ඛුද්දක නිකාය

ධම්මපදය

17. කෝධ වග්ගෝ

17. ක්‍රෝධය ගැන වදාළ කොටස

221.1. කෝධං ජහේ විප්පජහෙය්‍ය මානං
සඤ්ඤෝජනං සබ්බමතික්කමෙය්‍ය
තං නාමරූපස්මිං අසජ්ජමානං
අකිඤ්චනං නානුපතන්ති දුක්ඛා

මේ ක්‍රෝධය දුරුකරන්ට ඕනෙ. මේ මාන්නය විශේෂයෙන්ම දුරු කළ යුතු දෙයක්. සංසාර බන්ධන ඔක්කොම ඉක්මවා යන්ට ඕනෙ. නාමරූප දෙකේ නොඇලෙන නිකෙලෙස් පුද්ගලයා පිටුපසින් දුක හඹාගෙන යන්නෙ නෑ.

(නිග්‍රෝධාරාමයේදී රෝහිණී කුමරිය අරභයා වදාළ ගාථාවකි.)

222.2. යෝ වේ උප්පතිතං කෝධං
රථං භන්තං’ව ධාරයේ
තමහං සාරථිං බ්‍රෑමි
රස්මිග්ගාහෝ ඉතරෝ ජනෝ

යමෙක් තමන් තුළ හටගත් ක්‍රෝධය නැති කරලා දැම්මොත්, ඔහු වේගයෙන් ගමන් කරන රථයක් පාලනය කරලා, නියම පාරට දාගත්තා වගේ. ඔහුට තමයි මං නියම රියදුරා කියන්නෙ. අනිත් උදවිය නිකං රැහැන්පට අල්ලගෙන ඉන්නවා විතරයි.

(අග්ගාලව චේතියේදී එක්තරා භික්ෂුවක් අරභයා වදාළ ගාථාවකි.)

223.3. අක්කෝධේන ජිනේ කෝධං
අසාධුං සාධුනා ජිනේ
ජිනේ කදරියං දානේන
සච්චේන අලිකවාදිනං

ක්‍රෝධය ජයගන්ට තිබෙන්නේ ක්‍රෝධ නොකිරීමෙන්මයි. අයහපත ජයගන්ට තිබෙන්නේ යහපතින්මයි. ලෝභකම ජයගන්ට තිබෙන්නේ දන් දීමෙන්මයි. බොරු කියන පුද්ගලයා ජයගන්ට තිබෙන්නේ සත්‍ය වචනයෙන්මයි.

(වේළුවනයේදී උත්තරා කුමරිය අරභයා වදාළ ගාථාවකි.)

224.4. සච්චං භණේ න කුජ්ඣෙය්‍ය
දජ්ජාප්පස්මිම්පි යාචිතෝ
ඒතේහි තීහි ඨානේහි
ගච්ඡේ දේවාන සන්තිකේ

සත්‍යමයි කතාකරන්ට ඕනෙ. කේන්ති ගන්ට හොඳ නෑ. කවුරු හරි යමක් ඉල්ලුවොත්, තියෙන ටිකෙන් හරි ඔහුට දෙන්ට ඕනෙ. ඔය තුන පුරුදු කළොත් තමයි දෙවියන් අතරට යන්නේ.

(ජේතවනාරාමයේදී මුගලන් මහ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

225.5. අහිංසකා යේ මුනයෝ
නිච්චං කායේනසංවුතා
තේ යන්ති අච්චුතං ඨානං
යත්ථ ගන්ත්වා න සෝචරේ

ඒ මුනිවරු අහිංසකයි. හැම තිස්සේම කයින් සංවරව ඉන්නවා. යම් තැනකට ගිහින් ශෝක නොකරයි නම්, ඒ මරණ රහිත තැන වන අමා නිවන කරා තමයි ඔවුන් යන්නේ.

(සාකේත නුවරදී සාකේත බ්‍රාහ්මණයා අරභයා වදාළ ගාථාවකි.)

226.6. සදා ජාගරමානානං
අහෝරත්තානුසික්ඛිනං
නිබ්බාණං අධිමුත්තානං
අත්ථං ගච්ඡන්ති ආසවා

හැම තිස්සේම නින්ද පාලනය කරලා, දිවා රාත්‍රී දෙකේම ධර්මය තුළ හික්මෙන, නිවනෙහි ඇලුණ සිත් ඇති උතුමන්ගේ කෙලෙස් ඔක්කොම විනාශ වෙලා යනවා.

(රජගහ නුවරදී පුණ්ණා දාසිය අරභයා වදාළ ගාථාවකි.)

227.7. පෝරාණමේතං අතුල
නේතං අජ්ජතනාමිව
නින්දන්ති තුණ්හීමාසීනං
නින්දන්ති බහුභාණිනං
මිතභාණිම්පි නින්දන්ති
නත්ථි ලෝකේ අනින්දිතෝ

පින්වත් අතුල, මේක අද විතරක් නෙවෙයි. ඈත අතීතයේ ඉඳලා, ඔය විදිහමයි. නිශ්ශබ්දව ඉන්න කොටත් බනිනවා. වැඩිපුර කතා කළත් බනිනවා. ප්‍රමාණයකට කතා කළත් බනිනවා. මේ ලෝකයේ නින්දා නොලබපු කෙනෙක් නෑ.

228.8. න චාහු න ච භවිස්සති
න චේතරහි විජ්ජති
ඒකන්තං නින්දිතෝ පෝසෝ
ඒකන්තං වා පසංසිතෝ

තනිකරම නින්දා විතරක් ලැබූ කෙනෙක්වත්, ප්‍රශංසා විතරක් ලැබූ කෙනෙක් වත් අතීතයේ හිටියෙත් නෑ. අනාගතයේ ඇතිවෙන්නෙත් නෑ. දැන් වර්තමානයේ දැකගන්ටත් නෑ.

229.9. යඤ්චේ විඤ්ඤූ පසංසන්ති
අනුවිච්ච සුවේ සුවේ
අච්ඡිද්දවුත්තිං මේධාවිං
පඤ්ඤාසීලසමාහිතං

බුද්ධිමත් උදවිය යම් කෙනෙකුට ප්‍රශංසා කරනවා නම්, ඔහුගේ පිරිසිදු ජීවිත පැවැත්ම, බුද්ධිමත් බව, සිල්වත් බව, සමාධිමත් බව, ප්‍රඥාවන්ත බව ආදිය හොඳට විමසලා කරුණු දැනගෙනමයි කළ යුත්තේ.

230.10. නෙක්ඛං ජම්බෝනදස්සේව
කෝ තං නින්දිතුමරහති
දේවා’පි නං පසංසන්ති
බ්‍රහ්මුනා’පි පසංසිතෝ

එබඳු කෙනෙක් බබළන්නේ දඹරන් රුවක් වගේ. එහෙම කෙනෙකුට නින්දා කරන්ට කවුද සුදුසු? ඔහුට දෙවියොත් ප්‍රශංසා කරනවා. බ්‍රහ්මයා පවා ප්‍රශංසා කරනවා.

(ජේතවනාරාමයේදී අතුල උපාසක අරභයා වදාළ ගාථාවන්ය.)

231.11. කායප්පකෝපං රක්ඛෙය්‍ය
කායේන සංවුතෝ සියා
කායදුච්චරිතං හිත්වා
කායේන සුචරිතං චරේ

මේ කය ප්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. කයින් සංවර වෙන්නට ඕනෙ. කාය දුෂ්චරිතය අත්හැරලා, කාය සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ.

232.12. වචීපකෝපං රක්ඛෙය්‍ය
වාචාය සංවුතෝ සියා
වචීදුච්චරිතං හිත්වා
වාචාය සුචරිතං චරේ

වචනය ප්‍රකෝප කරගන්නෙ නැතුව රැක ගන්ට ඕනෙ. වචනයෙන් සංවර වෙන්ට ඕනෙ. වචී දුෂ්චරිතය අත්හැරලා, වචනයෙන් සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ.

233.13. මනෝපකෝපං රක්ඛෙය්‍ය
මනසා සංවුතෝ සියා
මනෝදුච්චරිතං හිත්වා
මනසා සුචරිතං චරේ

මනස ප්‍රකෝප කරගන්නෙ නැතුව රැකගන්ට ඕනෙ. මනසින් සංවර වෙන්ට ඕනෙ. මනෝ දුෂ්චරිතය අත්හැරලා, මනසින් සුචරිතයේ හැසිරෙන්ට ඕනෙ.

234.14. කායේන සංවුතා ධීරා
අථෝ වාචාය සංවුතා
මනසා සංවුතා ධීරා
තේ වේ සුපරිසංවුතා

ප්‍රඥාවන්ත කෙනා කයෙනුත් සංවරයි. ඒ වගේම වචනයෙනුත් සංවරයි. සිතිනුත් සංවරයි. අන්න ඒ ප්‍රඥාවන්ත උදවිය ඒකාන්තයෙන්ම ඉතා හොඳට සංවර වූ අය වෙනවා.

(වේළුවනාරාමයේදී ඡබ්බග්ගිය භික්ෂූන් උදෙසා වදාළ ගාථාවන්ය.)

සාදු! සාදු!! සාදු!!!

ක්‍රෝධය ගැන වදාළ කොටස නිමා විය.

(කෝධ වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-17/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M