තමන් තමන්ට ආදරේ නම්, තමන්ව පරෙස්සම් කරගත යුත්තේ තමා විසින්මයි. නුවණින් යුක්ත කෙනා අඩු ගණනේ බාල, තරුණ, මහළු කියන මේ තුන් කාලයෙන් එක්තරා කාලයකවත් අකුසල් වලින් දුරුවෙලා තමන්ව රැකගන්ට ඕනෙ.
(භේසකලා වනයේදී බෝධිරාජ කුමාරයා අරභයා වදාළ ගාථාවකි.)
හැම දේකටම කලින් ගුණධර්මවල පිහිටුවා ගන්ට ඕනෙ තමන්වමයි. ඊට පස්සේ තමයි අනුන්ට අනුශාසනා කළ යුත්තේ. ඒ විදිහට කටයුතු කළොත් නුවණැත්තෙක් කිලුටු වෙන්නෙ නෑ.
(ජේතවනාරාමයේදී උපනන්ද තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
අනිත් උදවියට අනුශාසනා කරනවා වගේම තමාත් ඒ අනුශාසනාවට අනුකූලව ජීවිතය ගතකරන්ට ඕන. තමන් දමනය වෙලා තමයි අනුන්ව දමනය කරන්ට ඕනෙ. තමා දමනය කරගන්නවා කියන එක ලේසි වැඩක් නෙවෙයි.
(ජේතවනාරාමයේදී පධානිකතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
තමන්ට පිහිට සළසගන්ට ඕනෙ තමාමයි. තමන් හැර බාහිර වෙන කවුරු නම් තමන්ට පිහිට වෙයිද? හොඳට දමනය වුණාම තමන්ටම ඒ දුර්ලභ වූ ධර්මාවබෝධය නැමැති පිළිසරණ ලබන්ට පුළුවනි.
(ජේතවනාරාමයේදී කුමාරකස්සප තෙරුන්ගේ මව් වූ භික්ෂුණිය අරභයා වදාළ ගාථාවකි.)
තමා තුළම හටගත්, තමා තුළින්ම පහළ වුණ, තමා විසින්ම කරපු පාප කර්ම වලින්මයි අනුවණයා දුක් විඳින්නේ. මැණික් ගලෙන් හැදෙන දියමන්තිය විසින් ඒ මැණික් ගල විනාශ කරනවා වගේ.
(ජේතවනාරාමයේදී මහාකාළ උපාසක අරභයා වදාළ ගාථාවකි.)
සල් ගහක් වටා එතෙන ලොකු කොළ තියෙන මාළුවා වැල නිසා අන්තිමේදී ඒ සල් ගහ කඩාගෙන වැටෙනවා. ඒ වගේම මුළුමනින්ම දුස්සීල ජීවිතයක් ගෙවන කෙනා, හතුරෙක් තවත් හතුරෙකුට අපරාධයක් කරන්ට කැමති වෙනවා වගේ, තමාගේ දුස්සීල භාවයෙන්ම හානි කරගන්නවා.
(වේළුවනාරාමයේදී දේවදත්ත අරභයා වදාළ ගාථාවකි.)
තමන්ට අයහපත පිණිස පවතින පව් කරන එක හරි ලේසි වැඩක්. නමුත් යම් දෙයක් තමන්ට හිතසුව පිණිස තියෙනවා නම්, තමන්ගේ යහපත පිණිස තියෙනවා නම්, එවැනි දේ කිරීම අතිශයින්ම දුෂ්කරයි.
(වේළුවනාරාමයේදී දෙව්දත්ගේ සංඝභේදය අරභයා වදාළ ගාථාවකි.)
යම් අඥානයෙක් තමන් මිථ්‍යා දෘෂ්ටියක් තුළ ඉඳගෙන ධාර්මිකව ජීවත් වෙන ඒ රහතන් වහන්සේලාගේ ධර්මය වැළැක්වුවොත්, ඒක තමන්ගෙ ජීවිතයම විනාශ වෙලා යන්ට හේතු වෙනවා. උණ ගසක් විනාශ වෙන්ට, ඒ උණ ගසෙන්ම ඵලයක් හටගන්නවා වගේ.
(ජේතවනාරාමයේදී කාළ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
තමා විසින් කරපු පාපයෙන්මයි තමා කිලුටු වෙන්නේ. තමා විසින් පව් නොකිරීමෙන්මයි තමා පිරිසිදු වෙන්නේ. පිරිසිදු වීමත්, කිලුටු වීමත් යන දෙක තමන්ම බලාගත යුතු දෙයක්. තවත් කෙනෙකුට තවත් කෙනෙක්ව පිරිසිදු කරන්ට බෑ.
(ජේතවනයේදී චූලකාළ උපාසක අරභයා වදාළ ගාථාවකි.)
අනුන්ගේ යහපත උදෙසා විතරක් බොහෝ වෙහෙස මහන්සි වෙන්ට ගිහින්, තමන්ගේ යහපත නැතිකරගන්ට හොඳ නෑ. තමන්ගේ යහපත මොකක්ද කියලා අවබෝධ කරගෙන, සැබෑම යහපත වන අරහත්වයට පත්වීමටමයි හිතට ගන්ට ඕනෙ.
(ජේතවනාරාමයේදී අත්තදත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)
සාදු! සාදු!! සාදු!!!
තමන් ගැන වදාළ කොටස නිමා විය.
(අත්ත වග්ගය නිමා විය.)
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-12/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M