දීඝ නිකාය

පාථික වග්ගෝ

7. ලක්‌ඛණ සුත්‌තං

7. මහා පුරුෂ ලක්ෂණ ගැන වදාළ දෙසුම

1. ඒවං මේ සුතං:

මා විසින් මෙසේ අසන ලදී.

ඒකං සමයං භගවා සාවත්ථියං විහරති ජේතවනේ අනාථපිණ්ඩිකස්ස ආරාමේ. තත්‍ර ඛෝ භගවා භික්ඛූ ආමන්තේසි ‘භික්ඛවෝ’ති. ‘භදන්තේ’ති තේ භික්ඛූ භගවතෝ පච්චස්සෝසුං. භගවා ඒතදවෝච:

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහු ගේ ආරාමයෙහි වැඩවසන සේක.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි භික්ෂූන් ඇමතූ සේක. “පින්වතුන් වහන්සැ”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

ද්වත්තිංසිමානි භික්ඛවේ මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියෝ භවන්ති අනඤ්ඤා: සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවන්ති සෙය්‍යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා හොන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අදණ්ඩේන අසත්ථේන ධම්මේන සමේන අභිවිජිය අජ්ඣාවසති. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ කතමානි ච තානි භික්ඛවේ ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියෝ භවන්ති අනඤ්ඤා? සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ.

“මහණෙනි, මහා පුරුෂයෙකුට මහා පුරුෂ ලක්ෂණ දෙතිසක් ඇත්තේ ය. ඒ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මහා පුරුෂයාට ඇත්තේ ගති දෙකක් ම ය. වෙනත් ගතියක් නැත්තේ ය.

ඉදින් හේ ගිහි ගෙදර වසයි නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. සිව්මහා සමුදුර සීමා කරගත් සිව්මහා ජනපදයන්හි අධිපති ව, දිනාගත් ජය ඇති ව, ජනපදයන්හි තහවුරු බවට පත් ව, සප්ත රත්නයකින් යුක්ත වන්නේ ය. ඔහුට මේ සප්ත රත්නයෝ වෙති. ඒ මොනවා ද යත්; චක්‍රරත්නය ය, හස්තිරත්නය ය, අශ්වරත්නය ය, මාණික්‍යරත්නය ය, ස්ත්‍රීරත්නය ය, ගෘහපතිරත්නය ය හා සත්වෙනි පරිනායකරත්නය යි. සතුරු සේනා මැඬලන ශූර වීර පරාක්‍රමයෙන් හෙබි දහසකට වැඩි පුත්‍රයෝ ද ඔහුට වෙති. ඒ සක්විති රජ තෙමේ සයුර හිම් කොට මේ පෘථිවියෙහි දඬුවමින් තොර ව, අවි ආයුධයෙන් තොර ව, දැහැමෙන් සෙමෙන් දිනා රාජ්‍යය කරන්නේ වෙයි.

ඉදින් ඒ මහා පුරුෂ තෙමේ ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසාගත් මෝහ පටලය සිඳ දැමූ අරහත් සම්මා සම්බුදුවරයෙක් වන්නේ ය. මහණෙනි, යම් මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත මහා පුරුෂයෙකුට ගති දෙකක් ම වෙයි ද, අනිකක් නැද්ද, ඉදින් ගිහි ගෙදර වසයි නම් සක්විති රජු වෙයි ද, ….(පෙ)…. ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වෙයි නම්, ලොව වසාගත් මෝහ පටලය සිඳ දැමූ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි ද, යම් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මහා පුරුෂයෙකුට මේ ගති දෙක පමණක් ඇත්නම්, වෙනත් ඉරණමක් නැත්තේ නම්, මහා පුරුෂයාට පිහිටන ඒ මහා පුරුෂ ලක්ෂණයෝ මොනවා ද?

2. ඉධ භික්ඛවේ මහාපුරිසෝ සුප්පතිට්ඨිතපාදෝ හෝති. යම්පි භික්ඛවේ මහාපුරිසෝ සුප්පතිට්ඨිතපාදෝ හෝති, ඉදම්පි භික්ඛවේ මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

මහණෙනි, මෙහිලා මහා පුරුෂ තෙමේ මැනැවින් පිහිටි පාද ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහා පුරුෂ තෙමේ මැනැවින් පිහිටි පාද ඇත්තේ වෙයි ද, මහණෙනි, මෙය ත් මහා පුරුෂයාට පිහිටන මහා පුරුෂ ලක්ෂණයකි.

පුන ච පරං භික්ඛවේ මහාපුරිසස්ස හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි. යම්පි භික්ඛවේ මහාපුරිසස්ස හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි, ඉදම්පි භික්ඛවේ මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

තව ද මහණෙනි, මහා පුරුෂයාගේ යටි පතුල්හි චක්‍රයෝ හටගෙන තිබෙති. අර දහසකින් යුතු, රථ වළල්ල සහිත, නැබ සහිත, සියළු අයුරින් පිරිපුන් චක්‍රයෝ ය. මහණෙනි, යම් හෙයකින් දහස් අරයකින් යුතු, නිම් වළල්ලෙන් යුතු, නාභියෙන් යුතු, සියළු අයුරින් පිරිපුන් චක්‍රයෝ මහා පුරුෂයාගේ යටිපතුල්හි හටගෙන තිබෙත් ද, මහණෙනි, මෙය ත් මහා පුරුෂයාට පිහිටන මහා පුරුෂ ලක්ෂණයකි.

පුන ච පරං භික්ඛවේ මහාපුරිසෝ ආයතපණ්හී හෝති ….(පෙ)…. දීඝංගුලී හෝති ….(පෙ)…. මුදුතළුනහත්ථපාදෝ හෝති ….(පෙ)…. ජාලහත්ථපාදෝ හෝති ….(පෙ)…. උස්සංඛපාදෝ හෝති ….(පෙ)…. ඒණිජංඝෝ හෝති ….(පෙ)…. ඨිතකෝ’ව අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති ….(පෙ)…. කෝසෝහිතවත්ථගුය්හෝ හෝත ….(පෙ)…. සුවණ්ණවණ්ණෝ හෝති කඤ්චනසන්නිභත්තචො ….(පෙ)…. සුඛුමච්ඡවි හෝති සුඛුමත්තා ඡවියා රජෝජල්ලං කායේ න උපලිප්පති ….(පෙ)…. ඒකේකලෝමෝ හෝති, ඒකේකානි ලෝමානි ලෝමකූපේසු ජාතානි ….(පෙ)…. උද්ධග්ගලෝමෝ හෝති, උද්ධග්ගානි ලෝමානි ජාතානි නීලානි අඤ්ජනවණ්ණානි කුණ්ඩලාවත්තානි පදක්ඛිණාවත්තකජාතානි ….(පෙ)…. බ්‍රහ්මුජ්ජුගත්තෝ හෝති ….(පෙ)…. සත්තුස්සදෝ හෝති ….(පෙ)…. සීහපුබ්බද්ධකායෝ හෝති ….(පෙ)….. චිතන්තරංසෝ හෝති ….(පෙ)…. නිග්‍රෝධපරිමණ්ඩලෝ හෝති, යාවතක්වස්ස කායෝ, තාවතක්වස්ස බ්‍යාමෝ, යාවතක්වස්ස බ්‍යාමෝ තාවතක්වස්ස කායෝ, ….(පෙ)…. සමවත්තක්ඛන්ධෝ හෝති ….(පෙ)…. රසග්ගසග්ගී හෝති ….(පෙ)…. සීහහනු හෝති ….(පෙ)…. චත්තාළීසදන්තෝ හෝති ….(පෙ)…. සමදන්තෝ හෝති ….(පෙ)…. අවිරළදන්තෝ හෝති ….(පෙ)…. සුසුක්කදාඨෝ හෝති ….(පෙ)…. පහූතජිව්හෝ හෝති ….(පෙ)…. බ්‍රහ්මස්සරෝ හෝති, කරවීකභාණී ….(පෙ)…. අභිනීලනෙත්තෝ හෝති ….(පෙ)…. ගෝපඛුමෝ හෝති ….(පෙ)…. උණ්ණා භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා. යම්පි භික්ඛවේ මහාපුරිසස්ස උණ්ණා භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා ඉදම්පි භික්ඛවේ මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති. පුන ච පරං භික්ඛවේ මහාපුරිසෝ උණ්හීසසීසෝ හෝති. යම්පි භික්ඛවේ මහාපුරිසෝ උණ්හීසසීසෝ හෝති, ඉදම්පි භික්ඛවේ මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණං භවති.

තව ද මහණෙනි, මහා පුරුෂ තෙමේ දිගු විලුඹ ඇත්තේ වෙයි. ….(පෙ)…. දිගු ඇඟිලි ඇත්තේ වෙයි. ….(පෙ)…. මෘදු යොවුන් අත් පා ඇත්තේ වෙයි. ….(පෙ)…. ඉතා නම්‍යශීලි අත් පා ඇත්තේ වෙයි. ….(පෙ)…. ගොප් ඇටය උස් ව පිහිටි පා ඇත්තේ වෙයි. ….(පෙ)…. ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි. ….(පෙ)…. සිටගෙන ම නොනැමී දෙඅත්ලෙන් දෙදණ ස්පර්ශ කොට පිරිමැදිය හැක්කේ වෙයි. ….(පෙ)…. කොපුවක බහාලූ දෙයක් බඳු ව සැඟවී ගිය පුරුෂ නිමිත්ත ඇත්තේ වෙයි. ….(පෙ)…. රන්වන් පැහැයෙන් යුතු, රන්වන් සමක් ඇත්තේ වෙයි. ….(පෙ)…. සිවිය සියුම් හෙයින් කයෙහි දුහුවිලි නොරඳින සියුම් සිවියක් ඇත්තේ වෙයි. ….(පෙ)…. තනි තනි ව හටගත් ලොම් ඇත්තේ වෙයි. එනම් එක් එක් රෝම කූපයෙහි එක බැගින් හටගත් රෝම ඇත්තේ වෙයි. ….(පෙ)…. උඩුකුරු ව කරකැවී ගිය ලොම් ඇත්තේ, උඩුකුරු ව කරකැවී ගිය තද නිල් පැහැ ඇති, අඳුන් වන් ව කුණ්ඩලාවර්තී ව රවුම් ව කැරකී ගිය, දකුණු අතට කරකැවී ගිය ලෝමයන් ඇත්තේ වෙයි. ….(පෙ)…. බ්‍රහ්මරාජයෙකුට බඳු ඍජු සිරුරක් ඇත්තේ වෙයි. ….(පෙ)…. උස් ව මතු වූ සත් තැනකින් යුතු වූයේ වෙයි. ….(පෙ)…. සිංහරාජයෙකුගේ බඳු පෙර අඩකය ඇත්තේ වෙයි. ….(පෙ)…. පිරී ගිය පිටතුරු ඇත්තේ වෙයි. ….(පෙ)…. නුගරුකක් බඳු සම ප්‍රමාණ වූ කය ඇත්තේ වෙයි. ඔහුගේ කය යම් පමණ ද, බඹය ද එපමණ ය. බඹය යම් පමණ ද, ඔහුගේ කය ද එපමණ ය. ….(පෙ)…. සමවට කඳ ඇත්තේ වෙයි. ….(පෙ)…. රස නහර ඇත්තේ වෙයි. ….(පෙ)…. සිංහරාජයෙකුගේ බඳු සවිමත් හනු ඇත්තේ වෙයි. ….(පෙ)…. සතලිසක් දත් ඇත්තේ වෙයි. ….(පෙ)…. සම වූ දත් ඇත්තේ වෙයි. ….(පෙ)…. දත් අතර විවර නැති සේ පිහිටි දත් ඇත්තේ වෙයි. ….(පෙ)…. ඉතා සුදු වූ දත් ඇත්තේ වෙයි ….(පෙ)…. දික් වූ, පළල් වූ දිව ඇත්තේ වෙයි. ….(පෙ)…. කුරවීකයන්ගේ බඳු මිහිරි හඬ බ්‍රහ්මස්වර ඇත්තේ වෙයි. ….(පෙ)…. තද නිල් පැහැ ගත් නෙත් ඇත්තේ වෙයි. ….(පෙ)…. වහුපැටවෙකුගේ බඳු ඇස් මඬල ඇත්තේ වෙයි. ….(පෙ)…. දෙබැම අතර හටගත් ඌර්ණ රෝමය සුදු පැහැයෙන් යුතුව මොලොක් පුළුන් රොදක් සෙයින් ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහා පුරුෂයාගේ දෙබැම අතර හටගත් ඌර්ණ රෝමය සුදු පැහැයෙන් යුතුව, මොලොවක් පුළුන් රොදක් සෙයින් ඇත්තේ වෙයි ද, මහණෙනි, මෙය ත් මහා පුරුෂයෙකුට පිහිටන මහා පුරුෂ ලක්ෂණයකි.

තව ද මහණෙනි, මහාපුරුෂ තෙමේ පිරිපුන් නළල් තලයකින් යුත් සිරසක් ඇත්තේ වෙයි. මහණෙනි, යම් හෙයකින් මහා පුරුෂ තෙමේ පිරිපුන් නළල් තලයකින් යුත් සිරසක් ඇත්තේ වෙයි ද, මහණෙනි, මෙය ත් මහා පුරුෂයෙකුට පිහිටන මහා පුරුෂ ලක්ෂණයකි.

ඉමානි ඛෝ තානි භික්ඛවේ ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි යේහි සමන්නාගතස්ස මහාපුරිසස්ස ද්වේව ගතියෝ භවන්ති අනඤ්ඤා. සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ.

මහණෙනි, යම් මහා පුරුෂ ලක්ෂණවලින් සමන්විත මහා පුරුෂයෙකුට ගති දෙකක් ම වෙයි ද, අනිකක් නැද්ද, ඉදින් ගිහි ගෙදර වසයි නම් සක්විති රජු වෙයි ද, ….(පෙ)…. ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වෙයි නම්, ලොව වසාගත් මෝහ පටලය සිඳ දැමූ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි ද, යම් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් යුක්ත වූ මහා පුරුෂයෙකුට මේ ගති දෙක පමණක් ඇත්නම්, වෙනත් ඉරණමක් නැත්තේ නම්, මහා පුරුෂයාට පිහිටන ඒ දෙතිසක් වූ මහා පුරුෂ ලක්ෂණයෝ මේවා ය.

3. ඉමානි ඛෝ භික්ඛවේ ද්වත්තිංස මහාපුරිසස්ස මහාපුරිසලක්ඛණානි බාහිරකා පි ඉසයෝ ධාරෙන්ති. නෝ ච ඛෝ තේ ජානන්ති ‘ඉමස්ස කම්මස්ස කතත්තා ඉමං ලක්ඛණං පටිලභන්තී’ති.

මහණෙනි, මහා පුරුෂයෙකුට පිහිටන දෙතිසක් වූ මේ මහා පුරුෂ ලක්ෂණයන් සසුනෙන් බැහැර ඍෂිවරු පවා මතකයෙහි රඳවාගෙන සිටිති. එසේ නමුත් ‘මේ කර්මය කළ බැවින් මේ මහා පුරුෂ ලක්ෂණය ලැබේ ය’ කියා ඔවුහු නොදන්නාහු ය.

සුප්පතිට්ඨිතපාදලක්ඛණං (1)

(01) සුප්පතිට්ඨිත පාදෝ – සම ව පිහිටි පා ඇත්තේ වෙයි

යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ දළ්හසමාදානෝ අහෝසි කුසලේසු ධම්මේසු අවත්ථිතසමාදානෝ, කායසුචරිතේ වචීසුචරිතේ මනෝසුචරිතේ, දානසංවිභාගේ සීලසමාදානේ උපෝසථුපවාසේ මත්තෙය්‍යතාය පෙත්තෙය්‍යතාය සාමඤ්ඤතාය බ්‍රහ්මඤ්ඤතාය කුලේජෙට්ඨාපචායිතාය අඤ්ඤතරඤ්ඤතරේසු ච අධිකුසලේසු ධම්මේසු, සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. සෝ තත්ථ අඤ්ඤේ දේවේ දසහි ඨානේහි අධිගණ්හාති, දිබ්බේන ආයුනා දිබ්බේන වණ්ණේන දිබ්බේන සුඛේන දිබ්බේන යසේන දිබ්බේන ආධිපතෙය්‍යේන දිබ්බේහි රූපේහි දිබ්බේහි සද්දේහි දිබ්බේහි ගන්ධේහි දිබ්බේහි රසේහි දිබ්බේහි ඵොට්ඨබ්බේහි. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, සුප්පතිට්ඨිතපාදෝ හෝති, සමං පාදං භූමියං නික්ඛිපති, සමං උද්ධරති, සමං සබ්බාවන්තේහි පාදතලේහි භූමිං ඵුසති. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවන්ති, සෙය්‍යථීදං චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කුසල් දහම් පිළිබඳ ව නොපෙරෙන ස්වභාවයෙන් යුතු ව, දැඩි ව සමාදන් ව සිටියේ ය. කාය සුචරිතයෙහි, වාක් සුචරිතයෙහි, මනෝ සුචරිතයෙහි යෙදුණේ ය. දන් බෙදීමෙහි, සිල් රැකීමෙහි, උපෝසථ සිල් රැකීමෙහි යෙදුණේ ය. මවට උවටැන් කිරීමෙහි, පියාට උවටැන් කිරීමෙහි, ශ්‍රමණයන්ට උවටැන් කිරීමෙහි, බ්‍රාහ්මණයන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. කුලදෙටුවන්ට උවටැන් කිරීමෙහි යෙදුණේ ය. අන්‍ය වූ අධිකුසල ධර්මයන්හි ද යෙදුණේ ය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. හේ ඒ දෙව්ලොවෙහි අන්‍ය වූ දෙවියන් අභිබවා දස කරුණකින් පෙරටුව සිටියි. එනම්; දිව්‍ය ආයුෂයෙන් ය, දිව්‍ය වර්ණයෙන් ය, දිව්‍ය සැපයෙන් ය, දිව්‍ය ඓශ්වර්යයෙන් ය, දිව්‍ය අධිපති භාවයෙන් ය, දිව්‍ය රූපයෙන් ය, දිව්‍ය ශබ්දයෙන් ය, දිව්‍ය ගන්ධයෙන් ය, දිව්‍ය රසයෙන් ය, දිව්‍ය පහසෙන් ය වශයෙනි. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, මැනැවින් පිහිටි පා ඇත්තේ වෙයි. පාදයන් බිම සම ව තබන්නේ වෙයි. සම ව උඩට ඔසොවන්නේ වෙයි. සම වූ මුළු යටිපතුල ම පොළොවෙහි ස්පර්ශ වන්නේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. සිව්මහා සමුදුර සීමා කරගත් සිව්මහා ජනපදයන්හි අධිපති ව, දිනාගත් ජය ඇති ව, ජනපදයන්හි තහවුරු බවට පත් ව, සප්ත රත්නයකින් යුක්ත වන්නේ ය. ඔහුට මේ සප්ත රත්නයෝ වෙති. ඒ මොනවා ද යත්; චක්‍රරත්නය ය, හස්තිරත්නය ය, අශ්වරත්නය ය, මාණික්‍යරත්නය ය, ස්ත්‍රීරත්නය ය, ගෘහපතිරත්නය ය හා සත්වෙනි පරිනායකරත්නය යි.

පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අඛිලමනිමිත්තමකණ්ටකං ඉද්ධං ඵීතං ඛේමං සිවං නිරබ්බුදං අදණ්ඩේන අසත්ථේන ධම්මේන සමේන අභිවිජිය අජ්ඣාවසති. රාජා සමානෝ කිං ලභති? අවික්ඛම්භියෝ හෝති කේනචි මනුස්සභූතේන පච්චත්ථිකේන පච්චාමිත්තේන. රාජා සමානෝ ඉදං ලභති. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ. බුද්ධෝ සමානෝ කිං ලභති? අවික්ඛම්භියෝ හෝති. අබ්භන්තරේහි වා බාහිරේහි වා පච්චත්ථිකේහි පච්චාමිත්තේහි රාගේන වා දෝසේන වා මෝහේන වා සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

සතුරු සේනා මැඬලන ශූර වීර පරාක්‍රමයෙන් හෙබි දහසකට වැඩි පුත්‍රයෝ ද ඔහුට වෙති. ඒ සක්විති රජ තෙමේ සයුර හිම් කොට මේ පෘථිවියෙහි සතුරු හුල් රහිත ව, උපද්‍රව නිමිති රහිත ව, සතුරු කටු රහිත ව, සමෘද්ධිමත් ව, සැපයෙන් පිරී ගිය, භය රහිත ව, සොඳුරු ව, අර්බුද රහිත ව, දඬුවමින් තොර ව, අවි ආයුධයෙන් තොර ව, දැහැමෙන් සෙමෙන් දිනා රාජ්‍යය කරන්නේ වෙයි.

රජ වූ විට හේ කුමක් ලබයි ද? හේ මිනිස් වූ කිසිදු සතුරෙකු විසින්, විරුද්ධකාරයෙකු විසින් නොමැඬලිය හැක්කේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? අභ්‍යන්තර වූ හෝ බාහිර වූ හෝ සතුරන් විසින් හෝ විරුද්ධකාරයන් විසින් හෝ රාගය විසින් හෝ ද්වේෂය විසින් හෝ මෝහය විසින් හෝ ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ නොමැඬලිය හැක්කේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

සච්චේ ච ධම්මේ ච දමේ ච සංයමේ
සෝචෙය්‍යසීලාලයුපෝසථේසු ච,
දානේ අහිංසාය අසාහසේ රතෝ
දළ්හං සමාදාය සමත්තමාචරි

හෙතෙමේ සැබෑ බස් පැවසීම ද, කුසල ධර්මයන් ද, ඉන්ද්‍රිය දමනය ද, සංවරය ද, පිරිසිදු සිල් ඇති බව ද, උපෝසථ සිල් ඇති බව ද, දන් දෙමින් හිංසාවෙන් තොර ව, සැහැසි නොවී, යහපතෙහි ඇලුණේ, මේ ධර්මයන් දැඩි ව සමාදන් ව සම්පූර්ණත්වයට පත් කළේ ය.

සෝ තේන කම්මේන දිවං අපක්කමි
සුඛං ච ඛිඩ්ඩාරතියෝ ච අන්වභි
තතෝ චවිත්වා පුනරාගතෝ ඉධ
සමේහි පාදේහි ඵුසී වසුන්ධරං.

හේ ඒ පුණ්‍ය කර්මයෙන් දෙව්ලොව ගියේ ය. දිව්‍ය සැපයෙන් යුතු ව, දිව්‍ය ක්‍රීඩාවන්හි ඇලී කල් ගෙවී ය. එයින් චුත ව මේ මිනිසත් බවට යළි ආයේ ය. සම වූ යටිපතුලෙන් පොළොව ස්පර්ශ කළේ ය.

බ්‍යාකංසු වෙය්‍යඤ්ජනිකා සමාගතා
සමප්පතිට්ඨස්ස න හෝති ඛම්භනා,
ගිහිස්ස වා පබ්බජිතස්ස වා පුන
තං ලක්ඛණං භවති තදත්ථජෝතකං.

රජ මාළිගයට ආ මහා පුරුෂ ලකුණු පවසන බමුණෝ මෙය කීහ. ‘සම ලෙස පොළොවෙහි පතුල් පිහිටන තැනැත්තාගේ ඒ පාදයෝ මැනැවින් පිහිටා තිබෙත් ද, ඒ ලකුණ ගිහියෙකුගේ හෝ පැවිද්දෙකුගේ හෝ ඉරණම පවසයි.

අක්ඛම්භියෝ හෝති අගාරමාවසං
පරාභිභූ සත්තුභී සත්තුමද්දනෝ,
මනුස්සභූතේනිධ හෝති කේනචි
අක්ඛම්භියෝ තස්ස ඵලේන කම්මුනෝ.

හේ ගිහි ගෙදර වසන්නේ නම් සතුරන් විසින් නොමැඬලිය හැක්කේ වෙයි. අනුන් මැඬ පැවැත්වීමෙහි දක්ෂ, සතුරන් මඬිනා මහා රාජයෙක් වෙයි. මෙහි මිනිස් ලොව කිසිවෙකු විසින් හෝ නොමැඬලිය හැකි බලයක් ඔහු ලබන්නේ ඒ පුණ්‍යකර්මයාගේ විපාකයෙන් ය.

සචේ ච පබ්බජ්ජමුපේති තාදිසෝ
නෙක්ඛම්මඡන්දාභිරතෝ විචක්ඛණෝ
අග්ගෝ න සෝ ගච්ඡති ජාතු ඛම්භතං
නරුත්තමෝ ඒස හි තස්ස ධම්මතා’ති.

ඉදින් ඒ ලකුණින් යුතු වූවෙක් පැවිදි වන්නේ නම්, නුවණින් යුතු ව නෙක්ඛම්මයෙහි ඇලී සිටින්නේ නම්, සියළු සත්වයන් හට උත්තම වූයේ, අග්‍ර වූයේ කිසිවෙකුට හෝ නොසෙල්විය හැක්කේ වෙයි. මෙය වනාහී මහා පුරුෂයා පිළිබඳ ව ධර්මතාවකි.

පාදතලේසු චක්කලක්ඛණං (2)

(02) හෙට්ඨාපාදතලේසු චක්කානි – පාදයන්හි යටිපතුල්හි චක්‍ර ලකුණු ඇත්තේ වෙයි.

4. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ බහුජනස්ස සුඛාවහෝ අහෝසි, උබ්බේගං උත්තාසං භයං අපනුදිතා ධම්මිකඤ්ච රක්ඛාවරණගුත්තිං සංවිධාතා සපරිවාරඤ්ච දානං අදාසි. සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, හෙට්ඨාපාදතලේසු චක්කානි ජාතානි හොන්ති සහස්සාරානි සනේමිකානි සනාභිකානි සබ්බාකාරපරිපූරානි සුවිභත්තන්තරානි. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? මහාපරිවාරෝ හෝති, මහා’ස්ස හොන්ති පරිවාරා බ්‍රාහ්මණගහපතිකා නේගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාරා. රාජා සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට සැප ලබා දෙන්නේ විය. සොරුන්ගෙන් වන භය දුරු කොට, අමනුෂ්‍ය භය දුරුකොට, ධාර්මික ආරක්ෂාව සළසනුයේ විය. එමෙන්ම බොහෝ දෙනාගේ සුව පහසුව සළසනුයේ, පිරිවර හා එක් ව දන් දුන්නේ ය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ඔහුගේ යටිපතුල්හි චක්‍රයෝ පිහිටා ඇත්තාහ. දහසක් අර ඇති නිම්වළලු සහිත, නැබ සහිත, සියළු අයුරින් පිරිපුන් ව මැනැවින් බෙදී ඇති චක්‍රයෝ ය.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? මහා පිරිවර ඇත්තේ වෙයි. බ්‍රාහ්මණයෝ ය, ගෘහපතියෝ ය, නිගම ජනපද වැසියෝ ය, ගණකයෝ ය, මහා අමාත්‍යයෝ ය, බල ප්‍රධානයෝ ය, දොරටුපාලයෝ ය, අමාත්‍යයෝ ය, රාජ පිරිස ය, ගම් මුලාදෑනියෝ ය, රජුගෙන් යැපෙන කුමාරවරු ය යනාදී මහත් පිරිවර ඔහුට ලැබෙන්නේ ය. රජ බවට පත් වූ විට මෙය ලබයි.

සචේ අගාරස්මා අනගාරියං පබ්බජති, අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ. බුද්ධෝ සමානෝ කිං ලභති? මහාපරිවාරෝ හෝති, මහා’ස්ස හොන්ති පරිවාරා භික්ඛු භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච තත්ථේතං වුච්චති:

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? මහා පිරිවර ලබන්නේ වෙයි. භික්ෂූහු ය, භික්ෂුණීහු ය, උපාසකයෝ ය, උපාසිකාවෝ ය, දෙවියෝ ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය යනාදී වශයෙන් බොහෝ පිරිවර ලබන්නේ ය. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

පුරේ පුරත්ථා පුරිමාසු ජාතිසු
මනුස්සභූතෝ බහුනං සුඛාවහෝ,
උබ්භේගඋත්තාසභයාපනූදනෝ
ගුත්තීසු රක්ඛාවරණේසු උස්සුකෝ.

බොහෝ පෙර, පූර්ව ජාතීන්හි දී මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට සැප සළසා දුන්නේ ය. සොර බිය, අමනුෂ්‍ය බිය ආදිය දුරු කළේ ය. ධාර්මික ආරක්ෂා සම්පත්තියෙහි ලා උත්සාහවත් වූයේ ය.

සෝ තේන කම්මේන දිවං සමක්කමි
සුඛඤ්ච ඛිඩ්ඩාරතියෝ ච අන්වභි,
තතෝ චවිත්වා පුනරාගතෝ ඉධ
චක්කානි පාදේසු දුවේසු වින්දති
සමන්තනේමීනි සහස්සරානි ච.

හේ ඒ කර්මයෙන් දෙව්ලොව ගියේ ය. දිව්‍ය වූ සැපයෙන් ද, ක්‍රීඩාවෙන් ද ඇලී කල්ගත කළේ ය. හේ ඒ දෙව්ලොවින් චුත ව යළි මිනිස් බවට පැමිණියේ ම ඔහුගේ දෙපතුල්හි දහසක් අර ඇති, හාත්පස නිම් වළලු ඇති, පිරිපුන් චක්‍රයන් පිහිටන්නේ ය.

බ්‍යාකංසු වෙය්‍යඤ්ජනිකා සමාගතා,
දිස්වා කුමාරං සතපුඤ්ඤලක්ඛණං
පරිවාරවා හෙස්සති සත්තුමද්දනෝ
තථා හි චක්කානි සමන්තනේමීනි.

රාජ මාළිගයට පැමිණි මහා පුරුෂ ලකුණු පවසන බමුණෝ සිය පුණ්‍ය ලක්ෂණයෙන් හෙබි කුමරු දැක මෙය පැවසූහ. ‘මේ කුමාර තෙමේ මහා පිරිවර ඇති ව සතුරන් මඬින්නෙක් වන්නේ ය. එසේ හෙයින් එයට සළකුණු වශයෙන් යටිපතුල්හි හාත්පස නිම්වළලු සහිත චක්‍ර ලකුණු ඇත්තේ ය.

සචේ න පබ්බජ්ජමුපේති තාදිසෝ,
වත්තේති චක්කං පඨවිං පසාසති
තස්සානුයුත්තා’ධ භවන්ති ඛත්තියා
මහායසං සම්පරිවාරයන්ති නං.

ඉදින් මෙබඳු ලකුණු ඇතියෙක් පැවිදි නොවන්නේ නම්, දැහැමි ව අණසක පවත්වා පෘථිවිය පාලනය කරන්නේ ය. මෙහිලා ඔහුට අනුගත වූ ක්ෂත්‍රියයෝ සිටින්නාහ. මහා යසස් ඇති ව, මහත් පිරිවරින් යුක්ත වන්නේ ය.

සචේ ච පබ්බජ්ජමුපේති තාදිසෝ,
නෙක්ඛම්මඡන්දාභිරතෝ විචක්ඛණෝ
දේවා මනුස්සා සුරයක්ඛරක්ඛසා
ගන්ධබ්බනාගා විහගා චතුප්පදා
අනුත්තරං දේවමනුස්සපූජිතං
මහායසං සම්පරිවාරයන්ති නන්ති.

ඉදින් මෙබඳු ලකුණු ඇතියෙක් පැවිදි වන්නේ නම්, නුවණින් යුතු ව නෙක්ඛම්මයෙහි ඇලී වසන්නේ ය. දෙවියෝ ද, මිනිස්සු ද, අසුරයෝ ද, යක්ෂයෝ ද, රාක්ෂසයෝ ද, ගාන්ධර්වයෝ ද, නාගයෝ ද, පක්ෂීහු ද, සිව්පාවෝ ද පිරිවරට ඇත්තාහ. දෙවියන් මිනිසුන් විසින් පුදන ලද්දේ, අනුත්තර වූයේ මහා යසස් ඇති මහා පිරිවරින් යුක්ත වූයේ වෙයි.

ආයතපණ්හිතාදීනි තීනි ලක්ඛණානි (3-5)

(03 – 04 – 05) ආයතපණ්හී ච දීඝංගුලී ච බ්‍රහ්මුජ්ජුගත්තෝ ච – දික් විලුඹ ඇත්තේ ද, දික් ඇඟිලි ඇත්තේ ද, බ්‍රහ්මයෙකුට බඳු ඍජු සිරුර ඇත්තේ ද වෙයි.

5. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ අහෝසි, නිහිතදණ්ඩෝ නිහිතසත්ථෝ ලජ්ජී දයාපන්නෝ සබ්බපාණභූතහිතානුකම්පී විහාසි, සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි තීණි මහාපුරිසලක්ඛණානි පටිලභති, ආයතපණ්හි ච හෝති දීඝංගුලි ච බ්‍රහ්මුජුගත්තෝ ච. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ, සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? දීඝායුකෝ හෝති චිරට්ඨිතිකෝ, දීඝමායුම්පාලේති. න සක්කා හෝති අන්තරා ජීවිතා වෝරෝපේතුං කේනචි මනුස්සභූතේන පච්චත්ථිකේන පච්චාමිත්තේන. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? දීඝායුකෝ හෝති චිරට්ඨිතිකෝ, දීඝමායුම්පාලේති, න සක්කා හෝති අන්තරා ජීවිතා වෝරෝපේතුං පච්චත්ථිකේහි පච්චාමිත්තේහි සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සත්ව ඝාතනය අත්හැර සතුන් මැරීමෙන් වැළකී සිටියේ විය. දඬු මුගුරු අත්හැරියේ විය. අවි ආයුධ අත්හැරියේ විය. සතුන් මැරීමෙහි ලැජ්ජා ඇත්තේ විය. සියළු ප්‍රාණභූතයින් කෙරෙහි දයානුකම්පා ඇත්තේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කල බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්නේ වෙයි. එනම්, දික් වූ විලුඹ ත්, දික් වූ ඇඟිලි ත්, බ්‍රහ්මරාජයාට බඳු ඍජු සිරුර ත් ය.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? හේ බොහෝ කල් සිටින දීර්ඝායුෂ ලබන්නේ ය. දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරෙයි. ඒ අතරතුර ජීවිතය කිසි මිනිසෙකු විසින් හෝ සතුරෙකු විසින් හෝ විරුද්ධ කාරයෙකු විසින් හෝ ඝාතනය නොකළ හැක්කේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? හේ බොහෝ කල් සිටින දීර්ඝායුෂ ලබන්නේ ය. දීර්ඝ ආයුෂයෙන් පාලනය කෙරෙයි. ඒ අතරතුර ජීවිතය සතුරු වූ, විරුද්ධකාර වූ, කිසි ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි කිසිවෙකු විසින් හෝ ඒ බුදුරජුන් ඝාතනය නොකළ හැක්කේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

මරණවධභයත්තනෝ විදිත්වා
පටිවිරතෝ පරමාරණායහෝසි
තේන සුචරිතේන සග්ගමගමා
සුකතඵලවිපාකමනුභෝසි.

‘තමා මරණ වධයට භයෙන් යුතු වෙයි’ යන කරුණ දැන අනුන්ගේ ජීවිත වැනසීමෙන් වැළකී සිටියේ වෙයි. හේ ඒ සුචරිතයෙන් දෙව්ලොව ගියේ ය. යහපත් ලෙස කරන ලද කර්මයෙහි සැප විපාක අනුභව කළේ ය.

චවිය පුනරිධාගතෝ සමානෝ
පටිලභති ඉධ තීණි ලක්ඛණානි,
භවති විපුලදීඝපාසණ්හිකෝ
බ්‍රහ්මා’ව සූජු සුභෝ සුජාතගත්තෝ.

ඒ දෙව්ලොවින් චුත ව, යළි මේ මිනිස් බවට පැමිණියේ මෙහිදී මහා පුරුෂ ලක්ෂණයන් තුනක් ලබන්නේ ය. මහත් වූ දික් විලුඹ ඇත්තේ වෙයි. බ්‍රහ්මරාජයෙකුගේ බඳු සොඳුරු මැනැවින් ඍජු කාය ඇත්තේ වෙයි. ඉතා යහපත් ලෙස උපන් සිරුරක් ඇත්තේ වෙයි.

සුභුජෝ සුසු සුසණ්ඨිතෝ සුජාතෝ
මුදුතළුනංගුලියස්ස හොන්ති දීඝා
තීහි පුරිසවරග්ගලක්ඛණේහි
චිරයපනාය කුමාරමාදිසන්ති.

ඉතා යහපත් වූ බාහු ඇත්තේ වෙයි. ඉතා තරුණ වූයේ වෙයි. මනා ලෙස පිහිටි අත් පා ඇත්තේ වෙයි. මනා උපතක් ඇත්තේ වෙයි. ඔහු හට තරුණ වූ, මෘදු මොලොක් වූ දික් වූ ඇඟිලි ඇත්තේ වෙයි. මේ අග්‍ර වූ, උතුම් වූ තුන් මහා පුරුෂ ලකුණකින් යුතු වූ මේ කුමාර තෙමේ දීර්ඝායු ඇත්තේ ය’ යි බ්‍රාහ්මණයෝ කීහ.

භවති යදි ගිහී චිරං යපේති
චිරතරං පබ්බජති යදි තතෝ හි
යාපයති වසිද්ධි භාවනාය
ඉති දීඝායුකතාය තන්නිමිත්තන්ති.

ඉදින් ගිහි ව වසන්නේ නම්, බොහෝ කල් ජීවත් වන්නේ ය. ඉදින් හේ පැවිදි වන්නේ නම්, ඉර්ධිපාද භාවනාවෙන් යුක්ත වූයේ එයට ත් වඩා බොහෝ කල් ජීවත් වන්නේ වෙයි. මෙසේ දීර්ඝායුෂ බවට එය නිමිත්තකි.

සත්තුස්සදතාලක්ඛණං (6)

(06) සත්තුස්සදෝ – සත් තැනක උස් වූයේ ය.

6. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ දාතා අහෝසි පණීතානං රසිතානං ඛාදනීයානං භෝජනීයානං සායනීයානං ලේහනීයානං පානානං, සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, සත්තුස්සදෝ හෝති. සත්තස්ස උස්සදා හොන්ති: උභෝසු හත්ථේසු උස්සදා හොන්ති, උභෝසු පාදේසු උස්සදා හොන්ති, උභෝසු අංසකූටේසු උස්සදා හොන්ති, ඛන්ධේ උස්සදෝ හොන්ති. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? ලාභී හෝති පණීතානං රසිතානං ඛාදනීයානං භෝජනීයානං සායනීයානං ලේහනීයානං පානානං. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? ලාභී හෝති පණීතානං රසිතානං ඛාදනීයානං භෝජනීයානං සායනීයානං ලේහනීයානං පානානං. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම දන් දෙන්නෙක් විය. ප්‍රණීත වූ, රසවත් වූ, කෑ යුතු දෙය ත්, අනුභව කළ යුතු දෙය ත්, රස වින්ද යුතු දෙය ත්, ලෙව කා රස විඳිය යුතු දෙය ත්, රසවත් ව පානය කරන දෙය ත් දෙන්නේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, සත් තැනක උස් වූයේ ය. සත් තැනක පිරුණු මස් ඇත්තේ ය. දෙඅතෙහි, පිටි අත්ලෙහි පිරුණු මස් ඇත්තේ ය. දෙපයෙහි පිටි පතුලෙහි පිරුණු මස් ඇත්තේ ය. දෙඋරහිසෙහි පිරුණු මස් ඇත්තේ ය. පිටිකරෙහි පිරුණු මස් ඇත්තේ ය.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? ප්‍රණීත වූ, රසවත් වූ, කෑ යුතු දෙය ත්, අනුභව කළ යුතු දෙය ත්, රස වින්ද යුතු දෙය ත්, ලෙව කා රස විඳිය යුතු දෙය ත්, රසවත් ව පානය කරන දෙය ත් ලබන්නේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? හේ ප්‍රණීත වූ, රසවත් වූ, කෑ යුතු දෙය ත්, අනුභව කළ යුතු දෙය ත්, රස වින්ද යුතු දෙය ත්, ලෙව කා රස විඳිය යුතු දෙය ත්, රසවත් ව පානය කරන දෙය ත් ලබන්නේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

ඛජ්ජභෝජනං අථ ලෙය්‍යසායියං
උත්තමග්ගරසදායකෝ අහු,
තේන සෝ සුචරිතේන කම්මුනා
නන්දනේ චිරමභිප්පමෝදති.

හේ උතුම් වූ, අග්‍ර වූ, ඛාද්‍ය භෝජ්‍යාදිය රස විඳිය යුතු, ලෙවිය යුතු, ප්‍රණීත ආහාරපාන දුන්නේ ය. හේ ඒ සුචරිත කර්මයෙන් දෙව්ලොව නන්දන උයනෙහි බොහෝ කල් සතුටු වෙමින් සිටියේ ය.

සත්තචුස්සදෝ ඉධාධිගච්ඡති
හත්ථපාදමුදුතලඤ්ච වින්දති,
ආහු බ්‍යඤ්ජනනිමිත්තකෝවිදා
ඛජ්ජ භොජ්ජ රසලාභිතාය නං.

මනුෂ්‍ය වූයේ උස් ව පිහිටි සත් තැනක් ලබන්නේ ය. මෘදු වූ අත් පා ලබන්නේ ය. ලක්ෂණ ශාස්ත්‍රයෙහි දක්ෂ වූ ඒ බ්‍රාහ්මණයෝ මෙසේ කීහ. මේ කුමරු ප්‍රණීත වූ කෑ යුතු, බිදිය යුතු ආහාරපාන ලබන්නේ ය.

තං ගිහිස්සපි තදත්ථජෝතකං
පබ්බජම්පි ච තදාධිගච්ඡති,
ඛජ්ජභෝජනස්ස ලාභිරුත්තමං
ආහු සබ්බගිහිබන්ධනච්ඡිදන්ති.

ගිහිගෙදර සිටින්නාට ත් මේ ලකුණින් අර්ථය පැවසෙයි. පැවිදි වූවහුට ත් එසෙයින් ම ලබන්නේ වෙයි. උතුම් වූ ඛාද්‍ය භෝජ්‍යාදිය ලබන්නේ වෙයි. සියළු ගිහි බැඳුම් බිඳින්නෙක් ද වෙයි.

කරචරණමුදුතාජාලතාලක්ඛණානි (7-8)

(07 – 08) මුදුතලුණ හත්ථපාදෝ ච ජාලහත්ථපාදෝ ච – මෘදු යොවුන් අත් පා ඇත්තේ ද, ඉතා නම්‍යශීලී අත් පා ඇත්තේ ද වෙයි.

7. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ චතූහි සංගහවත්ථූහි ජනං සංගාහකෝ අහෝසි දානේන පෙය්‍යවජ්ජේන අත්ථචරියාය සමානත්තතාය, සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, මුදුතළුණහත්ථපාදෝ ච හෝති ජාලහත්ථපාදෝ ච. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ, සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? සුසංගහිතපරිජනෝ හෝති, සුසංගහිතාස්ස හොන්ති බ්‍රාහ්මණගහපතිකා නේගමජානපදා ගණකා මහාමත්තා අනීකඨා දෝවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාරා. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? සුසංගහිතපරිජනෝ හෝති, සුසංගහිතා’ස්ස හොන්ති භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සතර සංග්‍රහ වස්තුවෙන් ජනයාට සංග්‍රහ කළේ ය. එනම්; දානයෙන් ය, ප්‍රිය වචනයෙන් ය, අර්ථ චර්යාවෙන් ය, සමානාත්මතාවයෙන් ය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, මෘදු යොවුන් අත් පා හා ඉතා නම්‍යශීලී අත් පා ය.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? මැනැවින් සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ලබන්නේ ය. මොහු විසින් මැනැවින් සංග්‍රහ කරන ලද බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියම්ගම් ජනපදවැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, සේනාබල ප්‍රධානයෝ, දොරටුපාලයෝ, අමාත්‍යයෝ, පාරම්පරික රාජ පිරිස, රජ දරුවෝ, රජුන්ගෙන් යැපෙන කුමාරවරු ආදිය ඇත්තාහු ය. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? මැනැවින් සංග්‍රහ කරන ලද පිරිවර ජනයා ලබන්නේ ය. ඒ බුදුරජුන් විසින් මැනැවින් සංග්‍රහ කරන ලද භික්ෂූහු ය, භික්ෂුණීහු ය, උපාසකයෝ ය, උපාසිකාවෝ ය, දෙවියෝ ය, මිනිස්සු ය, අසුරයෝ ය, නාගයෝ ය, ගාන්ධර්වයෝ ය යනාදී වශයෙන් බොහෝ පිරිවර ඇත්තාහු ය. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

දානම්පි චත්ථචරියතඤ්ච
පියවදනංච සමානඡන්දතංච
කරිය චරිය සුසංගහං බහුන්නං
අනවමතේන ගුණේන යාති සග්ගං.

හේ දානය ද, අර්ථ චර්යාව ද, ප්‍රිය තෙපුල් බිණීම ද, සමානාත්මතාව ද සිදුකොට, බොහෝ ජනයාට මැනැවින් සංග්‍රහ කොට, අලාමක වූ ගුණයෙන් යුතුව දෙව්ලොව ගියේ ය.

චවීය පුනරිධාගතෝ සමානෝ
කරචරණමුදුතලඤ්ච ජාලිනෝ ච,
අතිරුචිරසුවග්ගුදස්සනෙය්‍යං
පටිලභති දහරෝ සුසු කුමාරෝ.

හේ ඒ දෙව්ලොවින් චුත ව යළි මිනිස් බවට පැමිණියේ කුමාර තෙමේ ළදරු වූයේ, ඉතා යොවුන් වූයේ, ඉතා ශෝභාසම්පන්න වූයේ, ඉතා දැකුම්කළු වූයේ, මෘදු වූ නව යොවුන් අත් පා ඇත්තේ වෙයි. ඉතා නම්‍යශීලී අත් පා ඇත්තේ වෙයි.

භවති පරිජනස්සවෝ විධෙය්‍යෝ
මහිමිමමාවසතේ සුසංගහිතෝ,
පියවදූ හිතසුඛතං ජිගිංසමානෝ
අභිරුචිතානි ගුණානි ආචරන්තෝ.

සිය පිරිවර ජනයා ඉතා කීකරු වූයේ වෙයි. කටයුත්තෙහිලා මෙහෙයවිය හැක්කේ වෙයි. මැනැවින් සංග්‍රහ කරන ලද්දේ මේ මිහිමඬලෙහි වසන්නේ වෙයි. ප්‍රිය බස් තෙපලන්නේ වෙයි. හිත සුව පිණිස පවතින දේ සොයා බලන්නේ වෙයි. අතිශයින් සොඳුරු ගුණ දියුණු කරන්නේ වෙයි.

යදි ච ජහති සබ්බකාමභෝගං
කථයති ධම්මකථං ජිනෝ ජනස්ස,
වචනපටිකරස්සභිප්පසන්නා
සුත්වාන ධම්මනුධම්මමාචරන්තීති.

ඉදින් සියළු පස්කම් හැරදමා පැවිදි වන්නේ නම්, ලොව දිනන ලද්දේ, සම්බුදු ව, ජනයා හට ධර්මය දෙසන්නේ වෙයි. ඒ බුදුරජුන්ගේ ධර්මය අසා ඉතා පහන් ව, ඒ ධර්මයට අනුව කටයුතු කරන, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත වූ ශ්‍රාවකයන් ඇත්තේ වෙයි.

උස්සංඛපාදඋද්ධග්ගලෝමතාලක්ඛණානි (9-10)

(09 – 10) උස්සංඛපාදෝ ච උද්ධග්ගලෝමෝ ච – ගොප් ඇටය උස් ව ගිය පාද ඇත්තේ ද, උඩු අතට කරකැවී ගිය ලොම් ඇත්තේ ද වෙයි.

8. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ බහුනෝ ජනස්ස අත්ථූපසංහිතං ධම්මූපසංහිතං වාචම්භාසිතා අහෝසි, බහුජනං නිදංසේසි, පාණීනං හිතසුඛාවහෝ ධම්මයාගී, සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, උස්සංඛපාදෝ ච හෝති උද්ධග්ගලෝමෝ ච. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? අග්ගෝ ච හෝති සෙට්ඨෝ ච පාමොක්ඛෝ ච උත්තමෝ ච පවරෝ ච කාමභෝගීනං. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? අග්ගෝ ච හෝති සෙට්ඨෝ ච පාමොක්ඛෝ ච උත්තමෝ ච පවරෝ ච සබ්බසත්තානං. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයා හට දෙලොව යහපතට හේතු වන, කුසල් දහම් වැඩීමට උපකාරී වන වචන කියන ලද්දේ ය. බොහෝ ජනයාට දෙලොව යහපත සැළසුවේ ය. ප්‍රාණීන්ට හිතසුව සැළසුවේ ය. ධර්මයාගය කරන්නෙක් වූයේ ය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, ගොප් ඇටය උස් ව ගිය පාද ඇති බව ත්, උඩු අතට කරකැවී ගිය ලෝම ඇති බව ත් ය.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? කාමභෝගී සත්වයන් හට අග්‍ර වූයේ ත් වෙයි. ශ්‍රේෂ්ඨ වූයේ ත් වෙයි. ප්‍රමුඛ වූයේ ත් වෙයි. උතුම් වූයේ ත් වෙයි. වඩා ත් උතුම් වූයේ ත් වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? සියළු සත්වයන් හට අග්‍ර වූයේ ත් වෙයි. ශ්‍රේෂ්ඨ වූයේ ත් වෙයි. ප්‍රමුඛ වූයේ ත් වෙයි. උතුම් වූයේ ත් වෙයි. වඩා ත් උතුම් වූයේ ත් වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

අත්ථධම්මසංහිතං පුරේ ගිරං
ඒරයං බහුජනං නිදංසයී,
පාණිනං හිතසුඛාවහෝ අහු
ධම්මයාගමයජී අමච්ඡරී.

පූර්වයෙහි යහපත හා ධර්මයෙන් යුක්ත වූ වචන පවසන ලද්දේ, බොහෝ ජනයාට දෙලොව යහපත සැළසුවේ ය. ප්‍රාණීන් හට හිතසුව ලබාදෙන්නෙක් වූයේ ය. නොමසුරු ව ධර්ම යාගය කළේ ය.

තේන සෝ සුචරිතේන කම්මුනා
සුග්ගතිං වජති තත්ථ මෝදති,
ලක්ඛණානි ච දුවේ ඉධාගතෝ
උත්තමප්පමුඛතාය වින්දති.

හේ ඒ සුචරිත කර්මයෙන් සුගතියට ගියේ එහි සතුටු වන්නේ වෙයි. ඒ දෙව්ලොවින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ලකුණු දෙකකින් යුක්ත වූයේ, උත්තම වූ ප්‍රමුඛත්වය ලබන්නේ වෙයි.

උබ්භමුප්පතිතලෝමවාසසෝ
පාදගණ්ඨිරහූ සාධු සණ්ඨිතා,
මංසලෝහිතා චිතා තචොත්ථටා
උපරිචරණා ච සෝභනා අහු.

හේ උඩු අතට නැමී ගිය ලොම් ඇත්තේ වෙයි. ගොප් ඇටය මැනැවින් සොඳුරු ව පිහිටියේ වෙයි. මසින්, ලෙයින් යුතු ඔහුගේ කෙණ්ඩා ද සමින් වැසී ගියේ, ශෝභනාකාරයෙන් දිස් වූයේ වෙයි.

ගේහමාවසති චේ තථාවිධෝ
අග්ගතං වජති කාමභෝගිනං,
තේන උත්තරිතරෝ න විජ්ජති
ජම්බුදීපමභිභුය්‍ය ඉරීයති.

එබඳු ලකුණින් හෙබියෙක් ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, කාමභෝගීන් අතර අග්‍ර වන්නේ ය. ඔහුට වඩා උතුම් වූවෙක් දකින්නට නොහැක්කේ ය. හේ සකල ජම්බුද්වීපය දැහැමි ව යටත් කොට වසයි.

පබ්බජම්පි ච අනෝමනික්කමෝ
අග්ගතං වජති සබ්බපාණිනං,
තේන උත්තරිතරෝ න විජ්ජති
සබ්බලෝකමභිභුය්‍ය විහරතී’ති.

අලාමක ගතිගුණ ඇති හේ පැවිදි වන්නේ නම් සියළු ප්‍රාණීන් හට අග්‍ර වන්නේ ය. ඒ බුදුරජුන්ට වඩා උතුම් වූ කිසිවෙකු දකින්නට නොලැබෙන්නේ ය. හේ සම්බුදු බලයෙන් මුළු ලොව යටපත් කොට වසයි.

ඒණිජංඝලක්ඛණං (11)

(11) ඒණිජංඝෝ – ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ ය.

9. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ සක්කච්චං වාචේතා අහෝසි සිප්පං වා විජ්ජං වා චරණං වා කම්මං වා, ‘කින්ති මේ ඛිප්පං විජානෙය්‍යුං, කින්ති මේ ඛිප්පං පටිපජ්ජෙය්‍යුං න චිරං කිලිස්සෙය්‍යුන්ති. සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉදං මහාපුරිසලක්ඛණං පටිලභති, ඒණිජංඝෝ හෝති. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ, සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? යානි තානි රාජාරහානි රාජංගානි රාජූපභෝගානි රාජානුච්ඡවිකානි, තානි ඛිප්පං පටිලභති රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? යානි තානි සමණාරහානි සමණංගානි සමණූපභෝගානි සමණානුච්ඡවිකානි, තානි ඛිප්පං පටිලභති. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සකස් කොට උගන්වන්නේ වෙයි. කිසියම් ශිල්පයක් වේවා, විද්‍යාවක් වේවා, ගුණධර්මයක් වේවා, කටයුත්තක් වේවා, ඉගැන්වීමේ දී ‘කිම? මාගේ මේ ක්‍රමයෙන් මොවුහු වහා දැනගන්නාහු ද? කිම? මාගේ මේ ක්‍රමයෙන් මොවුහු වහා පුහුණු වන්නාහු ද? කිම? මාගේ මේ ක්‍රමයෙන් බොහෝ කල් වෙහෙස නොගන්නාහු ද?’ යි සකස් කොට උගන්වන්නේ වෙයි. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? රජවරුන්ට යෝග්‍ය වූ රාජාංගයන් වූ, රාජ පරිභෝගයන් වූ, රජවරුන්ට ගැලපෙන්නා වූ යම් යම් දේ ඇද්ද, ඒවා වහා ලබන්නේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? ශ්‍රමණයන්ට යෝග්‍ය වූ, ශ්‍රමණයන්ගේ අංගයන් වූ, ශ්‍රමණ පරිභෝග වූ, ශ්‍රමණයන්ට නිසි වූ, යම් යම් දේ ඇද්ද, ඒවා වහා ලබන්නේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

සිප්පේසු විජ්ජාචරණේසු කම්මසු
කථං විජානෙය්‍යු ලහුන්ති ඉච්ඡති,
යදූපඝාතාය න හෝති කස්සචි
වාචේති ඛිප්පං න චිරං කිලිස්සති.

ශිල්පයන්හි ද, විද්‍යාවන්හි ද, චරණයන්හි ද, වැඩකටයුතුවලදී ද තමන් උගන්වන දෑ අන්‍යයෝ කෙසේ වහා දැනගන්නාහු දැයි කැමති වෙයි. යම් දැනුමක් කිසිවෙකුගේ හෝ විනාශය පිණිස හේතු නොවෙයි ද, බොහෝ කල් නොවෙහෙසෙන පරිද්දෙන් එබඳු දෑ වහා උගන්වන්නේ වෙයි.

තං කම්මං කත්වා කුසලං සුඛුද්‍රයං
ජංඝා මනුඤ්ඤා ලභතේ සුසණ්ඨිතා,
වට්ටා සුජාතා අනුපුබ්බමුග්ගතා
උද්ධග්ගලෝමා සුඛුමත්තචොත්ථටා.

සුවය ලබා දෙන ඒ කුසල කර්මය කොට මැනැවින් පිහිටි, වට වූ, යහපත් ව උපන්, පිළිවෙලින් උස් ව ගිය, සියුම් සිවියෙන් වැසුණු, මනෝඥ වූ කෙණ්ඩා ද, එමෙන් ම උඩු අතට කරකැවී ගිය ලෝම ද ලබන්නේ ය.

ඒණෙය්‍යජංඝෝ’ති තමාහු පුග්ගලං
සම්පත්තියා ඛිප්පමිදාහු ලක්ඛණං,
ගේහානුලෝමානි යදාභිකංඛති
අපබ්බජං ඛිප්පමිධාධිගච්ඡති.

යම් පුද්ගලයෙකුට ඕලු මුවෙකුගේ බඳු කෙණ්ඩා ඇත්තේ යැයි කීවාහු ද, මේ ලකුණ හේතුවෙන් වහා සම්පත් ලබන්නේ ය. ගෘහ ජීවිතයට ගැලපෙන යමක් හේ කැමති වෙයි ද, නොපැවිදි ව සිටින හේ වහා එය ලබන්නේ ය.

සචේ ච පබ්බජ්ජමුපේති තාදිසෝ
නෙක්ඛම්මඡන්දාභිරතෝ විචක්ඛණෝ,
අනුච්ඡවිකස්ස යදානුලෝමිකං
තං වින්දති ඛිප්පමනෝමවික්කමෝ’ති.

එබඳු ලකුණින් හෙබියෙක් ඉදින් පැවිදි වන්නේ නම්, නුවණින් යුතුව නෙක්ඛම්මයෙහි ඇලී වසන ඒ බුදුරජුන් හට ශ්‍රමණයන්ගේ පරිභෝගයට යෝග්‍ය වූ දෙයක් ම වහා ලබන්නේ වෙයි.

සුඛුමච්ඡවිලක්ඛණං (12)

(12) සුඛුමච්ඡවි – සිනිඳු සිවිය ඇත්තේ ය.

10. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ සමණං වා බ්‍රාහ්මණං වා උපසංකමිත්වා පරිපුච්ඡිතා අහෝසි: කිං භන්තේ කුසලං, කිං අකුසලං, කිං සාවජ්ජං, කිං අනවජ්ජං, කිං සේවිතබ්බං, කිං න සේවිතබ්බං, කිම්මේ කරීයමානං දීඝරත්තං අහිතාය දුක්ඛාය අස්ස, කිං වා පන මේ කරීයමානං දීඝරත්තං හිතාය සුඛාය අස්සා?ති. සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉදං මහාපුරිසලක්ඛණං පටිලභති. සුඛුමච්ඡවි හෝති සුඛුමත්තා ඡවියා රජෝජල්ලං කායේ න උපලිප්පති. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ, සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? මහාපඤ්ඤෝ හෝති, නාස්ස හෝති කෝචි පඤ්ඤාය සදිසෝ වා, සෙට්ඨෝ වා කාමභෝගීනං. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? මහාපඤ්ඤෝ හෝති පුථුපඤ්ඤෝ හාසපඤ්ඤෝ ජවනපඤ්ඤෝ තික්ඛපඤ්ඤෝ නිබ්බේධිකපඤ්ඤෝ. නාස්ස හෝති කෝචි පඤ්ඤාය සදිසෝ වා, සෙට්ඨෝ වා සබ්බසත්තානං. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු කරා යන හේ කරුණු දැනගැනීම පිණිස විමසන්නේ වෙයි. එනම් ‘ස්වාමීනී, කුසලය යනු කුමක් ද? අකුසලය යනු කුමක් ද? වැරදි දෙය යනු කුමක් ද? නිවැරදි දෙය යනු කුමක් ද? සේවනය කළ යුතු දේ යනු කුමක් ද? සේවනය නොකළ යුතු දේ යනු කුමක් ද? මා විසින් කුමක් කරන ලද්දේ බොහෝ කල් අහිත පිණිස දුක් පිණිස පවතින්නේ ද? මා විසින් කුමක් කරන ලද්දේ බොහෝ කල් හිත පිණිස සැප පිණිස පවතින්නේ ද?’ යනාදී වශයෙනි. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, සිනිඳු වූ සිවිය ඇත්තේ වෙයි. සිනිඳු සිවිය ඇති බැවින් කයෙහි දුහුවිලි දැලි ආදිය නොරඳින්නේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? මහා ප්‍රඥාව ඇත්තෙක් වෙයි. ඔහුගේ ප්‍රඥාවට සමාන වූ හෝ ශ්‍රේෂ්ඨ වූ හෝ කිසිවෙක් කාමභෝගීන් අතර නැත්තේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? මහා ප්‍රඥාව ඇත්තේ වෙයි. පැතිර පවත්නා ප්‍රඥාව ඇත්තේ වෙයි. සතුට බහුල ප්‍රඥාව ඇත්තේ වෙයි. වේගවත් ප්‍රඥාව ඇත්තේ වෙයි. තියුණු ප්‍රඥාව ඇත්තේ වෙයි. විනිවිද යන ප්‍රඥාව ඇත්තේ වෙයි. ඒ බුදුරජුන්ගේ ප්‍රඥාවට සමාන වූ හෝ ශ්‍රේෂ්ඨ වූ හෝ කිසිවෙක් සියළු සත්වයන් අතර නැත්තේ ය. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

පුරේ පුරත්ථා පුරිමාසු ජාතිසු
අඤ්ඤාතුකාමෝ පරිපුච්ඡිතා අහු,
සුස්සූසිතා පබ්බජිතං උපාසිතා
අත්ථන්තරෝ අත්ථකථං නිසාමයි.

බොහෝ පෙර සිට, පූර්ව ජාතීන්හි දී දැනගනු කැමැත්තේ ම, විමසන ලද්දේ ය. මැනැවින් සවන් දෙන්නේ වෙයි. පැවිද්දන් ඇසුරු කරන්නේ වෙයි. අර්ථයන් දැනගනු කැමැත්තෙන් අර්ථවත් කථාවෙහි යෙදුණේ වෙයි.

පඤ්ඤාපටිලාභගතේන කම්මුනා
මනුස්සභූතෝ සුඛුමච්ඡවී අහු,
බ්‍යාකංසු උප්පාදනිමිත්තකෝවිදා
සුඛුමානි අත්ථානි අවෙච්ච දක්ඛති.

ප්‍රඥාව ලැබීම පිණිස වූ ඒ කර්මයෙන් මනුෂ්‍ය වූයේ ම සියුම් සිවිය ඇත්තේ විය. නිමිති පාඨ කීමෙහි දක්ෂ වූ ඒ බ්‍රාහ්මණයෝ ‘මේ කුමාර තෙමේ සියුම් වූ අර්ථයන් අවබෝධ කරගන්නෙකි’ යි පැවසූහ.

සචේ න පබ්බජ්ජමුපේති තාදිසෝ
වත්තේති චක්කං පඨවිං පසාසති,
අත්ථානුසත්ථීසු පරිග්ගහේසු ච
න තේන සෙය්‍යෝ සදිසෝ ච විජ්ජති.

ඉදින් එබඳු ලකුණින් හෙබියෙක් නොපැවිදි ව ගිහි ගෙදර වසයි නම්, දැහැමින් අණසක පතුරා පොළොවෙහි අධිපති ව වසන්නේ ය. අර්ථ අනුශාසනාවෙහි ද, අර්ථ විමසීමෙහි ද දක්ෂ වූ ඒ සක්විති රජුට වඩා උතුම් වූ හෝ සම වූ හෝ කෙනෙක් නැත්තේ ය.

සචේ ච පබ්බජ්ජමුපේති තාදිසෝ
නෙක්ඛම්මඡන්දාභිරතෝ විචක්ඛණෝ,
පඤ්ඤාවිසිට්ඨං ලභතේ අනුත්තරං
පප්පෝති බෝධිං වරභූරිමේධසෝ’ති.

ඉදින් එබඳු ලකුණු ඇති තැනැත්තා පැවිදි වන්නේ නම්, නුවණින් යුතුව නෙක්ඛම්මයෙහි ඇලී වසන හේ අනුත්තර වූ ත්, විශිෂ්ට වූ ත් ප්‍රඥාව ලබන්නේ වෙයි. උත්තම වූ මහා නුවණැති ව සම්බුද්ධත්වයට පත්වන්නේ වෙයි.

සුවණ්ණවණ්ණතාලක්ඛණං (13)

(13) සුවණ්ණවණ්ණෝ හෝති, කඤ්චනසන්නිභත්තචෝ – ස්වර්ණ වර්ණ ඇත්තේ, රන්පැහැ ඇති සමක් ඇත්තේ වෙයි.

11. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ අක්කෝධනෝ අහෝසි අනුපායාසබහුලෝ, බහුම්පි වුත්තෝ සමානෝ නාභිසජ්ජි, න කුප්පි, න බ්‍යාපජ්ජි නප්පතිත්ථියි, න කෝපඤ්ච දෝසඤ්ච අප්පච්චයඤ්ච පාත්වාකාසි. දාතා ච අහෝසි සුඛුමානං මුදුකානං අත්ථරණානං පාපුරණානං ඛෝමසුඛුමානං කප්පාසිකසුඛුමානං කෝසෙය්‍යසුඛුමානං කම්බලසුඛුමානං. සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, සුවණ්ණවණ්ණෝ හෝති කඤ්චනසන්නිභත්තචෝ. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ, සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? ලාභී හෝති සුඛුමානං මුදුකානං අත්ථරණානං පාපුරණානං ඛෝමසුඛුමානං කප්පාසිකසුඛුමානං කෝසෙය්‍යසුඛුමානං කම්බලසුඛුමානං. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? ලාභී හෝති සුඛුමානං මුදුකානං අත්ථරණානං පාපුරණානං ඛෝමසුඛුමානං කප්පාසිකසුඛුමානං කෝසෙය්‍යසුඛුමානං කම්බලසුඛුමානං. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම ක්‍රෝධ රහිත ව සිටියේ ය. සිත් තැවුල් බහුල නැති ව සිටියේ ය. ඔහුට බොහෝ කොට කියන ලද්දේ නමුත් ඒ කෙරෙහි නොගැටෙන්නේ විය. නොකිපුණේ ය. ද්වේෂ නොකළේ ය. සිතෙහි ක්‍රෝධය නොපිහිටුවේ ය. කෝපය ත්, ද්වේෂය ත්, නොසතුට ත් පහළ නොකළේ ය. එමෙන් ම සිනිඳු වූ, මෘදු වූ ඇතිරිලි – පොරෝනා, සිනිඳු වූ පට සළු, සිනිඳු වූ කපු පිළී, සිනිඳු වූ පට වස්ත්‍ර, සිනිඳු වූ කම්බිලි ආදිය දන් දෙන්නේ විය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, ස්වර්ණ වර්ණ වූයේ රන් බඳු පැහැ ඇති සම ඇත්තේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? සියුම් වූ, මෘදු වූ ඇතිරිලි, පොරෝනා, සියුම් පට රෙදි, සිනිඳු කපු පිළී, සිනිඳු පට වස්ත්‍ර, සිනිඳු කම්බිලි ආදිය ලබන්නේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? සියුම් වූ, මෘදු වූ ඇතිරිලි, පොරෝනා, සියුම් පට රෙදි, සිනිඳු කපු පිළී, සිනිඳු පට වස්ත්‍ර, සිනිඳු කම්බිලි ආදිය ලබන්නේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

1. අක්කෝධඤ්ච අධිට්ඨහි අදාසි
දානඤ්ච වත්ථානි සුඛුමානි සුච්ඡවිනි,
පුරිමතරභවේ ඨිතෝ’භිවිස්සජි
මහිමිව සුරෝ අභිවස්සං.

පූර්වයෙහි සිට ඒ ඒ භවයෙහි දී ක්‍රෝධ නොකිරීමට අදිටන් කරගත්තේ ය. මිහිතලය තෙමී යන වර්ෂාවක් ලෙසින් දන් දුන්නේ ය. සිනිඳු වූ මනා පැහැ ඇති වස්ත්‍ර ද දුන්නේ ය.

2. තං කත්වාන ඉතෝ චුතෝ දිවං
උපපජ්ජ සුකතඵලවිපාකමනුභුත්වා,
කණකතනුසන්නිභෝ ඉධාභිභවති
සුරවරතරෝරිව ඉන්දෝ.

ඒ කර්මය කොට මෙයින් චුත ව දෙවියන් අතර උපන්නේ ය. මැනැවින් කරන ලද කර්මයෙහි සැප විපාක අනුභව කොට යළි මෙලොවට පැමිණියේ දෙවියන්ට ශ්‍රේෂ්ඨ වූ සක් දෙවිඳු මෙන් රන් බඳු සිරුරු පැහැ ඇත්තේ වෙයි.

3. ගේහමාවසති නරෝ අපබ්බජ්ජ
මිච්ඡාමහතිමහිං අනුසාසතී,
පසය්හ සහීච සත්තරතනං
පටිලභති විමල සුඛුමච්ඡවිං සුචිඤ්ච.

ඉදින් ඒ මිනිස් තෙමේ නොපැවිදි ව ගිහි ගෙයි සිටින්නේ නම්, මිහිමඬල යටපත් කොට අනුශාසනා කරයි. හේ වනාහී සප්ත රත්නයෙන් යුක්ත වූයේ වෙයි. නිර්මල වූ ත්, සියුම් වූ ත්, මනා පැහැ ඇති පිරිසිදු වස්ත්‍ර ලබයි.

4. ලාභී අච්ඡාදනවත්ථමොක්ඛපාපුරණානං
භවති සදි අනාගාරියතං උපේති,
ස හි පුරිමකතඵලං අනුභවති
න භවති කතස්ස පනාසෝ’ති.

ඉදින් හේ පැවිදි වන්නේ නම්, හඳින පොරොවන වස්ත්‍ර ද, ප්‍රධාන පොරෝනා වස්ත්‍ර ද, සුව සේ ලබයි. හේ පූර්ව ආත්මයන්හි කළ කුසලයන්ගේ ඵලය විඳියි. කරන ලද පුණ්‍යකර්මය විපාක නොදී වැනැසී යාමක් නොවෙයි.

කෝසෝහිතවත්ථගුය්හතාලක්ඛණං (14)

(14) කෝසෝහිතවත්ථගුය්හෝ – කොපුවක බහාලූ දෙයක් බඳු ව පුරුෂ නිමිත්ත ඇත්තේ ය.

12. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ චිරප්පනට්ඨේ සුචිරප්පවාසිනෝ ඤාතිමිත්තේ සුහජ්ජේ සඛිනෝ සමානේතා අහෝසි, මාතරම්පි පුත්තේන සමානේතා අහෝසි පුත්තම්පි මාතරා සමානේතා අහෝසි, පිතරම්පි පුත්තේන සමානේතා අහෝසි, පුත්තම්පි පිතරා සමානේතා අහෝසි, භාතරම්පි භාතරා සමානේතා අහෝසි, භාතරම්පි භගිනියා සමානේතා අහෝසි, භගිනිම්පි භාතරා සමානේතා අහෝසි, භගිනිම්පි භගිනියා සමානේතා අහෝසි සමංගීකත්වා ච අබ්භනුමෝදිතා අහෝසි, සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉදං මහාපුරිසලක්ඛණං පටිලභති, කෝසෝහිතවත්ථගුය්හෝ හෝති. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? පහූතපුත්තෝ හෝති, පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා රාජා සමානෝ ඉදං ලභති. ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? පහූතපුත්තෝ හෝති අනේකසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ කල් දකින්නට නැති වූ, ඉතා බොහෝ කල් වෙනත් ප්‍රදේශයන්හි කල් ගෙවූ ඥාති මිත්‍ර සුහද යහළුවන් යළි මුණගස්වන්නෙක් වූයේ ය. මව ත් පුතා හා යළි මුණගැස්සුවේ ය. පුතුත් මව හා යළි මුණගැස්සුවේ ය. පියා ත් පුතා හා යළි මුණගැස්සුවේ ය. පුතුත් පියා හා යළි මුණගැස්සුවේ ය. සොයුරා ත් සොයුරා හා යළි මුණගැස්සුවේ ය. සොයුරා ත් සොයුරිය හා යළි මුණගැස්සුවේ ය. සොයුරිය ඒ සොයුරා හා යළි මුණගැස්සුවේ ය. සොයුරිය ත් සොයුරිය හා යළි මුණගැස්සුවේ ය. මෙසේ ඔවුන් සමඟි කොට, සමඟියෙහි සතුටු වන්නේ විය. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, කොපුවක බහාලු දෙයක් බඳු ව පුරුෂ නිමිත්ත ඇත්තේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? බොහෝ පුත්‍රයන් ලබන්නේ වෙයි. ශූර වීර පරාක්‍රමයෙන් යුතු සතුරු සේනා මැඬලීමෙහි දක්ෂ දහසකට අධික පුත්‍රයෝ ඔහුට සිටින්නාහ. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? බොහෝ ශ්‍රාවක පුත්‍රයන් ලබන්නේ වෙයි. පරසෙන් මඬින්නා වූ, ශූර වීර පරාක්‍රමයෙන් යුතු වූ, නොයෙක් දහස් ගණන් ශ්‍රාවක පුත්‍රයන් ලබන්නේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

පුරේ පුරත්ථා පුරිමාසු ජාතිසු
චිරප්පනට්ඨේ සුචිරප්පවාසිනෝ,
ඤාතී සුහජ්ජේ සඛිනෝ සමානයී
සමංගිකත්වා අනුමෝදිතා අහු.

බොහෝ පෙර සිට ම පූර්ව ජාතීන්හි දී බොහෝ කල් නොදක්නා ලද ඈත ප්‍රදේශවල නෑයින්ගෙන් වෙන් ව බොහෝ කල් වසන ඥාතීන්, සුහද මිත්‍රයන් එක්තැන් කළේ ය. ඔවුන් සමඟියට පත් කොට සමඟියෙහි සතුටු වූයේ ය.

සෝ තේන කම්මේන දිවං අපක්කමි
සුඛඤ්ච ඛිඩ්ඩා රතියෝ ච අන්වභි,
තතෝ චවිත්වා පුනරාගතෝ ඉධ
කෝසෝහිතං වින්දති වත්ථඡාදියං.

ඔහු ඒ කර්මයෙන් දෙව්ලොව ගියේ ය. එහි වූ දිව්‍ය සැපයෙන් හා කෙළිදෙළෙන් කල්යැව්වේ ය. ඒ දෙව්ලොවින් චුත ව යළි මේ මිනිස් බවට පැමිණියේ කොපුවක බහාලූ දෙයක් බඳු ව පුරුෂ නිමිත්ත සැඟවුණේ වෙයි.

පහූතපුත්තෝ භවතී තථාවිධෝ
පරෝසහස්සං ච භවන්ති අත්‍රජා,
සූරා ච වීරා ච අමිත්තතාපනා
ගිහිස්ස පීතිං ජනනා පියංවදා.

එබඳු ලකුණින් යුතු වූවෙකු හට බොහෝ පුත්‍රයන් ලැබෙන්නේ ය. ඒ ගිහි වූ සක්විති රජුට ප්‍රීතිය උපදවන, ප්‍රිය තෙපුල් කියන, සතුරන් මැඬලීමෙහි සමර්ථ වූ ශූර වීර වූ දහසකට අධික පුත්‍රයෝ වන්නාහ.

බහුතරා පබ්බජිතස්ස ඉරීයතෝ
භවන්ති පුත්තා වචනානුසාරිනෝ,
ගිහිස්ස වා පබ්බජිතස්ස වා පුන
තං ලක්ඛණංභවති තදත්ථජෝතකන්ති.

පැවිදි වූ තැනැත්තා හට තමාගේ වචනය පිළිපදින බහුතර ශ්‍රාවක පුත්‍රයෝ ඇතිවන්නාහ. ගිහි වුවද, පැවිදි වුවද ඒ කෝසෝහිත වත්ථගුය්හ ලක්ෂණයෙන් පවසන්නේ බොහෝ පුත්‍රයන් ඇති බව ය.

පරිමණ්ඩල-අනෝනම-ජ’ණ්ණුපරිමසනලක්ඛණානි (15-16)

(15 – 16) නිග්‍රෝධ පරිමණ්ඩලෝ ච හෝති. ඨිතකෝ’ව අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති, පරිමජ්ජති. – නුග රුකක් බඳු සම ප්‍රමාණ සිරුරක් ඇත්තේ වෙයි. සිටගෙන සිටිය දී ම නොනැමී දෙඅත්ලෙන් දණ මඬුළු ස්පර්ශ කරන්නේ වෙයි. පිරිමදින්නේ වෙයි.

13. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ මහාජනසංගහං සමෙක්ඛමානෝ සමං ජානාති, සාමං ජානාති, පුරිසං ජානාති, පුරිසවිසේසං ජානාති අයමිදමරහති අයමිදමරහතී’ති. තත්ථ තත්ථ පුරිසවිසේසකරෝ පුරේ අහෝසි, සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, නිග්‍රෝධ පරිමණ්ඩලෝ ච හෝති ඨිතකෝ’ව අනෝනමන්තෝ උභෝහි පාණිතලේහි ජණ්ණුකානි පරිමසති පරිමජ්ජති, සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? අඩ්ඪෝ හෝති මහද්ධනෝ මහාභෝගෝ පහූතජාතරූපරජතෝ පහූතවිත්තූපකරණෝ පහූතධනධඤ්ඤෝ පරිපුණ්ණකෝසකොට්ඨාගාරෝ. රාජා සමානෝ ඉදං ලභති. ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? අඩ්ඪෝ හෝති මහද්ධනෝ මහාභෝගෝ. තස්සිමානි ධනානි හොන්ති, සෙය්‍යථීදං සද්ධාධනං සීලධනං හිරිධනං ඔත්තප්පධනං සුතධනං චාගධනං පඤ්ඤාධනං. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම මහජනයාට සංග්‍රහ කිරීමේ දී සම ලෙස දකින්නේ විය. සම වූවන් දන්නේ වෙයි. තෙමේ ම දන්නේ ය. පුරුෂයා ත් දන්නේ ය. විශේෂ පුරුෂයා ත් දන්නේ ය. ‘මොහු මෙකරුණට සුදුසු ය. මොහු මෙකරුණට සුදුසු ය’ වශයෙනි. ඒ ඒ කරුණ සඳහා අදාළ දක්ෂතා ඇති පුරුෂයන් හඳුනාගෙන කටයුතු කරන්නේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, නුගරුකකට බඳු සම ප්‍රමාණ සිරුරක් ඇත්තේ වෙයි. සිටගෙන සිටිය දී ම නොනැමී දණ මඬුළු දෙඅත්ලෙන් ස්පර්ශ කරන්නේ, පිරිමදින්නේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණුවලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? ආඪ්‍ය වූයේ වෙයි. මහා ධනය ඇත්තේ, මහත් භෝග සම්පත් ඇත්තේ, බොහෝ රන් රිදී ඇත්තේ, බොහෝ වස්තු උපකරණ ඇත්තේ, බොහෝ ධන ධාන්‍ය පිරී ගිය වස්තු ගබඩා භාණ්ඩාගාර ඇත්තේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? ආඪ්‍ය වූයේ වෙයි. මහා ධනය ඇත්තේ වෙයි. මහා භෝග සම්පත් ඇත්තේ වෙයි. ඒ බුදුරජුන්ගේ ධනය මේවා ය. එනම්; ශ්‍රද්ධා ධනය ය, සීල ධනය ය, හිරි ධනය ය, ඔත්තප්ප ධනය ය, සුත ධනය ය, ත්‍යාග ධනය ය, ප්‍රඥා ධනය ය යන මෙය යි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

තුලිය පටිවිචිය චින්තයිත්වා
මහාජනසංගහනං සමෙක්ඛමානෝ,
අයමිදමරහතීති තත්ථ තත්ථ
පුරිසවිසේසකරෝ පුරේ අහෝසි.

පූර්ව ජාතීන් හිදී පුද්ගල දක්ෂතා පිළිබඳ ව නුවණින් තුලනය කොට, නැවත නැවත සිතා බලා මහජන සංග්‍රහය සම ව අපේක්ෂා කරනුයේ මෙතෙමේ මේ තැනට සුදුසු ය යනාදී වශයෙන් ඒ ඒ තන්හි පුරුෂයන්ගේ විශේෂය දැන සංග්‍රහ කළේ ය.

ස හි ච පන ඨිතෝ අනෝනමන්තෝ
ඵුසති කරේහි උභෝහි ජණ්ණුකානි,
මහිරුහපරීමණ්ඩලෝ අහෝසි
සුචරිතකම්මවිපාකසේසකේන.

ඒ සුචරිත කර්මයෙන් ඉතිරි වූ විපාකයෙන් හේ සිටියේ ම නොනැමී දෙඅත්ලෙන් දණහිස ස්පර්ශ කරයි. මනා ආරෝහ පරිණාහයෙන් යුතු ව නුග රුකක් බඳු වෙයි.

බහුවිවිධ නිමිත්ත ලක්ඛණඤ්ඤූ
අභිනිපුණා මනුජාවියා කරිංසු,
බහුවිවිධානි ගිහීනමරහානි
පටිලභති දහරෝ සුසූ කුමාරෝ.

බොහෝ විවිධ අයුරින් නිමිති ලක්ෂණ දන්නා වූ අතිශයින් ම දක්ෂ වූ ඒ බ්‍රාහ්මණවරු මේ ළදරු වූ ළපැටි කුමාර තෙමේ ගිහියන් හට සුදුසු වූ බොහෝ විවිධාකාර වස්තූන් ලබන්නේ යැයි පැවසූහ.

ඉධ මහීපති’ස්ස කාමභෝගී
ගිහිපටිරූපකා බහූ භවන්ති,
යදි ච ජහති සබ්බකාමභෝගං
ලභති අනුත්තරමුත්තමං ධනග්ගන්ති.

මෙහි කාමභෝගී රජෙක් වන්නේ නම් ගිහි ජීවිතයට ගැලපෙන බොහෝ වස්තූන් ලබන්නේ ය. ඉදින් සියළු කාමයන් අත්හරින්නේ නම්, අනුත්තර වූ උත්තම වූ ආර්ය ධනය ලබන්නේ ය.

සීහපුබ්බද්ධකායාදීනි තීණි ලක්ඛණානි (17-19)

(17 – 18 – 19) සීහ පුබ්බද්ධකායෝ ච හෝති. චිතන්තරංසෝ ච, සමවත්තක්ඛන්ධෝ ච. – සිංහයෙකුගේ ඉදිරිපස සිරුර සේ ආනුභාව සම්පන්න කය ඇත්තේ වෙයි. මසින් පිරුණු පිටිකර ද, සම ව වට වූ කඳ ද ඇත්තේ වෙයි.

14. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ බහුජනස්ස අත්ථකාමෝ අහෝසි හිතකාමෝ ඵාසුකාමෝ යෝගක්ඛේමකාමෝ ‘කින්ති මේ සද්ධාය වඩ්ඪෙය්‍යුං, සීලේන වඩ්ඪෙය්‍යුං, සුතේන වඩ්ඪෙය්‍යුං, චාගේන වඩ්ඪෙය්‍යුං, ධම්මේන වඩ්ඪෙය්‍යුං, පඤ්ඤාය වඩ්ඪෙය්‍යුං, ධනධඤ්ඤේන වඩ්ඪෙය්‍යුං, ඛෙත්තවත්ථුනා වඩ්ඪෙය්‍යුං, ද්විපදචතුප්පදේහි වඩ්ඪෙය්‍යුං, පුත්තදාරේහි වඩ්ඪෙය්‍යුං, දාසකම්මකරපෝරිසේහි වඩ්ඪෙය්‍යුං, ඤාතීහි වඩ්ඪෙය්‍යුං, මිත්තේහි වඩ්ඪෙය්‍යුං, බන්ධවේහි වඩ්ඪෙය්‍යුන්ති. සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි තීණි මහාපුරිසලක්ඛණානි පටිලභති, සීහපුබ්බද්ධකායෝ ච හෝති චිතන්තරංසෝ ච සමවත්තක්ඛන්ධෝ ච. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී. ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? අපරිහානධම්මෝ හෝති, න පරිහායති ධනධඤ්ඤේන ඛෙත්තවත්ථුනා ද්විපදචතුප්පදේහි පුත්තදාරේහි දාසකම්මකරපෝරිසේහි ඤාතීහි මිත්තේහි බන්ධවේහි. න පරිහායති සබ්බසම්පත්තියා. රාජා සමානෝ ඉදං ලභති. ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? අපරිහානධම්මෝ හෝති, න පරිහායති සද්ධාය සීලේන සුතේන චාගේන පඤ්ඤාය න පරිහායති සබ්බසම්පත්තියා. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාගේ යහපත කැමති වූයේ ය. හිත කැමති වූයේ ය. පහසුව කැමති වූයේ ය. උවදුරු රහිත බව කැමති වූයේ ය. ‘මේ භවත්හු කෙසේ නම් ශ්‍රද්ධාවෙන් වැඩෙන්නාහු ද? සීලයෙන් වැඩෙන්නාහු ද? සුතයෙන් වැඩෙන්නාහු ද? ත්‍යාගයෙන් වැඩෙන්නාහු ද? ධර්මයෙන් වැඩෙන්නාහු ද? ප්‍රඥාවෙන් වැඩෙන්නාහු ද? ධන ධාන්‍යයෙන් වැඩෙන්නාහු ද? කෙත් වතු වලින් වැඩෙන්නාහු ද? දෙපා සිව්පා සතුන්ගෙන් වැඩෙන්නාහු ද? අඹුදරුවන්ගෙන් වැඩෙන්නාහු ද? දාස කම්කරු පුරුෂයන්ගෙන් වැඩෙන්නාහු ද? ඥාතීන්ගෙන් වැඩෙන්නාහු ද? මිතුරන්ගෙන් වැඩෙන්නාහු ද? බන්ධූන්ගෙන් වැඩෙන්නාහු ද?’ යි. හේ ඒ කර්මයන් කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ තුන ලබන්නේ වෙයි. එනම්, සිංහයාගේ ඉදිරිපස සිරුර බඳු ආනුභාව ඇති කය ඇත්තේ වෙයි. පිටිකර පිරීගිය මාංස ඇත්තේ වෙයි. සම ව වටවූ කඳ ඇත්තේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? නොපිරිහෙන ස්වභාවයෙන් යුක්ත වූයේ වෙයි. ධන ධාන්‍යයෙන්, කෙත් වතු වලින්, දෙපා සිව්පා සතුන්ගෙන්, අඹු දරුවන්ගෙන්, දාස කම්කරු පුරුෂයන්ගෙන්, ඥාති මිත්‍ර බන්ධූන්ගෙන් නොපිරිහෙන්නේ ය. සියළු සම්පත්තියෙන් නොපිරිහෙන්නේ ය. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? නොපිරිහෙන ස්වභාව ඇත්තේ වෙයි. ශ්‍රද්ධාවෙන්, සීලයෙන්, සුතයෙන්, ත්‍යාගයෙන්, ප්‍රඥාවෙන් නොපිරිහෙයි. සියළු ලොව්තුරු ගුණ සම්පත්තියෙන් නොපිරිහෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

සද්ධාය සීලේන සුතේන බුද්ධියා
චාගේන ධම්මේන බහූහි සාධුහි,
ධනේන ධඤ්ඤේන ච ඛෙත්තවත්ථුනා
පුත්තේහි දාරේහි චතුප්පදේහි ච.

ශ්‍රද්ධාවෙන් ද, සීලයෙන් ද, සුතයෙන් ද, ත්‍යාගයෙන් ද, ප්‍රඥාවෙන් ද, ධර්මයෙන් ද, බොහෝ යහපත් ගුණයෙන් ද, ධන ධාන්‍යයෙන් ද, කෙත් වතුවලින් ද, දරුවන්ගෙන් ද, අඹුවන් ගෙන් ද, සිව්පාවුන්ගෙන් ද,

ඤාතීහි මිත්තේහි ච බන්ධවේහි ච
බලේන වණ්ණේන සුඛේන චූභයං,
කථං න හායෙය්‍යුං පරේ’ති ඉච්ඡති
ඉදං සමිද්ධං ච පනාභිකංඛති.

ඥාතීන්ගෙන් ද, මිතුරන්ගෙන් ද, බන්ධූන්ගෙන් ද, ශරීර ශක්තියෙන් ද, වර්ණයෙන් ද, සැපයෙන් ද යන දෙකෙනුත් අන්‍යයෝ නොපිරිහෙත් නම් ඒ නොපිරිහී ම පිණිස ඔවුන්ට කෙසේ උදව් කරන්නේ දැයි අන්‍යයන්ගේ සමෘද්ධිය කැමැති වෙයි.

ස සීහපුබ්බද්ධසුසණ්ඨිතෝ අහු
සමවත්තක්ඛන්ධෝ ච චිතන්තරංසෝ,
පුබ්බේ සුචිණ්ණේන කතේන කම්මුනා
අහානියං පුබ්බනිමිත්තමස්සතං.

පූර්වයෙහි මැනැවින් පුරුදු කරන ලද ඒ කර්මයේ හේතුවෙන් සිංහයෙකුගේ ඉදිරිපස සිරුර බඳු ව, මනාව පිහිටි, ආනුභාවයෙන් යුතු කය ඇත්තේ වෙයි. මසින් පිරී ගිය පිටිකර ඇත්තේ වෙයි. සමව වට වූ කඳ ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ නොපිරිහෙන ස්වභාවයට ලකුණු වූයේ ඒ කර්මය යි.

ගිහී පි ධඤ්ඤේන ධනේන වඩ්ඪති
පුත්තේහි දාරේහි චතුප්පදේහි ච,
අකිඤ්චනෝ පබ්බජිතෝ අනුත්තරං
පප්පෝති සම්බෝධිමහානධම්මතන්ති.

ඉදින් කුමාර තෙමේ ගිහි ව සිටින්නේ නම් ධනයෙන් ද, ධාන්‍යයෙන් ද, අඹුදරුවන්ගෙන් ද, සිව්පා ආදීන්ගෙන් ද වැඩෙයි. කිසි රැස් කිරීමක් නැති පැවිද්දෙක් වන්නේ නම් නොපිරිහෙන ස්වභාව ඇති අනුත්තර වූ සම්බෝධියට පැමිණෙන්නේ ය.

රසග්ගසග්ගිතාලක්ඛණං (20)

(20) රසග්ගසග්ගී හෝති – අග්‍ර රස ලබා දෙන රස නහර ඇත්තේ ය.

15. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ සත්තානං අවිහේඨකජාතිකෝ අහෝසි පාණිනා වා ලෙඩ්ඩුනා වා දණ්ඩේන වා සත්ථේන වා, සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, රසග්ගසග්ගී හෝති, උද්ධග්ගාස්ස රසහරණීයෝ ගීවාය ජාතා හොන්ති සමාවාහිනියෝ. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ නාතිසීතාය නාච්චුණ්හාය. රාජා සමානෝ ඉදං ලභති. ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහණියා සමන්නාගතෝ නාතිසීතාය නාච්චුණ්හාය මජ්ක්‍ධිමාය පධානක්ඛමාය. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම සත්වයන්ට පීඩා නොදෙන ස්වභාව ඇත්තෙක් වූයේ ය. අතින් වේවා, කැට කැබැල්ලෙන් වේවා, දඬු මුගුරින් වේවා, අවි ආයුධයෙන් වේවා, පීඩා නොදෙන ස්වභාවයෙන් යුතු වූයේ ය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, අග්‍ර රස ලබා දෙන රස නහර ඇති බව යි. ඔහුගේ ගෙලෙහි උඩු අතට කෙලින් නැගී සිටි රස නහරයෝ හටගත්තාහ. එයින් සම සේ රස ලබාදෙන්නේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? අල්පාබාධ වූයේ, රෝග අඩු වූයේ, ඉතා සීත ත් නොවූ, ඉතා ඌෂ්ණ ත් නොවූ, සම ව ආහාර පැසවන ග්‍රහණියකින් සමන්විත වූයේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? අල්පාබාධ වූයේ, රෝග අඩු වූයේ, ඉතා සීත ත් නොවූ, ඉතා ඌෂ්ණ ත් නොවූ, මධ්‍යම වූ ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ස්වභාව ඇති ව සම ව ආහාර පැසවන ග්‍රහණියකින් සමන්විත වූයේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

න පාණිදණ්ඩේහි පනාථ ලෙඩ්ඩුනා
සත්ථේන වා මරණවධේන වා පුන,
උබ්බාධනාය පරිතජ්ජනාය වා
න හේඨයී ජනතමහේඨකෝ අහු.

හේ අතින් හෝ දඬු මුගුරින් හෝ අවි ආයුධයෙන් හෝ කැටකැබලිත්තෙන් හෝ මරණ වධයෙන් හෝ සිරකොට තැබීමෙන් හෝ තර්ජනය කිරීමෙන් හෝ ජනතාව පීඩාවට පත් නොකළේ ය. ජනතාව නොපෙළන්නෙක් ව සිටියේ ය.

තේනේව සෝ සුගතිසු පෙච්ච මෝදති
සුඛප්ඵලං කරිය සුඛානි වින්දති,
සමෝජසා රසහරණී සුසණ්ඨිතා
ඉධාගතෝ ලභති රසග්ගසග්ගිතං.

හේ ඒ කර්මයෙන් ම පරලොව ගියේ සුගතීන්හි සතුටු වූයේ වෙයි. සැප ලබා දෙන පුණ්‍ය කර්මය කිරීමෙන් සැප විඳින්නේ වෙයි. සම ඕජස් රස උරාගන්නා රස නහරයෝ මැනැවින් පිහිටියාහු ය. මේ මිනිස් බවට පැමිණියේ අග්‍ර රස නහර ඇත්තේ වෙයි.

තේනාහු නං අතිනිපුණා විචක්ඛණා
අයං නරෝ සුඛබහුලෝ භවිස්සති,
ගිහිස්ස වා පබ්බජිතස්ස වා පුන
තං ලක්ඛණං භවති තදත්ථජෝතකන්ති.

ඉතා සියුම් නුවණැති ඒ විචක්ෂණ බ්‍රාහ්මණයෝ එහෙයින් මෙය කීහ. ‘මේ මනුෂ්‍ය තෙමේ සැප බහුලයෙක් වන්නේ ය. ගිහි වුව ද, පැවිදි වුව ද ඒ ඵලය ලබන හේතුව මේ ලක්ෂණයෙන් හෙළි වන්නේ ය.’

අභිනීලනෙත්ත-ගෝපඛුමලක්ඛණානි (21-22)

(21 – 22) අභිනීලනෙත්තෝ ච හෝති, ගෝපඛුමෝ ච. – අභිනීල නෙත් ඇත්තේ ය. අළුත උපන් වසු පැටවෙකුගේ බඳු ඇස් මඬල ඇත්තේ ය.

16. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ න ච විසටං න ච විසාචී න ච පන විචෙය්‍ය පෙක්ඛිතා, උජුං තථා පසටමුජුමනෝ පියචක්ඛුනා බහුජනං උදික්ඛිතා අහෝසි. සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, අභිනීලනෙත්තෝ ච හෝති ගෝපඛුමෝ ච. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ, සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? පියදස්සනෝ හෝති, බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ බ්‍රාහ්මණගහපතිකානං නේගමජානපදානං ගණකානං මහාමත්තානං අනීකට්ඨානං දෝවාරිකානං අමච්චානං පාරිසජ්ජානං රාජුනං භෝගියානං කුමාරානං. රාජා සමානෝ ඉදං ලභති. ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? පියදස්සනෝ හෝති, බහුනෝ ජනස්ස පියෝ හෝති මනාපෝ භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං දේවානං මනුස්සානං අසුරානං නාගානං ගන්ධබ්බානං. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කෝපයෙන් ඇස් ඔරොවා අනුන් දෙස නොබලන්නෙක් වූයේ ය. ක්‍රෝධ සිතින් හිස ඇල කොට ඇස් කොණින් නොබලන්නෙක් වූයේ ය. ක්‍රෝධ සිතින් අනුන් දෙස රහසින් නොබලන්නෙක් වූයේ ය. කෙලින් ඇස් පුරා බලන්නෙක් වූයේ ය. ඍජු සිතින් ප්‍රිය ඇසින් බලන්නෙක් වූයේ ය. බොහෝ ජනයා දෙස සතුටින් බලන්නෙක් වූයේ ය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, අභිනීල නෙත් ඇති බව ත්, අළුත උපන් වසු පැටවෙකුගේ බඳු ඇස් මඬල ඇති බව ත් ය.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? ප්‍රිය වූ දැකුම් ඇත්තේ වෙයි. බොහෝ ජනයාට ප්‍රිය වූයේ, මනාප වූයේ වෙයි. බ්‍රාහ්මණ ගෘහපතියන්ට, නිගම ජනපදවැසියන්ට, ගණකයින්ට, මහා ආමත්‍යයින්ට, සේනා බල ප්‍රධානීන්ට, දොරටුපාලයන්ට, ඇමතියන්ට, පරම්පරානුයාත පිරිසට, රජදරුවන්ට, රාජ භෝගීන්ට, රජ කුමාරවරුන්ට ප්‍රිය වූයේ මනාප වූයේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? ප්‍රිය දැකුම් ඇත්තේ වෙයි. බොහෝ ජනයාට ප්‍රියමනාප වූයේ වෙයි. භික්ෂූන්ට, භික්ෂුණීන්ට, උපාසකයින්ට, උපාසිකාවන්ට, දෙවියන්ට, මිනිසුන්ට, අසුරයින්ට, නාගයින්ට, ගාන්ධර්වයින්ට ප්‍රිය වූයේ මනාප වූයේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

න ච විසටං න ච විසාචී
න ච පන විචෙය්‍ය පෙක්ඛිතා,
උජුං තථා පසටමුජුමනෝ
පියචක්ඛුනා බහුජනං උදික්ඛිතා.

ක්‍රෝධයෙන් ඇස් ඔරොවා නොබැලුවේ ය. ක්‍රෝධයෙන් හිස ඇල කොට ඇස් කොණින් නොබැලුවේ ය. රහසින් අනුන්ට රවා නොබැලුවේ ය. ඍජු ලෙස ඇස් පුරා ඍජු සිතින් ප්‍රිය ඇසින් බොහෝ දෙනා දෙස බලන්නෙක් වූයේ ය.

සුගතීසු සෝ ඵලවිපාකං
අනුභවති තත්ථ මෝදති,
ඉධ ච පන භවති ගෝපඛුමෝ
අභිනීලනෙත්තනයනෝ සුදස්සනෝ.

හේ එහි ඵලවිපාක සුගතියෙහි විඳින්නේ වෙයි. එහි සැප විඳිමින් සතුටු වෙයි. යළි මේ මනුලොව උපන් කල්හී අළුත උපන් වසු පැටවෙකුගේ බඳු ඇස් මඬල ඇත්තේ වෙයි. අභිනීල නේත්‍ර ඇත්තේ වෙයි. ශෝභා දැකුම් ඇත්තේ වෙයි.

අභියෝගිනෝ ච නිපුණා
බහූ පන නිමිත්තකෝවිදා,
සුඛුමනයනකුසලා මනුජා
පියදස්සනෝ’ති අභිනිද්දිසන්ති නං.

ලක්ෂණ ශාස්ත්‍ර අධ්‍යයනයෙහි යෙදුණු, සියුම් නුවණැති, නිමිති ශාස්ත්‍රයෙහි දක්ෂ වූ, සියුම් වූ නේත්‍ර විද්‍යාවෙහි දක්ෂ වූ ඒ බොහෝ බ්‍රාහ්මණයෝ මේ ලකුණු ඇත්තා ප්‍රිය දැකුම් ඇත්තේ යැයි විශේෂ කොට දක්වත්.

පියදස්සනෝ ගිහී පි සන්තෝ ච
භවති බහුජනපියායිතෝ,
යදි ච න භවති ගිහී සමණෝ හෝති
පියෝ බහූනං සෝකනාසනෝ’ති.

ගිහි වූයේ නමුත් ප්‍රිය දැකුමෙන් යුක්ත වූයේ වෙයි. බොහෝ ජනයා විසින් ප්‍රිය කරනු ලබන්නේ වෙයි. ඉදින් ගිහි නොවී ශ්‍රමණයෙක් වන්නේ නම්, බොහෝ ජනයාට ප්‍රිය වූ, බොහෝ ජනයාගේ ශෝක නසන්නෙක් වෙයි.

උණ්හීසසීසලක්ඛණං (23)

(23) උණ්හීසසීසෝ – පිරිපුන් නළලින් යුතු හිස ඇත්තේ ය.

17. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ බහුජනපුබ්බංගමෝ අහෝසි කුසලේසු ධම්මේසු බහුජනානං පාමොක්ඛෝ කායසුචරිතේ වචීසුචරිතේ මනෝසුචරිතේ දානසංවිභාගේ සීලසමාදානේ උපෝසථූපවාසේ මත්තෙය්‍යතාය පෙත්තෙය්‍යතාය සාමඤ්ඤතාය බ්‍රහ්මඤ්ඤතාය කුලේ ජෙට්ඨාපචායිතාය අඤ්ඤතරඤ්ඤතරේසු ච අධිකුසලේසු ධම්මේසු. සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, උණ්හීසසීසෝ හෝති. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? මහා’ස්ස ජනෝ අන්වායිකෝ හෝති, බ්‍රාහ්මණගහපතිකා නේගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාරා. රාජා සමානෝ ඉදං ලභති. ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? මහාස්ස ජනෝ අන්වායිකෝ හෝති භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොහෝ ජනයාට පින්කම් කිරීමෙහි ප්‍රධාන වූයේ ය. කාය සුචරිතයෙහිදී, වාක් සුචරිතයෙහි දී, මනෝ සුචරිතයෙහි දී, දන් පැන් බෙදීමෙහි දී, සීල සමාදානයෙහි දී, උපෝසථයෙහි දී, මව්පිය උපස්ථානයෙහි දී, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට සැලකීමෙහි දී, කුලදෙටුවන් පිදීමෙහි දී වෙනත් බොහෝ අධිකුසල ධර්මයන් හි දී බොහෝ ජනයාට ප්‍රමුඛ වූයේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, පිරිපුන් නළලින් යුතු හිස ඇති බව යි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? මහජන තෙමේ ඔහු අනුව යන්නේ වෙයි. බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියම් ගම් ජනපදවැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, බල ප්‍රධානයෝ, දොරටුපාලයෝ, අමාත්‍යයෝ, පරම්පරානුයාත රාජ පිරිවර, රාජභෝගීහු, රජකුමාරවරු ඔහු අනුව යන්නෝ ය. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? මහජන තෙමේ ඒ බුදුරජුන්ගේ වචනය අනුව යන්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු ඒ බුදුරජුන්ගේ වචනය අනුව යන්නෝ ය. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

පුබ්බංගමෝ සුචරිතේසු අහු
ධම්මේසු ධම්මචරියාය අභිරතෝ,
අන්වායිකෝ බහුජනස්ස අහු
සග්ගේසු වේදයිත්ථ පුඤ්ඤඵලං.

හේ සුචරිත ධර්මයන්හි පෙරමුණ ගත්තේ ය. ධර්ම චර්යාවෙහි ඇලුණේ ය. බොහෝ ජනයා ද ඔහුගේ වචනය අනුව ගියේ ය. එහි පුණ්‍යඵල ස්වර්ගයෙහි දී වින්දේ ය.

වේදියිත්වා සෝ සුචරිතස්ස ඵලං
උණ්හීස සීසත්තමිධජ්ඣගමා,
බ්‍යාකංසු බ්‍යඤ්ජන නිමිත්තධරා
පුබ්බංගමෝ බහුජනස්ස හෙස්සති.

හේ සුචරිතයෙහි ඵලය එහිදී විඳ මේ මිනිසත් බවට පැමිණියේ පිරිපුන් නළලින් යුතු හිස ඇති බව ලැබුවේ ය. ලක්ෂණ ශාස්ත්‍රධර බ්‍රාහ්මණයෝ මෙය පැවසූහ. ‘මෙතෙමේ බොහෝ දෙනාට පුරෝගාමී වන්නේ ය.

පටිභෝගියා මනුජේසු ඉධ
පුබ්බේව තස්ස අභිහරන්ති තදා,
යදි ඛත්තියෝ භවති භූමිපති
පටිහාරකබහුජනේ ලභති.

මේ මනුලොව දී ඔහුට බොහෝ වතාවත් කරන්නෝ සිටිති. එකල්හී ලදරු වියෙහිදී ම වතාවත් කරන්නෝ වෙති. ඉදින් පොළොවෙහි අධිපති ක්ෂත්‍රිය රජෙක් වන්නේ නම් හේ වතාවත් කරන බොහෝ ජනයා ලබයි.

අථ චේ පි පබ්බජති සෝ මනුජෝ
ධම්මේසු හෝති පගුණෝ විසාවී,
තස්සානුසාසනිගුණාභිරතෝ
අන්වායිකෝ බහුජනෝ භවතී’ති.

ඉදින් ඒ මිනිස් තෙමේ පැවිදි වන්නේ නම්, ධර්මයන්හි පුරුදු පුහුණු කළ වශීතා ඇතියෙක් වන්නේ ය. ඔහුගේ අනුශාසනා ගුණයෙහි ඇලුණු බොහෝ ජනයා ඔහුගේ වචනයට අනුව යන්නේ ය.

ඒකේකලෝමතාඋණ්ණාලක්ඛණාදීනි (24-25)

(24 – 25) ඒකේකලෝමෝ ච හෝති, උණ්ණා ච භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා – එක් එක් ලෝමය බැගින් ඇත්තේ ද වෙයි. දෙබැම අතරෙහි සුදු පැහැති මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමයක් හටගත්තේ ය.

18. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ මුසාවාදං පහාය මුසාවාදා පටිවිරතෝ අහෝසි සච්චවාදී සච්චසන්ධෝ ථේතෝ පච්චයිකෝ අවිසංවාදකෝ ලෝකස්ස, සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, ඒකේකලෝමෝ ච හෝති, උණ්ණා ච භමුකන්තරේ ජාතා හෝති ඕදාතා මුදුතූලසන්නිභා. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී. ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? මහා’ස්ස ජනෝ උපවත්තති බ්‍රාහ්මණගහපතිකා නේගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාරා. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? මහා’ස්ස ජනෝ උපවත්තති භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධෝ සමානෝ ඉදං ලභති. ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම බොරු කීම අත්හැර, බොරු කීමෙන් වැළකී සිටියේ විය. සත්‍යවාදී වූයේ, සත්‍යයෙන් සත්‍යය ගලපනුයේ, ස්ථිර වචන ඇත්තේ, ඇදහිය යුතු බස් ඇත්තේ, ලොව නොරවටන බස් ඇත්තේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, එක් එක් ලෝමය බැගින් ඇත්තේ ය. දෙබැම අතරෙහි සුදු පැහැති මෘදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝමයක් හටගත්තේ ය.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? මහජන තෙමේ ඒ රජුගේ අදහසට අනුව පවතින්නේ ය. එනම්; බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියම්ගම් ජනපදවැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, බල ප්‍රධානයෝ, දොරටුපාලයෝ, අමාත්‍යයෝ, පරම්පරානුයාත රාජ පිරිවර, රාජභෝගීහු, රජකුමාරවරු ඒ රජුගේ අදහසට අනුව පවතින්නාහ. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? මහජන තෙමේ ඒ බුදුරජුන්ගේ අදහසට අනුව පවතින්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු ඒ බුදුරජුන්ගේ අදහසට අනුව පවතින්නාහ. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

සච්චප්පටිඤ්ඤෝ පුරිමාසු ජාතිසු
අද්වෙජ්ඣවාචෝ අලිකං අවජ්ජයී,
න සෝ විසංවාදයිතා පි කස්සචි
භූතේන තච්ඡේන තථේන භාසයි.

පූර්වයෙහි ජාතීන්හි දී සත්‍ය ප්‍රතිඥා ඇත්තෙක් වූයේ ය. දෙවිදිහක වචන නැත්තෙක් වූයේ ය. බොරු බස් නොකීවේ ය. හේ කිසිවෙකු හෝ නොරැවටී ය. සිදු වූ දෙය ඒ සැටියෙන් ම පවසන, සත්‍යය පවසන, ස්ථිර වචන පවසන්නෙක් වූයේ ය.

සේතා සුසුක්කා මුදුතූලසන්නිභා
උණ්ණාසුජාතා භමුකන්තරේ අහූ,
න ලෝමකූපේසු දුවේ අජායිසුං
ඒකේකලෝමූපචිතංගවා අහූ.

සුදු වූ, ඉතා සුදු වූ, මෘදු පුළුනක් බඳු ඌර්ණ රෝමයක් දෙබැම අතුරෙහි මනා ව හටගත්තේ ය. රෝම කූපයන්හි රෝම දෙකක් නොහටගත්තේ ය. එක් රෝම කූපයක එක් එක් ලෝමයක් බැගින් හටගත් සිරුර ඇත්තේ වෙයි.

තං ලක්ඛණඤ්ඤූ බහවෝ සමාගතා
බ්‍යාකංසු උප්පාදනිමිත්තකෝවිදා,
උණ්ණා ච ලෝමා ච යථා සුසණ්ඨිතා
උපවත්තතී ඊදිසකං බහුජ්ජනෝ.

උපන් ලකුණු දැනීමෙහි දක්ෂ වූ, ලක්ෂණ ශාස්ත්‍රය දන්නා බොහෝ බ්‍රාහ්මණයෝ එහි රැස්වූවාහු ය. මේ ලකුණු වලින් ඇතිවන ප්‍රතිඵලය පැවසූහ. මොහුගේ සිරුරෙහි ඌර්ණ රෝමය ද, එක් එක් ලොම් ඇති බව ද, යම්සේ මැනැවින් පිහිටා තිබෙයි ද, බොහෝ ජනයා මෙබඳු ලකුණු ඇත්තා අනුව පවතින්නේ ය.

ගිහිම්පි සන්තං උපවත්තතී ජනෝ
බහූ පුරත්ථා පකතේන කම්මුනා,
අකිඤ්චනං පබ්බජිතං අනුත්තරං
බුද්ධම්පි සන්තං උපවත්තතී ජනෝ’ති.

පූර්ව ජාතීන්හි කරන ලද කර්මය හේතුවෙන් ගිහි ව සිටින්නා වූ ඒ චක්‍රවර්තී රජුට අනුව බොහෝ ජනයා යන්නේ ය. කිසිවක් නැති ව පැවිදි වූ කල්හි ද, බොහෝ ජනයා ඒ අනුත්තර බුදුරජුන්ගේ අදහසට අනුව යන්නෝ ය.

චත්තාළීසදන්ත-අවිරලදන්ත-ලක්ඛණාදීනි (26-27)

(26 – 27) චත්තාළීස දන්තෝ ච හෝති, අවිරළදන්තෝ ච – සතලිසක් දත් ඇත්තේ ද වෙයි. දත් අතර විවර නැත්තේ ද වෙයි.

19. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ පිසුණං වාචං පහාය පිසුණාය වාචාය පටිවිරතෝ අහෝසි. ඉතෝ සුත්වා න අමුත්‍ර අක්ඛාතා ඉමේසම්භේදාය, අමුත්‍ර වා සුත්වා න ඉමේසං අක්ඛාතා අමූසම්භේදාය. ඉති භින්නානං වා සන්ධාතා සහිතානං වා අනුප්පදාතා සමග්ගාරාමෝ සමග්ගරතෝ සමග්ගනන්දී සමග්ගකරණිං වාචං භාසිතා අහෝසි, සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, චත්තාළීසදන්තෝ ච හෝති අවිරළදන්තෝ ච. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? අභෙජ්ජපරිසෝ හෝති අභෙජ්ජා’ස්ස හොන්ති පරිසා බ්‍රාහ්මණගහපතිකා නේගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාරා. රාජා සමානෝ ඉදං ලභති. ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? අභෙජ්ජපරිසෝ හෝති අභෙජ්ජා’ස්ස හොන්ති පරිසා භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම කේලාම් කීම අත්හැර, කේලාම් කීමෙන් වැළකුණේ විය. මෙතැනින් අසා මොවුන් බිඳවීම පිණිස එතැන නොකියන්නේ විය. එතැනින් අසා ඔවුන් බිඳවීම පිණිස මෙතැන නොකියන්නේ විය. මෙසේ බිඳී සිටින්නවුන් සමඟි කරන්නේ විය. සමඟි වූවන්ගේ වඩා ත් සමඟියට ම අනුබල දෙන්නේ විය. සමඟියෙහි සිටියේ, සමඟියෙහි ඇලුණේ, සමඟියෙහි සතුටු වූයේ, සමඟිය ඇතිවන වචන කියන්නේ විය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, සතලිසක් වූ දත් ඇත්තේ ය. අතර විවර සහිත වූ දත් නැත්තේ ය.

හෙතෙමේ ඒ ලකුණුවලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? නොබිඳිය හැකි පිරිස් ලබන්නේ වෙයි. බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියම්ගම් ජනපදවැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, බල ප්‍රධානයෝ, දොරටුපාලයෝ, අමාත්‍යයෝ, පරම්පරානුයාත රාජ පිරිවර, රාජභෝගීහු, රජකුමාරවරු ආදී ඔහුගේ පිරිස් නොබිඳිය හැක්කෝ වෙති. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? නොබිඳිය හැකි පිරිස ලබන්නේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදී බුදුරජුන්ගේ පිරිස නොබිඳිය හැක්කෝ වෙති. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

වේභූතියං සහිතභේදකාරිං
භේදප්පවඩ්ඪනවිවාදකාරිං,
කලහප්පවඩ්ඪනඅකිච්චකාරිං
සංහිතානං භේදජනනිං න භණි.

පූර්ව ජාතීන්හි දී සමඟි වූවන් බිඳ වීම පිණිස හෝ වාද භේද ඇතිවන දේ හටගැනීම පිණිස හෝ කෝලාහල හටගැනීම පිණිස හෝ කටයුතු නොකළේ ය. එක් වූවන් වෙන් කරවන වචන නොකිව්වේ ය.

අවිවාදවඩ්ඪනකාරිං සුගිරං
භින්නානං සන්ධිජනනිං අභණි,
කලහං ජනස්ස පනුදි සමංගි
සංහිතේහි නන්දති පමෝදති ච.

වාද විවාදයන් හටගැනීමට හේතු නොවන්නා වූ, බෙදී ගිය වුන් සමඟි කරවන සුළු යහපත් වචන කිව්වේ ය. සමඟි ජනයාගේ කෝලාහල දුරු කළේ ය. සමඟි වූවන් හා සතුටු වූයේ ය. ප්‍රමුදිත වූයේ ය.

සුගතීසු සෝ ඵලවිපාකං
අනුභවති තත්ථ මෝදති,
දන්තා ඉධ හොන්ති අවිරළා සහිතා
චතුරෝ දසස්ස මුඛජා සුසණ්ඨිතා.

එහි ඵලවිපාකය සුගතියෙහි විඳියි. එහි සතුටු වෙයි. මෙහි උපන් ඔහුගේ දත් අතර විවර නැත්තේ, එකට සම්බන්ධ වූයේ වෙයි. ඔහුගේ මුවෙහි සතලිසක් දත් මැනැවින් පිහිටියාහු ය.

යදි ඛත්තියෝ භවති භූමිපති
අවිභේදියා’ස්ස පරිසා භවන්ති,
සමණෝ ච හෝති විරජෝ වීතමලෝ
පරිසා’ස්ස හෝති අනුගතා අචලා’ති.

ඉදින් හේ පොළොවෙහි අධිපති ව ක්ෂත්‍රිය රජෙක් වන්නේ නම් ඔහුගේ පිරිස්හු නොබිඳිය හැක්කාහු ය. ඉදින් හේ කෙලෙස් රජස් රහිත වූ, කෙලෙස් මල රහිත වූ ශ්‍රමණයෙක් වන්නේ නම්, ඒ බුදුරජහුගේ පිරිස් ස්ථිර ව ශ්‍රද්ධාවෙහි පිහිටා ඒ අනුව එක්සත් ව යන්නෝ වෙති.

පහූතජිව්හා-බ්‍රහ්මස්සර ලක්ඛණානි (28-29)

(28 -29) පහූත ජිව්හෝ ච හෝති, බ්‍රහ්මස්සරෝ ච කරවීකභාණී – දික් පළල් වූ දිව ඇත්තේ ද වෙයි. කුරවීකයන්ගේ හඬ බඳු බ්‍රහ්මස්වරය ඇත්තේ ද වෙයි.

20. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ ඵරුසං වාචං පහාය ඵරුසාය වාචාය පටිවිරතෝ අහෝසි, යා සා වාචා නේලා කණ්ණසුඛා පේමනීයා හදයංගමා පෝරී බහුජනකන්තා බහුජනමනාපා, තථාරූපිං වාචං භාසිතා අහෝසි, සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, පහූතජිව්හෝ ච හෝති බ්‍රහ්මස්සරෝ ච කරවීකභාණී. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී. ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? ආදෙය්‍යවාචෝ හෝති, ආදියන්ති’ස්ස වචනං බ්‍රාහ්මණගහපතිකා නේගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාරා. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? ආදෙය්‍යවාචෝ හෝති, ආදියන්ති’ස්ස වචනං භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම දරුණු වචනයෙන් බැණ වැදීම අත්හැර, දරුණු වචන පැවසීමෙන් වැළකී සිටියේ ය. යම් ඒ වචනයක් දොස් රහිත ද, කනට සුවයි ද, ආදරය ඇති කරයි ද, හෘදයාංගම ද, වැදගත් ද, බොහෝ ජනයාට ප්‍රියයි ද, බොහෝ ජනයාට මනාපයි ද, එබඳු වචන කිව්වේ ය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, දික් පළල් වූ දිව ඇත්තේ වෙයි. කුරවීකයන්ගේ මධුර නාදය බඳු බ්‍රහ්මස්වරය ඇත්තේ වෙයි.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? පිළිගත හැකි වචන ඇත්තේ වෙයි. බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියම්ගම් ජනපදවැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, බල ප්‍රධානයෝ, දොරටුපාලයෝ, අමාත්‍යයෝ, පරම්පරානුයාත රාජ පිරිවර, රාජභෝගීහු, රජකුමාරවරු ආදීහු රජුගේ වචනය පිළිගනිති. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? පිළිගත හැකි වචන ඇත්තේ වෙයි. භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදීහු බුදුරජුන්ගේ වචනය පිළිගනිති. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

අක්කෝසභණ්ඩනවිහේසකාරිං
උබ්බාධකං බහුජනමද්දනං,
බාළ්හං ගිරං සෝ න භණි ඵරුසං
මධුරං භණි සුසඤ්හිතං සඛිලං.

හේ ආක්‍රෝශ, කෝලාහල, හිංසා ඇති කරවන, සිත් අවුල් කරවන, මහජනයා මැඬලන දරුණු ඵරුෂ වචන නොකිව්වේ ය. ඉතා ආදර ඇති මධුර වූ මොලොක් වචන කථා කළේ ය.

මනසෝ පියා හදයගාමිනියෝ
වාචා සෝ ඒරයති කණ්ණසුඛා,
වාචාසුචිණ්ණඵලමනුභවි
සග්ගේසු වේදය පුඤ්ඤඵලං.

හේ සිතට ප්‍රිය වූ, හෘදයාංගම වූ, කනට සැප ඇති වචන පැවසුවේ ය. යහපත් ලෙස පුරුදු කරන ලද වචනයෙහි ඵල වින්දේ ය. දෙව්ලොවෙහි දී ඒ පුණ්‍යඵලය වින්දේ ය.

වේදිත්වා සෝ සුචරිතස්ස ඵලං
බ්‍රහ්මස්සරත්තමිධජ්ඣගමා,
ජිව්හා’ස්ස හෝති විපුලා පුථුලා
ආදෙය්‍යවාක්‍යවචනෝ භවති.

හේ වාක් සුචරිතයෙහි යහපත් අනුසස් ලබා මේ මිනිසත් බවෙහි දී බ්‍රහ්මස්වරය ලැබුවේ ය. ඔහුගේ දිව දික් වූයේ, පළල් වූයේ ද වෙයි. හේ පිළිගත හැකි වචන ඇත්තෙක් වෙයි.

ගිහිනෝ’පි ඉජ්ඣති යථා භණතෝ
අථ චේ පබ්බජති සෝ මනුජෝ,
ආදියන්ති’ස්ස වචනං ජනතා
බහුනෝ බහුං සුභණිතං භණතෝ’ති.

යම් සේ ගිහි ව සිට ඔහු කියන වචන පිළිගන්නේ වෙයි ද, එසෙයින් ම ඒ මනුෂ්‍යයා පැවිදි වෙයි නම්, ඔහුගේ වචනය බොහෝ ජනයෝ පිළිගනිති. බොහෝ ජනයාට යහපත් වචනය කියන්නේ යැයි පවසන ලද්දේ ය.

සීහහනුලක්ඛණං (30)

(30) සීහහනු හෝති – සිංහයෙකුගේ බඳු හනුව ඇත්තේ ය.

21. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ සම්ඵප්පලාපං පහාය සම්ඵප්පලාපා පටිවිරතෝ අහෝසි, කාලවාදී භූතවාදී අත්ථවාදී ධම්මවාදී විනයවාදී නිධානවතිං වාචං භාසිතා කාලේන සාපදේසං පරියන්තවතිං අත්ථසංහිතං, සෝ තස්ස කම්මස්ස කතත්තා ….(පෙ)…. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමං මහාපුරිසලක්ඛණං පටිලභති, සීහහනු හෝති. සෝ තේන ලක්ඛණේන සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති රාජා හෝති චක්කවත්තී ….(පෙ)…. රාජා සමානෝ කිං ලභති? අප්පධංසියෝ හෝති කේනචි මනුස්සභූතේන පච්චත්ථිකේන පච්චාමිත්තේන. රාජා සමානෝ ඉදං ලභති ….(පෙ)…. බුද්ධෝ සමානෝ කිං ලභති? අප්පධංසියෝ හෝති අබ්භන්තරේහි වා බාහිරේහි වා පච්චත්ථිකේහි පච්චාමිත්තේහි රාගේන වා දෝසේන වා මෝහේන වා සමණේන වා බ්‍රාහ්මණේන වා දේවේන වා මාරේන වා බ්‍රහ්මුනා වා කේනචි වා ලෝකස්මිං. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම හිස් වචනය බැහැර කොට හිස් වචනයෙන් වැළකුණෙක් වූයේ ය. කල් දැන වචන කිව්වේ ය. සිදු වූ දෙය ම කිව්වේ ය. යහපත ම කිව්වේ ය. ධර්මය කිව්වේ ය. විනය කිව්වේ ය. සිතෙහි රඳවා ගන්නට නිසි වචනයක් ම කිව්වේ ය. සුදුසු කල්හී උපදේශ සහිත ව, සීමාවක් ඇති ව අර්ථයෙන් යුතු වචන කිව්වේ ය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදින්නේ වෙයි. ….(පෙ)…. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණය ලබන්නේ වෙයි. එනම්, සිංහයෙකුගේ බඳු හනු ඇති බව යි.

හෙතෙමේ ඒ ලකුණෙන් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. ….(පෙ)…. රජ වූ විට හේ කුමක් ලබයි ද? මනුෂ්‍ය වූ කිසිම සතුරෙකු විසින් හෝ පසමිතුරෙකු විසින් හෝ නෙරපිය නොහැක්කේ වෙයි. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? අභ්‍යන්තර හෝ බාහිර හෝ සතුරන් විසින් හෝ පසමිතුරන් විසින් හෝ රාගයෙන් හෝ ද්වේෂයෙන් හෝ මෝහයෙන් හෝ ශ්‍රමණයෙකු විසින් හෝ බ්‍රාහ්මණයෙකු විසින් හෝ දෙවියෙකු විසින් හෝ මාරයෙකු විසින් හෝ බ්‍රහ්මයෙකු විසින් හෝ ලෝකයෙහි වෙන කවරෙකු විසින් හෝ නෙරපිය නොහැක්කේ වෙයි. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

සම්ඵප්පලාපං න අබුද්ධතන්තිං
අවිකිණ්ණවචනබ්‍යප්පථෝ අහෝසි,
අහිතම්පි ච අපනුදි
හිතම්පි ච බහුජනසුඛඤ්ච අභණි.

හේ නුවණැත්තන්ගේ වචන පිළිවෙලක් නොවන හිස් වචන කියන්නෙක් නොවූයේ ය. නොවිසිරී ගිය වචන මාර්ගයෙන් යුක්ත වූයේ ය. අහිත ඇතිවන වචන දුරැලීය. බොහෝ ජනයාට හිතසුව දෙන වචන කිව්වේ ය.

තං කත්වා ඉතෝ චුතෝ දිවමුපපජ්ජි
සුකතඵලවිපාකමනුභෝසි,
චවිය පුනරිධාගතෝ සමානෝ
ද්විදුග්ගමවරතරහනුත්තමලත්ථ.

එසේ කොට මෙයින් චුත ව දෙව්ලොව උපන්නේ ය. යහපත් ලෙස කරන ලද කර්මයෙහි ඵලවිපාක වින්දේ ය. එයින් චුත ව යළි මිනිස් ලොවට පැමිණියේ සිංහයෙකුගේ බඳු හනු ලැබුවේය.

රාජා හෝති සුදුප්පධංසියෝ
මනුජින්දෝ මනුජාධිපති මහානුභාවෝ,
තිදිවපුරවරසමෝ භවති
සුරවරතරෝරිව ඉන්දෝ.

මිනිසුන්ට ශක්‍රයා බඳු ව, මිනිසුන්ට අධිපති ව, මහානුභාව ඇති ව, කිසිවෙකු විසින් නෙරපිය නොහැකි රජෙක් වෙයි. සක් දෙවිඳු බඳු වෙයි. උතුම් සුරයෙකු වූ ඒ ඉන්ද්‍ර බඳු වෙයි.

ගන්ධබ්බාසුරයක්ඛරක්ඛසේභි
සුරේහි න හි භවති සුප්පධංසියෝ,
තථත්තෝ යදි භවති තථාවිධෝ
ඉධ දිසා ච පටිදිසා ච විදිසා චාති.

ඉදින් එබඳු ස්වභාව ඇති ව, එබඳු ලක්ෂණ ඇති ව මෙහි උපදියි ද, සිව් දිශා අනුදිශා උඩ – යට දිශා ආදියෙහි ගාන්ධර්ව, අසුර, යක්ෂ, රාක්ෂස, දෙවි ආදී කිසිවෙකු විසිනුත් නෙරපිය නොහැක්කේ වෙයි.

සමදන්ත-සුසුක්කදාඨා-ලක්ඛණානි (31-32)

(31 – 32) සම දන්තෝ ච හෝති, සුසුක්කදාඨෝ ච – සම වූ දත් ඇත්තේ ය. ඉතා සුදු දත් ඇත්තේ ය.

22. යම්පි භික්ඛවේ තථාගතෝ පුරිමං ජාතිං පුරිමං භවං පුරිමං නිකේතං පුබ්බේ මනුස්සභූතෝ සමානෝ මිච්ඡාආජීවං පහාය සම්මාආජීවේන ජීවිකං කප්පේසි තුලාකූට-කංසකූට-මානකූට-උක්කෝටන-වඤ්චන-නිකති-සාචියෝග-ඡේදන වධබන්ධන විපරාමෝස-ආලෝප-සහසාකාරා පටිවිරතෝ අහෝසි, සෝ තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සන්නත්තා විපුලත්තා කායස්ස භේදා පරම්මරණා සුගතිං සග්ගං ලෝකං උපපජ්ජති. සෝ තත්ථ අඤ්ඤේ දේවේ දසහි ඨානේහි අධිගණ්හාති දිබ්බේන ආයුනා දිබ්බේන වණ්ණේන දිබ්බේන සුඛේන දිබ්බේන යසේන දිබ්බේන ආධිපතෙය්‍යනේ දිබ්බේහි රූපේහි දිබ්බේහි සද්දේහි දිබ්බේහි ගන්ධේහි දිබ්බේහි රසේහි දිබ්බේහි ඵොට්ඨබ්බේහි. සෝ තතෝ චුතෝ ඉත්ථත්තං ආගතෝ සමානෝ ඉමානි ද්වේ මහාපුරිසලක්ඛණානි පටිලභති, සමදන්තෝ ච හෝති සුසුක්කදාඨෝ ච. සෝ තේහි ලක්ඛණේහි සමන්නාගතෝ සචේ අගාරං අජ්ඣාවසති, රාජා හෝති චක්කවත්තී ධම්මිකෝ ධම්මරාජා චාතුරන්තෝ විජිතාවී ජනපදත්ථාවරියප්පත්තෝ සත්තරතනසමන්නාගතෝ. තස්සිමානි සත්ත රතනානි භවන්ති සෙය්‍යථීදං: චක්කරතනං හත්ථිරතනං අස්සරතනං මණිරතනං ඉත්ථිරතනං ගහපතිරතනං පරිනායකරතනමේව සත්තමං. පරෝසහස්සං ඛෝ පනස්ස පුත්තා භවන්ති සූරා වීරංගරූපා පරසේනප්පමද්දනා. සෝ ඉමං පඨවිං සාගරපරියන්තං අඛිලමනිමිත්තමකණ්ටකං ඉද්ධං ඵීතං ඛේමං සිවං නිරබ්බුදං අදණ්ඩේන අසත්ථේන ධම්මේන සමේන අභිවිජිය අජ්ඣාවසති. රාජා සමානෝ කිං ලභති? සුචිපරිවාරෝ හෝති, සුචි’ස්ස හොන්ති පරිවාරා බ්‍රාහ්මණගහපතිකා නේගමජානපදා ගණකා මහාමත්තා අනීකට්ඨා දෝවාරිකා අමච්චා පාරිසජ්ජා රාජානෝ භෝගියා කුමාරා. රාජා සමානෝ ඉදං ලභති. සචේ ඛෝ පන අගාරස්මා අනගාරියං පබ්බජති අරහං හෝති සම්මාසම්බුද්ධෝ ලෝකේ විවත්තච්ඡදෝ. බුද්ධෝ සමානෝ කිං ලභති? සුචිපරිවාරෝ හෝති, සුචි’ස්ස හොන්ති පරිවාරා භික්ඛූ භික්ඛුනියෝ උපාසකා උපාසිකායෝ දේවා මනුස්සා අසුරා නාගා ගන්ධබ්බා. බුද්ධෝ සමානෝ ඉදං ලභති.

මහණෙනි, යම් හෙයකින් තථාගත තෙමේ පූර්ව ජාතියෙහි දී, පූර්ව භවයෙහි දී, පූර්වයෙහි සිටි තන්හි දී, පූර්වයෙහි මනුෂ්‍ය වූයේ ම මිථ්‍යා ආජීවය දුරු කොට සම්මා ආජීවයෙන් ජීවිතය ගත කළේ ය. තරාදියෙන් කරන වංචා, තැටියෙන් කරන වංචා, මිම්මෙන් කරන වංචා, අල්ලස් ගෙන කරන වංචා, අනුන් රැවටීම, නොවටිනා දේ වටිනා හැටියට පෙන්වා රැවටීම, අත් පා සිඳීම, වධදීම, බන්ධන, පැහැර ගැනීම්, ගම් පැහැරගැනීම්, බලහත්කාරයෙන් ගැනීම් ආදියෙන් ජීවිතය ගෙවීමක් ඇද්ද, එයින් සම්පූර්ණයෙන් ම වැළකී ජීවිතය ගත කළේ ය. හේ ඒ කර්මය කළ බැවින්, නැවත නැවත කළ බැවින්, ඉතා බලවත් ව කළ බැවින්, බොහෝ කළ බැවින් කය බිඳී මරණින් මතු සුගති නම් වූ දෙව්ලොව උපදියි. හේ එහි දස කරුණකින් අන්‍ය වූ දෙවියන් අභිබවා යයි. එනම්, දිව්‍ය ආයුෂයෙන්, දිව්‍ය වර්ණයෙන්, දිව්‍ය සැපයෙන්, දිව්‍ය යසසින්, දිව්‍ය අධිපතිභාවයෙන්, දිව්‍ය වූ රූපයන්ගෙන්, දිව්‍ය වූ ශබ්දයන්ගෙන්, දිව්‍ය වූ ගන්ධයන්ගෙන්, දිව්‍ය රසයන්ගෙන්, දිව්‍ය වූ පහසින් ය. හේ එයින් චුත ව මේ මිනිස් බවට පැමිණියේ ම මේ මහා පුරුෂ ලක්ෂණ දෙක ලබන්නේ වෙයි. එනම්, සම වූ දත් ඇති බව ත්, ඉතාමත් සුදු දත් ඇති බව ත් ය.

හෙතෙමේ ඒ ලකුණු වලින් යුතුව ඉදින් ගිහි ගෙදර වසන්නේ නම්, ධාර්මික වූ, ධර්මරාජ වූ, චක්‍රවර්තීරාජයා වන්නේ ය. සිව්මහා සමුදුර සීමා කරගත් සිව්මහා ජනපදයන්හි අධිපති ව, දිනාගත් ජය ඇති ව, ජනපදයන්හි තහවුරු බවට පත් ව, සප්ත රත්නයකින් යුක්ත වන්නේ ය. ඔහුට මේ සප්ත රත්නයෝ වෙති. ඒ මොනවා ද යත්; චක්‍රරත්නය ය, හස්තිරත්නය ය, අශ්වරත්නය ය, මාණික්‍යරත්නය ය, ස්ත්‍රීරත්නය ය, ගෘහපතිරත්නය ය හා සත්වෙනි පරිනායකරත්නය යි. සතුරු සේනා මැඬලන ශූර වීර පරාක්‍රමයෙන් හෙබි දහසකට වැඩි පුත්‍රයෝ ද ඔහුට වෙති. ඒ සක්විති රජ තෙමේ සයුර හිම් කොට මේ පෘථිවියෙහි සතුරු හුල් රහිත ව, උපද්‍රව නිමිති රහිත ව, සතුරු කටු රහිත ව, සමෘද්ධිමත් ව, සැපයෙන් පිරී ගිය, භය රහිත ව, සොඳුරු ව, අර්බුද රහිත ව, දඬුවමින් තොර ව, අවි ආයුධයෙන් තොර ව, දැහැමෙන් සෙමෙන් දිනා රාජ්‍යය කරන්නේ වෙයි.

රජ වූ විට හේ කුමක් ලබයි ද? පිරිසිදු පිරිවර ලබයි. ඔහුගේ පිරිවර පිරිසිදු ය. බ්‍රාහ්මණ ගෘහපතිවරු, නියම්ගම් ජනපදවැසියෝ, ගණකයෝ, මහාමාත්‍යයෝ, බල ප්‍රධානයෝ, දොරටුපාලයෝ, අමාත්‍යයෝ, පරම්පරානුයාත රාජ පිරිවර, රාජභෝගීහු, රජකුමාරවරු ආදීහු පිරිසිදු පිරිවර වෙති. රජ බවට පත් වූ විට මෙය ලබයි.

ඉදින් ගිහි ගෙයින් නික්ම පැවිදි වන්නේ නම්, ලොව වසා ඇති මෝහ පටලය ඉවත් කළ අරහත් සම්මා සම්බුදුවරයෙක් වෙයි. හේ බුදුවරයෙක් වූයේ කුමක් ලබයි ද? පිරිසිදු පිරිවර ඇත්තේ වෙයි. ඒ බුදුරජුන්ගේ ශ්‍රාවක වූ භික්ෂූහු, භික්ෂුණීහු, උපාසකයෝ, උපාසිකාවෝ, දෙවිවරු, මිනිස්සු, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ආදී පිරිවර පිරිසිදු වෙති. බුදුවරයෙක් වූ විට මෙය ලබයි.”

ඒතමත්ථං භගවා අවෝච. තත්ථේතං වුච්චති:

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. එය මේ අයුරින් ද කියනු ලබයි.

මිච්ඡාජීවඤ්ච අවස්සජි සමේන වුත්තිං
සුචිනා සෝ ජනයිත්ථ ධම්මිකේන,
අහිතම්පි ච අපානුදි
හිතම්පි ච බහුජනසුඛඤ්ච ආචරි.

හේ මිථ්‍යා ආජීවය දුරු කොට, දැහැමෙන් සෙමෙන් පිරිසිදු ජීවිකාවෙන් ජීවිතය ගත කළේ ය. අහිත දෑ බැහැර කළේ ය. බොහෝ ජනයාට හිත සුව සැළසෙන පරිදි ජීවිතය ගත කළේ ය.

සග්ගේ වේදයති නරෝ සුඛඵලානි
කරිත්වා නිපුණේහි විදූහි,
සබ්භි වණ්ණිතානි තිදිවපුරවරසමෝ
අභිරමති රතිඛිඩ්ඩාසමංගී.

මනුෂ්‍ය වූ හේ දක්ෂ ව, නුවණැති ව සත්පුරුෂයන් විසින් පසසන ලද පින් කොට, දෙව්ලොවෙහි සැප විපාක වින්දේ ය. සක් දෙවිඳු බඳු ව දිව්‍ය වූ සැප ක්‍රීඩාවෙන් ඇලී වාසය කළේ ය.

ලද්ධා මානුසකං භවං තතෝ
චවිත්වා සුකතඵලවිපාකං,
සේසකේන පටිලභති ලපනජං
සමම්පි සුචි සුසුක්කං.

එයින් චුත ව මිනිස් උපත ලැබූ කල්හී මැනැවින් කරන ලද පුණ්‍ය ඵල විපාකයෙන් ඉතිරි වූ විපාකයෙන් සම දත් ද, ඉතාමත් සුදු දත් ද ලැබුවේ ය.

තං වෙය්‍යඤ්ජනිකා සමාගතා
බහවෝ බ්‍යාකංසු නිපුණසම්මතා මනුජා,
සුචිජනපරිවාරගණෝ භවති
දිජසමසුක්කසුචිසෝභනදන්තෝ.

දක්ෂ යැයි සම්මත, මහා පුරුෂ ලකුණු ශාස්ත්‍රය දන්නා බොහෝ බමුණෝ රැස් ව මෙතෙමේ සම වූ, ඉතා සුදු වූ, පිරිසිදු වූ, ශෝභන දත් දත් ඇති හෙයින් පිරිසිදු ජනයාගෙන් යුතු පිරිවර ලබන්නේ යැයි පැවසූහ.

රඤ්ඤෝ හෝති බහුජනෝ
සුචිපරිවාරෝ මහතිං මහිං අනුසාසකෝ,
පසය්හ න ච ජනපදතුදනං
හිතම්පි ච බහුජනසුඛඤ්ච චරන්ති.

රජු වූ ඔහුට බොහෝ පිරිසිදු පිරිවර ජනයා ඇත්තේ වෙයි. මහා පොළොවෙහි අනුශාසක වෙයි. වෙනත් කෙනෙකුගෙන් ඔහුගේ විජිතයට කරදර නොවෙයි. බොහෝ ජනයාට හිත සුව සළසමින් හැසිරෙයි.

අථ චේ පබ්බජති භවති විපාපෝ
සමණෝ සමිතරජෝ විවත්තච්ඡද්දෝ,
විගතදරථකිලමථෝ
ඉමම්පි ච පරම්පි ච පස්සති ලෝකං.

ඉදින් ඔහු පැවිදි වෙයි නම්, පව් බැහැර කළේ, සංසිඳී ගිය කෙලෙස් ඇත්තේ, බැහැර කළ කෙලෙස් පටල ඇත්තේ, පහ වූ කායික වෙහෙස ඇත්තේ, පහ වූ ක්ලාන්ත ඇත්තේ, ශ්‍රමණයෙක් වූයේ මෙලොව ත්, පරලොව ත් නුවණින් දකියි.

තස්සෝවාදකරා බහූ ගිහී ච පබ්බජිතා ච
අසුචිගරහිතං ධුනන්ති පාපං,
ස හි සුචිහි පරිවුතෝ භවති
මලඛීලකලිකිලේසේ පනුදේතී’ති.

ඔහුගේ අවවාදය අනුව කටයුතු කරන බොහෝ ගිහියෝ ද, පැවිද්දෝ ද අශුචි සෙයින් ගැරහුම් ලද පාපී අකුසල් නසා දමති. හේ පිරිසිදු ධර්මයන් පිරිවරා ගත්තේ වෙයි. කෙලෙස්මල, කෙලෙස් හුල්, ද්වේෂ ආදී සියළු අකුසල් ප්‍රහාණය කරන්නේ වෙයි.

සාදු! සාදු!! සාදු!!!

ලක්ඛණසුත්තං නිට්ඨිතං සත්තමං.

ලක්ඛණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M