මා හට අසන්නට ලැබුනේ මේ විදිහටයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ වැඩසිටියේ උජුඤ්ඤා නුවර කණ්ණකත්ථල නම් මුව වනයෙහිය. එදා අචේලකස්සප (නම් වූ නිරුවත් තවුසා) භාග්‍යවතුන් වහන්සේ වැඩසිටි තැනට පැමිණුනා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වුනා. සතුටුවිය යුතු පිළිසඳර කතාබහ අවසන් කොට එකත්පස්ව සිටගත්තා.
එකත්පස්ව සිටි අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. “භවත් ගෞතමයෙනි, මට මේ කාරණය අසන්නට ලැබුනා. ඒ කියන්නේ ශ්‍රමණ ගෞතමයන් සෑම තපසකටම ගරහනවා කියලා. ඒ වගේම රූක්ෂ ජීවිකා ඇති සෑම තවුසෙකුටමත් එක් අංශයකින් විතරක් බලලා ආක්‍රෝෂ, උපවාද කරනවා කියලා. ඒ යමෙක් භවත් ගෞතමයන්ට මෙහෙම කිව්වා නම්, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සෑම තපසකටම ගරහනවා කියලා. ඒ වගේම රූක්ෂ ජීවිකා ඇති සෑම තවුසෙකුටමත් එක් අංශයකින් විතරක් බලලා ආක්‍රෝෂ, උපවාද කරනවා” කියලා, ඇත්තෙන්ම ඔවුන් කියන්නේ භවත් ගෞතමයන් වහන්සේ පැවැසූ දෙයක්මද? භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීමක් නැද්ද? ධර්මානුකූල දෙයක්ම පැවසීමක්ද? කිසිවෙක් කරුණු සහිතව වාද නන්වා ගැරහිය යුතු බවට පත්වීමක් නැද්ද? අනික අපට නම් භවත් ගෞතමයන් වහන්සේට අභූතයෙන් චෝදනා කරන්නට කැමැත්තක් නෑ.”
“පින්වත් කස්සප, යම් කෙනෙක් මේ විදිහට කිව්වා නම්, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සෑම තපසකටම ගරහනවා කියලා. ඒ වගේම රූක්ෂ ජීවිකා ඇති සෑම තවුසෙකුටමත් එක් අංශයකින් විතරක් බලලා ආක්‍රෝෂ, උපවාද කරනවා” කියලා, ඔවුන් කියන්නේ මා පැවසූ දෙයක් නොවේ. ඔවුන් මට නැති දෙයකින් අභූතයෙන් චෝදනා කරනවා.
පින්වත් කස්සප, මෙහි මම මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් රූක්ෂ ජීවිත ඇති ඇතැම් තවුසෙකු කය බිඳී මරණින් මතු අපාය දුගති විනිපාත නම් වූ නිරයෙහි ඉපිද සිටින බව දකිනවා. ඒ වගේම පින්වත් කස්සප, මෙහි මම මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් රූක්ෂ ජීවිත ඇති ඇතැම් තවුසෙකු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපිද සිටින බව දකිනවා.
පින්වත් කස්සප, මෙහි මම මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් අල්ප දුක් ඇති විහරණයෙන් ගත කළ ජීවිත ඇති ඇතැම් තවුසෙකු කය බිඳී මරණින් මතු අපාය දුගති විනිපාත නම් වූ නිරයෙහි ඉපිද සිටින බව දකිනවා.
ඒ වගේම පින්වත් කස්සප, මෙහි මම මිනිස් දර්ශන පථය ඉක්මවා ගිය පිරිසිදු දිවැසින් අල්ප දුක් ඇති විහරණයෙන් ගත කළ ජීවිත ඇති ඇතැම් තවුසෙකු කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත ස්වර්ග ලෝකයෙහි ඉපිද සිටින බව දකිනවා.
පින්වත් කස්සප, යම් බඳු මා ඔය තාපසයන්ගේ මෙලොව පැමිණීමත්, පරලොව උපතත්, චුතවීමත්, ඉපදීමත් ඒ ආකාරයෙන්ම දැනගන්නවා නම්, එතකොට ඒ මං සියලු තපසට මොනවට නම් ගරහනවාද? කටුක දිවිපෙවෙත් ඇති සියලු තවුසන්ට එක් පැත්තකින් පමණක් බලා මොනවට නම් ආක්‍රෝෂ කරන්නද? උපවාද කරන්නද?
පින්වත් කස්සප, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඤාණවන්තයි. නිපුණයි. අතිශයින්ම දක්ෂ දුනුවායන් වගේ අනුන් සමඟ වාදවිවාද කරලා තමන්ගේ ප්‍රඥා කෞෂල්‍යයෙන් දෘෂ්ටිගතිකයන් පරදවලා ඉන්නවා. ඔවුනුත් මා සමඟ ඇතැම් ආකල්ප පිළිබඳව සමාන වෙනවා. ඇතැම් ආකල්ප පිළිබඳව සමාන නෑ. ඔවුන් ඇතැම් දේවල් යහපත් කියා කියනවාද, අපිත් ඒ ඇතැම් දේවල් යහපත් කියා කියනවා. ඔවුන් යම් ඇතැම් දේවල් අයහපත් කියා කියනවාද, අපිත් ඒ ඇතැම් දේවල් අයහපත් කියා කියනවා. ඔවුන් ඇතැම් දේවල් හොඳයි කියනවා. ඉතින් ඔවුන් ඒ හොඳයි කියන ඇතැම් දේවල් ගැන අපි කියන්නේ හොඳ නෑ කියලා. ඔවුන් ඇතැම් දේවල් හොඳ නෑ කියනවා. ඉතින් ඔවුන් ඒ හොඳ නෑ කියන ඇතැම් දේවල් ගැන අපි කියන්නේ හොඳයි කියලා. අපි යම් දෙයක් හොඳයි කියලා කියනවා ද අනෙක් අයත් එය හොඳයි කියලා කියනවා. අපි යම් දෙයක් හොඳ නෑ කියලා කියනවාද අනෙක් අය එය හොඳ නෑ කියලා කියනවා. අපි යම් දෙයක් හොඳයි කියලා කියනවාද අනෙක් අය එය හොඳ නෑ කියලා කියනවා. අපි යම් දෙයක් හොඳ නෑ කියලා කියනවාද අනෙක් අය එය හොඳයි කියලා කියනවා.
මං ඔවුන් කරා ගිහින් මෙහෙම කියනවා. “ආයුෂ්මත්නි, යම් යම් ආකල්ප පිළිබඳව අපි සමාන වෙන්නේ නැත්නම්, ඒවා පසෙක තබත්වා. යම් යම් ආකල්ප පිළිබඳව අපි සමාන වෙනවා නම්, ඒ පිළිබඳව නුවණැති උදවිය ශාස්තෘවරයෙක් ශාස්තෘවරයෙක් සමඟ හෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රාවක පිරිසක් සමඟ හෝ එක්ව සාකච්ඡා කරත්වා. කරුණු මතු කරත්වා. තම අදහස් ඉදිරිපත් කරත්වා” කියලා. ඒ කියන්නේ “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ අකුසල් වේවා, අකුසල පාක්ෂික වේවා, වැරදි සහිත වේවා, වැරදි පක්ෂයට අයත් වේවා, සේවනය නොකළ යුතු දෙයක් වේවා, සේවනය නොකළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන පක්ෂයට අයත් දෙයක් වේවා, පවිටු දෙයක් වේවා, පවිටු පාක්ෂික දෙයක් වේවා, කවුද මේ දේවල් ඉතිරි නැතුව ප්‍රහාණය කරල ඉන්නේ? ශ්‍රමණ ගෞතමයන්ද? එහෙම නැත්නම් අන්‍ය වූ භවත් ගණාචාර්යවරුන්ද?” කියලා.
පින්වත් කස්සප, එතකොට මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී තම අදහස් ඉදිරිපත් කරද්දී මෙහෙමයි කියන්නේ. “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ අකුසල් වේවා, අකුසල පාක්ෂික වේවා, වැරදි සහිත වේවා, වැරදි පක්ෂයට අයත් වේවා, සේවනය නොකළ යුතු දෙයක් වේවා, සේවනය නොකළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන පක්ෂයට අයත් දෙයක් වේවා, පවිටු දෙයක් වේවා, පවිටු පාක්ෂික දෙයක් වේවා, මේ අකුසල ධර්මයන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමයි මුළුමණින්ම ප්‍රහාණය කරලා සිටින්නේ. අන්‍ය වූ භවත් ගණාචාර්යවරු යන්තමින් දෙයක් බැහැර කරලා ඉන්නවා” කියලා.
ඉතින් පින්වත් කස්සප, ඔය විදිහට නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී තම අදහස් ඉදිරිපත් කරද්දී ඒ කාරණා අරභයා බොහෝ සෙයින්ම ප්‍රශංසා කරන්නේ අපටමයි.
තවදුරටත් කියනවා නම් පින්වත් කස්සප, නුවණැති උදවිය ශාස්තෘවරයෙක් ශාස්තෘවරයෙක් සමඟ හෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රාවක පිරිසක් සමඟ හෝ එක්ව සාකච්ඡා කරත්වා, කරුණු මතු කරත්වා, තම අදහස් ඉදිරිපත් කරත්වා කියලා. ඒ කියන්නේ “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ කුසල් වේවා, කුසල පාක්ෂික වේවා, වැරදි රහිත වේවා, නිවැරදි පක්ෂයට අයත් වේවා, සේවනය කළ යුතු දෙයක් වේවා, සේවනය කළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන පක්ෂයට අයත් දෙයක් වේවා, යහපත් දෙයක් වේවා, යහපත් පාක්ෂික දෙයක් වේවා, කවුද මේ දේවල් අඩු නැතුව සම්පූර්ණ කරගෙන ඉන්නේ? ශ්‍රමණ ගෞතමයන්ද? එහෙම නැත්නම් අන්‍ය වූ භවත් ගණාචාර්යවරුන්ද?” කියලා.
පින්වත් කස්සප, එතකොට මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී තම අදහස් ඉදිරිපත් කරද්දී මෙහෙමයි කියන්නේ. “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ කුසල් වේවා, කුසල පාක්ෂික වේවා, වැරදි රහිත වේවා, නිවැරදි පක්ෂයට අයත් වේවා, සේවනය කළ යුතු දෙයක් වේවා, සේවනය කළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන පක්ෂයට අයත් දෙයක් වේවා, යහපත් දෙයක් වේවා, යහපත් පාක්ෂික දෙයක් වේවා, මේ කුසල ධර්මයන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ තමයි මුළුමණින්ම සම්පූර්ණ කරලා සිටින්නේ. අන්‍ය වූ භවත් ගණාචාර්යවරු යන්තම් දෙයක් කරගෙන ඉන්නවා කියලා.
ඉතින් පින්වත් කස්සප, ඔය විදිහට නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී තම අදහස් ඉදිරිපත් කරද්දී ඒ කරුණ අරභයා බොහෝ සෙයින්ම ප්‍රශංසා කරන්නේ අපටමයි.
තවදුරටත් කියනවා නම් පින්වත් කස්සප, නුවණැති උදවිය ශාස්තෘවරයෙක් ශාස්තෘවරයෙක් සමඟ හෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රාවක පිරිසක් සමඟ හෝ එක්ව සාකච්ඡා කරත්වා, කරුණු මතු කරත්වා, තම අදහස් ඉදිරිපත් කරත්වා කියලා. ඒ කියන්නේ “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ අකුසල් වේවා, අකුසල පාක්ෂික වේවා, වැරදි සහිත වේවා, වැරදි පක්ෂයට අයත් වේවා, සේවනය නොකළ යුතු දෙයක් වේවා, සේවනය නොකළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන පක්ෂයට අයත් දෙයක් වේවා, පවිටු දෙයක් වේවා, පවිටු පාක්ෂික දෙයක් වේවා, කවුද මේ දේවල් ඉතිරි නැතුව ප්‍රහාණය කරල ඉන්නේ? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක සංඝයාද? එහෙම නැත්නම් අන්‍ය වූ භවත් ගණාචාර්යවරුන්ගේ ශ්‍රාවක සංඝයාද?” කියලා.
පින්වත් කස්සප, එතකොට මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී තම අදහස් ඉදිරිපත් කරද්දී මෙහෙමයි කියන්නේ. “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ අකුසල් වේවා, අකුසල පාක්ෂික වේවා, වැරදි සහිත වේවා, වැරදි පක්ෂයට අයත් වේවා, සේවනය නොකළ යුතු දෙයක් වේවා, සේවනය නොකළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන දෙයක් වේවා, ආර්යභාවය ඇති නොකරන පක්ෂයට අයත් දෙයක් වේවා, පවිටු දෙයක් වේවා, පවිටු පාක්ෂික දෙයක් වේවා, මේ අකුසල ධර්මයන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවකයින් තමයි මුළුමණින්ම ප්‍රහාණය කරලා සිටින්නේ. අන්‍ය වූ භවත් ගණාචාර්යවරුගේ ශ්‍රාවකයින් යන්තම් දෙයක් බැහැර කරල ඉන්නවා කියලා.
ඉතින් පින්වත් කස්සප, ඔය විදිහට නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී, තම අදහස් ඉදිරිපත් කරද්දී ඒ කරුණ අරභයා බොහෝ සෙයින්ම ප්‍රශංසා කරන්නේ අපටමයි.
තවදුරටත් කියනවා නම් පින්වත් කස්සප, නුවණැති උදවිය ශාස්තෘවරයෙක් ශාස්තෘවරයෙක් සමඟ හෝ ශ්‍රාවක පිරිසක් ශ්‍රාවක පිරිසක් සමඟ හෝ එක්ව සාකච්ඡා කරත්වා, කරුණු මතු කරත්වා, තම අදහස් ඉදිරිපත් කරත්වා කියලා. ඒ කියන්නේ “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ කුසල් වේවා, කුසල පාක්ෂික වේවා, වැරදි රහිත වේවා, නිවැරදි පක්ෂයට අයත් වේවා, සේවනය කළ යුතු දෙයක් වේවා, සේවනය කළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන පක්ෂයට අයත් දෙයක් වේවා, යහපත් දෙයක් වේවා, යහපත් පාක්ෂික දෙයක් වේවා, කවුද මේ දේවල් අඩු නැතුව සම්පූර්ණ කරගෙන ඉන්නේ? ශ්‍රමණ ගෞතමයන්ගේ ශ්‍රාවක සංඝයාද? එහෙම නැත්නම් අන්‍ය වූ භවත් ගණාචාර්යවරුන්ගේ ශ්‍රාවක සංඝයාද?” කියලා.
පින්වත් කස්සප, එතකොට මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී, තම අදහස් ඉදිරිපත් කරද්දී මෙහෙමයි කියන්නේ. “මේ භවතුන්ගේ යම්කිසි ධර්මයක් තියෙනවා නම් එක්කෝ කුසල් වේවා, කුසල පාක්ෂික වේවා, වැරදි රහිත වේවා, නිවැරදි පක්ෂයට අයත් වේවා, සේවනය කළ යුතු දෙයක් වේවා, සේවනය කළ යුතු පක්ෂයට අයත් දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන දෙයක් වේවා, ආර්යභාවය ඇති කරන පක්ෂයට අයත් දෙයක් වේවා, යහපත් දෙයක් වේවා, යහපත් පාක්ෂික දෙයක් වේවා, මේ කුසල ධර්මයන් ශ්‍රමණ ගෞතමයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා තමයි මුළුමණින්ම සම්පූර්ණ කරලා සිටින්නේ. අන්‍ය වූ භවත් ගණාචාර්යවරුගේ ශ්‍රාවක සංඝයා යන්තමින් දෙයක් කරගෙන ඉන්නවා” කියලා.
ඉතින් පින්වත් කස්සප, ඔය විදිහට නුවණැති උදවිය තමන්ගේ මතවාද එක්ව සාකච්ඡා කරද්දී, කරුණු මතු කරද්දී, තම අදහස් ඉදිරිපත් කරද්දී ඒ කරුණ අරභයා බොහෝ සෙයින්ම ප්‍රශංසා කරන්නේ අපටමයි.
පින්වත් කස්සපය, යම් අයුරකින් පිළිපදිද්දී තමන්ම දැනගන්නවා නම්, දැකගන්නවා නම්, “ශ්‍රමණ ගෞතමයන් වහන්සේමයි කල්යල් බලා කතා කරන්නේ. සත්‍යය කතා කරන්නේ. අර්ථවත්ව කතා කරන්නේ. ධර්මවාදීව කතා කරන්නේ. විනයවාදීව කතා කරන්නේ” කියලා එබඳු මාර්ගයක් තියෙනවා. ප්‍රතිපදාවක් තියෙනවා.
පින්වත් කස්සපය, යම් අයුරකින් පිළිපදිද්දී තමන්ම දැනගන්නවා නම්, දැකගන්නවා නම්, “ශ්‍රමණ ගෞතමයන් වහන්සේමයි කල්යල් බලා කතා කරන්නේ. සත්‍යය කතා කරන්නේ. අර්ථවත්ව කතා කරන්නේ. ධර්මවාදීව කතා කරන්නේ. විනයවාදීව කතා කරන්නේ” කියලා ඒ මාර්ගය කුමක්ද? ප්‍රතිපදාව කුමක්ද?
ඒ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ඒ කියන්නේ; සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අටයි.
පින්වත් කස්සපය, යම් අයුරකින් පිළිපදිද්දී තමන්ම දැනගන්නවා නම්, දැකගන්නවා නම්, ‘ශ්‍රමණ ගෞතමයන් වහන්සේමයි කල්යල් බලා කතා කරන්නේ. සත්‍යය කතා කරන්නේ. අර්ථවත්ව කතා කරන්නේ. ධර්මවාදීව කතා කරන්නේ. විනයවාදීව කතා කරන්නේ’ කියලා මේ තමයි ඒ මාර්ගය. මේ තමයි ඒ ප්‍රතිපදාව.”
මෙසේ වදාළ විට අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා.
“ආයුෂ්මත් ගෞතමයෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මහණකමත්, බ්‍රාහ්මණකමත් යනු මේ තපස් උපක්‍රම බවයි කියන්නේ. ඒ කියන්නේ: නිරුවත්ව ඉන්නවා. ආචාර ධර්ම අත්හරිනවා. කෑමෙන් පසු අත ලෙව කනවා. ‘ස්වාමීනී, මෙහි වඩින්න’ කියූ විට එන්නේ නෑ. ‘ස්වාමීනී, සිටින්න’ කියූ විට ඉන්නේ නෑ. තමා එන්නට කලින් ගෙනා බොජුන් ගන්නේ නෑ. තමා උදෙසා කළ බොජුන් ගන්නේ නෑ. ඇරයුම් පිළිගන්නේ නෑ. වළඳේ උඩ කොටසෙන් දුන් දන් පිළිගන්නේ නෑ. බඳුන්වල උඩින්ම දෙන දන් පිළිගන්නේ නෑ. එළිපත්තේ සිට දෙන දන් පිළිගන්නේ නෑ. කණුවක් අසලදී දෙන දන් පිළිගන්නේ නෑ. මෝල්ගසක් අසල සිට දෙන දන් පිළිගන්නේ නෑ. දෙදෙනෙක් ආහාර ගනිද්දී දෙන දන් පිළිගන්නේ නෑ. ගැබිණි මවක් දෙන දන් පිළිගන්නේ නෑ. කිරිදෙන මව දෙන දන් පිළිගන්නේ නෑ. පුරුෂයා වෙතට ගිය ස්ත්‍රිය දෙන දන් පිළිගන්නේ නෑ. සම්මාදම් කොට පිස දෙන දන් පිළිගන්නේ නෑ. බල්ලෙක් සිටිද්දී ඌට නොදී දෙන දන් පිළිගන්නේ නෑ. අධික ලෙස මැස්සන් ගැවසුණු තැනින් දෙන දන් පිළිගන්නේ නෑ. මස්මාළු පිළිගන්නේ නෑ. රහමෙර බොන්නෙ නෑ. කාඩිහොදි බොන්නෙ නෑ. ඇතැම්විට ඔහු එක ගෙදරකින් ලැබෙන එක් බත් පිඬකින් යැපෙනවා. ගෙවල් දෙකකින් ලැබෙන එක් බත් පිඬු දෙකකින් යැපෙනවා. ගෙවල් හතකින් ලැබෙන එක් බත් පිඬු හතකින් යැපෙනවා. එක් බත් තලියකින් යැපෙනවා. බත් තලි දෙකකින් යැපෙනවා. බත් තලි සතකින් යැපෙනවා. දවසක් හැර දවසක් ආහාර ගන්නවා. දෙදවසක් හැර දවසක් ආහාර ගන්නවා. සත් දවසක් හැර දවසක් ආහාර ගන්නවා. මේ විදිහට අඩමාසයක් හැර දවසක් බත් අනුභව කිරීම් වශයෙන් ව්‍රත සමාදානයෙන් වාසය කරනවා.
ආයුෂ්මත් ගෞතමයෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මහණකමත්, බ්‍රාහ්මණකමත් යනු මේ තපස් උපක්‍රම බවයි කියන්නේ. ඒ කියන්නේ: කොළ වර්ග අමුවෙන් අනුභව කරනවා. ගස් බොඩ අනුභව කරනවා. හූරු හැල් වී අනුභව කරනවා. සම් තැම්බූ කහට වතුර අනුභව කරනවා. ලහටු දියසෙවල අනුභව කරනවා. සහල්කුඩු අනුභව කරනවා. දන්කුඩ අනුභව කරනවා. මුරුවට අනුභව කරනවා. තණකොළ අනුභව කරනවා. ගොම අනුභව කරනවා. වනමුල් ගෙඩි අනුභව කරනවා. ගස්වලින් වැටුණු ගෙඩි පමණක් අනුභව කරනවා.
ආයුෂ්මත් ගෞතමයෙනි, ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ මහණකමත්, බ්‍රාහ්මණකමත් යනු මේ තපස් උපක්‍රම බවයි කියන්නේ. ඒ කියන්නේ: හණවැහැරි දරනවා. හණවැහැරි මිශ්‍ර වස්ත්‍ර දරනවා. ඉවත්කළ කඩමාලු දරනවා. මිනියෙන් බැහැර කළ රෙදි දරනවා. පොතුසුළුවලින් කළ වස්ත්‍ර දරනවා. අඳුන් දිවිසම් දරනවා. මැදින් පැලූ අඳුන් දිවිසම් දරනවා. කුසතණින් ගෙතූ වස්ත්‍ර දරනවා. නියඳවැහැරි දරනවා. එළුලොමින් කළ වස්ත්‍ර දරනවා. මිනිස් කෙස්වලින් කළ වස්ත්‍ර දරනවා. අස්ලොමින් කළ වස්ත්‍ර දරනවා. බකමූණු පියාපතින් කළ වස්ත්‍ර දරනවා. කෙස්රැවුල් උදුරනවා. කෙස්රැවුල් උදුරන වැඩපිළිවෙලක යෙදී සිටිනවා. වාඩිවෙන අසුන් ප්‍රතික්ෂේප කොට හිටගෙන ඉන්නවා. උක්කුටියෙන් ඉන්නවා. උක්කුටියෙන්ම ගමන් කරනවා. කටුසයනයන්හි වාසය කරනවා. ලෑලි මත කටු ගසා එහි සැතපෙනවා. පිළෙහි නිදනවා. ලෑල්ලෙහි නිදනවා. එක් ඇලයෙන් නිදනවා. නොනා දැලිකුණු දරා සිටිනවා. එළිමහනේ සිටිනවා. ආසන තිබෙන අයුරින් වෙනස් නොකොට සිටිනවා. තමන්ගේම මලමුත්‍ර අනුභව කරනවා. සිහිල් දිය නොබී ඉන්නවා. සවස තුන්වෙනි කොට දිනකට තුන්වරක් ජලයෙහි ගිලී තපස් කිරීමේ ව්‍රත සමාදන්ව ඉන්නවා.”
“ඉදින් පින්වත් කස්සප, ඔහු නිරුවත්ව සිටියත්, ආචාර ධර්ම බැහැර කළත්, කෑමෙන් පසු අත ලෙව කෑවත් ….(පෙ)…. සත් දිනකට වරක් ආහාර ගත්තත්, මෙවැනි අයුරින් අඩමසකට වරක් ආහාර ගනිමින් ව්‍රත සමාදානයේ යෙදී වාසය කෙරුවත්, ඔහුට මේ සීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය වැඩීමක් වෙලා නැත්නම්, සාක්ෂාත් කිරීමක් වෙලා නැත්නම්, ඇත්තෙන්ම ඔහු මහණකමින් දුරු වෙලාමයි ඉන්නේ. බ්‍රාහ්මණකමෙනුත් දුරු වෙලාමයි ඉන්නේ.
පින්වත් කස්සප, යම් දවසක් භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.
පින්වත් කස්සප, ඉදින් කෙනෙක් අමු කොළ කකා හිටියත්, ගස් බොඩ කකා හිටියත්, ….(පෙ)…. වනමුල් ගෙඩි කකා හිටියත්, ගස්වලින් වැටෙන ගෙඩි පමණක් කකා හිටියත්, ඔහුට මේ සීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය වැඩීමක් වෙලා නැත්නම්, සාක්ෂාත් කිරීමක් වෙලා නැත්නම්, ඇත්තෙන්ම ඔහු මහණකමින් දුරු වෙලාමයි ඉන්නේ. බ්‍රාහ්මණකමෙනුත් දුරු වෙලාමයි ඉන්නේ.
පින්වත් කස්සප, යම් දවසක් භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.
පින්වත් කස්සප, යම් කෙනෙක් හණවැහැරි දැරුවත්, හණවැහැර මිශ්‍ර රෙදි දැරුවත්, ….(පෙ)…. සවස තුන්වෙනි කොට දිනකට තුන්වරක් ජලයෙහි ගිලී තපස් රැක්කත්, ඔහුට මේ සීල සම්පත්තිය, සමාධි සම්පත්තිය, ප්‍රඥා සම්පත්තිය වැඩීමක් වෙලා නැත්නම්, සාක්ෂාත් කිරීමක් වෙලා නැත්නම්, ඇත්තෙන්ම ඔහු මහණකමින් දුරු වෙලාමයි ඉන්නේ. බ්‍රාහ්මණකමෙනුත් දුරු වෙලාමයි ඉන්නේ.
පින්වත් කස්සප, යම් දවසක් භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.”
මෙසේ වදාළ විට අචේල කස්සප භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ පැවසුවා. “භවත් ගෞතමයෙනි, මහණකම දුෂ්කරයි නෙව. බ්‍රාහ්මණකම දුෂ්කරයි නෙව.”
“පින්වත් කස්සප, මහණකම දුෂ්කරයි යන කීමත්, බ්‍රාහ්මණකම දුෂ්කරයි යන කීමත් මේ ලෝකයෙහි ඇති ප්‍රකෘති කතාවකි.
පින්වත් කස්සප, කෙනෙක් නිරුවත්ව සිටියා කියලා, ආචාර ධර්ම අත්හැරියා කියලා ….(පෙ)…. ඔය විදිහට අඩමසකට වරක් බත් කෑවා කියලා, ඒ තපස් රැකුමෙන් වාසය කළා කියලා එපමණකින්ම කස්සප, මහණකමත් බ්‍රාහ්මණකමත් දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, මහණකම දුෂ්කරයි, බ්‍රාහ්මණකම දුෂ්කරයි කියලා කීම සුදුසු වන්නේ නෑ.
පින්වත් කස්සප, ගෘහපතියෙකුට වුනත්, ගෘහපති පුත්‍රයෙකුට වුනත්, අඩු ගණනේ ගෙදරකට වතුර අදින දාසී කෙල්ලකට වුනත් පුළුවනි “මං දැන් නිරුවත් තවුසෙක් වෙනවා, ආචාර ධර්ම අත්හරිනවා ….(පෙ)…. මේ විදිහට සති දෙකකට වරක් බත් අනුභව කරනවා. තපස් කරනවා” කියලා ඉන්න. නමුත් කස්සප, මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව මහණකමත්, බ්‍රාහ්මණකමත් දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, අන්න එතකොට නම් මහණකම දුෂ්කරයි, බ්‍රාහ්මණකම දුෂ්කරයි කියලා කිව්වට කමක් නෑ.
පින්වත් කස්සප, යම් දවසක භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.
පින්වත් කස්සප, යම් කෙනෙක් කොළ වර්ග අමුවෙන් කෑවා කියලා, ගස් බොඩ අනුභව කළා කියලා, ….(පෙ)…. වනමුල් ගෙඩි කෑවා කියලා, ගසෙන් වැටුණු ගෙඩි පමණක් කෑවා කියලා මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව මහණකමත්, බ්‍රාහ්මණකමත් දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, එකරුණින් නම් මහණකම දුෂ්කරයි, බ්‍රාහ්මණකම දුෂ්කරයි කියලා කියන එක සුදුසු නෑ.
පින්වත් කස්සප, ගෘහපතියෙකුට වුනත්, ගෘහපති පුත්‍රයෙකුට වුනත්, අඩු ගණනේ ගෙදරකට වතුර අදින දාසී කෙල්ලකට වුනත් පුළුවනි “මං දැන් අමුවෙන් කොළ කන කෙනෙක් වෙනවා ….(පෙ)…. වනමුල් ගෙඩි කන කෙනෙක් වෙනවා. ගස්වලින් වැටෙන ගෙඩි විතරක් කන කෙනෙක් වෙලා ඉන්නවා” කියලා. නමුත් කස්සප, මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව මහණකමත්, බ්‍රාහ්මණකමත් දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, අන්න එතකොට නම් මහණකම දුෂ්කරයි, බ්‍රාහ්මණකම දුෂ්කරයි කියලා කිව්වට කමක් නෑ.
පින්වත් කස්සප, යම් දවසක භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.
පින්වත් කස්සප, හණවැහැරි ඇන්දා කියලා, හණවැහැරි මුසු රෙදි ඇන්දා කියලා ….(පෙ)…. සවස තුන්වෙනි කොට දවසට තුන්වරක් ජලයේ ගිලී තපස් රකිමින් වාසය කළා කියලා මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව මහණකමත්, බ්‍රාහ්මණකමත් දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, එකරුණින් නම් මහණකම දුෂ්කරයි, බ්‍රාහ්මණකම දුෂ්කරයි කියලා කියන එක සුදුසු නෑ.
පින්වත් කස්සප, ගෘහපතියෙකුට වුනත්, ගෘහපති පුත්‍රයෙකුට වුනත්, අඩු ගණනේ ගෙදරකට වතුර අදින දාසී කෙල්ලකට වුනත් පුළුවනි “මං දැන් හණ වැහැරි අඳිනවා. හණවැහැරි මුසු වස්ත්‍ර අඳිනවා ….(පෙ)…. සවස තුන්වෙනි කොට දවසට තුන්වරක් ජලයේ ගිලී තපස් රකිමින් වාසය කරන කෙනෙක් වෙලා ඉන්නවා” කියලා. නමුත් කස්සප, මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව මහණකමත්, බ්‍රාහ්මණකමත් දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, අන්න එතකොට නම් මහණකම දුෂ්කරයි, බ්‍රාහ්මණකම දුෂ්කරයි කියලා කිව්වට කමක් නෑ.
පින්වත් කස්සප, යම් දවසක භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.
මෙසේ වදාළ විට අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේට මෙය කියා සිටියා. “භවත් ගෞතමයෙනි, ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි. බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි” කියලා.
“පින්වත් කස්සප, ‘ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි. බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි’ යන මෙය ලෝකයෙහි ඇති ප්‍රකෘති කථාවක්.
පින්වත් කස්සප, කෙනෙක් නිරුවත්ව සිටියා කියලා, ආචාර ධර්ම අත්හැරියා කියලා ….(පෙ)…. ඔය විදිහට අඩමසකට වරක් බත් කෑවා කියලා, ඒ තපස් රැකුමෙන් වාසය කළා කියලා එපමණකින්ම කස්සප, ශ්‍රමණයාත්, බ්‍රාහ්මණයාත් තේරුම් ගැනීම දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි, බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි කියලා කීම සුදුසු වන්නේ නෑ.
පින්වත් කස්සප, ගෘහපතියෙකුට වුනත්, ගෘහපති පුත්‍රයෙකුට වුනත්, අඩු ගණනේ ගෙදරකට වතුර අදින දාසී කෙල්ලකට වුනත් පුළුවනි “මොහු නිරුවත් තවුසෙක්, ආචාර ධර්ම අත්හැරලා ….(පෙ)…. මේ විදිහට සති දෙකකට වරක් බත් අනුභව කරනවා. තපස් කරනවා” කියලා තේරුම් ගන්න. නමුත් කස්සප, මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව ශ්‍රමණයාත්, බ්‍රාහ්මණයාත් තේරුම් ගැනීම දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි, බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි කියලා කිව්වට කමක් නෑ.
පින්වත් කස්සප, යම් දවසක භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.
පින්වත් කස්සප, යම් කෙනෙක් කොළ වර්ග අමුවෙන් කෑවා කියලා. ගස් බොඩ අනුභව කළා කියලා ….(පෙ)…. වනමුල් ගෙඩි කෑවා කියලා, ගසෙන් වැටුණු ගෙඩි පමණක් කෑවා කියලා, ඒ තපස් රැකුමෙන් වාසය කළා කියලා එපමණකින්ම කස්සප, ශ්‍රමණයාත්, බ්‍රාහ්මණයාත් තේරුම් ගැනීම දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි, බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි කියලා කීම සුදුසු වන්නේ නෑ.
පින්වත් කස්සප, ගෘහපතියෙකුට වුනත්, ගෘහපති පුත්‍රයෙකුට වුනත්, අඩු ගණනේ ගෙදරකට වතුර අදින දාසී කෙල්ලකට වුනත් පුළුවනි “මොහු අමුවෙන් කොළ කන කෙනෙක් ….(පෙ)…. වනමුල් ගෙඩි කන කෙනෙක්, ගස්වලින් වැටෙන ගෙඩි විතරක් කන කෙනෙක්” කියලා තේරුම් ගන්න. නමුත් කස්සප, මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව ශ්‍රමණයාත්, බ්‍රාහ්මණයාත් තේරුම් ගැනීම දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි, බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි කියලා කිව්වට කමක් නෑ.
පින්වත් කස්සප, යම් දවසක භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.
පින්වත් කස්සප, හණවැහැරි ඇන්දා කියලා, හණවැහැරි මුසු රෙදි ඇන්දා කියලා ….(පෙ)…. සවස තුන්වෙනි කොට දවසට තුන්වරක් ජලයේ ගිලී තපස් රකිමින් වාසය කළා කියලා, ඒ තපස් රැකුමෙන් වාසය කළා කියලා එපමණකින්ම කස්සප, ශ්‍රමණයාත්, බ්‍රාහ්මණයාත් තේරුම් ගැනීම දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි, බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි කියලා කීම සුදුසු වන්නේ නෑ.
පින්වත් කස්සප, ගෘහපතියෙකුට වුනත්, ගෘහපති පුත්‍රයෙකුට වුනත්, අඩු ගණනේ ගෙදරකට වතුර අදින දාසී කෙල්ලකට වුනත් පුළුවනි “මොහු හණ වැහැරි අඳිනවා. හණවැහැරි මුසු වස්ත්‍ර අඳිනවා ….(පෙ)…. සවස තුන්වෙනි කොට දවසට තුන්වරක් ජලයේ ගිලී තපස් රකිමින් වාසය කරන කෙනෙක් වෙලා ඉන්නවා” කියලා තේරුම් ගන්න. නමුත් කස්සප, මේ ඉතා ස්වල්ප වූ තපස් උපක්‍රමයෙන් වෙන් වෙලා මේ තපස් ක්‍රමයෙන් බැහැරව ශ්‍රමණයාත්, බ්‍රාහ්මණයාත් තේරුම් ගැනීම දුෂ්කර වෙනවා නම්, වඩාත් දුෂ්කර වෙනවා නම්, ශ්‍රමණයා තේරුම් ගැනීම දුෂ්කරයි, බ්‍රාහ්මණයා තේරුම් ගැනීම දුෂ්කරයි කියලා කිව්වට කමක් නෑ.
පින්වත් කස්සප, යම් දවසක භික්ෂුව වෛරයෙන් තොර, තරහෙන් තොර මෙත් සිත වඩනවා නම්, ආශ්‍රවයන්ගේ ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත්, මේ ජීවිතයේදීම ස්වකීය විශිෂ්ට නුවණින් සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරනවා නම්, පින්වත් කස්සප, මෙන්න මේ භික්ෂුවට තමයි ශ්‍රමණයා කියන්නේ. බ්‍රාහ්මණයා කියන්නේ.”
මෙසේ වදාළ විට අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම ඇසුවා. “භවත් ගෞතමයන් වහන්ස, මොකක්ද ඒ සීල සම්පත්තිය? මොකක්ද ඒ සමාධි සම්පත්තිය? මොකක්ද ඒ ප්‍රඥා සම්පත්තිය?”
පින්වත් කස්සප, මෙහි අරහත් වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපත ලබනවා ….(පෙ)…. තමා විසින් උපදවා ගත් විශිෂ්ට ඤාණයෙන් සාක්ෂාත් කරලා ලෝකයට කියා දෙනවා. උන්වහන්සේ දහම් දෙසනවා ….(පෙ)…. බඹසර ප්‍රකාශ කරනවා. එතකොට ගෘහපතියෙක් වේවා, ගෘහපති පුත්‍රයෙක් වේවා කවර හෝ කුලයක උපන් කෙනෙක් වේවා ඒ ධර්මය අසනවා ….(පෙ)…. ඔහු ඒ ධර්මය අසලා තථාගතයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදවා ගන්නවා. ඉතින් ඔහු ඒ ශ්‍රද්ධා ලාභයෙන් යුක්ත වෙලා මේ විදිහට නුවණින් කල්පනා කරනවා. “ගිහි ගෙදර වාසය කිරීම හරිම කරදරයක් ….(පෙ)…. ඒ නිසා මං කෙස් රැවුල් බාලා, කසාවත් පොරොවා ගෙන ගිහිගෙයින් නික්ම පැවිද්දට ඇතුළත් වෙන එක තමයි හොඳ” කියලා.
ඔහු පස්සේ කාලෙක ….(පෙ)…. ගිහි ගෙයින් නික්ම පැවිදි ජීවිතයට පත් වෙනවා. ඔහු ඔය විදිහට පැවිද්දෙක් වෙලා ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් (පැවිද්දෙක් විසින් රැකගත යුතු නිවනට උපකාරී වන උතුම් සිල්පදවලින්) සංවරව ඉන්නවා ….(පෙ)…. ශික්ෂාපදවල සමාදන්ව හික්මෙනවා ….(පෙ)….
පින්වත් කස්සප, භික්ෂුව සීලයෙන් යුක්ත වන්නේ කොහොමද? පින්වත් කස්සප, මෙහි භික්ෂුව සතුන් මැරීම අත්හැර දාලා සතුන් මැරීමෙන් වැළකී ඉන්නවා ….(පෙ)…. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි ….(පෙ)…. (සාමඤ්ඤඵල සූත්‍රයෙහි විස්තර වන ආකාරයටම විස්තර කළ යුතුය. )
ඒ වගේම ඇතැම් භවත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් ඉන්නවා. ඔවුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් අනුභව කරලා මෙවැනි වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. ඒ කියන්නේ, ශාන්ති කර්ම ….(පෙ)…. වනවලට බෙහෙත් බැඳීම, ආදී තිරිසන් විද්‍යාවෙන් යුතුව මිථ්‍යා ආජීවයෙන් ජීවත් වෙනවා. මෙවැනි දෙයිනුත්, මෙවැනි වෙන දේවල්වලිනුත් වැළකී මෙබඳු වූ තිරශ්චීන විද්‍යාවෙන් යුතු මිථ්‍යා ආජීවයෙන් වැළකී ඉන්නවා. මෙයත් ඔහුගේ සීලයට අයත් දෙයකි.
පින්වත් කස්සප, ඒ භික්ෂුව වනාහී මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීල සංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ. පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. ඔටුනු පළන් රජ කෙනෙක් ඉන්නවා. ඔහු සතුරන් පරදවලා බැහැර කරලයි ඉන්නේ. ඉතින් ඔහු සතුරන් හේතුවෙන් මොනම අයුරකින්වත් භයක් දකින්නේ නෑ. පින්වත් කස්සප, භික්ෂුවත් ඔය විදිහමයි. මේ අයුරින් සීලසම්පන්නව සිටින විට ඒ සීලසංවරය හේතු කොට ගෙන මොනම අයුරකින්වත් බියක් දකින්නේ නෑ.
ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් සමන්විතව ආධ්‍යාත්මිකව නිවැරදි සැපයක් විඳිනවා. පින්වත් කස්සප, ඔන්න ඔය විදිහටයි භික්ෂුව සීලසම්පන්න වන්නේ. පින්වත් කස්සප, මේ තමයි සීල සම්පත්තිය ….(පෙ)….
පින්වත් කස්සප, භික්ෂුව අකුසලයන් වැළකූ ද්වාර ඇති ඉඳුරන් ඇතිව ඉන්නේ කොහොමද? පින්වත් කස්සප, මෙහිලා භික්ෂුව ඇසින් රූප දැක නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ ….(පෙ)…. ඇස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙනවා. කනෙන් ශබ්දයක් අහලා ….(පෙ)…. නාසයෙන් ගන්ධයක් ආඝ්‍රාණය කරලා ….(පෙ)…. දිවෙන් රසයක් රස විඳලා ….(පෙ)…. කයෙන් පහසක් ලබලා ….(පෙ)…. මනසින් අරමුණක් දැනගෙන නිමිති ගන්නේ නෑ. නිමිත්තක කොටසක්වත් ගන්නේ නෑ ….(පෙ)…. මනස නැමැති ඉන්ද්‍රියයේ සංවරයට පැමිණෙනවා. ඔහු මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව ආධ්‍යාත්මිකව පීඩා රහිතව සැපයක් විඳිනවා. පින්වත් කස්සප, භික්ෂුව අකුසලයෙන් වැළැක් වූ දොරටු ඇති ඉන්ද්‍රියයන් තුළ ඉන්නේ ඔය විදිහටයි.
පින්වත් කස්සප, භික්ෂුව සිහිනුවණින් යුතුව සිටින්නේ කොහොමද? පින්වත් කස්සප, මෙහිලා භික්ෂුව ඉදිරියට යද්දීත්, ආපසු එද්දීත්, එය කරන්නේ සිහි නුවණින්මයි ….(පෙ)…. ගමන් කරද්දී, සිටගෙන සිටිද්දී, වාඩි වී සිටිද්දී්, සැතපෙද්දී, නිදිවරද්දී, කතාබස් කරද්දී, නිහඬව සිටිද්දී එය කරන්නෙත් සිහි නුවණින්මයි. පින්වත් කස්සප, භික්ෂුව සිහිනුවණින් යුතු වන්නේ ඔය ආකාරයටයි.
පින්වත් කස්සප, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ කොහොමද? පින්වත් කස්සප, මෙහිලා භික්ෂුව කය පරිහරණයට සෑහෙන සිවුරෙන් ….(පෙ)…. කුසගිනි නිවෙන්නට සෑහෙන පිණ්ඩපාතයෙන් සතුටු වෙනවා. ඔහු යම් ම තැනකට පිටත් වෙනවා නම්, පාසිවුරු පමණක් අරගෙන යනවා. පින්වත් කස්සප, භික්ෂුව ලද දෙයින් සතුටු වන්නේ ඔය විදිහටයි.
ඔහු මේ ආර්ය වූ සීලස්කන්ධයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වෙලා, මේ ආර්ය වූ සිහිනුවණින් යුක්ත වෙලා, මේ ආර්ය වූ ලද දෙයින් සතු වීමෙන් යුක්ත වෙලා හුදෙකලා සෙනසුනක වාසය කරනවා. ඒ කියන්නේ අරණ්‍යය, රුක්සෙවණ, පර්වතය, දිය ඇල්ල, ගිරිගුහාව, සොහොන, වනගැබ, ගස් කොළන් රහිත හිස් පිටිය, පිදුරු ගෙය ආදියයි. ඔහු පිණ්ඩපාතය වළඳා, දානයෙන් පසු (එවැනි තැනක) පළඟක් බැඳ ගෙන, කය ඍජු කරගෙන, භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා ගෙන වාඩිවෙනවා.
ඔහු ජීවිතය නම් වූ ලෝකය ගැන ඇති විසම ලෝභය දුරු කොට ඇලීම් රහිත වූ සිතින් වාසය කරනවා. විසම ලෝභය කෙරෙන් සිත පිරිසිදු කරනවා. ….(පෙ)…. තරහ, වෛර ආදිය අත්හැර තරහ නැති සිතින් සියලු සතුන් කෙරෙහි හිතානුකම්පීව වාසය කරනවා ….(පෙ)…. නිදිමත, අලසකම අත්හැර නිදිමත, අලසකමින් බැහැරව වාසය කරනවා ….(පෙ)…. සිතේ විසිරීමත්, පසුතැවීමත් බැහැර කොට වාසය කරනවා ….(පෙ)…. සැකය දුරු කොට කුසල් දහම් ගැන කෙසේද? කෙසේද? යනාදී සැකයෙන් එතෙරව වාසය කරනවා. සැකය කෙරෙන් සිත පිරිසිදු කරනවා.
පින්වත් කස්සප, එය මෙවැනි දෙයක්. පුරුෂයෙක් ණයක් අරගෙන කර්මාන්තයක යොදවනවා. ඔහුගේ ඒ ව්‍යාපාරය සාර්ථක වෙනවා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා. පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් රෝගී වෙලා, දුකට පත්වෙලා ….(පෙ)…. නමුත් පස්සෙ කාලෙක ඔහු ඒ රෝගයෙන් මිදුනා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා. පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් හිරගෙදරක බන්ධනයකට හසුවෙනවා. නමුත් ඔහු පස්සෙ කාලෙක තමන්ගේ ධනය වියදම් නොකොට සුවසේම ඒ බන්ධනාගාරයෙන් නිදහස් වෙනවා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා. පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් තමාට සිතූ පරිදි ගත කරන්නට බැරි, අනුන්ට යටත් වෙලා වාසය කරන, තමා කැමැති පරිදි යා ගත නොහැකි, දාසයෙක් වෙලා හිටියා ….(පෙ)…. නමුත් පසු කලෙක ඔහු ඒ දාසභාවයෙන් මිදුනා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා. පින්වත් කස්සප, ඒක මේ වගේ දෙයක්. පුරුෂයෙක් ධනය ඇතිව, භෝග සම්පත් ඇතිව, ආහාරපාන දුලභ වූ, බිය උවදුරු සහිත කාන්තාර ගමනකට පිවිසෙනවා ….(පෙ)…. නමුත් ඔහු පසු කාලෙක ඒ කාන්තාරයෙන් එතෙර වෙනවා ….(පෙ)…. ඒ හේතුවෙන් ඔහු මහත් සතුටක් ලබනවා. මහත් සොම්නසක් ලබනවා. පින්වත් කස්සප, අන්න ඒ විදිහමයි. භික්ෂුවත් (කලින්) ණයක් ගත්තා වගේ, ලෙඩ වුනා වගේ, හිරේවිලංගුවේ වැටුනා වගේ, වහල්බවට පත්වුනා වගේ, නිරුදක කතරකට පැමිණුනා වගේ මේ පංච නීවරණයන් ප්‍රහාණය නොවී තමා තුළ පවතින හැටි දකිනවා. නමුත් පින්වත් කස්සප, ඒ ණය ගෙවා දමා ණය රහිත වුනා වගේ, රෝගයෙන් නිදහස් වෙලා නීරෝග වුනා වගේ, වියදම් නැතුව හිරෙන් නිදහස් වුනා වගේ, දාසබවෙන් නිදහස් වුනා වගේ, නිරුදක කතර ගෙවා ආරක්ෂා සහිත ක්ෂේම භූමියකට පැමිණුනා වගේ තමයි. පින්වත් කස්සප, අන්න ඒ විදිහමයි භික්ෂුව තමා තුළ මේ පංච නීවරණයන් දුරු වී ඇති ආකාරයත් දකින්නේ.
ඔහුට මේ පංච නීවරණයන් තමා තුළ නැති බව දකිද්දී මහත් සතුටක් ඇතිවෙනවා. ඒ ප්‍රමුදිත වීම ඇති කෙනාට ප්‍රීතිය ඇතිවෙනවා. ප්‍රීති මනසක් ඇති කෙනාගේ කය සංසිඳෙනවා. සංසිඳුණු කයින් යුතුව සැපක් විඳිනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා. ඔහු කාමයන්ගෙන් වෙන්ව, අකුසලයන්ගෙන් වෙන්ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරනවා ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වන ධ්‍යානයත් ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවා ගෙන වාසය කරනවා. මෙයත් ඔහුගේ සමාධි සම්පත්තියට අයිති දෙයක්. පින්වත් කස්සප, මේ තමයි ඒ චිත්ත සම්පත්තිය.
ඔහු (ඒ භික්ෂුව) ඔය අයුරින් සිත සමාධිමත් වූ විට ….(පෙ)…. ඤාණදර්ශනය (නුවණින් අවබෝධ වීම) පිණිස සිත යොමු කරයි. ඒ දෙසටම නතු කරයි ….(පෙ)…. මෙයත් ඔහුගේ ප්‍රඥා සම්පත්තියට අයත් දෙයක් ….(පෙ)…. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ’ යැයි අවබෝධයෙන් ම දැනගන්නවා. මෙයත් ඔහුගේ ප්‍රඥා සම්පත්තියට අයත් දෙයක්. පින්වත් කස්සප, මේ තමයි ඒ ප්‍රඥා සම්පත්තිය.
පින්වත් කස්සප මේ සීල සම්පත්තියෙනුත්, මේ සමාධි සම්පත්තියෙනුත්, මේ ප්‍රඥා සම්පත්තියෙනුත් බැහැර වූ වෙනත් උත්තරීතර වූත් ප්‍රණීතතර වූත් සීල සම්පත්තියක්, සමාධි සම්පත්තියක්, ප්‍රඥා සම්පත්තියක් නෑ.
පින්වත් කස්සප, සීලය ගැන පමණක් කතා කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණයින් ඉන්නවා. ඔවුන් නොයෙක් ආකාරයෙන් සීලයෙහි ගුණ කියනවා. එහෙත් කස්සප, යම්තාක් උත්තම වූ ආර්ය සීලයක් ඇද්ද එහිලා මං, මා හට සම සම වූ සිල්වත් කෙනෙක්ව දකින්නේ නෑ. ඊට වැඩි කෙනෙක් කොයින් සොයන්නද? එකරුණේදී ඒ අධි සීලයක් ඇද්ද, එහිලා වැඩි දියුණු කොට ඇති සිල් ඇත්තේ මා තුළමයි.
පින්වත් කස්සප, කෙලෙසුන් පිළිකුල් කරන කෙලෙස් තැවීම ගැන කතා කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා. ඔවුන් නොයෙක් ආකාරයෙන් කෙලෙස් පිළිකුල් කිරීමේ ගුණ කියනවා. නමුත් කස්සප, යම්තාක් උත්තම වූ ආර්ය කෙලෙස් පිළිකුල් කිරීමක් ඇද්ද එහිලා මං, මා හට සම සම වූ කෙලෙස් පිළිකුල් කරන කෙනෙක්ව දකින්නේ නෑ. ඊට වැඩි කෙනෙක් කොයින් සොයන්නද? එකරුණේදී ඒ අධි කෙලෙස් පිළිකුල් කිරීමක් ඇද්ද, එහිලා වැඩි දියුණු කොට ඇති කෙලෙස් පිළිකුල් කිරීම ඇත්තේ මා තුළමයි.
පින්වත් කස්සප, ප්‍රඥාව ගැන කතා කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා. ඔවුන් නොයෙක් ආකාරයෙන් ප්‍රඥාවේ ගුණ කියනවා. නමුත් කස්සප, යම්තාක් උත්තම වූ ආර්ය ප්‍රඥාවක් ඇද්ද එහිලා මං, මා හට සම සම වූ ප්‍රඥාව ඇති කෙනෙක්ව දකින්නේ නෑ. ඊට වැඩි කෙනෙක් කොයින් සොයන්නද? එකරුණේදී ඒ අධිප්‍රඥාවක් ඇද්ද, එහිලා වැඩි දියුණු කොට ඇති ප්‍රඥාව ඇත්තේ මා තුළමයි.
පින්වත් කස්සප, විමුක්තිය ගැන කතා කරන ඇතැම් ශ්‍රමණ බ්‍රාහ්මණවරුන් ඉන්නවා. ඔවුන් නොයෙක් ආකාරයෙන් විමුක්තියේ ගුණ කියනවා. නමුත් කස්සප, යම්තාක් උත්තම වූ ආර්ය විමුක්තියක් ඇද්ද එහිලා මං, මා හට සම සම වූ විමුක්තිය ඇති කෙනෙක්ව දකින්නේ නෑ. ඊට වැඩි කෙනෙක් කොයින් සොයන්නද? එකරුණේදී ඒ අධි විමුක්තියක් ඇද්ද, එහිලා වැඩි දියුණු කොට ඇති විමුක්තිය ඇත්තේ මා තුළමයි.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. ඒ වුනාට ඔහු සිංහනාද කරන්නේ කාත් කවුරුත් නැති තැනක මිස පිරිස් අතර නොවෙයි” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා. පිරිස් අතරේමයි සිංහනාද කරන්නේ” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා. ඒ වුනාට විශාරද ලෙස සිංහනාද කරන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා. පිරිස් අතරේමයි සිංහනාද කරන්නේ, විශාරදවමයි සිංහනාද කරන්නේ” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා. විශාරදව සිංහනාද කරනවා. ඒ වුනාට ඔහුගෙන් කවුරුවත් ප්‍රශ්න අසන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා. පිරිස් අතරේමයි සිංහනාද කරන්නේ, විශාරදවමයි සිංහනාද කරන්නේ, ඒ වගේම ඔහුගෙන් අනික් උදවිය ප්‍රශ්න අසනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා. විශාරදව සිංහනාද කරනවා. ඔහුගෙන් අනික් උදවිය ප්‍රශ්නත් අසනවා. ඒ වුනාට ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා. පිරිස් අතරේමයි සිංහනාද කරන්නේ, විශාරදවමයි සිංහනාද කරන්නේ, ඒ වගේම ඔහුගෙන් අනික් උදවිය ප්‍රශ්න අසනවා, ඒ වගේම ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට පිළිතුරුත් දෙනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා ….(පෙ)…. ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට පිළිතුරුත් දෙනවා. ඒ වුනාට ඔවුන් ඒ පිළිතුරු ගැන සිත සතුටු වෙන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා ….(පෙ)…. ඒ වගේම ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලින් ඔවුන්ගේ සිතත් සතුටට පත්වෙනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා ….(පෙ)…. ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලින් ඔවුන්ගේ සිතත් සතුටට පත්වෙනවා. ඒ වුනාට ඔවුන් ඔහුගේ ධර්මය ඇසිය යුතුයි කියලා හිතන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා ….(පෙ)…. ඒ වගේම ඔවුන්ගේ ඒ ප්‍රශ්නවලට දෙන පිළිතුරුවලින් ඔවුන්ගේ සිතත් සතුටට පත්වෙනවා මෙන්ම ඔහුගේ ධර්මයට සවන් දිය යුතුයි කියලාත් හිතනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා ….(පෙ)…. ඔවුන් ඔහුගේ ධර්මය ඇසිය යුතුයි කියලා හිතනවා. ඒ වුනාට ඔහුගේ බණ අසා ඔවුන් පහදින්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා ….(පෙ)…. ඒ වගේම ඔහුගේ ධර්මයට සවන් දිය යුතුය කියලත් හිතනවා. ධර්මය අසා ඔවුන් පහදිනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා ….(පෙ)…. ඔහුගේ බණ අසා ඔවුන් පහදිනවා. ඒ වුනාට ඔවුන් පැහැදිලා ඒ පහන්බව දක්වන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා ….(පෙ)…. ඒ වගේම ධර්මය අසා ඔවුන් පහදිනවා. පැහැදිලා ඔවුන් පහන්බවත් දක්වනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා ….(පෙ)…. ඔවුන් පැහැදිලා ඒ පහන්බව දක්වනවා. ඒ වුනාට ඔවුන් එය අවබෝධ කරගැනීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා ….(පෙ)…. ඒ වගේම පැහැදිලා ඔවුන් පහන්බවත් දක්වනවා. එය අවබෝධ කරගැනීමටත් ප්‍රතිපදාවෙහි යෙදෙනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, මෙවැනි දෙයක් දකින්නට ලැබෙනවා. අන්‍ය ආගමික පිරිවැජියන් යමක් අරභයා මෙවැනි දෙයක් කියනවාද, ඒ කියන්නේ “ශ්‍රමණ ගෞතමයන් සිංහනාදයෙන් නද දෙනවා. පිරිස් අතරත් සිංහනාද කරනවා ….(පෙ)…. ඔවුන් එය අවබෝධ කරගැනීම පිණිස ප්‍රතිපදාවේ යෙදෙනවා. නමුත් ඒ ප්‍රතිපදාව අනුගමනය කොට ශ්‍රමණ ගෞතමයන්ව සතුටු කරවන්නේ නෑ” කියලා. එතකොට ඔවුන්ට කිව යුත්තේ “එහෙම කියන්නට එපා” කියලයි. “ශ්‍රමණ ගෞතමයන් සිංහනාද කරනවා, පිරිස් මැදත් සිංහනාද කරනවා, විශාරදවත් සිංහනාද කරනවා, ඔහුගෙන් ප්‍රශ්නත් අහනවා, ඔවුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරුත් දෙනවා. ඒ ප්‍රශ්න විසඳීමෙන් ඔවුන්ගේ සිතත් සතුටු වෙනවා. ඔහුගේ ධර්මය ඇසිය යුතුයි කියලත් හිතනවා. ධර්මය අසාත් පහදිනවා. පැහැදිලා ඒ පහන්බවත් දක්වනවා. එය අවබෝධ කර ගැනීමටත් ප්‍රතිපදාවෙහි යෙදෙනවා. ප්‍රතිපදාවෙහි යෙදිලා ශ්‍රමණ ගෞතමයන්ව සතුටට පත් කරවනවා” කියලයි පින්වත් කස්සප, ඔවුන්ට කිව යුත්තේ.
පින්වත් කස්සප, එක් කාලයක මං වාසය කළේ රජගහ නුවර ගිජුකුළුපව්වේ. ඉතින් දවසක් එක්තරා තපෝ බ්‍රහ්මචාරී තවුසෙක් වන නිග්‍රෝධ නම් පිරිවැජියා මගෙන් අධිකෙලෙස් පිළිකුළ ගැන ප්‍රශ්නයක් ඇසුවා. මං ඔහුට අධි කෙලෙස් පිළිකුළ ගැන ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. මා එය විසඳූ විට ඔහු අතිශයින්ම සන්තෝෂයට පත්වුනා.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා අතිශයින්ම චිත්ත සන්තෝෂයට පත් නොවන්නේ කවුද? ස්වාමීනී, මමත් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා අතිශයින්ම චිත්ත සන්තෝෂයට පත්වුනා. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, ඉතා සුන්දරයි. යටට හරවා තිබූ දෙයක් උඩු අතට හැරෙව්වා වගෙයි. වහලා තිබුණු දෙයක් ඇරලා පෙන්නුවා වගෙයි. මංමුළා වූවන්ට නියම මග පෙන්වා දෙනවා වගෙයි. ඇස් ඇති උදවියට රූප දකින්න අඳුරෙහි තෙල් පහනක් දල්වා ගෙන දරා සිටිනවා වගෙයි. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අයුරින් ශ්‍රී සද්ධර්මය වදාළා. ස්වාමීනී, මේ මමත් භාග්‍යවතුන් වහන්සේව සරණ යනවා. ශ්‍රී සද්ධර්මයත්, ආර්ය මහා සංඝරත්නයත් සරණ යනවා. ස්වාමීනී, මාත් භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිදි බව ලබනවා නම්, උපසම්පදාවත් ලබනවා නම් ඉතා යහපති.”
“පින්වත් කස්සප, යම් කෙනෙක් කලින් අන්‍යාගමක ඉඳලා ඔහු මේ ධර්ම විනය තුළ පැවිදි බව කැමැති වෙනවා නම්, උපසම්පදාව කැමැති වෙනවා නම්, ඔහු මාස හතරක් පිරිවෙස් වසන්නට ඕන. ඒ මාස හතර ඇවෑමෙන් සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා ඔහුව පැවිදි කරනවා. භික්ෂුභාවය පිණිස උපසම්පදා කරනවා. කොහොම නමුත් මෙහිලා මා පුද්ගලයන්ගේ විවිධ ස්වභාවයන් ගැන අවබෝධයකිනුයි ඉන්නේ.”
“ස්වාමීනී, ඉදින් කලින් අන්‍යාගමක සිටපු කෙනෙක් මේ ධර්ම විනය තුළ පැවිදිබව කැමැති වෙද්දී, උපසම්පදාව කැමැති වෙද්දී ඔහු මාස හතරක පරිවාස කාලයක් ගත කළ යුතු නම්, ඒ සිව්මාසය ඇවෑමෙන් ඔහු කෙරෙහි සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා ඔහුව පැවිදි කරනවා නම්, භික්ෂුභාවය පිණිස උපසම්පදා කරනවා නම්, මං අවුරුදු හතරක පරිවාස කාලයක් වුනත් ඉන්නම්. ඒ අවුරුදු හතර ඇවෑමෙන් මා කෙරෙහි සතුටු සිත් ඇති භික්ෂූන් වහන්සේලා මාව පැවිදි කරන සේක්වා! භික්ෂුභාවය පිණිස උපසම්පදා කරන සේක්වා!”
ඉතින් අචේලකස්සප භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහි පැවිද්ද ලබා ගත්තා. උපසම්පදාවත් ලබා ගත්තා. උපසම්පදාව ලබාගත් නොබෝ කලකින්ම ආයුෂ්මත් කස්සපයන් හුදෙකලා වුනා. පිරිසෙන් වෙන් වුනා. අප්‍රමාදී වුනා. කෙලෙස් තවන වීරියෙන් යුතු වුනා. දහමට දිවි පුදා ධර්මයේ හැසිරෙන කොට යම් කුල පුත්‍රයෙක් යම්කිසි බලාපොරොත්තුවකින් ගිහි ජීවිතය අත්හැරලා බුදු සසුනේ පැවිදි වුනා ද, අන්න ඒ උත්තරීතර බඹසර පූර්ණත්වය වන අමා නිවන මේ ජීවිතයෙහිදීම විශේෂ ඤාණයකින් යුතුව අවබෝධ කරගෙන පැමිණ වාසය කළා. “ඉපදීම ක්ෂය වුනා. බඹසර වාසය සම්පූර්ණ කරගත්තා. නිවන පිණිස කළ යුතු දේ කරගත්තා. නිවන පිණිස කළයුතු වෙනත් දෙයක් නැත්තේ”යැයි අවබෝධ වුනා.
ආයුෂ්මත් කස්සප තෙරුන් එක්තරා රහතන් වහන්සේ නමක් බවට පත් වුනා.
සාදු! සාදු!! සාදු!!!
අටවෙනි සීහනාද සූත්‍රය නිමාවිය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn1_8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M