ඛුද්දක නිකාය

ධම්මපදය

15. සුඛ වග්ගෝ

15. සැපය ගැන වදාළ කොටස

197.1. සුසුඛං වත ජීවාම
වේරිනේසු අවේරිනෝ
වේරිනේසු මනුස්සේසු
විහරාම අවේරිනෝ

ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්. එකිනෙකාට වෛර කරගන්න මේ ලෝකයේ අපි නම් කිසි වෛරයක් නැතුව ඉන්නවා. වෛර කරගන්න මිනිස්සු අතරේ, කිසිම වෛරයකින් තොරවයි අපි ජීවත් වෙන්නෙ.

198.2. සුසුඛං වත ජීවාම
ආතුරේසු අනාතුරා
ආතුරේසු මනුස්සේසු
විහරාම අනාතුරා

ඇත්තෙන්ම අපි නම් ජීවත්වෙන්නෙ හරිම සැපෙන්. කෙලෙස් නිසා රෝගාතුර වෙච්ච ලෝකයේ අපි කෙලෙස් රහිතව, ලෙඩ නොවී ඉන්නවා. කෙලෙස් වලින් ලෙඩවෙච්ච මිනිසුන් අතරේ කෙලෙස් රහිතව, ලෙඩ නොවී අපි තමයි ඉන්නෙ.

199.3. සුසුඛං වත ජීවාම
උස්සුකේසු අනුස්සුකා
උස්සුකේසු මනුස්සේසු
විහරාම අනුස්සුකා

ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්. කම් සැප සොයමින් ඇවිස්සිලා ඉන්න ලෝකයේ, කම්සැප අත්හැරපු අපි කිසි ඇවිස්සීමක් නැතුව ඉන්නවා. කම් සැප හොයන්ට ඇවිස්සුන මිනිස්සු අතර, කම්සැප අත්හැරපු අපි කිසි ඇවිස්සීමක් නැතුවයි ජීවත් වෙන්නේ.

(ශාක්‍ය ජනපදයේදී ශාක්‍ය-කෝලිය රජවරුන් අරභයා වදාළ ගාථාවන්ය.)

200.4. සුසුඛං වත ජීවාම
යේසං නෝ නත්ථි කිඤ්චනං
පීතිභක්ඛා භවිස්සාම
දේවා ආභස්සරා යථා

ඇත්තෙන්ම අපි නම් ජීවත් වෙන්නෙ හරිම සැපෙන්. අපි තුළ දුක හැදෙන කෙලෙස් මොකවත් නෑ. ආභස්සර ලෝකයේ දෙවියන් වගේ, අපටත් ප්‍රීතිය ම වළඳලා ඉන්ට පුළුවනි.

(පංචසාලා බ්‍රාහ්මණ ගමේදී වසවර්ති මාරයා අරභයා වදාළ ගාථාවකි)

201.5. ජයං වේරං පසවති
දුක්ඛං සේති පරාජිතෝ
උපසන්තෝ සුඛං සේති
හිත්වා ජයපරාජයං

තරඟ කරන්ට ගිහින් ජයගත්තොත් වෛරය තමයි ඇතිවෙන්නෙ. පැරදිච්ච කෙනා දුකින් ඉන්නවා. නමුත් ඔය ජය පරාජ දෙක ම අත්හැරපු මුනිවරයා තමයි සැපසේ ඉන්නෙ.

(සැවැත් නුවරදී කොසොල් රජුන් අරභයා වදාළ ගාථාවකි.)

202.6. නත්ථි රාගසමෝ අග්ගි
නත්ථි දෝසසමෝ කලි
නත්ථි ඛන්ධසමා දුක්ඛා
නත්ථි සන්තිපරං සුඛං

රාගයට සමාන කරන්ට පුළුවන් වෙන ගින්නක් නෑ. ද්වේෂයට සමාන කරන්ට පුළුවන් වෙන අපරාධෙකුත් නෑ. පංචුපාදානස්කන්ධයට සමාන කරන්ට පුළුවන් වෙන දුකකුත් නෑ. ඒ අමා නිවනට වැඩියෙන් කියන්ට පුළුවන් වෙන සැපයකුත් නෑ.

(සැවැත් නුවරදී කම් සුවයෙහි ලොල් වූ එක්තරා තරුණයෙක් අරභයා වදාළ ගාථාවකි)

203.7. ජිඝච්ඡාපරමා රෝගා
සංඛාරාපරමා දුඛා
ඒතං ඤත්වා යථාභූතං
නිබ්බාණං පරමං සුඛං

මේ බඩගින්න තමයි ලොකුම රෝගය. මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තු දේ තමයි ලොකුම දුක. ඔය යථාර්ථය අවබෝධ කරගත්තොත් ඒ අමා නිවන තමයි උතුම්ම සැපය.

(අලව් නුවර එක්තරා උපාසකයෙක් අරභයා වදාළ ගාථාවකි)

204.8. ආරෝග්‍යපරමා ලාභා
සන්තුට්ඨිපරමං ධනං
විස්සාසපරමා ඤාතී
නිබ්බාණං පරමං සුඛං

නිරෝගීකම තමයි උතුම් ම ලාභය. ජීවිතාවබෝධය තුළින් ලබන සතුට තමයි උතුම් ම ධනය. විශ්වාසවන්තකම තමයි උතුම් ම ඤාතියා. උතුම් ම සැපය තමයි ඒ අමා නිවන.

(ජේතවනාරාමයේදී කොසොල් රජු අරභයා වදාළ ගාථාවකි)

205.9. පවිවේකරසං පීත්වා
රසං උපසමස්ස ච
නිද්දරෝ හෝති නිප්පාපෝ
ධම්මපීතිරසං පිබං

හුදෙකලා ජීවිතයේ ඇති රසයත්, කෙලෙස් සංසිඳීමෙන් ලැබෙන ඒ අමා නිවන් රසයත් පානය කළ භික්ෂුව පීඩා විඳින කෙනෙක් නෙවෙයි. පව් ඇති කෙනෙක් ද නොවෙයි.

(විසාලා මහනුවරදී තිස්ස තෙරුන් අරභයා වදාළ ගාථාවකි)

206.10. සාහු දස්සනමරියානං
සන්නිවාසෝ සදා සුඛෝ
අදස්සනේන බාලානං
නිච්චමේව සුඛී සියා

ආර්යයන් වහන්සේලාව දැකීම කොයිතරම් හොඳද. උන්වහන්සේලා සමග ජීවත්වෙන්ට ලැබුණොත් හැමදාම සැපයි. අසත්පුරුෂ බාල ජනයන්ව දකින්ට නොලැබීමෙන් පවා, සත්වයාට නිතරම සැප ලබා දෙනවා.

207.11. බාලසංගතචාරීහි
දීඝමද්ධාන සෝචති
දුක්ඛෝ බාලේහි සංවාසෝ
අමිත්තේනේව සබ්බදා
ධීරෝ ච සුඛසංවාසෝ
ඤාතීනං’ව සමාගමෝ

අසත්පුරුෂ බාල ජනයන් එක්ක එකට ජීවත්වෙන්ට ගියොත් බොහෝ කලක් ශෝක කරන්ට වෙනවා. ඔය අඥානයින් සමග වාසය කරන්ට ලැබීම නම් දුකක් ම තමයි. හැම තිස්සේම හතුරෝ එක්ක ඉන්නවා වගේ. නමුත් ප්‍රඥාවන්ත කෙනා සමඟ ඇසුරු කිරීම හරි සැපයි. නෑදෑයොත් එක්ක එකට ඉන්නවා වගේ.

208.12. තස්මාහි,
ධීරඤ්ච පඤ්ඤඤ්ච බහුස්සුතඤ්ච
ධෝරය්හසීලං වතවන්තමාරියං
තං තාදිසං සප්පුරිසං සුමේධං
භජේථ නක්ඛත්තපථං’ව චන්දිමා

අන්න ඒ නිසා ප්‍රඥාවන්ත, ජීවිත අවබෝධය ලබාගත්, සද්ධර්මය හොඳින් ප්‍රගුණ කරගත්, වීරියවන්ත, සිල්වත්, වත්පිළිවෙත් දන්නා ආර්යන් වහන්සේලා ඉන්නවා. එවැනි සුන්දර ප්‍රඥා ඇති සත්පුරුෂයෙක්වයි ඇසුරු කරන්ට ඕනෙ. අහස ඇසුරු කරන පුන් සඳ වගේ.

(බේලුව ගමේදී සක් දෙවිඳු අරභයා වදාළ ගාථාවන්ය.)

සාදු! සාදු!! සාදු!!!

සැපය ගැන වදාළ කොටස නිමා විය.

(සුඛ වග්ගය නිමා විය.)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn1_2-15/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M