ඛුද්දක නිකාය

ධම්මපදය

3. චිත්ත වග්ගෝ

3. සිත ගැන වදාළ කොටස

33.1. ඵන්දනං චපලං චිත්තං
දුරක්ඛං දුන්නිවාරයං
උජුං කරෝති මේධාවී
උසුකාරෝ’ව තේජනං

හිත කියලා කියන්නේ අරමුණක් පාසා සැලෙන දෙයක්. චපල දෙයක්. රැකගන්නට අමාරු දෙයක්. වරදින් වළක්වන්ටත් අමාරු දෙයක්. නමුත් බුද්ධිමත් කෙනා (ධර්මයේ පිහිටලා) එබඳු සිත පවා ඍජු කරගන්නවා. ඇද කුද හැරලා ඊ දණ්ඩක් ඍජු කරන හී වඩුවෙක් වගේ.

34.2. වාරිජෝ’ව ථලේ ඛිත්තෝ
ඕකමෝකත උබ්භතෝ
පරිඵන්දති’දං චිත්තං
මාරධෙය්‍යං පහාතවේ

වතුරෙන් ගොඩට ගත්තු මාළුවෙක් දඟලනවා වගේ මේ හිත අරමුණෙන් අරමුණට දඟල දඟල තියෙන්නේ. එබඳු සැලෙන සිතකින් යුක්ත නිසා, සකස් වෙලා තියෙන මේ මාර උගුල දුරුකරන්ට ම යි ඕනෙ.

(වාලිකා පර්වතයේදී මේඝීය තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)

35.3. දුන්නිග්ගහස්ස ලහුනෝ
යත්ථකාමනිපාතිනෝ
චිත්තස්ස දමථෝ සාධු
චිත්තං දන්තං සුඛාවහං

මේ ‘සිත’ කියන්නේ නිග්‍රහ කරලා දමනය කරන්නට අමාරු දෙයක්. එක මොහොතින් වෙනස් වෙනවා. ආස කරන දේටමයි ඇදිලා යන්නේ. එබඳු සිතක් දමනය කරගැනීම කොයිතරම් හොඳ දෙයක්ද. දමනය කළ සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.

(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

36.4. සුදුද්දසං සුනිපුනං
යත්ථකාමනිපාතිනං
චිත්තං රක්ඛේථ මේධාවී
චිත්තං ගුත්තං සුඛාවහං

සිතේ ඇත්ත ස්වභාවය දකින එක හරිම අමාරුයි. ඒ වගේම සිත ගොඩක් සියුම්. හිතුමනාපෙ ආසකරන දේටම ඇදිලා යනවා. බුද්ධිමත් කෙනා තමයි එබඳු සිත නොමඟට වැටෙන්නට නොදී රැක ගන්නේ. හොඳින් රැකගත් සිතින් මහා සැපයක් ලබන්නට පුළුවනි.

(සැවැත් නුවරදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

37.5. දූරංගමං ඒකචරං
අසරීරං ගුහාසයං
යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
මොක්ඛන්ති මාරබන්ධනා

මේ සිතට බොහෝම දුර ගමන් තියෙනවා. හැබැයි තනියම තමයි යන්නෙ. හිතට ඇඟක් නෑ. නමුත් මේ සිත වාසය කරන්නෙ ශරීරය නමැති ගුහාවෙ. යම් කෙනෙක් එබඳු සිත දමනය කරගත්තොත්, අන්න ඒ උදවියට මේ මාර බන්ධනයෙන් නිදහස් වෙන්ට පුළුවනි.

(සැවැත් නුවරදී භාගිනෙය්‍ය සංඝරක්ඛිත තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

38.6. අනවට්ඨිතචිත්තස්ස
සද්ධම්මං අවිජානතෝ
පරිප්ලවපසාදස්ස
පඤ්ඤා න පරිපූරති

ධර්මයේ හැසිරෙන අදහස තුළ ස්ථිරව පිහිටන්ට බැරි සිතක් නම් තියෙන්නේ, සද්ධර්මය දන්නෙත් නැත්නම්, අවබෝධයක් නැතුව පහදින ඉල්පෙන ශ්‍රද්ධාවක් නම් තියෙන්නෙ, ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නෙ නෑ.

39.7. අනවස්සුතචිත්තස්ස
අනන්වාහතචේතසෝ
පුඤ්ඤපාපපහීනස්ස
නත්ථි ජාගරතෝ භයං

රාගයෙන් තෙත් නොවන සිතක් ඇති කෙනාට, ද්වේෂයෙන් ගුටි නොකන සිතක් ඇති කෙනාට, පින් පව් දෙකම නැතිකර දැමූ කෙනාට, නොනිදා භාවනා කරන කෙනාට කිසි භයක් නෑ.

(සැවැත් නුවරදී චිත්තහත්ථ තෙරුන් අරභයා වදාළ ගාථාවන්ය.)

40.8. කුම්භූපමං කායමිමං විදිත්වා
නගරූපමං චිත්තමිදං ඨපෙත්වා
යෝධේථ මාරං පඤ්ඤායුධේන
ජිතඤ්ච රක්ඛේ අනිවේසනෝ සියා

වහා බිඳී යන මැටි බඳුනක් වගේ කියලයි මේ කය ගැන දැනගන්නට ඕනෙ. හොඳට ආරක්ෂාව තියෙන නගරයක් විදිහටයි මේ හිත තබාගන්ට ඕනෙ. මාරයත් එක්ක යුද්ධ කරන්ට තියෙන්නෙ ප්‍රඥාව නැමැති ආයුධයෙන්. යුද්ධෙන් ජය අරගෙන ඒක රැක ගන්ට ඕනෙ. ආයෙමත් සංසාරෙට නවාතැන් නම් හදන්ට ඕනෙ නෑ.

(ජේතවනාරාමයේදී විදසුන් වැඩූ පන්සියයක් භික්ෂූන් අරභයා වදාළ ගාථාවකි.)

41.9. අචිරං වතයං කායෝ
පඨවිං අධිසෙස්සති
ඡුද්ධෝ අපේතවිඤ්ඤාණෝ
නිරත්ථං’ව කලිංගරං

ඇත්තෙන්ම මේ ශරීරය එච්චර කාලයක් තියෙන එකක් නොවෙයි. විඤ්ඤාණය පහ වුණාට පස්සෙ වැඩකට ගන්ට බැරි දරකඩක් වගේ, මහ පොළොවෙ වැතිරෙනවා.

(සැවැත් නුවරදී පූතිගත්තතිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

42.10. දිසෝ දිසං යන්තං කයිරා
වේරී වා පන වේරිනං
මිච්ඡාපණිහිතං චිත්තං
පාපියෝ නං තතෝ කරේ

හොරෙක් තවත් හොරෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, වෛරක්කාරයෙක් තවත් වෛරක්කාරයෙකුට දරුණු විපතක් කරනවාටත් වඩා, මිථ්‍යා දෘෂ්ටියේ පිහිටුවා ගත් සිත විසින්, තමාව ඊටත් වඩා පාපියෙකු කරනවා.

(කොසොල් ජනපදයේදී නන්ද ගොපල්ලා අරභයා වදාළ ගාථාවකි.)

43.11. න තං මාතා පිතා කයිරා
අඤ්ඤේ වා පි ච ඤාතකා
සම්මාපණිහිතං චිත්තං
සෙය්‍යසෝ නං තතෝ කරේ

මේ වැඩේ තමන්ගේ අම්මා විසින් කරලා දෙන්නෙත් නෑ. තාත්තා විසින් කරලා දෙන්නෙත් නෑ. වෙන ඤාතියෙක් කරලා දෙන්නෙත් නෑ. ඒ වැඬේ තමයි යහපත් කොට ධර්මය තුළ හිත පිහිටුවාගන්න එක. ඒ හේතුවෙන්මයි ඔහු උතුම් කෙනෙක් බවට පත්වෙන්නේ.

(ජේතවනාරාමයේදී සෝරෙය්‍ය සිටුතුමා අරභයා වදාළ ගාථාවකි.)

සාදු! සාදු!! සාදු!!!

සිත ගැන වදාළ කොටස නිමා විය.

(චිත්ත වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M