මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ පන්සියයක් පමණ මහත් භික්ෂු සංඝයා සමඟ චම්පා නුවර ගග්ගරා පොකුණු තෙර වැඩවසන සේක.
එහිදී ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ “ඇවැත් මහණෙනි” යි භික්ෂූන් ඇමතූහ. “ඇවැත්නි” යි ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේට පිළිවදන් දුන්හ. ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙම ගාථාව පැවසූහ.
“අමා නිවනට පත්වනු පිණිස, සියළු කෙලෙස් ගැට ගැසීම් ලිහා දමන්නා වූ, දුක් අවසන් කරවන ධර්මය එක් දහම් කරුණේ සිට දස දහම් කරුණ තෙක් පවසමි.”
“ඇවැත්නි, එක් ධර්මයක් බොහෝ උපකාරී වෙයි. එක් ධර්මයක් ප්‍රගුණ කළ යුතු වෙයි. එක් ධර්මයක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. එක් ධර්මයක් ප්‍රහාණය කළ යුතු වෙයි. එක් ධර්මයක් පිරිහීම ඇති කර දෙයි. එක් ධර්මයක් දියුණුව ඇති කර දෙයි. එක් ධර්මයක් අවබෝධයට දුෂ්කර වෙයි. එක් ධර්මයක් උපදවා ගත යුතු වෙයි. එක් ධර්මයක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. එක් ධර්මයක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන එක් ධර්මය කුමක් ද? කුසල ධර්මයන්හි අප්‍රමාදය යි. මෙය බොහෝ උපකාරී වන එක් ධර්මය යි.
ප්‍රගුණ කළ යුතු එක් ධර්මය කුමක් ද? සිතට සැප සහනය දෙන කායගතාසතිය යි. මෙය ප්‍රගුණ කළ යුතු එක් ධර්මය යි.
පිරිසිඳ දැක්ක යුතු එක් ධර්මය කුමක් ද? උපාදානය ඇති කරවන ආශ්‍රව සහිත වූ ස්පර්ශය යි. මෙය පිරිසිඳ දැකිය යුතු එක් ධර්මය යි.
ප්‍රහාණය කළ යුතු එක් ධර්මය කුමක් ද? ‘මම වෙමි’ යි යන මාන්නය යි. මෙය ප්‍රහාණය කළ යුතු එක් ධර්මය යි.
පිරිහීම ඇති කර දෙන එක් ධර්මය කුමක් ද? අයෝනිසෝ මනසිකාරය යි. මෙය පිරිහීම ඇති කර දෙන එක් ධර්මය යි.
දියුණුව ඇති කර දෙන එක් ධර්මය කුමක් ද? යෝනිසෝ මනසිකාරය යි. මෙය දියුණුව ඇති කර දෙන එක් ධර්මය යි.
අවබෝධයට දුෂ්කර වූ එක් ධර්මය කුමක් ද? රහත් ඵලය හෙවත් ආනන්තරික චිත්ත සමාධිය යි. මෙය අවබෝධයට දුෂ්කර වූ එක් ධර්මය යි.
උපදවා ගත යුතු එක් ධර්මය කුමක් ද? ආශ්‍රවයන් ක්ෂය වීමෙන් රහතන් වහන්සේ ලබන නොවෙනස් වන චිත්ත විමුක්තිය ඇති බව දන්නා වූ අකෝප්‍ය ඥානය යි. මෙය උපදවා ගත යුතු එක් ධර්මය යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු එක් ධර්මය කුමක් ද? සියළු සත්වයෝ ආහාරයෙන් සිටින්නෝ ය යන්නයි. මෙය විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු එක් ධර්මය යි.
සාක්ෂාත් කළ යුතු එක් ධර්මය කුමක් ද? ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් රහතන් වහන්සේ ලබන නොවෙනස් වන චිත්ත විමුක්තිය හෙවත් අකෝප්‍ය චිත්ත විමුක්තිය යි. මෙය සාක්ෂාත් කළ යුතු එක් ධර්මය යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ දස ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම දෙකක් බොහෝ උපකාරී වෙයි. ධර්ම දෙකක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම දෙකක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම දෙකක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම දෙකක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම දෙකක් දියුණුව ඇති කර දෙයි. ධර්ම දෙකක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම දෙකක් උපදවා ගත යුතු වෙයි. ධර්ම දෙකක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම දෙකක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම දෙක මොනවා ද? සිහිය ත්, නුවණත් ය. මේ බොහෝ උපකාරී වන ධර්ම දෙක යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම දෙක මොනවා ද? සමථය ත්, විදර්ශනාව ත් ය. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම දෙක යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම දෙක මොනවා ද? නාමය ත්, රූපය ත් ය. මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම දෙක යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම දෙක මොනවා ද? අවිද්‍යාව ත්, භව තණ්හාව ත් ය. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම දෙක යි.
පිරිහීම ඇති කර දෙන ධර්ම දෙක මොනවා ද? අකීකරුකම ත්, පාප මිත්‍රයන් ඇති බව ත් ය. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම දෙක යි.
දියුණුව ඇති කර දෙන ධර්ම දෙක මොනවා ද? කීකරුකම ත්, කල්‍යාණ මිත්‍රයන් ඇති බවත් ය. මේ දියුණුව ඇති කර දෙන ධර්ම දෙක යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම දෙක මොනවා ද? සත්වයන්ගේ කිලිටි වීමට යම් හේතුවක් ඇද්ද, යම් ප්‍රත්‍යයක් ඇද්ද, එය ත්, සත්වයන්ගේ පිරිසිදු වීමට යම් හේතුවක් ඇද්ද, යම් ප්‍රත්‍යයක් ඇද්ද, එය ත් ය. මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම දෙක යි.
උපදවා ගත යුතු ධර්ම දෙක මොනවා ද? ඥාන දෙකකි. ආශ්‍රවයන් ක්ෂය වූ බව දන්නා ඥානය ත්, ක්ෂය වූ ආශ්‍රවයන් යළි නූපදින බව දන්නා ඥානය ත් ය. මේ උපදවා ගත යුතු ධර්ම දෙක යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම දෙක මොනවා ද? ධාතු දෙකකි. සංඛත ධාතුව ත්, අසංඛත ධාතුවත් ය. මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම දෙක යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම දෙක මොනවා ද? විද්‍යාව ත්, විමුක්තිය ත් ය. මේ සාක්ෂාත් කළ යුතු ධර්ම දෙක යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ විසි ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම තුනක් බොහෝ උපකාරී වෙයි. ධර්ම තුනක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම තුනක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම තුනක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම තුනක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම තුනක් දියුණුව ඇති කර දෙයි. ධර්ම තුනක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම තුනක් උපදවා ගත යුතු වෙයි. ධර්ම තුනක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම තුනක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම තුන මොනවා ද? සත්පුරුෂ ඇසුර ත්, සද්ධර්ම ශ්‍රවණය ත්, ධර්මානුධර්ම ප්‍රතිපදාවත් ය. මේ බොහෝ උපකාරී වන ධර්ම තුන යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම තුන මොනවා ද? සමාධි තුනකි. විතර්ක සහිත විචාර සහිත සමාධිය ත්, විතර්ක රහිත විචාර මාත්‍ර සමාධිය ත්, විතර්ක රහිත විචාර රහිත සමාධිය ත් ය. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම තුන යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම තුන මොනවා ද? විඳීම් තුනකි. සැප විඳීම ත්, දුක් විඳීම ත්, දුක් සැප රහිත විඳීම ත් ය. මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම තුන යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම තුන මොනවා ද? තණ්හා තුනකි. කාම තණ්හාව ත්, භව තණ්හාව ත්, විභව තණ්හාව ත් ය. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම තුනයි.
පිරිහීම ඇති කර දෙන ධර්ම තුන මොනවා ද? අකුසල මුල් තුනකි. අකුසල මූලයක් වූ ලෝභය ත්, අකුසල මූලයක් වූ ද්වේෂය ත්, අකුසල මූලයක් වූ මෝහය ත් ය. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම තුන යි.
දියුණුව ඇති කර දෙන ධර්ම තුන මොනවා ද? කුසල මුල් තුනකි. කුසල මූලයක් වූ අලෝභය ත්, කුසල මූලයක් වූ අද්වේෂය ත්, කුසල මූලයක් වූ අමෝහය ත් ය. මේ දියුණුව ඇති කර දෙන ධර්ම තුන යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම තුන මොනවා ද? නිස්සරණීය ධාතු තුනකි. යම් මේ නෙක්ඛම්මයක් ඇද්ද, මෙය කාමයන්ගෙන් නිදහස්වීම යි. යම් මේ අරූප සමාධියක් ඇද්ද, මෙය රූපයන්ගෙන් නිදහස්වීම යි. උපන්නා වූ ත්, හේතු ප්‍රත්‍යයෙන් සකස් වූ ත්, පටිච්ච සමුප්පාදයෙන් උපන්නා වූ ත්, යම් කිසිවක් ඇද්ද, අරහත් ඵලය නම් වූ නිරෝධය එයින් නිදහස් වීම යි. මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම තුන යි.
උපදවා ගත යුතු ධර්ම තුන මොනවා ද? ඥාන තුනකි. හේතු ඵල දහමින් යුතු අතීතයක් තිබූ බවට ඥානය යි. ජාති, ජරා, මරණයෙන් මිදුණු බවට අනාගතයේ ඥානය යි. වර්තමානයෙහි කිසිවක් තුළ නොපිහිටි බවට ඥානය යි. මේ උපදවා ගත යුතු ධර්ම තුන යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම තුන මොනවා ද? ධාතු තුනකි. කාම ධාතුව ත්, රූප ධාතුව ත්, අරූප ධාතුව ත් ය. මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම තුන යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම තුන මොනවා ද? විද්‍යා තුනකි. පුබ්බේ නිවාසානුස්සති ඥානය විද්‍යාවකි. සත්වයන් පිළිබඳ ව චුතූපපාත ඥානය විද්‍යාවකි. ආශ්‍රවයන් ක්ෂය වූ බව දන්නා ඥානය විද්‍යාවකි. මේ සාක්ෂාත් කළ යුතු ධර්ම තුන යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ තිස් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම සතරක් බොහෝ උපකාරී වෙයි. ධර්ම සතරක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම සතරක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම සතරක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම සතරක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම සතරක් දියුණුව ඇති කර දෙයි. ධර්ම සතරක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම සතරක් උපදවා ගත යුතු වෙයි. ධර්ම සතරක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම සතරක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම සතර මොනවා ද? චක්‍ර සතරකි. සුදුසු පෙදෙසක වාසය කිරීම ත්, සත්පුරුෂයන් ඇසුරු කිරීම ත්, තමා ධර්මය තුළ පිහිටුවා ගැනීම ත්, පෙර භවයන්හි කළ පින් ඇති බවත් ය. මේ බොහෝ උපකාරී වන ධර්ම සතර යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම සතර මොනවා ද? සතිපට්ඨාන සතරකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම සතර යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම සතර මොනවා ද? ආහාර සතරකි. ගොරෝසු හෝ සියුම් හෝ කබලිංකාර ආහාර ය. දෙවැන්න ස්පර්ශය යි. මනෝ සංචේතනාව තුන්වැන්න යි. සිව්වැන්න විඤ්ඤාණය යි. මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම සතරයි.
ප්‍රහාණය කළ යුතු ධර්ම සතර මොනවා ද? සැඩපහර හෙවත් ඕඝ සතරකි. කාමය ඕඝයකි. භවය ඕඝයකි. දෘෂ්ටි ඕඝයකි. අවිද්‍යාව ඕඝයකි. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම සතර යි.
පිරිහීම ඇති කර දෙන ධර්ම සතර මොනවා ද? නැවත නැවත යෙදීම් හෙවත් යෝග සතරකි. කාමය යෝගයකි. භවය යෝගයකි. දෘෂ්ටි යෝගයකි. අවිද්‍යාව යෝගයකි. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම සතර යි.
දියුණුව ඇති කර දෙන ධර්ම සතර මොනවා ද? වෙන්වීම් හෙවත් විසංයෝග සතරකි. අනාගාමී කෙනා කාමයෝගයෙන් වෙන් වෙයි. රහත් වීමෙන් භව යෝගයෙන් වෙන්වෙයි. සෝවාන් වීමෙන් දෘෂ්ටි යෝගයෙන් වෙන්වෙයි. රහත් ඵලයෙන් අවිද්‍යා යෝගයෙන් වෙන් වෙයි. මේ දියුණුව ඇති කර දෙන ධර්ම සතර යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම සතර මොනවා ද? සමාධි සතරකි. නීවරණ තුළින් පිරිහී යන ස්වභාව ඇති හානභාගිය සමාධිය ය. පිරිහීමක් හෝ දියුණුවක් හෝ නැති ව තිබෙන ඨිතිභාගිය සමාධිය ය. දියුණුවට පත්වෙන විශේෂ භාගිය සමාධිය ය. තියුණු අවබෝධය ඇති කර දෙන නිබ්බේධභාගිය සමාධිය ය. මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම සතර යි.
උපදවා ගත යුතු ධර්ම සතර මොනවා ද? ඥාන සතරකි. චතුරාර්ය සත්‍යය පිළිබඳ වූ ධම්මේ ඥානය ය. ඒ අනුව නුවණින් මෙනෙහි කොට උපදවා ගන්නා අන්වයේ ඥානය ය. අනුන්ගේ සිත් දැනගන්නා ඥානය පරියායේ ඥානය ය. සාමාන්‍ය ලොව ඇති ඥානය සම්මුති ඥානය ය. මේ උපදවා ගත යුතු ධර්ම සතර යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම සතර මොනවා ද? ආර්ය සත්‍ය සතරකි. දුක ආර්ය සත්‍යයකි. දුකෙහි හටගැනීම ආර්ය සත්‍යයකි. දුක නිරුද්ධ වීම ආර්ය සත්‍යයකි. දුක නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව ආර්ය සත්‍යයකි. මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම සතර යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම සතර මොනවා ද? ශ්‍රමණ ඵල සතරකි. සෝවාන් ඵලය ය. සකදාගාමී ඵලය ය. අනාගාමී ඵලය ය. අරහත් ඵලය ය. මේ සාක්ෂාත් කළ යුතු ධර්ම සතර යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ සතලිස් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම පසක් බොහෝ උපකාරී වෙයි. ධර්ම පසක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම පසක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම පසක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම පසක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම පසක් දියුණුව ඇති කර දෙයි. ධර්ම පසක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම පසක් උපදවා ගත යුතු වෙයි. ධර්ම පසක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම පසක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම පස මොනවා ද? පධානියංග පසකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධාව ඇත්තේ වෙයි. තථාගතයන් වහන්සේගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි.
(2). අල්ප ආබාධ ඇත්තේ වෙයි. අල්ප රෝග ඇත්තේ වෙයි. වඩා ත් සීත නොවූ ත්, වඩා ත් ඌෂ්ණ නොවූ ත් මධ්‍යම ප්‍රධන් වීර්යයට ඔරොත්තු දෙන ආකාරයේ සම ව ආහාර දිරවන ග්‍රහණියකින් සමන්විත වූයේ වෙයි.
(3). වංචා නැත්තේ වෙයි. මායා නැත්තේ වෙයි. ඒ වූ සැටියෙන් ම තමාගේ ස්වභාවය ශාස්තෘන් වහන්සේට හෝ නුවණැති සබ්‍රහ්මචාරීන් වහන්සේලාට හෝ හෙළිදරව් කරන්නේ වෙයි.
(4). අකුසල් දහම් ප්‍රහාණය කිරීම පිණිස ත්, කුසල් දහම් උපදවා ගැනීම පිණිස ත් පටන්ගත් වීරිය ඇත්තේ වෙයි. බලවත් වීරිය ඇත්තේ වෙයි. දැඩි පරාක්‍රමයෙන් යුක්ත වූයේ වෙයි. කුසල් දහම්හි නොපසුබස්නා වීරිය ඇත්තේ වෙයි.
(5). ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මේ බොහෝ උපකාරී වන ධර්ම පස යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම පස මොනවා ද? අංග පසකින් යුතු සම්මා සමාධිය යි. ප්‍රීතිය පතුරුවමින් උපදිනා පළමු වෙනි ධ්‍යාන සමාධිය ය. සැපය පතුරුවමින් උපදනා දෙවෙනි ධ්‍යාන සමාධිය ය. අන්‍යයන්ගේ සිත් දැනගන්නා අයුරින් නුවණ පතුරුවන සමාධිය ය. ආලෝකය පැතිරවීමෙන් දිවැස් ලබන සමාධිය ය. නැසූ කෙලෙස් පිළිබඳ ව ප්‍රත්‍යවෙක්ෂා කොට ගන්නා ඥානයෙන් යුතු සමාධිය ය. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම පස යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම පස මොනවා ද? උපාදානස්කන්ධ පසකි. එනම්; රූප උපාදානස්කන්ධය ය. වේදනා උපාදානස්කන්ධය ය. සංඥා උපාදානස්කන්ධය ය. සංස්කාර උපාදානස්කන්ධය ය. විඤ්ඤාණ උපාදානස්කන්ධය ය. මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම පස යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම පස මොනවා ද? නීවරණ පසකි. කාමච්ඡන්දය නීවරණයකි. ව්‍යාපාදය නීවරණයකි. ථීනමිද්ධය නීවරණයකි. උද්ධච්ච කුක්කුච්චය නීවරණයකි. විචිකිච්ඡාව නීවරණයකි. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම පස යි.
පිරිහීම ඇති කර දෙන ධර්ම පස මොනවා ද? සිතෙහි ඇනුණු හුල් පසය.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව තම ශාස්තෘන් වහන්සේ පිළිබඳ ව සැක කරයි. විචිකිච්ඡා කරයි. ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි. නොපහදියි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් තම ශාස්තෘන් වහන්සේ පිළිබඳව සැක කරයි ද, විචිකිච්ඡා කරයි ද, ශ්‍රද්ධාවෙහි නොබැස ගනියි ද, නොපහදියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර බහුල ව යෙදෙමින්, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින් දැඩි වීර්යයෙන් යුතුව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙය ඔහුගේ සිතෙහි ඇණී ඇති පළමු වැනි හුල වෙයි.
(2) – (5). තවද ඇවැත්නි, භික්ෂුව ධර්මය පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. සංඝයා පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. ශික්ෂාව පිළිබඳ ව සැක කරයි. ….(පෙ)…. සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳ ව කෝපයෙන් සිටියි. අමනාපයෙන් සිටියි. ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි. ඇවැත්නි, යම් ඒ භික්ෂුවක් සබ්‍රහ්මචාරීන් වහන්සේලා පිළිබඳ ව කෝපයෙන් සිටියි ද, අමනාපයෙන් සිටියි ද, ගැටුණු සිතින් හටගත් හුල ඇති ව සිටියි ද, එකල්හී කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර බහුල ව යෙදෙමින්, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට ඔහුගේ සිත නොනැමෙයි. යමෙකුගේ සිත කෙලෙස් තවන වීර්යයෙන් යුතු ව, නැවත නැවත යෙදෙමින්, නිතර බහුල ව යෙදෙමින්, දැඩි වීර්යයෙන් යුතු ව ධර්මයේ හැසිරෙන්නට යම් කරුණකින් නොපෙළඹෙයි නම් මෙය ඔහුගේ සිතෙහි ඇණී ඇති පස්වෙනි හුල වෙයි. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම පස යි.
දියුණුව ඇති කර දෙන ධර්ම පස මොනවා ද? ඉන්ද්‍රියයෝ පසකි. ශ්‍රද්ධාව ඉන්ද්‍රියයකි. විරිය ඉන්ද්‍රියයකි. සතිය ඉන්ද්‍රියයකි. සමාධිය ඉන්ද්‍රියයකි. ප්‍රඥාව ඉන්ද්‍රියයකි. මේ දියුණුව ඇති කර දෙන ධර්ම පස යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම පස මොනවා ද? නිස්සරණිය ධාතු පසකි.
ඇවැත්නි, මෙහිලා භික්ෂුව හට කාමයන් මෙනෙහි කරද්දී කාමයන් තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට කාමයන්ගෙන් නික්මීම වූ අසුභය මෙනෙහි කරද්දී ඒ නෙක්ඛම්මයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් නෙක්ඛම්මයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. කාමයන්ගෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් කාමයන්ගෙන් විසංයුක්ත වූයේ ය. කාමයන් හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ කාම වේදනාව නොවිඳියි. මේ අසුභ සමාධිය කාමයන්ගේ නික්ම යෑම යැයි කියන ලදී.
තව ද ඇවැත්නි, භික්ෂුව හට ද්වේෂය මෙනෙහි කරද්දී ද්වේෂය තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට ද්වේෂයෙන් නික්මීම වූ මෛත්‍රිය මෙනෙහි කරද්දී ඒ මෛත්‍රියෙහි සිත බැස ගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් මෛත්‍රියට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. ද්වේෂයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් ද්වේෂයෙන් විසංයුක්ත වූයේ ය. ද්වේෂය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ ද්වේෂ වේදනාව නොවිඳියි. මේ මෛත්‍රී සමාධිය ද්වේෂයෙන් නික්ම යෑම යැයි කියන ලදී.
තව ද ඇවැත්නි, භික්ෂුව හට හිංසාව මෙනෙහි කරද්දී හිංසාව තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට හිංසාවෙන් නික්මීම වූ කරුණාව මෙනෙහි කරද්දී ඒ කරුණාවෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් කරුණාවට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. හිංසාවෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් හිංසාවෙන් විසංයුක්ත වූයේ ය. හිංසාව හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ හිංසා වේදනාව නොවිඳියි. මේ කරුණා සමාධිය හිංසාවෙන් නික්ම යෑම යැයි කියන ලදී.
තව ද ඇවැත්නි, භික්ෂුව හට රූපයන් මෙනෙහි කරද්දී රූපයන් තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට රූපයෙන් නික්මීම වූ අරූපය මෙනෙහි කරද්දී ඒ අරූපයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් අරූපයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. රූපයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් රූපයෙන් විසංයුක්ත වූයේ ය. රූපය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ රූප වේදනාව නොවිඳියි. මේ අරූප සමාධිය රූපයෙන් නික්ම යෑම යැයි කියන ලදී.
තව ද ඇවැත්නි, භික්ෂුව හට පංච උපාදානස්කන්ධය මෙනෙහි කරද්දී පංච උපාදානස්කන්ධය තුළ සිත නොබැසගනියි. නොපහදියි. නොපිහිටයි. නොගැලෙයි. ඒ භික්ෂුවට පංච උපාදානස්කන්ධයෙන් නික්මීම වූ සක්කාය නිරෝධය මෙනෙහි කරද්දී ඒ සක්කාය නිරෝධයෙහි සිත බැසගනියි. පහදියි. පිහිටයි. ගැලෙයි. ඔහුගේ ඒ සිත මැනැවින් සක්කාය නිරෝධයට ගියේ ය. මැනැවින් දියුණු වූයේ ය. පංච උපාදානස්කන්ධයෙන් මැනැවින් නැගී සිටියේ ය. මැනැවින් මිදුණේ ය. මැනැවින් පංච උපාදානස්කන්ධයෙන් විසංයුක්ත වූයේ ය. පංච උපාදානස්කන්ධය හේතුවෙන් දුක් පරිදාහ ඇති යම් ආශ්‍රවයෝ උපදිත් නම් හේ එයින් මිදුණේ වෙයි. හේ ඒ පංච උපාදානස්කන්ධ වේදනාව නොවිඳියි. මේ සක්කාය නිරෝධය සක්කායෙන් නික්ම යෑම යැයි කියන ලදී.
මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම පස යි.
උපදවා ගත යුතු ධර්ම පස මොනවා ද? ඥාන පසක් ඇති සම්මා සමාධිය යි. ‘මේ සමාධිය වර්තමානයේ ද සැපවත් වෙයි. මතුවට ත් සැප විපාක ඇත්තේ ය’ යි තමා තුළ ම ඥානය උපදියි.
‘මේ සමාධිය ආර්ය ය. නිරාමිස ය’ යි තමා තුළ ම ඥානය උපදියි.
‘මේ සමාධිය ලාමක නොවන පුරුෂයන් සේවනය කරන ලද්දකි’ යි තමා තුළ ම ඥානය උපදියි.
‘මේ සමාධිය ශාන්ත ය. ප්‍රණීත ය. කෙලෙස් සංසිඳීමෙන් ලද්දකි. සිතේ එකඟ බවින් අත්දුටුවකි. උත්සාහයෙන් කෙලෙස් මැඬ පවත්වා ඇති නොකර ගත් දෙයකි’ යි තමා තුළ ම ඥානය උපදියි.
‘ඒ මම් වනාහී මේ සමාධියට සිහි ඇති ව ම සමවදිමි. සිහියෙන් ම නැගිටිමි’ යි තමා තුළ ම ඥානය උපදියි. මේ උපදවා ගත යුතු ධර්ම පස යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම පස මොනවා ද? විමුක්තිය ලබාදෙන තැන් පසකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා කරති. ඇවැත්නි, ඒ භික්ෂුවට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ යම් යම් අයුරින් ධර්මය දේශනා කරත් ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. පළමු විමුත්තායතනය මෙය යි.
(2). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා කරයි. ඇවැත්නි, භික්ෂුව යම් අයුරින් අසන ලද්දේ ද, යම් අයුරින් පිරිවහන ලද්දේ ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට යම් යම් අයුරින් දේශනා කරයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ වෙයි. ධර්මය මැනැවින් දන්නේ වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. දෙවන විමුත්තායතනය මෙය යි.
(3). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා ද නොකරයි. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා කරයි. ඇවැත්නි, භික්ෂුව යම් අයුරකින් අසන ලද, යම් අයුරකින් ඉගෙන ගත් ධර්මය යම් යම් අයුරින් විස්තර වශයෙන් සජ්ඣායනා කරයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. තුන්වන විමුත්තායතනය මෙය යි.
(4). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා ද නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා ද නොකරයි. වැලිදු යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ අයුරින් ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි කරයි. නැවත නැවත විචාරයි. නුවණින් විමසයි. ඇවැත්නි, භික්ෂුව යම් අයුරකින් අසන ලද, යම් අයුරකින් ඉගෙන ගත් ධර්මය යම් යම් අයුරින් සිතින් නැවත නැවත මෙනෙහි කරයි ද, නැවත නැවත විචාරයි ද, නුවණින් විමසයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. සිව්වෙනි විමුත්තායතනය මෙය යි.
(5). තව ද ඇවැත්නි, භික්ෂුව හට ශාස්තෘන් වහන්සේ හෝ වෙනත් ගුරු තන්හිලා සැලකෙන සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ධර්මය දේශනා නොකරති. යම් අයුරකින් අසන ලද්දේ වෙයි ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ වෙයි ද, ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් අන්‍යයන්ට දේශනා ද නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ අයුරින් ධර්මය විස්තර වශයෙන් සජ්ඣායනා ද නොකරයි. යම් අයුරකින් අසන ලද්දේ ද, යම් අයුරකින් ඉගෙන ගන්නා ලද්දේ ද ඒ අයුරින් ධර්මය සිතින් නැවත නැවත මෙනෙහි නොකරයි. නැවත නැවත නොවිචාරයි. නුවණින් නොවිමසයි. වැලිදු ඔහු විසින් එක්තරා සමාධි නිමිත්තක් මැනැවින් ඇති කරගත්තේ වෙයි. හොඳින් මෙනෙහි කරන ලද්දේ වෙයි. හොඳින් දරා ගන්නා ලද්දේ වෙයි. ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි. ඇවැත්නි, භික්ෂුව යම් යම් අයුරකින් එක්තරා සමාධි නිමිත්තක් මැනැවින් ඇති කරගත්තේ වෙයි ද, හොඳින් මෙනෙහි කරන ලද්දේ වෙයි ද, හොඳින් දරා ගන්නා ලද්දේ වෙයි ද, ප්‍රඥාවෙන් මැනැවින් අවබෝධ කරන ලද්දේ වෙයි ද, ඒ ඒ අයුරින් ඒ භික්ෂුව ඒ ධර්මයෙහි අරුත් මැනැවින් දන්නේ ද වෙයි. ධර්මය මැනැවින් දන්නේ ද වෙයි. ධර්මයේ අරුත් නුවණින් දැනගන්නා, ධර්මය නුවණින් දැනගන්නා ඒ භික්ෂුවට ප්‍රමුදිත බව ඇතිවෙයි. ප්‍රමුදිත බව ඇත්තහුට ප්‍රීතිය ඇතිවෙයි. ප්‍රීති සිත් ඇත්තහුගේ කය සංසිඳෙයි. සංසිඳුණු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇත්තහුගේ සිත සමාධිමත් වෙයි. පස්වෙනි විමුත්තායතනය මෙය යි. මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම පස යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම පස මොනවා ද? ධර්මස්කන්ධ පසකි. සීල ස්කන්ධය ය. සමාධි ස්කන්ධය ය. ප්‍රඥා ස්කන්ධය ය. විමුක්ති ස්කන්ධය ය. විමුක්ති ඥානදර්ශන ස්කන්ධය ය. මේ සාක්ෂාත් කළ යුතු ධර්ම පස යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ පනස් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම සයක් බොහෝ උපකාරී වෙයි. ධර්ම සයක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම සයක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම සයක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම සයක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම සයක් දියුණුව ඇති කර දෙයි. ධර්ම සයක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම සයක් උපදවා ගත යුතු වෙයි. ධර්ම සයක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම සයක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම සය මොනවා ද? නිතර සිහිකළ යුතු හෙවත් සාරාණීය ධර්ම සයකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරිපිට ත්, නැති විට ත් මෛත්‍රී සහගත කායික ක්‍රියාවන් හොඳින් පිහිටියේ වෙයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.
(2) – (3). තව ද ඇවැත්නි, භික්ෂුව හට සබ්‍රහ්මචාරීන් වහන්සේලා කෙරෙහි ඉදිරිපිට ත්, නැති විට ත් මෛත්‍රී සහගත වචන භාවිතය ….(පෙ)…. මෛත්‍රී සහගත සිතුවිලි හොඳින් පිහිටියේ වෙයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.
(4). තව ද ඇවැත්නි, භික්ෂුවක් ධාර්මික ව දැහැමින් ලද යම් ඒ ලාභයන් ඇද්ද, අඩුගණනේ තම පාත්‍රයට ලැබුණු යමක් ඇද්ද, එබඳු වූ ලද දෙයක් සම සේ බෙදා වළඳන සුළු වූයේ වෙයි. සිල්වත් සබ්‍රහ්මචාරීන් වහන්සේලා සමඟ සැමට සාධාරණ ව බෙදා වළඳන සුළු වූයේ වෙයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.
(5). තව ද ඇවැත්නි, භික්ෂුවක් යම් ඒ සිල්පද ඇද්ද, කඩ නොවූ ත්, සිදුරු නොවූ ත්, කැලැල් නොවූ ත්, පැල්ලම් නොවූ ත්, තෘෂ්ණාදාස බවට පත් නොවූ ත්, නුවණැත්තන්ගේ පැසසුමට ලක්වන්නා වූ ත්, දෘෂ්ටි ග්‍රහණයට හසු නොවූ ත්, සමාධිය පිණිස පවතින්නා වූ ත් සිල්පද ඇද්ද, එබඳු වූ සීලයෙන් යුතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් සීලයෙන් සමාන බවට පැමිණ වාසය කරයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි.
(6). තව ද ඇවැත්නි, භික්ෂුවක් යම් මේ දෘෂ්ටියක් ආර්ය වෙයි ද, නිවන පිණිස පවතියි ද, එයින් යුක්ත වූවහුට මැනැවින් දුක් ගෙවා යයි නම්, එබඳු වූ දෘෂ්ටියකින් යුතුව සබ්‍රහ්මචාරීන් වහන්සේලා ඉදිරිපිට ත්, නැති විට ත් දෘෂ්ටියෙන් සමාන බවට පැමිණ වාසය කරයි. මෙය ද ප්‍රිය බව ඇති කරන, ගෞරවය ඇති කරන, එක් වීම පිණිස පවතින, විවාද නොවීම පිණිස පවතින, සමඟිය පිණිස පවතින, සුව සේ එකට වාසය කිරීම පිණිස පවතින සාරාණීය ධර්මයකි. මේ බොහෝ උපකාරී වන ධර්ම සය යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම සය මොනවා ද? සිහිකළ යුතු භාවනා සයකි. බුද්ධානුස්සති ය, ධම්මානුස්සති ය, සංඝානුස්සති ය, සීලානුස්සති ය, චාගානුස්සති ය, දේවතානුස්සති ය. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම සය යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම සය මොනවා ද? ආධ්‍යාත්මික ආයතනයෝ සයකි. ඇස ආයතනයකි. කන ආයතනයකි. නාසය ආයතනයකි. දිව ආයතනයකි. කය ආයතනයකි. මනස ආයතනයකි. මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම සය යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම සය මොනවා ද? තෘෂ්ණාකාය සයකි. රූප තණ්හාව ය. ශබ්ද තණ්හාව ය. ගන්ධ තණ්හාව ය. රස තණ්හාව ය. ස්පර්ශ තණ්හාව ය. අරමුණු තණ්හාව ය. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම සය යි.
පිරිහීම ඇති කර දෙන ධර්ම සය මොනවා ද? අගෞරව සයකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ශික්ෂාව කෙරෙහි ….(පෙ)…. අප්‍රමාදය කෙරෙහි ….(පෙ)…. දහම් පිළිසඳර කෙරෙහි ගෞරව නැති ව, යටහත් පැවැතුම් නැති ව වාසය කරයි. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම සය යි.
දියුණුව ඇති කර දෙන ධර්ම සය මොනවා ද? ගෞරව සයකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි. ධර්මය කෙරෙහි ….(පෙ)…. සංඝයා කෙරෙහි ….(පෙ)…. ශික්ෂාව කෙරෙහි ….(පෙ)…. අප්‍රමාදය කෙරෙහි ….(පෙ)…. දහම් පිළිසඳර කෙරෙහි ගෞරව ඇති ව, යටහත් පැවැතුම් ඇති ව වාසය කරයි. මේ දියුණුව ඇති කර දෙන ධර්ම සය යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම සය මොනවා ද? නිස්සරණීය ධාතු සයකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් ද්වේෂය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් මෛත්‍රී චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී ද්වේෂය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ මෛත්‍රී චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය ද්වේෂයෙන් නිදහස් වීම ම ය.’
(2). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් කරුණා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් හිංසාව මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් කරුණා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී හිංසාව ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ කරුණා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය හිංසාවෙන් නිදහස් වීම ම ය.’
(3). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් මුදිතා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් අරතිය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් මුදිතා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැග යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී අරතිය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ මුදිතා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය අරතියෙන් නිදහස් වීම ම ය.’
(4). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් රාගය මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් උපේක්ෂා චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී රාගය ඔහුගේ සිත යට කොට ගෙන සිටින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ උපේක්ෂා චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය රාගයෙන් නිදහස් වීම ම ය.’
(5). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘ඇවැත්නි, මවිසින් අනිමිත්ත චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ය. බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ය. සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ය. මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ය. පුරුදු කරන ලද්දේ ය. මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. එසේ නමුත් මාගේ විඤ්ඤාණය නිමිති ඇසුරු කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම් හෙයකින් අනිමිත්ත චිත්ත විමුක්තිය දියුණු කරන ලද්දේ ද, බහුල වශයෙන් ප්‍රගුණ කරන ලද්දේ ද, සැණෙකින් නැගී යා හැකි යානාවක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් ලැග සිටිය හැකි බිමක් මෙන් කරන ලද්දේ ද, මැනැවින් සිතෙහි පිහිටුවන ලද්දේ ද, පුරුදු කරන ලද්දේ ද, මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ද, එකල්හී නිමිත්තානුසාරී විඤ්ඤාණයක් පවතින්නේ ය යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ අනිමිත්ත චිත්ත විමුක්තියක් ඇද්ද, මෙය සියළු නිමිති වලින් නිදහස් වීම ම ය.’
(6). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් මෙසේ කියයි නම්, ‘මම වෙමි යි යන හැඟීම මා තුළින් බැහැර විය. මේ ‘මම වෙමි’ යි කියා කිසිවක් නොදකිමි. එසේ නමුත් සැක කටයුතු වූ කෙසේ ද කෙසේ ද යන හුල මාගේ සිත යටපත් කරනවා නොවැ’ යි. එවිට ඔහුට මෙසේ කිව යුතු වන්නේ ය. ‘ආයුෂ්මත, එසේ නොපවසව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා නොකරව. භාග්‍යවතුන් වහන්සේට අභූතයෙන් චෝදනා කිරීම හොඳ දෙයක් නම් නොවෙයි. භාග්‍යවතුන් වහන්සේ ඔය අයුරින් නොවදාළ සේක් ම ය. ආයුෂ්මත, යම්හෙයකින් ‘මම වෙමි’ යි යන හැඟීම දුරු වූයේ වෙයි ද, මේ ‘මම වෙමි’ යි නොදකින්නේ වෙයි ද, එකල්හි ත් විචිකිච්ඡාවෙන් යුතු කෙසේ ද කෙසේ ද යන සැක හුල ඔහුගේ සිත යටකොට සිටින්නේ යන කරුණ විය නොහැක්කකි. වන්නට ඉඩක් නැත්තේ ම ය. එය සිදු නොවන දෙයකි. ආයුෂ්මත, යම් මේ වෙමි යි යන මානය මුළුමනින් ම නැසී යාමක් වෙයි ද, මෙය විචිකිච්ඡාවෙන් යුතු කෙසේ ද කෙසේ ද යන හුලෙන් නිදහස් වීම ම ය.’ මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම සය යි.
උපදවා ගත යුතු ධර්ම සය මොනවා ද? රහත් භික්ෂුව විසින් නිරතුරුව පවත්වන විහරණ සයකි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව, ඇසින් රූපයක් දැක සතුටු නොවෙයි. නොගැටෙයි. සිහියෙන් නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳක් දැන ….(පෙ)…. දිවෙන් රසයක් දැන ….(පෙ)…. කයෙන් පහසක් ලබා ….(පෙ)…. මනසින් අරමුණක් දැන සතුටු නොවෙයි. නොගැටෙයි. සිහියෙන් නුවණින් යුතුව උපේක්ෂාවෙන් වාසය කරයි. මේ උපදවා ගත යුතු ධර්ම සය යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම සය මොනවා ද? අනුත්තරිය සයකි. දස්සනානුත්තරිය ය. සවණානුත්තරිය ය. ලාභානුත්තරිය ය. සික්ඛානුත්තරිය ය. පාරිචරියානුත්තරිය ය. අනුස්සතානුත්තරිය ය. මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම සය යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම සය මොනවා ද? අභිඥා සයකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව අනේක ප්‍රකාර වූ ඉර්ධි විශේෂයන් කළ හැකි වන්නේ ය. එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටියි. බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටියි. බිත්ති හරහා යයි, ප්‍රාකාරය හරහා යයි, පර්වත හරහා යයි, අහසින් යන සෙයින් ඒ කිසිවක නොගැටෙමින් යයි. පොළොවෙහි යටට කිමිදෙයි. උඩට මතුවෙයි. ජලයෙහි සේ ය. නොගිලෙමින් ජලයෙහි ඇවිදගෙන යයි. පොළොවෙහි යන සේ ය. පළඟක් බැඳ අහසින් යයි. පක්ෂි ලිහිණියෙකු සේ ය. මෙබඳු මහත් ඉර්ධි ඇති මහත් ආනුභාව ඇති මේ හිරු සඳු දෙක ද අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වයි.
(2). මිනිස් හැකියාව ඉක්මවා ගිය විශුද්ධ වූ දිව්‍ය ශ්‍රවණයෙන් යුක්ත ව දිව්‍ය වූ ද, මනුෂ්‍ය වූ ද දුර හෝ ළඟ හෝ ඇති දෙආකාර ශබ්දයන් අසන්නේ වේ.
(3). අන්‍ය සත්වයන්ගේ, අන්‍ය පුද්ගලයන්ගේ සිත තම සිතින් පිරිසිඳ දන්නේ වෙයි. එනම් සරාගී සිත සරාගී සිත යැයි දන්නේ ය. වීතරාගී සිත වීතරාගී සිත යැයි දන්නේ ය. සදෝසී සිත ….(පෙ)…. වීතදෝසී සිත ….(පෙ)…. සමෝහී සිත ….(පෙ)…. වීතමෝහී සිත ….(පෙ)…. හැකිළුණු සිත ….(පෙ)…. විසිරුණු සිත ….(පෙ)…. මහග්ගත සිත ….(පෙ)…. අමහග්ගත සිත ….(පෙ)…. සඋත්තර සිත ….(පෙ)…. අනුත්තර සිත ….(පෙ)…. සමාහිත සිත ….(පෙ)…. අසමාහිත සිත ….(පෙ)…. මිදුණු සිත ….(පෙ)…. නොමිදුණු සිත නොමිදුණු සිත යැයි දැන ගනී.
(4). අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි. එනම් එක උපතක් වශයෙන් ද, උපත් දෙකක් වශයෙන් ද, උපත් තුනක් වශයෙන් ද, උපත් සතරක් වහයෙන් ද, උපත් පහක් වශයෙන් ද, උපත් දහයක් වශයෙන් ද, උපත් විස්සක් වශයෙන් ද, උපත් තිහක්, උපත් හතළිහක්, උපත් පණහක්, උපත් සියයක්, උපත් දහසක්, උපත් සිය දහසක් වශයෙන් ද, අනේක වූ සංවට්ට කල්ප, අනේක වූ විවට්ට කල්ප, අනේක වූ සංවට්ට විවට්ට කල්ප වශයෙන් ද සිහි කරයි. ‘මම් අසවල් තැන සිටියෙමි. මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍රයෙන් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු අයුරින් සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. එයින් චුත ව ඒ මම් අසවල් තැන උපන්නෙමි. එහිදී ද මම් මෙබඳු නමින් සිටියෙමි. මෙබඳු ගෝත්‍ර නමින් සිටියෙමි. මෙබඳු පැහැයෙන් සිටියෙමි. මෙබඳු ආහාර ගත්තෙමි. මෙබඳු සැප දුක් වින්දෙමි. මෙබඳු අයුරින් දිවිය අවසන් කළෙමි. ඒ මම් එයින් චුත ව මෙහි උපන්නෙමි’ ආදී වශයෙනි. මෙසේ කරුණු සහිත වූ, විස්තර සහිත වූ අනේක ප්‍රකාර වූ පෙර විසූ කඳ පිළිවෙල සිහි කරයි.
(5). මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැයෙන් ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි. එනම් ‘ඒකාන්තයෙන් මේ භවත් සත්වයෝ කාය දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. වචී දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ දුෂ්චරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස කළාහු ය. මිසදිටු ගත්තාහු ය. මිසදිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු අපාය නම් වූ, දුගතිය නම් වූ යටට වැටෙන නිරයෙහි උපන්නාහු ය. එසේ ම මේ භවත් සත්වයෝ කාය සුචරිතයෙන් යුක්ත වූවාහු ය. වචී සුචරිතයෙන් යුක්ත වූවාහු ය. මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු ය. ආර්යයන් හට නින්දා අපහාස නොකළාහු ය. සම්දිටු ගත්තාහු ය. සම්දිටු ක්‍රියායෙහි යෙදුණාහු ය. ඔවුහු කය බිඳී මරණින් මතු සුගති නම් වූ ස්වර්ග ලෝකයෙහි උපන්නාහු ය. මෙසේ මිනිස් දැක්ම ඉක්මවා ගිය විශුද්ධ දිව්‍ය නේත්‍රයෙන් චුතවන්නා වූත්, උපදින්නා වූත් සත්වයන් දකියි. ඒ සත්වයන් කර්මානුරූපව පහත් වූත්, උසස් වූත්, මනා පැහැයෙන් ඇත්තා වූත්, විරූපී වූත්, සුගතියේත් දුගතියේත් උපදින අයුරු දනියි.
(6). ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි. මේ සාක්ෂාත් කළ යුතු ධර්ම සය යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ සැට ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම සතක් බොහෝ උපකාරී වෙයි. ධර්ම සතක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම සතක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම සතක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම සතක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම සතක් දියුණුව ඇති කර දෙයි. ධර්ම සතක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම සතක් උපදවා ගත යුතු වෙයි. ධර්ම සතක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම සතක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම සත මොනවා ද? ආර්ය ධන සතකි. ශ්‍රද්ධාව ධනයකි. සීලය ධනයකි. පවට ඇති ලැජ්ජාව ධනයකි. පවට ඇති භය ධනයකි. ශ්‍රැතය ධනයකි. ත්‍යාගය ධනයකි. ප්‍රඥාව ධනයකි. මේ බොහෝ උපකාරී වන ධර්ම සත යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම සත මොනවා ද? සම්බොජ්ඣංග සතකි. සති සම්බොජ්ඣංගය ය. ධම්මවිචය සම්බොජ්ඣංගය ය. විරිය සම්බොජ්ඣංගය ය. පීති සම්බොජ්ඣංගය ය. පස්සද්ධි සම්බොජ්ඣංගය ය. සමාධි සම්බොජ්ඣංගය ය. උපෙක්ඛා සම්බොජ්ඣංගය ය. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම සත යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම සත මොනවා ද? විඤ්ඤාණය පිහිටන තැන් සතකි.
(1). ඇවැත්නි, නා නා කයෙන් යුතු, නා නා සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, මිනිස්සු ය. ඇතැම් දෙවිවරු ය. ඇතැම් විනිපාතිකයෝ ය. මෙය විඤ්ඤාණය පවතින පළමුවෙනි තැන යි.
(2). ඇවැත්නි, නා නා කයෙන් යුතු, එක ම සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, පඨම ධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවිවරු බඳු ය. මෙය විඤ්ඤාණය පවතින දෙවෙනි තැන යි.
(3). ඇවැත්නි, එක් අයුරු වූ කයෙන් යුතු, නා නා සංඥාවෙන් යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, ආභස්සර දෙවිවරු බඳු ය. මෙය විඤ්ඤාණය පවතින තෙවෙනි තැන යි.
(4). ඇවැත්නි, එක් ස්වභාවයෙන් යුතු කයෙන් ද, එක් ස්වභාවයෙන් යුතු සංඥාවෙන් ද යුතු සත්වයෝ ඇත්තාහ. එනම්, සුභකිණ්හ දෙවියෝ බඳු ය. මෙය විඤ්ඤාණය පවතින සිව්වෙනි තැන යි.
(5). ඇවැත්නි, සියළු අයුරින් රූප සංඥාවන් ඉක්ම ගිය, ගොරෝසු සංඥාවන් නැති කර දැමූ නා නා සංඥාවන් නොමෙනෙහි කිරීමෙන් අනන්ත වූ ආකාසය යැයි මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින පස්වෙනි තැන යි.
(6). ඇවැත්නි, සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්ම ගිය, අනන්ත වූ විඤ්ඤාණය යැයි මෙනෙහි කිරීමෙන් විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින හයවෙනි තැන යි.
(7). ඇවැත්නි, සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගිය, කිසිවක් නැතැයි මෙනෙහි කිරීමෙන් ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්වයෝ ඇත්තාහ. මෙය විඤ්ඤාණය පවතින සත්වෙනි තැන යි. මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම සත යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම සත මොනවා ද? අනුසය සත යි. කාමරාගය අනුසයකි. පටිඝය අනුසයකි. දෘෂ්ටි අනුසයකි. විචිකිච්ඡාව අනුසයකි. මානය අනුසයකි. භවරාගය අනුසයකි. අවිද්‍යාව අනුසයකි. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම සත යි.
පිරිහීම ඇති කර දෙන ධර්ම සත මොනවා ද? අසද්ධර්ම සත යි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා නැත්තේ වෙයි. පවට ලැජ්ජා නැත්තේ වෙයි. පවට භය නැත්තේ වෙයි. අල්පශ්‍රැත වෙයි. අකුසල් ප්‍රහාණයට ත්, කුසල් වැඩීමට ත් කම්මැලි වෙයි. මුලා සිහි ඇත්තේ වෙයි. දුෂ්ප්‍රාඥ වෙයි. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම සත යි.
දියුණුව ඇති කර දෙන ධර්ම සත මොනවා ද? සද්ධර්ම සත යි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශ්‍රද්ධා ඇත්තේ වෙයි. පවට ලැජ්ජා ඇත්තේ වෙයි. පවට භය ඇත්තේ වෙයි. බහුශ්‍රැත වෙයි. අකුසල් ප්‍රහාණයට ත්, කුසල් වැඩීමට ත් පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. පිහිටුවාගත් සිහි ඇත්තේ වෙයි. ප්‍රඥාවන්ත වෙයි. මේ දියුණුව ඇති කර දෙන ධර්ම සත යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම සත මොනවා ද? සත්පුරුෂ ධර්ම සත යි. ඇවැත්නි, මෙහිලා භික්ෂුව ධර්මය ද දන්නේ වෙයි. අර්ථ ද දන්නේ වෙයි. තමාගේ දියුණු කළ ගුණ ද දන්නේ වෙයි. සිව්පසයෙහි පිළිගැනීමෙහි පමණ ද දන්නේ වෙයි. ධර්මය ශ්‍රවණයට, භාවනාවට, විමසීමට කල් ද දන්නේ වෙයි. පිරිස ද දන්නේ වෙයි. ඇසුරු කළ යුතු – නොකළ යුතු පුද්ගලයා ද දන්නේ වෙයි. මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම සත යි.
උපදවා ගත යුතු ධර්ම සත මොනවා ද? සංඥා සත යි. අනිත්‍ය සංඥාව ය. අනාත්ම සංඥාව ය. අසුභ සංඥාව ය. ආදීනව සංඥාව ය. පහාණ සංඥාව ය. විරාග සංඥාව ය. නිරෝධ සංඥාව ය. මේ උපදවා ගත යුතු ධර්ම සත යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම සත මොනවා ද? නිද්දසවස්තු සතය.
ඇවැත්නි, මෙහිලා භික්ෂුව ශික්ෂා සමාදන් වීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ශික්ෂා සමාදන් වීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
ධර්මාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද ධර්මාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
තෘෂ්ණාව දුරු කිරීමෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද තෘෂ්ණාව දුරු කිරීමෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
භාවනාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද භාවනාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
අරඹන ලද වීරියෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද අරඹන ලද වීරියෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද සිහිය හා අවස්ථාවෝචිත ප්‍රඥාවෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි.
මාර්ගඵලාවබෝධයෙහි තියුණු ආශාවක් ඇත්තේ වෙයි, මත්තෙහි ද මාර්ගඵලාවබෝධයෙහි දුරු නොවූ ප්‍රේමය ඇත්තේ වෙයි. මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම සත යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම සත මොනවා ද? ඛීණාසව බල සත යි.
ඇවැත්නි, මෙහි ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් සියළු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් ඒ වූ සැටියෙන් ම මනා ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දාහු ය. ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් සියළු සංස්කාරයෝ අනිත්‍ය වශයෙන් ඒ වූ සැටියෙන් ම මනා ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දාහු ය යන යමක් ඇද්ද, යම් බලයකට පැමිණ ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුව ‘මා තුළ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ය’ යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුවගේ බලයක් වෙයි.
තව ද ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් කාමයෝ ගිනි අඟුරු වළකට උපමා කොට ඒ වූ සැටියෙන් ම මනා ප්‍රඥාවෙන් මැනැවින් දකින ලද්දාහු ය. ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් ….(පෙ)…. ‘මා තුළ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ය’ යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුවගේ බලයක් වෙයි.
තව ද ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුවගේ සිත විවේකයට නැඹුරු වෙයි. විවේකයට යොමු වෙයි. විවේකයට ම බර වෙයි. විවේකයෙහි ම පිහිටියේ වෙයි. නෛෂ්ක්‍රම්‍යයෙහි ම ඇලුණේ වෙයි. සියළු අයුරින් ආශ්‍රවයන් ඇති කරවන කරුණු වලින් ඉවත් වූයේ වෙයි. ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුවගේ සිත ….(පෙ)…. ‘මා තුළ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ය’ යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුවගේ බලයක් වෙයි.
තව ද ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් සතර සතිපට්ඨානයෝ වඩන ලද්දාහු ය. ඉතා මැනැවින් ප්‍රගුණ කරන ලද්දාහු ය. ….(පෙ)…. ‘මා තුළ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ය’ යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුවගේ බලයක් වෙයි.
තව ද ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් පංච ඉන්ද්‍රියයෝ වඩන ලද්දාහු ය. ඉතා මැනැවින් ප්‍රගුණ කරන ලද්දාහු ය. ….(පෙ)…. ‘මා තුළ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ය’ යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුවගේ බලයක් වෙයි.
තව ද ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් සප්ත බොජ්ඣංගයෝ වඩන ලද්දාහු ය. ඉතා මැනැවින් ප්‍රගුණ කරන ලද්දාහු ය. ….(පෙ)…. ‘මා තුළ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ය’ යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුවගේ බලයක් වෙයි.
තව ද ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේ ය. ඉතා මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය. ඇවැත්නි, ආශ්‍රවයන් ක්ෂය කළ රහත් භික්ෂුව විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන ලද්දේ, ඉතා මැනැවින් ප්‍රගුණ කරන ලද්දේ ය යන යමක් ඇද්ද, යම් බලයකට පැමිණ ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුව ‘මා තුළ ආශ්‍රවයෝ ක්ෂය වූවාහු ය’ යි ආශ්‍රවයන්ගේ ක්ෂය වීම ප්‍රතිඥා දෙයි නම් මෙය ත් ක්ෂීණාශ්‍රව රහත් භික්ෂුවගේ බලයක් වෙයි.
මේ සාක්ෂාත් කළ යුතු ධර්ම සත යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ සැත්තෑ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම අටක් බොහෝ උපකාරී වෙයි. ධර්ම අටක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම අටක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම අටක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම අටක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම අටක් දියුණුව ඇති කර දෙයි. ධර්ම අටක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම අටක් උපදවා ගත යුතු වෙයි. ධර්ම අටක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම අටක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම අට මොනවා ද? බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම්, එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම්, එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතන හේතු අටකි. ප්‍රත්‍ය අටකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුවක් ශාස්තෘන් වහන්සේ හෝ ඇසුරු කොට වාසය කරයි. යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටියේ වෙයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටියේ වෙයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි. බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින පළමු හේතුව, පළමු ප්‍රත්‍යය මෙය යි.
(2). හෙතෙමේ ඒ ශාස්තෘන් වහන්සේ ඇසුරු කොට වාසය කරයි ද, යමෙකු කෙරෙහි ඔහු තුළ තියුණු ලැජ්ජා භයක් පිහිටියේ වෙයි ද, ප්‍රේමය ත් ගෞරවය ත් පිහිටියේ වෙයි ද, එබඳු ගුරුතන්හිලා සැලකිය හැකි එක්තරා සබ්‍රහ්මචාරීන් වහන්සේ නමක් හෝ ඇසුරු කොට වාසය කරයි ද, උන්වහන්සේලා කරා කලින් කල එළඹ ප්‍රශ්න කරයි. නැවත නැවත විමසයි. ‘ස්වාමීනී, මෙය කෙසේ ද? ස්වාමීනී, මෙහි අර්ථය කුමක් ද?’ වශයෙනි. එවිට ඒ ආයුෂ්මත්වරු ඔහුට වැසී ඇති දෙය විවෘත කරති. අප්‍රකට දේ ප්‍රකට කරති. නන් වැදෑරුම් සැක ඇතිවෙන ධර්මයන්හි සැකය දුරු කරති. ඇවැත්නි, බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින දෙවන හේතුව, දෙවන ප්‍රත්‍යය මෙය යි.
(3). හෙතෙමේ ඒ ධර්මය අසා දෙවැදෑරුම් විවේකයකින් යුක්ත වෙයි. කාය විවේකයෙනුත්, චිත්ත විවේකයෙනුත් ය. බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින තුන්වන හේතුව, තුන්වන ප්‍රත්‍යය මෙය යි.
(4). තව ද ඇවැත්නි, භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇතිව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින සිව්වන හේතුව, සිව්වන ප්‍රත්‍යය මෙය යි.
(5). තව ද ඇවැත්නි, භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමෙකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයෙකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින පස්වෙනි හේතුව, පස්වෙනි ප්‍රත්‍යය මෙය යි.
(6). තව ද ඇවැත්නි, භික්ෂුව පටන් ගත් වීරිය ඇත්තේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින සයවන හේතුව, සයවන ප්‍රත්‍යය මෙය යි.
(7). තව ද ඇවැත්නි, භික්ෂුව සිහියෙන් යුක්ත වෙයි. උතුම් වූ අවස්ථාවෝචිත ව සිහිය පැවැත්විය හැකි අයුරින් යුක්ත වෙයි. බොහෝ කලකට පෙර කළ දේ ත්, බොහෝ කලකට පෙර පැවසූ දේ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින සත්වන හේතුව, සත්වන ප්‍රත්‍යය මෙය යි.
(8). තව ද ඇවැත්නි, භික්ෂුව පංච උපාදානස්කන්ධයන් පිළිබඳ ව හටගැනීම ත්, නැතිවීම ත් නුවණින් දකිමින් වාසය කරයි. ‘රූපය මෙසේ ය. රූපයේ හටගැනීම මෙසේ ය. රූපයේ නැතිවීම මෙසේ ය. විඳීම මෙසේ ය. විඳීමේ හටගැනීම මෙසේ ය. විඳීම නැති වන්නේ මෙසේ ය. සංඥාව මෙසේ ය. සංඥාවෙහි හටගැනීම මෙසේ ය. සංඥාව නැතිවීම මෙසේ ය. සංස්කාර මෙසේ ය. සංස්කාරයන්ගේ හටගැනීම මෙසේ ය. සංස්කාරයන් නැතිවීම මෙසේ ය. විඤ්ඤාණය මෙසේ ය. විඤ්ඤාණය හටගන්නේ මෙසේ ය. විඤ්ඤාණය නැති වන්නේ මෙසේ ය’ යනුවෙනි. බඹසරට මුල්වන ප්‍රඥාව නොලැබී ඇත්නම් එය ලැබීම පිණිස ත්, ලැබී ඇත්නම් එය වැඩි දියුණු වීම පිණිස ත්, විපුල බවට පත්වීම පිණිස ත්, භාවනාවෙන් පිරිපුන් වීම පිණිස ත් පවතින අටවන හේතුව, අටවන ප්‍රත්‍යය මෙය යි. මේ බොහෝ උපකාරී වන ධර්ම අට යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම අට මොනවා ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය යි.
එනම්; සම්මා දිට්ඨිය ය. සම්මා සංකල්පය ය. සම්මා වාචා ය. සම්මා කම්මන්ත ය. සම්මා ආජීව ය. සම්මා වායාම ය. සම්මා සති ය. සම්මා සමාධිය ය. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම අට යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම අට මොනවා ද? ලෝක ධර්ම අට යි. ලාභය ත්, අලාභය ත් ය. යස පිරිවර නැතිකම ත්, යස පිරිවර ත් ය. නින්දාව ත්, ප්‍රශංසාව ත් ය. සැප ත්, දුක ත් ය. මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම අට යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම අට මොනවා ද? වැරදි බවට පත්වන කරුණු අට යි. මිථ්‍යා දෘෂ්ටිය ය. මිථ්‍යා සංකල්ප ය. මිථ්‍යා වාචා ය. මිථ්‍යා කර්මාන්තය ය. මිථ්‍යා ආජීවය ය. මිථ්‍යා වායාම ය. මිථ්‍යා සතිය ය. මිථ්‍යා සමාධිය ය. මේ අටක් වූ ධර්මයෝ ප්‍රහාණය කළ යුත්තාහු ය.
පිරිහීම ඇති කර දෙන ධර්ම අට මොනවා ද? කම්මැලිකමට කරුණු අටකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවැ. මේ වැඩය කරන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වනු ඇත. එහෙයින් මම එයට පෙර නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන පළමු කරුණ යි.
(2). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ කටයුත්ත කළෙමි. මේ වැඩය කරන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වී ගියේ නොවැ. එහෙයින් මම දැන් නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන දෙවෙනි කරුණ යි.
(3). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ ගමන යා යුතු වන්නේ නොවැ. මේ ගමන යන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වනු ඇත. එහෙයින් මම එයට පෙර නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන තුන්වෙනි කරුණයි.
(4). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් කිසියම් ගමනක් ගියේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ ගමන ගියෙමි. මේ ගමන යන කල්හී මාගේ ශරීරය ක්ලාන්ත වී ගියේ නොවැ. එහෙයින් මම දැන් නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන සිව්වෙනි කරුණ යි.
(5). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ නොවැ. ඒ මාගේ ශරීරය ක්ලාන්ත වී ඇත. මම කිසිවක් කරගත නොහැක්කෙමි. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන පස්වෙනි කරුණ යි.
(6). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ නොවැ. එහෙයින් මාගේ ශරීරයෙහි බර ගතියක් ඇත. මම කිසිවක් කරගත නොහැක්කෙමි. මෑ ඇට වැළඳූ කලක සෙයින් හැඟෙයි. එහෙයින් මම නිදා ගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන සයවෙනි කරුණයි.
(7). තව ද ඇවැත්නි, භික්ෂුවට ස්වල්ප වූ ආබාධයක් උපන්නේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ ස්වල්ප වූ ආබාධයක් උපන්නේ නොවැ. හාන්සි වී සිටින්නට අදහස ඇත. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන සත්වෙනි කරුණ යි.
(8). තව ද ඇවැත්නි, භික්ෂුව ගිලන් බවින් නැගී සිටියේ වෙයි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගිලන් බවින් නැගී සිටියේ වෙමි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙමි. එහෙයින් මගේ කය දුර්වල නොවැ. කිසි කටයුත්තකට නොනැමෙයි. හාන්සි වී සිටින්නට අදහස ඇත. එහෙයින් මම නිදාගන්නෙමි’ යි ඔහු නිදයි. නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් නොගනියි. මෙය කුසීත බවට මුල් වන අටවෙනි කරුණ යි. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම අට යි.
දියුණුව ඇති කර දෙන ධර්ම අට මොනවා ද? වීර්යය ඇති කරගැනීමට කරුණු අටකි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව විසින් කළ යුතු කිසියම් කටයුත්තක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ කටයුත්ත කළ යුතු වන්නේ නොවැ. මේ වැඩය කරන කල්හී මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන පළමු කරුණ යි.
(2). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් කිසියම් කටයුත්තක් කරන ලද්දේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ කටයුත්ත කළෙමි. මේ වැඩය කරන කල්හී මට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට බැරි වූයේ නොවැ. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන දෙවෙනි කරුණ යි.
(3). තව ද ඇවැත්නි, භික්ෂුව විසින් යා යුතු කිසියම් ගමනක් ඇත්තේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මා විසින් මේ ගමන යා යුතු වන්නේ නොවැ. මේ ගමන යන කල්හී මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට පහසු නොවෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන තුන්වෙනි කරුණ යි.
(4). තව ද ඇවැත්නි, භික්ෂුව කිසියම් ගමනක් ගියේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම මේ ගමන ගියෙමි. මේ ගමන ගිය නිසාවෙන් මා හට බුදුරජුන්ගේ අනුශාසනය මෙනෙහි කරන්නට බැරි වූයේ නොවැ. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සිව්වෙනි කරුණ යි.
(5). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර නොලැබුණේ නොවැ. ඒ මාගේ ශරීරය සැහැල්ලු වී ඇත. මම යමක් කරගත හැක්කෙමි. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන පස්වෙනි කරුණ යි.
(6). තව ද ඇවැත්නි, භික්ෂුව ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස යයි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගමකට හෝ නියම් ගමකට හෝ පිඬු පිණිස ගියෙමි. එහිදී රූක්ෂ වේවා, ප්‍රණීත වේවා කුස පිරෙන තරමට ආහාර ලැබුණේ නොවැ. එහෙයින් මාගේ ශරීරයෙහි සවිබල ඇත. මම කිසිවක් කරගත හැක්කෙමි. එහෙයින් මම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සයවෙනි කරුණ යි.
(7). තව ද ඇවැත්නි, භික්ෂුවට ස්වල්ප වූ ආබාධයක් උපන්නේ වෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මට මේ ස්වල්ප වූ ආබාධයක් උපන්නේ නොවැ. යම් හෙයකින් මාගේ මේ ආබාධය වැඩිවෙයි නම්, එබඳු දෙයකට කරුණු ද පෙනෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන සත්වෙනි කරුණ යි.
(8). තව ද ඇවැත්නි, භික්ෂුව ගිලන් බවින් නැගී සිටියේ වෙයි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙයි. එවිට ඔහුට මෙසේ සිතෙයි. ‘මම ගිලන් බවින් නැගී සිටියේ වෙමි. ගිලන් බවින් නැගිට වැඩිකල් ඇත්තේ නොවෙමි. මාගේ මේ ආබාධය නැවත ත් හටගන්නට ඇති ඉඩකඩ පෙනෙයි. එහෙයින් මම කලින් ම නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනිමි.’ ඔහු නොපැමිණි මාර්ගඵලයන්ට පැමිණීම පිණිස, නොලැබූ මාර්ගඵලයන් ලැබීම පිණිස, අත්නොදුටු මාර්ගඵලයන් අත්දැකීම පිණිස, වීර්යය පටන් ගනියි. මෙය වීරිය පටන් ගැනීමට මුල් වන අටවෙනි කරුණ යි.
මේ දියුණුව ඇති කර දෙන ධර්ම අට යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම අට මොනවා ද? නිවන් මග හැසිරෙන්නට නොහැකි වන අවස්ථා වන අක්ෂණ අටකි.
(1). ඇවැත්නි, මෙහිලා අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් නිරයෙහි උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු පළමු අවස්ථාව යි.
(2). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් තිරිසන් යෝනියෙහි උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු දෙවෙනි අවස්ථාව යි.
(3). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් ප්‍රේත විෂයෙහි උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු තෙවෙනි අවස්ථාව යි.
(4). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් එක්තරා දීර්ඝ ආයුෂ ඇති දෙව් ලොවක උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සිව්වෙනි අවස්ථාව යි.
(5). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී යම් තැනක භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ගේ ගමනක් නැද්ද, එබඳු වූ අතිශයින් අඥාන වූ ම්ලේච්ඡ වූ ප්‍රත්‍යයන්ත ජනපදයන්හි මේ පුද්ගලයා ත් උපන්නේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු පස්වෙනි අවස්ථාව යි.
(6). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. නමුත් ඔහු විපරීත දැකුම් ඇති මිථ්‍යා දෘෂ්ටිකයෙක් වෙයි. ‘දුන් දෙයෙහි විපාක නැත. උපස්ථානයෙහි විපාක නැත. සේවයෙහි විපාක නැත. කුසල – අකුසල කර්මයන්ගේ ඵල විපාක නැත. මෙලොවක් නැත. පරලොවක් නැත. මවක් නැත. පියෙක් නැත. ඕපපාතික සත්වයෝ නැත. යමෙක් මෙලොව ත් පරලොව ත් තම විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ප්‍රකාශ කරයි ද, එබඳු වූ යහපත් මග ගිය, යහපතෙහි පිළිපන් ශ්‍රමණ බ්‍රාහ්මණයෝ ලෝකයෙහි නැත’ යන මිසදිටුව ගත්තේ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සයවෙනි අවස්ථාව යි.
(7). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි උපන්නාහු වෙති. ….(පෙ)…. සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු ලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. නමුත් හේ ජඪ වූයේ, කෙළතොළු වූයේ, ප්‍රඥාවෙන් තොර වූයේ වෙයි. මනා ලෙස පැවසූ දෙයෙහි ත්, නොමනා ලෙස පැවසූ දෙයෙහි ත් අරුත් හඳුනාගන්නට අසමර්ථ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු සත්වෙනි අවස්ථාව යි.
(8). තව ද ඇවැත්නි, අරහත් වූ සම්මා සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේ ත් ලෝකයෙහි නූපන්නාහු වෙති. කෙලෙස් සංසිඳවන්නා වූ පිරිනිවීමට හේතුවන්නා වූ සත්‍යාවබෝධය කරවන්නා වූ සුගතයන් වහන්සේ විසින් දෙසන ලද ධර්මය ද දේශනා කරනු නොලැබෙයි. එකල්හී මේ පුද්ගලයා ත් මධ්‍ය දේශයෙහි උපන්නේ වෙයි. හේ ජඪ නොවූ, කෙළතොළු නොවූ, ප්‍රඥාවන්තයෙක් වෙයි. මනා ලෙස පැවසූ දෙයෙහි ත්, නොමනා ලෙස පැවසූ දෙයෙහි ත් අරුත් හඳුනාගන්නට සමර්ථ වෙයි. මෙය නිවන් මග හැසිරෙන්නට නොකල් වූ නුසුදුසු අටවෙනි අවස්ථාව යි.
මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම අට යි.
උපදවා ගත යුතු ධර්ම අට මොනවා ද? මහා පුරුෂ විතර්ක අට ය.
(1). මේ ධර්මය තිබෙන්නේ ඉතා අඩු අවශ්‍යතා ඇති අල්පේච්ඡ කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවලට දැඩි ආශාවෙන් යුතු මහේච්ඡ කෙනාට නොවෙයි.
(2). මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සතුටුවන කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ ලද දෙයින් සෑහීමකට පත් නොවී වඩ වඩා ත් සිව්පසය සොයන කෙනාට නොවෙයි.
(3). මේ ධර්මය තිබෙන්නේ හුදෙකලා විවේකයෙහි ඇලුණු කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ පිරිස් සමඟ ඇලීමෙන් වසන කෙනාට නොවෙයි.
(4). මේ ධර්මය තිබෙන්නේ අකුසල් ප්‍රහාණයට ත්, කුසල් වැඩීම ත්, පටන් ගත් වීරිය ඇති කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ අකුසල් ප්‍රහාණයට හා කුසල් වැඩීමට කම්මැලි කෙනාට නොවෙයි.
(5). මේ ධර්මය තිබෙන්නේ පිහිටුවා ගත් සිහිය ඇති කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ සිහි මුලා වූ කෙනාට නොවෙයි.
(6). මේ ධර්මය තිබෙන්නේ සිත එකඟ කරගත් කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ සිත එකඟ නොකරගත් කෙනාට නොවෙයි.
(7). මේ ධර්මය තිබෙන්නේ ප්‍රඥාවන්ත කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ දුෂ්ප්‍රාඥයාට නොවෙයි.
(8). මේ ධර්මය තිබෙන්නේ කෙලෙස් ඇතිවන අයුරින් කල්පනා නොකරන නිෂ්ප්‍රපඤ්චයාට ය. මේ ධර්මය තිබෙන්නේ කෙලෙස් ඇතිවන අයුරින් කල්පනා කරමින් සිටින ප්‍රපඤ්චයන්ට ඇලුම් කරන්නාට නොවෙයි. මේ ධර්මය තිබෙන්නේ කෙලෙස් සහිත ස්වභාවයෙන් කල්පනා නොකිරීමට ඇලුම් කරන කෙනාට ය. මේ ධර්මය තිබෙන්නේ කෙලෙස් සහිත ස්වභාවයෙන් කල්පනා කිරීමට ඇලුම් කරන කෙනාට නොවෙයි.
මේ උපදවා ගත යුතු ධර්ම අට යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම අට මොනවා ද? අභිභූ ආයතන අට ය.
(1). ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පළමු අභිභූ ආයතනය යි.
(2). ආධ්‍යාත්මයෙහි රූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය දෙවෙනි අභිභූ ආයතනය යි.
(3). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර ස්වල්ප වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය තුන්වෙනි අභිභූ ආයතනය යි.
(4). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර අප්‍රමාණ වූ වර්ණවත්, දුර්වර්ණ රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සිව්වෙනි අභිභූ ආයතනය යි.
(5). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, නිල් දියබෙරලිය මල යම් සේ ද, නිල්වන්, නිල්වන් දැකුම් ඇති, නිල්වන් ආලෝක ඇති, දෙපැත්තට ම මටසිලිටි වූ බරණැස නීල කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර නිල් වූ, නිල් පැහැ ඇති, නීල නිදර්ශන ඇති, නිල් ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය පස්වෙනි අභිභූ ආයතනය යි.
(6). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, කහ කිණිහිරි මල යම් සේ ද, කහවන්, කහවන් දැකුම් ඇති, කහවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර කහ වූ, කහ පැහැ ඇති, කහ නිදර්ශන ඇති, කහ ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සයවෙනි අභිභූ ආයතනය යි.
(7). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, රතු බඳුවද මල යම් සේ ද, රතුවන්, රතුවන් දැකුම් ඇති, රතුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස රතුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රතු වූ, රතු පැහැ ඇති, රතු නිදර්ශන ඇති, රතු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය සත්වෙනි අභිභූ ආයතනය යි.
(8). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, ඕෂධී තාරුකාව යම් සේ ද, සුදුවන්, සුදුවන් දැකුම් ඇති, සුදුවන් ආලෝක ඇති, දෙපැත්ත ම මටසිලිටි වූ බරණැස සුදුවන් කසීසළුව යම් සේ ද, එසෙයින් ම ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර සුදු වූ, සුදු පැහැ ඇති, සුදු නිදර්ශන ඇති, සුදු ආලෝක ඇති රූප දකියි. ඒවා මැඩගෙන දනිමි යි දකිමි යි යන මෙබඳු සංඥාව ඇත්තේ වෙයි. මෙය අටවෙනි අභිභූ ආයතනය යි.
මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම අට යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම අට මොනවා ද? විමෝක්ෂ අට ය.
(1). රූප ධ්‍යානයෙන් යුක්ත වූයේ බාහිර රූපයන් දකියි. මෙය පළමු විමෝක්ෂය යි.
(2). ආධ්‍යාත්මයෙහි අරූප සංඥා ඇත්තේ කෙනෙක් බාහිර රූප දකියි. මෙය දෙවෙනි විමෝක්ෂය යි.
(3). සුභ දෙයක් ම යැයි සළකා ධ්‍යානයට ඇළුණේ වෙයි. මෙය තුන්වෙනි විමෝක්ෂය යි.
(4). සියළු ආකාරයෙන් ම රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් නා නා සංඥා මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත වූ ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය සිව්වෙනි විමෝක්ෂය යි.
(5). සියළු ආකාරයෙන් ම ආකාසානඤ්චාතනය ඉක්මවීමෙන්, ‘අනන්ත වූ විඤ්ඤාණය’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. මෙය පස්වෙනි විමෝක්ෂය යි.
(6). සියළු ආකාරයෙන් ම විඤ්ඤාණඤ්චායතනය ඉක්මවීමෙන් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. මෙය සයවෙනි විමෝක්ෂය යි.
(7). සියළු ආකාරයෙන් ම ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසංඥානාසංඥායතනයට පැමිණ වාසය කරයි. මෙය සත්වෙනි විමෝක්ෂය යි.
(8). සියළු ආකාරයෙන් ම නේවසංඥානාසංඥායතනය ඉක්මවීමෙන් සංඥාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. මෙය අටවෙනි විමෝක්ෂය යි.
මේ සාක්ෂාත් කළ යුතු ධර්ම අට යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ අසූ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම නවයක් බොහෝ උපකාරී වෙයි. ධර්ම නවයක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම නවයක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම නවයක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම නවයක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම නවයක් දියුණුව ඇති කර දෙයි. ධර්ම නවයක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම නවයක් උපදවා ගත යුතු වෙයි. ධර්ම නවයක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම නවයක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම නවය මොනවා ද? ධර්මය තුළින් ලත් නුවණ යොදා මෙනෙහි කිරීම (යෝනිසෝ මනසිකාරය) මුල් වූ ධර්ම නවය ය. ධර්මය තුළින් ලත් නුවණ යොදා මෙනෙහි කිරීමෙන් ප්‍රමුදිත බව උපදියි. ප්‍රමුදිත බව ඇතිවූ කෙනාට ප්‍රීතිය උපදියි. ප්‍රීති සිත් ඇත්තාගේ කය සැහැල්ලු වෙයි. සැහැල්ලු කය ඇති කෙනා සැපයක් විඳියි. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙයි. සමාධිමත් සිත් ඇති කල්හී සත්‍යය ඒ වූ සැටියෙන් ම දැනගනියි. සත්‍යය ඒ වූ සැටියෙන් ම දන්නා විට, දකිනා විට අවබෝධයෙන් ම එපා වෙයි. අවබෝධයෙන් ම එපා වූ විට එයට නොඇලෙයි. නොඇලුණු විට එයින් නිදහස් වෙයි. මේ බොහෝ උපකාරී වන ධර්ම නවය යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම නවය මොනවා ද? පිරිසිදු බව ඇතිවන ප්‍රධාන අංග නවය යි. ශීල විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. චිත්ත විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. දිට්ඨි විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. කංඛාවිතරණ විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. මග්ගාමග්ග ඤාණදස්සන විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. පටිපදා ඤාණදස්සන විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. ඤාණදස්සන විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. ප්‍රඥා විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. විමුක්ති විශුද්ධිය යනු පිරිසිදු බව ඇති වන ප්‍රධාන අංගයකි. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම නවය යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම නවය මොනවා ද? සත්තාවාස නවය යි.
(1). ඇවැත්නි, කයින් ද නා නා ස්වභාව ඇති, සංඥාවෙන් ද නා නා ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ මිනිස්සු ද, ඇතැම් දෙවියෝ ද, ඇතැම් විනිපාතිකයෝ ද වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ පළමු වාසස්ථානය යි.
(2). ඇවැත්නි, කයින් නා නා ස්වභාව ඇති, සංඥාවෙන් එක ම ස්වභාවයක් ඇති සත්වයෝ සිටිති. යම් සේ පළමු ධ්‍යානයෙන් උපන් බ්‍රහ්මකායික දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ දෙවෙනි වාසස්ථානය යි.
(3). ඇවැත්නි, කයින් එක ම ස්වභාව ඇති, සංඥාවෙන් නා නා ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ ආභස්සර දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ තෙවෙනි වාසස්ථානය යි.
(4). ඇවැත්නි, කයින් ද එක ම ස්වභාව ඇති, සංඥාවෙන් ද එක ම ස්වභාව ඇති සත්වයෝ සිටිති. යම් සේ සුභකිණ්හ දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ සිව්වෙනි වාසස්ථානය යි.
(5). ඇවැත්නි, සංඥාවෙන් තොර වූ සංවේදී බවින් තොර වූ සත්වයෝ සිටිති. යම් සේ අසඤ්ඤසත්ත දෙවියෝ වෙත් නම් එබඳු ය. මෙය සත්වයන්ගේ පස්වෙනි වාසස්ථානය යි.
(6). ඇවැත්නි, සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ සය වෙනි වාසස්ථානය යි.
(7). ඇවැත්නි, සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ සත්වෙනි වාසස්ථානය යි.
(8). ඇවැත්නි, සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ අටවෙනි වාසස්ථානය යි.
(9). ඇවැත්නි, සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පැමිණි සත්වයෝ සිටිති. මෙය සත්වයන්ගේ නව වෙනි වාසස්ථානය යි.
මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම නවය යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම නවය මොනවා ද? තණ්හාව මුල්කර ගත් ධර්ම නවය යි.
තණ්හාව හේතුවෙන් සොයන්නට පටන් ගනියි. සෙවීම හේතුවෙන් ලැබෙයි. ලැබීම හේතුවෙන් ලද දෙය පිළිබඳ ව විනිශ්චයකට යයි. විනිශ්චය හේතුවෙන් ඡන්දරාගය ඇතිවෙයි. ඡන්දරාගය හේතුවෙන් ‘මෙය මාගේ ය, මට අයත් ය’ වශයෙන් එහි සිත දැඩි ව බැසගනියි. එහි සිත දැඩි ව බැස ගැනීම හේතුවෙන් තමා සතු කරගැනීමට වෙහෙසෙයි. තමා සතු කරගැනීමට වෙහෙසීමෙන් මසුරුකම ඇතිවෙයි. මසුරුකම හේතුවෙන් ආරක්ෂා කිරීමට පෙළඹෙයි. ආරක්ෂාව උදෙසා ඇතිවන අර්බුදය හේතුවෙන් දඬු මුගුරු ගැනීම්, අවි ආයුධ ගැනීම්, කලකෝලාහල, වාදභේද, ගැරහුම්, ‘තෝ තමයි, තෝ තමයි’ ආදිය ඇති ව කේලාම් කීම්, බොරු කීම් ආදී අනේක වූ පාපී අකුසල ධර්මයෝ පවතිත්. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම නවය යි.
පිරිහීම ඇති කර දෙන ධර්ම නවය මොනවා ද? වෛර බැඳගැනීමට හේතුවන කරුණු නවය යි.
පෙර මට අනර්ථය කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මට අනර්ථය කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මට අනර්ථය කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.
පෙර මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරන්නේ ය කියා වෛර බැඳ ගනියි.
පෙර මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කළේ ය කියා වෛර බැඳ ගනියි. දැනුත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරයි කියා වෛර බැඳ ගනියි. අනාගතයේ ත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරන්නේ ය කියා වෛර බැඳ ගනියි. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම නවය යි.
දියුණුව ඇති කර දෙන ධර්ම නවය මොනවා ද? වෛර දුරුකිරීමේ කරුණු නවය යි.
පෙර මට අනර්ථය කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මට අනර්ථය කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මට අනර්ථය කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.
පෙර මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මාගේ ප්‍රියමනාප කෙනාට අනර්ථය කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි.
පෙර මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කළේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. දැනුත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරයි. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. අනාගතයේ ත් මාගේ අප්‍රිය අමනාප කෙනාට උදව් කරන්නේ ය. එනමුත් එය නොවේවා කියා මෙහිලා කෙසේ නම් ලබන්ට දැයි සිතා ඒ වෛර බැඳ ගැනීම දුරු කරයි. මේ දියුණුව ඇති කර දෙන ධර්ම නවය යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම නවය මොනවා ද? නා නා ස්වභාව නවය යි. ධාතු නානත්වයෙන් ස්පර්ශ නානත්වය උපදියි. ස්පර්ශ නානත්වය නිසා වේදනා නානත්වය උපදියි. වේදනා නානත්වය නිසා සංඥා නානත්වය උපදියි. සංඥා නානත්වය නිසා සංකල්ප නානත්වය උපදියි. සංකල්ප නානත්වය නිසා ඡන්ද නානත්වය උපදියි. ඡන්ද නානත්වය නිසා පරිදාහ නානත්වය උපදියි. පරිදාහ නානත්වය නිසා සෙවීමේ නානත්වය උපදියි. සෙවීමේ නානත්වය නිසා ලැබීමේ නානත්වය උපදියි. ලැබීමේ නානත්වය නිසා මුලාව සිතීමේ නානත්වය උපදියි. මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම නවය යි.
උපදවා ගත යුතු ධර්ම නවය මොනවා ද? සංඥා නවය යි. අසුභ සංඥාව ය. මරණ සංඥාව ය. ආහාරයෙහි පිළිකුල් සංඥාව ය. සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය. අනිත්‍යය සංඥාව ය. අනිත්‍යයෙහි දුක් සංඥාව ය. දුකෙහි අනාත්ම සංඥාව ය. ප්‍රහාණ සංඥාව ය. විරාග සංඥාව ය. මේ උපදවා ගත යුතු ධර්ම නවය යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම නවය මොනවා ද? නව අනුපූර්ව විහාරයෝ ය.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුවය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.
(2). විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.
(3). ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි. කයෙන් සැපයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.
(4). සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපෙක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි.
(5). සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරයි.
(6). සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරයි.
(7). සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි.
(8). සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤා- නාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරයි.
(9). සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා ගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරයි. මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම නවය යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම නවය මොනවා ද? නව අනුපූර්ව නිරෝධයෝය.
(1). ප්‍රථම ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ කාම සංඥාව නිරුද්ධ වෙයි.
(2). දෙවෙනි ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ විතර්ක විචාරයෝ නිරුද්ධ වෙති.
(3). තුන්වෙනි ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ ප්‍රීතිය නිරුද්ධ වෙයි.
(4). සිව්වෙනි ධ්‍යානයට සමවැදී සිටින තැනැත්තාගේ ආශ්වාස ප්‍රශ්වාසයෝ නිරුද්ධ වෙති.
(5). ආකාසානඤ්චායතනයට සමවැදී සිටින තැනැත්තාගේ රූප සංඥා නිරුද්ධ වෙයි.
(6). විඤ්ඤාණඤ්චායතනයට සමවැදී සිටින තැනැත්තාගේ ආකාසානඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි.
(7). ආකිඤ්චඤ්ඤායතනයට සමවැදී සිටින තැනැත්තාගේ විඤ්ඤාණඤ්චායතන සංඥාව නිරුද්ධ වෙයි.
(8). නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවැදී සිටින තැනැත්තාගේ ආකිඤ්චඤ්ඤායතන සංඥාව නිරුද්ධ වෙයි.
(9). සංඥා වේදයිත නිරෝධයට සමවැදී සිටින තැනැත්තාගේ සංඥාව ත් වේදනාවත් නිරුද්ධ වෙයි. මේ සාක්ෂාත් කළ යුතු ධර්ම නවය යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ අනූ ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.
ධර්ම දසයක් බොහෝ උපකාරී වෙයි. ධර්ම දසයක් ප්‍රගුණ කළ යුතු වෙයි. ධර්ම දසයක් පිරිසිඳ දැක්ක යුතු වෙයි. ධර්ම දසයක් ප්‍රහාණය කළ යුතු වෙයි. ධර්ම දසයක් පිරිහීම ඇති කර දෙයි. ධර්ම දසයක් දියුණුව ඇති කර දෙයි. ධර්ම දසයක් අවබෝධයට දුෂ්කර වෙයි. ධර්ම දසයක් උපදවා ගත යුතු වෙයි. ධර්ම දසයක් විශිෂ්ට නුවණින් දැක්ක යුතු වෙයි. ධර්ම දසයක් සාක්ෂාත් කළ යුතු වෙයි.
බොහෝ උපකාරී වන ධර්ම දසය මොනවා ද? තමාට පිහිට සළසා දෙන ධර්ම දසය යි.
(1). ඇවැත්නි, මෙහිලා භික්ෂුව සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් සංවර වූයේ වෙයි. යහපත් ඇවතුම් පැවතුම් ඇති ව වසන්නේ වෙයි. අණුමාත්‍ර වූ වරදෙහි ත් බිය දකින සුළු ව සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව සිල්වත් වෙයි නම් ….(පෙ)…. සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මෙන්නේ නම් මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(2). තව ද ඇවැත්නි, භික්ෂුව ධර්මය බොහෝ සෙයින් අසන ලද්දේ වෙයි. ඒ ඇසූ දහම් දරන්නේ වෙයි. ඒ ඇසූ දහම් සිත්හිලා රැස් කරගන්නේ වෙයි. යම් ඒ ධර්මයෝ කල්‍යාණ වූ පටන් ගැනීමකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ මැදකින් යුක්ත වෙත් ද, කල්‍යාණ වූ අවසානයකින් යුක්ත වෙත් ද, අර්ථ සහිත වෙත් ද, පැහැදිලි වචනයෙන් යුක්ත වෙත් ද, හැම ලෙසින් ම පිරිපුන් පිරිසිදු නිවන් මග පවසත් ද, එබඳු වූ ධර්මයෝ ඔහු විසින් බොහෝ කොට අසන ලද්දාහු ය. ධාරණය කරගන්නා ලද්දාහු ය. වචනයෙන් පිරිවහන ලද්දාහු ය. මනසින් විමසන ලද්දාහු ය. නුවණින් අවබෝධ කරන ලද්දාහු ය. ඇවැත්නි,යම් හෙයකින් භික්ෂුව ධර්මය බොහෝ කොට අසන ලද්දේ වෙයි ද, ….(පෙ)…. නුවණින් අවබෝධ කරන ලද්දේ වෙයි ද, මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(3). තව ද ඇවැත්නි, භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි. කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි. කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව කලණ මිතුරන් ඇත්තේ වෙයි ද, කල්‍යාණ සහායකයන් ඇත්තේ වෙයි ද, කලණ මිතුරන්ගේ ඇසුරට නැඹුරු වූයේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(4). තව ද ඇවැත්නි, භික්ෂුව කීකරු වූයේ වෙයි. කීකරු බව ඇතිකරන ගුණදහමින් යුක්ත වූයේ ද වෙයි. ඉවසීමෙන් යුක්ත වූයේ වෙයි. අවවාදයන් ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව කීකරු වූයේ වෙයි ද, කීකරු බව ඇතිකරන ගුණ දහමින් යුක්ත වූයේ වෙයි ද, ඉවසීමෙන් යුක්ත වෙයි ද, අවවාද ලැබෙන විට පැදකුණු කොට ගරු බුහුමන් සහිතව පිළිගන්නේ වෙයි ද, මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(5). තව ද ඇවැත්නි, භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි. අලස බවින් තොර වෙයි. එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි. ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ ද වෙයි. පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ ද වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව සබ්‍රහ්මචාරීන් වහන්සේලාගේ යම් කුදු මහත් වැඩපළ සොයා බැලිය යුතු ව ඇද්ද, එහිලා දක්ෂ වෙයි ද, අලස බවින් තොර වෙයි ද, එහිලා විමසා බලා වැඩකටයුතු කරන්නේ වෙයි ද, ඒ කටයුතු කිරීමට දක්ෂ වූයේ වෙයි ද පිළිවෙලකට කිරීමට දක්ෂ වූයේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(6). තවද ඇවැත්නි, භික්ෂුව ධර්මයට කැමති වූයේ වෙයි. ප්‍රිය වූ බසින් ධර්මය දෙසන්නේ ද වෙයි. ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව ධර්මයට කැමති වන්නේ ද, ප්‍රිය වූ බසින් දහම් දෙසන්නේ ද, ගැඹුරු ධර්මයෙහි ත්, ගැඹුරු විනයෙහි ත් උදාර වූ සතුටක් විඳින්නේ ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(7). තව ද ඇවැත්නි, භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි. ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව ලද දෙයින් සතුටු වූයේ වෙයි ද, ලද සිවුරකින්, ලද පිණ්ඩපාතයකින්, ලද සෙනසුනකින්, ලද ගිලන්පස බෙහෙත් පිරිකරකින් සතුටු වූයේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(8). තව ද ඇවැත්නි, භික්ෂුව පටන්ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි. දැඩි වීර්යයකින් යුක්ත වෙයි. කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව පටන් ගත් වීර්යයෙන් යුක්ත වූයේ වෙයි ද, අකුසල් දහම් ප්‍රහාණය කිරීමට ත්, කුසල් දහම් උපදවා ගැනීමට ත් නිසි බල ඇතියෙක් වෙයි ද, දැඩි වීර්යයකින් යුක්ත වෙයි ද, කුසල් දහම් ඉපිදවීමෙහිලා අත් නොහළ වීර්යය ඇත්තේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(9). තව ද ඇවැත්නි, භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි. නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි. බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි. ඇවැත්නි, යම් හෙයකින් භික්ෂුව මනා සිහි ඇත්තේ වෙයි ද, නුවණින් යුතුව උතුම් අයුරින් සිහිය පවත්වන්නේ වෙයි ද, බොහෝ කලකට පෙර කරන ලද යමක් ඇද්ද, බොහෝ කලකට පෙර පැවසූ යමක් ඇද්ද එය සිහි කරන්නේ, නැවත නැවත සිහි කරන්නේ වෙයි ද මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
(10). තව ද ඇවැත්නි, භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි. මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයකින් යුක්ත වූයේ, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවකින් යුක්ත වූයේ වෙයි. ඇවැත්නි, යම්හෙයකින් භික්ෂුව ප්‍රඥාවන්ත වෙයි ද, මැනැවින් දුක් ගෙවී යාමෙහි සමර්ථ වූ ආර්ය වූ තියුණු අවබෝධයෙකින් යුක්ත වූයේ ද, හටගැනීම ත් නැතිවීම ත් මැනැවින් වැටහෙන ප්‍රඥාවෙකින් යුක්ත වූයේ වෙයි ද, මෙය ද පිහිට ලබා දෙන ධර්මයකි.
මේ බොහෝ උපකාරී වන ධර්ම දසය යි.
ප්‍රගුණ කළ යුතු ධර්ම දසය මොනවා ද? කසිණායතන දසය යි.
ඇතැමෙක් උඩ – යට – සරස දෙකක් නොවූ අප්‍රමාණ ලෙස පඨවි කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ආපෝ කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් තේජෝ කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් වායෝ කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් නීල කසිණය හඳුනා ගනියි. ….(පෙ)…. ඇතැමෙක් පීත කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ලෝහිත කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ඕදාත කසිණය හඳුනාගනියි. ….(පෙ)…. ඇතැමෙක් ආකාස කසිණය හඳුනාගනියි. ඇතැමෙක් උඩ – යට – සරස දෙකක් නොවූ අප්‍රමාණ ලෙස විඤ්ඤාණ කසිණය හඳුනාගනියි. මේ ප්‍රගුණ කළ යුතු ධර්ම දසය යි.
පිරිසිඳ දැක්ක යුතු ධර්ම දසය මොනවා ද? ආයතන දසය යි. ඇස ආයතනයකි. රූප ආයතනයකි. කන ආයතනයකි. ශබ්ද ආයතනයකි. නාසය ආයතනයකි. ගන්ධ ආයතනයකි. දිව ආයතනයකි. රස ආයතනයකි. කය ආයතනයකි. පහස ආයතනයකි.
මේ පිරිසිඳ දැකිය යුතු ධර්ම දසය යි.
ප්‍රහාණය කළ යුතු ධර්ම දසය මොනවා ද? වැරදි බවට පත්වන කරුණු දසය යි. මිථ්‍යා දෘෂ්ටිය ය. මිථ්‍යා සංකල්ප ය. මිථ්‍යා වාචා ය. මිථ්‍යා කර්මාන්තය ය. මිථ්‍යා ආජීවය ය. මිථ්‍යා වායාම ය. මිථ්‍යා සතිය ය. මිථ්‍යා සමාධිය ය. මිථ්‍යා ඥානය ය. මිථ්‍යා විමුක්තිය ය. මේ ප්‍රහාණය කළ යුතු ධර්ම දසය යි.
පිරිහීම ඇති කර දෙන ධර්ම දසය මොනවා ද? දස අකුසල කර්ම මාර්ගයෝ ය. සත්ව ඝාතනය, සොරකම, වැරදි කාමසේවනයෙහි යෙදීම, බොරු කීම, කේළාම් කීම, ඵරුෂ වචනය, හිස් වචනය, අන්සතු දෙය තමා සතු කරගැනීමට ආශා කිරීම, ව්‍යාපාදය, මිථ්‍යා දෘෂ්ටිය. මේ පිරිහීම ඇති කර දෙන ධර්ම දසයයි.
දියුණුව ඇති කර දෙන ධර්ම දසය මොනවා ද? දස කුසල කර්ම මාර්ගයෝ ය. සත්ව ඝාතනයෙන් වැළකීම, සොරකමෙන් වැළකීම, වැරදි කාමසේවනයෙන් වැළකීම, බොරු කීමෙන් වැළකීම, කේළාම් කීමෙන් වැළකීම, ඵරුෂ වචනයෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම, අන්සතු දෙය තමා සතු කරගැනීමට ආශා නොකිරීම, මෛත්‍රිය, සම්‍යක් දෘෂ්ටිය. මේ දියුණුව ඇති කර දෙන ධර්ම දසය යි.
අවබෝධයට දුෂ්කර වූ ධර්ම දසය මොනවා ද? ආර්යයන්ගේ වාසස්ථාන දසය යි.
ඇවැත්නි, මෙහිලා භික්ෂුව ප්‍රහාණය කරන ලද අංග පසකින් යුක්ත වූයේ වෙයි. අංග සයකින් සමන්විත වූයේ වෙයි. එක් ආරක්ෂකයෙක් සහිත වූයේ වෙයි. හේත්තු වන පුවරු සතරක් ඇත්තේ වෙයි. මැනැවින් බැහැර කරන ලද වෙන් වෙන් වූ සත්‍ය ඇත්තේ වෙයි. දුරු කරන ලද නිසරු සෙවීම් ඇත්තේ වෙයි. නොකැළඹුණු සංකල්ප ඇත්තේ වෙයි. සංසිඳී ගිය කායසංස්කාර ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මැනැවින් නිදහස් වූ ප්‍රඥාව ඇත්තේ වෙයි.
(1). ඇවැත්නි, භික්ෂුව ප්‍රහාණය කරන ලද පස් කරුණකින් යුක්ත වන්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුවගේ පංච කාමයන් කෙරෙහි ඇති ආශාව ප්‍රහාණය වූයේ වෙයි. ද්වේෂය ප්‍රහාණය වූයේ වෙයි. නිදිමත හා අලස බව ප්‍රහාණය වූයේ වෙයි. සිතෙහි විසිරීමත්, පසුතැවීමත් ප්‍රහාණය වූයේ වෙයි. සැකයත් ප්‍රහාණය වූයේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව ප්‍රහාණය කරන ලද පස් කරුණකින් යුක්ත වූයේ වෙයි.
(2). ඇවැත්නි, භික්ෂුව අංග සයකින් යුක්ත වන්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව ඇසින් රූපයක් දැක සතුටු නොවන්නේ ද වෙයි. ගැටුණේ ද නොවෙයි. මනා සිහි නුවණින් යුක්ත ව උපේක්ෂාවෙන් වාසය කරයි. කනෙන් ශබ්දයක් අසා ….(පෙ)…. නාසයෙන් ගඳ සුවඳ ආඝ්‍රාණය කොට ….(පෙ)…. දිවෙන් රසයක් විඳ ….(පෙ)…. කයෙන් පහසක් විඳ ….(පෙ)…. මනසින් අරමුණක් දැන සතුටු නොවන්නේ ද වෙයි. ගැටුණේ ද නොවෙයි. මනා සිහි නුවණින් යුක්ත ව උපේක්ෂාවෙන් වාසය කරයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව අංග සයකින් යුක්ත වූයේ වෙයි.
(3). ඇවැත්නි, භික්ෂුව එක ආරක්ෂකයෙක් සහිත ව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව සිහිය නම් වූ ආරක්ෂකයා සහිත වූ සිතින් යුක්ත වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව එක ආරක්ෂකයෙක් සහිත ව සිටින්නේ වේ.
(4). ඇවැත්නි, භික්ෂුව අපස්සේන නම් වූ හේත්තු වන පුවරු සතරක් ඇති ව වසන්නේ කෙසේද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව නුවණින් සලකමින් එක් දෙයක් සේවනය කරයි. නුවණින් සලකමින් එක් දෙයක් ඉවසයි. නුවණින් සලකමින් එක දෙයක් වළකයි. නුවණින් සලකමින් එක් දෙයක් දුරු කරයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව අපස්සේන සතරකින් යුක්ත වූයේ වෙයි.
(5). ඇවැත්නි, භික්ෂුව ‘මෙය ම සත්‍යය’ යැයි වෙන් වෙන් ව පවසන දෑ දුරු කරන්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව ඉදිරියේ යම් ඒ බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙන් වෙන් ව සත්‍යය යැයි පවසන බොහෝ දේ ඇත්තාහ. ඒ සියල්ල බැහැර කරන ලද්දේ ය. මැනැවින් බැහැර කරන ලද්දේ ය. අත්හරින ලද්දේ ය. වමාරන ලද්දේ ය. නිදහස් වෙන ලද්දේ ය. ප්‍රහීණ කරන ලද්දේ ය. මැනැවින් සංසිඳවන ලද්දේ ය. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව මැනැවින් දුරු කරන ලද වෙන් වෙන් ව පවසන ලද සත්‍යයන් ඇත්තේ වෙයි.
(6). ඇවැත්නි, භික්ෂුව ඒසනා හෙවත් නිසරු සෙවීම් දුරු කොට සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව තුළ පංච කාමයන් සෙවීම ප්‍රහාණය වූයේ වෙයි. භවයන් සෙවීම ප්‍රහාණය වූයේ වෙයි. බුදු සසුනෙන් බැහැර මතවාදයන්හි ප්‍රතිපදාවන් සෙවීම සංසිඳුණේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව නිසරු සෙවීම් දුරුකොට සිටින්නේ වෙයි.
(7). ඇවැත්නි, භික්ෂුව නොකැළඹී ගිය සංකල්ප ඇතිව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව තුළ පංච කාමයන් පිළිබඳව සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. ද්වේෂ සහගත සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. හිංසාකාරී සංකල්ප ප්‍රහාණය වූයේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව නොකැළඹී ගිය සංකල්ප ඇත්තේ වෙයි.
(8). ඇවැත්නි, භික්ෂුව සංසිඳී ගිය කාය සංස්කාර ඇතිව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන් කලින් ම සොම්නස් දොම්නස් දෙක අත්හැරීමෙන් දුක් සැප රහිත වූ පාරිශුද්ධ සිහියෙන් යුතු උපේක්ෂාව ඇති සතර වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව සංසිඳී ගිය ආශ්වාස ප්‍රශ්වාස නම් වූ කාය සංස්කාර ඇත්තේ වෙයි.
(9). ඇවැත්නි, භික්ෂුව මැනැවින් නිදහස් වූ සිතක් ඇති ව සිටින්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුවගේ සිත රාගයෙන් නිදහස් වූයේ වෙයි. ද්වේෂයෙන් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. මෝහයෙන් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව මැනැවින් නිදහස් වූ සිතක් ඇත්තේ වෙයි.
10.ඇවැත්නි, භික්ෂුව මැනැවින් නිදහස් වූ ප්‍රඥාවකින් යුක්ත වන්නේ කෙසේ ද? ඇවැත්නි, මෙහිලා භික්ෂුව ‘මා තුළ රාගය ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ගොස් ඇත. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදිනා ස්වභාවයට පත් වී ඇතැ’යි දන්නේ වෙයි. ‘මා තුළ ද්වේෂය ප්‍රහාණය වී ඇත. ….(පෙ)…. මා තුළ මෝහය ප්‍රහාණය වී ඇත. මුලින් ම සිඳී ගොස් ඇත. මුදුන් කරටිය සිඳුණු තල් ගසක් මෙන් වී ඇත. අභාවයට පත් වී ඇත. යළි කිසිදා නූපදිනා ස්වභාවයට පත් වී ඇතැ’යි දන්නේ වෙයි. ඇවැත්නි, මේ අයුරින් භික්ෂුව මැනැවින් නිදහස් වූ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි.
මේ අවබෝධයට දුෂ්කර වූ ධර්ම දසය යි.
උපදවා ගත යුතු ධර්ම දසය මොනවා ද? සංඥා දසය යි.
අසුභ සංඥාව ය. මරණ සංඥාව ය. ආහාරයෙහි පිළිකුල් සංඥාව ය. සියළු ලෝකයෙහි නොඇලෙන සංඥාව ය. අනිත්‍යය සංඥාව ය. අනිත්‍යයෙහි දුක් සංඥාව ය. දුකෙහි අනාත්ම සංඥාව ය. ප්‍රහාණ සංඥාව ය. විරාග සංඥාව ය. නිරෝධ සංඥාව ය. මේ උපදවා ගත යුතු ධර්ම දසය යි.
විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම දසය මොනවා ද? කෙලෙස් දිරා විනාශයට යෑමේ කරුණු දසය යි.
(1). නිවැරදි දෘෂ්ටිය ඇත්තහුගේ වැරදි දෘෂ්ටිය විනාශ වූයේ වෙයි. වැරදි දෘෂ්ටිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි දෘෂ්ටිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(2). නිවැරදි සංකල්ප ඇත්තහුගේ වැරදි සංකල්ප විනාශ වූයේ වෙයි. වැරදි සංකල්ප නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි සංකල්ප නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(3). නිවැරදි වචන භාවිතය ඇත්තහුගේ වැරදි වචන භාවිතය විනාශ වූයේ වෙයි. වැරදි වචන භාවිතය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි වචන භාවිතය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(4). නිවැරදි කායික ක්‍රියා ඇත්තහුගේ වැරදි කායික ක්‍රියා විනාශ වූයේ වෙයි. වැරදි කායික ක්‍රියා නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි කායික ක්‍රියා නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(5). නිවැරදි ජීවිකාව ඇත්තහුගේ වැරදි ජීවිකාව විනාශ වූයේ වෙයි. වැරදි ජීවිකාව නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි ජීවිකාව නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(6). නිවැරදි උත්සාහය ඇත්තහුගේ වැරදි උත්සාහය විනාශ වූයේ වෙයි. වැරදි උත්සාහය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි උත්සාහය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(7). නිවැරදි සිහිය ඇත්තහුගේ වැරදි සිහිය විනාශ වූයේ වෙයි. වැරදි සිහිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි සිහිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(8). නිවැරදි චිත්තේකාග්‍රතාව ඇත්තහුගේ වැරදි චිත්තේකාග්‍රතාව විනාශ වූයේ වෙයි. වැරදි චිත්තේකාග්‍රතාව නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි චිත්තේකාග්‍රතාව නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(9). නිවැරදි ඥානය ඇත්තහුගේ වැරදි ඥානය විනාශ වූයේ වෙයි. වැරදි ඥානය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි ඥානය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
(10). නිවැරදි විමුක්තිය ඇත්තහුගේ වැරදි විමුක්තිය විනාශ වූයේ වෙයි. වැරදි විමුක්තිය නිසාවෙන් හටගන්නා අනේක වූ යම් පාපී අකුසල් දහම් ඇද්ද, ඔහු තුළ ඒවා ද විනාශ වූයේ වෙයි. නිවැරදි විමුක්තිය නිසාවෙන් අනේක වූ කුසල් දහම් ද දියුණු වීමෙන් පරිපූර්ණත්වයට යයි.
මේ විශිෂ්ට ඥානයෙන් දැක්ක යුතු ධර්ම දසය යි.
සාක්ෂාත් කළ යුතු ධර්ම දසය මොනවා ද? නිවන් මග හික්මී අවසන් කරන ලද ධර්ම දසය යි. අසේඛ සම්මා දිට්ඨිය ය. අසේඛ සම්මා සංකල්පය ය. අසේඛ සම්මා වාචා ය. අසේඛ සම්මා කම්මන්තය ය. අසේඛ සම්මා ආජීවය ය. අසේඛ සම්මා වායාම ය. අසේඛ සම්මා සතිය ය. අසේඛ සම්මා සමාධිය ය. අසේඛ සම්මා ඥානය ය. අසේඛ සම්මා විමුක්තිය ය.
මේ සාක්ෂාත් කළ යුතු ධර්ම දසය යි.
මෙසේ සැබෑ ලෙස ම ඇති, සත්‍ය ලෙස ම ඇති, ඒ වූ පරිදි ම ඇති, කියූ අයුරින් මිස අන් පරිදි නොවන ස්වභාව ඇති, වෙනත් ස්වභාවයකට පත් වන ගති නැති, මේ සියයක් ධර්මයෝ තථාගතයන් වහන්සේ විසින් ඉතා මනා කොට පිරිපුන් ව අවබෝධ කරන ලද්දාහු ය.”
ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ මෙය වදාළ සේක. සතුටු සිත් ඇති ඒ භික්ෂූහු ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේගේ භාෂිතය සතුටින් පිළිගත්තාහු ය.
සාදු! සාදු!! සාදු!!!
දසුත්තර සූත්‍රය නිමා විය.
එහි පිළිවෙල උද්දානයයි :
පාථික සූත්‍රය, උදුම්බර සූත්‍රය, චක්කවත්ති සූත්‍රය, අග්ගඤ්ඤ සූත්‍රය, සම්පසාදන සූත්‍රය, පාසාදික සූත්‍රය, මහා පුරිසලක්ඛණ සූත්‍රය, සිඟාල සූත්‍රය, ආටානාටිය සූත්‍රය, සංගීති සූත්‍රය, දසුත්තර සූත්‍රය වශයෙන් සූත්‍ර දේශනා එකොළොසකින් යුක්ත වූ දහම් සමූහය පාථික වර්ගය යැයි කියනු ලැබේ.
දීඝ නිකාය නිමා වූයේ ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn3_11/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M