ඛුද්දක නිකාය

ධම්මපදය

9. පාප වග්ගෝ

9. පව් ගැන වදාළ කොටස

116.1. අභිත්ථරේථ කල්‍යාණේ
පාපා චිත්තං නිවාරයේ
දන්ධං හි කරෝතෝ පුඤ්ඤං
පාපස්මිං රමතී මනෝ

දාන, සීල, භාවනා ආදී යහපත් පින්කම් ඉක්මනට කරගන්නට ඕනෙ. ඒ වගේම පාපයෙන් හිත වළක්වගන්ටත් ඕන. ඕනකමක් නැතුව, පමා වෙවී පින් කරගන්ට ගියොත්, තමන්ටත් නොදැනීම පව් වලට හිත ඇලෙනවා.

(ජේතවනාරාමයේදී චූලේකසාටක බමුණා අරභයා වදාළ ගාථාවකි.)

117.2. පාපං චේ පුරිසෝ කයිරා
න තං කයිරා පුනප්පුනං
න තම්හි ඡන්දං කයිරාථ
දුක්ඛෝ පාපස්ස උච්චයෝ

යම්කිසි පුද්ගලයෙක් නොතේරුම්කමකින් සිත, කය, වචනය කියන තුන් දොරින් යම් පවක් කළොත්, ආයෙ ආයෙමත් නම් ඒ පාපය කරන්ට එපා! එබඳු පව් ගැන හිතේ කැමැත්තක්වත් ඇතිකරගන්ට එපා. ‘දුක’ කියල කියන්නෙ පවටමයි.

(ජේතවනාරාමයේදී සෙය්‍යසක තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

118.3. පුඤ්ඤං චේ පුරිසෝ කයිරා
කයිරාථේතං පුනප්පුනං
තම්හි ඡන්දං කයිරාථ
සුඛෝ පුඤ්ඤස්ස උච්චයෝ

යම්කිසි පුද්ගලයෙක් ශ්‍රද්ධාවෙන් යුක්තව, සිත, කය, වචනය යන තුන් දොරින් පින් කළොත්, ආයෙ ආයෙමත් කරගන්න ඕන වෙන්නෙ ඒ පිනමයි. පින් කිරීම ගැනමයි හිතේ කැමැත්ත ඇතිකරගන්න ඕන. “සැප” කියල කියන්නෙ පිනටමයි.

(ජේතවනාරාමයේදී ලාජා දෙව්දුව අරභයා වදාළ ගාථාවකි.)

119.4. පාපෝ’පි පස්සති භද්‍රං
යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං
අථ පාපෝ පාපානි පස්සති

කරගත්තු පව් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පුද්ගලයාට ඒ පව් ලස්සන දෙයක් වගේ පේන්නෙ. නමුත් විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පව්වල හැබෑ ස්වභාවය ඒ පාපී පුද්ගලයාට පේන්නේ.

120.5. භද්‍රෝ’පි පස්සති පාපං
යාව භද්‍රං න පච්චති
යදා ච පච්චති භද්‍රං
අථ භද්‍රෝ භද්‍රානි පස්සති

කරගත්තු පින් විපාක නොදී තියෙන කල් විතරයි ඒ පින පාඩුවක් හැටියට පේන්නේ. නමුත් පින විපාක දෙන්න පටන්ගත්තු දවසට තමයි ඒ පිනේ හැබෑ ස්වභාවය පිනක් වශයෙන් ම අඳුනගන්නේ.

(ජේතවනාරාමයේදී අනේපිඬු සිටුතුමාගේ මාලිගයේ සිටි දෙව්දුව අරභයා වදාළ ගාථාවන්ය.)

121.6. මා’වමඤ්ඤේථ පාපස්ස
න මන්තං ආගමිස්සති
උදබින්දුනිපාතේන
උදකුම්භෝ’පි පූරති
පූරති බාලෝ පාපස්ස
ථෝකථෝකම්පි ආචිනං

“ඕක ඉතින් පොඩි පවක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා! වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නෙ. අඥාන පුද්ගලයාත් ටික ටික වුණත් පව් කරන කොට, ඒ පව් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පව් වලින්ම පිරිලා යනවා.

(ජේතවනාරාමයේදී සඟසතු දේ ගැන නොසැළකිලිමත් වූ භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

122.7. මා’වමඤ්ඤේථ පුඤ්ඤස්ස
න මං තං ආගමිස්සති
උදබින්දුනිපාතේන
උදකුම්භෝ’පි පූරති
පූරති ධීරෝ පුඤ්ඤස්ස
ථෝකථෝකම්පි ආචිනං

“ඕක ඉතින් පොඩි පිනක් නෙ” කියලා තමන්ට විපාක දෙන්ට තමා කරා එන්නෙ නෑ කියලා ගණන් නොගෙන ඉන්ට එපා. වතුර වුණත් බිංදුව බිංදුව වැටිලා තමයි කළයක් පිරෙන්නෙ. බුද්ධිමත් පුද්ගලයාත් ටික ටික වුණත් පින් කරන කොට, ඒ පින් එකතුවෙලා අන්තිමේදී ජීවිතය පිනෙන්ම පිරිලා යනවා.

(ජේතවනාරාමයේදී බිළාල පාදක සිටුතුමා අරභයා වදාළ ගාථාවකි.)

123.8. වාණිජෝ’ව භයං මග්ගං
අප්පසත්ථෝ මහද්ධනෝ
විසං ජීවිතුකාමෝ’ව
පාපානි පරිවජ්ජයේ

හොඳට මිළ මුදල් තියෙන වෙළෙන්දෙකුට සේවකයන් ටික දෙනයි නම් ඉන්නෙ, ඔහු භයානක ගමන් බිමන් අත්හරිනවා. ජීවත්වෙන්ට ආස කෙනා භයානක වස විස වර්ග ආහාරයට ගන්නෙ නෑ. ඒ විදිහට හැම පවක්ම දුරු කළ යුතුයි.

(ජේතවනාරාමයේදී මහාධන වෙළෙන්දා අරභයා වදාළ ගාථාවකි.)

124.9. පාණිම්හි චේ වණෝ නාස්ස
හරෙය්‍ය පාණිනා විසං
නාබ්බණං විසමන්වේති
නත්ථි පාපං අකුබ්බතෝ

අතේ තුවාලයක් නැත්නම්, ඒ අතින් ඕනෑම වසක් විසක් වුණත් අරගෙන යන්ට පුළුවනි. අතේ තුවාලයක් නැති නිසා ඒ විස ශරීරයට ඇතුළු වෙන්නෙ නෑ. අන්න ඒ වගේම පව් නොකරන කෙනෙකුට විපාක දෙන්ට පාපයක් නෑ.

(වේළුවනාරාමයේදී කුක්කුටමිත්ත වැද්දා අරභයා වදාළ ගාථාවකි.)

125.10. යෝ අප්පදුට්ඨස්ස නරස්ස දුස්සති
සුද්ධස්ස පෝසස්ස අනංගණස්ස
තමේව බාලං පච්චේති පාපං
සුඛුමෝ රජෝ පටිවාතං’ව ඛිත්තෝ

කාටවත් අපරාධයක් නොකරන, නිකෙලෙස්, පිරිසිදු කෙනෙකුට කවුරුහරි අපරාධයක් කළොත්, උඩු හුළඟට දාපු සියුම් දූවිල්ලක් ආපසු තමන් කරාම එනවා වගේ, ඒ අඥාන පුද්ගලයා කරාම නපුරු විපාක ගමන් කරනවා.

(ජේතවනාරාමයේදී කෝක වැද්දා අරභයා වදාළ ගාථාවකි.)

126.11. ගබ්භමේකේ උප්පජ්ජන්ති
නිරයං පාපකම්මිනෝ
සග්ගං සුගතිනෝ යන්ති
පරිනිබ්බන්ති අනාසවා

සමහර කෙනෙක් ආයෙමත් ගර්භාෂයක උපදිනවා. පව් කරගත්තු උදවිය නිරයේ උපදිනවා. පින් කරගත්තු උදවිය සුගතියෙ උපදිනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු මුනිවරු ආශ්‍රව නැතිකරලා පිරිනිවන් පානවා.

(ජේතවනාරාමයේදී මණිකාර කුලුපගතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

127.12. න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතෝ මුච්චෙය්‍ය පාපකම්මා

යම් තැනක සැඟවිලා, පව්වල විපාකයෙන් ගැලවෙන්න පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකයේ කොහේවත් නෑ.

(ජේතවනාරාමයේදී භික්ෂූන් තුන් පිරිසක් අරභයා වදාළ ගාථාවකි.)

128.13. න අන්තලික්ඛේ න සමුද්දමජ්ඣේ
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සෝ ජගතිප්පදේසෝ
යත්ථට්ඨිතං නප්පසහේථ මච්චු

යම් තැනක සැඟවිලා මරණයෙන් ගැලවෙන්ට පුළුවන් නම්, එබඳු තැනක් අහසෙත් නෑ. මුහුද මැදත් නෑ. කන්දක් අස්සෙ ගුහාවක හැංගුණත් නෑ. එබඳු තැනක් ලෝකයේ කොහේවත් නෑ.

(නිග්‍රෝධාරාමයේදී සුප්පබුද්ධ ශාක්‍ය රජු අරභයා වදාළ ගාථාවකි.)

සාදු! සාදු!! සාදු!!!

පව් කිරීම ගැන වදාළ කොටස නිමා විය.

(පාප වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M