ත් සියළු අයුරින්, සියළු සතුන් කෙරෙහි තමා හා සමකොට, සියළු ලෝකයට විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, ව්‍යාපාද රහිත වූ කරුණා සහගත සිත පතුරුවා වාසය කරයි. මෙසේ ‘කරුණා භාවනාවෙහි ඇලුණේ’ යනුවෙන් භවතාණන් පැවසූ කරුණ මම තේරුම් ගනිමි.
එනමුදු භවතුන් පැවසූ කරුණු අතර ‘ආමගන්ධ’ යන වචනයෙහි අරුත මම නොදනිමි.”
“බ්‍රහ්මරාජයෙනි, මිනිසුන් අතර ඇති ආමගන්ධය යනු මොනවාද? මේවා නොදන්නෙමි. මෙහිලා නැණවතාණෙනි, එය පැවසුව මැනැව. කුමකින් වැසී ගිය ප්‍රජාවෝ කෲර වූවාහු, අපායෙහි උපදින සුළු වෙත් ද? බඹලොව ගමන වසාගෙන සිටිත් ද?’
‘ක්‍රෝධය ය, බොරු කීම ය, වංචාව ය, මිත්‍ර ද්‍රෝහී බව ය, මසුරුකම ය, අතිමානය ය, ඊර්ෂ්‍යාව ය, ආශාව ය, අධික ආශාව ය, අනුන්ට හිංසා කිරීම ද, ලෝභය ද, ද්වේෂය ද, මත්වීම ද, මුලාවට පත් වීම ද,
යන මේ ක්ලේශයන්ගෙන් යුක්ත සත්වයෝ ආමගන්ධයෙන් තොර නොවූවෝ ය. අපායට යන්නෝ ය. බඹලොව මග වසාගත්තෝ ය.’
“භවතුන් විසින් ආමගන්ධය පිළිබඳ පැවසූ කරුණු යම් සේ මම දනිම් ද, ගිහි ගෙදර වසන්නෙකු විසින් ඒවා පහසුවෙන් මැඩලිය නොහැක්කේ ය. භවත, මම ගිහි ගෙය අත්හැර අනගාරික ව පැවිදි වන්නෙමි.”
“දැන් යමකට කාලය නම්, භවත් ගෝවින්දයෝ එය දනිති” යි සනංකුමාර බ්‍රහ්මරාජයා පැවසුවේ ය.
ඉක්බිති භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා රේණු රජු වෙත එළැඹුණේ ය. එළැඹ රේණු රජුට මෙය පැවසුවේ ය.
“භවතුන් හට යමෙක් රජයට අනුශාසනා කරන්නේ ද, භවත් තෙමේ දැන් අන්‍ය වූ පුරෝහිතයෙකු සොයාවා! භවත, මම ගිහි ගෙයින් නික්ම, අනගාරික ව පැවිදි වන්නට කැමති වෙමි. යම් සේ බ්‍රහ්මරාජයා විසින් කියනු ලබන කරුණු අතර ආමගන්ධය පිළිබඳ ව අසන ලද්දේ ද, ඒ ආමගන්ධයෝ ගිහි ගෙදර වසන කෙනෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත, මම ගිහි ගෙදර අත්හැර අනගාරික ව පැවිදි වන්නෙමි.”
‘පොළොවට අධිපති වූ රේණු රජ මම අමතමි. රාජ්‍යයෙනුත් කළ යුතු දේ ඔබ දත මැනැව. පුරෝහිත තනතුරෙහි මම නොඇලෙමි.’
‘ඉදින් ඔබට කාමයන්ගෙන් කිසි අඩුවක් ඇත්නම්, මම එය සපුරමි. ඔබට යමෙක් හිංසා කරයි නම්, පොළොවෙහි සෙන්පති වූ මම එය වළකාලමි.
ඔබ පියාණන් වෙහි ය. මම පුත්‍රයා වෙමි. ගෝවින්දයෙනි, අප ව අත්හැර නොයනු මැනැව.’ ‘මා හට කාමයන්ගෙන් අඩුවක් නැත්තේ ය. මට හිංසා කළ කෙනෙක් ද නැත්තේ ය.
මිනිස් නොවන කෙනෙකුගේ වචනය අසා, එනිසාවෙන් මම ගිහි ගෙයි ඇල්ම නොකරමි.’ ‘ඒ මිනිස් නොවන තැනැත්තා කෙබඳු පැහැයෙන් යුතු කෙනෙක් ද? ඔබට ඔහු කෙබඳු කරුණක් පැවසුවේ ද?
යම් කරුණක් අසා ඔබ ගෙවල් ද, අප සැම ද අත්හරින්නෙහි ය.’ ‘පෙර වැසි සාර මාසයෙහි හුදෙකලා වී යාගය කැමති වුණෙමි. මා විසින් ගිනි දල්වන ලද්දේ ය. කුස තණයෙන් අතුරන ලද්දේ ය. එකල්හී බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි සනංකුමාර බ්‍රහ්මරාජයා මා ඉදිරියෙහි පහළ වූයේ ය.
ඔහු මාගේ ප්‍රශ්න විසඳී ය. එය අසා ගිහි වාසයෙහි ඇල්ම නොකරමි.’ ‘ගෝවින්දයෙනි, ඔබ යමක් පවසන්නෙහි ද, භවතාණන්ගේ ඒ වචනය මම විශ්වාස කරමි. මිනිස් නොවන්නෙකුගේ වචනය අසා අන්‍ය වූ ආකාරයකින් කෙසේ පැවැතිය හැක්කේ ද? ඒ අපි ඔබගේ වචනය අනුව පවතින්නෙමු. ගෝවින්දයෙනි, භවත්හු අපගේ ශාස්තෘහු ය. පළුදු නැති, නිර්මල වූ, සොඳුරු වූ වෛරෝඩි මාණික්‍යය යම් සේ ද, එසෙයින් ම ගෝවින්දයන්ගේ අනුශාසනයෙහි පිරිසිදු ව හැසිරෙන්නෙමු.’
“ඉදින් භවත් ගෝවින්දයෝ ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නහු නම් අපි ද ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමු. එකල්හී ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ ද, අපගේ පරලොව ගතිය ද එය වන්නේය.”
ඉක්බිත් භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ ක්ෂත්‍රියයෝ සය දෙනා යම් තැනක සිටියාහු ද, එතැනට පැමිණියේ ය. පැමිණ ඒ ක්ෂත්‍රියයන් සය දෙනාට මෙය පැවසුවේ ය.
“යමෙක් භවතුන් හට රාජ්‍යයෙහි අනුශාසනා කරන්නේ ද, භවත්හු දැන් අන්‍ය පුරෝහිතයෙකු සොයා ගනිත්වා! භවත්නි, මම ගිහි ගෙය අත්හැර අනගාරික ව පැවිදි වෙන්නට කැමති වෙමි. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහිගෙය අත්හැර අනගාරික ව පැවිදි වන්නෙමි.”
ඉක්බිති භවත් දෙවිවරුනි, ඒ ක්ෂත්‍රියයෝ සය දෙනා එක් පසකට බැහැර ව මෙසේ සිතුවාහු ය. ‘මේ බ්‍රාහ්මණයෝ වනාහී ධන ලෝභයෝ ය. අපි මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ධනය දීමෙන් හික්මවා ගන්නෙමු’ යි. ඔවුහු මහා ගෝවින්ද බ්‍රාහ්මණයා වෙත පැමිණ මෙසේ කීවාහු ය.
“භවත, මේ රාජ්‍ය සතෙහි බොහෝ වස්තූහු තිබෙති. භවතුන්ට යම්තාක් දෙයින් ප්‍රයෝජන ඇත් ද, ඒ තාක් ගෙනයනු ලැබේවා!”
“වැඩක් නැත භවත්නි. භවතුන්ගේ ම උදව්වෙන් මා සතුවත් රැස් වූ බොහෝ ධනය ඇත්තේ ය. මම ඒ සියල්ල හැර දමා ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
ඉක්බිති භවත් දෙවිවරුනි, ඒ ක්ෂත්‍රියයෝ සය දෙනා එක් පසකට බැහැර ව මෙසේ සිතුවාහු ය. ‘මේ බ්‍රාහ්මණයෝ වනාහී ස්ත්‍රී ලෝභයෝ ය. අපි මහා ගෝවින්ද බ්‍රාහ්මණයා ස්ත්‍රීන් දීමෙන් හික්මවා ගන්නෙමු’ යි. ඔවුහු මහා ගෝවින්ද බ්‍රාහ්මණයා වෙත එළැඹ මෙසේ කීවාහු ය.
“භවත, මේ සප්ත රාජ්‍යයෙහි බොහෝ ස්ත්‍රීහු සිටිති. භවතුන්ට යම්තාක් ස්ත්‍රීන් අවශ්‍ය වෙයි ද, ඒ තාක් ස්ත්‍රීහු ගෙන යනු ලබත්වා!”
“වැඩක් නැහැ භවත්නි, මා හට ත් එබඳු වූ බිරින්දෑවරුන් සතළිස් දෙනෙක් සිටිති. ඔවුන් හැම ත් අත්හැර මම ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
සචේ භවං ගෝවින්දෝ අගාරස්මා අනගාරියං පබ්බජිස්සති, මයම්පි අගාරස්මා අනගාරියං පබ්බජිස්සාම. අථ යා තේ ගති සා නෝ ගති භවිස්සතීති.
“ඉදින් භවත් ගෝවින්දයෝ ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙත් නම්, අපි ත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එකල්හී ඔබට යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.
‘යමක පෘථග්ජන සත්වයා ඇලී ගියේ ද, ඉදින් ඒ කාමයන් අත්හරිව් නම්, ඉවසීම නම් වූ බලයෙන් යුක්ත ව, දැඩි ලෙස වීරිය අරඹව්.
මේ කරුණා ධ්‍යානය ඍජු මගකි. අනුත්තර මගකි. මෙය බඹලොවෙහි උපත පිණිස සත්පුරුෂයන් විසින් රකින ලද සද්ධර්මය යි.’
“එසේ වී නම් භවත් ගෝවින්දයෝ සත් වසරක් ඉවසත්වා! සත් වසරකින් පසු අපිත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එවිට ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.”
“භවත්නි, සත් වසරක් යනු ඉතා දිගු කලකි. භවතුන් එනතුරු සත් වසරක් බලා සිටින්නට නොහැක්කෙමි. භවත්නි, ජීවිතයේ ස්වභාවය කවරෙක් දනියි ද? පරලොව යා යුත්තේ ය. මෙය නුවණින් තේරුම් ගත යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන් කෙනෙකුට නොමැරීමක් නැත්තේ ය. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
“එසේ වී නම් භවත් ගෝවින්දයෝ සය වසරක් ඉවසත්වා! ….(පෙ)…. පස් වසරක් ඉවසත්වා! ….(පෙ)…. සිව් වසරක් ඉවසත්වා! ….(පෙ)…. තුන් වසරක් ඉවසත්වා! ….(පෙ)…. දෙවසරක් ඉවසත්වා! ….(පෙ)…. එක් වසරක් ඉවසත්වා! එක් වසරකින් පසු අපිත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එවිට ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.”
“භවත්නි, එක් වසරක් යනු ඉතා දිගු කලකි. භවතුන් එනතුරු එක් වසරක් බලා සිටින්නට නොහැක්කෙමි. භවත්නි, ජීවිතයේ ස්වභාවය කවරෙක් දනියි ද? පරලොව යා යුත්තේ ය. මෙය නුවණින් තේරුම් ගත යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන් කෙනෙකුට නොමැරීමක් නැත්තේ ය. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
“එසේ වී නම් භවත් ගෝවින්දයෝ සත් මසක් ඉවසත්වා! සත් මසකින් පසු අපිත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එවිට ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.”
“භවත්නි, සත් මසක් යනු ඉතා දිගු කලකි. භවතුන් එනතුරු සත් මසක් බලා සිටින්නට නොහැක්කෙමි. භවත්නි, ජීවිතයේ ස්වභාවය කවරෙක් දනියි ද? පරලොව යා යුත්තේ ය. මෙය නුවණින් තේරුම් ගත යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන් කෙනෙකුට නොමැරීමක් නැත්තේ ය. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
“එසේ වී නම් භවත් ගෝවින්දයෝ සය මසක් ඉවසත්වා! ….(පෙ)…. පස් මසක් ඉවසත්වා! ….(පෙ)…. සිව් මසක් ඉවසත්වා! ….(පෙ)…. තුන් මසක් ඉවසත්වා! ….(පෙ)…. දෙමසක් ඉවසත්වා! ….(පෙ)…. එක් මසක් ඉවසත්වා! ….(පෙ)…. අඩ මසක් ඉවසත්වා! අඩ මසකින් පසු අපිත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එවිට ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.”
“භවත්නි, අඩ මසක් යනු ඉතා දිගු කලකි. භවතුන් එනතුරු අඩ මසක් බලා සිටින්නට නොහැක්කෙමි. භවත්නි, ජීවිතයේ ස්වභාවය කවරෙක් දනියි ද? පරලොව යා යුත්තේ ය. මෙය නුවණින් තේරුම් ගත යුත්තේ ය. කුසල් කළ යුත්තේ ය. බඹසරෙහි හැසිරිය යුත්තේ ය. උපන් කෙනෙකුට නොමැරීමක් නැත්තේ ය. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
“එසේ වී නම් භවත් ගෝවින්දයෝ යම්තාක් අපි සිය පුතුන්, සොයුරන්ට රාජ්‍යය කරන අයුරු අනුශාසනා කරන්නෙමු ද, ඒ තාක් සත් දිනක් ඉවසත්වා! සත් දිනකින් පසු අපිත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එවිට ඔබගේ යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.”
“භවත්නි, සත් දිනක් යනු දිගු කලක් නොවෙයි. භවතුන් එනතුරු සත් දිනක් බලා සිටින්නෙමි.”
ඉක්බිති භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ මහාසාර බ්‍රාහ්මණයන් සත් දෙනා ත්, බ්‍රාහ්මණ සිසුන් සත්සිය දෙනා ත්, යම්තැනක සිටියාහු ද, එහි එළැඹියාහු ය. එළැඹ මහාසාර බ්‍රාහ්මණයන් සත් දෙනාටත් බ්‍රාහ්මණ සිසුන් සත්සිය දෙනාට ත් මෙසේ පැවසුවේ ය.
“යමෙක් භවතුන් හට මන්ත්‍ර හදාරවන්නේ ද, භවත්හු දැන් අන්‍ය වූ ආචාර්යවරයෙකු සොයා ගනිත්වා! භවත්නි, මම ගිහි ගෙය අත්හැර අනගාරික ව පැවිදි වෙන්නට කැමති වෙමි. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
“භවත් ගෝවින්දයෝ ගිහි ජීවිතය අත්හැර අනගාරික ව පැවිදි වෙන්නට එපා! භවත පැවිද්ද යනු ස්වල්ප ආනුභාව ඇති, ස්වල්ප ලාභ ඇති දෙයකි. බ්‍රාහ්මණ බව යනු මහා ආනුභාව ඇති, මහා ලාභ ඇති දෙයකි.”
“භවත්නි, එසේ පවසන්නට එපා. පැවිද්ද අල්ප ආනුභාව ඇති බව ත්, අල්ප ලාභ ඇති බව ත්, බමුණු බව මහත් ආනුභාව ඇති බව ත්, මහත් ලාභ ඇති බව ත් පවසන්නට එපා. භවත්නි, මා හැරුණු කොට මහේශාක්‍ය වූ මහා ලාභ ඇත්තා වූ ත් අන් කවරෙක් සිටියි ද? භවත්නි, මම මෙකල්හී රජුන්ට රජෙකු බඳු ය. බ්‍රාහ්මණයන්ට බ්‍රහ්මයා බඳු ය. ගිහියන්ට දෙවියෙකු බඳු ව සිටිමි. මම ඒ සියල්ල අත්හැර ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
“ඉදින් භවත් ගෝවින්දයෝ ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙත් නම්, අපි ත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එකල්හී ඔබට යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.”
ඉතින් භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ සමාන බිරින්දෑ වරුන් සතළිස් දෙනා වෙත එළැඹියේ ය. එළැඹ ඔවුන්ට මෙය පැවසුවේ ය.
“භවතියන් අතුරෙන් යම් තැනැත්තියක් සිය ඥාති නිවෙස්වලට යන්නට කැමති වන්නී නම් එහි යාවා! අන්‍ය වූ සැමියෙකු හෝ සොයා ගනීවා! භවතියෙනි, මම ගිහි ගෙය අත්හැර අනගාරික ව පැවිදි වෙන්නට කැමති වෙමි. යම් සේ බ්‍රහ්මරාජයාගේ වචනයන් අතර ආමගන්ධය පිළිබඳ ව පවසන කරුණ මා විසින් අසන ලද්දේ ද, ඒ ක්ලේශයෝ ගිහි ගෙයි වසන්නෙකු විසින් පහසුවෙන් මැඩලිය නොහැකි වෙති. භවත්නි, මම ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නෙමි.”
“ඥාතීන් කැමති වන අපට ඔබ ම ඥාතියාණෝ ය. සැමියන් කැමති වන අපට ඔබ ම සැමියාණෝ ය. ඉදින් භවත් ගෝවින්දයෝ ගිහිගෙයින් නික්ම අනගාරික ව පැවිදි වන්නාහු නම්, අපි ත් ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වෙන්නෙමු. එකල්හී ඔබට යම් පරලොව ගතියක් වන්නේ ද, ඒ පරලොව ගතිය අපට ද වන්නේ ය.”
ඉතින් භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ ඒ සත් දවස ඇවෑමෙන් කෙස් රැවුල් බහා කසට පෙවූ වස්ත්‍ර පොරොවා ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වූයේ ය. පැවිදි වූ මහා ගෝවින්ද බ්‍රාහ්මණයා අනුව ඔටුනු පළන් ක්ෂත්‍රිය රජවරු සත් දෙනා ද, මහාසාර බ්‍රාහ්මණයෝ සත් දෙනා ද, සත්සියයක් බ්‍රාහ්මණයෝ ද, සමාන බිරින්දෑවරුන් සතළිස් දෙනා ද, නොයෙක් දහස් ගණන් ක්ෂත්‍රියයෝ ද, නොයෙක් දහස් ගණන් බ්‍රාහ්මණයෝ ද, නොයෙක් දහස් ගණන් ගෘහපතීහු ද, අන්තඃපුරයෙහි නොයෙක් ස්ත්‍රීහු ද කෙස් රැවුල් බහා කසට පෙවූ වස්ත්‍ර පොරොවා මහා ගෝවින්ද බ්‍රාහ්මණයා අනුව ගිහි ගෙයින් නික්ම අනගාරික ව පැවිදි වූවාහු ය.
භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණයා එබඳු වූ මහත් පිරිසක් පිරිවරා ගෙන ගම්, නියම්ගම්, රාජධානිවල චාරිකාවෙහි හැසිරෙයි. භවත් දෙවිවරුනි, එසමයෙහි මහා ගෝවින්ද බ්‍රාහ්මණයා යම් ගමකට හෝ නියම් ගමකට හෝ එළැඹෙයි ද, එහිදී ඔහු රජුන්ට රජෙක් බඳු වෙයි. බ්‍රාහ්මණයන්ට බ්‍රහ්මයා බඳු වෙයි. ගෘහපතියන්ට දෙවියෙක් බඳු වෙයි.
එසමයෙහි මිනිස්සු කිවිසුම් හරිත් ද, කිසිවක වැදී හැපෙත් ද, එවිට ඔවුහු මෙසේ කියත්. ‘මහා ගෝවින්ද බ්‍රාහ්මණයාට නමස්කාර වේවා! සත් රජුන්ගේ පුරෝහිතයන් වහන්සේට නමස්කාර වේවා!’
භවත් දෙවිවරුනි, මහා ගෝවින්ද බ්‍රාහ්මණ තෙමේ මෛත්‍රී සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළේ ය. එසේ ම දෙවෙනි දිශාවට ත්, එසේ ම තුන්වෙනි දිශාවටත්, එසේ ම සතරවෙනි දිශාවට ත්, එසේ ම උඩ – යට – සරසට ත් සියළු අයුරින්, සියළු සතුන් කෙරෙහි තමා හා සමකොට, සියළු ලෝකයට විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, ව්‍යාපාද රහිත වූ මෛත්‍රී සහගත සිත පතුරුවා වාසය කළේ ය. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළේ ය. එසේ ම දෙවෙනි දිශාවට ත්, එසේ ම තුන්වෙනි දිශාවටත්, එසේ ම සතරවෙනි දිශාවට ත්, එසේ ම උඩ – යට – සරසට ත් සියළු අයුරින්, සියළු සතුන් කෙරෙහි තමා හා සමකොට, සියළු ලෝකයට විපුල වූ, මහත්ගත වූ, අප්‍රමාණ වූ, අවෛරී වූ, ව්‍යාපාද රහිත වූ උපේක්ෂා සහගත සිත පතුරුවා වාසය කළේ ය. ශ්‍රාවකයන්ට ද බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස මාර්ගය දේශනා කළේ ය.
භවත් දෙවිවරුනි, එසමයෙහි මහා ගෝවින්ද බ්‍රාහ්මණයාගේ ශ්‍රාවකයෝ එම සසුනෙහි සියල්ල සියළු අයුරින් දැනගත්තාහු ද, ඔවුහු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත බඹලොවෙහි උපන්නාහු ය. යම් කෙනෙක් එම සසුනෙහි සියල්ල සියළු අයුරින් නොදැනගත්තාහු ද, ඔවුහු කය බිඳී මරණින් මතු ඇතැම් කෙනෙක් පරනිම්මිත වසවත්තී දෙවියන් අතර උපන්නාහු ය. ඇතැම් කෙනෙක් නිම්මාණරතී දෙවියන් අතර උපන්නාහු ය. ඇතැම් කෙනෙක් තුසිත දෙවියන් අතර උපන්නාහු ය. ඇතැම් කෙනෙක් යාම දෙවියන් අතර උපන්නාහු ය. ඇතැම් කෙනෙක් තව්තිසා දෙවියන් අතර උපන්නාහු ය. ඇතැම් කෙනෙක් චාතුම්මහාරාජික දෙවියන් අතර උපන්නාහු ය. යම් කෙනෙක් සියල්ලට පහත් දෙව්ලොව උපන්නාහු ද, ඔවුහු ගාන්ධර්ව දෙව් කුලයෙහි උපන්නාහ.
මෙසේ ඒ සියළුම කුලපුත්‍රයන්ගේ පැවිද්ද හිස් නොවීය. වඳ නොවීය. ඵල සහිත වූයේ ය. දියුණුව සහිත වූයේ ය” යි සනංකුමාර බ්‍රහ්ම රාජයා ඒ දෙව් පිරිසට මේ මහා ගෝවින්ද බ්‍රාහ්මණ ප්‍රවෘත්තිය පැවසුවේ ය.
භාග්‍යවතුන් වහන්සේ තමන්වහන්සේගේ පූර්වයෙහි වූ ගෝවින්ද බ්‍රාහ්මණ ජීවිතය සිහි කරන සේක් ද?”
“පඤ්චසිඛයෙනි, මම සිහි කරමි. එසමයෙහි මහා ගෝවින්ද බ්‍රාහ්මණ ව සිටියේ මම ය. ඒ ශ්‍රාවකයන් හට බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නට මාර්ගය දෙසුවේ මම ය. පඤ්චසිඛයෙනි, මාගේ ඒ බඹලොවට යන බඹසර වනාහී සසර කලකිරීම පිණිස හේතු නොවූයේ ය. සසර නොඇල්ම පිණිස හේතු නොවූයේ ය. කෙලෙස් නැසීම පිණිස හේතු නොවූයේ ය. කෙලෙස් සංසිඳවීම පිණිස හේතු නොවූයේ ය. විශිෂ්ට ඥානය පිණිස හේතු නොවූයේ ය. චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හේතු නොවූයේ ය. නිවන පිණිස හේතු නොවූයේ ය. හුදෙක් බ්‍රහ්ම ලෝකයෙහි ඉපදීම පිණිස ම හේතු වූයේ ය.
පඤ්චසිඛයෙනි, මාගේ මේ නිවනට යන බඹසර වනාහී ඒකාන්තයෙන් සසර කලකිරීම පිණිස හේතු වෙයි. සසර නොඇල්ම පිණිස හේතු වෙයි. කෙලෙස් නැසීම පිණිස හේතු වෙයි. කෙලෙස් සංසිඳවීම පිණිස හේතු වෙයි. විශිෂ්ට ඥානය පිණිස හේතු වෙයි. චතුරාර්ය සත්‍යාවබෝධය පිණිස හේතු වෙයි. නිවන පිණිස හේතු වෙයි. පඤ්චසිඛයෙනි, ඒකාන්ත කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිවන පිණිස පවතින බඹසර කුමක් ද? ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පමණි. එනම්; සම්මා දිට්ඨිය ය, සම්මා සංකල්ප ය, සම්මා වාචා ය, සම්මා කම්මන්ත ය, සම්මා ආජීව ය, සම්මා වායාම ය, සම්මා සති ය, සම්මා සමාධිය ය. පඤ්චසිඛයෙනි, මේ බඹසර වනාහී ඒකාන්තයෙන් කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, සංසිඳීම පිණිස, විශිෂ්ට ඥානය පිණිස, සත්‍යාවබෝධය පිණිස, නිවන පිණිස හේතුවෙයි.
පඤ්චසිඛයෙනි, මාගේ යම් ශ්‍රාවක කෙනෙක් සියළු සසුන් බඹසර සියළු අයුරින් දැනගනිත් ද, ඔවුහු ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කරයි.
යම් ශ්‍රාවක කෙනෙක් සියළු සසුන් බඹසර සියළු අයුරින් නොදනිත් ද, ඔවුහු ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොවෙහි ඕපපාතික ව ඉපිද, ඒ ලොවෙන් ආපසු කාම ලොවට නොවැටෙන සුළු ව, එහි ම පිරිනිවන්පාන සුළු වූවාහු වෙති.
යම් ශ්‍රාවක කෙනෙක් සියළු සසුන් බඹසර සියළු අයුරින් නොදනිත් ද, ඇතැම් කෙනෙක් තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, රාග – ද්වේෂ – මෝහයන්ගේ තුනී වීමෙන් එක් වරක් පමණක් මෙලොවට පැමිණ දුක් කෙළවර කරන්නාහු සකදාගාමී වූවාහු වෙති.
යම් ශ්‍රාවක කෙනෙක් සියළු සසුන් බඹසර සියළු අයුරින් නොදනිත් ද, ඇතැම් කෙනෙක්, තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන්, අපායෙන් මිදී නියත වශයෙන් නිවන අවබෝධ කරන සුළු ව සෝවාන් වූවාහු වෙති.
මෙසේ පඤ්චසිඛයෙනි, මේ සියළු ම කුලපුත්‍රයන්ගේ පැවිද්ද හිස් නොවෙයි. වඳ නොවෙයි. ඵල සහිත වෙයි. දියුණුව සහිත වෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගෙන අනුමෝදන් වී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට එහි ම නොපෙනී ගියේ ය.
සාදු! සාදු!! සාදු!!!
මහා ගෝවින්ද සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M