ඛුද්දක නිකාය

ධම්මපදය

8. සහස්ස වග්ගෝ

8. දහස ගැන වදාළ කොටස

100.1. සහස්සමපි චේ වාචා
අනත්ථපදසංහිතා
ඒකං අත්ථපදං සෙය්‍යෝ
යං සුත්වා උපසම්මති

මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන වචන දාහක් දෙඩුවත් කිසිවැඩක් නෑ. ඒ වුණත් අර්ථවත් එකම එක වචනයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම් අන්න ඒ වචනය තමයි උතුම්.

(වේළුවනාරාමයේදී තම්බදාඨික අරභයා වදාළ ගාථාවකි.)

101.2. සහස්සමපි චේ ගාථා
අනත්ථපදසංහිතා
ඒකං ගාථාපදං සෙය්‍යෝ
යං සුත්වා උපසම්මති

මෙලොවත් පරලොවත් අයහපතට හේතු වන මිථ්‍යා දෘෂ්ටික ශ්ලෝක දාහක් දෙඩුවත් කිසිවැඩක් නෑ. ජීවිතාවබෝධය ඇතිවෙන එකම එක ගාථා පදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම් අන්න ඒ ගාථාපදය තමයි උතුම්.

(ජේතවනාරාමයේදී දාරුචීරිය තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

102.3. යෝ චේ ගාථාසතං භාසේ
අනත්ථපදසංහිතං
ඒකං ධම්මපදං සෙය්‍යෝ
යං සුත්වා උපසම්මති

යම් කෙනෙක් මෙලොව, පරලොව අයහපත ඇතිකරන ශ්ලෝක සියයක් කිව්වත් වැඩක් නෑ. යම් ධම්මපදයක් අහලා ජීවිතය සංසිඳෙනවා නම්, අන්න ඒ එකම ධම්මපදය තමයි උතුම්.

103.4. යෝ සහස්සං සහස්සේන
සංගාමේ මානුසේ ජිනේ
ඒකඤ්ච ජෙය්‍ය අත්තානං
ස වේ සංගාමජුත්තමෝ

යම් කෙනෙක් යුද්ධ දාහක් කරලා, දහස් ගණන් මිනිසුන්ව පරදවා, ජයග්‍රහණය කළත්, ඒක නියම ජයග්‍රහණයක් නොවෙයි. නමුත් යම් කෙනෙක් මේ කෙලෙස් යුද්ධයෙන් තමන්ව දිනාගත්තොත්, ඒ තැනැත්තා ඒකාන්තයෙන්ම අර සියලු යුද්ධ දිනපු කෙනාට වඩා උත්තම කෙනෙක් වෙනවා.

(ජේතවනාරාමයේදී කුණ්ඩලකේසී තෙරණිය අරභයා වදාළ ගාථාවන්ය.)

104.5. අත්තා හවේ ජිතං සෙය්‍යෝ
යා චායං ඉතරා පජා
අත්තදන්තස්ස පෝසස්ස
නිච්චං සඤ්ඤතචාරිනෝ

ඇත්ත වශයෙන්ම තමන්ව ජයගැනීමමයි උතුම් වෙන්නේ. අනික් ජනයා මොන දේවල් වලින් ජය ගත්තත්, ඒකෙන් වැඩක් වෙන්නෙ නෑ. තමාව දමනය කරගෙන, නිතරම ඉන්ද්‍රිය සංවරයෙන් සිටින පුද්ගලයාටයි ජයග්‍රහණය ලැබෙන්නෙ.

105.6. නේව දේවෝ න ගන්ධබ්බෝ
න මාරෝ සහ බ්‍රහ්මුනා
ජිතං අපජිතං කයිරා
තථාරූපස්ස ජන්තුනෝ

දෙවියෙකුටවත්, එබඳු පුද්ගලයෙකුගේ ජයග්‍රහණය වළක්වන්ට බෑ. ගාන්ධර්වයෙකුටවත්, බ්‍රහ්මයෙකුටවත්, මාරයෙකුටවත් ඒ ජයග්‍රහණය වළක්වන්ට බෑ.

(ජේතවනාරාමයේදී එක්තරා බ්‍රාහ්මණයෙක් අරභයා වදාළ ගාථාවන්ය.)

106.7. මාසේ මාසේ සහස්සේන
යෝ යජේථ සතං සමං
ඒකඤ්ච භාවිතත්තානං
මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යෝ
යඤ්චේ වස්සසතං හුතං

දහස් ගණන් වියදම් කරගෙන, මාසයක් ගානෙ යාග කළත්, අවුරුදු සියයක් මුළුල්ලේ යාග කළත්, සිත දියුණු කරගත් රහතන් වහන්සේ නමකට එක් මොහොතක පුද පූජාවක් කළොත්, අර සියක් අවුරුදු මුළුල්ලේ කරපු යාගයට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.

(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ මාමා අරභයා වදාළ ගාථාවකි.)

107.8. යෝ ච වස්සසතං ජන්තු
අග්ගිං පරිචරේ වනේ
ඒකඤ්ච භාවිතත්තානං
මුහුත්තමපි පූජයේ
සා යේව පූජනා සෙය්‍යෝ
යඤ්චේ වස්සසතං හුතං

යම් පුද්ගලයෙක් මහ වනයක ඉඳගෙන සියක් අවුරුදු මුළුල්ලේ ගිනි පූජාවන් කර කර ඉන්නවාට වඩා සිත දියුණු කරගත් එක රහතන් වහන්සේ නමකට මොහොතක් පුද පූජාවන් කළොත්, අවුරුදු සියයක් මුළුල්ලේ කරන අර ගිනි පූජාවට වඩා මොහොතකට කළ මේ පූජාවයි ශ්‍රේෂ්ඨ වන්නේ.

(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ සොහොයුරෙකු අරභයා වදාළ ගාථාවකි.)

108.9. යං කිඤ්චි යිට්ඨං ව හුතං ව ලෝකේ
සංවච්ඡරං යජේථ පුඤ්ඤපෙක්ඛෝ
සබ්බම්පි තං න චතුභාගමේති
අභිවාදනා උජ්ජුගතේසු සෙය්‍යෝ

පින් කැමති කෙනෙක් මේ ලෝකයේ අවුරුද්දක් ගානෙ මහා යාග, පොඩි යාග ආදී මහ දන් දුන්නත්, ඍජු මග ගමන් කරපු රහතන් වහන්සේලාට කරන වන්දනාවකින් හතරෙන් පංගුවක් තරම්වත් ඒක වටින්නෙ නෑ. රහතන් වහන්සේලාට කරන වන්දනාව ම තමයි ශ්‍රේෂ්ඨ වෙන්නෙ.

(වේළුවනාරාමයේදී සැරියුත් තෙරුන්ගේ යහළු බ්‍රාහ්මණයෙකු අරභයා වදාළ ගාථාවකි.)

109.10. අභිවාදනසීලිස්ස
නිච්චං වද්ධාපචායිනෝ
චත්තාරෝ ධම්මා වඩ්ඪන්ති
ආයු වණ්ණෝ සුඛං බලං

සිල්වත් උතුමන්ට වන්දනා කරනවා නම්, ගුණයෙන්, නුවණින් වැඩිහිටියන්ට නිතර සළකනවා නම්, ඔහු තුළ ආයුෂ, වර්ණය, සැපය, බලය යන මේ ගුණ හතර ම වැඩෙනවා.

(දීඝලම්බක වනයේදී ආයුවඞ්ඪන කුමරු අරභයා වදාළ ගාථාවකි.)

110.11. යෝ චේ වස්සසතං ජීවේ
දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
සීලවන්තස්ස ඣායිනෝ

යම් කෙනෙක් දුස්සීලව, චිත්ත සමාධියක් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, සිල්වත් වෙලා, ධ්‍යාන වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.

(ජේතවනාරාමයේදී සංකිච්ච සාමණේරයන් අරභයා වදාළ ගාථාවකි.)

111.12. යෝ චේ වස්සසතං ජීවේ
දුප්පඤ්ඤෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පඤ්ඤවන්තස්ස ඣායිනෝ

යම් කෙනෙක් ප්‍රඥාවකුත් නැතුව, චිත්ත සමාධියකුත් නැතුව, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා, ප්‍රඥාව ඇති කරගෙන සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.

(ජේතවනාරාමයේදී ඛාණුකොණ්ඩඤ්ඤ තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

112.13. යෝ චේ වස්සසතං ජීවේ
කුසීතෝ හීනවීරියෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
විරියමාරභතෝ දළ්හං

යම් කෙනෙක් නිවන් මගේ හැසිරෙන්ට උත්සාහයක් නැතුව, සමථ විදර්ශනා වඩන්නට වීරියක් නැතුව, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, දැඩි වීරියකින් යුක්තව, සමථ විදර්ශනා වඩමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.

(ජේතවනාරාමයේදී සප්පදාස තෙරුන් අරභයා වදාළ ගාථාවකි.)

113.14. යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං උදයව්‍යයං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පස්සතෝ උදයව්‍යයං

යම් කෙනෙක් පංච උපාදානස්කන්ධයේ හටගැනීමත්, නැතිවීමත් විදර්ශනා ප්‍රඥාවෙන් නොදැක, අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය දකිමින් එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.

(ජේතවනාරාමයේදී පටාචාරා තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)

114.15. යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං අමතං පදං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පස්සතෝ අමතං පදං

යම් කෙනෙක් ඒ අමා නිවන අවබෝධ නොකොට, සියයක් අවුරුදු ජීවත් වෙනවාට වඩා ඒ අමා නිවන අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වීම ශ්‍රේෂ්ඨයි.

(ජේතවනාරාමයේදී කිසාගෝතමී තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)

115.16. යෝ චේ වස්සසතං ජීවේ
අපස්සං ධම්මමුත්තමං
ඒකාහං ජීවිතං සෙය්‍යෝ
පස්සතෝ ධම්මමුත්තමං

යම් කෙනෙක් මේ උතුම් ධර්මය අවබෝධ නොකොට අවුරුදු සියයක් ජීවත් වෙනවාට වඩා මේ උතුම් ධර්මය අවබෝධ කරගෙන එක දවසක් ජීවත්වෙන එක ශ්‍රේෂ්ඨයි.

(ජේතවනාරාමයේදී බහුපුත්තිකා තෙරණිය අරභයා වදාළ ගාථාවකි.)

සාදු! සාදු!! සාදු!!!

දහස ගැන වදාළ කොටස නිමා විය.

(සහස්ස වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M