සැවැත් නුවර දී ය …..
මහණෙනි, දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
තමා ත් තමාට උපවාද කරයි. නුවණැත්තෝ දැනගත් විට ගරහති. පවිටු අපකීර්තියක් පැතිර යයි. සිහි මුලා ව කළුරිය කරයි. කය බිඳී මරණින් මතු අපාය දුර්ගති විනිපාත නම් වූ නිරයෙහි උපදියි.
මහණෙනි, මේ වනාහී දුෂ්චරිතයෙහි ආදීනව පස යි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
තමා ත් තමාට උපවාද නොකරයි. නුවණැත්තෝ දැනගත් විට පසසති. කල්‍යාණ කීර්තියක් පැතිර යයි. සිහි මුලා නොවී කළුරිය කරයි. කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි.
මහණෙනි, මේ වනාහී සුචරිතයෙහි අනුසස් පස යි.
සාදු! සාදු!! සාදු!!!
දුච්චරිත සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, කාය දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද කරයි ….(පෙ)….)
මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද නොකරයි ….(පෙ)….)
සැවැත් නුවර දී ය …..
මහණෙනි, වචී දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද කරයි ….(පෙ)….)
මහණෙනි, වචී සුචරිතයෙහි මේ අනුසස් පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද නොකරයි ….(පෙ)….)
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මනෝ දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද කරයි ….(පෙ)….)
මහණෙනි, මනෝ සුචරිතයෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
තමා ත් තමාට උපවාද නොකරයි. නුවණැත්තෝ දැනගත් විට පසසති. කල්‍යාණ කීර්තියක් පැතිර යයි. සිහි මුලා නොවී කළුරිය කරයි. කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි උපදියි.
මහණෙනි, මේ වනාහී මනෝ සුචරිතයෙහි අනුසස් පස යි.
සාදු! සාදු!! සාදු!!!
මනෝ දුච්චරිත සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
තමා ත් තමාට උපවාද කරයි. නුවණැත්තෝ දැනගත් විට ගරහති. පවිටු අපකීර්තියක් පැතිර යයි. කුසල් දහම්වලින් වෙන් ව සිටියි. අකුසල් දහම්හි පිහිටයි.
මහණෙනි, මේ වනාහී දුෂ්චරිතයෙහි ආදීනව පස යි.
මහණෙනි, සුචරිතයෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
තමා ත් තමාට උපවාද නොකරයි. නුවණැත්තෝ දැනගත් විට පසසති. කල්‍යාණ කීර්තියක් පැතිර යයි. අකුසල් දහම්වලින් වෙන් ව සිටියි. කුසල් දහම්හි පිහිටයි.
මහණෙනි, මේ වනාහී සුචරිතයෙහි අනුසස් පස යි.
සාදු! සාදු!! සාදු!!!
අපර දුච්චරිත සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, කාය දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද කරයි ….(පෙ)….)
මහණෙනි, කාය සුචරිතයෙහි මේ අනුසස් පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද නොකරයි ….(පෙ)….)
සැවැත් නුවර දී ය …..
මහණෙනි, වචී දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද කරයි ….(පෙ)….)
මහණෙනි, වචී සුචරිතයෙහි මේ අනුසස් පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද නොකරයි ….(පෙ)….)
සැවැත් නුවර දී ය …..
මහණෙනි, මනෝ දුෂ්චරිතයෙහි මේ ආදීනව පසකි. ….(පෙ)…. (තමා ත් තමාට උපවාද කරයි ….(පෙ)….)
මහණෙනි, මනෝ සුචරිතයෙහි මේ අනුසස් පසකි. ඒ කවර පසක් ද යත්;
තමා ත් තමාට උපවාද නොකරයි. නුවණැත්තෝ දැනගත් විට පසසති. කල්‍යාණ කීර්තියක් පැතිර යයි. අකුසල් දහම්වලින් වෙන් ව සිටියි. කුසල් දහම්හි පිහිටයි.
මහණෙනි, මේ වනාහී මනෝ සුචරිතයෙහි අනුසස් පස යි.
සාදු! සාදු!! සාදු!!!
අපර මනෝ දුච්චරිත සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, අමු සොහොනෙහි මේ ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
අපවිත්‍ර වූයේ ය. දුගඳින් යුතු වූයේ ය. භය සහිත වූයේ ය. දරුණු අමනුෂ්‍යයන්ට ආවාස වූයේ ය. බොහෝ ජනයාගේ වැළපීම් ඇත්තේ ය.
මහණෙනි, මේ වනාහී අමු සොහොනෙහි ආදීනව පස යි.
මෙසෙයින් ම මහණෙනි, අමුසොහොන උපමා කොට ගත් පුද්ගලයා තුළ ද මේ ආදීනව පස ඇත්තේ ය. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, මෙහිලා ඇතැම් පුද්ගලයෙක් අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත වූයේ වෙයි. අපවිත්‍ර වචී කර්මයෙන් යුක්ත වූයේ වෙයි. අපවිත්‍ර මනෝ කර්මයෙන් යුක්ත වූයේ වෙයි. මෙය ඔහුගේ අපවිත්‍ර බව යැයි කියමි. මහණෙනි, යම් සේ ඒ අමුසොහොන අපවිත්‍ර වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු අපවිත්‍ර බවට උපමා කොට කියමි.
අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර වචී කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර මනෝ කර්මයෙන් යුක්ත වූ ඔහු පිළිබඳ ලාමක වූ අපකීර්තියක් පැතිර යයි. මෙය ඔහුගේ දුගඳ යැයි කියමි. මහණෙනි, යම් සේ ඒ අමුසොහොන දුගඳ වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දුගඳ බවට උපමා කොට කියමි.
අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර වචී කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර මනෝ කර්මයෙන් යුක්ත වූ ඔහු සුපේශල සබ්‍රහ්මචාරීහු ඇසුරෙන් දුරු කරති. මෙය ඔහුගේ බිය සහිත බව යැයි කියමි. මහණෙනි, යම් සේ ඒ අමුසොහොනෙහි බිය සහිත බව ඇත්තේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු බිය සහිත බවට උපමා කොට කියමි.
අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර වචී කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර මනෝ කර්මයෙන් යුක්ත වූ ඔහු තමා වැනි ම පිරිහුණු පුද්ගලයන් සමඟ වාසය කරයි. මෙය ඔහුගේ දරුණු වාසය කිරීම යැයි කියමි. මහණෙනි, යම් සේ ඒ අමුසොහොන දරුණු අමනුෂ්‍යයන්ට ආවාසය වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු දරුණු ආවාසය ඇති බවට උපමා කොට කියමි.
අපවිත්‍ර කාය කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර වචී කර්මයෙන් යුක්ත වූ, අපවිත්‍ර මනෝ කර්මයෙන් යුක්ත වූ ඔහු පිළිබඳ සුපේශල සබ්‍රහ්මචාරීහු දැක ගත් පසු ‘අහෝ ! අපට වූයේ දුකකි. අපි මෙබඳු වූ පුද්ගලයන් සමඟ ත් වසන්නෙමු දැ’ යි වැළපිය යුතු බවට පැමිණෙති. මෙය ඔහුගේ වැළපීම යැයි කියමි. මහණෙනි, යම් සේ ඒ අමුසොහොන බොහෝ දෙනාට වැළපීමට ස්ථානය වූයේ වෙයි ද, මහණෙනි, මම මේ පුද්ගලයා ද එබඳු වැළපෙන ස්ථානය බවට උපමා කොට කියමි.
මහණෙනි, අමුසොහොන උපමා කොට ගත් පුද්ගලයා තුළ මේ ආදීනව පස ඇත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
සීවථිකා සූත්‍රය නිමා විය.
සැවැත් නුවර දී ය …..
මහණෙනි, පුද්ගලයෙකු කෙරෙහි පැහැදුණු කල්හී මෙහි ආදීනව පසකි. ඒ කවර පසක් ද යත්;
මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් බොහෝ සෙයින් පැහැදී සිටියි. යම්බඳු ආපත්තියක් හේතුවෙන් සංඝයා නෙරපයි නම් එබඳු වූ ආපත්තියකට හේ පත්වූයේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ පුද්ගලයා ප්‍රිය මනාප ය. හේ සංඝයා විසින් බැහැර කරන ලද්දේ’ යි භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වෙයි. භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වූ විට අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරයි. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරන්නේ ධර්මය නොඅසයි. ධර්මය නොඅසන්නේ කුසල ධර්මයන්ගෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි ඇති මේ පළමු ආදීනවය යි.
තව ද මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් බොහෝ සෙයින් පැහැදී සිටියි. යම්බඳු ආපත්තියක් හේතුවෙන් සංඝයා ඔහු ආසන කෙළවරෙහි හිඳුවයි නම් එබඳු වූ ආපත්තියකට හේ පත්වූයේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ පුද්ගලයා ප්‍රිය මනාප ය. හේ සංඝයා විසින් කෙළවර අසුනක හින්දවන ලද්දේ’ යි භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වෙයි. භික්ෂූන් කෙරෙහි අප්‍රසාදය බහුල වූ විට අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරයි. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරන්නේ ධර්මය නොඅසයි. ධර්මය නොඅසන්නේ කුසල ධර්මයන්ගෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි ඇති මේ දෙවෙනි ආදීනවය යි.
තව ද මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් බොහෝ සෙයින් පැහැදී සිටියි. හේ වෙනත් දිශාවකට ගියේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ පුද්ගලයා ප්‍රිය මනාප ය. හේ වෙනත් දිශාවකට ගියේ නොවැ’ යි ….(පෙ)…. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරයි. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරන්නේ ධර්මය නොඅසයි. ධර්මය නොඅසන්නේ කුසල ධර්මයන්ගෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි ඇති මේ තුන්වෙනි ආදීනවය යි.
තව ද මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් බොහෝ සෙයින් පැහැදී සිටියි. හේ ගිහි බවට පත්වූයේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ පුද්ගලයා ප්‍රිය මනාප ය. හේ ගිහි වූයේ නොවැ’ යි ….(පෙ)…. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරයි. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරන්නේ ධර්මය නොඅසයි. ධර්මය නොඅසන්නේ කුසල ධර්මයන්ගෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි ඇති මේ සිව්වෙනි ආදීනවය යි.
තව ද මහණෙනි, යම් පුද්ගලයෙකු කෙරෙහි පුද්ගලයෙක් බොහෝ සෙයින් පැහැදී සිටියි. හේ අපවත් වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ පුද්ගලයා ප්‍රිය මනාප ය. හේ අපවත් වූයේ නොවැ’ යි ….(පෙ)…. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරයි. අන්‍ය භික්ෂූන් ඇසුරු නොකරන්නේ ධර්මය නොඅසයි. ධර්මය නොඅසන්නේ කුසල ධර්මයන්ගෙන් පිරිහෙයි. මහණෙනි, පුද්ගල ප්‍රසාදයෙහි ඇති මේ පස්වෙනි ආදීනවය යි.
මහණෙනි, පුද්ගලයෙකු කෙරෙහි පැහැදුණු කල්හී මේ ආදීනව පස යි.
සාදු! සාදු!! සාදු!!!
පුග්ගලප්පසාද සූත්‍රය නිමා විය.
පස්වෙනි දුච්චරිත වර්ගය අවසන් විය.
එහි පිළිවෙළ උද්දානය යි :
දුච්චරිත සූත්‍රය, කාය දුච්චරිත සූත්‍රය, වචී දුච්චරිත සූත්‍රය, මනෝ දුච්චරිත සූත්‍රය, අන්‍ය වූ දුච්චරිත සූත්‍ර සතරකි. සීවථිකා සූත්‍රය සහ පුග්ගලප්පසාද සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දශයකි.
පස්වෙනි පණ්ණාසකය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an3_5-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M