මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ කුසිනාරාවෙහි මල්ල රජදරුවන්ගේ උපවර්තන නම් සල් වනයෙහි සාල වෘක්ෂ දෙක අතරෙහි මහා පරිනිර්වාණය අවස්ථාවෙහි වැඩවසන සේක.
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක සැතැපී සිටි සේක් ද, එතැනට එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පත් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මේ කුඩා නගරයෙහි, පිටිසර නගරයෙහි, ශාඛා නගරයෙහි පිරිනිවන් නොපානා සේක්වා! ස්වාමීනී, අන්‍ය වූ මහා නගරයෝ ඇත්තාහ. එනම්; චම්පා, රාජගෘහ, ශ්‍රාවස්ථි, සාකේත, කෝසම්බි, බාරාණසී ය. භාග්‍යවතුන් වහන්සේ එවැනි නගරයක පිරිනිවන් පානා සේක්වා! එහි බොහෝ මහාසාර ක්ෂත්‍රියවරු, මහාසාර බ්‍රාහ්මණවරු, මහාසාර ගෘහපතිවරු තථාගතයන් වහන්සේ කෙරෙහි මහත් පැහැදීමකින් සිටිත්. ඔවුහු තථාගතයන් වහන්සේගේ ශ්‍රී ශරීරයට පූජාවන් කරන්නාහු ය.”
“ආනන්දයෙනි, මෙසේ කියන්නට එපා! ආනන්දයෙනි, ‘මෙය කුඩා නගරයක් ය, පිටිසර නගරයක් ය, ශාඛා නගරයක් ය’ යි මෙසේ කියන්නට එපා!
ආනන්දයෙනි, මෙය පෙර සිදුවූවකි. සතර මහා සාගරය සීමා කොට ගත්, සතර දිවයිනට අධිපති ව, සතුරන් ජයගෙන, ජනපදයන්හි ස්ථිර බවට පත් ව, සප්ත රත්නයන්ගෙන් සමන්විත ව, මහා සුදස්සන නමින් ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙක් සිටියේ ය. ආනන්දයෙනි, මේ කුසිනාරාව මහා සුදස්සන රජුගේ කුසාවතී නම් රාජධානිය වූයේ ය. ආනන්දයෙනි, ඒ කුසාවතී රාජධානිය පෙරදිගින් ද, බටහිරින් ද දොළොස් යොදුනක් දිග ය. උතුරින් ද, දකුණින් ද සත් යොදුනක් පළල ය. ආනන්දයෙනි, කුසාවතී රාජධානිය සමෘද්ධිමත් ව, පිරී ගිය සැප සම්පත් ඇති ව, බොහෝ මිනිස්සුන්ගෙන් ජනාකීර්ණ ව, සුලභ ආහාරපාන ඇති ව තිබුණේ ය.
ආනන්දයෙනි, දෙවියන්ගේ ආලකමන්දා නම් රාජධානිය සමෘද්ධිමත් ව, පිරී ගිය සැප සම්පත් ඇති ව, බොහෝ යක්ෂයින්ගෙන් ජනාකීර්ණ ව, සුලභ ආහාරපාන ඇති ව තිබෙන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, කුසාවතී රාජධානිය සමෘද්ධිමත් ව, පිරී ගිය සැප සම්පත් ඇති ව, බොහෝ මිනිස්සුන්ගෙන් ජනාකීර්ණ ව, සුලභ ආහාරපාන ඇති ව තිබුණේ ය. ආනන්දයෙනි, කුසාවතී රාජධානිය දහවලට මෙන් ම රාත්‍රියට ත් දස ශබ්දයකින් නොවෙනස් ව තිබුණේ ය. එනම්; හස්ති ශබ්දයෙන් ය, අශ්ව ශබ්දයෙන් ය, රථ ශබ්දයෙන් ය, බෙර ශබ්දයෙන් ය, මිහිඟු බෙර ශබ්දයෙන් ය, වීණා ශබ්දයෙන් ය, ගීත ශබ්දයෙන් ය, යහළු මිතුරන්ගේ ශබ්දයෙන් ය, අත්තල ශබ්දයෙන් ය, ‘අනුභව කරව්, පානය කරව්, බුදිව්’ යන දසවෙනි ශබ්දයෙන් ය.
ආනන්දයෙනි, කුසාවතී රාජධානිය ප්‍රාකාර සතකින් වට ව තිබුණේ ය. එක් ප්‍රාකාරයක් රනින් සාදා තිබුණේ ය. එකක් රිදියෙන් සාදා තිබුණේ ය. එකක් වෛරෝඩියෙන් සාදා තිබුණේ ය. එකක් පළිඟුවෙන් සාදා තිබුණේ ය. එකක් රතු මැණික් ගලින් සාදා තිබුණේ ය. එකක් මැසිරි ගලින් සාදා තිබුණේ ය. අනෙක සියළු රත්නයන්ගෙන් සාදා තිබුණේ ය.
ආනන්දයෙනි, කුසාවතී රාජධානියෙහි දොරටු සතර වර්ණ සතරකින් තිබුණේ ය. එක් දොරටුවක් රනින් සාදා තිබුණේ ය. තව එකක් රිදියෙන් සාදා තිබුණේ ය. තව එකක් වෛරෝඩියෙන් සාදා තිබුණේ ය. අනෙක පළිඟුවෙන් සාදා තිබුණේ ය. එක් එක් දොරටුවෙහි තුන් පුරුෂයෙකුගේ ප්‍රමාණයට ගැඹුරට පොළොවෙහි යට කොට, තුන් පුරුෂයෙකුගේ වට ප්‍රමාණය ඇති ව, දොළොස් පුරුෂයෙකුගේ ප්‍රමාණයට උසින් යුතු ව සිටුවන ලද ඉන්ද්‍රඛීලයෝ සතක් බැගින් තිබුණාහ. එක් ඉන්ද්‍රඛීලයක් රනින් සාදා තිබුණේ ය. එකක් රිදියෙන් සාදා තිබුණේ ය. එකක් වෛරෝඩියෙන් සාදා තිබුණේ ය. එකක් පළිඟුවෙන් සාදා තිබුණේ ය. එකක් රතු මැණික් ගලින් සාදා තිබුණේ ය. එකක් මැසිරි ගලින් සාදා තිබුණේ ය. අනික සියළු රත්නයන්ගෙන් සාදා තිබුණේ ය.
ආනන්දයෙනි, කුසාවතී රාජධානිය තල් ගස් පේලි සතකින් වටවී තිබුණේ ය. එක් තල් ගස් පේලියක් රනින් සාදා තිබුණේ ය. තව පේලියක් රිදියෙන් සාදා තිබුණේ ය. තව පේලියක් වෛරෝඩියෙන් සාදා තිබුණේ ය. තව පේලියක් පළිඟුවෙන් සාදා තිබුණේ ය. තව පේලියක් රතු මැණික් ගලින් සාදා තිබුණේ ය. තව පේලියක් මැසිරි ගලෙන් සාදා තිබුණේ ය. තව පේලියක් සියළු රත්නයෙන් සාදා තිබුණේ ය.
රනින් සැදූ තල්ගසෙහි කඳ රනින් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් රිදියෙන් සාදා තිබුණේ ය. රිදියෙන් තැනූ තල් ගසෙහි කඳ රිදියෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් රනින් සාදා තිබුණේ ය. වෛරෝඩියෙන් සැදූ තල් ගසෙහි කඳ වෛරෝඩියෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් පළිඟුවෙන් සාදා තිබුණේ ය. පළිඟුවෙන් තැනූ තල් ගසෙහි කඳ පළිඟුවෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් වෛරෝඩියෙන් සාදා තිබුණේ ය. රතු මැණික් ගලින් තැනූ තල්ගසෙහි කඳ රතු මැණික් ගලින් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් මැසිරි ගලින් සාදා තිබුණේ ය. මැසිරි ගලින් තැනූ තල් ගසෙහි කඳ මැසිරි ගලින්ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් රතු මැණිකෙන් සාදා තිබුණේ ය. සියළු රත්නයෙන් තැනූ තල්ගසෙහි කඳ සියළු රත්නයෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් සියළු රත්නයෙන් ම සාදා තිබුණේ ය.
ආනන්දයෙනි, ඒ තල්ගස් පේලි සුළඟින් සෙළවෙද්දී මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් හඬක් නිකුත් වූයේ ය. ආනන්දයෙනි, මැනැවින් හික්මුණු, වාද්‍ය භාණ්ඩයන්හී බැලුම් මැනැවින් තලා, ස්වර සමකොට, තූර්යවාදනයෙහි දක්ෂයන් විසින් වයන ලද පංචාංගික තූර්ය නාදයෙහි මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් ශබ්දය යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, සුළඟින් ඒ තල්ගස් වැටවල් සෙළවෙද්දී මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් හඬක් නිකුත් වූයේ ය. ආනන්දයෙනි, එසමයෙහි කුසාවතී රාජධානියෙහි සුරාසොඬ වූ, සුරා පිපාසිත වූ යම් ධූර්තයෝ වූවාහු ද, ඔවුහු ඒ සුළඟින් සෙළවෙන තල් ගස් පේලිවලින් නැගෙන නාදය වටා එක් වී ප්‍රීති වූහ.
ආනන්දයෙනි, මහා සුදස්සන රජ තෙමේ සප්ත රත්නයකින් හා සතර ඉර්ධියකින් යුක්ත වූයේ ය. ඒ කවර සප්ත රත්නයක් ද යත්; ආනන්දයෙනි, මෙහිලා ඒ පුන්පොහෝ දිනයෙහි හිස සෝදා, ස්නානය කොට, උපෝසථ සිල් සමාදන් ව, උතුම් ප්‍රාසාදයෙහි උඩුමහලට ගොස් සිටි මහා සුදස්සන රජු හට දහසක් අර ඇති, නිම් වළලු ඇති, නැබ ඇති, සියළු අයුරින් පිරිපුන් දිව්‍ය වූ චක්‍රරත්නය පහළ වූයේ ය. ඒ චක්‍ර රත්නය දුටු මහා සුදස්සන රජුට මේ අදහස ඇති වූයේ ය. ‘මෙකරුණ අසන ලද්දේ ම ය. ඒ පුන් පොහෝ දිනයෙහි හිස සෝදා ස්නානය කොට, උපෝසථ සිල් සමාදන් ව, උතුම් මාලිගයෙහි උඩුමහලට ගොස් සිටින, ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙකු හට දහසක් අර සහිත, නිම් වළලු හෙවත් පට්ටම සහිත, නාභිය හෙවත් මැද කුඩා රවුම සහිත සියළු අයුරින් පිරිපුන් දිව්‍ය වූ චක්‍රරත්නයක් පහළ වෙයි ද, ඔහු සක්විති රජෙක් වෙයි යනුවෙනි. මම සක්විති රජෙක් විය හැක්කෙම් ද?’
එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජ තෙමේ හුනස්නෙන් නැගිට, උතුරු සළුව ඒකාංශ කොට පොරොවා, වම් අතින් රන් කෙණ්ඩිය ගෙන, දකුණු අතින් චක්‍රරත්නයට පැන් ඉස්සේ ය. ‘භවත් චක්‍රරත්නය කරකැවේවා! භවත් චක්‍රරත්නය විශේෂයෙන් ජය ලබා දේවා!’ යි.
ඉක්බිති ආනන්දයෙනි, චක්‍රරත්නය නැගෙනහිර දිශාවට කරකැවුණේ ය. මහා සුදස්සන රජු චතුරංගිනී සේනාව සමඟ ඒ චක්‍රරත්නය අනුව නික්මුණේ ය. ආනන්දයෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේ ද, මහා සුදස්සන රජු චතුරංගිනී සේනාව සමඟ එහි නැවතුණේ ය. ආනන්දයෙනි, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු මහා සුදස්සන රජු වෙත එළඹ මෙසේ කීවාහු ය.
“මහරජාණෙනි, එනු මැනැව. මහරජාණෙනි, ඔබට සුභ ආගමනයකි! මහරජාණෙනි, මෙය ඔබගේ විජිතය යි. මහරජාණෙනි, අපට අනුශාසනා කළ මැනැව.”
මහා සුදස්සන රජු මෙසේ පැවසුවේ ය.
“සතුන් නොමැරිය යුත්තේ ය. සොරකම් නොකළ යුත්තේ ය. වැරදි කාම සේවනයෙහි නොයෙදිය යුත්තේ ය. බොරු නොකිව යුත්තේ ය. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුත්තේ ය. යම් සේ රජසැප අනුභව කළේ ද, එසේ ම රජ සැප විඳිව්.”
ආනන්දයෙනි, නැගෙනහිර දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු මහා සුදස්සන රජු අනුව යන්නෝ වූහ. ඉක්බිති ආනන්දයෙනි, ඒ චක්‍රරත්නය පෙරදිග මුහුදට බැස එයින් ගොඩ නැගී දකුණු දිශාවට කරකැවුණේ ය. ….(පෙ)…. දකුණු මුහුදට බැස එයින් ගොඩ නැගී බටහිර දිශාවට කරකැවුණේ ය. ….(පෙ)…. බටහිර මුහුදට බැස එයින් ගොඩ නැගී උතුරු දිශාවට කරකැවුණේ ය. මහා සුදස්සන රජු චතුරංගිනී සේනාව සමඟ ඒ චක්‍රරත්නය අනුව නික්මුණේ ය. ආනන්දයෙනි, යම් ප්‍රදේශයක චක්‍රරත්නය පිහිටියේ ද, මහා සුදස්සන රජු චතුරංගිනී සේනාව සමඟ එහි නැවතුණේ ය. ආනන්දයෙනි, උතුරු දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු මහා සුදස්සන රජු වෙත එළඹ මෙසේ කීවාහු ය.
“මහරජාණෙනි, එනු මැනැව. මහරජාණෙනි, ඔබට සුභ ආගමනයකි! මහරජාණෙනි, මෙය ඔබගේ විජිතය යි. මහරජාණෙනි, අපට අනුශාසනා කළ මැනැව.”
මහා සුදස්සන රජු මෙසේ පැවසුවේ ය.
“සතුන් නොමැරිය යුත්තේ ය. සොරකම් නොකළ යුත්තේ ය. වැරදි කාම සේවනයෙහි නොයෙදිය යුත්තේ ය. බොරු නොකිව යුත්තේ ය. මත්පැන් මත්ද්‍රව්‍ය භාවිත නොකළ යුත්තේ ය. යම් සේ රජසැප අනුභව කළේ ද, එසේ ම රජ සැප විඳිව්.”
ආනන්දයෙනි, උතුරු දිශාවෙහි යම් විරුද්ධ රජවරු සිටියාහු ද, ඔවුහු මහා සුදස්සන රජු අනුව යන්නෝ වූහ.
ඉක්බිති ආනන්දයෙනි, මහා සමුද්‍රය සීමා කොට පොළොව ජයගෙන කුසාවතී රාජධානියට ආපසු හැරී අවුත් මහා සුදස්සන රජුගේ ඇතුළු නුවර දොරටුවෙහි විනිසුරු සභාව ඉදිරියෙහි ඒ චක්‍රරත්නය කඩඇණයක් ගැසූ කලෙක මෙන් මහා සුදස්සන රජුගේ අන්තඃපුරය සෝභමාන කරමින් නැවතුණේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට පහළ වූයේ මෙබඳු වූ චක්‍රරත්නයකි.
තව ද ආනන්දයෙනි, මුළුමනින් ම සුදු වූ, සත් තැනකින් පොළොව ස්පර්ශ කරන, ඉර්ධිමත්, අහස් ගමන් ඇති, ‘උපෝසථ’ නම් හස්තිරාජයෙකු මහා සුදස්සන රජුට හස්තිරත්නය ලෙස පහළ වූයේ ය. ඔහු දුටු මහා සුදස්සන රජුගේ සිත පැහැදුණේ ය. ‘භවත්නි, ඉදින් දමනයට පත් වූයේ නම් ඒකාන්තයෙන් මේ ඉතා සොඳුරු හස්තියානයකි.’
ඉක්බිති ආනන්දයෙනි, ඒ හස්තිරත්නය සොඳුරු වූ ආජානේය හස්තිරාජයෙක් දීර්ඝ කාලයක් ඉතා හොඳින් හීලෑ වූයේ යම් සේ ද, එසෙයින් ම හීලෑ බවට පත්වූයේ ය. ආනන්දයෙනි, මෙය පෙර සිදුවූවකි. මහා සුදස්සන රජු ඒ හස්ති රත්නය ම විමසනු පිණිස උදේ වරුවෙහි ඔහු පිට නැගී මුහුද සීමා කොට ඇති, පොළොව වටා ඇවිද කුසාවතී රාජධානියට ආපසු අවුත් උදේ ආහාරය ගත්තේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට පහළ වූයේ මෙබඳු වූ හස්ති රත්නයකි.
තව ද ආනන්දයෙනි, මුළුමනින් ම සුදු වූ, කළු හිසින් යුතු, මුඤ්ජතණ බඳු කෙස් ඇති, ඉර්ධිමත්, අහස් ගමන් ඇති, ‘වළාහක’ නම් අශ්වරාජයෙකු මහා සුදස්සන රජුට අශ්වරත්නය ලෙස පහළ වූයේ ය. ඔහු දුටු මහා සුදස්සන රජුගේ සිත පැහැදුණේ ය. ‘භවත්නි, ඉදින් දමනයට පත් වූයේ නම් ඒකාන්තයෙන් මේ ඉතා සොඳුරු අශ්වයානයකි.’
ඉක්බිති ආනන්දයෙනි, ඒ අශ්වරත්නය සොඳුරු වූ ආජානේය අශ්වරාජයෙක් දීර්ඝ කාලයක් ඉතා හොඳින් හීලෑ වූයේ යම් සේ ද, එසෙයින් ම හීලෑ බවට පත්වූයේ ය. ආනන්දයෙනි, මෙය පෙර සිදුවූවකි. මහා සුදස්සන රජු ඒ අශ්වරත්නය ම විමසනු පිණිස උදේ වරුවෙහි ඔහු පිට නැගී මුහුද සීමා කොට ඇති, පොළොව වටා ඇවිද කුසාවතී රාජධානියට ආපසු අවුත් උදේ ආහාරය ගත්තේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට පහළ වූයේ මෙබඳු වූ අශ්වරත්නයකි.
තව ද ආනන්දයෙනි, මහා සුදස්සන රජුට මාණික්‍යරත්නයක් පහළ වූයේ ය. එය සොඳුරු වූ, ජාතිමත්, අටපට්ටම්, හොඳින් ඔප දැමූ, පැහැදිලි, ඉතාමත් පහන්, සියළු අයුරින් සම්පූර්ණ වූ වෛරෝඩි මාණික්‍යයකි. ආනන්දයෙනි, ඒ මාණික්‍යරත්නයෙහි ආලෝකය හාත්පස යොදුනක් පුරා පැතිරුණේ ය. ආනන්දයෙනි, මෙය පෙර සිදුවූවකි. මහා සුදස්සන රජු ඒ මාණික්‍යරත්නය ම විමසනු පිණිස චතුරංගිනී සේනාව සන්නද්ධ කොට මාණික්‍යරත්නය ධජයක් මත නංවා රාත්‍රී ඝනාන්ධකාරයෙහි පිටත් වූයේ ය. ආනන්දයෙනි, හාත්පස යම් ගම් තිබුණේ ද, ඒ ගම්වැසියෝ දහවල යැයි සිතා ඒ ආලෝකයෙන් වැඩකටයුතු පටන් ගත්හ. ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට පහළ වූයේ මෙබඳු වූ මාණික්‍ය රත්නයකි.
තව ද ආනන්දයෙනි, අභිරූපී වූ, දර්ශනීය වූ, සිත් පහදවන්නා වූ, උතුම් රූප සෞන්දර්යයෙන් හෙබි, ඉතා උස් නොවූ, ඉතා මිටි නොවූ, ඉතා කෘෂ නොවූ, ඉතා ස්ථුල නොවූ, ඉතා කළු නොවූ, ඉතා සුදු නොවූ, මිනිස් පැහැය ඉක්මවා ගිය, දිව්‍ය පැහැයට නොපැමිණි ස්ත්‍රීරත්නයක් මහා සුදස්සන රජුට පහළ වූයේ ය.
ආනන්දයෙනි, කපු පුළුන්වල හෝ ඉඹුල් පුළුන්වල පහස යම් සේ ද, ඒ ස්ත්‍රීරත්නයගේ කයෙහි ස්පර්ශය එබඳු වූයේ ය. ආනන්දයෙනි, ඒ ස්ත්‍රී රත්නයගේ සිරුර සීත කාලයෙහි උණුසුම් ය. ග්‍රීස්ම කාලයෙහි සිසිල් ය. ආනන්දයෙනි, ඒ ස්ත්‍රීරත්නයගේ කයෙන් සඳුන් සුවඳ හමයි. මුවින් මහනෙල් මල් සුවඳ හමයි. ආනන්දයෙනි, ඒ උත්තම ස්ත්‍රී තොමෝ මහා සුදස්සන රජුට කලින් අවදිවන්නී, හැමට පසුව සැතැපෙන්නී, ‘කුමක් කරන්නෙම් දැ’යි සොයා බලන්නී, රජුට සතුටු අයුරින් හැසිරෙන්නී, ප්‍රිය තෙපුල් ඇත්තී වූවාය. ආනන්දයෙනි, ඒ උත්තම ස්ත්‍රී තොමෝ මහා සුදස්සන රජු ඉක්මවා සිතින් වත් නොහැසිරුණා ය. කයෙන් හැසිරීමක් කොයින් ලබන්න ද? ආනන්දයෙනි, මහා සුදස්සන රජුට පහළ වූයේ මෙබඳු ස්ත්‍රීරත්නයකි.
තව ද ආනන්දයෙනි, මහා සුදස්සන රජුට ගෘහපති රත්නයක් පහළ වූයේ ය. යම් දිවැසකින් අයිතිකරුවන් සිටින, අයිතිකරුවන් නොසිටින නිධානයන් දකියි ද, එබඳු වූ කර්මවිපාකයෙන් උපන් දිවැසක් ඔහුට පහළ වූයේ ය. ඔහු මහා සුදස්සන රජු වෙත එළැඹ මෙසේ කීය. ‘දේවයන් වහන්ස, ඔබ මන්දෝත්සාහයෙන් යුතුව වසනු මැනැව. ඔබට ධනයෙන් කළ යුතු දේ මම ධනයෙන් කරදෙන්නෙමි’ යි.
ආනන්දයෙනි. මෙය පෙර සිදුවූ දෙයකි. මහා සුදස්සන රජු ඒ ගෘහපති රත්නය විමසනු පිණිස නැවක නැගී ගංගා නදියෙහි මැද දිය පහරෙහි සිට ගෘහපති රත්නයට මෙය පැවසුවේ ය. “ගෘහපතිය, මට ශුද්ධ නොකළ අමු රන්වලින් ද, රන් වලින් ද ප්‍රයෝජන ඇත්තේ ය.” “එසේ වී නම් මහරජාණෙනි, නැව එක් ඉවුරකට පමුණාවාවා!” “ගෘහපතිය, මට මෙතැනදී ම අමු රන් ද, ශුද්ධ කළ රන් ද ප්‍රයෝජන වෙයි.” ඉක්බිති ආනන්දයෙනි, ඒ ගෘහපතිරත්නය දෙඅතින් ජලය පිරිමැද අමුරන් හා ශුද්ධ කළ රන් පිරී ගිය සැළියක් උඩට ගෙන මහා සුදස්සන රජුට මෙය පැවසුවේ ය. “මහරජාණෙනි, මෙපමණකින් සෑහේ ද? මහරජාණෙනි, මෙපමණකින් කරන ලද්දේ ද? මහරජාණෙනි, මෙපමණකින් ඔබගේ වචනය පුදන ලද්දේ ද?” යි. මහාසුදස්සන රජු මෙසේ පැවසුවේ ය. “ගෘහපතිය, මෙපමණකින් සෑහේ. ගෘහපතිය, මෙපමණකින් කරන ලද්දේ ය. ගෘහපතිය, මෙපමණකින් මාගේ වචනය පුදන ලද්දේ ය.” ආනන්දයෙනි, මහා සුදස්සන රජුට පහළ වූයේ මෙබඳු වූ ගෘහපති රත්නයකි.
තව ද ආනන්දයෙනි, නුවණැති, ව්‍යක්ත, සොඳුරු ප්‍රඥා ඇති, මහා සුදස්සන රජු වෙත පැමිණිය යුත්තන් එවන්නට ත්, බැහැර කළ යුත්තන් යවන්නට ත්, ප්‍රතිබල සම්පන්න වූ පුත්‍රරත්නයක් මහා සුදස්සන රජු හට පහළ වූයේ ය. ඔහු මහා සුදස්සන රජු වෙත එළැඹ මෙසේ කීය. “දේවයන් වහන්ස, ඔබ මන්දෝත්සාහයෙන් යුතුව වසනු මැනැව. මම අනුශාසනා කරන්නෙමි” යි. ආනන්දයෙනි, මහා සුදස්සන රජුට පහළ වූයේ මෙබඳු වූ පුත්‍රරත්නයකි.
ආනන්දයෙනි, මහා සුදස්සන රජු මේ සප්ත රත්නයෙන් යුක්ත වූයේය.
තව ද ආනන්දයෙනි, මහා සුදස්සන රජු සතර ඉර්ධියකින් යුක්ත වූයේ ය. ඒ කවර සතර ඉර්ධියකින් ද යත්;
(1). ආනන්දයෙනි, මෙහිලා මහා සුදස්සන රජු අන්‍ය මනුෂ්‍යයින්ට වඩා අතිශයින් ම රූපවත් ව, දර්ශනීය ව, දුටුවන් පහදවන උතුම් රූප සෝභාවකින් යුක්ත වූයේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු මේ පළමු ඉර්ධියෙන් යුක්ත වූයේ ය.
(2). තව ද ආනන්දයෙනි, මහා සුදස්සන රජු අන්‍ය මනුෂ්‍යයින්ට වඩා දීර්ඝ ආයුෂ ඇති ව, චිරාත් කාලයක් සිටියේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු මේ දෙවන ඉර්ධියෙන් යුක්ත වූයේ ය.
(3). තව ද ආනන්දයෙනි, මහා සුදස්සන රජු අන්‍ය මනුෂ්‍යයින්ට වඩා අල්පාබාධ ඇති ව, අල්ප රෝග ඇති ව, ඉතා සීත ත් නොවූ, ඉතා ඌෂ්ණ ත් නොවූ, සම සේ ආහාර පැසවන ග්‍රහණියකින් යුක්ත ව සිටියේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු මේ තෙවෙනි ඉර්ධියෙන් යුක්ත ව සිටියේ ය.
(4). තව ද ආනන්දයෙනි, මහා සුදස්සන රජු බ්‍රාහ්මණ ගෘහපතියන් හට ප්‍රියමනාප වූයේ ය. ආනන්දයෙනි, පියා පුත්‍රයන් හට ප්‍රියමනාප වන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, මහා සුදස්සන රජු බ්‍රාහ්මණ ගෘහපතියන් හට ප්‍රියමනාප වූයේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජුට ද බ්‍රාහ්මණ ගෘහපතීහු ප්‍රියමනාප වූහ. ආනන්දයෙනි, පුත්‍රයෝ පියාට ප්‍රියමනාප වන්නේ යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, මහා සුදස්සන රජුට ද බ්‍රාහ්මණ ගෘහපතීහු ප්‍රියමනාප වූහ.
ආනන්දයෙනි, මෙය පෙර සිදුවූවකි. මහා සුදස්සන රජු චතුරංගිනී සේනාව සමඟ උයන් බිම බලා නික්ම ගියේ ය. ඉක්බිති ආනන්දයෙනි, බ්‍රාහ්මණ ගෘහපතිවරු මහා සුදස්සන රජු කරා එළැඹ මෙය පැවසූහ.
“දේවයන් වහන්ස, යම් සේ අපි බොහෝ වේලාවක් ඔබවහන්සේ ව දකින්නෙමු ද, එසේ වනු පිණිස හෙමින් වඩිනු මැනැව.”
ආනන්දයෙනි, මහා සුදස්සන රජු ද රියැදුරු ඇමතුවේ ය.
“රියැදුර, යම් සේ මම බ්‍රාහ්මණ ගෘහපතිවරුන් විසින් බොහෝ වේලාවක් දකිනු ලබන්නෙම් ද, ඒ අයුරින් සෙමෙන් රථය පදවව” යි.
ආනන්දයෙනි, මහා සුදස්සන රජු මේ සිව්වෙනි ඉර්ධියෙන් යුක්ත වූයේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු මේ සතර ඉර්ධියෙන් සමන්විත වූයේ ය.
එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජුට මේ අදහස ඇතිවූයේ ය. ‘මම මේ තල්ගස් අතරෙහි දුනු සියයක් දුනු සියයක් දුරින් පොකුණු ඉදිකරන්නෙම් නම් යහපති’ යි. ආනන්දයෙනි. මහා සුදස්සන රජු ඒ තල්ගස් අතරෙහි දුනු සියයක් දුනු සියයක් දුරින් පොකුණු ඉදි කෙරෙව්වේ ය.
ආනන්දයෙනි, ඒ පොකුණු සතර වර්ණයෙන් යුතු ගඩොලින් බඳිනු ලද්දාහු ය. එක් ගඩොලක් රනින් සාදා ඇත්තේ ය. තව එකක් රිදියෙන් සාදා ඇත්තේ ය. තව එකක් වෛරෝඩියෙන් සාදා ඇත්තේ ය. තව එකක් පළිඟුවෙන් සාදා ඇත්තේ ය. ආනන්දයෙනි, ඒ පොකුණුවල සතර වර්ණයෙන් යුතු පඩිපෙළවල් සතර බැගින් ඇත්තේ ය. එක් පඩිපෙළක් රනින් තනා තිබෙයි. අනෙක රිදියෙන් තනා තිබෙයි. අනික වෛරෝඩියෙන් තනා තිබෙයි. අනෙක පළිඟුවෙන් තනා තිබෙයි. රනින් තැනූ පඩිපෙළෙහි දෙපස කණු රනින් තනා තිබුණේ ය. එහි ගරාදි රිදියෙන් තනා තිබුණේ ය. රන් කණු මුදුන රිදියෙන් තනා තිබුණේ ය. රිදියෙන් තැනූ පඩිපෙළෙහි කණු රිදියෙන් තනා තිබුණේ ය. එහි ගරාදි රනින් තනා තිබුණේ ය. රිදී කණු මුදුන රනින් තනා තිබුණේ ය. වෛරෝඩියෙන් තැනූ පඩිපෙළෙහි දෙපස කණු වෛරෝඩියෙන් තනා තිබුණේ ය. එහි ගරාදි පළිඟුවෙන් තනා තිබුණේ ය. වෛරෝඩි කණු මුදුන පළිඟුවෙන් තනා තිබුණේ ය. පළිඟුවෙන් තැනූ පඩිපෙළෙහි දෙපස කණු පළිඟුවෙන් තනා තිබුණේ ය. එහි ගරාදි වෛරෝඩියෙන් තනා තිබුණේ ය. ඒ පළිඟු කණු මුදුන වෛරෝඩියෙන් තනා තිබුණේ ය.
ආනන්දයෙනි, ඒ පොකුණු වනාහී වේදිකා දෙකකින් වටකරන ලද්දාහු ය. එක් වේදිකාවක් රනින් සාදා තිබුණේ ය. එක් වේදිකාවක් රිදියෙන් සාදා තිබුණේ ය. රනින් තැනූ වේදිකාවෙහි රනින් තැනූ ස්ථම්භයෝ වූවාහු ය. රිදියෙන් තැනූ වැට ද, රිදියෙන් තැනූ ස්ථම්භ මුදුන ද වූවාහු ය. රිදියෙන් කළ වේදිකාවෙහි රිදියෙන් කළ ස්ථම්භයෝ වූවාහු ය. රනින් තැනූ වැට ද, රනින් තැනූ ස්ථම්භ මුදුන් ද වූවාහු ය.
එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජුට මේ අදහස ඇති වූයේ ය. ‘මම මේ පොකුණුවල මහනෙල්, නෙළුම්, කුමුදු, සුදු නෙළුම් ආදී ජලජ පුෂ්පයන් රෝපණය කරවන්නෙම් නම් යහපති’ යි. ආනන්දයෙනි, මහා සුදස්සන රජු ඒ පොකුණුවල සෑම ඍතුවක ම පිපෙන සේ සියළු ජනයා හට වළක්වා නැති සේ මහනෙල්, නෙළුම්, කුමුදු, සුදු නෙළුම් ආදී ජලජ පුෂ්පයන් රෝපණය කරවූයේය.
15. එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජුට මේ අදහස ඇතිවූයේ ය. ‘යම් කෙනෙක් මේ පොකුණුවලට පැමිණි පැමිණි ජනයා ස්නානය කරවන්නාහු නම්, මම මේ පොකුණු තෙර ස්නානය කරවන පුරුෂයන් තබන්නෙම් නම් යහපති’ යි. ආනන්දයෙනි, යම් කෙනෙක් මේ පොකුණුවලට පැමිණි පැමිණි ජනයා ස්නානය කෙරෙව්වාහු ද, මහා සුදස්සන රජු ඒ පොකුණු තෙර නහවන පුරුෂයන් තැබ්බවූයේ ය.
එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට මේ අදහස ඇතිවූයේ ය. ‘මම මේ පොකුණු තෙර මෙබඳු වූ දානයක් පිහිටුවන්නෙම් නම් යහපති. ආහාර කැමත්තවුන් හට ආහාර ය. පැන් කැමැත්තවුන් හට පැන් ය. වස්ත්‍ර කැමැත්තවුන් හට වස්ත්‍ර ය. යානා කැමැත්තවුන්ට යානාවන් ය. යහන් කැමැත්තවුන් හට යහන් ය. ස්ත්‍රීන් කැමැත්ත වුන් හට ස්ත්‍රීන් ය. ශුද්ධ නොකළ අමුරන් කැමැත්තවුන් හට අමුරන් ය. රන් කැමැත්තවුන් හට රන් ය’ වශයෙනි. ආනන්දයෙනි, මහා සුදස්සන රජු ඒ පොකුණු තෙර ආහාර කැමත්තවුන් හට ආහාර ය. පැන් කැමැත්තවුන් හට පැන් ය. වස්ත්‍ර කැමැත්තවුන් හට වස්ත්‍ර ය. යානා කැමැත්තවුන්ට යානාවන් ය. යහන් කැමැත්තවුන් හට යහන් ය. ස්ත්‍රීන් කැමැත්ත වුන් හට ස්ත්‍රීන් ය. ශුද්ධ නොකළ අමුරන් කැමැත්තවුන් හට අමුරන් ය. රන් කැමැත්තවුන් හට රන් ය වශයෙන් මෙබඳු වූ දානයක් පිහිටෙව්වේ ය.
16. එකල්හී ආනන්දයෙනි, බ්‍රාහ්මණ ගෘහපතිවරු බොහෝ වස්තුව රැගෙන මහා සුදස්සන රජු වෙත අවුත් මෙය පැවසූහ.
“දේවයිනි, මේ බොහෝ වස්තුව දේවයන් උදෙසා ම ගෙන එන ලද්දේ ය. එය දේවයෝ පිළිගන්නා සේක්වා!”
“ඇති භවත්නි. මාගේ ත් මේ බොහෝ වස්තුව ධාර්මික අය බද්දෙන් ලැබුණේ ය. මෙය ඔබට ම වේවා! මාගේ වස්තුවෙනුත් වැඩිපුර රැගෙන යව්”
රජු විසින් පිළිනොගත් වස්තුව ඇති ඔවුහු එකත්පස් ව බැහැර ව මෙසේ සිතූහ. ‘යම් හෙයකින් අපි මේ වස්තු යළිත් සිය ගෙවල්වලට ම ආපසු රැගෙන යන්නෙමු නම් එය අපට නොගැලපෙයි. මෙයින් අපි මහා සුදස්සන රජුට නිවසක් ඉදිකරන්නෙමු නම් යහපති’ යි. ඔවුහු මහා සුදස්සන රජු වෙත එළැඹ මෙය පැවසුවාහු ය.
“දේවයිනි, ඔබට නිවසක් ඉදිකරන්නෙමු” යි. ආනන්දයෙනි, මහා සුදස්සන රජු නිහඬ ව සිටීමෙන් එම අදහස පිළිගත්තේ ය. ඉක්බිති ආනන්දයෙනි, ශක්‍ර දේවේන්ද්‍ර තෙමේ මහා සුදස්සන රජුගේ සිත සිය සිතින් පිරිසිඳ දැන විස්කම් දෙව්පුතු ඇමතුවේ ය.
“එන්න, ඔබ මිත්‍ර විශ්වකර්මයෙනි. මහා සුදස්සන රජු හට ‘දහම්පහය’ නම් නිවසක් මවව.”
“එසේ ය, ස්වාමීනී” යි ආනන්දයෙනි, විස්කම් දෙව්පුතු සක්දෙවිඳුන්ට පිළිවදන් දී බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ, දික් කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම තව්තිසා දෙව්ලොවින් නොපෙනී ගොස් මහා සුදස්සන රජු ඉදිරියෙහි පෙනී සිටියේ ය.
ඉක්බිති ආන්නදයෙනි, විස්කම් දෙව්පුතු මහා සුදස්සන රජුට මෙය පැවසුවේ ය.
“දේවයිනි, ඔබට ‘ධර්ම ප්‍රාසාදය’ නමින් නිවසක් ඉදිකරන්නෙමි” යි. ආනන්දයෙනි, මහා සුදස්සන රජු නිහඬ ව සිටීමෙන් එම අදහස පිළිගත්තේ ය.
17. ආනන්දයෙනි, විස්කම් දෙව්පුතු මහා සුදස්සන රජු සඳහා ධර්ම ප්‍රාසාදය නම් නිවසක් ඉදි කළේ ය. ආනන්දයෙනි, ඒ දහම්පහය පෙරදිගිනුත්, බටහිරිනුත් යොදුනක් දිග ය. උතුරිනුත්, දකුණිනුත් අඩ යොදුනක් පළල ය. ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදයෙහි පුරුෂයන් තුන් දෙනෙකුගේ (බඹ තුනක්) උසට සතර වර්ණයකින් යුක්ත වූ ගඩොලින් ම විමානය වූයේ ය. එක් ගඩොලක් රනින් තනා තිබුණේ ය. අනෙක රිදියෙන් තනා තිබුණේ ය. තව එකක් වෛරෝඩියෙන් තනා තිබුණේ ය. තව එකක් පළිඟුවෙන් තනා තිබුණේ ය.
ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදයෙහි සතර වර්ණයෙන් යුතු වූ කුළුණු අසූ හාර දහසක් තිබුණේ ය. එක් කුළුණක් රනින් තනා තිබුණේ ය. අනෙක රිදියෙන් තනා තිබුණේ ය. තව එකක් වෛරෝඩියෙන් තනා තිබුණේ ය. තව එකක් පළිඟුවෙන් තනා තිබුණේ ය.
ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදයෙහි සතර වර්ණයෙන් යුතු පුවරු අතුරන ලද්දාහු ය. එක් පුවරුවක් රනින් තනා තිබුණේ ය. අනෙක රිදියෙන් තනා තිබුණේ ය. තව එකක් වෛරෝඩියෙන් තනා තිබුණේ ය. තව එකක් පළිඟුවෙන් තනා තිබුණේ ය.
ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදයෙහි සතර වර්ණයෙන් යුතු පියගැටපෙළ විසිහතරක් තනා තිබුණාහු ය. එක් පියගැටපෙළක් රනින් තනා තිබුණේ ය. අනෙක රිදියෙන් තනා තිබුණේ ය. තව එකක් වෛරෝඩියෙන් තනා තිබුණේ ය. තව එකක් පළිඟුවෙන් තනා තිබුණේ ය. ….(පෙ)…. පළිඟුවෙන් තනා තිබූ පියගැටපෙළෙහි දෙපස පළිඟුවෙන් කළ කණු තිබුණේ ය. වෛරෝඩියෙන් කළ අත්වැට ත්, කණු මුදුන ත් තිබුණේ ය.
ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදයෙහි සතර වර්ණයෙන් යුතු (සතරැස් ව ගොස් මුදුන් වූ වහළ ඇති) කූටාගාර අසූ හාර දහසක් තිබුණේ ය. එක් කුළු ගෙයක් රනින් තනා තිබුණේ ය. අනෙක රිදියෙන් තනා තිබුණේ ය. තව එකක් වෛරෝඩියෙන් තනා තිබුණේ ය. තව එකක් පළිඟුවෙන් තනා තිබුණේ ය. රනින් තැනූ කූටාගාරයෙහි රිදියෙන් කළ කවිච්චියක් පණවා තිබුණේ ය. රිදී කූටාගාරයෙහි රන් කවිච්චියක් පණවා තිබුණේ ය. වෛරෝඩියෙන් තැනූ කූටාගාරයෙහි ඇත් දළින් කවිච්චියක් පණවා තිබුණේ ය. පළිඟුවෙන් තැනූ කූටාගාරයෙහි මැසිරිගලින් කවිච්චියක් පණවා තිබුණේ ය.
රනින් තැනූ කූටාගාර දොරටුවෙහි රිදියෙන් තැනූ තල් ගසක් සිටුවා තිබුණේ ය. එහි කඳ රිදියෙන් තනා කොළ ත්, ගෙඩි ත් රනින් තනා තිබුණේ ය. රිදියෙන් තැනූ කූටාගාර දොරටුවෙහි රනින් තැනූ තල් ගසක් සිටුවා තිබුණේ ය. එහි කඳ රනින් තනා කොළ ත්, ගෙඩි ත්, රිදියෙන් තනා තිබුණේ ය. වෛරෝඩියෙන් තැනූ කූටාගාර දොරටුවෙහි පළිඟුවෙන් තැනූ තල් ගසක් සිටුවා තිබුණේ ය. එහි කඳ පළිඟුවෙන් තනා කොළ ත්, ගෙඩිත් වෛරෝඩියෙන් තනා තිබුණේ ය. පළිඟුවෙන් තැනූ කූටාගාර දොරටුවෙහි වෛරෝඩියෙන් තැනූ තල් ගසක් සිටුවා තිබුණේ ය. එහි කඳ වෛරෝඩියෙන් තනා කොළ ත්, ගෙඩි ත් පළිඟුවෙන් තනා තිබුණේ ය.
18. එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට මේ අදහස ඇතිවූයේ ය. ‘යම් තැනක මම දිවා කාලයෙහි විවේකය පිණිස හිඳින්නෙම් ද, මහා ව්‍යුහ නම් කූටාගාර දොරටුව අසල රනින් සියල්ල තැනූ තල් වනයක් ඉදිකරන්නෙම් නම් මැනැව’ යි. ආනන්දයෙනි, මහා සුදස්සන රජු යම් තැනක දිවා කාලයෙහි විවේකය පිණිස හුන්නේ ද, මහා ව්‍යුහ නම් කූටාගාර දොරටුව අසල රනින් සියල්ල තැනූ තල් වනයක් ඉදිකරවීය. ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදය වේදිකා දෙකකින් වට වී තිබුණේ ය. රනින් කළ එක් වේදිකාවක් තිබුණේ ය. අනෙක රිදියෙන් තනා තිබුණේ ය. රනින් තැනූ වේදිකාවෙහි රනින් තැනූ කුළුණු තිබුණේ ය. රිදියෙන් කළ ගරාදි ත්, රිදියෙන් කළ කුළුණු හිස ත් තිබුණේ ය. රිදියෙන් තැනූ වේදිකාවෙහි රිදියෙන් කළ කුළුණු තිබුණේ ය. රනින් කළ ගරාදි ත්, රනින් කළ කුළුණු හිස ත් තිබුණේ ය.
19. ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදය කිකිණිදැල් දෙකකින් වටකොට තිබුණේ ය. රනින් තැනූ එක් දැලක් තිබුණේ ය. එකක් රිදියෙන් තනා තිබුණේ ය. රනින් තැනූ දැලෙහි රිදී ගෙජ්ජි තිබුණේ ය. රිදියෙන් තැනූ දැලෙහි රන් ගෙජ්ජි තිබුණේ ය.
ආනන්දයෙනි, ඒ කිකිණි දැල් සුළඟින් සෙලවෙද්දී මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් හඬක් නිකුත් වූයේ ය. ආනන්දයෙනි, මැනැවින් හික්මුණු, වාද්‍ය භාණ්ඩයන්හී බැලුම් මැනැවින් තලා, ස්වර සමකොට, තූර්යවාදනයෙහි දක්ෂයන් විසින් වයන ලද පංචාංගික තූර්ය නාදයෙහි මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් ශබ්දය යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, සුළඟින් ඒ කිකිණි දැල් සෙළවෙද්දී මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් හඬක් නිකුත් වූයේ ය. ආනන්දයෙනි, එසමයෙහි කුසාවතී රාජධානියෙහි සුරාසොඬ වූ, සුරා පිපාසිත වූ යම් ධූර්තයෝ වූවාහු ද, ඔවුහු ඒ සුළඟින් සෙළවෙන කිකිණි දැල් වලින් නැගෙන නාදය වටා එක් වී ප්‍රීති වූහ.
ආනන්දයෙනි, නිමාවට පත් කරන ලද ධර්ම ප්‍රාසාදය දෙස බැලීම ද අසීරු ය. එහි දීප්තියෙන් ඇස් නිලංකාර වෙයි. ආනන්දයෙනි, වැසි සමය අවසන් මාසයෙහි සරත් කාලයෙහි වළාකුළු පහව ගිය අහසෙහි හිරු මුදුන් වන කල්හී හිරු දෙස බැලීමට අසීරු වන්නේ යම් සේ ද, එහි දීප්තියෙන් ඇස් නිලංකාර වන්නේ යම් සේ ද, ආනන්දයෙනි, එසෙයින් ම නිමාවට පත් කරන ලද ධර්ම ප්‍රාසාදය දෙස බැලීම ද අසීරු ය. එහි දීප්තියෙන් ඇස් නිලංකාර වෙයි.
20. එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජුට මේ අදහස ඇතිවූයේ ය. ‘මම ධර්ම ප්‍රාසාදයට ඉදිරියෙන් ‘ධර්ම’ නමින් පොකුණක් ඉදිකරන්නෙම් නම් යහපති’ යි. ආනන්දයෙනි, මහා සුදස්සන රජු ධර්ම ප්‍රාසාදයට ඉදිරියෙන් ‘ධර්ම’ නමින් පොකුණක් ඉදිකරවීය. ආනන්දයෙනි, ධර්ම පොකුණ පෙරදිගින් ද, බටහිරින් ද යොදුනක් දිග ය. උතුරින් ද දකුණින් ද අඩ යොදුනක් පළල ය. ආනන්දයෙනි, ධර්ම පොකුණ සතර වර්ණයෙන් යුතු වූ ගඩොලින් කරවන ලද්දේ ය. එක් ගඩොලක් රනින් තනා තිබුණේ ය. අනෙක රිදියෙන් තනා තිබුණේ ය. අනෙක වෛරෝඩියෙන් තනා තිබුණේ ය. අනෙක පළිඟුවෙන් තනා තිබුණේ ය.
ආනන්දයෙනි, ධර්ම පොකුණෙහි සතර වර්ණයෙන් යුතු පියගැටපෙළ විසි හතරක් තිබුණේ ය. එක් පියගැටපෙළක් රනින් තනා තිබුණේ ය. එකක් රිදියෙන් තනා තිබුණේ ය. එකක් වෛරෝඩියෙන් තනා තිබුණේ ය. අනෙක පළිඟුවෙන් තනා තිබුණේ ය. රනින් තැනූ පියගැටපෙළහි රනින් තැනූ කණු තිබුණේ ය. රිදියෙන් තැනූ ගරාදි වැට ත්, කුළුණු හිස ත් තිබුණේ ය. රිදියෙන් තැනූ පියගැටපෙළෙහි රිදියෙන් තැනූ කණු තිබුණේ ය. රනින් තැනූ ගරාදි වැට ත්, කුළුණු හිස ත් තිබුණේ ය. වෛරෝඩියෙන් තැනූ පියගැටපෙළහි වෛරෝඩියෙන් තැනූ කණු තිබුණේ ය. පළිඟුවෙන් තැනූ ගරාදි වැට ත්, කුළුණු හිස ත් තිබුණේ ය. පළිඟුවෙන් තැනූ පියගැටපෙළෙහි පළිඟුවෙන් තැනූ කණු තිබුණේ ය. වෛරෝඩියෙන් තැනූ ගරාදි වැට ත්, කුළුණු හිස ත් තිබුණේ ය.
ආනන්දයෙනි, ධර්ම පොකුණ වේදිකා දෙකකින් වටවූයේ ය. එක් වේදිකාවක් රනින් තනා තිබුණේ ය. අනෙක රිදියෙන් ය. රනින් තැනූ වේදිකාවෙහි රනින් තැනූ කුළුණු තිබුණේ ය. රිදියෙන් තැනූ ගරාදි වැට ත්, කුළුණු හිස ත් තිබුණේ ය. රිදියෙන් තැනූ වේදිකාවෙහි රිදියෙන් තැනූ කුළුණු ත්, රනින් තැනූ ගරාදි වැට ත්, කුළුණු හිස ත් තිබුණේ ය.
ආනන්දයෙනි, ධර්ම පොකුණ තල් ගස් පේලි සතකින් වටවී තිබුණේ ය. එක් තල් ගස් පේලියක් රනින් සාදා තිබුණේ ය. තව පේලියක් රිදියෙන් සාදා තිබුණේ ය. තව පේලියක් වෛරෝඩියෙන් සාදා තිබුණේ ය. තව පේලියක් පළිඟුවෙන් සාදා තිබුණේ ය. තව පේලියක් රතු මැණික් ගලින් සාදා තිබුණේ ය. තව පේලියක් මැසිරි ගලෙන් සාදා තිබුණේ ය. තව පේලියක් සියළු රත්නයෙන් සාදා තිබුණේ ය.
රනින් සැදූ තල්ගසෙහි කඳ රනින් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් රිදියෙන් සාදා තිබුණේ ය. රිදියෙන් තැනූ තල් ගසෙහි කඳ රිදියෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් රනින් සාදා තිබුණේ ය. වෛරෝඩියෙන් සැදූ තල් ගසෙහි කඳ වෛරෝඩියෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් පළිඟුවෙන් සාදා තිබුණේ ය. පළිඟුවෙන් තැනූ තල් ගසෙහි කඳ පළිඟුවෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් වෛරෝඩියෙන් සාදා තිබුණේ ය. රතු ගලින් තැනූ තල්ගසෙහි කඳ රතු මැණික් ගලින් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් මැසිරි ගලින් සාදා තිබුණේ ය. මැසිරි ගලින් තැනූ තල් ගසෙහි කඳ මැසිරි ගලින්ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් රතු මැණිකෙන් සාදා තිබුණේ ය. සියළු රත්නයෙන් තැනූ තල්ගසෙහි කඳ සියළු රත්නයෙන් ම සාදා තිබුණේ ය. කොළ ත්, ගෙඩි ත් සියළු රත්නයෙන් ම සාදා තිබුණේ ය.
ආනන්දයෙනි, ඒ තල්ගස් පේළි සුළඟින් සෙළවෙද්දී මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් හඬක් නිකුත් වූයේ ය. ආනන්දයෙනි, මැනැවින් හික්මුණු, වාද්‍ය භාණ්ඩයන්හී බැලුම් මැනැවින් තලා, ස්වර සමකොට, තූර්යවාදනයෙහි දක්ෂයන් විසින් වයන ලද පංචාංගික තූර්ය නාදයෙහි මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් ශබ්දය යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, සුළඟින් ඒ තල්ගස් වැටවල් සෙළවෙද්දී මිහිරි වූ ත්, සිත් අලවන්නා වූ ත්, කමනීය වූ ත්, මුසපත් කරවන්නා වූ ත් හඬක් නිකුත් වූයේ ය. ආනන්දයෙනි, එසමයෙහි කුසාවතී රාජධානියෙහි සුරාසොඬ වූ, සුරා පිපාසිත වූ යම් ධූර්තයෝ වූවාහු ද, ඔවුහු ඒ සුළඟින් සෙළවෙන තල්වැටෙන් නැගෙන නාදය වටා එක් වී ප්‍රීති වූහ.
ආනන්දයෙනි, ධර්ම ප්‍රාසාදය ත්, ධර්ම පොකුණ ත් නිම කරනු ලැබූ කල්හී එසමයෙහි ශ්‍රමණයන් අතර, ශ්‍රමණ සම්මත වූ ත්, බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණ සම්මත වූ ත් යම් කෙනෙක් වූවාහු ද, මහා සුදස්සන රජු ඔවුන් කැමති සියළු දෙයින් පිනවීමට පත් කොට ධර්ම ප්‍රාසාදයට නැංගේ ය.
21. එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට මේ අදහස ඇති වූයේ ය. ‘යම් කරුණකින් මෙකල්හී මම මෙබඳු වූ මහා ඉර්ධි ඇති ව, මෙබඳු වූ මහානුභාව ඇතිවෙම් ද, මෙය මාගේ කවර කර්මයක ඵලයක් ද? කවර කර්මයක විපාකයක් ද?’
ඉක්බිති ආනන්දයෙනි, මහා සුදස්සන රජුට මේ අදහස ඇති වූයේ ය. ‘යම් කරුණකින් මෙකල්හී මම මෙබඳු වූ මහත් ඉර්ධි ඇති ව, මෙබඳු වූ මහානුභාව ඇතිවෙම් ද, මෙය මාගේ පුණ්‍යකර්ම තුනක ඵලයන් ය. පුණ්‍ය කර්ම තුනක විපාකයන් ය. එනම්; දානයේ ත්, සීලයේ ත්, ඉන්ද්‍රිය සංවරයේ ත් ය.’
ඉක්බිති ආනන්දයෙනි, මහා සුදස්සන රජු මහා ව්‍යුහ කූටාගාරය යම් තැනක ද, එතැනට පැමිණියේ ය. පැමිණ මහා ව්‍යුහ කූටාගාර දොරටුවේ සිට උදානයක් පහළ කළේ ය. ‘සිටුව, එම්බා කාමවිතර්කය! සිටුව, ව්‍යාපාද විතර්කය! සිටුව, විහිංසා විතර්කය! කාම විතර්කය, ඔපමණකින් නවතිනු! ව්‍යාපාද විතර්කය, ඔපමණකින් නවතිනු! විහිංසා විතර්කය, ඔපමණකින් නවතිනු!’
22. එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජු මහා ව්‍යුහ කූටාගාරයට පිවිස රනින් තැනූ කවිච්චියෙහි හිඳගෙන කාමයන්ගෙන් වෙන් ව, අකුසල් දහමෙන් වෙන් ව, විතර්ක සහිත, විචාර සහිත, විවේකයෙන් හටගත් ප්‍රීති සැප ඇති ප්‍රථම ධ්‍යානය උපදවාගෙන වාසය කළේ ය.
විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන්, තමා තුළ හටගත් පහන් බවින් යුතුව, එකඟ සිතින් යුතුව, විතර්ක විචාර රහිත වූ, සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කළේය.
ප්‍රීතියට ද නොඇල්මෙන් උපේක්ෂාවෙන් ද වාසය කළේ ය. සිහියෙන් හා නුවණින් යුක්ත ව කයෙන් සැපකුත් වින්දේ ය. ‘උපේක්ෂාවෙන් යුක්ත ව, සිහියෙන් යුක්ත ව සැපසේ වාසය කිරීම යැ’ යි ආර්යයෝ යමකට පවසත් ද, ඒ තුන්වෙනි ධ්‍යානය ත් උපදවා ගෙන වාසය කළේ ය.
සැපය ද ප්‍රහාණය වීමෙන්, දුක ද ප්‍රහාණය වීමෙන්, කලින් ම මානසික සතුට ත්, මානසික දුක ත් නැතිවීමෙන්, දුක් නැති සැප නැති පිරිසිදු උපේක්ෂා සහගත සිහිය ඇති සතර වෙනි ධ්‍යානය ත් උපදවා ගෙන වාසය කළේ ය.
23. ඉක්බිති ආනන්දයෙනි, මහා සුදස්සන රජු මහා ව්‍යුහ කූටාගාරයෙන් නික්ම රනින් තැනූ කූටාගාරයට පිවිස, රිදියෙන් තැනූ කවිච්චියෙහි හිඳ මෛත්‍රියෙන් යුක්ත වූ සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළේ ය. එසේ දෙවෙනි දිශාවට ත්, එසේ තුන්වෙනි දිශාවට ත්, එසේ සිව්වෙනි දිශාවට ත් පතුරුවා වාසය කළේ ය. මෙසේ උඩ, යට, සරස හැම තැනම, සැමට, සියළු ලොවට, තමා හා සමකොට, විපුල වූ, මහත්ගත ලෙසින්, අප්‍රමාණ ලෙසින්, අවෛරී සිතින්, අව්‍යාපාද සිතින්, මෛත්‍රියෙන් යුක්ත වූ සිතින් පතුරුවා වාසය කළේ ය. කරුණා සහගත සිතින් ….(පෙ)…. මුදිතා සහගත සිතින් ….(පෙ)…. උපේක්ෂා සහගත සිතින් එක් දිශාවක් පතුරුවා වාසය කළේ ය. එසේ දෙවෙනි දිශාවට ත්, එසේ තුන්වෙනි දිශාවට ත්, එසේ සිව්වෙනි දිශාවට ත් පතුරුවා වාසය කළේ ය. මෙසේ උඩ, යට, සරස හැම තැනම, සැමට, සියළු ලොවට, තමා හා සමකොට, විපුල වූ, මහත්ගත ලෙසින්, අප්‍රමාණ ලෙසින්, අවෛරී සිතින්, අව්‍යාපාද සිතින්, උපේක්ෂාවෙන් යුක්ත වූ සිතින් පතුරුවා වාසය කළේ ය.
24. ආනන්දයෙනි, මහා සුදස්සන රජු හට කුසාවතී රාජධානිය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් නගරයෝ තිබුණාහු ය. ධර්ම ප්‍රාසාදය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් ප්‍රාසාදයෝ තිබුණාහු ය. මහා ව්‍යුහ කූටාගාරය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් කූටාගාරයෝ තිබුණාහු ය.
රනින් තැනූ, රිදියෙන් තැනූ, ඇත් දළින් තැනූ, දැව අරටුවෙන් තැනූ, දිගු ලොම් ඇති පළස් ඇතිරූ, සුදු එළු ලොමින් කළ පළස් ඇතිරූ, මල් වියූ පළස් ඇතිරූ, කදලි මුව සමින් කළ පළස් ඇතිරූ, උඩු වියන් සහිත වූ, දෙපසින් රතු විල්ලුදයෙන් කළ කොට්ට තැබූ කවිච්චි අසූ හාර දහසක් තිබුණේ ය. රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, උපෝසථ ඇත් රජු ප්‍රමුඛ අසූ හාර දහසක් හස්තීහු සිටියාහු ය. රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, වලාහක අශ්වරාජයා ප්‍රමුඛ අසූ හාර දහසක් අශ්වයෝ සිටියාහු ය. සිංහ සම් ඇතිරූ, ව්‍යාඝ්‍ර සම් ඇතිරූ, දිවි සම් ඇතිරූ, පඬු පැහැ ගත් කම්බිලි ඇතිරූ, රනින් කැටයම් කළ, රන් කොඩි නැගූ, රන් දැලින් වැසූ, වෛජයන්ත රථය ප්‍රමුඛ අසූ හාර දහසක් රථයෝ තිබුණාහු ය. මාණික්‍යරත්නය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් මාණික්‍යයෝ තිබුණාහුය. සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් බිසෝවරු සිටියාහු ය. ගෘහපතිරත්නය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් ගෘහපතීහු සිටියාහු ය. පුත්‍ර රත්නය ප්‍රමුඛ කොට ඒ අනුව යන අසූ හාර දහසක් ක්ෂත්‍රියයෝ සිටියාහු ය. හැමකල්හී කිරි දෙවිය හැකි, රන් වත් පෙරවූ අසූ හාර දහසක් කිරි දෙන්නු සිටියාහු ය. සියුම් කොමු පිළී වස්ත්‍ර, සියුම් කපු වස්ත්‍ර, සියුම් පට වස්ත්‍ර, සියුම් පොරෝනා කෝටි අසූ හාර දහසක් තිබුණේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජුට උදේ සවස පිළිගන්වන ආහාර බඳුන් අසූ හාරදහසක් වූවාහු ය.
25. ආනන්දයෙනි, එසමයෙහි මහා සුදස්සන රජුට උපස්ථානය පිණිස හස්තීහු අසූ හාර දහසක් උදේ සවස යති. එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජුට මේ අදහස ඇතිවූයේ ය. ‘මා හට උපස්ථාන පිණිස මේ ඇත්තු අසූ හාර දහසක් උදේ සවස පැමිණෙති. සියවසක් සියවසක් ඇවෑමෙන් හතළිස් දෙදහසක් බැගින් ඇත්තු එක් වරක් බැගින් මා හට උපස්ථානයට එත්නම් යහපති’ යි. ඉක්බිති ආනන්දයෙනි, මහා සුදස්සන රජු පුත්‍රරත්නය ඇමතුවේය.
“මිත්‍ර පරිනායක රත්නයෙනි, මා හට උපස්ථාන පිණිස මේ ඇත්තු අසූ හාර දහසක් උදේ හවස පැමිණෙති. එහෙයින් මිත්‍ර පරිනායක රත්නයෙනි, සියවසක් සියවසක් ඇවෑමෙන් හතළිස් දෙදහසක්, හතළිස් දෙදහසක් ඇත්තු එක් වරක් බැගින් උපස්ථානයට පැමිණෙත්වා” යි. ආනන්දයෙනි, “එසේ ය, දේවයන් වහන්ස” යැයි පරිනායක රත්නය මහා සුදස්සන රජුට පිළිතුරු දුන්නේ ය. එකල්හී ආනන්දයෙනි, මෑත භාගයෙහි සියවසක් සියවසක් ඇවෑමෙන් හතළිස් දෙදහස ගණනේ ඇත්තු එක් වරක් බැගින් උපස්ථානයට මහා සුදස්සන රජු වෙත ආවාහු ය.
26. එකල්හී ආනන්දයෙනි, බොහෝ වසර ගණනකින්, බොහෝ වසර දහස් ගණනකින් පසු සුභද්‍රා දේවියට මේ අදහස ඇතිවූයේ ය. ‘මා විසින් මහා සුදස්සන රජු දැක බොහෝ කල් ඇත්තේ ය. මම් මහා සුදස්සන රජු බැහැදැකීම පිණිස එළැඹෙන්නෙම් නම් යහපති’ යි. ඉක්බිති ආනන්දයෙනි, සුභද්‍රා දේවී තොමෝ අන්තඃපුර ස්ත්‍රීන් ඇමතුවා ය.
“ඔබ එව්. හිස් සෝදා ස්නානය කරව්. රන් පැහැ වස්ත්‍ර හඳිව්. අප විසින් මහා සුදස්සන රජු දැක බොහෝ කල් ඇත්තේ ය. මහා සුදස්සන රජු බැහැදැකීමට එළඹෙන්නෙමු” යි.
ආනන්දයෙනි, “එසේ ය, ආර්යාවෙනි” යි අන්තඃපුර ස්ත්‍රීහු සුභද්‍රා දේවියට පිළිවදන් දී හිස් සෝදා ස්නානය කොට, රන් පැහැ වත් හැඳ, සුභද්‍ර දේවිය යම් තැනක සිටියා ද, එතැනට පැමිණියාහු ය. ඉක්බිති ආනන්දයෙනි, සුභද්‍රා දේවිය පරිනායක රත්නය ඇමතුවා ය.
“මිත්‍ර පරිනායක රත්නයෙනි, චතුරංගිනී සේනාව සාදාලව. අප විසින් මහා සුදස්සන රජු දැක බොහෝ කල් ඇත්තේ ය. මහා සුදස්සන රජු බැහැදැකීමට එළඹෙන්නෙමු” යි.
ආනන්දයෙනි, “එසේය, දේවී” යි පරිනායක රත්නය සුභද්‍රා දේවියට පිළිවදන් දී චතුරංගිනී සේනාව සරසවා සුභද්‍රා දේවියට දැනුම් දුන්නේ ය. “දේවී, චතුරංගිනී සේනා තොමෝ සරසන ලද්දී ය. යමකට කාලය යැයි සිතයි ද, එය දැනගත මැනැව” යි.
එකල්හී ආනන්දයෙනි, සුභද්‍රා දේවී චතුරංගිනී සේනාව ත්, අන්තඃපුර ස්ත්‍රීනුත් සමඟ ධර්ම ප්‍රාසාදය යම් තැනක ද, එතැනට එළැඹියා ය. එළැඹ මහා ව්‍යුහ කූටාගාරයෙහි දොර උළුවහු කණුවෙහි එල්බී සිටියා ය.
එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජු ඔවුන්ගේ හඬ අසා ‘කිම? මහා ජනකායකගේ බඳු හඬකි!’ යි මහා ව්‍යුහ කූටාගාරයෙන් නික්මෙන්නේ දොර උළුවහු කණුවේ එල්බී සිටින සුභද්‍රා දේවිය දුටුවේ ය. දැක සුභද්‍රා දේවියට මෙය පැවසුවේ ය. “ඔහි ම සිටින්න දේවී! පිවිසෙන්නට එපා!” යි.
ඉක්බිති ආනන්දයෙනි, මහා සුදස්සන රජු එක්තරා පුරුෂයෙකු ඇමතීය.
“එම්බා පුරුෂය, ඔබ එන්න. මහා ව්‍යුහ කූටාගාරයෙන් රන් කවිච්චියක් බැහැරට ගෙන සියල්ල රනින් තැනූ තල් වනයෙහි පණවන්න.”
ආනන්දයෙනි, “එසේ ය, දේවයිනි” යි ඒ පුරුෂයා මහා සුදස්සන රජුට පිළිවදන් දී මහා ව්‍යුහ කූටාගාරයෙන් රන් කවිච්චියක් බැහැරට ගෙන ගොස් සියල්ල රනින් කළ තල් වනයෙහි පැණවූයේ ය.
එකල්හී ආනන්දයෙනි, මහා සුදස්සන රජු එහි ගොස්, දකුණු පයෙන් වම් පාදය මදක් මෑත් කොට, මනා සිහියෙන් හා නුවණින් යුතුව, දකුණු ඇලයට හැරී සිංහ සෙය්‍යාවෙන් සැතැපුණේ ය.
එකල්හී ආනන්දයෙනි, සුභද්‍රා දේවියට මේ අදහස ඇතිවූයේ ය. ‘මහා සුදස්සන රජුගේ ඉන්ද්‍රියයෝ ප්‍රසන්න ව තිබෙති. පිරිසිදු ය. සිවි පැහැ බබලයි. මහා සුදස්සන රජු කළුරිය නොකෙරේවා!’ යි මහා සුදස්සන රජුට මෙය පැවසුවේ ය.
“දේවයන් වහන්ස, ඔබට කුසාවතී රාජධානිය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් නගරයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට ධර්ම ප්‍රාසාදය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් ප්‍රාසාදයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට මහා ව්‍යුහ කූටාගාරය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් කූටාගාරයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට රනින් තැනූ, රිදියෙන් තැනූ, ඇත් දළින් තැනූ, දැව අරටුවෙන් තැනූ, දිගු ලොම් ඇති පළස් ඇතිරූ, සුදු එළු ලොමින් කළ පළස් ඇතිරූ, මල් වියූ පළස් ඇතිරූ, කදලි මුව සමින් කළ පළස් ඇතිරූ, උඩු වියන් සහිත වූ, දෙපසින් රතු විල්ලුදයෙන් කළ කොට්ට තැබූ කවිච්චි මේ අසූ හාර දහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, උපෝසථ ඇත් රජු ප්‍රමුඛ මේ අසූ හාර දහසක් හස්තීහු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, වලාහක අශ්වරාජයා ප්‍රමුඛ මේ අසූ හාර දහසක් අශ්වයෝ සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට සිංහ සම් ඇතිරූ, ව්‍යාඝ්‍ර සම් ඇතිරූ, දිවි සම් ඇතිරූ, පඬු පැහැ ගත් කම්බිලි ඇතිරූ, රනින් කැටයම් කළ, රන් කොඩි නැගූ, රන් දැලින් වැසූ, වෛජයන්ත රථය ප්‍රමුඛ මේ අසූ හාර දහසක් රථයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට මාණික්‍යරත්නය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් මාණික්‍යයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට ස්ත්‍රී රත්නය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් බිසෝවරු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට ගෘහපතිරත්නය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් ගෘහපතීහු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට පුත්‍ර රත්නය ප්‍රමුඛ කොට ඒ අනුව යන මේ අසූ හාර දහසක් ක්ෂත්‍රියයෝ සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට හැමකල්හී කිරි දෙවිය හැකි, රන් වත් පෙරවූ මේ අසූ හාර දහසක් කිරි දෙන්නු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට මේ සියුම් කොමු පිළී වස්ත්‍ර, සියුම් කපු වස්ත්‍ර, සියුම් පට වස්ත්‍ර, සියුම් පොරෝනා කෝටි අසූ හාර දහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.
දේවයන් වහන්ස, ඔබට උදේ සවස පිළිගන්වන මේ ආහාර බඳුන් අසූ හාරදහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත උපදවනු මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව ඇති කරගත මැනැව.”
27. ආනන්දයෙනි, මෙසේ පැවසූ කල්හී මහා සුදස්සන රජු සුභද්‍රා දේවියට මෙය පැවසුවේ ය.
“දේවී, ඔබ ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ඉෂ්ට වූ, කාන්ත වූ, ප්‍රිය වූ, මනාප වූ වචනයෙන් මා ඇමතුවෙහි ය. එහෙත් මාගේ අවසන් කාලයෙහි ඔබ වනාහී අනිෂ්ට වූ, අකාන්ත වූ, අප්‍රිය වූ, අමනාප වචන වලින් මා අමතන්නී ය.”
“දේවයන් වහන්ස, මම කොයි අයුරින් ඔබට කථා කරන්නෙම් ද?”
“දේවී, මේ අයුරින් ඔබ මා හා කථා කරව. ‘දේවයන් වහන්ස, සියළු ප්‍රියමනාප දෙයින් වෙන් වීම, බැහැර වීම, අන්‍ය ස්වභාවයට පත්වීම ඇත්තේ ය. දේවයන් වහන්ස, ඔබ වහන්සේ අපේක්ෂා සහිත ව කළුරිය කරන්නට එපා. අපේක්ෂා සහිත ව කළුරිය කිරීම දුකකි. අපේක්ෂා සහිත ව කළුරිය කිරීම ගැරහුම් ලැබූවකි.
දේවයන් වහන්ස, ඔබට කුසාවතී රාජධානිය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් නගරයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට ධර්ම ප්‍රාසාදය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් ප්‍රාසාදයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට මහා ව්‍යුහ කූටාගාරය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් කූටාගාරයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට රනින් තැනූ, රිදියෙන් තැනූ, ඇත් දළින් තැනූ, දැව අරටුවෙන් තැනූ, දිගු ලොම් ඇති පළස් ඇතිරූ, සුදු එළු ලොමින් කළ පළස් ඇතිරූ, මල් වියූ පළස් ඇතිරූ, කදලි මුව සමින් කළ පළස් ඇතිරූ, උඩු වියන් සහිත වූ, දෙපසින් රතු විල්ලුදයෙන් කළ කොට්ට තැබූ කවිච්චි මේ අසූ හාර දහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, උපෝසථ ඇත් රජු ප්‍රමුඛ මේ අසූ හාර දහසක් හස්තීහු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, වලාහක අශ්වරාජයා ප්‍රමුඛ මේ අසූ හාර දහසක් අශ්වයෝ සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට සිංහ සම් ඇතිරූ, ව්‍යාඝ්‍ර සම් ඇතිරූ, දිවි සම් ඇතිරූ, පඬු පැහැ ගත් කම්බිලි ඇතිරූ, රනින් කැටයම් කළ, රන් කොඩි නැගූ, රන් දැලින් වැසූ, වෛජයන්ත රථය ප්‍රමුඛ මේ අසූ හාර දහසක් රථයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට මාණික්‍යරත්නය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් මාණික්‍යයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් බිසෝවරු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට ගෘහපතිරත්නය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් ගෘහපතීහු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට පුත්‍ර රත්නය ප්‍රමුඛ කොට ඒ අනුව යන මේ අසූ හාර දහසක් ක්ෂත්‍රියයෝ සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට හැමකල්හී කිරි දෙවිය හැකි, රන් වත් පෙරවූ මේ අසූ හාර දහසක් කිරි දෙන්නු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට මේ සියුම් කොමු පිළී වස්ත්‍ර, සියුම් කපු වස්ත්‍ර, සියුම් පට වස්ත්‍ර, සියුම් පොරෝනා කෝටි අසූ හාර දහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට උදේ සවස පිළිගන්වන මේ ආහාර බඳුන් අසූ හාරදහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව’ යනුවෙනි.”
28. ආනන්දයෙනි, මෙසේ පැවසූ කල්හී සුභද්‍රා දේවී තොමෝ හඬා වැටුණා ය. කඳුළු වැගිරුවා ය. ඉක්බිති ආනන්දයෙනි, සුභද්‍රා දේවිය කඳුළු පිසදමා මහා සුදස්සන රජුට මෙය පැවසුවා ය.
“දේවයන් වහන්ස, සියළු ප්‍රියමනාප දෙයින් වෙන් වීම, බැහැර වීම, අන්‍ය ස්වභාවයට පත්වීම ඇත්තේ ය. දේවයන් වහන්ස, ඔබ වහන්සේ අපේක්ෂා සහිත ව කළුරිය කරන්නට එපා. අපේක්ෂා සහිත ව කළුරිය කිරීම දුකකි. අපේක්ෂා සහිත ව කළුරිය කිරීම ගැරහුම් ලැබූවකි.
දේවයන් වහන්ස, ඔබට කුසාවතී රාජධානිය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් නගරයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට ධර්ම ප්‍රාසාදය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් ප්‍රාසාදයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට මහා ව්‍යුහ කූටාගාරය ප්‍රමුඛ මේ සුවාසූ දහසක් කූටාගාරයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට රනින් තැනූ, රිදියෙන් තැනූ, ඇත් දළින් තැනූ, දැව අරටුවෙන් තැනූ, දිගු ලොම් ඇති පළස් ඇතිරූ, සුදු එළු ලොමින් කළ පළස් ඇතිරූ, මල් වියූ පළස් ඇතිරූ, කදලි මුව සමින් කළ පළස් ඇතිරූ, උඩු වියන් සහිත වූ, දෙපසින් රතු විල්ලුදයෙන් කළ කොට්ට තැබූ කවිච්චි මේ අසූ හාර දහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, උපෝසථ ඇත් රජු ප්‍රමුඛ මේ අසූ හාර දහසක් හස්තීහු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, වලාහක අශ්වරාජයා ප්‍රමුඛ මේ අසූ හාර දහසක් අශ්වයෝ සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට සිංහ සම් ඇතිරූ, ව්‍යාඝ්‍ර සම් ඇතිරූ, දිවි සම් ඇතිරූ, පඬු පැහැ ගත් කම්බිලි ඇතිරූ, රනින් කැටයම් කළ, රන් කොඩි නැගූ, රන් දැලින් වැසූ, වෛජයන්ත රථය ප්‍රමුඛ මේ අසූ හාර දහසක් රථයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට මාණික්‍යරත්නය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් මාණික්‍යයෝ තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් බිසෝවරු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට ගෘහපතිරත්නය ප්‍රමුඛ කොට මේ අසූ හාර දහසක් ගෘහපතීහු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට පුත්‍ර රත්නය ප්‍රමුඛ කොට ඒ අනුව යන මේ අසූ හාර දහසක් ක්ෂත්‍රියයෝ සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට හැමකල්හී කිරි දෙවිය හැකි, රන් වත් පෙරවූ මේ අසූ හාර දහසක් කිරි දෙන්නු සිටිති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට මේ සියුම් කොමු පිළී වස්ත්‍ර, සියුම් කපු වස්ත්‍ර, සියුම් පට වස්ත්‍ර, සියුම් පොරෝනා කෝටි අසූ හාර දහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව.
දේවයන් වහන්ස, ඔබට උදේ සවස පිළිගන්වන මේ ආහාර බඳුන් අසූ හාරදහසක් තිබෙති. දේවයන් වහන්ස, මෙහි කැමැත්ත අත්හළ මැනැව. ජීවිතයෙහි අපේක්ෂාව නොකළ මැනැව” යි.
29. ඉක්බිති ආනන්දයෙනි, මහා සුදස්සන රජු වැඩිකල් නොයා ම කළුරිය කළේ ය. ආනන්දයෙනි, ගෘහපතියෙකු හෝ ගෘහපති පුත්‍රයෙකු හෝ මිහිරි බොජුනක් කුසපුරා වැළඳූ පසු ඇතිවන බත් මතය යම් සේ ද, එසෙයින් ම ආනන්දයෙනි, මහා සුදස්සන රජුගේ මාරාන්තික වේදනාව වූයේ ය.
ආනන්දයෙනි, කළුරිය කළ මහා සුදස්සන රජු සුගති බඹලොව උපන්නේ ය. ආනන්දයෙනි, මහා සුදස්සන රජු වසර සුවාසූ දහසක් කුමාර ක්‍රීඩාවෙන් කල් ගෙවී ය. වසර සුවාසූ දහසක් යුවරජකම් කළේ ය. වසර සුවාසූ දහසක් රජකම් කළේ ය. වසර සුවාසූ දහසක් ධර්ම ප්‍රාසාදයෙහි සිට ගිහියෙකු ලෙස බඹසර හැසිරුණේ ය. ඔහු සතර බ්‍රහ්ම විහාර භාවනාව වඩා කය බිඳී මරණින් මතු බඹලොව උපන්නේ ය.
30. ආනන්දයෙනි, ඔබට මෙසේ සිතෙන්නට පුළුවනි. ‘එසමයෙහි මහා සුදස්සන රජු වූයේ වෙන කෙනෙක් වත් ද?’ යි. ආනන්දයෙනි, එය එසේ නොදැක්ක යුත්තේ ය. ආනන්දයෙනි, එසමයෙහි මහා සුදස්සන රජු මම වූයෙමි. ඒ කුසාවතී රාජධානිය ප්‍රමුඛ සුවාසූ දහසක් නගරයෝ මාගේ ය.
ඒ ධර්ම ප්‍රාසාදය ප්‍රමුඛ සුවාසූ දහසක් ප්‍රාසාදයෝ මාගේ ය.
ඒ මහා ව්‍යුහ කූටාගාරය ප්‍රමුඛ සුවාසූ දහසක් කූටාගාරයෝ මාගේ ය.
ඒ රනින් තැනූ, රිදියෙන් තැනූ, ඇත් දළින් තැනූ, දැව අරටුවෙන් තැනූ, දිගු ලොම් ඇති පළස් ඇතිරූ, සුදු එළු ලොමින් කළ පළස් ඇතිරූ, මල් වියූ පළස් ඇතිරූ, කදලි මුව සමින් කළ පළස් ඇතිරූ, උඩු වියන් සහිත වූ, දෙපසින් රතු විල්ලුදයෙන් කළ කොට්ට තැබූ කවිච්චි අසූ හාර දහස මාගේ ය.
ඒ රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, උපෝසථ ඇත් රජු ප්‍රමුඛ අසූ හාර දහසක් හස්තීහු මාගේ ය.
ඒ රන් ආභරණ පැළඳි, රන් කොඩි නැගූ, රන් දැල් පෙරවූ, වලාහක අශ්වරාජයා ප්‍රමුඛ අසූ හාර දහසක් අශ්වයෝ මාගේ ය.
ඒ සිංහ සම් ඇතිරූ, ව්‍යාඝ්‍ර සම් ඇතිරූ, දිවි සම් ඇතිරූ, පඬු පැහැ ගත් කම්බිලි ඇතිරූ, රනින් කැටයම් කළ, රන් කොඩි නැගූ, රන් දැලින් වැසූ, වෛජයන්ත රථය ප්‍රමුඛ අසූ හාර දහසක් රථයෝ මාගේ ය.
ඒ මාණික්‍යරත්නය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් මාණික්‍යයෝ මාගේ ය.
ඒ සුභද්‍රා දේවිය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් බිසෝවරු මාගේ ය.
ඒ ගෘහපතිරත්නය ප්‍රමුඛ කොට අසූ හාර දහසක් ගෘහපතීහු මාගේ ය.
ඒ පුත්‍ර රත්නය ප්‍රමුඛ කොට ඒ අනුව යන අසූ හාර දහසක් ක්ෂත්‍රියයෝ මාගේ ය.
ඒ හැමකල්හී කිරි දෙවිය හැකි, රන් වත් පෙරවූ අසූ හාර දහසක් කිරි දෙන්නු මාගේ ය.
ඒ සියුම් කොමු පිළී වස්ත්‍ර, සියුම් කපු වස්ත්‍ර, සියුම් පට වස්ත්‍ර, සියුම් පොරෝනා කෝටි අසූ හාර දහස මාගේ ය.
උදේ සවස පිළිගන්වන ඒ ආහාර බඳුන් අසූ හාරදහස මා උදෙසා ය.
31. ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් නගරයන් අතර එසමයෙහි යම් නගරයක වාසය කළෙම් නම්, ඒ එක ම නගරයක් වෙයි. එනම් මේ කුසාවතී රාජධානිය යි.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් ප්‍රාසාදයන් අතර එසමයෙහි යම් ප්‍රාසාදයක වාසය කෙළෙම් නම්, ඒ එක ම ප්‍රාසාදයක් වෙයි. එනම් මේ ධර්ම ප්‍රාසාදය යි.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් කූටාගාරයන් අතර එසමයෙහි යම් කූටාගාරයක වාසය කෙළෙම් නම්, ඒ එක ම කූටාගාරයක් වෙයි. එනම් මේ මහා ව්‍යුහ කූටාගාරය යි.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් කවිච්චි වලින් එසමයෙහි යම් කවිච්චියක් පාවිච්චි කළෙම් ද, ඒ එක ම කවිච්චියක් වෙයි. එනම් මේ රනින් කළ එකක් හෝ රිදියෙන් කළ එකක් හෝ ඇත් දළින් කළ එකක් හෝ දැව අරටුවෙන් කළ එකක් හෝ ය.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් ඇතුන් අතර, එසමයෙහි යම් ඇතෙකුගේ පිට නැංගෙම් ද, ඒ එක ම ඇතෙක් වෙයි. එනම් මේ උපෝසථ ඇත් රජා ය.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් අශ්වයින් අතර, එසමයෙහි යම් අසෙකුගේ පිට නැංගෙම් ද, ඒ එක ම අශ්වයෙක් වෙයි. එනම් මේ වලාහක අශ්වරාජයා ය.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් රථ අතර, එසමයෙහි යම් රථයක නැංගෙම් ද, ඒ එක ම රථය යි. එනම් මේ වෛජයන්ත රථය යි.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් ස්ත්‍රීන් අතර එසමයෙහි යම් ස්ත්‍රියක් මා හට උපස්ථාන කළා ද, ඒ ක්ෂත්‍රීය හෝ වෙළඳ කුලයේ හෝ එක ම ස්ත්‍රියකි.
ආනන්දයෙනි, ඒ කෝටි සුවාසූ දහසක් වස්ත්‍ර අතර එසමයෙහි යම් වස්ත්‍රයක් පාවිච්චි කළෙම් ද, ඒ එක ම වස්ත්‍ර යුගලකි. එය සියුම් කොමු පිළි හෝ, සියුම් කපු පිළි හෝ, සියුම් කසී සළු හෝ සියුම් කම්බිලි හෝ ය.
ආනන්දයෙනි, ඒ සුවාසූ දහසක් ආහාර බඳුන් අතර යමකින් නැළියකට (හුණ්ඩුවකට) නොවැඩි බතකුත්, එපමණට සූප ව්‍යංජන ත් වැළඳුවෙම් ද ඒ එක ම ආහාර බඳුනකි.
32. බලව, ආනන්දයෙනි. ඒ සියළු සංස්කාරයෝ අතීතයට ගියාහු ය. නිරුද්ධ වූවාහු ය. වෙනස් ව නොපෙනී ගියාහු ය. මෙසේ ආනන්දයෙනි, සංස්කාරයෝ වනාහී අනිත්‍යයහ. මෙසේ ආනන්දයෙනි, සංස්කාරයෝ වනාහී අස්ථිරයහ. මෙසේ ආනන්දයෙනි, සංස්කාරයෝ වනාහී අස්වැසිලි නැත්තායහ.
ආනන්දයෙනි, මේ සියළු සංස්කාරයන් පිළිබඳ ව අවබෝධයෙන් ම එපා වෙන්නට ඉතා සුදුසු ම ය. එහි නොඇලෙන්නට ඉතා සුදුසු ම ය. එයින් නිදහස් වන්නට ඉතා සුදුසු ම ය.
ආනන්දයෙනි, මේ කුසිනාරා ප්‍රදේශයෙහි මම සය වරක් ම සිරුර අත්හැර දැමූ බව (කළුරිය කළ බව) දනිමි. ඒ ධාර්මික, ධර්ම රාජ ව, සයුර සීමා කොට, සිව් මහා දිවයිනට අධිපති ව, විරුද්ධ රජවරුන් දිනා, ජනපදයන්හි තහවුරු බවට පත් ව, සප්ත රත්නයෙන් යුතුව, සක්විති රජෙකු ලෙස ය. මේ වනාහී සිරුර බහා දැමෙන සත්වෙනි අවස්ථාව යි.
ආනන්දයෙනි, යම් ප්‍රදේශයක තථාගත තෙමේ අටවෙනි වතාවට ත් සිරුර බැහැර දමන්නේ ද, එවන් ප්‍රදේශයක් දෙවියන්, මරුන්, බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ, දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි මම නොදකිමි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි මෙය වදාළ සේක.
සංස්කාරයෝ ඒකාන්තයෙන් ම අනිත්‍යයහ. හටගෙන නැසෙන ස්වභාවයෙන් යුක්තයහ. ඉපදී නැසී යති. එබඳු වූ සංස්කාරයන්ගේ නැවත නූපදින ලෙස සංසිඳී යාම සැපයකි!”
සාදු! සාදු!! සාදු!!!
මහා සුදස්සන සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M