මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ එක්දහස් දෙසිය පණහක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ වැඩසිටියේ රජගහනුවර ජීවක කෝමාරභච්චගේ අඹවනයේ. ඒ දිනවලම මගධ රජු වන වේදේහි පුත්‍ර අජාසත් රජතුමා ඒ පසළොස්වක පොහෝ දවසෙහි රාජකීය ඇමතිවරුන් පිරිවරා ගෙන උඩුමහල් තළයෙහි වාඩිවෙලා හිටියා. ඒ පුන් පොහෝ දවස වනාහී සිවුමසක් පිරෙද්දී කුමුදු මල් පිපෙන පිරුණු සඳ ඇති රාත්‍රියයි. ඉතින් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු ඒ පුන් පොහෝ දවසේ මේ විදිහට උදන් ඇනුවා.
“භවත්නි, ඇත්තෙන්ම කිසි දොසක් නැති රමණීය රාත්‍රියක්! භවත්නි, ඇත්තෙන්ම කිසි දොසක් නැති ඉතා සුන්දර රාත්‍රියක්! භවත්නි, ඇත්තෙන්ම කිසි දොසක් නැති දර්ශනීය රාත්‍රියක්! භවත්නි, ඇත්තෙන්ම කිසි දොසක් නැති ප්‍රසාදනීය රාත්‍රියක්! භවත්නි, ඇත්තෙන්ම කිසි දොසක් නැති ඉතාම ලස්සන රාත්‍රියක්! අද වගේ දවසක අපගේ සිත පහදවාලිය හැකි මොන විදිහේ ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු ඇසුරු කරන එකද හොඳ” කියලා.
මෙසේ පැවසූ විට එක්තරා රජ ඇමැතියෙක් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු හට මෙහෙම කිව්වා. “දේවයන් වහන්ස, මේ පූරණ කස්සප ලොකු ගෝල පිරිසක් ඇතුව ඉන්නවා. ගොඩාක් පිරිස ඉන්නවා. ඒ පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධයි. කීර්තිමත්. ආගමික නායකයෙක්. බොහෝ දෙනා අතර හොඳයි කියලා සම්මතයි. පැවිදි වෙලා ගොඩාක් කල් වෙනවා. පිළිවෙලින් වයසට ගිහිල්ලයි ඉන්නේ. දේවයන් වහන්සේ ඒ පූරණ කස්සප ඇසුරු කරන සේක්වා! පූරණ කස්සපයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේමය” කියලා. එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු (උනන්දුවක් නොදක්වා) නිශ්ශබ්ද වුනා.
ඊළඟට වෙනත් රජ ඇමැතියෙක් වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු හට මෙකරුණ පැවසුවා. “දේවයන් වහන්ස, මේ මක්ඛලී ගෝසාල ලොකු ගෝල පිරිසක් ඇතුව ඉන්නවා. ගොඩක් පිරිස ඉන්නවා. ඒ පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධයි. කීර්තිමත්. ආගමික නායකයෙක්. බොහෝ දෙනා අතර හොඳයි කියලා සම්මතයි. පැවිදිවෙලා ගොඩාක් කල් වෙනවා. පිළිවෙලින් වයසට ගිහිල්ලයි ඉන්නේ. දේවයන් වහන්සේ ඒ මක්ඛලී ගෝසාල ඇසුරු කරන සේක්වා! මක්ඛලී ගෝසාලයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේමයි” කියලා. එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු (උනන්දුවක් නොදක්වා) නිශ්ශබ්ද වුණා.
ඊළඟට වෙනත් රජ ඇමැතියෙක් වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු හට මෙකරුණ පැවසුවා. “දේවයන් වහන්ස, මේ කේසකම්බල අජිත ලොකු ගෝල පිරිසක් ඇතුව ඉන්නවා. ගොඩක් පිරිස ඉන්නවා. ඒ පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධයි. කීර්තිමත්. ආගමික නායකයෙක්. බොහෝ දෙනා අතර හොඳයි කියලා සම්මතයි. පැවිදිවෙලා ගොඩාක් කල් වෙනවා. පිළිවෙලින් වයසට ගිහිල්ලයි ඉන්නේ. දේවයන් වහන්සේ ඒ කේසකම්බල අජිත ඇසුරු කරන සේක්වා! කේසකම්බල අජිතයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේමයි” කියලා. එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු (උනන්දුවක් නොදක්වා) නිශ්ශබ්ද වුනා.
ඊළඟට වෙනත් රජ ඇමැතියෙක් වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු හට මෙකරුණ පැවසුවා. “දේවයන් වහන්ස, මේ පකුධ කච්චායන ලොකු ගෝල පිරිසක් ඇතුව ඉන්නවා. ගොඩක් පිරිස ඉන්නවා. ඒ පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධයි. කීර්තිමත්. ආගමික නායකයෙක්. බොහෝ දෙනා අතර හොඳයි කියලා සම්මතයි. පැවිදිවෙලා ගොඩාක් කල් වෙනවා. පිළිවෙලින් වයසට ගිහිල්ලයි ඉන්නේ. දේවයන් වහන්සේ ඒ පකුධ කච්චායන ඇසුරු කරන සේක්වා! පකුධ කච්චායනයන් ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේමයි” කියලා. එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු (උනන්දුවක් නොදක්වා) නිශ්ශබ්ද වුනා.
ඊළඟට වෙනත් රජ ඇමැතියෙක් වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු හට මෙකරුණ පැවසුවා. “දේවයන් වහන්ස, මේ බේලට්ඨපුත්ත සංජය ලොකු ගෝල පිරිසක් ඇතුව ඉන්නවා. ගොඩක් පිරිස ඉන්නවා. ඒ පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධයි. කීර්තිමත්. ආගමික නායකයෙක්. බොහෝ දෙනා අතර හොඳයි කියලා සම්මතයි. පැවිදිවෙලා ගොඩාක් කල් වෙනවා. පිළිවෙලින් වයසට ගිහිල්ලයි ඉන්නේ. දේවයන් වහන්සේ ඒ බේලට්ඨපුත්ත සංජය ඇසුරු කරන සේක්වා! බේලට්ඨපුත්ත සංජය ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේමයි” කියලා. එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු (උනන්දුවක් නොදක්වා) නිශ්ශබ්ද වුනා.
ඊළඟට වෙනත් රජ ඇමැතියෙක් වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු හට මෙකරුණ පැවසුවා. “දේවයන් වහන්ස, මේ නාතපුත්ත නිගණ්ඨ ලොකු ගෝල පිරිසක් ඇතුව ඉන්නවා. ගොඩක් පිරිස ඉන්නවා. ඒ පිරිසට ආචාර්යවරයෙක්. ප්‍රසිද්ධයි. කීර්තිමත්. ආගමික නායකයෙක්. බොහෝ දෙනා අතර හොඳයි කියලා සම්මතයි. පැවිදිවෙලා ගොඩාක් කල් වෙනවා. පිළිවෙලින් වයසට ගිහිල්ලයි ඉන්නේ. දේවයන් වහන්සේ ඒ නාතපුත්ත නිඝණ්ඨ ඇසුරු කරණ සේක්වා! නාතපුත්ත නිගණ්ඨ ඇසුරු කරන දේවයන් වහන්සේගේ සිත පහදින්නේමයි” කියලා. එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු (උනන්දුවක් නොදක්වා) නිශ්ශබ්ද වුනා.
ඒ වෙලාවේදී ජීවක කෝමාරභච්චයන් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුට නුදුරින් නිශ්ශබ්දව වාඩිවෙලා හිටියා. එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජු ජීවක කෝමාරභච්චයන්ගෙන් මෙහෙම ඇහුවා. “යහළු ජීවකය, ඔබ මොකද නිශ්ශබ්දව ඉන්නේ?”
“දේවයන් වහන්ස, මේ අරහත් වූ සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ එක්දහස් දෙසිය පනහක් පමණ වූ මහත් භික්ෂු සංඝයා සමඟ අපගේ අඹ වනයෙහි වැඩඉන්නවා. ඒ භාග්‍යවත් ගෞතමයන් වහන්සේ ගැන මෙබඳු කළ්‍යාණ වූ කීර්ති ඝෝෂාවක් පැතිර ගිහින් තිබෙනවා. මේ අයුරින් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක! සම්මා සම්බුද්ධ වන සේක! විජ්ජාචරණ සම්පන්න වන සේක! සුගත වන සේක! ලෝකවිදූ වන සේක! අනුත්තරෝ පුරිසදම්ම සාරථි වන සේක! සත්ථා දේවමනුස්සානං වන සේක! බුද්ධ වන සේක! භගවා වන සේක! කියලා. දේවයන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කළ මැනව. ඒ භාග්‍යවතුන් වහන්සේව ඇසුරු කරන්නා වූ දේවයන් වහන්සේගේ සිත පහදිනවාමයි.
“එහෙමනම් යහළු ජීවකය, ඇත් වාහනයන් පිළියෙල කරන්න.”
“එසේය දේවයන් වහන්ස” කියලා කෝමාරභච්ච ජීවකයන් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුට පිළිතුරු දීලා පන්සියයක් පමණ ඇතින්නියන් සරසවලා, රජතුමාටත් නැගීමට සුදුසු හස්තියෙක්ව සරසවලා වේදේහි පුත්‍ර අජාසත් මගධ රජුට “දේවයන් වහන්ස, ඔබ උදෙසා ඇත්වාහනයන් සරසවලා තියෙනවා. යම් ගමනකට දැන් කාලය නම් ඒ ගැන සිතනු මැනව” කියලා දැනුම් දුන්නා.
එතකොට වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු පන්සියයක් ඇතින්නියන් පිට එක් එක් කාන්තාව බැගින් නංවලා තමන්ට නගින්නට සුදුසු ඇතා පිට තමනුත් නැගලා දඬුවැට පහන් දරාගෙන සිටිද්දී මහත් වූ රාජ ආනුභාවය ඇතිව රජගහ නුවරින් නික්මී කෝමාරභච්ච ජීවකගේ අඹ වනය තිබෙන තැනට පිටත් වුනා.
එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජුට අඹ වනයට ළං වෙද්දී භයක්මයි ඇතිවුනේ. තැති ගැනීමකුයි ඇතිවුනේ. ලොමු ඩහගැනීමකුයි ඇති වුනේ. ඉතින් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු භය වෙලා, තැති අරගෙන, ඇඟේ මවිල් කෙලින් කරගෙන ජීවක කෝමාරභච්චයන් හට මෙහෙම කිව්වා. “ඒයි යහළු ජීවකය, මාව රැවැට්ටුවේ නෑ නේද? ඒයි යහළු ජීවකය, මාව මුලා කළේ නෑ නේද? ඒයි යහළු ජීවකය, මාව සතුරන්ට පාවලා දෙන්නේ නෑ නේද? එක්දහස් දෙසිය පණහක් පමණ වූ ඔතරම්ම මහත් භික්ෂු සඟ පිරිසකගේ කිවිසුම් හඬක්වත් නැත්තේ කොහොමද? උගුරපාදන හඬක්වත් නැත්තේ මොකද? කිසිම සද්දයක් නැත්තේ මොකද?”
“මහා රාජයාණෙනි, බිය නොවනු මැනව. මං ඔබව රවටන කෙනෙක් නොවෙයි. මං ඔබව මුලා කරන කෙනෙක් නොවෙයි. මං ඔබව සතුරන්ට පාවලා දෙන්නේ නෑ. මහා රාජයාණෙනි, ඉදිරියටම වඩිනු මැනව. මහා රාජයාණෙනි, ඉදිරියටම වඩිනු මැනව. අර රැස්වීම් ශාලාවේ පහන් දැල්වෙමින් තියෙනවා.”
එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජතුමා ඇතුපිටින් යා හැකි තරම් දුර ගොස් ඇතුපිටින් බැස පා ගමනින්ම රැස්වීම් ශාලාවේ දොරටුව තෙක් පැමිණුනා. පැමිණිලා ජීවක කෝමාරභච්චයන්ගෙන් මෙහෙම ඇහුවා. “යහළු ජීවකය, භාග්‍යවතුන් වහන්සේ වැඩඉන්නේ කොහේද?”
“මහා රාජයාණෙනි, අර වැඩඉන්නේ භාග්‍යවතුන් වහන්සේ. මහා රාජයාණෙනි, මැද කණුවට පිට දී පෙරදිගට මුහුණලා භික්ෂු සංඝයා පිරිවරා ගෙන භාග්‍යවතුන් වහන්සේ තමයි අර වැඩඉන්නේ.”
එතකොට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජතුමා භාග්‍යවතුන් වහන්සේ වැඩසිටින තැනට පැමිණුනා. පැමිණිලා එකත්පස්ව හිටගත්තා. එකත්පස්ව සිටි වේදේහිපුත්‍ර අජාසත් මගධ රජතුමා මනා සේ පහන් වූ දිය ඇති විලක් පරිද්දෙන් ඉතාමත් නිශ්ශබ්දව වැඩසිටිනා භික්ෂු සංඝයා දෙස හොඳින් ඇස් යොමා බලා මේ උදානය පැවසුවා. “දැන් මෙහි වැඩසිටින භික්ෂු සංඝයා යම් සංසිඳීමකින් යුතු නම් මාගේ උදායීභද්‍ර කුමරාද මෙවැනි සංසිඳීමෙන් යුතු වේවා” කියලා.
“පින්වත් මහාරාජ, ඔබේ සිත ප්‍රේමය ඇති දිශාවට ගියා නේද?”
“ස්වාමීනී, උදායි භද්‍ර කුමාරයා මට හරි ප්‍රියයි. ස්වාමීනී, ඒ නිසයි දැන් මෙතැන වැඩසිටින භික්ෂු සංඝයා යම් සංසිඳීමකින් යුක්ත නම් උදායි භද්‍ර කුමාරයාද මෙබඳු සංසිඳීමෙන් යුතු වේවා! යි කියලා හිතුවේ.”
එවිට වේදේහිපුත්‍ර අජාසත් මගධ රජතුමා භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, භික්ෂු සංඝයාටද, ඇඳිලි බැඳ වැඳ එකත්පස්ව වාඩිවුණා. එකත්පස්ව වාඩිවුණ වේදේහි පුත්‍ර අජාසත් මගධ රජතුමා භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “ඉදින් භාග්‍යවතුන් වහන්සේ මා හට ප්‍රශ්නයක් අසන්නට අවසර දෙන සේක් නම් ස්වාමීනී, මං භාග්‍යවතුන් වහන්සේගෙන් සුළු කරුණක් අසන්නට කැමතියි.”
“පින්වත් මහාරාජ, යමක් අසන්නට කැමති නම් එය අසනු මැනව.”
ස්වාමීනී, ඉගෙන ගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා. අශ්වාරෝහකයන් ඉන්නවා. රියැදුරන් ඉන්නවා. දුනුවායන් ඉන්නවා. කොඩි ඔසවාගෙන යන අය ඉන්නවා. සේනා හසුරුවන අය ඉන්නවා. ආහාර සංවිධානය කරන අය ඉන්නවා. බලසම්පන්න නිල දරණ රාජ පුත්‍රයින් ඉන්නවා. සේනා මැදට පනින සෙබලුන් ඉන්නවා. හස්තිරාජයන් බඳු සෙබලුන් ඉන්නවා. තනියම යුධවදින සෙබලුන් ඉන්නවා. කඩු පළිහ දරණ සෙබලුුන් ඉන්නවා. ප්‍රවේණි දාස යෝධයන් ඉන්නවා. ආහාර පිසින සෙබලුන් ඉන්නවා. නාවන සෙබලුන් ඉන්නවා. සූපකාරයන් ඉන්නවා. මල්කරුවන් ඉන්නවා. රෙදි සෝදන අය ඉන්නවා. රෙදි වියන්නන් ඉන්නවා. බටපොතුවියන්නන් ඉන්නවා. වළං හදන්නන් ඉන්නවා. කිරුම් මිනුම් ගණිත ආදිය දන්න අය ඉන්නවා. මෙවැනි තවත් ශිල්ප ශාස්ත්‍ර ඕන තරම් තියෙනවා. ඒ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත් උදවිය මේ ජීවිතයේදීම එහි ප්‍රතිඵලවලින් ජීවත් වෙනවා. ඒ ශිල්පය නිසාම තමාවත් සුවපත් කරවනවා, පිනවනවා. දෙමව්පියන්වත් සුවපත් කරවනවා, පිනවනවා. අඹු දරුවන්ව සුවපත් කරවනවා, පිනවනවා. යහළු මිත්‍රයන්ව සුවපත් කරවනවා, පිනවනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි අනාගතයේ සැප විපාක ඇති සුගතියට පමුණුවන්නා වූ පින් රැස්කිරීමට දන්පැන් පුදනවා. ඉතින් ස්වාමීනී, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?
“පින්වත් මහාරාජ, ඔබ ඔය ප්‍රශ්නය අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ගෙනුත් විමසූ බවක් දන්නවාද?”
“ස්වාමීනී, මං මේ ප්‍රශ්නය අනෙක් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙනුත් ඇසූ බව දන්නවා.”
“පින්වත් මහාරාජ, ඒ උදවිය ඔය ප්‍රශ්නයට කොහොමද පිළිතුරු දුන්නේ? ඔබට අපහසුවක් නැත්නම් කියන්න.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ හෝ භාග්‍යවතුන් වහන්සේ වැනි කෙනෙක් අභියස මට කිසි අපහසුවක් නැතුව කියන්නට පුළුවනි.” “එසේ නම් පින්වත් මහාරාජ, කියන්න.”
“ස්වාමීනී, මම දවසක් පූරණ කස්සප ළඟට ගියා. ගිහින් පූරණ කස්සපයන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩිවුනා. ඉතින් ස්වාමීනී, එකත්පස්ව වාඩිවුන මං පූරණ කස්සපයන්ට මෙකරුණ කිව්වා. “භවත් කාශ්‍යප, ඉගෙන ගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා ….(පෙ)…. මෙවැනි තවත් ශිල්ප ශාස්ත්‍ර ඕන තරම් තියෙනවා. ඒ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගත් උදවිය මේ ජීවිතයේදීම එහි ප්‍රතිඵලවලින් ජීවත් වෙනවා. ඒ ශිල්පය නිසාම තමාවත් සුවපත් කරවනවා, පිනවනවා. දෙමව්පියන්වත් සුවපත් කරවනවා, පිනවනවා. අඹු දරුවන්ව සුවපත් කරවනවා, පිනවනවා. යහළු මිත්‍රයන්ව සුවපත් කරවනවා, පිනවනවා. ශ්‍රමණ බ්‍රාහ්මණයන් කෙරෙහි අනාගතයේ සැප විපාක ඇති සුගතියට පමුණුවන්නා වූ පින් රැස්කිරීමට දන්පැන් පුදනවා. ඉතින් භවත් කාශ්‍යප, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?” කියලා.
ස්වාමීනී, මං ඔය විදිහට ඇසුවහම පූරණ කස්සප මට මෙහෙම කිව්වා. “මහාරාජ, කරන කෙනාටත්, අනුන් ලවා කරවන කෙනාටත්, අනුන්ගේ අත්පා සිඳින කෙනාටත්, අනුන්ගේ අත්පා සිඳවන කෙනාටත්, අනුන්ව පෙළන කෙනාටත්, පෙළවන කෙනාටත්, අනුන්ව ශෝකයට පත්කරන කෙනාටත්, කරවන කෙනාටත්, අනුන්ව වෙහෙසන කෙනාටත්, වෙහෙසවන කෙනාටත්, අනුන්ව කම්පා කරන කෙනාටත්, කම්පා කරවන කෙනාටත්, සතුන් මරණ කෙනාටත්, මරවන කෙනාටත්, නොදුන් දෙය සොරකම් කරන කෙනාටත්, සොරකම් කරවන කෙනාටත්, ගෙවල් බිඳින කෙනාටත්, බිඳවන කෙනාටත්, මං පහරන කෙනාටත්, මං පහරවන කෙනාටත්, එක් ගෙයක් වට කොට කොල්ලකන කෙනාටත්, මඟ රැක සිට කොල්ලකන කෙනාටත්, පරස්ත්‍රීන් කරා යන කෙනාටත්, බොරු කියන කෙනාටත්, ඒවා කරවන කෙනාටත් එයින් පවක් නොකෙරෙයි. ඉතා තියුණු මුවහත් ඇති ආයුධයක් ගෙන මේ පොළොවෙහි සියලු සතුන් එකම මස්ගොඩක් බවට, එකම මස් පිණ්ඩයක් බවට පත් කෙරුවත්, ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් වනසමින්, ඝාතනය කරවමින්, සිඳිමින්, සිඳවමින්, පෙළමින්, පෙළවමින් දකුණු ගං තෙර දක්වා ගියත් ඒ හේතුවෙන් සිදුවෙන පවක් නෑ. පාපයෙහි නැවත පැමිණීමක් නෑ. ඉදින් දන් දෙමින්, දෙවමින් යාග කරමින්, යාග කරවමින් උතුරු ගං තෙර දක්වා ගියත්, ඒ හේතුවෙන් සිදුවෙන පිනක් නෑ. පිනෙහි නැවත පැමිණීමක් නෑ. දානයෙන්, ඉන්ද්‍රිය දමනයෙන්, සීලසංවරයෙන්, සත්‍ය වචනයෙන් පිනක් ලැබෙන්නේ නෑ. පිනක ආපසු පැමිණීමක් නෑ” කියලා.
ඉතින් ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට පූරණ කස්සප මට අකිරියවාදය (ක්‍රියාවෙහි ඵල නැතිබව) පැවසූවා. ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. අඹ ගැන ඇසූ කල්හී දෙල් ගැන කියා දෙනවා වගේ. දෙල් ගැන ඇසූ කල්හී අඹ ගැන කියා දෙනවා වගේ. ඒ අයුරින්ම ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට පූරණ කස්සප මට අකිරියවාදය (ක්‍රියාවෙහි ඵල නැතිබව) පැවසූවා.
ස්වාමීනී, එතකොට මට මෙහෙමත් හිතුනා. “මං වගේ කෙනෙක් තම විජිතයෙහි වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පෙළිය යුතුයි කියලා කොහොම නම් සිතන්නද?” කියලා. ස්වාමීනී, ඒ මං පූරණකස්සපගේ කීම පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, නොසතුටු සිතින් යුතුව, නමුත් නොසතුටු සිතින් වචනයක් නිකුත් කරන්නේ නැතිව, ඒ කියමන භාරගන්නේ නැතිව, සිතේ පිහිටුවා නොගෙන අසුනෙන් නැගිට නික්මිලා ගියා.
ස්වාමීනී, මං එක්තරා දවසක මක්ඛලී ගෝසාලයන් ළඟට ගියා. ගිහින් මක්ඛලී ගෝසාලයන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩිවුනා. ඉතින් ස්වාමීනී, එකත්පස්ව වාඩිවුණ මං මක්ඛලී ගෝසාලයන්ට මෙකරුණ කිව්වා. “භවත් ගෝසාල, ඉගෙනගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා ….(පෙ)…. ඉතින් භවත් ගෝසාල, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?” කියලා.
ස්වාමීනි, මං ඔය විදිහට කිව්වහම මක්ඛලී ගෝසාලයා මට මෙහෙම කිව්වා. “මහාරාජ, සත්වයන්ගේ කිළුටු වීමට හේතු වන දේවල් නැත. උපකාර වන දේවල් නැත. හේතු රහිතවම, ප්‍රත්‍ය රහිතවම සත්වයන් කෙලෙසී යනවා. සත්වයන්ගේ පිරිසිදු වීමට හේතු වන දේවල් නැත. උපකාර වන දේවල් නැත. හේතු රහිතවම, ප්‍රත්‍ය රහිතවම සත්වයන් පිරිසිදු වෙනවා. පිරිසිදු වීම පිණිස තමා විසින් කළ යුතු දෙයක් නැත. අනුන් විසින් කළ යුතු දෙයක් නැත. පුරුෂයා විසින් කළ යුතු දෙයක් නැත. කායික මානසිකව පවතින බලයක් නැත. වීරියක් නැත. පුරුෂ වීරිය කියා දෙයක් නැත. පුරුෂ පරාක්‍රමය කියා දෙයක් නැත. සියලු සත්වයන්, සියලු ප්‍රාණීන්, සියලු භූතයින්, සියලු ජීවින්, ඉන්නේ තමන්ගේ පාලනයෙන් තොරවයි. බල රහිතවයි. වීරිය රහිතවයි. නියත වශයෙන්ම සසර සැරිසැරීමෙන් මෝරලා යනවා. අභිජාති හය තුළ තමයි ඔවුන් සැප දුක් විඳින්නේ.
මේ ප්‍රධාන යෝනි (උප්පත්ති ස්ථාන) දාහතරලක්ෂයක් තියෙනවා. තවත් යෝනි හයදාහක් තියෙනවා. තව හයසියයකුත් තියෙනවා. කර්ම පන්සියයක් තියෙනවා. තව කර්ම පහක් තියෙනවා. තව කර්ම තුනකුත් තියෙනවා. සම්පූර්ණ කර්මත්, අර්ධ කර්මත් තියෙනවා.
ප්‍රතිපදා හැට දෙකක් තියෙනවා. අන්තර කල්ප හැට දෙකක් තියෙනවා. අභිජාති හයක් තියෙනවා. පුරුෂ භූමි අටක් තියෙනවා. ආජීවයන් එකසිය හතළිස් නවයක් තියෙනවා. පරිබ්‍රාජක පැවිදිකම් එකසිය හතළිස් නවයක් තියෙනවා. නාගයන්ගේ වාසස්ථාන එකසිය හතළිස් නවයක් තියෙනවා. ඉන්ද්‍රියයන් එකසිය විස්සක් තියෙනවා. නිරය එකසිය තිහක් තියෙනවා. රජෝධාතු තිස්හයක් තියෙනවා. සඤ්ඤී ගර්භ හතක් තියෙනවා. අසඤ්ඤී ගර්භ හතක් තියෙනවා. නිගණ්ඨ ගර්භ හතක් තියෙනවා. දේව ගර්භ හතක් තියෙනවා. මිනිස් ගර්භ හතක් තියෙනවා. පිසාච ගර්භ හතක් තියෙනවා. මහා විල් හතක් තියෙනවා. මහා ගැට හතක් තියෙනවා. කුඩා ගැට හත් සියයක් තියෙනවා. ප්‍රපාත හතක් තියෙනවා. කුඩා ප්‍රපාත හත්සියයක් තියෙනවා. මහා සිහින හතක් තියෙනවා. කුඩා සිහින හත් සියයක් තියෙනවා. අඥාන උදවියත් නුවණැති උදවියත් යන කවුරුත් කල්ප අසූහතර ලක්ෂයක් සංසාරේ සැරිසරලයි දුක් කෙළවර කරන්නේ.
එහි මේවා නෑ. ‘මං මේ සීලයෙන් හරි, ව්‍රතයෙන් හරි, තපසෙන් හරි, බ්‍රහ්මචාරී ජීවිතයෙන් හරි, නොමේරූ කර්මයන් මුහුකුරුවන්නෙමි’යි කියලා හෝ ‘මේරූ කර්මයන් විඳව විඳවා කෙළවර කරන්නෙමි’යි කියලා කියනවා නම් එහෙම දෙයක් නෑ. ඔය සැප දුක් කියන්නේ ද්‍රෝණයකින් මැනලා තියෙන දෙයක් වගේ. සංසාරය කෙළවර වෙන්නේ ඒ විදිහටයි. සසරේ පිරිහීමකුත් නෑ. වැඩීමකුත් නෑ. නැගීමකුත් නෑ. බැසීමකුත් නෑ. ඒක හරියට ඈතට වීසි කරපු නූල් බෝලයක් වගේ. ඒ නූල එතිලා තියෙන ප්‍රමාණයටයි ලෙහි ලෙහී යන්නේ. අන්න ඒ වගේ තමයි අඥාන උදවියත්, පණ්ඩිත උදවියත් ලෙහි ලෙහී යමින් සැප දුක් විඳිනවා” කියලා.
ඉතින් ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට මක්ඛලී ගෝසාල මට සංසාර ශුද්ධිවාදය (ඉබේම සසරින් නිදහස් වෙන බව) පැවසුවා. ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. අඹ ගැන ඇසූ කල්හී දෙල් ගැන කියා දෙනවා වගේ. දෙල් ගැන ඇසූ කල්හී අඹ ගැන කියා දෙනවා වගේ. ඒ අයුරින්ම ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට මක්ඛලී ගෝසාල මට සංසාර ශුද්ධිවාදය (ඉබේම සසරින් නිදහස් වෙන බව) පැවසුවා. ස්වාමීනී, එතකොට මට මෙහෙමත් හිතුනා. “මං වගේ කෙනෙක් තම විජිතයෙහි වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පෙළිය යුතුයි කියලා කොහොම නම් සිතන්නද?” කියලා. ස්වාමීනී, ඒ මං මක්ඛලී ගෝසාලගේ කීම පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, නොසතුටු සිතින් යුතුව, නමුත් නොසතුටු සිතින් වචනයක් නිකුත් කරන්නේ නැතිව, ඒ කියමන භාරගන්නේ නැතිව, සිතේ පිහිටුවා නොගෙන අසුනෙන් නැගිට නික්මිලා ගියා.
ස්වාමීනී, මං එක්තරා දවසක කේසකම්බල අජිත ළඟට ගියා. ගිහින් කේසකම්බල අජිතයන් සමඟ සතුටුවුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩිවුනා. ඉතින් ස්වාමීනී, එකත්පස්ව වාඩිවුන මං කේසකම්බල අජිතයන්ට මෙකරුණ කිව්වා. “භවත් අජිත, ඉගෙන ගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා ….(පෙ)…. ඉතින් භවත් අජිත, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?” කියලා.
ස්වාමීනී, මං ඔය විදිහට කිව්වහම කේසකම්බල අජිත මට මෙහෙම කිව්වා. “මහාරාජ, දීමෙහි විපාක නැත. පුදපූජාවන්වල විපාක නැත. ඇප උපස්ථාන සේවා ආදියෙහි විපාක නැත. කුසල අකුසල කර්මයන්ගේ විපාක නැත. මෙලොව නැත. පරලොවක් නැත. (විශේෂයෙන් සැළකිය යුතු) මවක් නැත. (විශේෂයෙන් සැළකිය යුතු) පියෙක් නැත. ඕපපාතික සත්වයන් නැත. ලෝකයෙහි යහපත් මගෙහි ගමන් කළ, යහපත් ප්‍රතිපදාවෙන් යුතුව මේ ලෝකයත්, පරලොවත් ස්වකීය ප්‍රඥාවෙන්ම අවබෝධ කොට ප්‍රකාශ කරන්නා වූ යම් ශ්‍රමණ බමුණන්ද නැත. සතර මහා ධාතූන්ගෙන් හටගත් මේ පුරුෂයා යම් දවසක කලුරිය කළෝතින් පඨවි ධාතුව, පඨවි ධාතුවට එකතු වෙනවා. ආපෝ ධාතුව, ආපෝ ධාතුවට එකතු වෙනවා. තේජෝ ධාතුව, තේජෝ ධාතුවට එකතු වෙනවා. වායෝ ධාතුව, වායෝ ධාතුවට එකතු වෙනවා. ඉන්ද්‍රියයන් අහස කරා යනවා. මිනී ඇඳ පස්වෙනුවට තබා ගත් පුරුෂයන් මළ සිරුර රැගෙන යනවා. ගුණ ගායනය තියෙන්නේ ආදාහනය දක්වා විතරයි. ඇට ටික පරවි පැහැ ගැන්වෙනවා. හෝම පූජාවන් අළුවලින් අවසන් වෙනවා. දානය කියා කියන්නේ අඥානයින් පණවා ගත්තු දෙයක්. යම්කිසි කෙනෙක් ඕවා තියෙනවා කියලා කියනවා නම්, ඒවා ඔවුන්ගේ තුච්ඡ වූ බොරු ප්‍රලාප විතරයි. අඥාන උදවියත්, නුවණැති උදවියත් කය බිඳුනට පස්සේ උච්ඡේදයට පත්වෙනවා. වැනසිලා යනවා. මරණින් මතු පැවැත්මක් නෑ” කියලා.
ඉතින් ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට කේසකම්බල අජිත මට උච්ඡේදවාදය (මරණින් මතු සම්පූර්ණයෙන් වැනසී යාම) පැවසුවා. ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. අඹ ගැන ඇසූ කල්හී දෙල් ගැන කියා දෙනවා වගේ. දෙල් ගැන ඇසූ කල්හී අඹ ගැන කියා දෙනවා වගේ. ඒ අයුරින්ම ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට කේසකම්බල අජිත මට උච්ඡේදවාදය (මරණින් මතු සම්පූර්ණයෙන් වැනසී යාම) පැවසුවා.
ස්වාමීනී, එතකොට මට මෙහෙමත් හිතුනා. “මං වගේ කෙනෙක් තම විජිතයෙහි වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පෙළිය යුතුයි කියලා කොහොම නම් සිතන්නද?” කියලා. ස්වාමීනී, ඒ මං කේසකම්බල අජිතගේ කීම පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, නොසතුටු සිතින් යුතුව, නමුත් නොසතුටු සිතින් වචනයක් නිකුත් කරන්නේ නැතිව, ඒ කියමන භාරගන්නේ නැතිව, සිතේ පිහිටුවා නොගෙන අසුනෙන් නැගිට නික්මිලා ගියා.
ස්වාමීනී, මං එක්තරා දවසක පකුධ කච්චායනයන් ළඟට ගියා. ගිහින් පකුධ කච්චායනයන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩිවුනා. ඉතින් ස්වාමීනී, එකත්පස්ව වාඩිවුන මං පකුධ කච්චායනයන්ට මෙකරුණ කිව්වා. “භවත් කච්චායන, ඉගෙන ගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා ….(පෙ)…. ඉතින් භවත් කච්චායන, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?” කියලා.
ස්වාමීනී, ඔය විදිහට මං කිව්වහම පකුධ කච්චායන මට මෙහෙම කිව්වා. “මහාරාජ, මේ කාය හතක් තියෙනවා. ඒවා කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකා ස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ. ඒ සප්ත කාය කුමක්ද? පඨවිකාය, ආපෝකාය, තේජෝකාය, වායෝකාය, සැප, දුක හා ජීව යන හතයි. මේ තමයි සප්ත කාය. මේවා කවුරුත් කළ දේවල් නොවෙයි. විධානය කරලා නොවෙයි. දේව මැවිල්ලක් නොවෙයි. වෙන මැවිල්ලකුත් නොවෙයි. වඳ බැහැලයි තියෙන්නේ. පර්වත කූටයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒෂිකා ස්ථම්භයක් වගේ ස්ථිරවයි තියෙන්නේ. ඒවායේ වෙනස්කම් ඇතිවන්නේ නෑ. පරිණාමයක් වෙන්නේ නෑ. එකිනෙකට බාධා ඇතිවෙන්නේ නෑ. එකිනෙකට සැප පිණිස හෝ දුක් පිණිස හෝ සැපදුක් පිණිස හෝ පවතින්නේ නෑ. නසන කෙනෙක් නැත. නසවන කෙනෙක්ද නැත. අසන කෙනෙක්ද නැත. අසවන කෙනෙක්ද නැත. දැනගන්නා කෙනෙක්ද නැත. දන්වන්නා වූ කෙනෙක්ද නැත. යම් කෙනෙක් තියුණු ආයුධයක් ගෙන තව කෙනෙකුගේ හිස සින්දොත්, කවුරුවත්, කාගෙවත් ජීවිතය තොර කළේ නෑ. අර සප්තකාය අතරින් ආයුධය සිදුරු කරගෙන ගියා විතරයි” කියලා.
ඉතින් ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට පකුධ කච්චායන මට එකිනෙකට හාත්පසින් විරුද්ධ දෙයක් පැවසූවා. ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. අඹ ගැන ඇසූ කල්හී දෙල් ගැන කියා දෙනවා වගේ. දෙල් ගැන ඇසූ කල්හී අඹ ගැන කියා දෙනවා වගේ. ඒ අයුරින්ම ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට පකුධ කච්චායන මට එකිනෙකට හාත්පසින් විරුද්ධ දෙයක් පැවසූවා.
ස්වාමීනී, එතකොට මට මෙහෙමත් හිතුනා. “මං වගේ කෙනෙක් තම විජිතයෙහි වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පෙළිය යුතුයි කියලා කොහොම නම් සිතන්නද?” කියලා. ස්වාමීනී, ඒ මං පකුධ කච්චායනගේ කීම පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, නොසතුටු සිතින් යුතුව, නමුත් නොසතුටු සිතින් වචනයක් නිකුත් කරන්නේ නැතිව, ඒ කියමන භාරගන්නේ නැතිව, සිතේ පිහිටුවා නොගෙන අසුනෙන් නැගිට නික්මිලා ගියා.
ස්වාමීනී, මං එක්තරා දවසක නිගණ්ඨ නාතපුත්ත ළඟට ගියා. ගිහින් නිගණ්ඨ නාතපුත්ත සමඟ සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩිවුණා. ඉතින් ස්වාමීනී, එකත්පස්ව වාඩිවුණ මං නිගණ්ඨ නාතපුත්තට මෙකරුණ කිව්වා.
“භවත් අග්ගිවෙස්සන, ඉගෙන ගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා ….(පෙ)…. ඉතින් භවත් අග්ගිවෙස්සන, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?” කියලා.
ස්වාමීනී, මං මෙහෙම කිව්වහම නිගණ්ඨ නාතපුත්ත මට මෙහෙම කිව්වා. “මහාරාජ, නිගණ්ඨයා අවස්ථා හතරක සංවරයෙන් සංවරව ඉන්නවා. මහාරාජ, නිගණ්ඨයා අවස්ථා හතරක සංවරයෙන් සංවරව ඉන්නේ කොහොමද? මහාරාජ, මෙහිලා නිගණ්ඨයා සියලු ඇල්දිය පරිහරණයෙන් වැළකී ඉන්නවා. ඒ වගේම සියලු පවින් සංවරව ඉන්නවා. සියලු පව් තපසින් පිඹ හැරලා ඉන්නවා. සියලු පව් දුරු කළ බව ස්පර්ශ කරලා ඉන්නවා. මහාරාජ, ඔය ආකාරයටයි නිගණ්ඨයා චතුයාම සංවරයෙන් යුක්ත වන්නේ. මහාරාජ, මේ නිගණ්ඨයාට කියන්නේ අවශ්‍ය අරමුණට ගිය ආත්මය ඇති කෙනා කියලයි. තවන ලද ආත්මය ඇති කෙනා කියලයි. මැනැවින් පිහිටි ආත්මය ඇති කෙනා කියලයි.
ඉතින් ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට නිගණ්ඨ නාතපුත්ත මට චතුයාම සංවරය (සංවර වීමේ අවස්ථා හතර) පැවසුවා. ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. අඹ ගැන ඇසූ කල්හී දෙල් ගැන කියා දෙනවා වගේ. දෙල් ගැන ඇසූ කල්හී අඹ ගැන කියා දෙනවා වගේ. ඒ අයුරින්ම ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට නිගණ්ඨ නාතපුත්ත මට චතුයාම සංවරය (සංවර වීමේ අවස්ථා හතර) පැවසූවා.
ස්වාමීනී, එතකොට මට මෙහෙමත් හිතුනා. “මං වගේ කෙනෙක් තම විජිතයෙහි වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පෙළිය යුතුයි කියලා කොහොම නම් සිතන්ටද?” කියලා. ස්වාමීනී, ඒ මං නිගණ්ඨ නාතපුත්තගේ කීම පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, නොසතුටු සිතින් යුතුව, නමුත් නොසතුටු සිතින් වචනයක් නිකුත් කරන්නේ නැතිව, ඒ කියමන භාරගන්නේ නැතිව, සිතේ පිහිටුවා නොගෙන අසුනෙන් නැගිට නික්මිලා ගියා.
ස්වාමීනී, මං එක්තරා දවසක සංජය බේලට්ඨිපුත්තයන් ළඟට ගියා. ගිහින් සංජය බේලට්ඨිපුත්තයන් සමඟ සතුටු වුනා. සතුටු විය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව වාඩිවුනා. ඉතින් ස්වාමීනී, එකත්පස්ව වාඩිවුණ මං සංජය බේලට්ඨිපුත්තයන්ට මෙකරුණ කිව්වා. “භවත් සංජය, ඉගෙන ගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා ….(පෙ)…. ඉතින් භවත් සංජය, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?” කියලා.
ස්වාමීනී, ඔය විදිහට මං කිව්වහම සංජය බේලට්ඨිපුත්ත මට මෙහෙම කිව්වා. “මහාරාජ, පරලොවක් තියෙනවාද? කියලා මගෙන් විමසුවොත් එතකොට මට හිතෙනවා නම් පරලොවක් ඇත කියලා මං ඔබට එය විසඳන්නේ පරලොවක් තියෙනවා කියලයි. ඒ වුනාට මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළිගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළිගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ. ඒ වගේම පරලොවක් නැද්ද? කියලා මගෙන් ඇහුවොත් ….(පෙ)…. පරලොවක් තියෙනවාද නැද්ද? කියලා ….(පෙ)…. පරලොවක් ඇත්තේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ….(පෙ)…. ඕපපාතික සත්වයන් ඉන්නවාද? කියලා ….(පෙ)…. ඕපපාතික සත්වයන් නැද්ද? කියලා ….(පෙ)…. ඕපපාතික සත්වයන් ඇද්ද නැද්ද? කියලා ….(පෙ)…. ඕපපාතික සත්වයන් ඇත්තේත් නැද්ද? නැත්තේත් නැද්ද? කියලා ….(පෙ)…. හොඳ නරක කර්මවල ඵලවිපාක තියෙනවාද? කියලා ….(පෙ)…. හොඳ නරක කර්මවල ඵල විපාක නැද්ද? කියලා ….(පෙ)…. හොඳ නරක කර්මවල ඵලවිපාක ඇත්තේත් නැද්ද, නැත්තේත් නැද්ද? කියලා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? කියලා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු නැද්ද? කියලා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඉන්නවාද? නැද්ද? කියලා ….(පෙ)…. තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නැද්ද නැත්තේත් නැද්ද? කියලා මගෙන් විමසුවොත් එතකොට මට හිතෙනවා නම් තථාගතයන් වහන්සේ මරණින් මතු අත්තේත් නෑ, නැත්තේත් නෑ කියලා මං ඔබට එය විසඳන්නේ තථාගතයන් වහන්සේ මරණින් මතු ඇත්තේත් නෑ, නැත්තේත් නෑ කියලයි. ඒ වුනාට මා තුළ ඔවැනි අදහසක් නම් නෑ. මා තුළ ඒ අයුරින් පිළි ගැනීමකුත් නෑ. මා තුළ ඔයිට වෙනස් අයුරකින් පිළිගැනීමකුත් නෑ. නොපිළි ගන්නවා කියලා දෙයකුත් නෑ. නොපිළිගන්නේ නැත කියලා දෙයකුත් නෑ.
ඉතින් ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට සංජය බේලට්ඨිපුත්ත මට අමරාවික්ෂේපවාදය (ප්‍රශ්න අසන්නන් වික්ෂිප්ත වෙන පරිදි ආඳෙකු මෙන් ලිස්සා යාම) පැවසුවා. ස්වාමීනී, ඒක මේ වගේ දෙයක්. අඹ ගැන ඇසූ කල්හී දෙල් ගැන කියා දෙනවා වගේ. දෙල් ගැන ඇසූ කල්හී අඹ ගැන කියා දෙනවා වගේ. ඒ අයුරින්ම ස්වාමීනී, මේ ජීවිතයේදීම පැවිදි බවෙන් ලබන ප්‍රයෝජන ගැන ඇසූ ප්‍රශ්නයට ඔය විදිහට සංජය බේලට්ඨිපුත්ත මට අමරාවික්ෂේපවාදය (ප්‍රශ්න අසන්නන් වික්ෂිප්ත වෙන පරිදි ආඳෙකු මෙන් ලිස්සා යාම) පැවසුවා.
ස්වාමීනී, එතකොට මට මෙහෙම හිතුණා. “මේ පුද්ගලයා මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගෙන් හැමෝටම වැඩිය බාලයෙක්. හැමෝටම වැඩිය මෝඩයෙක්. මේ ජීවිතයේදීම පැවිදිබවෙන් ලබන ප්‍රයෝජන ගැන විමසද්දී කොහොම නම් අමරාවික්ෂේපය ගැන විස්තර කරන්නේද?” ස්වාමීනී, එතකොට මට මෙහෙමත් හිතුනා. “මං වගේ කෙනෙක් තම විජිතයෙහි වාසය කරන ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ පෙළිය යුතුයි කියලා කොහොම නම් සිතන්නද?” කියලා. ස්වාමීනී, ඒ මං සංජය බේලට්ඨිපුත්තගේ කීම පිළිගත්තේ නෑ. ප්‍රතික්ෂේප කළෙත් නෑ. නොපිළිගෙන, ප්‍රතික්ෂේප නොකොට, නොසතුටු සිතින් යුතුව, නමුත් නොසතුටු සිතින් වචනයක් නිකුත් කරන්නේ නැතිව, ඒ කියමන භාරගන්නේ නැතිව, සිතේ පිහිටුවා නොගෙන අසුනෙන් නැගිට නික්මිලා ගියා.
ස්වාමීනී, ඒ මං භාග්‍යවතුන් වහන්සේගෙනුත් අසන්නම්. “ස්වාමීනී, ඉගෙනගත යුතු යම් ආකාර වූ ශිල්ප ශාස්ත්‍ර රාශියක් තිබෙනවා. ඒ කියන්නේ ඇතරුවන් ඉන්නවා ….(පෙ)…. ඉතින් ස්වාමීනී, ගිහි ජීවිතයේදී ඔය විදිහට ප්‍රතිඵල ලබද්දී පැවිදි ජීවිතයෙනුත් ඔය ආකාරයෙන්ම ලබාගන්නා ප්‍රයෝජන දක්වන්නට පුළුවන්ද?” කියලා.
“පින්වත් මහාරාජ, ප්‍රයෝජන දක්වන්නට පුළුවනි. එසේ නම් පින්වත් මහාරාජ, මං ඔබෙන්ම මේ කාරණය විමසන්නම්. ඔබ යම් විදිහකට නම් කැමැති ඒ විදිහට පිළිතුරු දෙන්න.”
“පින්වත් මහාරාජ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙහි ඔබගේ දාස වූ පුරුෂයෙක් ඉන්නවා. ඔහු කම්කරුවෙක්. උදේ පාන්දර නැගිටිනවා. අන්තිමටම නිදනවා. කළ යුතු දේ සොයාබලා කරනවා. සිත් ගන්නා අයුරින් හැසිරෙනවා. ප්‍රිය බස් කියනවා. සතුටු සිතින් ඔබේ මුහුණ බලනවා. ඔහුට මේ විදිහට සිතෙනවා. පින්වල ගතිය නම්, පින්වල විපාක නම් ඒකාන්තයෙන්ම අසිරිමත්, ඒකාන්තයෙන්ම පුදුම සහගතයි. මේ වේදේහිපුත්ත අජාසත් මගධ රජතුමා මනුෂ්‍යයෙක්. මමත් මනුෂ්‍යයෙක්. නමුත් වේදේහිපුත්ත අජාසත් මගධ රජතුමා පංචකාම ගුණයෙන් පිනා ගිහින් එයින් ඉඳුරන් පිනවමින් ඉන්නේ දෙවියෙකු වගෙයි. නමුත් මං එතුමාගේ දාසයෙක්. කම්කරුවෙක්. උදේ පාන්දර නැගිටිනවා. අන්තිමටම නිදනවා. කළ යුතු දේ සොයාබලා කරනවා. සිත් ගන්නා අයුරින් හැසිරෙනවා. ප්‍රිය බස් කියනවා. සතුටු සිතින් ඔබේ මුහුණ බලනවා. එහෙම නම් ඒ මමත් පින් දහම් කළොත් මෙතුමා වගේ වේවි. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙන එක තමයි හොඳ” කියලා.
ඔහු පස්සේ කාලෙක කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා කයෙන් සංවරව වාසය කරනවා. වචනයෙන් සංවරව වාසය කරනවා. මනසින් සංවරව වාසය කරනවා. කෙලෙස් නැසීමේ උතුම් අරුතෙන් යුතුව හුදෙකලා විවේකයෙහි ඇලී වාසය කරනවා.
එතකොට ඔබගේ රාජපුරුෂයන් අර පුද්ගලයා ගැන මේ විදිහට දැනුම් දෙනවා. “අවසරයි දේවයන් වහන්ස, දන්නවාද? ඔබේ ඒ දාස පුරුෂයෙක් හිටියා. ඔහු කම්කරුවෙක්. උදේ පාන්දර නැගිටිනවා. අන්තිමටම නිදනවා. කළ යුතු දේ සොයාබලා කරනවා. සිත් ගන්නා අයුරින් හැසිරෙනවා. ප්‍රිය බස් කියනවා. සතුටු සිතින් ඔබේ මුහුණ බලනවා. දේවයන් වහන්ස, ඔහු කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙලා ඉන්නවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා කයෙන් සංවරව වාසය කරනවා. වචනයෙන් සංවරව වාසය කරනවා. මනසින් සංවරව වාසය කරනවා. කෙලෙස් නැසීමේ උතුම් අරුතෙන් යුතුව හුදෙකලා විවේකයෙහි ඇලී වාසය කරනවා” කියලා. එතකොට ඔබ මේ විදිහට කියනවාද? “භවත්නි, මාගේ ඒ පුරුෂයා පැමිණේවා! යළිත් මාගේ දාසයා වේවා! කම්කරුවා වේවා! උදේ පාන්දර නැගිටින, අන්තිමටම නිදන, කළ යුතු දේ සොයාබලා කරන, සිත් ගන්නා අයුරින් හැසිරෙන, ප්‍රිය බස් කියන, ඔහු සතුටු සිතින් මගේ මුහුණ බලාවා!” කියලා.
“ස්වාමීනී, එහෙම දෙයක් වෙන්නේ නෑ. එහෙම නම් අපිමයි ඔහුට ආදරයෙන් වඳින්නේ. අපිමයි ඔහු දැක හුනස්නෙන් නැගිටින්නේ. ආසනයක් වුණත් පිළිගන්වන්නේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසින් මනාකොට පිළිගන්වන්නේ. උන්වහන්සේට දැහැමින් රැකවරණ සළස්වන්නේ.”
“පින්වත් මහාරාජ, ඉතින් ඔය විදිහට කරුණු යෙදෙන කොට ඕක මේ ජීවිතයේදී දැක්ක හැකි පැවිදිබවේ ඵලයක්ද? නැද්ද?”
“ස්වාමීනී, ඔය විදිහට කරුණු යෙදෙන කොට, ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී දැක්ක හැකි පැවිදිබවේ ඵලයක්මයි.”
“පින්වත් මහාරාජ, මෙය වනාහී මා විසින් ඔබට පෙන්වා දෙන පැවිදිබව තුළින් මේ ජීවිතයේදීම ලැබිය හැකි පළමුවෙනි ප්‍රයෝජනයයි.”
“ස්වාමීනී, පැවිදිබව තුළින් මේ ජීවිතයේදීම අත්විඳිය හැකි ඔය ආකාර වූ වෙනත් ප්‍රයෝජනත් පෙන්වා දෙන්නට පුළුවන්ද?”
“පින්වත් මහාරාජ, ප්‍රයෝජන දක්වන්නට පුළුවනි. එසේ නම් පින්වත් මහාරාජ, මං ඔබෙන්ම මේ කාරණය විමසන්නම්. ඔබ යම් විදිහකට නම් කැමැති ඒ විදිහට පිළිතුරු දෙන්න. ‘පින්වත් මහාරාජ, මේ ගැන ඔබ කුමක්ද හිතන්නේ? මෙහි ඔබගේ ගොවියෙක් වූ ගෘහපතියෙක් ඉන්නවා. ඔහු ඔබට බදු ගෙවනවා. ධනධාන්‍ය වැඩි කර දෙනවා. ඔහුට මේ විදිහට සිතෙනවා. පින්වල ගතිය නම්, පින්වල විපාක නම් ඒකාන්තයෙන්ම අසිරිමත්, ඒකාන්තයෙන්ම පුදුම සහගතයි. මේ වේදේහිපුත්ත අජාසත් මගධ රජතුමා මනුෂ්‍යයෙක්. මමත් මනුෂ්‍යයෙක්. නමුත් වේදේහිපුත්ත අජාසත් මගධ රජතුමා පංචකාම ගුණයෙන් පිනා ගිහින් එයින් ඉඳුරන් පිනවමින් ඉන්නේ දෙවියෙකු වගෙයි. නමුත් මං එතුමාගේ ගොවියෙක් වූ ගෘහපතියෙක්. එතුමාට බදු ගෙවනවා. ධනධාන්‍ය වැඩි කර දෙනවා. එහෙමනම් ඒ මමත් පින් දහම් කළොත් මෙතුමා වගේ වේවි. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙන එක තමයි හොඳ’ කියලා.
ඔහු පස්සේ කාලෙක ස්වල්ප වූ භෝග සම්පත් අත්හරිනවා. මහත් වූ භෝග සම්පත් අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑයන් අත්හරිනවා. මහත් වූ නෑදෑයන් අත්හරිනවා. කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා කයෙන් සංවරව වාසය කරනවා. වචනයෙන් සංවරව වාසය කරනවා. මනසින් සංවරව වාසය කරනවා. කෙලෙස් නැසීමේ උතුම් අරුතෙන් යුතුව හුදෙකලා විවේකයෙහි ඇලී වාසය කරනවා.
එතකොට ඔබගේ රාජපුරුෂයන් අර පුද්ගලයා ගැන මේ විදිහට දැනුම් දෙනවා. “අවසරයි දේවයන් වහන්ස, දන්නවාද? ඔබේ ඒ ගොවියෙක් වූ ගෘහපතියෙක් හිටියා. ඔහු ඔබට බදු ගෙව්වා. ධනධාන්‍ය වැඩි කර දුන්නා. දේවයන් වහන්ස, ඔහු කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙලා ඉන්නවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා කයෙන් සංවරව වාසය කරනවා. වචනයෙන් සංවරව වාසය කරනවා. මනසින් සංවරව වාසය කරනවා. කෙලෙස් නැසීමේ උතුම් අරුතෙන් යුතුව හුදෙකලා විවේකයෙහි ඇලී වාසය කරනවා” කියලා. එතකොට ඔබ මේ විදිහට කියනවාද? “භවත්නි, මාගේ ඒ පුරුෂයා පැමිණේවා! යළිත් මාගේ ගොවියෙකු වේවා! ගෘහපතියෙකු වේවා! බදුගෙවන්නෙකු වේවා! ධනධ්‍යාන්‍ය වැඩි කරන්නෙකු වේවා!” කියලා.
“ස්වාමීනී, එහෙම දෙයක් වෙන්නේ නෑ. එහෙම නම් අපිමයි ඔහුට ආදරයෙන් වඳින්නේ. අපිමයි ඔහු දැක හුනස්නෙන් නැගිටින්නේ. ආසනයක් වුණත් පිළිගන්වන්නේ. චීවර පිණ්ඩපාත සේනාසන ගිලන්පසින් මනාකොට පිළිගන්වන්නේ. උන්වහන්සේට දැහැමින් රැකවරණ සළස්වන්නේ.
“පින්වත් මහාරාජ, ඉතින් ඔය විදිහට කරුණු යෙදෙන කොට ඕක මේ ජීවිතයේදී දැක්ක හැකි පැවිදිබවේ ඵලයක්ද? නැද්ද?”
“ස්වාමීනී, ඔය විදිහට කරුණු යෙදෙන කොට, ඒකාන්තයෙන්ම මේ ජීවිතයේදී දැක්ක හැකි පැවිදිබවේ ඵලයක්මයි.”
“පින්වත් මහාරාජ, මෙය වනාහී මා විසින් ඔබට පෙන්වා දෙන පැවිදිබව තුළින් මේ ජීවිතයේදීම ලැබිය හැකි දෙවෙනි ප්‍රයෝජනයයි.”
“ස්වාමීනී, පැවිදිබව තුළින් මේ ජීවිතයේදීම අත්විඳිය හැකි ඔය ප්‍රයෝජනයන්ටත් වඩා අතිශයින්ම උසස් වූත්, අතිශයින්ම ප්‍රණීත වූත් පැවිදිබවෙන් ලබන වෙනත් ප්‍රයෝජනත් පෙන්වා දෙන්නට පුළුවන්ද?”
“පින්වත් මහාරාජ, ප්‍රයෝජන දක්වන්නට පුළුවනි. එසේ නම් පින්වත් මහාරාජ, මනාකොට සවන් යොමා අසන්න. නුවණින් මෙනෙහි කරන්න. මා කියා දෙන්නම්.”
“එසේය ස්වාමීනී,” කියලා වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා.
භාග්‍යවතුන් වහන්සේ මෙම දෙසුම වදාළා. “පින්වත් මහාරාජ, මෙහි අරහත් වූ සම්මාසම්බුද්ධ වූ, විජ්ජාචරණසම්පන්න වූ, සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථි වූ, සත්ථා දේවමනුස්සානං වූ, බුද්ධ වූ, භගවා වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපත ලබනවා. උන්වහන්සේ දෙවියන් සහිත වූ, මරුන් සහිත වූ, බඹුන් සහිත වූ, ශ්‍රමණ බමුණන් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු මේ ලෝකය තුළ තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා. ආරම්භය කල්‍යාණ වූත්, මැද කල්‍යාණ වූත්, අවසානය කල්‍යාණ වූත්, අර්ථ සහිත වූත්, පැහැදිලි ප්‍රකාශනවලින් යුතු වූත්, මුළුමණින්ම පිරිපුන් පිරිසිදු බඹසර ප්‍රකාශ කරනවා.
එතකොට ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා කවර හෝ කුලයක උපන් කෙනෙක් වේවා ඒ ධර්මය අසනවා. ඔහු ඒ ධර්මය අහලා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඉතින් ඔහු ඒ ශ්‍රද්ධාලාභයෙන් යුක්ත වෙලා මේ විදිහට නුවණින් කල්පනා කරනවා. “ගිහි ගෙදර වාසය කිරීම හරිම කරදරයක්. කෙලෙස් වැඩෙන මාවතක්. නමුත් පැවිදි ජීවිතය ආකාසය වගේ. ගිහිගෙදර වාසය කරමින් මුළුමණින්ම පිරිපුන්, මුළුමණින්ම පිරිසිදු, සුදෝසුදු බඹසර වසනවා යන කාරණය ලෙහෙසි එකක් නොවේ. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට ඇතුළත් වෙන එක තමයි හොඳ” කියලා.
ඔහු පස්සේ කාලෙක ස්වල්ප වූ භෝග සම්පත් අත්හරිනවා. මහත් වූ භෝග සම්පත් අත්හරිනවා. ස්වල්ප වූ නෑදෑයන් අත්හරිනවා. මහත් වූ නෑදෑයන් අත්හරිනවා. කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත්වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් (පැවිද්දෙක් විසින් රැකගත යුතු නිවනට උපකාරී වන උතුම් සිල්පදවලින්) සංවරව ඉන්නවා. යහපත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු වෙනවා. අණුමාත්‍ර වූ වරදෙහි පවා භය දකිනවා. ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා. කුසල්සහගත කාය හා වචී කර්මයෙන් යුතු වෙනවා. පිරිසිදු ආජීවයෙන් යුතු වෙනවා. සිල්වත් වෙනවා. අකුසලයෙන් වැළකූ දොරටු ඇතුව ඉන්නවා. නුවණින් සළකා ආහාර ගන්නවා. සිහිනුවණින් යුතුව ඉන්නවා. ලද දෙයින් සතුටුව ඉන්නවා.
පින්වත් මහාරාජ, භික්ෂුව සීලයෙන් යුක්ත වන්නේ කොහොමද? පින්වත් මහාරාජ, මෙහි භික්ෂුව සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා. දඬු මුගුරු අත්හැර දාලා, අවි ආයුධ බැහැර කරලා, පවට ලැජ්ජා ඇතිව ඉන්නවා. සතුන් කෙරෙහි දයාවන්ත වෙනවා, සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
නුදුන් දේ ගැනීම අත්හැරලා නුදුන් දේ ගැනීමෙන් වැළකී ඉන්නවා. දුන් දේ පමණක් පිළිගන්නවා. දුන් දේ පමණක් පිළිගනු කැමති වෙනවා. සොර රහිත සිතින් යුතු වූ පිරිසිදු සිතින් යුතු වූ ජීවිතයකින් වාසය කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
අබ්‍රහ්මචාරී බව අත්හැරලා බ්‍රහ්මචාරීව ඉන්නවා. ලාමක දෙයක් වූ මෛථූන සේවනයෙන් වැළකී එය දුරින්ම දුරුකර දමනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
බොරු කීම අත්හැරලා, බොරු කීමෙන් වැළකී ඉන්නවා. සත්‍යය කතා කරනවා. ඇත්තෙන් ඇත්ත ගලපනවා. ස්ථිරව පිහිටලා කතාකරනවා. පිළිගත හැකි දේ කතා කරනවා. ලෝකයාව රවටන්නේ නෑ. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
කේලාම් කීම අත්හැරලා කේලාම් කීමෙන් වැළකී ඉන්නවා. මෙතැනින් අහලා මේ අය බිඳවන්නට අතන කියන්නේ නෑ. අතනින් අහලා ඒ උදවිය බිඳවන්නට මෙතැන කියන්නේ නෑ. මේ අයුරින් බිඳුණු උදවිය සමගි කරවනවා. සමගි වූවන්ට අනුබල දෙනවා. සමගි වූවන් හා වාසයට කැමතියි. සමගි වූවන් හා එක්ව වසනවා. සමගි වූවන් සමඟ සතුටු වෙනවා. සාමය උදෙසා සාමකාමී වචන කතා කරනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පරුෂ වචනය අත්හැරලා පරුෂ වචනයෙන් වැළකී ඉන්නවා. යම් වචනයක් දොස් රහිත නම්, කනට සැප නම්, ආදරවන්ත නම්, හෘදයාංගම නම්, ශිෂ්ට සම්පන්න නම්, බොහෝ ජනයා කැමති නම්, බොහෝ ජනයාට ප්‍රියමනාප නම් එබඳු වූ වචන පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
තේරුමක් නැති කතා බහ අත්හැරලා තේරුමක් නැති කතා කීමෙන් වැළකී සිටිනවා. කල් යල් බලා කතා කරනවා. ඇත්ත කතා කරනවා. අර්ථවත් දෙය කතා කරනවා. ධර්මයම කතා කරනවා. විනයම කතා කරනවා. සිත්හි ලා දරාගැනීමට සුදුසු, වෙලාවට ගැලපෙන උපදේශ සහිත වූ, මදිපාඩුකම් නොතබා, ප්‍රමාණවත් පරිදි, දෙලොව යහපත පිණිස වූ දේ පවසනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පැළවෙන බීජ හා පැළ වුන ගස් කොළන් විනාශ කිරිමෙන් වැළකී ඉන්නවා. එක් වරුවේ බොජුන් වළඳනවා. රාත්‍රී ආහාරයෙන් වැළකී විකාල භෝජනයෙන් වැළකී ඉන්නවා. නැටුම්, ගැයුම්, වැයුම් හා විසූක දර්ශනයන් නැරඹීමෙන් වැළකී ඉන්නවා. මල් සුවඳ විලවුන් දැරීමෙන්ද ඇඟපත සැරසීමෙන්ද විසිතුරු වස්ත්‍රාභරණයෙන් සැරසීමෙන්ද වැළකී ඉන්නවා. ප්‍රමාණය ඉක්ම වූ උස් ආසනද, වටිනා සුඛෝපභෝගී ආසනද පරිහරණයෙන් වැළකී ඉන්නවා. රන් රිදී මිල මුදල් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු ධාන්‍ය පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. අමු මස් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ස්ත්‍රීන්, කුමරියන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. දැසි දස්සන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. එළුබැටළුවන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කුකුළන්, ඌරන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ඇතුන්, ගවයන්, අසුන්, වෙළඹුන් පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. කෙත් වතු පිළිගැනීමෙන් වැළකී ඉන්නවා. ගිහි කටයුතු සඳහා දූත මෙහෙවර කිරීමෙන් වැළකී ඉන්නවා. වෙළහෙළඳාම් කිරීමෙන් වැළකී ඉන්නවා. තරාදියෙන් රැවටීම, නොවටිනා දෙයින් රැවටීම, මිනුමෙන් රැවටීම යන මෙයින් වැළකී ඉන්නවා. අල්ලස් ගෙන හිමිකරුවන්ගේ දේ අහිමි කිරීම, වංචා කිරීම, බාල දේ වටිනා දේ හැටියට පෙන්වීම ආදී නොයෙක් වංචනික දෙයින් වැළකී ඉන්නවා. අත්පා කැපීම්, මැරීම්, බන්ධන කිරීම්, මං පැහැරගැනීම්, ගම් පැහැර ගැනීම් ආදී සැහැසි දෙයින් වැළකී සිටිනවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
චූලසීලය නිමාවිය
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ විදිහේ පැළවෙන දේ හා ගස් කොළන් ආදිය වනසමින් ඉන්නවා. ඒ කියන්නේ මුලින් පැළවෙන දේවල්, කඳින් පැළවෙන දේවල්, පුරුකින් පැළවෙන දේවල්, දල්ලෙන් පැළවෙන දේවල්, පස්වෙනුවට බිජුවටින් පැළවෙන දේවල් යන ආදිය වනසමින් ඉන්නවා. ගස් කොළන් සිඳලීම් ආදී මෙවැනි දේවල්වලිනුත් මෙවැනි වෙනත් දේවල්වලිනුත් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ දේ රැස්කරගෙන පරිභෝග කරමින් වාසය කරනවා. ඒ කියන්නේ කෑම වර්ග රැස්කරලා තියාගන්නවා. බීම වර්ග රැස්කරලා තියාගන්නවා. වස්ත්‍ර රැස්කරලා තියාගන්නවා. යාන වාහන රැස්කරලා තියාගන්නවා. ඇඳ පුටු මේස රැස්කරලා තියාගන්නවා. සුවඳ වර්ග රැස්කරලා තියාගන්නවා. තවත් ආමිස රැස්කරලා තියාගන්නවා. මෙවැනි හෝ මෙවැනි වෙනත් දේවල් හෝ රැස්කරගෙන පරිහරණය කිරීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයේ විසූක දර්ශනයන් නැරඹීමෙහි යෙදිලා ඉන්නවා. ඒ කියන්නේ නැටුම්, ගැයුම්, වැයුම්, නාටක, පැරණි කතා රඟදැක්වීම්, අත්තාල ගසා නැටීම්, වේතාල නැටීම්, බෙර වාදන කිරීම්, රඟමඬළෙහි දේවතාවන්ට පූජා පිණිස නැටීම්, උණ ගසින් කරන ක්‍රීඩා, මිනී ඇට මැද තබා වටකොට නැටීම්, ඇත් යුද බැලීම්, අශ්ව යුද බැලීම්, ගොන් පොර බැලීම්, එළු පොර බැලීම්, බැටළු පොර බැලීම්, කුකුළු පොර බැලීම්, වටු පොර බැලීම්, පොලු හරඹ බැලීම්, මිටි හරඹ බැලීම්, මල්ලව පොර බැලීම්, යුද සේනා බලන්නට යෑම, බලසෙන් ගණින තැන් බලන්නට යාම, බලසෙනඟ විසිරුවන තැන් බලන්නට යාම ආදී දේවල්වල යෙදෙමින් ඉන්නවා. මෙවැනි දේවල්වලිනුත් මෙවැනි වෙනත් දේවල්වලින් යුතු විසූක දර්ශන නැරඹීම්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා තමාව ප්‍රමාදයට පත් කරවන මේ ආකාර වූ සූදු කෙළියෙන් කල් යවනවා. ඒ කියන්නේ හතරැස් කොටු අටකින් යුතුව කරන සූදුව, කොටු දහයකින් කරන සූදුව, අහසේ රූ අඳිමින් කරන සූදුව, කොටු පැනීමෙන් කරන සූදුව, සන්තික නම් වූ සූදුව, දාදු කැටයෙන් කරන සූදුව, කල්ලි ගැසුම, බූරුවා ගැසීම, ගුළ කෙළිය, නළා පිඹීම, කරණම් ගැසීම, මුගුරක් ගෙන උඩ යට වැටෙන පරිදි උඩට ගැසීම, කොළවලින් කළ ගොටුවලින් තරඟෙට වැලි මැනීම, කුඩා රිය තරඟ, කුඩා දුනුවලින් විදීමේ තරඟ, අකුරු ලිවීමේ සෙල්ලම, සිතූ දේ කියන සෙල්ලම, විකලාංග අනුකරණයෙන් හිනැස්සීමේ සෙල්ලම ආදී දේ කිරීමයි. මේ දෙයිනුත් මෙවැනි තවත් දේවල් ඇත්නම් එයිනුත් වැළකී ප්‍රමාදයට පත්වන සූදුවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාර වූ පමණ ඉක්මවා උස් වූ ආසනත්, වටිනා සුඛෝපභෝගී ආසනත් පරිහරණය කරනවා. ඒ කියන්නේ දිග හාන්සි පුටු, කවිච්චි, ලොකු පලස් යෙදූ ආසන, විසිතුරු ගෙත්තම් කළ එළු ලොම් ඇතිරිලි, සුදු එළු ලොමින් කළ ඇතිරිලි, මල් යෙදූ එළු ලොමින් කළ ඇතිරිලි, පුළුන් යෙදූ මෙට්ට, සත්ව රූපවලින් සැරසූ එළු ලොම් ඇතිරිලි, මුළුමණින්ම එළු ලොමින් කළ ඇතිරිලි, රන් නූලෙන් සැරසූ කලාල, පට නූලෙන් කළ කලාල, නාටිකාංගනාවන් ඒ මත නැටිය හැකි එළු ලොමින් කළ කලාල, ඇතුන් පිට යොදන ඇතිරිලි, අසුන් පිට යොදන ඇතිරිලි, රථවල යොදන ඇතිරිලි, අඳුන් දිවි සමෙන් කළ ඇතිරිලි, කදලි මුව සමින් කළ කලාල, හිස දෙපැත්තට රතු විල්ලුද කොට්ට තබා රතු උඩුවියන් බැඳ සැදූ වටිනා යහන් ආදිය පරිහරණය කරයි. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී උස් අසුන් මහා අසුන් පරිහරණයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් ඇඟපත සැරසීමෙන් හා විසිතුරු වස්ත්‍රාභරණ පැළඳීමෙන් යුක්තව කල් ගෙවනවා. ඒ කියන්නේ සුවඳ වර්ග ඇඟ තවරා සිරුර සිනිඳු කිරීම, තෙල් වර්ග ගා සම්බාහනය කොට සිරුර හැඩ කිරීම, සුවඳපැන් නෑම, උරහිස් ආදියෙහි මස් වැඩීමට මුගුරෙන් තැලීම, කැඩපතින් මුහුණ බලා සැරසීම, ඇස්වල අඳුන් ගෑම, මල් හා සුවඳ විලවුන් දැරීම, මුව සුවඳ කිරීම, මුව විලවුන් දැරීම, අත්වල ආභරණ දැමීම, හිසෙහි කුඩුම්බි දැරීම. විසිතුරු සැරයැටි දැරීම, විසිතුරු බෙහෙත් නල දැරීම, විසිතුරු කඩු දැරීම, විසිතුරු කුඩ දැරීම, විසිතුරු පාවහන් දැරීම, නලල් පට දැරීම, මැණික් පැළඳීම, චාමර දැරීම, දිග වාටි ඇති සුදු වස්ත්‍ර දැරීම ආදියෙන් යුතුවෙයි. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී ඇඟපත සැරසීම් හා විසිතුරු වස්ත්‍රාභරණ සැරසීමෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරිසන් කතාවල යෙදී වාසය කරනවා. ඒ කියන්නේ, රජවරුන් ගැන කතා, සොරුන් ගැන කතා, මහ ඇමතිවරුන් ගැන කතා, හමුදාවන් ගැන කතා, භය ඇතිවෙන දේවල් ගැන කතා, ආහාර වර්ග ගැන කතා, බොන දේවල් ගැන කතා, ඇඳුම් පැළඳුම් ගැන කතා, ඇඳ පුටු ගැන කතා, මල් වර්ග ගැන කතා, සුවඳ වර්ග ගැන කතා, නෑදෑයන් ගැන කතා, යාන වාහන ගැන කතා, ගම්මාන ගැන කතා, නියම් ගම්මාන ගැන කතා, නගර ගැන කතා, රටවල් ගැන කතා, ස්ත්‍රීන් ගැන කතා, පුරුෂයින් ගැන කතා, කුමාරයින් ගැන කතා, කුමාරියන් ගැන කතා, ශූරයින් ගැන කතා, මංමාවත් ගැන කතා, වළං පොලේ දේවල් ගැන කතා, මියගිය උදවිය ගැන කතා, තව තව දේවල් ගැන කතා, ලෝකය ගැන කතා, සාගරය ගැන කතා, මෙහෙමයි වුණේ මෙහෙමයි නොවුණේ කියන දේ ගැන කතා කරකර ඉන්නවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරිසන් කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මේ ආකාරයෙන් එකිනෙකා අතර බැණ දොඩා ගන්නා කතාවෙන් යුතුවයි ඉන්නේ. ඒ කියන්නේ “නුඹ මේ ධර්ම විනය දන්නේ නෑ. මම තමයි මේ ධර්ම විනය දන්නේ, ආ … එහෙමද එතකොට නුඹද මේ ධර්ම විනය දන්නේ? නුඹ ඉන්නේ මිථ්‍යා වැඩපිළිවෙලකයි. මම තමයි නියම වැඩ පිළිවෙල තුළ ඉන්නේ. මං කරුණු සහිතවයි කියන්නේ. නුඹේ කීම කරුණු රහිතයි. නුඹ කලින් කිවයුතු දේ පස්සේ කිව්වා. පස්සේ කිවයුතු දේ කලින් කිව්වා. නුඹ කලක් තිස්සේ කියපු දේ කණපිට පෙරළුනා. මා විසින් නුඹට වාද නංවලයි තියෙන්නේ. නුඹට නිග්‍රහ කරලයි තියෙන්නේ. වාදයෙන් නිදහස් වීමට මගක් හොයාගෙන පලයන්. පුළුවන් නම් ලිහාගනින්” යනාදිය කියමින් ආරවුල් හදාගන්නවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ බැණ දොඩාගන්නා කතාවෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා ගිහියන්ගේ පණිවිඩ පණත් ගෙන යන මෙබඳු වූ දූත මෙහෙවරෙහි යෙදෙනවා. ඒ කියන්නේ, “මෙහෙ යන්න, අසවල් තැනට එන්න, මේක (අපේ මේ පණිවිඩය) අරන් යන්න. අසවල් තැනට මේක අරන් යන්න” යනාදී රජුන්ගේ, රාජමහා ඇමැතිවරුන්ගේ, ක්ෂත්‍රියයන්ගේ, බ්‍රාහ්මණයන්ගේ, ගෘහපතියන්ගේ, කුමාරවරුන්ගේ, පණිවිඩ පණත් ගෙනියනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ පණිවිඩ පණත් ගෙනයන ගිහියන්ගේ දූත මෙහෙවරෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා කුහක (උඩින් වෙන ජීවිතයක් පෙන්වමින් යමින් වෙනත් ජීවිතයක් ගෙවමින් නැති ගුණ පෙන්වා) ජීවිත ගෙවනවා. ලාභ සත්කාර ලැබෙන විදිහට (පුහු වර්ණනා කිරීම්, තොඳොල් කිරීම්, නැති ගුණ කීම් ආදී) චාටු බස් කියනවා. දායකයින් හට නොදී බැරි තත්වයට පත්වෙන ආකාරයේ නිමිති දක්වමින් කතා කරනවා. තමන්ට ලැබෙන විදිහට අනුන්ට ගරහනවා. ලාභයෙන් ලාභය හොයනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ කුහක කමින් චාටුබස්වලින් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
මධ්‍යම සීලය නිමාවිය.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත්වෙනවා. ඒ කියන්නේ ශාරීරික අංග බලා ඵලාඵල කියනවා, නිමිති බලා ඵලාඵල කියනවා, උත්පාත බලා ඵලාඵල කියනවා, සිහින ඵලාඵල කියනවා, ශාරීරික ලක්ෂණ බලා ඵලාඵල කියනවා, මීයන් කෑ වස්ත්‍ර බලා ඵලාඵල කියනවා, ගිනි පූජා පවත්වනවා, හැන්දෙන් පූජා පවත්වනවා, ධාන්‍ය පොතුවලින් පූජා පවත්වනවා. කණ නම් සහලින් කළ පූජා පවත්වනවා, සහලින් පූජා පවත්වනවා, ගිතෙලින් පූජා පවත්වනවා, තල තෙලින් පූජා පවත්වනවා, විශේෂ කොට කරණ පූජා පවත්වනවා, සතුන් මරා ලේ පුදා කරන පූජා පවත්වනවා, අංග විද්‍යාව, වාස්තු විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාසනාව උරගා බැලීමේ (ලොතරැයි) විද්‍යාව, භූත විද්‍යාව, පොළොව යට බිම් ගෙයක ඉඳ මැතිරීමෙන් කරන (භූරි) විද්‍යාව, සර්ප විද්‍යාව, විෂ විද්‍යාව, වෘශ්චික විද්‍යාව, මූෂික විද්‍යාව, පක්ෂි විද්‍යාව, විශාල පක්ෂි විද්‍යාව, ඉදුණු දේ මුල් කොට අනාවැකි කියන විද්‍යාව, මතුරන ලද ඊතල විද ආරක්ෂා කරන විද්‍යාව, මෘග පක්ෂ යනාදී මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ මැණික්වල සුභ අසුභ ලකුණු කීම, දඬුවල සුභ අසුභ ලකුණු කීම, වස්ත්‍රවල සුභ අසුභ ලකුණු කීම, කඩු ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ඊතල ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, දුනු ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ආයුධ ආදී සලකුණුවලින් සුභාසුභ ලකුණු කීම, ස්ත්‍රීන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, පුරුෂයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දරුවන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දැරියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසයන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, දාසියන්ගේ හැඩරුවින් සුභාසුභ ලකුණු කීම, ඒ ඒ කටයුතු සඳහා තෝරා ගත යුතු ඇතුන්ගේ ලකුණු කීම, අසුන්ගේ ලකුණු කීම, ඔටුවන්ගේ ලකුණු කීම, වෘෂභයන්ගේ ලකුණු කීම, ගවයන්ගේ ලකුණු කීම, එළුවන්ගේ ලකුණු කීම, බැටළුවන්ගේ ලකුණු කීම, කුකුළු පොර ආදියට සුදුසු කුකුළන්ගේ ලකුණු කීම, වටුවන්ගේ ලකුණු කීම, සුහුනන් ඇඟ වැටීමේ සහ හඬනැගීමේ ඵලාඵල කීම, කණෙහි පළඳාගත් උපකරණවලින් ඵලාඵල කීම, කැස්බෑවන්ට මතුරා ඵලාඵල කීම, මුවන්ට මතුරා ඵලාඵල කීම ආදී තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ‘අසවල් නැකතට රජතුමාගේ යුද පිණිස නික්මීම වන්නේය. අසවල් නැකතින් ආපසු නුවරට ඇතුළ්වීම සිදු කළ යුත්තේය. අසවල් නැකතින් රට ඇතුළේ සිට පිටත සතුරු රජුන් හමුවීමට රජුගේ ගමන කළ යුත්තේය. අසවල් නැකතින් පිටත සිටින රජවරු රට ඇතුළට පැමිණීම වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුගේ ඉවත්වීම සිදුවන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ සිටින රජුට ජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුනට පරාජය වන්නේය. අසවල් නැකතින් බාහිර රජුන්ට ජය වන්නේය. අසවල් නැකතින් රට ඇතුළේ රජුට පරාජය වන්නේය. මොහුට ජය වෙනවා. මොහුට පරාජය වෙනවා’ ආදී වශයෙන් පවසමින් තිරිසන් විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් කල් ගෙවනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “අසවල් දින චන්ද්‍රග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සූර්යග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින නැකත් ග්‍රහණයක් සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නිසි මගින් යෑම සිදුවෙනවා. අසවල් දින සඳ හිරුගේ නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නිසි මගින් යෑම සිදුවෙනවා. අසවල් දින නැකත් තරුවල නොමගින් යෑම සිදුවෙනවා. අසවල් දින උල්කාපාත වැටෙනවා. අසවල් දින අසවල් දිශාවේ උෂ්ණත්වය වැඩිවෙනවා. අසවල් දින භූමිකම්පාවක් සිදුවෙනවා. අසවල් දින වැසි රහිතව අහස ගුගුරනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම මේ මේ වෙලාවට සිදුවෙනවා. චන්ද්‍ර ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. සූර්ය ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. නැකත් ග්‍රහණය ලෝකයට මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නිසි ගමන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳුගේ නොමග යෑම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. උල්කාපාත වැටීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. දිශා දාහය මෙවැනි ඵල විපාක ලබාදෙනවා. භූකම්පන මෙවැනි ඵල විපාක ලබාදෙනවා. වැසි නැතිව අහස ගිගිරීම මෙවැනි ඵල විපාක ලබාදෙනවා. හිරු සඳු හා නැකත්වල උදාව, බැසීම, කෙලෙසීම, පිරිසිදු වීම ලෝකයට මෙවැනි විපාක ලබාදෙනවා” කියලා තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, “මේ කාලයේදී වැස්ස වහිනවා. මේ කාලයේදී නියඟය ඇතිවෙනවා. මේ කාලයේදී ආහාරපානාදියෙන් සරුවෙනවා. මේ කාලයේදී දුර්භික්ෂය ඇතිවෙනවා. මේ කාලයේදී රට සරුවෙනවා. මේ කාලයේදී බිය සැක නැතිව ඉන්නවා. මේ කාලයේදී භය උපදිනවා. මේ කාලයේදී රෝග ඇතිවෙනවා. මේ කාලයේදී නීරෝග බව ඇතිවෙනවා කියමින් ඵලා ඵල පැවසීමත් මුද්‍රා, ගණිත, සංඛ්‍යාන, කාව්‍ය ශාස්ත්‍ර, ලෝකායත ශාස්ත්‍ර ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, විවාහයට නැකත් කීම, ආවාහයට නැකත් කීම, වෙන් වූ අඹු සැමියන් එක් කිරීමට නැකත් සෑදීම, එක් වූ අඹු සැමියන් වෙන් කිරීමට නැකත් සෑදීම, දීපු ණය එකතු කිරීමට නැකත් සෑදීම, මුදල් ණයට පොලියට දීමට නැකත් සෑදීම, දියුණු වීමට ගුරුකම් කිරීම, පාළුවී නැති වීමට ගුරුකම් කිරීම, දරුගැබ් රැකෙන්නට ගුරුකම් කිරීම, දිව අගුළු බැඳෙන්නට ගුරුකම් කිරීම, හනු තද කරන්නට ගුරුකම් කිරීම, අත් පෙරලෙන්නට ගුරුකම් කිරීම, හනු සිරවෙන්නට ගුරුකම් කිරීම, කන් අගුළු වැටෙන්නට ගුරුකම් කිරීම, කණ්ණාඩියෙන් භූතයන් කැඳවා ප්‍රශ්න විචාරීම, ගෑණු දරුවන් ලවා පේන කීම, දෙවියන් ලවා පේන කීම, සූර්ය වන්දනාව, මහ බඹු වන්දනාව, මන්ත්‍ර බලයෙන් කටින් ගිනිදැල් පිටකිරීම, මන්ත්‍ර බලෙන් ලක්ෂ්මී පූජා කිරීම යනාදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙබඳු වූත් තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවිකාව ගෙවනවා. ඒ කියන්නේ, ශාන්ති කර්ම, බාර ඔප්පු කිරීම, පොළොව යට හිඳ මතුරා ගුරුකම් කිරීම, නපුංසකයා පිරිමියෙකු කිරීම, පිරිමියා නපුංසකයෙකු කිරීම, ගෙවල් තැනීමේ දිශාවන් පෙන්වා දීම, අලුතෙන් නිවාස තැනීමේදී පුද පූජා පැවැත්වීම. වතුර මතුරා මූණ සේදවීම. වතුර මතුරා නැහැවීම, ගිනිපිදීම, ලය විරේක කරවීම, බඩ විරේක කරවීම, වමනය කරවීම, වස්ති කරවීම, ශීර්ෂ විවේකය, කනට තෙල් පිඹීම, ඇස් වෙදකම, නස්න කිරීම, ඇස්වලට අඳුන් සෑදීම, ප්‍රතිඅංජන සෑදීම, ශල්‍යකර්ම කිරීම, ළදරු චිකිත්සාව, කාය චිකිත්සාව, වනවලට බෙහෙත් බැඳීම ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත් මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පින්වත් මහාරාජ, ඒ භික්ෂුව වනාහී මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොටගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. ඔටුනු පළන් රජ කෙනෙක් ඉන්නවා. ඔහු සතුරන් පරදවලා බැහැර කරලයි ඉන්නේ. ඉතින් ඔහු සතුරන් හේතුවෙන් මොනම අයුරකින්වත් භයක් දකින්නේ නෑ. පින්වත් මහාරාජ, භික්ෂුවත් ඔය විදිහමයි. මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විතව ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳිනවා. පින්වත් මහාරාජ, ඔන්න ඔය විදිහටයි භික්ෂුව සීලසම්පන්න වන්නේ.
පින්වත් මහාරාජ, භික්ෂුව අකුසලයන් වැළකූ ද්වාර ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? පින්වත් මහාරාජ, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් ඇස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. ඇස රැකගන්නවා. ඇස නැමැති ඉන්ද්‍රියේ සංවරයට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් රස විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ. යම් හෙයකින් මනස නමැති ඉන්ද්‍රිය අසංවරව වසන කෙනෙකුට දැඩි ලෝභයත්, දොම්නසත්, පාපී අකුසලත් ඇති වී අර්බුදයක් හටගන්නවා නම්, එහි සංවරය පිණිස පිළිපදිනවා. මනස රැකගන්නවා. මනස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙනවා. ඔහු මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ආධ්‍යාත්මිකව පීඩා රහිතව සැපයක් විඳිනවා. පින්වත් මහාරාජ, භික්ෂුව අකුසලයෙන් වැළැක් වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.
පින්වත් මහාරාජ, භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? පින්වත් මහාරාජ, මෙහිලා භික්ෂුව ඉදිරියට යද්දීත්, ආපසු එද්දීත් එය කරන්නේ සිහි නුවණින්මයි. ඉදිරිය බලද්දී, වටපිට බලද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. අතපය හකුළද්දී, දිගහරිද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. දෙපට සිවුර, පාත්‍රය, අනෙක් සිවුරු ආදිය දරද්දී එය කරන්නෙත් සිහිනුවණින්මයි. වළඳද්දී, පානය කරද්දී, අනුභව කරද්දී, රස විඳිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. වැසිකිළි කැසිකිළි යාමේදී එය කරන්නෙත් සිහි නුවණින්මයි. ගමන් කරද්දී, සිටගෙන සිටිද්දී, වාඩි වී සිටිද්දී, සැතපෙද්දී, නිදිවරද්දී, කතාබස් කරද්දී, නිහඬව සිටිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. පින්වත් මහාරාජ, භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි.
පින්වත් මහාරාජ, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? පින්වත් මහාරාජ, මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. ඒක මේ වගේ දෙයක්. කුරුල්ලෙක් යම් ම තැනකට පියඹා යනවා නම්, පියාපත් බර පමණක් සහිතව පියඹනවා වගෙයි. පින්වත් මහාරාජ, ඔය අයුරින්ම භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන්, කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. පින්වත් මහාරාජ, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය විදිහටයි.
ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ සිහිනුවණින් යුක්ත වෙලා, මේ ආර්ය වූ ලද දෙයින් සතුටුවීමෙන් යුක්ත වෙලා හුදෙකලා සෙනසුනක වාසය කරනවා. ඒ කියන්නේ අරණ්‍යය, රුක්සෙවණ, පර්වතය, දිය ඇල්ල, ගිරිගුහාව, සොහොන, වනගැබ, ගස් කොළන් රහිත හිස් පිටිය, පිදුරු ගෙය ආදියයි. ඔහු පිණ්ඩපාතය වළඳා, දානයෙන් පසු (එවැනි තැනක) පළඟක් බැඳගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවාගෙන වාඩිවෙනවා.
ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විෂම ලෝභය දුරු කොට ඇලීම් රහිත වූ සිතින් වාසය කරනවා. විෂම ලෝභය කෙරෙන් සිත පිරිසිදු කරනවා. තරහ, වෛර ආදිය අත්හැර තරහ නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා. තරහ, වෛර ආදිය කෙරෙන් සිත පිරිසිදු කරනවා. නිදිමත, අලසකම අත්හැර නිදිමත, අලසකමින් බැහැරව ආලෝක සඤ්ඤාවෙන් යුතුව, සිහිනුවණ ඇතිව වාසය කරනවා. නිදිමත, අලසකම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සිතේ විසිරීමත්, පසුතැවීමත් බැහැර කොට නොකැළඹී ගිය සංසිඳුණු සිතින් වාසය කරනවා. සිතේ විසිරීම හා පසුතැවීම කෙරෙන් සිත පිරිසිදු කරනවා. සැකය දුරු කොට කුසල් දහම් ගැන ‘කෙසේද? කෙසේද?’ යනාදී සැකයෙන් එතෙරව වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.
පින්වත් මහාරාජ, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා. එතකොට ඔහු යම් පරණ මුල් ණයක් ඇද්ද, එය සම්පූර්ණයෙන්ම ගෙවලා දානවා. එයින් පසු ඔහුට අඹුදරුවන් පෝෂණය පිණිස ලාභයක් ඉතිරිත් වෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං කලින් ණයක් අරගෙනයි ව්‍යාපාරයක යෙදෙව්වේ. ඒ මගේ ව්‍යාපාරය සාර්ථක වුනා. ඒ මං යම් පරණ මුල් ණයක් ඇද්ද එය සම්පූර්ණයෙන්ම ගෙව්වා. අඹුදරුවන් පෝෂණයටත් මට ආදායම ඉතිරි වුනා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව ඉන්නවා. ඔහුට බත් කෑමටවත් පිරියක් නෑ. ඔහුගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් නෑ. නමුත් පස්සෙ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුණා. ඔහුට දැන් බත් කෑමත් ප්‍රියයි. ඔහුගේ ඇඟපතත් ප්‍රාණවත්. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං ඉස්සර රෝගී වෙලා, දුකට පත්වෙලා, දැඩිසේ ගිලන්ව හිටියේ. මට බත් කෑමටවත් පිරියක් තිබුනේ නෑ. මගේ ඇඟේ පතේ ප්‍රාණවත් ගතියක් තිබුනේ නෑ. නමුත් දැන් මං ඒ රෝගයෙන් මිදුනා. මට දැන් බත් කෑමත් ප්‍රියයි. මගේ ඇඟපතත් ප්‍රාණවත්” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට හසුවෙනවා. නමුත් ඔහු පස්සෙ කාලෙක තමන්ගේ ධනය වියදම් නොකොට සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා. ඔහුගේ සම්පත්වලින් කිසි වියදමක් යන්නේ නෑ. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං ඉස්සර හිරගෙදරක බන්ධනයකට අහු වුනා. නමුත් ඒ මං දැන් ධන වියදමකින් තොරව සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වුනා. මගේ භෝග සම්පත්වලින් කිසිදෙයක් වියදම් වුනේ නෑ” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි, දාසයෙක් වෙලා හිටියා. ඔහු පස්සෙ කාලෙක ඒ දාසබවෙන් නිදහස් වුණා. තමාට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, තමන් කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබුනා. එතකොට ඔහුට මෙහෙම හිතුනා. “මං ඉස්සර තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි දාසයෙක් වෙලා හිටියා. ඒ මං දැන් ඒ දාසබවෙන් නිදහස් වෙලයි ඉන්නේ. මට සිතූ පරිදි ගත කරන, අනුන්ට යටත් නොවන, මං කැමැති පරිදි යා හැකි ජීවිතයක් ලැබිලා තියෙනවා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා. නමුත් ඔහු පසු කාලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා “මං කලින් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසුනා. නමුත් දැන් මා ඒ කාන්තාරයෙන් එතෙර වුනා. සුවසේම ගමන අවසන් කොට බිය, උවදුරු නැති ආරක්ෂාව ඇති තැනකට පැමිණුනා” කියලා. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි. භික්ෂුවත් (කලින්) ණයක් ගත්තා වගේ, ලෙඩ වුනා වගේ, හිරේවිලංගුවේ වැටුනා වගේ, වහල්බවට පත්වුනා වගේ, නිරුදක කතරකට පැමිණුනා වගේ මේ පංච නීවරණයන් ප්‍රහාණය නොවී තමා තුළ පවතින හැටි දකිනවා. නමුත් පින්වත් මහාරාජ, ඒ ණය ගෙවා දමා ණය රහිත වුනා වගේ, රෝගයෙන් නිදහස් වෙලා නීරෝග වුනා වගේ, වියදම් නැතුව හිරෙන් නිදහස් වුනා වගේ, දාසබවෙන් නිදහස් වුනා වගේ, නිරුදක කතර ගෙවා ආරක්ෂා සහිත ක්ෂේම භූමියකට පැමිණුනා වගේ තමයි. පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරුවී ඇති ආකාරයත් දකින්නේ.
ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දි මහත් සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා.
ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව, විතර්ක සහිත වූ, විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. (රජවරුන් ආදී පිරිස් නහවන) දක්ෂ නහවන්නෙක් හෝ නහවන කෙනෙකුගේ ගෝලයෙක් ඉන්නවා. ඔහු ලෝහ බඳුනක නානසුණු විසුරුවනවා. ඊට පස්සේ දිය ඉස ඉස පිඬු කරනවා. එතකොට ඒ නානසුණු පිඬට අර වතුර කාවදිනවා. හොඳින් තෙත් වෙනවා. ඒ නහන පිඬ ඇතුළත පිටත සෑම තැනම හොඳින් දිය පැතිරිලා තියෙනවා. පිටතට වැගිරෙන්නෙත් නෑ.
පින්වත් මහාරාජ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි විවේකයෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ. පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
පින්වත් මහාරාජ, තවදුරටත් කියනවා නම් භික්ෂුව විතක්ක විචාරයන්ගේ සංසිඳීමෙන් ආධ්‍යාත්මිකව පැහැදීම ඇතිව සිතෙහි මනා එකඟ බවෙන් යුතුව විතර්ක රහිත, විචාර රහිත, සමාධියෙන් හටගත්, ප්‍රීති සුඛය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා. ඔහු මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. යට දිය උල්පත්වලින් වතුර ගලන ගැඹුරු විලක් තියෙනවා. හැබැයි ඒ විලට නැගෙනහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. දකුණු පැත්තෙන් වතුර එන මගක් නෑ. බටහිර පැත්තෙන් වතුර එන මගක් නෑ. උතුරු පැත්තෙන් වතුර එන මගක් නෑ. වැස්සත් කලින් කලට පිළිවෙලකට වහින්නේ නෑ. එතකොට ඒ විලෙන්ම සීතල දියදහරා උල්පත්වලින් උඩට මතු වෙවී ඒ විලම සීතල ජලයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. වතුරෙන් පුරවනවා. හොඳින් පුරවනවා. ඒ මුළු විලේම සිහිල් ජලයෙන් පහස නොලැබූ කිසි තැනක් නෑ.
පින්වත් මහාරාජ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි සමාධියෙන් හටගත් ප්‍රීති සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
පින්වත් මහාරාජ, තවදුරටත් කියනවා නම් භික්ෂුව ප්‍රීතියටද නොඇලීමෙන් උපේක්ෂාවෙන් යුතුව වාසය කරනවා. සිහියෙන් නුවණින් යුතුව කයෙන් සැපයක්ද විඳිනවා. ආර්යයන් වහන්සේලා යම් ධ්‍යානයකට උපේක්ෂා සහගත සිහිය ඇති සැප විහරණය යැයි පවසනවාද, ඒ තුන්වෙනි ධ්‍යානයත් උපදවාගෙන වාසය කරනවා.
ඔහු මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. මහනෙල් විලක හෝ රතු නෙළුම් විලක හෝ සුදු නෙළුම් විලක හෝ ඇතැම් මහනෙල් වේවා, රතු නෙළුම් වේවා, සුදු නෙළුම් වේවා ඒ නෙළුම් ජලයේමයි හටගන්නේ. ජලයේමයි වැඩෙන්නේ. නමුත් ජලයෙන් උඩට ඇවිත් නෑ. ජලය තුළම ගිලී වැඩෙනවා. එතකොට ඒ නෙළුම් අග දක්වාත්, මුල දක්වාත් සීතල දියෙන් හොඳට තෙත් වෙලා තියෙන්නේ. මුළුමණින්ම තෙත් වෙලා තියෙන්නේ. පිරිලා තියෙන්නේ. හැමතැනම පැතිරිලා තියෙන්නේ. ඒ සෑම මහනෙල්වල, රතු නෙළුම්වල, සුදු නෙළුම්වල සීතල දිය නොපැතුරුණු කිසි තැනක් නෑ.
පින්වත් මහාරාජ, ඔය විදිහමයි. භික්ෂුව මේ කයම ප්‍රීති රහිත සුඛයෙන් හොඳට තෙත් කරනවා. මුළුමණින්ම තෙත් කරනවා. එයින් පුරවනවා. පිරිපුන්ව පුරවනවා. ඔහුගේ සියලු කයෙහි ප්‍රීති රහිත සුඛයෙන් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
පින්වත් මහාරාජ, නැවතත් කියනවා නම්, භික්ෂුව සැපයද ප්‍රහාණය කිරීමෙන්, දුකද ප්‍රහාණය කිරීමෙන් කලින්ම සොම්නස් දොම්නස් දෙක ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ උපේක්ෂා සහගත සතිය ඇති සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. ඔහු මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. සුදු වස්ත්‍රයකින් හිස සහිතව මුළු සිරුරම පොරොවාගෙන වාඩි වී සිටින කෙනෙක් ඉන්නවා. එතකොට ඔහුගේ මුළු කයෙහිම සුදු වස්ත්‍රයෙන් නොවැසුණු කිසි තැනක් නෑ. පින්වත් මහාරාජ, අන්න ඒ වගේමයි භික්ෂුව මේ කයම පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් පතුරුවා ගෙන වාඩි වී ඉන්නවා. ඔහුගේ සියලු කයෙහි පාරිශුද්ධ වූ ප්‍රභාශ්වර සිතින් ස්පර්ශ නොකළ කිසිතැනක් නෑ.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
පින්වත් මහාරාජ, තවදුරටත් කියනවා නම් භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුණ, අනිත්‍ය වූ, ඇතිල්ලීම් පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි.”
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. වෛරෝඩි මාණික්‍යයක් තියෙනවා. හරි ලස්සනට පහළ වුන දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. ඉතින් ඔය මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා. එතකොට ඇස් ඇති පුරුෂයෙක් මැණික අතට ගෙන හොඳින් විමසා බලනවා. “මේ වෛරෝඩි මැණික හරි ලස්සනට පහළ වුණ දෙයක්. අටපට්ටම්. හොඳින් ඔපමට්ටම්. ඉතාමත් හොඳයි. ඉතාම ප්‍රසන්නයි. පිවිතුරුයි. මැණිකක තිබිය යුතු හැම දෙයක්ම තියෙනවා. මේ මැණික තුළ නිල් වේවා, රන්වන් වේවා, රතු වේවා, සුදු වේවා, පඬු පැහැ වේවා, නූලක් අමුණලා තියෙනවා” කියලා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. එතකොට ඔහු මේ විදිහට දැනගන්නවා. “මාගේ මේ කය වනාහී සතර මහා භූතයන්ගෙන් හටගත්, මව්පියන් නිසා හටගත්, බත් වෑංජන ආදියෙන් වැඩුන, අනිත්‍ය වූ, ඇතිල්ලීම්, පිරිමැදීම්වලින් නඩත්තු කළ යුතු වූ, බිඳී වැනසී යන ස්වභාවයට අයත් වූ, රූපවත් (මහාභූත නම් වූ රූපයෙන් හැදුණු) දෙයක්. මාගේ මේ විඤ්ඤාණයද පවතින්නේ මේ සිරුරෙහිමයි. බැඳී තිබෙන්නේත් මෙහිමයි” කියලා.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් මුඤ්ජ තණ ගසෙන් තණ ගොබය ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ මුඤ්ජ තණ ගසයි. මේ තණ ගොබයයි. එතකොට මුඤ්ජ තණ ගස වෙන එකක්. තණ ගොබය වෙන එකක්. නමුත් මුඤ්ජ තණ ගසෙන්මයි තණ ගොබය ඇදලා ගත්තේ” කියලා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් කොපුවෙන් කඩුවක් ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ කඩුව. මේ කොපුව. එතකොට කඩුව අනෙකක්. කොපුව අනෙකක්. නමුත් කොපුවෙන් තමයි කඩුව ඇදලා ගත්තේ” කියලා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් නයි පෙට්ටියෙන් නයෙකුව ඇදලා ගන්නවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේ තමයි නයා. මේක නයි පෙට්ටිය. එතකොට නයා අනෙකෙක්. නයි පෙට්ටිය අනෙකක්. නමුත් නයි පෙට්ටියෙන් තමයි නයාව ඇදලා ගත්තේ” කියලා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, මනෝමය කයක් විශේෂයෙන් මැවීම පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි. ඉතින් ඔහු මේ කයෙන් වෙනත් වූ සියලු අඟපසඟ ඇති, නොපිරිහුණු ඉඳුරන් ඇති රූපී මනෝමය කයක් විශේෂ කොට මවනවා. පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි. තනි කෙනෙක්ව ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්න සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී, අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසරන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳගෙන අහසේ යනවා. මේ සා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමඳිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ කුඹල්කරුවෙක් හෝ කුඹල්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ මැට්ටෙන් යම් ම ආකාරයේ භාජනයක් හදන්න කැමැති නම්, ඒ ඒ ආකාරයේ බඳුන් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ ඇත්දත් කැටයම්කරුවෙක් හෝ ඇත්දත් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ ඇත්දතක යම් ම ආකාරයේ ඇත්දළ කැටයමක් කරන්න කැමති නම්, ඒ ඒ ආකාරයේ ඇත්දළ කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. දක්ෂ රන් කැටයම්කරුවෙක් හෝ රන් කැටයම්කරුවෙකුගේ අතවැසියෙක් ඉන්නවා. ඔහු ඉතා හොඳින් සකස් කළ රනක යම් ම ආකාරයේ රන් කැටයමක් කරන්නට කැමති නම්, ඒ ඒ ආකාරයේ රන් කැටයම් හදනවා. විශේෂයෙන් නිර්මාණය කරනවා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ඉර්ධි ප්‍රාතිහාර්ය පිණිස සිත මෙහෙයවයි. එයට සිත නතු කරයි. තනි කෙනෙක් ඉඳගෙන බොහෝ දෙනෙක් වශයෙන් වශයෙන් පෙනී සිටිනවා. බොහෝ දෙනෙක් වශයෙන් ඉඳගෙන එක්කෙනෙක් වශයෙන් පෙනී සිටිනවා. පෙනෙන්නට සළස්වනවා. නොපෙනී යනවා. බිත්තිය විනිවිද, ප්‍රාකාරය විනිවිද, පර්වතය විනිවිද කිසිවක් හා නොගැටී, අහසේ යන්නාක් මෙන් යනවා. ජලයේ වගේ පොළොවෙහි කිඳාබැසීමත්, උඩට මතුවීමත් කරනවා. පොළොව මතුපිට වගේ ජලය මත නොගිලී ඇවිද යනවා. අහසෙහි පියාසරන කුරුල්ලන් පරිද්දෙන් පළඟක් බැඳ ගෙන අහසේ යනවා. මේසා මහත් ඉර්ධි ඇති, මහානුභාව ඇති හිරු සඳු පවා අතින් අල්ලනවා. පිරිමඳිනවා. බඹලොව දක්වාම කයෙන් වශී කරගෙන ඉන්නවා.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. දිගු ගමනකට පිළිපන් පුරුෂයෙක් ඉන්නවා. ඔහු බෙර හඬත්, මිහිඟු බෙර හඬත්, සක්, පනා බෙර, ගැට බෙර හඬත් අසනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේක බෙර හඬ, මේ තමයි මිහිඟු බෙර හඬ, මේක සක් හඬ, මේක පනා බෙර හඬ, මේක ගැට බෙර හඬ” කියලා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, දිව්‍ය වූ ශ්‍රවණය පිණිස සිත යොමු කරනවා. එයට සිත නතු කරනවා. එතකොට ඔහු මිනිසුන්ගේ සවන් දීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ, දිව්‍ය වූ ශ්‍රවණයෙන් මානුෂික වූත්, දිව්‍ය වූත් දෙයාකාර වූ දුර ළඟ ශබ්දයන් අසනවා.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ, වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා. රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකුළුණු සිත හැකිළුණු සිතක් වශයෙන් දැනගන්නවා. විසිරුණු සිත විසිරුණු සිතක් වශයෙන් දැනගන්නවා. සමාධිමත් සිත සමාධිමත් සිතක් වශයෙන් දැනගන්නවා. සමාධි රහිත සිත සමාධි රහිත සිතක් වශයෙන් දැනගන්නවා. නොදියුණු සිත නොදියුණු සිතක් වශයෙන් දැනගන්නවා. දියුණු සිත දියුණු සිතක් වශයෙන් දැනගන්නවා. එකඟ වෙන සිත එකඟ වෙන සිතක් වශයෙන් දැනගන්නවා. එකඟ නොවෙන සිත එකඟ නොවෙන සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන්ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. ලස්සනට සැරසෙන්නට කැමති ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ දරුවෙක් හෝ තරුණයෙක් හෝ ඉන්නවා. ඔහු පිරිසිදු දීප්තිමත් කණ්ණාඩියක් ඉදිරියේ හෝ පැහැදිලි දිය ඇති බඳුනකින් හෝ තමන්ගේ මුව මඬල හොඳින් විමසා බලනවා. එතකොට දොස් ඇති තැන දොස් ඇති තැන වශයෙන් දැනගන්නවා. දොස් නැති තැන දොස් නැති තැන වශයෙන් දැනගන්නවා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි. භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අනුන්ගේ සිත් පිරිසිඳ දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි.
එතකොට ඔහු වෙනත් සත්වයන්ගේ වෙනත් පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දැනගන්නවා. රාග සහිත සිත රාග සහිත සිතක් වශයෙන් දැනගන්නවා. රාග රහිත සිත වීතරාගී සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ සහිත සිත ද්වේෂ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. ද්වේෂ රහිත සිත වීතදෝසී සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ සහිත සිත මෝහ සහිත සිතක් වශයෙන් දැනගන්නවා. මෝහ රහිත සිත වීතමෝහී සිතක් වශයෙන් දැනගන්නවා. හැකුළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. සමාධිමත් සිත ….(පෙ)…. සමාධි රහිත සිත ….(පෙ)…. නොදියුණු සිත ….(පෙ)…. දියුණු සිත ….(පෙ)…. එකඟ වෙන සිත ….(පෙ)…. එකඟ නොවෙන සිත ….(පෙ)…. කෙලෙසුන්ගෙන් මිදුණු සිත කෙලෙසුන්ගෙන් මිදුණු සිතක් වශයෙන් දැනගන්නවා. කෙලෙසුන් ගෙන් නොමිදුණු සිත කෙලෙසුන්ගෙන් නොමිදුණු සිතක් වශයෙන් දැනගන්නවා.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. “මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුනේ මේකයි. ගෝත්‍රනාමය මේකයි. හැඩරුව වුනේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. මං එතැනින් චුත වුනා. මේ ලෝකෙ උපන්නා” ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහි කරනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමන්ගේ ගමෙන් වෙනත් ගමකට යනවා. ඒ ගමෙන් තවත් ගමකට යනවා. ඒ ගමෙන් යළි තමන්ගේ ගමට එනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මං මගේ ගමෙන් අසවල් ගමට ගියා. මං එහෙදී මෙහෙමයි හිටියේ. මෙහෙමයි වාඩි වුනේ. මෙහෙමයි කතාබහ කළේ. මෙහෙමයි නිශ්ශබ්දව සිටියේ. ඉතින් මං ඒ ගමෙනුත් අසවල් ගමට ගියා. එහෙ හිටියේ මේ විදිහටයි. වාඩිවුනේ මේ විදිහටයි. කතාබස් කළේ මේ විදිහටයි. නිහඬව සිටියේ මේ විදිහටයි. ඒ මං ඒ ගමෙන් මගේ ගමටම නැවත ආවා” කියලා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි, භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, කලින් ජීවිතය ගත කළ ආකාරය දන්නා නුවණ පිණිස සිත යොමු කරයි. එයට සිත නතු කරයි. ඉතින් ඔහු නොයෙක් ආකාරයෙන් කලින් ජීවිත ගෙවූ හැටි (ආපස්සට) සිහිකරනවා. ඒ කියන්නේ එක ජීවිතයක්, ජීවිත දෙකක්, ජීවිත තුනක්, ජීවිත හතරක්, ජීවිත පහක්, ජීවිත දහයක්, ජීවිත විස්සක්, ජීවිත තිහක්, ජීවිත හතළිහක්, ජීවිත පනහක්, ජීවිත සියයක්, ජීවිත දහසක්, ජීවිත ලක්ෂයක්; අනේකවිධ වූ සංවට්ට කල්පයන්ද, අනේකවිධ වූ විවට්ට කල්පයන්ද, අනේකවිධ වූ සංවට්ට විවට්ට කල්පයන්ද සිහිකරනවා. “මං ඉස්සර සිටියේ අසවල් තැන, එතකොට මගේ නම මේකයි. ගෝත්‍ර නාමය මේකයි. හැඩරුව මෙහෙමයි. කෑම බීම මෙහෙමයි. දුක් සැප වින්ඳේ මේ විදිහටයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. ඒ මං එතැනින් චුත වුනා. අසවල් තැන උපන්නා. එතකොට මගේ නම වුනේ මේකයි. ගෝත්‍රනාමය මේකයි. හැඩරුව වුනේ මෙහෙමයි. කෑවේ බිව්වේ මෙහෙමයි. සැප දුක් වින්ඳේ මෙහෙමයි. මේ විදිහටයි ජීවිතය අවසන් වුනේ. මං එතැනින් චුත වුනා. මේ ලෝකෙ උපන්නා” ආදී වශයෙන් ආකාර සහිතව සවිස්තරව අනේක ප්‍රකාර වූ කලින් ගත කළ ජීවිත ගැන සිහිකරනවා.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. “අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා” කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. හතරමං හන්දියක තට්ටු නිවසක් තියෙනවා. එහි ඇස් ඇති පුරුෂයෙක් සිටගෙන බලාගෙන ඉන්නවා. ඔහු (පහළ) ගෙට ඇතුළු වන්නා වූත්, නික්මෙන්නා වූත්, වීදියේ එහාට මෙහාට ඇවිදින්නා වූත්, හතරමං හන්දිය මැද වාඩි වී සිටින්නා වූත් මිනිසුන් දකිනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා “මේ මිනිසුන් ගෙට ඇතුළු වෙනවා. මේ උදවිය ගෙයින් නික්මෙනවා. මේ උදවිය වීදියේ එහාට මෙහාට ඇවිදිනවා. මේ උදවිය හතරමං හන්දිය මැද වාඩිවෙලා ඉන්නවා” කියලා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, සත්වයන්ගේ චුතියත්, උපතත් දකිනා නුවණ පිණිස සිත පිහිටුවනවා. එයට සිත නතු කරනවා. එතකොට ඒ භික්ෂුව මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා. “අහෝ! මේ භවත් සත්වයන් කයින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, මනසින් දුෂ්චරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස කරලා, මිසදිටු වෙලා, මිසදිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ අපාය නම් වූ දුගතිය නම් වූ විනිපාත නම් වූ නිරයේ ඉපදිලා ඉන්නවා. ඒ වගේම මේ භවත් සත්වයන් කයින් සුචරිතයෙහි යෙදීම නිසා, වචනයෙන් සුචරිතයෙහි යෙදීම නිසා, මනසින් සුචරිතයෙහි යෙදීම නිසා, ආර්යයන් වහන්සේලාට අපහාස නොකොට, සම්දිටු වෙලා, සම්දිටු දේවල් සමාදන් වෙලා ඉඳලා තියෙනවා. ඔවුන් කය බිඳී මරණයෙන් මත්තේ සුගතිය නම් වූ, ස්වර්ග ලෝකයෙහි ඉපදිලා ඉන්නවා” කියලා. මේ විදිහට මිනිසුන්ගේ දැකීමේ හැකියාව ඉක්මවා ගිය පිරිසිදු වූ දිවැසින් චුත වන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකිනවා. ඒ ඒ කර්මයන්ට අනුව හීන ප්‍රණීත වූත්, යහපත් අයහපත් වූත්, සුගති දුගතිවල සිටින්නා වූ සත්වයන් දකිනවා.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, අකම්පිතව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුණ බවට ඤාණය ඇතිවෙනවා. “ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ” යැයි අවබෝධයෙන් ම දැනගන්නවා.
පින්වත් මහාරාජ, ඒක මේ වගේ දෙයක්. පර්වත මුදුනක ජලාශයක් තියෙනවා. එහි ජලය ඉතා හොඳයි. හරිම ප්‍රසන්නයි. කැළඹිලා නෑ. එතැන ඇස් ඇති පුරුෂයෙක් ඒ ඉවුරේ සිටගෙන ජලාශය දෙස බලා සිටිනවා. එතකොට ඔහුට සිප්පිබෙල්ලනුත්, සක්බෙල්ලනුත්, කැටකැබලිත්, මාළු රංචු ආදියත් හැසිරෙන අයුරු, සිටින අයුරු දකින්නට ලැබෙනවා. එතකොට ඔහුට මෙහෙම හිතෙනවා. “මේක ඉතා හොඳ ජලය ඇති හරිම ප්‍රසන්න වූ නොකැළඹුණු දිය ඇති විලක්. මෙහි මේ සිප්පිබෙල්ලන්, සක්බෙල්ලන්, කැටකැබලිති, මාළු රංචුත් හැසිරෙනවා නෙව. ඉන්නවා නෙව” කියලා.
පින්වත් මහාරාජ, අන්න ඒ විදිහමයි භික්ෂුව ඔය අයුරින් සිත සමාධිමත් වූ විට, සිත පිරිසිදු වූ විට, ප්‍රභාෂ්වර වූ විට, කෙලෙසුන්ගෙන් බාධා රහිත වූ විට, උපක්ලේශ බැහැර වූ විට, මෘදුබවට පත් වූ විට, කර්මණ්‍ය (ඕනෑම දෙයකට හැරවිය හැකි පරිදි සකස්) වූ විට, ස්ථිරව පිහිටි විට, ආශ්‍රවයන් ක්ෂය වීම පිළිබඳ දන්නා නුවණ පිණිස සිත පිහිටුවනවා. සිත එයට නතු කරනවා. එතකොට ඔහු මෙය දුක නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුකේ හටගැනීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය දුක නිරුද්ධ වීම පිණිස පවතින මාර්ගය නම් වූ ආර්ය සත්‍යයයි කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මේවා ආශ්‍රවයන් කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රවයන්ගේ හටගැනීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා. මෙය ආශ්‍රව නිරුද්ධ වීම පිණිස පවතින ප්‍රතිපදාව කියලා යථාර්ථ වශයෙන්ම දැනගන්නවා.
ඒ භික්ෂුව ඔය විදිහට දැනගනිද්දී, ඔය විදිහට දැකගනිද්දී කාම ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. භව ආශ්‍රවයන් ගෙන් සිත නිදහස් වෙනවා. අවිද්‍යා ආශ්‍රවයන්ගෙන් සිත නිදහස් වෙනවා. නිදහස් වූ විට නිදහස් වුණ බවට ඤාණය ඇතිවෙනවා. “ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කළා. කළ යුතු දෙය කළා. නැවත සසර ගමනක් නැතැ”යි අවබෝධයෙන්ම දැනගන්නවා.
පින්වත් මහාරාජ, මෙයත් අර කලින් කියන ලද ශ්‍රමණ ඵලයන්ට වඩා අතිශයින් සොඳුරු වූත්, ප්‍රණීත වූත් මේ ජීවිතයේදීම ලද හැකි පැවිදි දිවියේ ඵලයකි. පින්වත් මහාරාජ, මෙලොවදීම දැක්ක හැකි පැවිදි ජීවිතයේ මෙම ප්‍රතිඵලයට වඩා වෙනස් වූත්, උත්තරීතර වූත්, ප්‍රණීතතර වූත් සන්දිට්ඨික ශ්‍රමණඵලයක් නම් නෑ.
මෙසේ වදාළ විට වේදේහි පුත්‍ර වූ අජාසත් මගධරජු භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළා. “ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මං මුලා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්නට අඳුරෙහි තෙල් පහනක් දල්වාගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත් ආර්ය මහා සංඝ රත්නයත් සරණ යනවා. ස්වාමීනී, මං ගැන අද පටන් දිවි තිබෙන තුරාවටම තෙරුවන් සරණ ගිය උපාසකයෙක් ලෙස සළකන සේක්වා! ස්වාමීනී, බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අදක්ෂයෙක් වගේ, යම්බඳු මං ධාර්මික වූත්, ධාර්මික රජකෙනෙකු වූත් පියාණන්ව රාජ ඉසුරු කරණ කොට ගෙන ජීවිතයෙන් තොර කළා. ඒ වරද මාව යට කරගෙන තියෙනවා. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, මාගේ ඒ වරද මත්තෙහි සංවර වීම පිණිස වරදක් වශයෙන්ම පිළිගන්නා සේක්වා!”
පින්වත් මහාරාජ, ඒකාන්තයෙන්ම බාලයෙක් වගේ, මෝඩයෙක් වගේ, අදක්ෂයෙක් වගේ සිටිමින් කළ ඒ වරද ඔබව යට කරගෙන ගියා. යම්බඳු ඔබ ධාර්මික වූ, ධාර්මික රජු වූ තම පියාණන් ජීවිතයෙන් තොර කළා නෙව. නමුත් පින්වත් මහාරාජ, ඔබ යම් කලෙක වරද වරද වශයෙන් දැක ධර්මයට අනුව ප්‍රතිකර්ම කරයි නම් ඔබේ ඒ වරද (පිළිගෙන නිවැරදි වූ බවට) අපි පිළිගන්නවා. පින්වත් මහාරාජ, වරද වරද වශයෙන් දැකලා ධර්මානුකූල ප්‍රතිකර්ම කරනවා නම්, මත්තෙහි සංවර වෙනවා නම්, ඒක ආර්ය විනයෙහි (බුදු සසුනෙහි) අභිවෘද්ධියක්මයි.
මෙසේ වදාළ විට වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “එහෙම නම් ස්වාමීනී, අපි දැන් යන්නම්. අපට බොහෝ වැඩ තියෙනවා නෙව. බොහෝ කටයුතු තියෙනවා නෙව.”
“පින්වත් මහාරාජ, යම් ගමනකට කල් දන්නවා නම් දැන් එයට කාලයයි.”
ඉතින් වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ආදරයෙන් පිළිගෙන, අනුමෝදන් වෙලා, අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියා.
එතකොට වේදේහි පුත්‍ර අජාසත් මගධ රජු පිටත් වී ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් අමතා වදාළා. “පින්වත් මහණෙනි, මේ රජ්ජුරුවන් දහම දකින වාසනාව නැමැති මුල් ගැලවී ගිය කෙනෙක්, පින්වත් මහණෙනි, මේ රජ්ජුරුවන් දහම දැකීමේ වාසනාව මුළුමණින්ම විනාශ කරගත් කෙනෙක්. පින්වත් මහණෙනි, ඉදින් මේ රජ්ජුරුවන් ධාර්මික වූත්, ධාර්මික රජු වූ තම පියාණන්ව ජීවිතයෙන් තොර කළේ නැත්නම්, මේ ආසනයේදීම කෙලෙස් රහිත වූ, මළ රහිත වූ, දහම් ඇස (සෝවාන්) පහළ වෙලා ඉවරයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළා. සතුටු සිත් ඇති ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙම දේශනය සතුටින් පිළිගත්තා.
සාදු! සාදු!! සාදු!!!
දෙවෙනි සාමඤ්ඤඵල සූත්‍රය නිමාවිය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M