2.1.4.1
සැවැත් නුවර දී …………..
33. පින්වත් මහණෙනි, ඔබට අසත්පුරුෂ භූමියත්, සත්පුරුෂ භූමියත් දේශනා කරන්නම්. එය අසන්න. හොඳට සිහි කරන්න. කියා දෙන්නම්. ‘එසේය, ස්වාමීනී’ කියල ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා.
පින්වත් මහණෙනි, අසත්පුරුෂ භූමිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, අසත්පුරුෂයා අකෘතඥයි. කෙළෙහි ගුණ සිහි කිරීමට නොදනී. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහි ගුණ නොදන්නා බවක් ඇද්ද, කෙළෙහි ගුණ සිහි කිරීමට නොතේරෙන බවක් ඇද්ද, මෙය පසසන්නේ අසත්පුරුෂයන් විසින්මයි. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහි ගුණ නොදන්නා බවක් ඇද්ද, කෙළෙහි ගුණ සිහි කිරීමට නොතේරෙන බවක් ඇද්ද, මෙය වනාහී සම්පූර්ණ අසත්පුරුෂ භූමියයි.
පින්වත් මහණෙනි, සත්පුරුෂ භූමිය යනු කුමක්ද? පින්වත් මහණෙනි, සත්පුරුෂයා කෘතඥයි. කෙළෙහි ගුණ සිහි කිරීමට දනී. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහි ගුණ දන්නා බවක් ඇද්ද, කෙළෙහි ගුණ සිහි කිරීමට තේරෙන බවක් ඇද්ද, මෙය පසසන්නේ සත්පුරුෂයන් විසින්මයි. පින්වත් මහණෙනි, යම් මේ කෙළෙහි ගුණ දන්නා බවක් ඇද්ද, කෙළෙහි ගුණ සිහි කිරීමට තේරෙන බවක් ඇද්ද, මෙය වනාහී සම්පූර්ණ සත්පුරුෂ භූමියයි.
2.1.4.2
33. පින්වත් මහණෙනි, මෑණියන් හා පියාණන් යන දෙදෙනා හට ප්‍රත්‍යුපකාර කොට අවසන් කොට ලෙහෙසියෙන් කළ නොහැකි බවයි මා කියන්නේ. පින්වත් මහණෙනි, සියයක් අවුරුදු ආයුෂ තියෙන කෙනෙක් අවුරුදු සියයක් ජීවත් වෙමින් එක් උරයක මව තබා ගෙන රකිනවා. අනෙක් උරයෙහි පියාව තබාගෙන රකිනවා. ඉතින් ඔහු ඒ මව්පියන් ගේ ශරීරයන් සුවඳ සුණු ඉලීමෙන්ද, අත් පා ආදිය පිරිමැදීමෙන්ද, සිහිල් පැන්, උණු පැන් ආදියෙන් නෑවීමෙන්ද, අත් පා මඩිමින්ද උපස්ථාන කරනවා. ඒ මව්පියනුත් ඒ උරයේම ඉඳගෙනමයි මළ මුත්‍ර පහකරන්නේ. පින්වත් මහණෙනි, මේ විදිහට සළකලාවත්, මව්පියන්ට උපකාර කළා වෙන්නේ නෑ. ප්‍රත්‍යුපකාර කළා වෙන්නෙත් නෑ.
පින්වත් මහණෙනි, බොහෝ වූ සප්ත මාණික්‍යයන් ඇති මේ මහ පොළොව මත කෙනෙක් මව්පියන්ව සක්විති රජකමෙහි පිහිටුවන නමුත් මේ තරමිනුත් මව්පියන්ට උපකාර කළා වෙන්නෙ නෑ. ප්‍රත්‍යුපකාර කළා වෙන්නෙත් නෑ. ඒකට හේතුව කුමක්ද? පින්වත් මහණෙනි, මව්පියන් වනාහී දරුවන් හට බොහෝ සේ උපකාරකයි. දරුවන්ව වඩනවා. පෝෂණය කරනවා. මේ ලෝකය හඳුන්වා දෙනවා.
එනමුත් පින්වත් මහණෙනි, යම් කෙනෙක් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව නැති මව්පියන්ව ශ්‍රද්ධාවෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, දුස්සීල වූ මව්පියන්ව සීල සම්පත්තියෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, මසුරු වූ මව්පියන්ව පරිත්‍යාගයෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, ප්‍රඥාව නැති මව්පියන්ව ප්‍රඥාවෙහි සමාදන් කරවනවා නම්, ඇතුළත් කරවනවා නම්, පිහිටුවනවා නම්, පින්වත් මහණෙනි, මේ තරමෙන්ම මව්පියන්ට සැළකුවා වෙනවා. කළ ගුණ සැළකුවා වෙනවා. අතිශයින්ම සැළකුවා වෙනවා.
2.1.4.3
34. එදා එක්තරා බ්‍රාහ්මණයෙක් භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු සාමීචි කතා කළා. ….(පෙ)…. එකත්පස්ව වාඩි වුන ඒ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයන් වහන්සේ මොන වගේ මතයක් දරන කෙනෙක්ද? මොන වගේ දෙයක්ද ප්‍රකාශ කරන්නේ?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් බ්‍රාහ්මණය, මම් වනාහී ක්‍රියාව ගැනත් කතා කරන (ක්‍රියාවාදී) කෙනෙක්. ක්‍රියා නොකිරීම ගැනත් කතා කරන (අකිරියවාදී) කෙනෙක්.”
(බ්‍රාහ්මණයා) :
“කොයි විදිහට ද පින්වත් ගෞතමයන් වහන්සේ, ක්‍රියාව ගැනත් කතා කරන කෙනෙක් (ක්‍රියාවාදී) වෙන්නෙත්, ක්‍රියා නොකිරීම ගැනත් කතා කරන කෙනෙක් (අකිරියවාදී) වෙන්නෙත්?”
(භාග්‍යවතුන් වහන්සේ) :
“පින්වත් බ්‍රාහ්මණය, මා කාය දුසිරිත ගැනත්, වචී දුසිරිත ගැනත්, මනෝ දුසිරිත ගැනත් නොකිරීමට තමයි දේශනා කරන්නේ. නොයෙක් පාපී වූ අකුසල් නොකිරීමමයි මා දේශනා කරන්නේ. පින්වත් බ්‍රාහ්මණය, මා කාය සුසිරිත ගැනත්, වචී සුසිරිත ගැනත්, මනෝ සුසිරිත ගැනත් කිරීම ම තමයි දේශනා කරන්නේ. නොයෙක් කුසල් දහම් කිරීම ම තමයි දේශනා කරන්නේ. පින්වත් බ්‍රාහ්මණය, ඔන්න ඔය විදිහට මා කිරීම ගැන කියන කෙනෙක් වෙනවා (ක්‍රියාවාදී), නොකිරීම ගැනත් කියන කෙනෙක් වෙනවා (අකිරියවාදී).”
(බ්‍රාහ්මණයා) :
“භවත් ගෞතමයන් වහන්ස, ඉතා මනහරයි! ….(පෙ)…. පින්වත් ගෞතමයන් වහන්ස, අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට මාව පිළිගන්නා සේක්වා!”
2.1.4.4
35. එකල්හි අනාථපිණ්ඩික ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේ බැහැදකින්නට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන අනාථපිණ්ඩික ගෘහපතිතුමා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණය කිව්වා. “ස්වාමීනී, දන් පිළිගැනීමට සුදුසු උතුමන් කී දෙනෙක් ලෝකයෙහි ඉන්නවාද? දන් දිය යුත්තේ කොතැනටද?”
“පින්වත් ගෘහපතිය, දන් පිළිගැනීමට සුදුසු අය දෙදෙනෙක් ලෝකයෙහි ඉන්නවා. සේඛ (නිවන් මාර්ගයේ හික්මෙන) පුද්ගලයාත්, අසේඛ (අරහත්) පුද්ගලයාත්ය. පින්වත් ගෘහපතිය, මේ තමයි ලෝකයෙහි දන් පිළිගැනීමට සුදුසු දෙන්නා. දන් දිය යුත්තේද ඔවුන් කෙරෙහිය. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ මේ විදිහටත් වදාළා.
“මේ ලෝකයෙහි නිවන් මග හික්මෙන්නා වූ සේඛ ශ්‍රාවකයන් ඉන්නවා. ඒ වගේම නිවන් මග සම්පූර්ණ කොට අරහත් වූ අසේඛ ශ්‍රාවකයිනුත් ඉන්නවා. දන් දෙන පින්වතුන් හට, දුර සිට පවා ගෙනවුත් දන් පැන් පිදීමට සුදුසු වන්නේ මේ ශ්‍රාවකයින්ය. ඔවුන් කයිනුත් වචනයෙනුත් එමෙන්ම මනසිනුත් ඍජු ගතිගුණවලින් යුක්තයි. දන් දෙන පින්වතුන් හට පින් කෙත වන්නේ එයමයි. ඔවුන් කෙරෙහි දෙන දානය මහත්ඵල ලබාදෙයි.
2.1.4.5
36. මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටියේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයේ. ඒ දිනවල ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩවාසය කළා. එදා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ආයුෂ්මත් මහණෙනි” කියා භික්ෂූන් වහන්සේලා අමතා වදාළා. ඒ භික්ෂූන් වහන්සේලා “ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස” කියා ආයුෂ්මත් සැරියුත් තෙරුන් හට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා.
“ප්‍රිය ආයුෂ්මතුනි, ආධ්‍යාත්මයෙහි කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයාත්, කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති පුද්ගලයාත් ගැන දේශනා කරන්නම්. එය අසන්න. හොඳින් සිහි කරන්න. කියා දෙන්නම්.” “එසේය, ප්‍රිය ආයුෂ්මතුනි” කියා ඒ භික්ෂූන් වහන්සේලාද ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන් හට පිළිතුරු දුන්නා. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම දෙසුම වදාළා.
“ප්‍රිය ආයුෂ්මතුනි, ආධ්‍යාත්මයෙහි කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා යනු කවරහුද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා සිල්වත් භික්ෂුවක් ඉන්නවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙනුත් සංවර වෙලා වාසය කරනවා. යහපත් ඇවතුම් පැවැතුම්වලින් යුක්තයි. ඉතා කුඩා වරදෙහි පවා භය දකිනවා. ශික්ෂා පද සමාදන්ව ගෞරවයෙන් ආරක්ෂා කරගෙන, ඒවායෙහි හික්මෙනවා. ඉතින් ඔහු කය බිඳී මරණින් මතු එක්තරා දේව කොටසක උපදිනවා. ඔහු එයින් චුත වෙලා ආපසු මේ ලෝකයට එන ආගාමී කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, මොහුට තමයි ආපසු මේ ලෝකයට එන ආගාමී වූ ආධ්‍යාත්මයෙහි කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා කියල කියන්නෙ.
ප්‍රිය ආයුෂ්මතුනි, කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති පුද්ගලයා කවරහුද? ප්‍රිය ආයුෂ්මතුනි, මෙහිලා සිල්වත් භික්ෂුවක් ඉන්නවා. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙනුත් සංවර වෙලා වාසය කරනවා. යහපත් ඇවතුම් පැවැතුම්වලින් යුක්තයි. ඉතා කුඩා වරදහෙි පවා භය දකිනවා. ශික්ෂාපද සමාදන්ව ගෞරවයෙන් ආරක්ෂා කරගෙන, ඒවායෙහි හික්මෙනවා. ඔහු එක්තරා ශාන්ත වූ චිත්ත විමුක්තියකුත් ලබාගෙන වාසය කරනවා. ඔහු කය බිඳී මරණින් මතු එක්තරා දේව කොටසක උපදිනවා. නමුත් ඔහු ඒ ලොවින් චුත වෙලා ආපසු මෙලොවට එන්නේ නැති අනාගාමී කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, මොහුට තමයි ආපසු මෙලොවට නොඑන, බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති අනාගාමී පුද්ගලයා කියල කියන්නේ.
ඒ ගැන තවදුරටත් කියනවා නම්, ප්‍රිය ආයුෂ්මතුන් වහන්ස, මෙහිලා සිල්වත් භික්ෂුවක් ඉන්නවා. ….(පෙ)…. ශික්ෂාපද ගෞරවයෙන් ආරක්ෂා කරගෙන, ඒවායේ හික්මෙනවා. ඔහු කාමයන් ගැනම කළකිරීම පිණිස, නොඇලීම පිණිස, නිදහස් වීම පිණිස ඒ ප්‍රතිපදාවට පැමිණ ඉන්නවා. ඔහු මේ (තුන් ආකාර) භවයන්ගේත් කළකිරීම පිණිස, නොඇල්ම පිණිස, නිදහස් වීම පිණිස ඒ ප්‍රතිපදාවට පැමිණ ඉන්නවා. ඔහු තණ්හාව නැතිකිරීමට පැමිණ ඉන්නවා. ලෝභය නැතිකිරීමට පැමිණ ඉන්නවා. ඔහු කය බිඳී මරණින් මතු එක්තරා දේව කොටසක උපදිනවා. ඔහු ඒ ලොවින් චුත වෙලා නැවත මේ භවයට නොඑන අනාගාමී කෙනෙක් වෙනවා. ප්‍රිය ආයුෂ්මතුනි, මොහුට තමයි නැවත මෙලොවට නොඑන බැහැරට ගිය කෙලෙස් බන්ධන ඇති අනාගාමී පුද්ගලයා කියල කියන්නේ.”
එකල්හි සමසිත් ඇති දෙවිවරු බොහෝ දෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයට පැමිණියා. පැමිණ භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. එකත්පස් ව සිටගත් ඒ දෙවිවරු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.
“ස්වාමීනී, මේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩසිටිමින්, භික්ෂූන්ට ආධ්‍යාත්මයෙහි කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැනත්, කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැනත්, දේශනා කරනවා. ස්වාමීනී, ඒ දේශනාව ගැන පිරිසටත් සතුටුයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටින තැනට වැඩම කරන සේක් නම් කොයි තරම් හොඳද?” භාග්‍යවතුන් වහන්සේ එය නිහඬව ඉවසා වදාළා.
ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගහරින වේගයෙන්, දික්කළ අතක් හකුලන වේගයෙන්, ජේතවනාරාමයෙන් අතුරුදහන් වුනා. පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයෙහි සිටි ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඉදිරියේ පහළ වුනා. භාග්‍යවතුන් වහන්සේ එහි පණවන ලද ආසනයෙහි වැඩසිටියා. ඉක්බිති ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේත් භාග්‍යවතුන් වහන්සේට වන්දනා කොට, එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ආයුෂ්මත් සාරිපුත්ත තෙරුන්ට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා.
“පින්වත් සාරිපුත්ත මෙහි මේ සමසිත් ඇති දෙවිවරු බොහෝ දෙනෙක් මා වැඩසිටි තැනට පැමිණුනා. පැමිණ මට වන්දනා කොට එකත්පස්ව සිටගත්තා. පින්වත් සාරිපුත්ත, එකත්පස්ව සිටගත් ඒ දෙවිවරු මට මේ විදිහට කිව්වා.
‘ස්වාමීනී, මේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ පූර්වාරාමය නම් වූ මිගාරමාතු ප්‍රාසාදයේ වැඩසිටිමින්, භික්ෂූන්ට ආධ්‍යාත්මයෙහි කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැනත්, කාම ලෝකයෙන් බැහැරට ගිය කෙලෙස් බන්ධන තිබෙන පුද්ගලයා ගැනත්, දේශනා කරනවා. ස්වාමීනී, ඒ දේශනාව ගැන පිරිසටත් සතුටුයි. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අනුකම්පාව උපදවා ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ වැඩසිටින තැනට වැඩම කරන සේක් නම් කොයි තරම් හොඳද?’ කියලා. පින්වත් සාරිපුත්ත, ඒ දෙවිවරු දහ දෙනෙක් වෙලත්, විසි දෙනෙක් වෙලත්, තිස් දෙනෙක් වෙලත්, හතළිස් දෙනෙක් වෙලත්, පණස් දෙනෙක් වෙලත්, හැට දෙනෙක් වෙලත්, එකම ඉඳිකටු තුඩක් වදින ප්‍රමාණයේ ඉඩකඩ තුළත් ඉන්නවා. ඒත්, එක්කෙනෙක් තව කෙනෙකුව කිසි කරදරයකට පත් කරන්නේ නැහැ.
පින්වත් සාරිපුත්ත, ඔබට මේ විදිහට සිතෙන්නට පුළුවනි. ඒ දෙවිවරු යම් විදිහකින් දහ දෙනෙක් වෙලත්, විසි දෙනෙක් වෙලත්, තිස් දෙනෙක් වෙලත්, හතළිස් දෙනෙක් වෙලත්, පණස් දෙනෙක් වෙලත්, හැට දෙනෙක් වෙලත්, එක ම ඉඳිකටු තුඩක් වදින ප්‍රමාණයේ ඉඩකඩ තුළත් ඉන්නවා. ඒත්, එක්කෙනෙක් තව කෙනෙකුව කිසි කරදරයකට පත් කරන්නේ නැහැ. ඉතින් ඔය දෙවිවරු ඒ විදිහට සිත වැඩුවේ ඒ දෙව්ලොවදී වෙන්න ඇති කියලා.
පින්වත් සාරිපුත්ත, ඒ කාරණය ඒ විදිහට නොවෙයි දැනගත යුත්තේ. පින්වත් සාරිපුත්ත, ඒ දෙවිවරු යම් විදිහකින් දහ දෙනෙක් වෙලත්, විසි දෙනෙක් වෙලත්, තිස් දෙනෙක් වෙලත්, හතළිස් දෙනෙක් වෙලත්, පනස් දෙනෙක් වෙලත්, හැට දෙනෙක් වෙලත්, එක ම ඉඳිකටු තුඩක් වදින ප්‍රමාණයේ ඉඩකඩ තුළත් ඉන්නවා. ඒත්, එක්කෙනෙක් තව කෙනෙකුව කිසි කරදරයකට පත් කරන්නේ නැහැ. ඉතින් ඔය දෙවිවරු මෙතැනදීම තමයි ඒ විදිහට සිත වැඩුවේ.
ඒ නිසා පින්වත් සාරිපුත්ත, මෙන්න මේ විදිහටයි හික්මිය යුත්තේ. ‘ශාන්ත වූ ඉන්ද්‍රියයන් ඇතුව, ශාන්ත වූ සිතකින් යුතුව ඉන්නවා’ කියල. පින්වත් සාරිපුත්ත, ඔය විදිහටමයි ඔබ විසින් හික්මිය යුත්තේ. පින්වත් සාරිපුත්ත, ‘ශාන්ත වූ ඉන්ද්‍රියයන් ඇති, ශාන්ත වූ සිත් ඇති ඔබගේ කාය කර්මයත් ශාන්ත වෙනවා. වචී කර්මයත් ශාන්ත වෙනවා. මනෝ කර්මයත් ශාන්ත වෙනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේලාට ශාන්ත වූ උපහාරයක් කරන්නෙමු’ යි කියලා. පින්වත් සාරිපුත්ත මෙන්න මේ විදිහටමයි හික්මිය යුත්තේ.
පින්වත් සාරිපුත්ත, යමෙක් මේ ධර්ම දේශනාව ඇසුවේ නැත්නම්, ඒ අන්‍යාගමික මිත්‍යා දෘෂ්ටිකයන් නැතිවුනා වගේ තමයි.
2.1.4.6
37. ඒ දවස්වල ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් වරණායේ කද්දමදහතීරයේ තමයි වාසය කළේ. එදා ආරාමදණ්ඩ බ්‍රාහ්මණයා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් ළඟට පැමිණියා. පැමිණ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු, සිහි කළ යුතු පිළිසඳර කතා බහ අවසන් කොට, එකත්පස්ව වාඩි වුනා. එකත්පස්ව වාඩි වුන ආරාමදණ්ඩ බ්‍රාහ්මණයා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට මේ විදිහට කිව්වා.
“පින්වත් කච්චානයන් වහන්ස, යම් කරුණකින් ක්ෂත්‍රියවරු ක්ෂත්‍රියවරුන් සමඟ වාද විවාද කරගන්නවා නම්, බ්‍රාහ්මණයින් බ්‍රාහ්මණයින් සමඟ වාද විවාද කරගන්නවා නම්, ගෘහපතියන් ගෘහපතියන් සමඟ වාද විවාද කරගන්නවා නම්, මෙයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”
(මහා කච්චාන තෙරුන්)
“පින්වත් බ්‍රාහ්මණය, කාම රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේ හේතුව නිසා තමයි ඔය ක්ෂත්‍රියවරු ක්ෂත්‍රියවරුන් සමඟ වාද විවාද කරගන්නෙ. බ්‍රාහ්මණයින් බ්‍රාහ්මණයින් සමඟ වාද විවාද කරන්ගන්නෙ. ගෘහපතියන් ගෘහපතියන් සමඟ වාද විවාද කරගන්නෙ.”
(ආරාමදණ්ඩ බ්‍රාහ්මණයා)
“පින්වත් කච්චානයන් වහන්ස, යම් කරුණකින් ශ්‍රමණයෝත් ශ්‍රමණයන් සමඟ වාද විවාද කරගන්නවා නම්, එයට හේතුව කුමක්ද? කාරණය කුමක්ද?”
(මහා කච්චාන තෙරුන්)
“පින්වත් බ්‍රාහ්මණය, දෘෂ්ටි රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේ හේතුව නිසයි ශ්‍රමණයෝ ශ්‍රමණයන් එක්ක වාද විවාද කරගන්නෙ.”
(ආරාමදණ්ඩ බ්‍රාහ්මණයා)
“පින්වත් කච්චානයන් වහන්ස, කාම රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය, දෘෂ්ටි රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය කෙනෙක් මේ ලෝකයේ ඉන්නවාද?”
(මහා කච්චාන තෙරුන්)
“පින්වත් බ්‍රාහ්මණය, කාම රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය, දෘෂ්ටි රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය කෙනෙක් මේ ලෝකයේ ඉන්නවා.”
(ආරාමදණ්ඩ බ්‍රාහ්මණයා)
“පින්වත් කච්චානයන් වහන්ස, ඇත්තටම කවුද ඒ මේ ලෝකයේ කාම රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය, දෘෂ්ටි රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය කෙනා?”
(මහා කච්චාන තෙරුන්)
“පින්වත් බ්‍රාහ්මණය, පෙරදිග ජනපදවල ‘සැවැත් නුවර’ කියලා නගරයක් තියෙනවා. එහෙ තමයි ඒ භාග්‍යවත් අරහත් සම්මාසම්බුද්ධ වූ භාග්‍යවතුන් වහන්සේ මේ දිනවල වැඩඉන්නේ. පින්වත් බ්‍රාහ්මණය, ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වනාහී කාම රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය සේක් මැයි. දෘෂ්ටිරාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය සේක් මැයි.”
මෙසේ පැවසුවාට පසු ආරාමදණ්ඩ බ්‍රාහ්මණයා වාඩි වී සිටි තැනින් නැගිට්ටා. තමන්ගේ උතුරු සළුව ඒකාංශ කොට පොරවා ගත්තා. දකුණු දණහිස පොළොවේ තබා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින දිශාවට දෙඅත් එකතු කරගෙන වැඳගෙන තුන් වතාවක් මේ විදිහට ප්‍රීතිය ප්‍රකාශ කළා. “යම් ඒ භාග්‍යවතුන් වහන්සේ නමක් කාම රාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය සේක් නම්, දෘෂ්ටිරාගය තුළටම වැදී සිටීමත්, එයටම දැඩි ලෙස බැඳී සිටීමත්, එහිම මුළුමනින්ම එරී සිටීමත්, එයටම යටත් වී සිටීමත්, එහිම ගැලී සිටීමත් කියන මේවාත් ඉක්මවා ගිය සේක් නම්, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!” කියලා.
“පින්වත් කච්චානයන් වහන්ස, ඉතා මනහරයි! ….(පෙ)…. පින්වත් කච්චානයන් වහන්ස, ඒක හරියට මෙන්න මේ වගෙයි. යටිකුරු කරලා තිබුණු දෙයක් උඩුකුරු කළා වගේ. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුලා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වා ගෙන දරා සිටිනවා වගෙයි. අන්න ඒ විදිහටම පින්වත් කච්චානයන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. පින්වත් කච්චානයන් වහන්ස, ඒ මම භාග්‍යවතුන් වහන්සේ වත් සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. පින්වත් කච්චානයන් වහන්ස, අද ඉඳන් මාව දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා!”
2.1.4.7
38. ඒ දිනවල ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ වැඩසිටියේ මධුරා නුවර ගුන්දාවනයේ. එදා කණ්ඩරායණ බ්‍රාහ්මණයා ආයුෂ්මත් මහා කච්චානයන් වහන්සේ වැඩසිටින තැනට පැමිණියා. පැමිණ ආයුෂ්මත් මහා කච්චාන තෙරුන් සමඟ සතුටු වුනා. ….(පෙ)…. එකත්පස්ව වාඩි වුන කණ්ඩරායණ බ්‍රාහ්මණයා ආයුෂ්මත් මහා කච්චාන තෙරුන්ට මේ විදිහට කිව්වා.
“පින්වත් කච්චානයෙනි, මේක මට අහන්න ලැබිච්ච දෙයක්. කච්චාන ශ්‍රමණයන් වහන්සේ වනාහී ජරාජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහළු වූ ජීවිතයේ කෙළෙවරට පත්, ක්‍රමයෙන් වයසට පත් බ්‍රාහ්මණයන්ට වඳින්නෙ නෑ. දැක්ක විට හුනස්නෙන් නැගිටින්නෙත් නෑ. ආසනයක වාඩි වෙන්නට ආරාධනා කරන්නෙත් නෑ කියලා. පින්වත් කච්චාන, ඒක ඒ විදිහම තමයි. පින්වත් කච්චාන, ජරා ජීර්ණ වූ වයෝවෘද්ධ වූ මහළු වූ ජීවිතයේ කෙළවරට පත්, ක්‍රමයෙන් වයසට පත් බ්‍රාහ්මණයන්ට වඳින්නෙ නෑ තමයි. දැක්කම හුනස්නෙන් නැගිටින්නෙත් නෑ තමයි. ආසනයක වාඩි වෙන්නට ආරාධනා කරන්නෙත් නෑ තමයි. ඉතින් ඒක මේ පින්වත් කච්චානයන්ට හොඳ නෑ නේද?”
“පින්වත් බ්‍රාහ්මණය, සියල්ල දන්නා, සියල්ල දක්නා ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩිමහළු බවත්, ළමා බවත් ගැන දේශනා කළා. පින්වත් බ්‍රාහ්මණය, යම් කෙනෙක් උපතින් අවුරුදු අසූවක් හරි, අනූවක් හරි, සියයක් හරි වෙන්න පුළුවනි. ඒ වුනත් ඔහු පංච කාමයන් පරිභෝජනය කරනවා නම්, කාමයන් මැදම වාසය කරනවා නම්, කාම පිපාසයෙන් දැවෙනවා නම්, කාම විතර්කවලින් ඔහුව කා දමනවා නම්, කාමයන් සොයන්නම නම් වෙහෙස වෙන්නේ, ඉතින් ඔහු ‘බාලයෙක්’ ය කියන ගණයටම ඇතුලත් වෙනවා. පින්වත් බ්‍රාහ්මණය, භද්‍ර යෞවන වයසේ ඉන්න, කළු කෙස් තියෙන, තරුණ වයසේ ඉන්න, ජීවිතයේ පළමු වයසේ කාලයෙන් යුතු කෙනෙක් ඉන්නවා. ඒත් ඔහු පංච කාමයන් පරිභෝජනය කරන්නෙ නෑ. කාමයන් මැද ජීවත් වෙන්නෙ නෑ. කාම පිපාසයෙන් දැවෙන්නේ නෑ. කාම විතර්කවලින් ඔහුව කා දමන්නෙ නෑ. කාමයන් සොයන්න වෙහෙසෙන්නේ නෑ. ඉතින් ඒ පණ්ඩිත තැනැත්තා ‘තෙරුන් වහන්සේ’ කියන ගණයටම වැටෙනවා.”
මෙහෙම කිව්වාට පස්සේ ඒ කණ්ඩරායණ බ්‍රාහ්මණයා, වාඩි වී සිටි තැනින් නැගිටලා උතුරු සළුව එක පැත්තකට පෙරොවලා, මේ විදිහට ඒ තරුණ භික්ෂූන්ගේ පා වඳිනවා. “පින්වතුන් වහන්සේලා, ඇත්තටම (ගුණ නුවණින්) වැඩුණු අය නෙව. වෘද්ධ භූමියෙහි සිටින අය නෙව. ළදරු වූ අපි ළදරු බවේම තමයි ඉන්නේ” කියලා.
“පින්වත් කච්චානයන් වහන්ස, ඉතා මනහරයි! ….(පෙ)…. අද පටන් මාව දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් හැටියට පිළිගන්නා සේක්වා!”
2.1.4.8
“පින්වත් මහණෙනි, යම් කාලයක සොරු බලවත් වෙනවා නම්, ඒ කාලෙට රජවරු දුර්වල වෙනවා. පින්වත් මහණෙනි, ඒ කාලයට රජතුමාට ඈත ජනපදවලට යන්නටවත්, එන්නටවත්, ඒවා පාලනය කරන්නවත් ලෙහෙසි වෙන්නෙ නෑ. ඒ කාලෙට බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ටත් ඔවුන්ගේ වැඩකටයුතු ගැන සොයා බැලීම සඳහා යන්නටවත්, එන්නටවත් ලෙහෙසි වෙන්නෙ නෑ. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කාලෙක පාපී භික්ෂූන් බලවත් වෙනවා නම්, එකල්හි සුපේශල භික්ෂූන් දුර්වල වෙනවා. පින්වත් මහණෙනි, ඒ කාලයේදී සුපේශල භික්ෂූන් නිශ්ශබ්දතාවයෙන් යුක්තව, නිහඬවම සංඝයා මැද කරබාගෙන ඉන්නවා. ඈත ජනපදවල හරි වාසය කරනවා. පින්වත් මහණෙනි, මෙය බොහෝ දෙනාට අයහපත පිණිස, බොහෝ දෙනාට දුක පිණිස, බොහෝ ජනයාටත්, දෙවි මිනිසුන්ටත් අනර්ථය පිණිසම, අහිත පිණිසම, දුක පිණිසම හේතු වෙනවා.
පින්වත් මහණෙනි, යම් කාලයක රජවරු බලවත් වෙනවා නම්, ඒ කාලෙට සොරු දුර්වල වෙනවා. පින්වත් මහණෙනි, ඒ කාලයට රජතුමාට ඈත ජනපදවලට යන්නටත්, එන්නටත්, ඒවා පාලනය කරන්නත් පහසු වෙනවා. ඒ කාලෙට බ්‍රාහ්මණ ගෘහපතිවරුන්ටත් ඔවුන්ගේ වැඩකටයුතු ගැන සොයා බැලීම සඳහා යන්නටත්, එන්නටත් පහසු වෙනවා. අන්න ඒ වගේම තමයි පින්වත් මහණෙනි, යම් කාලෙක සුපේශල භික්ෂූන් බලවත් වෙනවා නම්, එකල්හි පාපී භික්ෂූන් දුර්වල වෙනවා. පින්වත් මහණෙනි, ඒ කාලයේ දී පාපී භික්ෂූන් තුෂ්ණීම්භූතව, තුෂ්ණීම්භූතව සංඝයා මැද කරබාගෙන ඉන්නවා. එක්කෝ කොහේ හරි යනවා. පින්වත් මහණෙනි, මෙය බොහෝ දෙනාට යහපත පිණිස, බොහෝ දෙනාට සැප පිණිස, බොහෝ ජනයාටත්, දෙවි මිනිසුන්ටත් අර්ථය පිණිසම, යහපත පිණිසම, සැප පිණිසම හේතු වෙනවා.
2.1.4.9
40. පින්වත් මහණෙනි, මා ගිහියාගේ වේවා, පැවිද්දා ගේ වේවා, වැරදි පිළිවෙත වර්ණනා කරන්නේ නෑ. පින්වත් මහණෙනි, වැරදි පිළිවෙතින් ජීවත් වෙන ගිහියා වේවා පැවිද්දා වේවා, ඒ වැරදි පිළිවෙත නිසාම මේ නිවන් මගට වුවමනා කරන කුසල් දහම් වඩන්නට සුදුස්සෙක් වෙන්නෙ නෑ.
පින්වත් මහණෙනි, මා ගිහියාගේ වේවා, පැවිද්දා ගේ වේවා, නිවැරදි පිළිවෙත වර්ණනා කරනවා. පින්වත් මහණෙනි, නිවැරදි පිළිවෙතින් ජීවත් වෙන ගිහියා වේවා පැවිද්දා වේවා, ඒ නිවැරදි පිළිවෙත නිසාම මේ නිවන් මගට වුවමනා කරන කුසල් දහම් වඩන්නට සුදුස්සෙක් වෙනවා.
2.1.4.10
41. පින්වත් මහණෙනි, යම් ඒ භික්ෂූන් සූත්‍ර දේශනා වැරදි ලෙස තේරුම් අරගෙන බුද්ධ දේශනාවල වේශයෙන් කරුණු ප්‍රකාශ කරමින් අර්ථයත්, ධර්මයත් යටපත් කර දමනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බැසගෙන තිබෙන්නේ බොහෝ දෙනාට අයහපත පිණිසය. බොහෝ දෙනාට දුක පිණිසය. බොහෝ ජනයාටත්, දෙව් මිනිසුන්ටත් අනර්ථය පිණිසමය. අහිත පිණිසමය. දුක පිණිසය. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පව් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ බුදු සසුන අතුරුදහන් කර දමන්නේ.
පින්වත් මහණෙනි, යම් ඒ භික්ෂූන් සූත්‍ර දේශනා මනා ලෙස තේරුම් ගැනීම හේතුකොට ගෙන බුද්ධ දේශනාවල වේශයෙන් වැරදි කරුණු ප්‍රකාශ නොකරමින් අර්ථයත්, ධර්මයත් මැනැවින් පවත්වනවා නම්, පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බැස ගැනීම තිබෙන්නේ බොහෝ දෙනාට යහපත පිණිසයි. බොහෝ දෙනාට සැප පිණිසයි. බොහෝ ජනයාටත්, දෙව් මිනිසුන්ටත් අර්ථය පිණිසයි. හිත පිණිසමයි. සැප පිණිසයි. පින්වත් මහණෙනි, ඒ භික්ෂූන් බොහෝ පින් රැස් කර ගන්නවා. ඔවුන් තමයි මේ බුදු සසුන බොහෝ කල් පවත්වන්නේ.
හතරවෙනි සමචිත්ත වර්ගයයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an1_2-1-4-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M