දීඝ නිකාය

මහා වග්ගෝ

2. මහා නිදාන සුත්තං

2. පසුබිමෙහි ඇති දේ ගැන වදාළ දීර්ඝ දෙසුම

1. ඒවං මේ සුතං: ඒකං සමයං භගවා කුරූසු විහරති කම්මාසදම්මං නාම කුරූනං නිගමෝ. අථ ඛෝ ආයස්මා ආනන්දෝ යේන භගවා තේනුපසංකමි. උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසීදි. ඒකමන්තං නිසින්නෝ ඛෝ ආයස්මා ආනන්දෝ භගවන්තං ඒතදවෝච: “අච්ඡරියං භන්තේ, අබ්භූතං භන්තේ, යාව ගම්භීරෝ චායං භන්තේ, පටිච්චසමුප්පාදෝ ගම්භීරාවභාසෝ ච. අථ ච පන මේ උත්තානකුත්තානකෝ විය ඛායතී”ති.

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ කුරු ජනපදයෙහි කම්මාස්සදම්ම නම් වූ කුරු ජනපදවාසීන්ගේ නියම් ගමෙහි වැඩවෙසෙන සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටි සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, ආශ්චර්ය ය. ස්වාමීනී, අද්භූත ය. ස්වාමීනී, මේ පටිච්ච සමුප්පාද ධර්මය මොනතරම් ගාම්භීර ද? මොනතරම් ගැඹුරු ව පෙනෙන දෙයක් ද? එහෙත් මා හට එය නොගැඹුරු දෙයක් මෙන්, පැහැදිලි ව පෙනෙන දෙයක් මෙන් වැටහෙයි.”

2. මා හේවං ආනන්ද අවච, මා හේවං ආනන්ද අවච, ගම්භීරෝ චායං ආනන්ද පටිච්චසමුප්පාදෝ ගම්භීරාවභාසෝ ච. ඒතස්ස ආනන්ද, ධම්මස්ස අනනුබෝධා අප්පටිවේධා ඒවමයං පජා තන්තාකුලකජාතා ගුළාගුණ්ඩිකජාතා මුඤ්ජබබ්බජභූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති.

“ආනන්දයෙනි, එසේ කියන්නට එපා. ආනන්දය, එසේ කියන්නට එපා! ආනන්දය, මේ පටිච්ච සමුප්පාද ධර්මය ගැඹුරු දෙයක් ම ය. ගැඹුරින් පෙනෙන දෙයක් ම ය. ආනන්දයෙනි, මේ පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ නොවීම හේතුවෙන්, නුවණින් ප්‍රත්‍යක්ෂ නොකිරීම හේතුවෙන් මෙසේ මේ සත්ව ප්‍රජාව අවුල් ව ගිය නූල් කැටියක් සේ, කැඳ දමා ගුලි ගැසී අවුල් වූ නූල් කැටියක් සේ, අවුල් වී ගිය මුඤ්ජතණ, සැවැන්දරා මුල් සේ අපාය දුර්ගති විනිපාතයෙන් යුතු සසර ඉක්මවා ගත නොහැකි ව සිටිති.

3. අත්ථි ඉදප්පච්චයා ජරාමරණන්ති ඉති පුට්ඨේන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා ජරාමරණන්ති ඉති චේ වදෙය්‍ය, ජාතිපච්චයා ජරාමරණන්ති ඉච්චස්ස වචනීයං.

‘ජරා මරණ මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘ජරා මරණය කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘ඉපදීම හේතුවෙන් ජරා මරණ ඇතිවෙන බව’ යි.

අත්ථි ඉදප්පච්චයා ජාතී’ති ඉති පුට්ඨේන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා ජාතී’ති ඉති චේ වදෙය්‍ය, භවපච්චයා ජාතී’ති ඉච්චස්ස වචනීයං.

‘ඉපදීම මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘ඉපදීම කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘විපාක පිණිස කර්ම සකස් වීම හේතුවෙන් ඉපදීම ඇතිවෙන බව’ යි.

අත්ථි ඉදප්පච්චයා භවෝ’ති ඉති පුට්ඨේන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා භවෝ’ති ඉති චේ වදෙය්‍ය, උපාදානපච්චයා භවෝ’ති ඉච්චස්ස වචනීයං.

‘විපාක පිණිස කර්ම සකස් වීම මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘විපාක පිණිස කර්ම සකස් වීම කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘ග්‍රහණය වීම හේතුවෙන් විපාක පිණිස කර්ම සකස් වෙන බව’ යි.

අත්ථි ඉදප්පච්චයා උපාදානන්ති ඉති පුට්ඨේන සතා ආනන්ද, අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා උපාදානන්ති ඉති චේ වදෙය්‍ය, තණ්හාපච්චයා උපාදානන්ති ඉච්චස්ස වචනීයං.

‘ග්‍රහණය වීම මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘ග්‍රහණය වීම කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘තෘෂ්ණාව හේතුවෙන් ග්‍රහණය වීම සිදුවන බව’ යි.

අත්ථි ඉදප්පච්චයා තණ්හා’ති ඉති පුට්ඨේන සතා ආනන්ද අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා තණ්හා’ති ඉති චේ වදෙය්‍ය, වේදනාපච්චයා තණ්හා’ති ඉච්චස්ස වචනීයං.

‘තෘෂ්ණාව මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘තෘෂ්ණාව කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘විඳීම හේතුවෙන් තෘෂ්ණාව හටගන්නා බව’ යි.

අත්ථි ඉදප්පච්චයා වේදනා’ති ඉති පුට්ඨේන සතා ආනන්ද අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා වේදනා’ති ඉති චේ වදෙය්‍ය, ඵස්සපච්චයා වේදනා’ති ඉච්චස්ස වචනීයං.

‘විඳීම මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘විඳීම කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘ස්පර්ශය හේතුවෙන් විඳීම හටගන්නා බව’ යි.

අත්ථි ඉදප්පච්චයා ඵස්සෝ’ති ඉති පුට්ඨේන සතා ආනන්ද අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා ඵස්සෝ’ති ඉති චේ වදෙය්‍ය, නාමරූපපච්චයා ඵස්සෝ’ති ඉච්චස්ස වචනීයං.

‘ස්පර්ශය මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘ස්පර්ශය කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘නාමරූප හේතුවෙන් ස්පර්ශය හටගන්නා බව’ යි.

අත්ථි ඉදප්පච්චයා නාමරූපන්ති ඉති පුට්ඨේන සතා ආනන්ද අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා නාමරූපන්ති ඉති චේ වදෙය්‍ය, විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉච්චස්ස වචනීයං.

‘නාමරූප මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘නාමරූප කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘විඤ්ඤාණය හේතුවෙන් නාමරූප හටගන්නා බව’ යි.

අත්ථි ඉදප්පච්චයා විඤ්ඤාණන්ති ඉති පුට්ඨේන සතා ආනන්ද අත්ථීති’ස්ස වචනීයං. කිම්පච්චයා විඤ්ඤාණන්ති ඉති චේ වදෙය්‍ය, නාමරූපපච්චයා විඤ්ඤාණන්ති ඉච්චස්ස වචනීයං.

‘විඤ්ඤාණය මේ හේතුවෙන් වෙයි කියා පැණවිය හැකි හේතුවක් තිබේදැ’යි ආනන්දයෙනි, ඔබෙන් ඇසූ කල්හී ඔහුට ‘තිබේ’ ය කියා කිව යුත්තේ ය. ‘විඤ්ඤාණය කුමක හේතුවෙන් වෙයි දැ’ යි මෙසේ අසයි නම් ඔහුට කිව යුත්තේ ‘නාමරූප හේතුවෙන් විඤ්ඤාණය හටගන්නා බව’ යි.

ඉති ඛෝ ආනන්ද නාමරූපපච්චයා විඤ්ඤාණා, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ඵස්සෝ, ඵස්සපච්චයා වේදනා, වේදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවෝ, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසා සම්භවන්ති. ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හෝති.

මෙසේ ආනන්දයෙනි, නාමරූප හේතුවෙන් විඤ්ඤාණය හටගනියි. විඤ්ඤාණය හේතුවෙන් නාමරූප හටගනියි. නාමරූප හේතුවෙන් ස්පර්ශය හටගනියි. ස්පර්ශය හේතුවෙන් විඳීම හටගනියි. විඳීම හේතුවෙන් තෘෂ්ණාව හටගනියි. තෘෂ්ණාව හේතුවෙන් ග්‍රහණයට හසුවෙයි. ග්‍රහණයට හසු වීම හේතුවෙන් විපාක පිණිස කර්ම සකස් වෙයි. විපාක පිණිස කර්ම සකස් වීම හේතුවෙන් ඉපදීම සිදුවෙයි. ඉපදීම හේතුවෙන් ජරා, මරණ, ශෝක, වැළපීම්, කායික දුක්, මානසික දුක්, සුසුම් හෙළීම් ආදිය හටගනියි. මේ අයුරින් මුළු මහත් දුක්ඛස්කන්ධයාගේ ම හටගැනීම වෙයි.

4. “ජාතිපච්චයා ජරාමරණන්ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා ජාතිපච්චයා ජරාමරණං: ජාති ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි සෙය්‍යථීදං: දේවානං වා දේවත්තාය, ගන්ධබ්බානං වා ගන්ධබ්බත්තාය, යක්ඛානං වා යක්ඛත්තාය, භූතානං වා භූතත්තාය, මනුස්සානං වා මනුස්සත්තාය, චතුප්පදානං වා චතුප්පදත්තාය, පක්ඛීනං වා පක්ඛිත්තාය සිරිංසපානං වා සිරිංසපත්තාය, තේසං තේසඤ්ච ආනන්ද සත්තානං තථත්තාය ජාති නාභවිස්ස, සබ්බසෝ ජාතියා අසති ජාතිනිරෝධා අපි නු ඛෝ ජරාමරණං පඤ්ඤායේථා?”ති.

‘ඉපදීම හේතුවෙන් ජරා මරණ සිදුවෙයි’ යනුවෙන් මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, ඉපදීම හේතුවෙන් ජරා මරණ සිදුවන්නේ යම් අයුරකින් ද එය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් ඉපදීමක් ඇත්තේ ම නැත්නම්, එනම්; දෙවියන් අතර දෙවියෙකු වීම පිණිස හෝ වේවා, ගාන්ධර්වයන් අතර ගාන්ධර්වයෙකු වීම පිණිස හෝ වේවා, යක්ෂයින් අතර යක්ෂයෙකු වීම පිණිස හෝ වේවා, සත්වයන් අතර සත්වයෙකු වීම පිණිස හෝ වේවා, මිනිසුන් අතර මිනිසෙකු වීම පිණිස හෝ වේවා, සිව්පාවුන් අතර සිව්පාවෙකු වීම පිණිස හෝ වේවා, පක්ෂීන් අතර පක්ෂියෙකු වීම පිණිස හෝ වේවා, සර්පයින් අතර සර්පයෙකු වීම පිණිස හෝ වේවා, ආනන්දයෙනි, ඒ ඒ සත්වයින් අතර ඒ ඒ අයුරින් වීම පිණිස ඉපදීමක් ඇති නොවෙයි නම් සර්වප්‍රකාරයෙන් ම ඉපදීමක් නැති කල්හී ඉපදීම නම් වූ හේතුව නිරුද්ධ වීමෙන් ජරා මරණය දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජරාමරණස්ස යදිදං ජාති”.

“එහෙයින් ආනන්දයෙනි, ජරා මරණයට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ ඉපදීම යි.

5. “භවපච්චයා ජාතී’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා භවපච්චයා ජාති: භවෝ ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි සෙය්‍යථීදං: කාමභවෝ රූපභවෝ අරූපභවෝ, සබ්බසෝ භවේ අසති භවනිරෝධා අපි නු ඛෝ ජාති පඤ්ඤායේථා?”ත.

“විපාක පිණිස කර්ම සකස් වීම හේතුවෙන් ඉපදීම සිදුවෙයි’ යනුවෙන් මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, විපාක පිණිස කර්ම සකස් වීම හේතුවෙන් ඉපදීම සිදුවන්නේ යම් අයුරකින් ද එය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් විපාක පිණිස කර්ම සකස් වීම ඇත්තේ ම නැත්නම්, එනම්; කාම ධාතුවෙහි විපාක පිණිස වූ කර්ම සකස් වීම, රූප ධාතුවෙහි විපාක පිණිස වූ කර්ම සකස් වීම, අරූප ධාතුවෙහි විපාක පිණිස වූ කර්ම සකස් වීම ත් ය. සර්වප්‍රකාරයෙන් විපාක පිණිස වූ කර්ම සකස් වීමක් නැත්නම්, විපාක පිණිස කර්ම සකස් වීම නිරුද්ධ වීමෙන් ඉපදීමක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, මෙය නොවේ ම ය”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ජාතියා යදිදං භවෝ.”

“එහෙයින් ආනන්දයෙනි, ඉපදීමට හේතුව වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ විපාක පිණිස කර්ම සකස් වීම යි.

6. “උපාදානපච්චයා භවෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං: යථා උපාදානපච්චයා භවෝ: උපාදානංච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි සෙය්‍යථීදං: කාමුපාදානං වා දිට්ඨූපාදානං වා සීලබ්බතූපාදානං වා අත්තවාදුපාදානං වා, සබ්බසෝ උපාදානේ අසති උපාදානනිරෝධා අපි නු ඛෝ භවෝ පඤ්ඤායේථා?”ති.

“‘ග්‍රහණයට හසු වීම හේතුවෙන් විපාක පිණිස වූ කර්ම සකස් වන්නේ ය’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, ග්‍රහණයට හසු වීම හේතුවෙන් විපාක පිණිස වූ කර්ම සකස් වන්නේ යම් අයුරකින් ද එය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් ග්‍රහණයට හසුවීම ඇත්තේ ම නැත්නම්, එනම්; පංච කාමයන්ගේ ග්‍රහණයට හසු වීම හෝ, දෘෂ්ටීන්ගේ ග්‍රහණයට හසු වීම හෝ, සීල-ව්‍රත ආදියෙහි ග්‍රහණයට හසු වීම හෝ, ආත්මයක් තිබේ ය යන හැඟීමේ ග්‍රහණයට හසු වීම හෝ ය. සර්වප්‍රකාරයෙන් ම ග්‍රහණයට හසු වීමක් නැති කල්හී ග්‍රහණයට හසු වීම නිරුද්ධ වීමෙන් විපාක පිණිස වූ කර්ම සැකසෙන්නේ ය යන්න දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නොවේ ම ය”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ භවස්ස යදිදං උපාදානං.”

“එහෙයින් ආනන්දයෙනි, විපාක පිණිස කර්ම සකස් වීමට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ ග්‍රහණයට හසු වීම යි.

7. තණ්හාපච්චයා උපාදානන්ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං: යථා තණ්හාපච්චයා උපාදානං: තණ්හා ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි සෙය්‍යථීදං: රූපතණ්හා සද්දතණ්හා ගන්ධතණ්හා රසතණ්හා ඵොට්ඨබ්බතණ්හා ධම්මතණ්හා, සබ්බසෝ තණ්හාය අසති තණ්හානිරෝධා අපි නු ඛෝ උපාදානං පඤ්ඤායේථා?”ති.

“‘තෘෂ්ණාව හේතුවෙන් ග්‍රහණයට හසු වෙයි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, තෘෂ්ණාව හේතුවෙන් ග්‍රහණයට හසු වන්නේ යම් අයුරකින් ද, එය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් තෘෂ්ණාවක් ඇත්තේ ම නැත්නම්, එනම්; රූප කෙරෙහි තෘෂ්ණාව, ශබ්ද කෙරෙහි තෘෂ්ණාව, ගඳ සුවඳ කෙරෙහි තෘෂ්ණාව, රස කෙරෙහි තෘෂ්ණාව, පහස කෙරෙහි තෘෂ්ණාව, අරමුණු කෙරෙහි තෘෂ්ණාව ය. සර්වප්‍රකාරයෙන් ම තෘෂ්ණාව නැති කල්හී තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් ග්‍රහණයට හසු වීමක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ උපාදානස්ස යදිදං තණ්හා”.

“එහෙයින් ආනන්දයෙනි, ග්‍රහණයට හසුවීමට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ තෘෂ්ණාව යි.

8. “වේදනාපච්චයා තණ්හා’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා වේදනාපච්චයා තණ්හා; වේදනා ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි සෙය්‍යථීදං: චක්ඛුසම්ඵස්සජා වේදනා සෝතසම්ඵස්සජා වේදනා ඝානසම්ඵස්සජා වේදනා ජිව්හාසම්ඵස්සජා වේදනා කායසම්ඵස්සජා වේදනා මනෝසම්ඵස්සජා වේදනා, සබ්බසෝ වේදනාය අසති වේදනානිරෝධා අපි නු ඛෝ තණ්හා පඤ්ඤායේථා?”ති.

“විඳීම හේතුවෙන් තණ්හාව හටගන්නේ ය’ යි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, විඳීම හේතුවෙන් තෘෂ්ණාව හටගන්නේ යම් අයුරකින් ද එය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් විඳීම ඇත්තේ ම නැත්නම්, එනම්, ඇසේ ස්පර්ශයෙන් හටගත් විඳීම, කනේ ස්පර්ශයෙන් හටගත් විඳීම, නාසයේ ස්පර්ශයෙන් හටගත් විඳීම, දිවේ ස්පර්ශයෙන් හටගත් විඳීම, කයේ ස්පර්ශයෙන් හටගත් විඳීම, මනසේ ස්පර්ශයෙන් හටගත් විඳීම ය. සර්වප්‍රකාරයෙන් ම විඳීම නැති කල්හී, විඳීම නිරුද්ධ වීමෙන් තෘෂ්ණාවක් හටගන්නේ ද?”

“නෝ හේතං භන්තේ”.

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ තණ්හාය යදිදං වේදනා.”

“එහෙයින් ආනන්දයෙනි, තෘෂ්ණාවට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ විඳීම යි.”

9. ඉති ඛෝ පනේතං ආනන්ද වේදනං පටිච්ච තණ්හා, තණ්හං පටිච්ච පරියේසනා, පරියේසනං පටිච්ච ලාභෝ, ලාභං පටිච්ච විනිච්ඡයෝ, විනිච්ඡයං පටිච්ච ඡන්දරාගෝ, ඡන්දරාගං පටිච්ච අජ්ඣෝසානං, අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහෝ, පරිග්ගහං පටිච්ච මච්ඡරියං, මච්ඡරියං පටිච්ච ආරක්ඛෝ, ආරක්ඛාධිකරණං පටිච්ච දණ්ඩාදාන සත්ථාදානකලහවිග්ගහවිවාදතුවංතුවං පේසුඤ්ඤමුසාවාදා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති.

මෙසේ ආනන්දයෙනි, විඳීම හේතුවෙන් තෘෂ්ණාව හටගනියි. තෘෂ්ණාව හේතුවෙන් සොයයි. සෙවීම හේතුවෙන් ලැබෙයි. ලැබීම හේතුවෙන් ලැබුණු දේ ගැන විනිශ්චයකට යයි. විනිශ්චය කිරීම හේතුවෙන් ආශාවෙන් ඇලෙයි. ආශාවෙන් ඇලීම හේතුවෙන් තමන්ගේ ය කියා එහි සිත බැස ගනියි. තමන්ගේ ය කියා එහි සිත බැස ගැනීම හේතුවෙන් එය සිතෙන් අයත් කරගනියි. එය සිතෙන් අයත් කරගැනීම හේතුවෙන් මසුරු බව ඇතිවෙයි. මසුරු බව හේතුවෙන් එය රකියි. එය රැකීමට ගන්නා අරගලය හේතුවෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝළාහල, විරෝධ, වාද විවාද, ‘නුඹ තමයි නුඹ තමයි’ වශයෙන් බැණගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදී අනේක වූ පාපී අකුසල් දහම් හටගනියි.

10. ආරක්ඛාධිකරණං දණ්ඩාදානසත්ථාදානකලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පේසුඤ්ඤ-මුසාවාදා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්තීති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා ආරක්ඛාධිකරණං දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පේසුඤ්ඤ-මුසාවාදා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවන්ති: ආරක්ඛෝ ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසෝ ආරක්ඛේ අසති ආරක්ඛනිරෝධා අපි නු ඛෝ දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පේසුඤ්ඤ-මුසාවාදා අනේකේ පාපකා අකුසලා ධම්මා සම්භවෙය්‍යුන්ති?.

“‘එය රැකීමට ගන්නා අරගලය හේතුවෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝලාහල, විරෝධ, වාද විවාද, ‘නුඹ තමයි නුඹ තමයි’ වශයෙන් බැණ ගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදී අනේක වූ පාපී අකුසල් දහම් හටගනියි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, එය රැකීමට ගන්නා අරගලය හේතුවෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝළාහල, විරෝධ, වාද විවාද, ‘නුඹ තමයි නුඹ තමයි’ වශයෙන් බැණගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදී අනේක වූ පාපී අකුසල් දහම් හටගන්නේ යම් අයුරකින් ද, එය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය.

ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් රැක ගැනීමක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම රැකගැනීමක් නැති කල්හී රැකගැනීම නිරුද්ධ වීමෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝළාහල, විරෝධ, වාද විවාද, ‘නුඹ තමයි නුඹ තමයි’ වශයෙන් බැණගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදී අනේක වූ පාපී අකුසල් දහම් හටගන්නාහු ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නොවේ ම ය”

තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ දණ්ඩාදාන-සත්ථාදාන-කලහ-විග්ගහ-විවාද-තුවන්තුවං-පේසුඤ්ඤ-මුසාවාදානං අනේකේසං පාපකානං අකුසලානං ධම්මානං සම්භවාය යදිදං ආරක්ඛෝ.

“එහෙයින් ආනන්දයෙනි, දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝළාහල, විරෝධ, වාද විවාද, ‘නුඹ තමයි නුඹ තමයි’ වශයෙන් බැණ ගැනීම්, කේලාම් කීම්, බොරු කීම් ආදී අනේක වූ පාපී අකුසල් දහම් හට ගැනීමට හේතුව මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ රැක ගැනීම යි.”

11. මච්ඡරියං පටිච්ච ආරක්ඛෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා මච්ඡරියං පටිච්ච ආරක්ඛෝ: මච්ඡරියං ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසෝ මච්ඡරියේ අසති මච්ඡරියනිරෝධා අපි නු ඛෝ ආරක්ඛෝ පඤ්ඤායේථාති?

“‘මසුරුකම හේතුවෙන් රැකගැනීමේ ආශාව ඇතිවෙයි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, මසුරුකම හේතුවෙන් රැකගැනීමේ ආශාව හටගන්නේ යම් අයුරකින් නම් එය මේ ක්‍රමයෙන් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් මසුරුකමක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම මසුරුකම නැති කල්හී මසුරුකම නිරුද්ධ වීමෙන් රැක ගැනීමේ ආශාවක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ආරක්ඛස්ස යදිදං මච්ඡරියං.

“එහෙයින් ආනන්දයෙනි, රැකගැනීමේ ආශාවට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ මසුරුකම යි.”

12. පරිග්ගහං පටිච්ච මච්ඡරියන්ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං. යථා පරිග්ගහං පටිච්ච මච්ඡරියං: පරිග්ගහෝ ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසෝ පරිග්ගහේ අසති පරිග්ගහනිරෝධා අපි නු ඛෝ මච්ඡරියං පඤ්ඤායේථාති?

“‘තමාට අයත් කොට සිතීම හේතුවෙන් මසුරුකම ඇතිවෙයි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, තමාට අයත් කොට සිතීම හේතුවෙන් මසුරුකම ඇතිවන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් තමාට අයත් කොට සිතීමක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම තමාට අයත් කොට සිතීමක් නැති කල්හී, තමාට අයත් කොට සිතීම නිරුද්ධ වීමෙන් මසුරුකමක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ මච්ඡරියස්ස යදිදං පරිග්ගහෝ.

“එහෙයින් ආනන්දයෙනි, මසුරුකමට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ තමාට අයත් කොට සිතීම යි.”

13. “අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා අජ්ඣෝසානං පටිච්ච පරිග්ගහෝ; අජ්ඣෝසානං ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි. සබ්බසෝ අජ්ඣෝසානේ අසති අජ්ඣෝසානනිරෝධා අපි නු ඛෝ පරිග්ගහෝ පඤ්ඤායේථා?”ති.

“‘තමන්ගේ ය කියා එහි සිත බැස ගැනීම හේතුවෙන් එය තමාට අයත් කොට සිතයි’ යැයි මෙසේ මේ කරුණක් කියන ලදී. ආනන්දයෙනි, තමන්ගේ ය කියා එහි සිත බැසගැනීම හේතුවෙන් තමාට අයත් කොට සිතීම ඇතිවන්නේ යම් අයුරකින් නම් එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු තන්හි ම, කා හට වත්, කවර තැනක වත් තමාගේ ය කියා යමක සිත බැසගැනීමක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම තමාගේ ය කියා සිතෙහි බැසගැනීමක් නැති කල්හී තමාගේ ය කියා සිතෙහි බැසගැනීම නිරුද්ධ වීමෙන් තමාට අයත් කොට සිතීමක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ පරිග්ගහස්ස යදිදං අජ්ඣෝසානං.”

“එහෙයින් ආනන්දයෙනි, තමාට අයත් කොට සිතීමට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ තමාගේ ය කියා සිතෙන් බැසගැනීම යි.”

14. “ඡන්දරාගං පටිච්ච අජ්ඣෝසානන්ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං. යථා ඡන්දරාගං පටිච්ච අජ්ඣෝසානං; ඡන්දරාගෝ ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසෝ ඡන්දරාගේ අසති ඡන්දරාගනිරෝධා අපි නු ඛෝ අජ්ඣෝසානං පඤ්ඤායේථා?ති.”

“‘ආශාවෙන් ඇලීම හේතුවෙන් තමන්ගේ ය කියා සිතෙන් බැස ගනියි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, ආශාවෙන් ඇලීම හේතුවෙන් තමාගේ ය කියා සිතෙන් බැසගන්නේ යම් අයුරකින් නම් එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියල්ලන්ට සියළු අයුරින්, සියල්ලන්ට සියළු තන්හි, කාටවත්, කවර තැනකවත්, ආශාවෙන් ඇලීමක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම ඡන්දරාගය නැති කල්හී ඡන්දරාගය නිරුද්ධ වීමෙන් තමාගේ ය කියා සිතෙන් බැසගැනීමක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ අජ්ඣෝසානස්ස යදිදං ඡන්දරාගෝ.”

“එහෙයින් ආනන්දයෙනි, තමාගේ ය කියා සිතෙන් බැසගැනීමට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ ආශාවෙන් ඇලීම යි.”

15. “විනිච්ඡයං පටිච්ච ඡන්දරාගෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා විනිච්ඡයං පටිච්ච ඡන්දරාගෝ; විනිච්ඡයෝ ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසෝ විනිච්ඡයේ අසති විනිච්ඡයනිරෝධා අපි නු ඛෝ ඡන්දරාගෝ පඤ්ඤායේථා?”ති.

“‘ලද දෙය ගැන විනිශ්චය කිරීම හේතුවෙන් ඡන්දරාගය හටගනියි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, ලද දෙය ගැන විනිශ්චය කිරීම හේතුවෙන් ඡන්දරාගය හටගන්නේ යම් අයුරකින් ද එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියල්ලන්ට සියළු අයුරින්, සියල්ලන්ට සියළු තන්හි ම, කාටවත්, කවර තැනකවත්, ලද දෙයක් ගැන විනිශ්චයක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම ලද දෙය ගැන විනිශ්චය නැති කල්හී විනිශ්චය නිරුද්ධ වීමෙන් ඡන්දරාගයක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ඡන්දරාගස්ස, යදිදං විනිච්ඡයෝ.”

“එහෙයින් ආනන්දයෙනි, ඡන්දරාගයට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ විනිශ්චය යි.”

16. “ලාභං පටිච්ච විනිච්ඡයෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා ලාභං පටිච්ච විනිච්ඡයෝ; ලාභෝ ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසෝ ලාභේ අසති ලාභනිරෝධා අපි නු ඛෝ විනිච්ඡයෝ පඤ්ඤායේථා?”ති.

“‘ලැබීම හේතුවෙන් ලැබුණු දේ ගැන විනිශ්චයකට යන්නේය’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, ලැබීම හේතුවෙන් ලද දෙය ගැන විනිශ්චයකට යන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියල්ලන්ට සියළු අයුරින්, සියල්ලන්ට සියළු තන්හි ම, කාටවත්, කවර තැනකවත්, ලැබීමක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම ලැබීම නැති කල්හී, ලැබීම නිරුද්ධ වීමෙන්, විනිශ්චයක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ විනිච්ඡයස්ස යදිදං ලාභෝ.”

“එහෙයින් ආනන්දයෙනි, විනිශ්චයකට යෑම පිණිස හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ ලැබීම යි.”

17. “පරියේසනං පටිච්ච ලාභෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා පරියේසනං පටිච්ච ලාභෝ; පරියේසනා ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සබ්බසෝ පරියේසනාය අසති පරියේසනානිරෝධා අපි නු ඛෝ ලාභෝ පඤ්ඤායේථා?”ති.

“‘සෙවීම හේතුවෙන් ලැබෙයි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, සෙවීම හේතුවෙන් ලැබෙන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියල්ලන්ට සියළු අයුරින්, සියල්ලන්ට සියළු තන්හි ම, කාටවත්, කවර තැනකවත්, සෙවීමක් ඇත්තේ ම නැත්නම්, සර්වප්‍රකාරයෙන් ම සෙවීම නැති කල්හී, සෙවීම නිරුද්ධ වීමෙන් ලැබීමක් දකින්නට ලැබේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ලාභස්ස යදිදං පරියේසනා.”

“එහෙයින් ආනන්දයෙනි, ලැබීමකට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ සෙවීම යි.”

18. තණ්හං පටිච්ච පරියේසනා’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා තණ්හං පටිච්ච පරියේසනා; තණ්හා ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථීදං: කාමතණ්හා භවතණ්හා විභවතණ්හා, සබ්බසෝ තණ්හාය අසති තණ්හානිරෝධා අපි නු ඛෝ පරියේසනා පඤ්ඤායේථා?ති.

“‘තෘෂ්ණාව හේතුවෙන් සොයයි’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, තෘෂ්ණාව හේතුවෙන් සොයන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියල්ලන්ට සියළු අයුරින්, සියල්ලන්ට සියළු තන්හි ම, කාටවත්, කවර තැනකවත්, තෘෂ්ණාවක් ඇත්තේ ම නැත්නම්, එනම්; කාම තෘෂ්ණාව, භව තෘෂ්ණාව, විභව තෘෂ්ණාව ය. සර්වප්‍රකාරයෙන් ම තෘෂ්ණාව නැති කල්හී, තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් සොයා යාමක් දකින්නට ලැබෙයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ පරියේසනාය යදිදං තණ්හා.

“එහෙයින් ආනන්දයෙනි, සෙවීමකට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ තෘෂ්ණාව යි.

ඉති ඛෝ ආනන්ද ඉමේ ද්වේ ධම්මා ද්වයේන වේදනාය ඒකසමෝසරණා භවන්ති.”

මෙසේ ආනන්දයෙනි, සසරගත දුකට හේතුවන තණ්හාව ත්, සමාජගත අර්බුදවලට හේතුවන තණ්හාව ත් යන මේ දහම් දෙක එකම විඳීමට දෙආකාරයකින් එක් වී තිබෙයි.

19. “ඵස්සපච්චයා වේදනා’ති ඉති ඛෝ පනේතං වුත්තං, තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා ඵස්සපච්චයා වේදනා: ඵස්සෝ ච හි ආනන්ද නාභවිස්ස සබ්බේන සබ්බං සබ්බථා සබ්බං කස්සචි කිම්හිචි, සෙය්‍යථීදං: චක්ඛුසම්ඵස්සෝ සෝතසම්ඵස්සෝ ඝානසම්ඵස්සෝ ජිව්හාසම්ඵස්සෝ කායසම්ඵස්සෝ මනෝසම්ඵස්සෝ, සබ්බසෝ ඵස්සේ අසති ඵස්සනිරෝධා අපි නු ඛෝ වේදනා පඤ්ඤායේථා?”ති.

‘ස්පර්ශය හේතුවෙන් විඳින්නේ’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, ස්පර්ශය හේතුවෙන් විඳින්නේ යම් අයුරකින් නම් එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, සියල්ලන්ට සියළු අයුරින්, සියල්ලන්ට සියළු තන්හි ම, කාටවත්, කවර තැනකවත්, ස්පර්ශයක් ඇත්තේ ම නැත්නම්, එනම්; ඇසේ ස්පර්ශය, කනේ ස්පර්ශය, නාසයේ ස්පර්ශය, දිවේ ස්පර්ශය, කයේ ස්පර්ශය, මනසේ ස්පර්ශය ය. සර්වප්‍රකාරයෙන් ම ස්පර්ශය නැති කල්හී ස්පර්ශය නිරුද්ධ වීමෙන් විඳීමක් දකින්නට ලැබෙයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ වේදනාය යදිදං ඵස්සෝ.”

“එහෙයින් ආනන්දයෙනි, විඳීමකට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ ස්පර්ශය යි.”

20. “නාමරූපපච්චයා ඵස්සෝ’ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා නාමරූපපච්චයා ඵස්සෝ: යේහි ආනන්ද ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේසේහි නාමකායස්ස පඤ්ඤත්ති හෝති, තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසේසු අසති අපි නු ඛෝ රූපකායේ අධිවචනසම්ඵස්සෝ පඤ්ඤායේථා?”ති.

20. ‘නාමරූප හේතුවෙන් ස්පර්ශය හටගන්නේ’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, නාමරූප හේතුවෙන් ස්පර්ශය හටගන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය. ආනන්දයෙනි, යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් සළකුණු වලින්, යම් විස්තර වලින් නාමකයෙහි පැණවීමක් ඇද්ද, ඒ ආකාර, ඒ සටහන්, ඒ සළකුණු, ඒ විස්තර නැති කල්හී රූප කය පිළිබඳ ව නාමයන්ගේ එකතුවක් දකින්නට ලැබෙයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“යේහි ආනන්ද ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේසේහි රූපකායස්ස පඤ්ඤත්ති හෝති, තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසේසු අසති අපි නු ඛෝ නාමකායේ පටිඝසම්ඵස්සෝ පඤ්ඤායේථා?”ති.

“ආනන්දයෙනි, යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් සළකුණු වලින්, යම් විස්තර වලින්, රූප කයෙහි පැණවීමක් ඇද්ද, ඒ ආකාර, ඒ සටහන්, ඒ සළකුණු, ඒ විස්තර නැති කල්හී, නාම කය පිළිබඳ ව රූපයන්ගේ හැපීමෙන් එක් වීමක් පැණවේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“යේහි ආනන්ද ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේසේහි නාමකායස්ස ච රූපකායස්ස ච පඤ්ඤත්ති හෝති, තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසේසු අසති අපි නු ඛෝ අධිවචනසම්ඵස්සෝ වා පටිඝසම්ඵස්සෝ වා පඤ්ඤායේථා?”ති.

“ආනන්දයෙනි, යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් සළකුණු වලින්, යම් විස්තර වලින්, නාම කයෙහිත් – රූප කයෙහි ත් පැණවීමක් ඇද්ද, ඒ ආකාර, ඒ සටහන්, ඒ සළකුණු, ඒ විස්තර නැති කල්හී නාමයන්ගේ එකතුවක් හෝ රූපයන්ගේ හැපීමෙන් එකතුවක් හෝ පැණවේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“යේහි ආනන්ද ආකාරේහි යේහි ලිංගේහි යේහි නිමිත්තේහි යේහි උද්දේසේහි නාමරූපස්ස පඤ්ඤත්ති හෝති, තේසු ආකාරේසු තේසු ලිංගේසු තේසු නිමිත්තේසු තේසු උද්දේසේසු අසති අපි නු ඛෝ ඵස්සෝ පඤ්ඤායේථා?”ති.

“ආනන්දයෙනි, යම් ආකාර වලින්, යම් සටහන් වලින්, යම් සළකුණු වලින්, යම් විස්තර වලින්, නාමරූපයෙහි පැණවීමක් ඇද්ද, ඒ ආකාර, ඒ සටහන්, ඒ සළකුණු, ඒ විස්තර නැති කල්හී ස්පර්ශයක් පැණවේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ ඵස්සස්ස යදිදං නාමරූපං.”

“එහෙයින් ආනන්දයෙනි, ස්පර්ශයකට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ නාමරූප යි.

21. “විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා විඤ්ඤාණපච්චයා නාමරූපං. විඤ්ඤාණං ච හි ආනන්ද මාතුකුච්ඡිස්මිං න ඔක්කමිස්සථ, අපි නු ඛෝ නාමරූපං මාතුකුච්ඡිස්මිං සමුච්චිස්සථාති?”

‘විඤ්ඤාණය හේතුවෙන් නාමරූප හටගන්නේ ය’ යි මෙසේ මේ කරුණක් කියන ලදී. ආනන්දයෙනි, විඤ්ඤාණය හේතුවෙන් නාමරූප හටගන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

ආනන්දයෙනි, විඤ්ඤාණයක් මව්කුසෙහි නොබැස ගන්නේ නම්, එකල්හී මව්කුසෙහි නාමරූපය එකට ගොනු වී යයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“විඤ්ඤාණං ච හි ආනන්ද මාතුකුච්ඡිං ඔක්කමිත්වා වොක්කමිස්සථ, අපි නු ඛෝ නාමරූපං ඉත්ථත්තාය අභිනිබ්බත්තිස්සථාති?”

“ආනන්දයෙනි, විඤ්ඤාණයක් මව්කුසකට බැසගෙන තිබී, නැවත බැහැරට ඉවත් වෙයි නම්, එකල්හී නාමරූපය මෙබඳු ජීවිතයක් උපදවා දේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“විඤ්ඤාණං ච හි ආනන්ද දහරස්සේව සතෝ වොච්ඡිජ්ජිස්සථ කුමාරකස්ස වා කුමාරිකාය වා, අපි නු ඛෝ නාමරූපං වුද්ධිං විරූළ්හිං වේපුල්ලං ආපජ්ජිස්සථාති?”

“ආනන්දයෙනි, දරුවෙකුගේ හෝ දැරියකගේ හෝ විඤ්ඤාණය ළදරු අවදියෙහි ම එහි පැවැත්ම කැඩෙන්නේ නම්, එවිට නාමරූප වැඩීමකට, දියුණුවකට, විපුල බවකට පත්වේවි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද ඒසේව හේතු ඒතං නිදානං. ඒස සමුදයෝ ඒස පච්චයෝ නාමරූපස්ස යදිදං විඤ්ඤාණං.”

“එහෙයින් ආනන්දයෙනි, නාමරූපයට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ විඤ්ඤාණය යි.

22. “නාමරූපපච්චයා විඤ්ඤාණන්ති ඉති ඛෝ පනේතං වුත්තං. තදානන්ද ඉමිනාපේතං පරියායේන වේදිතබ්බං යථා නාමරූපපච්චයා විඤ්ඤාණං: විඤ්ඤාණං ච හි ආනන්ද නාමරූපේ පතිට්ඨං න ලභිස්සථ, අපි නු ඛෝ ආයතිං ජාතිජරාමරණං දුක්ඛසමුදයසම්භවෝ පඤ්ඤායේථාති?”

‘නාමරූප හේතුවෙන් විඤ්ඤාණය හටගන්නේ’ යැයි මෙසේ මේ කරුණ කියන ලදී. ආනන්දයෙනි, නාමරූප හේතුවෙන් විඤ්ඤාණය හටගන්නේ යම් අයුරකින් නම්, එය මේ ක්‍රමයෙනුත් දත යුත්තේ ය.

ආනන්දයෙනි, විඤ්ඤාණයත් නාමරූපයෙහි පිහිටක් නොලබයි නම්, මතු ඉදිරියට ඉපදීම, ජරා මරණ, කායික දුක් ආදියෙහි හටගැනීමක් පැණවේවිද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද, ඒසේව හේතු ඒතං නිදානං ඒස සමුදයෝ ඒස පච්චයෝ විඤ්ඤාණස්ස යදිදං නාමරූපං.”

“එහෙයින් ආනන්දයෙනි, විඤ්ඤාණයට හේතු වූයේ මෙය ම ය. පසුබිම මෙය ම ය. හටගැනීම මෙය ම ය. ප්‍රත්‍යය මෙය ම ය. එනම් මේ නාමරූපය යි.

“එත්තාවතා ඛෝ ආනන්ද ජායේථ වා ජීයේථ වා මීයේථ වා චවේථ වා උපපජ්ජේථ වා, එත්තාවතා අධිවචනපථෝ, එත්තාවතා නිරුත්තිපථෝ, එත්තාවතා විඤ්ඤත්තිපථෝ, එත්තාවතා පඤ්ඤාවචරං එත්තාවතා වට්ටං වත්තති, (එත්තාවතා) ඉත්ථත්තං පඤ්ඤාපනාය, යදිදං නාමරූපං සහ විඤ්ඤාණේන අඤ්ඤමඤ්ඤපච්චයතාය පවත්තති.”

ආනන්දයෙනි, මෙපමණකින් ම උපත හෝ වෙයි. ජරාව හෝ වෙයි. මරණය හෝ වෙයි. චුතවීම හෝ වෙයි. යළි ඉපදීම හෝ වෙයි. මෙපමණකින් ම නම්ගොත් භාවිතය වෙයි. මෙපමණකින් ම භාෂා ව්‍යවහාරය වෙයි. මෙපමණකින් ම ඉරියව්වලින් හැඟවීම වෙයි. මෙපමණකින් ම ප්‍රඥාව හැසිරවීම වෙයි. මෙපමණකින් ම සසර සැරිසරා යාම වෙයි. මෙපමණකින් ම මෙබඳු ජීවිතයකගේ පැණවීම වෙයි. එනම් මේ නාමරූපය විඤ්ඤාණය සමඟ ඔවුනොවුන්ට උපකාර වීමෙන් පැවතීම යි.

23. “කිත්තාවතා ච ආනන්ද අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති; රූපිං වා හි ආනන්ද පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති ‘රූපී මේ පරිත්තෝ අත්තා’ති, රූපිං වා හි ආනන්ද අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති ‘රූපී මේ අනන්තෝ අත්තා’ති, ‘අරූපිං වා හි ආනන්ද පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති ‘අරූපී මේ පරිත්තෝ අත්තා’ති, අරූපිං වා හි ආනන්ද අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති ‘අරූපී මේ අනන්තෝ අත්තා’ති.

ආනන්දයෙනි, ආත්මය තිබේ යැයි කියන්නා එය පණවන්නේ කවර කරුණු මත ද? ආනන්දයෙනි, රූපවත් වූ හෝ කුඩා ආත්මයක් තිබේ යැයි කියන්නා ‘මාගේ කුඩා වූ ආත්මය රූපවත්’ ය කියා පණවන්නේ ය. ආනන්දයෙනි, රූපවත් වූ හෝ අනන්ත ආත්මයක් තිබේ යැයි කියන්නා ‘මාගේ අනන්ත වූ ආත්මය රූපවත්’ ය කියා පණවන්නේ ය. ආනන්දයෙනි, අරූපවත් වූ හෝ කුඩා ආත්මයක් තිබේ යැයි කියන්නා ‘මාගේ කුඩා වූ ආත්මය අරූපවත්’ ය කියා පණවන්නේ ය. ආනන්දයෙනි, අරූපවත් වූ හෝ අනන්ත ආත්මයක් තිබේ යැයි කියන්නා ‘මාගේ අනන්ත වූ ආත්මය අරූපවත්’ ය කියා පණවන්නේ ය.

24. “තත්‍රානන්ද යෝ සෝ රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති, ඒතරහි වා සෝ රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. තත්ථ භාවිං වා සෝ රූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද රූපිං පරිත්තත්තානුදිට්ඨි අනුසේතීති ඉච්චාලං වචනාය.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් රූපවත් වූ කුඩා ආත්මය තිබේ යැයි කියා පණවයි ද, හෙතෙම රූපවත් වූ කුඩා ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ පණවයි. හෙතෙම රූපවත් වූ කුඩා ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ පණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට සිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී රූපවත් වූ කුඩා වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි පවතින්නේ ය යන්න කීම සුදුසු ය.

25. “තත්‍රානන්ද යෝ සෝ රූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති, ඒතරහි වා සෝ රූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති, තත්ථ භාවිං වා සෝ රූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද රූපිං අනන්තත්තානුදිට්ඨි අනුසේතීති ඉච්චාලං වචනාය.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් රූපවත් වූ අනන්ත ආත්මය තිබේ යැයි කියා පණවයි ද, හෙතෙම රූපවත් වූ අනන්ත ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ පණවයි. හෙතෙම රූපවත් වූ අනන්ත ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ පණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට සිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී රූපවත් වූ අනන්ත වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි පවතින්නේ ය යන්න කීම සුදුසු ය.

26. “තත්‍රානන්ද යෝ සෝ අරූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති, ඒතරහි වා සෝ අරූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති, තත්ථ භාවිං වා සෝ අරූපිං පරිත්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති, ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද අරූපිං පරිත්තත්තානුදිට්ඨි අනුසේතීති ඉච්චාලං වචනාය.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් අරූපවත් වූ කුඩා ආත්මය තිබේ යැයි කියා පණවයි ද, හෙතෙම අරූපවත් වූ කුඩා ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ පණවයි. හෙතෙම අරූපවත් වූ කුඩා ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ පණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට සිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී අරූපවත් වූ කුඩා වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි පවතින්නේ ය යන්න කීම සුදුසු ය.

27. “තත්‍රානන්ද යෝ සෝ අරූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති, ඒතරහි වා සෝ අරූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. තත්ථ භාවිං වා සෝ අරූපිං අනන්තං අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද අරූපිං අනන්තත්තානුදිට්ඨි අනුසේතීති ඉච්චාලං වචනාය. එත්තාවතා ඛෝ ආනන්ද අත්තානං පඤ්ඤපෙන්තෝ පඤ්ඤපේති.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් අරූපවත් වූ අනන්ත ආත්මය තිබේ යැයි කියා පණවයි ද, හෙතෙම අරූපවත් වූ අනන්ත ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ පණවයි. හෙතෙම අරූපවත් වූ අනන්ත ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ පණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට සිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී අරූපවත් වූ අනන්ත වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි පවතින්නේ ය යන්න කීම සුදුසු ය. ආනන්දයෙනි, ආත්මය තිබේ යැයි කියන්නා එය පණවන්නේ මෙම කරුණු මත යි.

28. “කිත්තාවතාචානන්ද අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති:

ආනන්දයෙනි, ආත්මය තිබේ යැයි නොකියන්නා එය නොපණවන්නේ කවර කරුණු මත ද?

රූපිං වා හි ආනන්ද පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති ‘රූපී මේ පරිත්තෝ අත්තා’ති. රූපිං වා හි ආනන්ද අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති ‘රූපී මේ අනන්තෝ අත්තා’ති. අරූපිං වා හි ආනන්ද පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති ‘අරූපී මේ පරිත්තෝ අත්තා’ති. අරූපිං වා හි ආනන්ද අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති ‘අරූපී මේ අනන්තෝ අත්තා’ති.

ආනන්දයෙනි, රූපවත් වූ හෝ කුඩා ආත්මයක් තිබේ යැයි නොකියන්නා ‘මාගේ කුඩා වූ ආත්මය රූපවත්’ ය කියා නොපණවන්නේ ය. ආනන්දයෙනි, රූපවත් වූ හෝ අනන්ත ආත්මයක් තිබේ යැයි නොකියන්නා ‘මාගේ අනන්ත වූ ආත්මය රූපවත්’ ය කියා නොපණවන්නේ ය. ආනන්දයෙනි, අරූපවත් වූ හෝ කුඩා ආත්මයක් තිබේ යැයි නොකියන්නා ‘මාගේ කුඩා වූ ආත්මය අරූපවත්’ ය කියා නොපණවන්නේ ය. ආනන්දයෙනි, අරූපවත් වූ හෝ අනන්ත ආත්මයක් තිබේ යැයි නොකියන්නා ‘මාගේ අනන්ත වූ ආත්මය අරූපවත්’ ය කියා නොපණවන්නේ ය.

29. “තත්‍රානන්ද යෝ සෝ රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ, න පඤ්ඤපේති, ඒතරහි වා සෝ රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති, තත්ථ භාවිං වා සෝ රූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද රූපිං පරිත්තත්තානුදිට්ඨි නානුසේතීති ඉච්චාලං වචනාය.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් රූපවත් වූ කුඩා ආත්මය තිබේ යැයි නොකියන්නේ නොපණවයි ද, හෙතෙම රූපවත් වූ කුඩා ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. හෙතෙම රූපවත් වූ කුඩා ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට නොසිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී රූපවත් වූ කුඩා වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි නොපවතින්නේ ය යන්න කීම සුදුසු ය.

30. “තත්‍රානන්ද, යෝ සෝ රූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේත, ඒතරහි වා සෝ රූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. තත්ථ භාවිං වා සෝ රූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද රූපිං අනන්තත්තානුදිට්ඨි නානුසේතීති ඉච්චාලං වචනාය.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් රූපවත් වූ අනන්ත ආත්මය තිබේ යැයි නොකියන්නේ නොපණවයි ද, හෙතෙම රූපවත් වූ අනන්ත ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. හෙතෙම රූපවත් වූ අනන්ත ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට නොසිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී රූපවත් වූ අනන්ත වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි නොපවතින්නේ ය යන්න කීම සුදුසු ය.

31. “තත්‍රානන්ද, යෝ සෝ අරූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති, ඒතරහි වා සෝ අරූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. තත්ථ භාවිං වා සෝ අරූපිං පරිත්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද, අරූපිං පරිත්තත්තානුදිට්ඨි නානුසේතීති ඉච්චාලං වචනාය.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් අරූපවත් වූ කුඩා ආත්මය තිබේ යැයි නොකියන්නේ නොපණවයි ද, හෙතෙම අරූපවත් වූ කුඩා ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. හෙතෙම අරූපවත් වූ කුඩා ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට නොසිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී අරූපවත් වූ කුඩා වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි නොපවතින්නේ ය යන්න කීම සුදුසු ය.

32. “තත්‍රානන්ද, යෝ සෝ අරූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති, ඒතරහි වා සෝ අරූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. තත්ථ භාවිං වා සෝ අරූපිං අනන්තං අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති. ‘අතථං වා පන සන්තං තථත්තාය උපකප්පෙස්සාමී’ති ඉති වා පනස්ස න හෝති. ඒවං සන්තං ඛෝ ආනන්ද, අරූපිං අනන්තත්තානුදිට්ඨි නානුසේතීති ඉච්චාලං වචනාය. එත්තාවතා ඛෝ ආනන්ද අත්තානං න පඤ්ඤපෙන්තෝ න පඤ්ඤපේති.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් අරූපවත් වූ අනන්ත ආත්මය තිබේ යැයි නොකියන්නේ නොපණවයි ද, හෙතෙම අරූපවත් වූ අනන්ත ආත්මය මේ ජීවිතය තුළ පමණක් තිබේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. හෙතෙම අරූපවත් වූ අනන්ත ආත්මය අනාගත ජීවිතය තුළ වන්නේ ය කියා හෝ නොකියන්නේ නොපණවයි. එමෙන් ම අනුන් අස්ථිර යැයි කියන්නා වූ දෙයක් ස්ථිර ව පැවතීම පිණිස කරුණු පවසන්නෙමි යි කියා හෝ ඔහුට නොසිතෙන්නේ වෙයි. ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී අරූපවත් වූ අනන්ත වූ ආත්මය ඇත්තේ යැයි දෘෂ්ටිගතිකයා හට එය සිතෙහි නොපවතින්නේ ය යන්න කීම සුදුසු ය. ආනන්දයෙනි, ආත්මය තිබේ යැයි නොකියන්නා එය නොපණවන්නේ මෙම කරුණු මත ය.

33. “කිත්තාවතා ච ආනන්ද අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති;

ආනන්දයෙනි, ආත්මයක් ඇතැයි දකින්නා දකින්නේ කවර කරුණු මත ද?

වේදනං වා හි ආනන්ද, අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති: ‘වේදනා මේ අත්තා’ති. ‘න හේව ඛෝ මේ වේදනා අත්තා, අප්පටිසංවේදනෝ මේ අත්තා’ති ඉති වා හි ආනන්ද, අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. ‘න හේව ඛෝ මේ වේදනා අත්තා, නෝ’පි අප්පටිසංවේදනෝ මේ අත්තා, අත්තා මේ වේදියති වේදනාධම්මෝ හි මේ අත්තා’ති ඉති වා හි ආනන්ද, අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති.

ආනන්දයෙනි, වේදනාව ආත්මය යැයි දකින්නා ‘මාගේ ආත්මය විඳීම’ යැයි කියා හෝ දකින්නේ වෙයි. ‘වේදනාව මාගේ ආත්මය නොවේ. මාගේ ආත්මය විඳීම් රහිත’ යැයි ආනන්දයෙනි, මෙසේ හෝ ආත්මය දකින්නා දකින්නේ වෙයි. ‘මාගේ ආත්මය වේදනාව නොවෙයි. මාගේ ආත්මය විඳීම් රහිත ද නොවෙයි. මාගේ ආත්මය විඳියි. මාගේ ආත්මය විඳින ස්වභාවයෙන් යුක්ත යි.’ මෙසේ හෝ ආනන්දයෙනි, ආත්මය දකින්නා දකින්නේ වෙයි.

34. තත්‍රානන්ද, යෝ සෝ ඒවමාහ: ‘වේදනා මේ අත්තා’ති සෝ ඒවමස්ස වචනීයෝ: ‘තිස්සෝ ඛෝ ඉමා ආවුසෝ වේදනා: සුඛා වේදනා දුක්ඛා වේදනා අදුක්ඛමසුඛා වේදනා. ඉමාසං ඛෝ ත්වං තිස්සන්නං වේදනානං කතමං අත්තතෝ සමනුපස්සසී’ති. යස්මිං ආනන්ද, සමයේ සුඛං වේදනං වේදේති, නේව තස්මිං සමයේ දුක්ඛං වේදනං වේදේති, න අදුක්ඛමසුඛං වේදනං වේදේති, සුඛං යේව තස්මිං සමයේ වේදනං වේදේති. යස්මිං ආනන්ද, සමයේ දුක්ඛං වේදනං වේදේති, නේව තස්මිං සමයේ සුඛං වේදනං වේදේති, න අදුක්ඛමසුඛං වේදනං වේදේති, දුක්ඛං යේව තස්මිං සමයේ වේදනං වේදේති. යස්මිං ආනන්ද, සමයේ අදුක්ඛමසුඛං වේදනං වේදේති, නේව තස්මිං සමයේ සුඛං වේදනං වේදේති, න දුක්ඛං වේදනං වේදේති, අදුක්ඛමසුඛං යේව තස්මිං සමයේ වේදනං වේදේති.

ආනන්දයෙනි, එහිලා ඔවුන් අතුරෙන් යමෙක් ‘වේදනාව මාගේ ආත්මය’ යැයි කිය යි ද, ඔහුට මෙසේ කිව යුත්තේ ය. ආයුෂ්මත, මේ තුන් අයුරු වූ විඳීමක් ඇත්තේ ය. සැප වේදනාව, දුක් වේදනාව සහ දුක් සැප රහිත වේදනාව යි. මේ තුන් වේදනාවන්ගෙන් ඔබ ආත්මය වශයෙන් දකින්නේ කවර විඳීමක් ද?

ආනන්දයෙනි, යම් වෙලාවක සැප විඳීමක් විඳියි නම් එසමයෙහි දුක් විඳීමක් ද නොවිඳියි. දුක් සැප රහිත විඳිමක් ද නොවිඳියි. එසමයෙහි සැප වූ විඳීමක් ම විඳින්නේ වෙයි.

ආනන්දයෙනි, යම් වෙලාවක දුක් විඳීමක් විඳියි නම් එසමයෙහි සැප විඳීමක් ද නොවිඳියි. දුක් සැප රහිත විඳීමක් ද නොවිඳියි. එසමයෙහි දුක් වූ විඳීමක් ම විඳින්නේ වෙයි.

ආනන්දයෙනි, යම් වෙලාවක දුක් සැප රහිත විඳීමක් විඳියි නම් එසමයෙහි දුක් විඳීමක් ද නොවිඳියි. සැප විඳිමක් ද නොවිඳියි. එසමයෙහි දුක්සැප රහිත වූ විඳීමක් ම විඳින්නේ වෙයි.

35. “සුඛා පි ඛෝ ආනන්ද, වේදනා අනිච්චා සංඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරෝධධම්මා. දුක්ඛාපි ඛෝ ආනන්ද වේදනා අනිච්චා සංඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරෝධධම්මා. අදුක්ඛමසුඛා පි ඛෝ ආනන්ද වේදනා අනිච්චා සංඛතා පටිච්චසමුප්පන්නා ඛයධම්මා වයධම්මා විරාගධම්මා නිරෝධධම්මා. තස්ස සුඛං වේදනං වේදයමානස්ස ‘ඒසෝ මේ අත්තා’ති හෝති. තස්සා යේව සුඛාය වේදනාය නිරෝධා ‘ව්‍යග්ගෝ මේ අත්තා’ති හෝති. දුක්ඛං වේදනං වේදයමානස්ස ‘ඒසෝ මේ අත්තා’ති හෝති. තස්සා යේව දුක්ඛාය වේදනාය නිරෝධා ‘ව්‍යග්ගෝ මේ අත්තා’ති හෝති. අදුක්ඛමසුඛං වේදනං වේදයමානස්ස ‘ඒසෝ මේ අත්තා’ති හෝති. තස්සා යේව අදුක්ඛමසුඛාය වේදනාය නිරෝධා ‘ව්‍යග්ගෝ මේ අත්තා’ති හෝති. ඉති සෝ දිට්ඨේව ධම්මේ අනිච්චං සුඛං දුක්ඛං වෝකිණ්ණං උප්පාදවයධම්මං අත්තානං සමනුපස්සමානෝ සමනුපස්සති. යෝ සෝ ඒවමාහ ‘වේදනා මේ අත්තා’ති. තස්මාතිහානන්ද, ඒතේනපේතං නක්ඛමති ‘වේදනා මේ අත්තා’ති සමනුපස්සිතුං.

ආනන්දයෙනි, සැප වේදනාව ත් අනිත්‍යය ය. හේතූන් නිසා සකස් වී ඇත්තේ ය. හේතූන් නිසා හටගත්තේ ය. ක්ෂය වී යන ස්වභාව ඇත්තේ ය. නැසෙන ස්වභාව ඇත්තේ ය. නොඇලිය යුතු ස්වභාව ඇත්තේ ය. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාව ඇත්තේ ය.

ආනන්දයෙනි, දුක් වේදනාව ත් අනිත්‍යය ය. හේතූන් නිසා සකස් වී ඇත්තේ ය. හේතූන් නිසා හටගත්තේ ය. ක්ෂය වී යන ස්වභාව ඇත්තේ ය. නැසෙන ස්වභාව ඇත්තේ ය. නොඇලිය යුතු ස්වභාව ඇත්තේ ය. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාව ඇත්තේ ය.

ආනන්දයෙනි, දුක්සැප රහිත වේදනාව ත් අනිත්‍යය ය. හේතූන් නිසා සකස් වී ඇත්තේ ය. හේතූන් නිසා හටගත්තේ ය. ක්ෂය වී යන ස්වභාව ඇත්තේ ය. නැසෙන ස්වභාව ඇත්තේ ය. නොඇලිය යුතු ස්වභාව ඇත්තේ ය. ඇල්ම නිරුද්ධ කළ යුතු ස්වභාව ඇත්තේ ය.

සැප විඳීමක් විඳින්නෙකුට ‘මෙය මාගේ ආත්මය’ යැයි සිතක් ඇති වෙයි ද, ඔහුගේ ඒ සැප වේදනාව නිරුද්ධ වීමෙන් ‘මාගේ ආත්මය පහව ගියේ’ යැයි සිතෙයි.

දුක් විඳීමක් විඳින්නෙකුට ‘මෙය මාගේ ආත්මය’ යැයි සිතක් ඇති වෙයි ද, ඔහුගේ ඒ දුක් වේදනාව නිරුද්ධ වීමෙන් ‘මාගේ ආත්මය පහව ගියේ’ යැයි සිතෙයි.

දුක් සැප රහිත විඳීමක් විඳින්නෙකුට ‘මෙය මාගේ ආත්මය’ යැයි සිතක් ඇති වෙයි ද, ඔහුගේ ඒ දුක් සැප රහිත වේදනාව නිරුද්ධ වීමෙන් ‘මාගේ ආත්මය පහව ගියේ’ යැයි සිතෙයි.

මෙසේ හේ මෙලොව දී ම අනිත්‍ය වූ සැප දුක් දෙකින් මිශ්‍ර වූ උපදින්නා වූ නැසෙන්නා වූ ස්වභාව ඇති ආත්මයක් දකින්නේ නම් දකියි. යමෙක් ‘විඳීම මාගේ ආත්මය’ යැයි මෙසේ පැවසුවෙහි ද, ආනන්දයෙනි, එහෙයින් ඔවුන්ට ‘වේදනාව මාගේ ආත්මය’ යැයි දකින්නට නොරිසි වෙයි.

36. “තත්‍රානන්ද, යෝ සෝ ඒවමාහ ‘න හේව ඛෝ මේ වේදනා අත්තා, අප්පටිසංවේදනෝ මේ අත්තා’ති, සෝ ඒවමස්ස වචනීයෝ ‘යත්ථ පනාවුසෝ සබ්බසෝ වේදයිතං නත්ථි, අපි නු ඛෝ තත්ථ අයමහමස්මී’ති සියා?”ති.

ආනන්දයෙනි, එහිලා යමෙක් මෙසේ පැවසුවේ ද, ‘මාගේ ආත්මය වේදනාව නොවේ. මාගේ ආත්මය වේදනා රහිත වූවකි’ කියා. ඔහුට මෙසේ කිව යුත්තේ ය.

‘ආයුෂ්මත, යම් තැනක සියළු ආකාරයෙන් විඳීමක් නැත්නම්, එතැන මේ මම වෙමි’ යි කියා කිසිවක් තිබෙන්නේ ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, එය නොවේ ම ය.”

“තස්මාතිහානන්ද, ඒතේනපේතං නක්ඛමති ‘න හේව ඛෝ මේ වේදනා අත්තා, අප්පටිසංවේදනෝ මේ අත්තා’ති සමනුපස්සිතුං.

“එහෙයින් ආනන්දයෙනි, ‘මාගේ ආත්මය වේදනාව නොවේ. මාගේ ආත්මය වේදනා රහිත වූවකි’ යන කරුණ දකින්නට නොකැමති වෙයි.

37. තත්‍රානන්ද, යෝ සෝ ඒවමාහ ‘න හේව ඛෝ මේ වේදනා අත්තා, නෝ’පි අප්පටිසංවේදනෝ මේ අත්තා, අත්තා මේ වේදේති, වේදනාධම්මෝ හි මේ අත්තා’ති, සෝ ඒවමස්ස වචනීයෝ: ‘වේදනා ච හි ආවුසෝ සබ්බේන සබ්බං සබ්බථා සබ්බං අපරිසේසා නිරුජ්ඣෙය්‍යුං, සබ්බසෝ වේදනාය අසති වේදනානිරෝධා අපි නු ඛෝ තත්ථ අයමහමස්මී’ති සියා?”ති.

ආනන්දයෙනි, ඔවුන් අතුරින් යමෙක් මෙසේ කීවේ ද, ‘වේදනාව මාගේ ආත්මය නොවේ ම ය. මාගේ ආත්මය වේදනාව රහිත වූ දෙයකුත් නොවෙයි. මාගේ ආත්මය විඳියි. මාගේ ආත්මය විඳින ස්වභාව ඇත්තේ ය’ කියා. ඔහුට මෙසේ කිව යුත්තේ ය.

ඉදින් ආයුෂ්මත, වේදනාව සියළු දෙනාට ම සියළු විදියෙන් ම, සියළු දෙනාට ම සියළු අයුරින් ම, ඉතිරි නැති ව නිරුද්ධ වන්නාහු නම්, සියළු අයුරින් ම වේදනාව නැති කල්හී වේදනාව නිරුද්ධ වීමෙන් එහි ‘මේ මම වෙමි’යි කියා යමක් ඇත්තේ ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, එය නැත්තේ ය.”

“තස්මාතිහානන්ද, ඒතේනපේතං නක්ඛමති ‘න හේව ඛෝ මේ වේදනා අත්තා, නෝ’පි අප්පටිසංවේදනෝ මේ අත්තා, අත්තා මේ වේදයති, වේදනාධම්මෝ හි මේ අත්තා’ති සමනුපස්සිතුං.”

“එහෙයින් ආනන්දයෙනි, ‘වේදනාව මාගේ ආත්මය නොවේ ම ය. මාගේ ආත්මය වේදනාව රහිත වූ දෙයකුත් නොවෙයි. මාගේ ආත්මය විඳියි. මාගේ ආත්මය විඳින ස්වභාව ඇත්තේ ය’ යන කරුණ දකින්නට නොකැමති වෙයි.”

38. “යතෝ ඛෝ පනානන්ද, භික්ඛු නේව වේදනං අත්තානං සමනුපස්සති, නෝ’පි අප්පටිසංවේදනං අත්තානං සමනුපස්සති, නෝ’පි ‘අත්තා මේ වේදයති වේදනාධම්මෝ හි මේ අත්තා’ති සමනුපස්සති, සෝ ඒවං අසමනුපස්සන්තෝ න ච කිඤ්චි ලෝකේ උපාදියති, අනුපාදියං න පරිතස්සති, අපරිතස්සං පච්චත්තං යේව පරිනිබ්බායිස්සති. ඛීණා ජාති, වුසිතං බ්‍රහ්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්ථත්තායා’ති පජානාති.

ආනන්දයෙනි, යම් කලක භික්ෂුව වේදනාව ආත්මය වශයෙන් නොදකියි ද, වේදනා රහිත වූ ආත්මයකුත් නොදකියි ද, මාගේ ආත්මය විඳියි. මාගේ ආත්මය විඳින ස්වභාවයෙන් ඇත්තේ යැයි කියා නොදකියි ද, ඔහු මෙසේ නොදකින්නේ ලෝකයේ කිසිවකට ග්‍රහණය නොවෙයි. ග්‍රහණය නොවන කල්හී තැති නොගනී. තැති නොගන්නේ තමා තුළ ම පිරිනිවීමට පත් වෙයි. ඉපදීම ක්ෂය වූයේ ය. බඹසර වාසය නිම කරන ලදී. කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු අනෙකක් නැතැයි දැන ගනියි.

39. “ඒවං විමුත්තචිත්තං ඛෝ ආනන්ද, භික්ඛුං යෝ ඒවං වදෙය්‍ය “හෝති තථාගතෝ පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. “න හෝති තථාගතෝ පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. “හෝති ච න ච හෝති තථාගතෝ පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. “නේව හෝති, න න හෝති තථාගතෝ පරම්මරණා ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං. තං කිස්ස හේතු: යාවතා ආනන්ද අධිවචනං, යාවතා අධිවචනපථෝ, යාවතා නිරුත්ති, යාවතා නිරුත්තිපථෝ, යාවතා පඤ්ඤත්ති, යාවතා පඤ්ඤත්තිපථෝ, යාවතා පඤ්ඤා, යාවතා පඤ්ඤාවචරං යාවතා වට්ටං වට්ටති, තදභිඤ්ඤා විමුත්තෝ භික්ඛු “තදභිඤ්ඤා විමුත්තෝ භික්ඛු න ජානාති න පස්සති ඉති’ස්ස දිට්ඨී”ති තදකල්ලං.

ආනන්දයෙනි, මෙසේ මිදුණු සිත් ඇති ඒ නිකෙලෙස් භික්ෂුව අරභයා යමෙක් මෙසේ කිය යි නම්, ‘තථාගත තෙමේ මරණින් මතු සිටින්නේ ය යන්න මොහුගේ දෘෂ්ටියකි’ යි යන්න කීම අයුතුය. ‘තථාගත තෙමේ මරණින් මතු නොසිටින්නේ ය යනුවෙන් මොහුගේ දෘෂ්ටියකි’ යි යන්න කීම අයුතුය. ‘තථාගත තෙමේ මරණින් මතු සිටින්නේ ය, නොසිටින්නේ ය යනුවෙන් මොහුගේ දෘෂ්ටියකි’ යි යනුවෙන් කීම අයුතුය. ‘තථාගත තෙමේ මරණින් මතු නොසිටින්නේ ය, නොම නොසිටින්නේ ය යන්න මොහුගේ දෘෂ්ටියකි’ යි යනුවෙන් කීම අයුතුය. එයට හේතුව කුමක් ද? ආනන්දයෙනි, යම්තාක් භාෂාවක් ඇද්ද, යම්තාක් භාෂා ව්‍යවහාරය ඇද්ද, යම්තාක් නිර්වචන ඇද්ද, යම්තාක් නිර්වචන මාර්ග ඇද්ද, යම්තාක් පැණවීම් ඇද්ද, යම්තාක් පණවන මාර්ග ඇද්ද, යම්තාක් ප්‍රඥාව ඇද්ද, යම්තාක් ප්‍රඥාවේ හැසිරීම ඇද්ද, යම් තාක් සසර පැවැත්ම තිබෙන්නේ ද, එය විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයින් නිදහස් වී ගිය භික්ෂුව පිළිබඳ ව ‘ඒ විශිෂ්ට ඥානයෙන් අවබෝධ කොට එයින් නිදහස් වී ගිය භික්ෂුව නොදනියි, නොදකියි. එබැවින් ඔහුගේ දෘෂ්ටිය මෙසේ යැ’යි කීම අයුතුය.

40. “සත්ත ඛෝ ඉමා ආනන්ද, විඤ්ඤාණට්ඨිතියෝ, ද්වේ ආයතනානි, කතමා සත්ත;

ආනන්දයෙනි, මේ විඤ්ඤාණය පිහිටන තැන් සතක් ඇත්තේ ය. එමෙන් ම ආයතන දෙකක් ඇත්තේ ය.

විඤ්ඤාණය පිහිටන තැන් සත මොනවා ද?

(1). සන්තානන්ද, සත්තා නානත්තකායා නානත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි මනුස්සා ඒකච්චේ ච දේවා ඒකච්චේ ච විනිපාතිකා. අයං පඨමා විඤ්ඤාණට්ඨිති.”

ආනන්දයෙනි, කාය නානාත්වය ඇති, සංඥා නානත්වය ඇති සත්වයෝ සිටිති. මිනිසුන් සේ ය. ඇතැම් දෙවියන් සේ ය. ඇතැම් විනිපාතිකයන් සේ ය. මේ විඤ්ඤාණය පිහිටන පළමුවෙනි තැන යි.

(2). “සන්තානන්ද, සත්තා නානත්තකායා ඒකත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි දේවා බ්‍රහ්මකායිකා පඨමාභිනිබ්බත්තා. අයං දුතියා විඤ්ඤාණට්ඨිති.”

ආනන්දයෙනි, කාය නානාත්වය ඇති, සංඥා ඒකත්වය ඇති සත්වයෝ සිටිති. ප්‍රථම ධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියන් සේ ය. මේ විඤ්ඤාණය පිහිටන දෙවෙනි තැන යි.

(3). “සන්තානන්ද, සත්තා ඒකත්තකායා නානත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි දේවා ආභස්සරා. අයං තතියා විඤ්ඤාණට්ඨිති.”

ආනන්දයෙනි, කාය ඒකත්වය ඇති, සංඥා නානාත්වය ඇති සත්වයෝ සිටිති. ආභස්සර දෙවියන් සේ ය. මේ විඤ්ඤාණය පිහිටන තුන්වෙනි තැන යි.

(4). “සන්තානන්ද, සත්තා ඒකත්තකායා ඒකත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි දේවා සුභකිණ්හා. අයං චතුත්ථා විඤ්ඤාණට්ඨිති.”

ආනන්දයෙනි, කාය ඒකත්වය ඇති, සංඥා ඒකත්වය ඇති සත්වයෝ සිටිති. සුභකිණ්හ දෙවියන් සේ ය. මේ විඤ්ඤාණය පිහිටන සිව්වෙනි තැන යි.

(5). “සන්තානන්ද, සත්තා සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනූපගා. අයං පඤ්චමා විඤ්ඤාණට්ඨිති.”

ආනන්දයෙනි, සියළු අයුරින් රූප සංඥා ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැතිවීමෙන්, නා නා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන්, ‘ආකාශය අනන්තය’ ය වශයෙන් සමවත් වඩා ආකාසානඤ්චායතනයෙහි උපන් සත්වයෝ සිටිති. මේ විඤ්ඤාණය පිහිටන පස්වෙනි තැන යි.

(6). “සන්තානන්ද, සත්තා සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනූපගා. අයං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති.”

ආනන්දයෙනි, සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්තය’ ය වශයෙන් සමවත් වඩා විඤ්ඤාණඤ්චායතනයෙහි උපන් සත්වයෝ සිටිති. මේ විඤ්ඤාණය පිහිටන සයවෙනි තැන යි.

(7). “සන්තානන්ද, සත්තා සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා. අයං සත්තමා විඤ්ඤාණට්ඨිති.”

ආනන්දයෙනි, සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන්, ‘කිසිවක් නැතැ’ යි සමවත් වඩා ආකිඤ්චඤ්ඤායතනයෙහි උපන් සත්වයෝ සිටිති. මේ විඤ්ඤාණය පිහිටන සත්වෙනි තැන යි.

අසඤ්ඤසත්තායතනං, නේවසඤ්ඤානාසඤ්ඤායතනමේව දුතියං.

අසංඥසත්ව ලෝකය යන ආයතනය පළමුවැන්නයි. නේවසඤ්ඤානාසඤ්ඤායතනය ම දෙවැන්න යි.

41. තත්‍රානන්ද, යායං පඨමා විඤ්ඤාණට්ඨිති නානත්තකායා නානත්තසඤ්ඤිනෝ සෙය්‍යථාපි මනුස්සා ඒකච්චේ ච දේවා ඒකච්චේ ච විනිපාතිකා, යෝ නු ඛෝ ආනන්ද, තඤ්ච පජානාති, තස්සා ච සමුදයං පජානාති, තස්සා ච අත්ථංගමං පජානාති, තස්සා ච අස්සාදං පජානාති, තස්සා ච ආදීනවං පජානාති, තස්සා ච නිස්සරණං පජානාති, කල්ලං නු තේන තදභිනන්දිතුන්ති?”

ආනන්දයෙනි, එහිලා මිනිසුන් සේ, ඇතැම් දෙවියන් සේ, ඇතැම් විනිපාතිකයන් සේ කාය නානාත්වය ඇති, සංඥා නානත්වය ඇති සත්වයන් සිටින්නා වූ යම් මේ විඤ්ඤාණය පිහිටන පළමු තැනක් ඇත්තේ ද, ආනන්දයෙනි, යමෙක් එය ත් දනියි නම්, එහි හටගැනීම ත් දනියි නම්, එහි නැතිවීම ත් දනියි නම්, එහි ආශ්වාදය ත් දනියි නම්, එහි ආදීනවය ත් දනියි නම්, එහි නිස්සරණය ත් දනියි නම්, ඔහු විසින් එය උපතක් සඳහා සතුටින් පිළිගන්නට සුදුසු වෙයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නුසුදුසු ය.”

“තත්‍රානන්ද, යායං දුතියා විඤ්ඤාණට්ඨිති ….(පෙ)…. යායං තතියා විඤ්ඤාණට්ඨිති ….(පෙ)…. යායං චතුත්ථා විඤ්ඤාණට්ඨිති ….(පෙ)…. යායං පඤ්චමා විඤ්ඤාණට්ඨිති ….(පෙ)…. යායං ඡට්ඨා විඤ්ඤාණට්ඨිති ….(පෙ)…. තත්‍රානන්ද, යායං සත්තමා විඤ්ඤාණට්ඨිති සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනූපගා, යෝ නු ඛෝ ආනන්ද තඤ්ච පජානාති, තස්සා ච සමුදයං පජානාති, තස්සා ච අත්ථංගමං පජානාති, තස්සා ච අස්සාදං පජානාති, තස්සා ච ආදීනවං පජානාති, තස්සා ච නිස්සරණං පජානාති, කල්ලං නු තේන තදභිනන්දිතුන්ති?”

“ආනන්දයෙනි, එහිලා යම් මේ විඤ්ඤාණය පිහිටන දෙවෙනි තැනක් ඇද්ද ….(පෙ)…. යම් මේ විඤ්ඤාණය පිහිටන තෙවෙනි තැනක් ඇද්ද ….(පෙ)…. යම් මේ විඤ්ඤාණය පිහිටන සිව්වෙනි තැනක් ඇද්ද ….(පෙ)…. යම් මේ විඤ්ඤාණය පිහිටන පස්වෙනි තැනක් ඇද්ද ….(පෙ)…. යම් මේ විඤ්ඤාණය පිහිටන සයවෙනි තැනක් ඇද්ද ….(පෙ)…. ආනන්දයෙනි, එහිලා මේ විඤ්ඤාණය පිහිටන සත්වෙනි තැනක් ඇද්ද, සියළු අයුරින් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන් ‘කිසිවක් නැතැ’යි සමවත් වඩා ආකිඤ්චඤ්ඤායතනයෙහි උපන් සත්වයෝ වෙත් නම්, ආනන්දයෙනි, යමෙක් එය ත් දනියි නම්, එහි හටගැනීම ත් දනියි නම්, එහි නැතිවීම ත් දනියි නම්, එහි ආශ්වාදය ත් දනියි නම්, එහි ආදීනවය ත් දනියි නම්, එහි නිස්සරණය ත් දනියි නම්, ඔහු විසින් එය උපතක් සඳහා සතුටින් පිළිගන්නට සුදුසු වෙයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නුසුදුසු ය.”

“තත්‍රානන්ද, යදිදං අසඤ්ඤසත්තායතනං, යෝ නු ඛෝ ආනන්ද, තඤ්ච පජානාති, තස්ස ච සමුදයං පජානාති, තස්ස ච අත්ථංගමං පජානාති, තස්ස ච අස්සාදං පජානාති, තස්ස ච ආදීනවං පජානාති, තස්ස ච නිස්සරණං පජානාති, කල්ලං නු තේන තදභිනන්දිතුන්ති?”

“ආනන්දයෙනි, එහිලා යම් මේ අසංඥසත්ව ලෝකය නම් වූ ආයතනයක් ඇද්ද, ආනන්දයෙනි, යමෙක් එය ත් දනියි නම්, එහි හටගැනීම ත් දනියි නම්, එහි නැතිවීම ත් දනියි නම්, එහි ආශ්වාදය ත් දනියි නම්, එහි ආදීනවය ත් දනියි නම්, එහි නිස්සරණය ත් දනියි නම්, ඔහු විසින් එය උපතක් සඳහා සතුටින් පිළිගන්නට සුදුසු වෙයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නුසුදුසු ය.”

“තත්‍රානන්ද, යදිදං නේවසඤ්ඤානාසඤ්ඤායතනං, යෝ නු ඛෝ ආනන්ද, තඤ්ච පජානාති, තස්ස ච සමුදයං පජානාති, තස්ස ච අත්ථංගමං පජානාති, තස්ස ච අස්සාදං පජානාති, තස්ස ච ආදීනවං පජානාති, තස්ස ච නිස්සරණං පජානාති, කල්ලං නු තේන තදභිනන්දිතුන්ති?”

“ආනන්දයෙනි, එහිලා යම් මේ නේවසංඥානාසංඥායතනය ඇද්ද, ආනන්දයෙනි, යමෙක් එය ත් දනියි නම්, එහි හටගැනීම ත් දනියි නම්, එහි නැතිවීම ත් දනියි නම්, එහි ආශ්වාදය ත් දනියි නම්, එහි ආදීනවය ත් දනියි නම්, එහි නිස්සරණය ත් දනියි නම්, ඔහු විසින් එය උපතක් සඳහා සතුටින් පිළිගන්නට සුදුසු වෙයි ද?”

“නෝ හේතං භන්තේ.”

“ස්වාමීනී, මෙය නුසුදුසු ය.”

“යතෝ ඛෝ ආනන්ද, භික්ඛු ඉමාසඤ්ච සත්තන්නං විඤ්ඤාණට්ඨිතිනං, ඉමේසඤ්ච ද්වින්නං ආයතනානං සමුදයඤ්ච අත්ථංගමඤ්ච අස්සාදඤ්ච ආදීනවඤ්ච නිස්සරණඤ්ච යථාභූතං විදිත්වා අනුපාදා විමුත්තෝ හෝති. අයං වුච්චතානන්ද, භික්ඛු පඤ්ඤාවිමුත්තෝ.

“ආනන්දයෙනි, යම් කලෙක භික්ෂුව මේ විඤ්ඤාණය පිහිටන සත් තැන පිළිබඳ ව ත්, මේ ආයතන දෙක පිළිබඳ ව ත්, එහි හටගැනීම ත්, එහි නැතිවීම ත්, එහි ආශ්වාදය ත්, එහි ආදීනවය ත්, එහි නිස්සරණය ත් ඒ වූ සැටියෙන් ම අවබෝධ කොට කිසිවකට ග්‍රහණය නොවී නිදහස් වූයේ වෙයි ද, ආනන්දයෙනි, මේ භික්ෂුව ‘පඤ්ඤාවිමුත්ත’ යැයි කියනු ලැබේ.

42. “අට්ඨ ඛෝ ඉමේ ආනන්ද විමොක්ඛා. කතමේ අට්ඨ:

ආනන්දයෙනි, මේ විමෝක්ෂයෝ අටකි. ඒ කවර අටක් ද යත්;

(1). රූපී රූපානි පස්සති. අයං පඨමෝ විමොක්ඛෝ.

රූපවත් වූයේ රූපයන් දකියි. මෙය පළමු විමෝක්ෂය යි.

(2). අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති. අයං දුතියෝ විමොක්ඛෝ.

ආධ්‍යාත්මයෙහි අරූප සංඥී ව බාහිර රූපයන් දකියි. මෙය දෙවෙනි විමෝක්ෂය යි.

(3). සුභන්තේව අධිමුත්තෝ හෝති. අයං තතියෝ විමොක්ඛෝ.

ඒ සමාධි අරමුණ සුභ වශයෙන් ම ගෙන එහි බලවත් ව බැස ගත්තේ වෙයි. මෙය තුන්වෙනි විමෝක්ෂය යි.

(4). සබ්බසෝ රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ‘අනන්තෝ ආකාසෝ’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං චතුත්ථෝ විමොක්ඛෝ.

සියළු අයුරින් රූප සංඥා ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැතිවීමෙන්, නා නා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන්, ‘ආකාශය අනන්තය’ ය වශයෙන් සමවත් වඩා ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය සිව්වෙනි විමෝක්ෂය යි.

(5). සබ්බසෝ ආකාසානඤ්චායතනං සමතික්කම්ම ‘අනන්තං විඤ්ඤාණ’න්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. අයං පඤ්චමෝ විමොක්ඛෝ.

සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්තය’ ය වශයෙන් සමවත් වඩා විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය පස්වෙනි විමෝක්ෂය යි.

(6). සබ්බසෝ විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ‘නත්ථි කිඤ්චී’ති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං ඡට්ඨෝ විමොක්ඛෝ.

සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන්, ‘කිසිවක් නැතැ’ යි සමවත් වඩා ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මෙය සය වෙනි විමෝක්ෂය යි.

(7). සබ්බසෝ ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නේවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමෝ විමොක්ඛෝ.

සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන්, නේවසංඥා- නාසංඥායතනයට පැමිණ වාසය කරයි. මෙය සත්වෙනි විමෝක්ෂය යි.

(8). සබ්බසෝ නේවසඤ්ඤානාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවේදයිතනිරෝධං උපසම්පජ්ජ විහරති. අයං අට්ඨමෝ විමොක්ඛෝ.

සියළු අයුරින් නේවසංඥානාසංඥායතනය ඉක්මවීමෙන් සංඥා වේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මෙය අටවෙනි විමෝක්ෂය යි.

ඉමේ ඛෝ ආනන්ද, අට්ඨ විමොක්ඛා.

ආනන්දයෙනි, මේවා අෂ්ට විමෝක්ෂයෝ ය.

“යතෝ ඛෝ ආනන්ද, භික්ඛු ඉමේ අට්ඨ විමොක්ඛේ අනුලෝමම්පි සමාපජ්ජති, පටිලෝමම්පි සමාපජ්ජති, අනුලෝමපටිලෝමම්පි සමාපජ්ජති, යත්ථිච්ඡකං යදිච්ඡකං යාවදිච්ඡකං සමාපජ්ජතිපි වුට්ඨාතිපි, ආසවානඤ්ච ඛයා අනාසවං චේතෝවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨේව ධම්මේ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරති, අයං වුච්චතානන්ද, භික්ඛු උභතෝභාගවිමුත්තෝ. ඉමාය ච ආනන්ද උභතෝභාගවිමුත්තියා අඤ්ඤා උභතෝභාගවිමුත්ති උත්තරිතරා වා පණීතතරා වා නත්ථී”ති.

ආනන්දයෙනි, යම් කලෙක භික්ෂුව, මේ අෂ්ට විමෝක්ෂයන්ට අනුලෝම වශයෙනුත් සමවදියි ද, ප්‍රතිලෝම වශයෙනුත් සමවදියි ද, කැමති තැනක, කැමති අයුරින්, කැමති තාක් සමවදියි ද, එයින් නැගිටියි ද, ආශ්‍රවයන් ද ක්ෂය කිරීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මේ ජීවිතයේ දී ම තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරයි ද, ආනන්දයෙනි, මේ භික්ෂුව ‘උභතෝභාග විමුත්ත’ යැයි කියනු ලැබේ. ආනන්දයෙනි, මේ උභතෝභාග විමුක්තියට වඩා උත්තරීතර වූ හෝ ප්‍රණීතතර වූ හෝ අන්‍ය උභතෝභාග විමුක්තියක් නැත්තේ ය.”

ඉදමවෝච භගවා අත්තමනෝ ආයස්මා ආනන්දෝ භගවතෝ භාසිතං අභිනන්දීති.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහුය.

සාදු! සාදු!! සාදු!!!

මහානිදානසුත්තං නිට්ඨිතං දුතියං.

මහා නිදාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M