මා විසින් මෙසේ අසන ලදී.
එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ නාදිකා ගමෙහි ගඩොලින් කළ ගෘහයෙහි වැඩවසන සේක. එසමයෙහි කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන යන අවට හාත්පස පිහිටි ජනපදවල කලින් සිට කලුරිය කළ උපාසකයන්ගේ උපත් පිළිබඳ ව ‘අසවලා අසවල් තැන උපන්නේ ය. අසවලා අසවල් තැන උපන්නේ ය’ යි.
එනම් නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පනහකට වැඩි උපාසකවරු ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොවෙහි ඕපපාතික ව ඉපිද, ඒ ලොවින් මෙලොවට හැරී නොඑනසුළු ව, එහි ම පිරිනිවන්පාන සුළු ව කලුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි අනූවකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන්ගේ තුනී වීමෙන්, එක් වරක් පමණක් මෙලොවට පැමිණ දුක් අවසන් කරන්නාහු නම්, එසේ සකදාගාමී ව කලුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පන්සියයකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න ව, සතර අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට කලුරිය කළාහු ය’ යි භාග්‍යවතුන් වහන්සේ පරලොව ගතිය පිළිබඳ ව වදාරණ සේක.
නාදිකාවැසි උපාසකවරුන්ට මෙය අසන්නට ලැබුණේ ය. “කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන යන අවට හාත්පස පිහිටි ජනපදවල කලින් සිට කලුරිය කළ උපාසකයන්ගේ උපත් පිළිබඳ ව ‘අසවලා අසවල් තැන උපන්නේ ය. අසවලා අසවල් තැන උපන්නේ ය’ යි.
එනම් නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පනහකට වැඩි උපාසකවරු ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොවෙහි ඕපපාතික ව ඉපිද, ඒ ලොවින් මෙලොවට හැරී නොඑනසුළු ව, එහි ම පිරිනිවන්පාන සුළු ව කලුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි අනූවකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන්ගේ තුනී වීමෙන්, එක් වරක් පමණක් මෙලොවට පැමිණ දුක් අවසන් කරන්නාහු නම්, එසේ සකදාගාමී ව කලුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පන්සියයකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න ව, සතර අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට කලුරිය කළාහු ය’ යි භාග්‍යවතුන් වහන්සේ පරලොව ගතිය පිළිබඳ ව වදාරණ සේක” යි. භාග්‍යවතුන් වහන්සේ (ඒ මියගිය අයගේ පරලොව උපත පිළිබඳ ව ඇසූ) ප්‍රශ්නයන්ට මෙසේ දුන් පිළිතුරු අසා ඒ හේතුවෙන් නාදිකාවැසි උපාසකවරු සතුටු සිත් ඇති ව, ප්‍රමුදිත ව, ප්‍රීති සොම්නසට පත්වූවාහු ය.
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත් මෙකරුණ ඇසූහ. “කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන යන අවට හාත්පස පිහිටි ජනපදවල කලින් සිට කලුරිය කළ උපාසකයන්ගේ උපත් පිළිබඳ ව ‘අසවලා අසවල් තැන උපන්නේ ය. අසවලා අසවල් තැන උපන්නේ ය’ යි.
එනම් නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පනහකට වැඩි උපාසකවරු ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොවෙහි ඕපපාතික ව ඉපිද, ඒ ලොවින් මෙලොවට හැරී නොඑනසුළු ව, එහි ම පිරිනිවන්පාන සුළු ව කලුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි අනූවකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන්ගේ තුනී වීමෙන්, එක් වරක් පමණක් මෙලොවට පැමිණ දුක් අවසන් කරන්නාහු නම්, එසේ සකදාගාමී ව කළුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පන්සියයකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න ව, සතර අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට කලුරිය කළාහු ය’ යි භාග්‍යවතුන් වහන්සේ පරලොව ගතිය පිළිබඳ ව වදාරණ සේක” යි. භාග්‍යවතුන් වහන්සේ (ඒ මියගිය අයගේ පරලොව උපත පිළිබඳ ව ඇසූ) ප්‍රශ්නයන්ට මෙසේ දුන් පිළිතුරු අසා ඒ හේතුවෙන් නාදිකාවැසි උපාසකවරු සතුටු සිත් ඇති ව, ප්‍රමුදිත ව, ප්‍රීති සොම්නසට පත්වූවාහු ය” යි.
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මේ අදහස ඇතිවූයේ ය.
‘මෑත භාගයෙහි මගධයෙහි සිටි බොහෝ කල් උපාසක ව සිටි, මේ බොහෝ උපාසකවරු ත් කලුරිය කළාහු ය. මෑත භාගයෙහි අංග මගධ ජනපදයන්හි සිටි උපාසකවරු ත් කලුරිය කළ කල්හී අංග මගධ ජනපදයන් හිස්වූවාක් මෙන් වැටහෙයි. ඒ උපාසකවරු ත් බුදුරජුන් කෙරෙහි පහන් ව, ධර්මය කෙරෙහි පහන් ව, සංඝයා කෙරෙහි පහන් ව සිටියාහු ය. සිල් පුරමින් සිටියාහු ය. කලින් සිට මියගිය ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් පරලොව ගති පිළිබඳ ව තොරතුරු නොවදාරණ ලද්දාහු ය. ඔවුන්ගේ පරලොව ගතිය කෙසේ ද? යන ප්‍රශ්නයට ත් පිළිතුරු වදාරණ සේක් නම් ඉතා යහපති. එය අසා බොහෝ ජනයා පහදිනු ඇත්තේ ය. ඒ හේතුවෙන් සුගතියෙහි උපදිනු ඇත්තේ ය.
මේ සේනිය බිම්බිසාර මගධ රජු වනාහී ධාර්මික ව බ්‍රාහ්මණ ගෘහපතීන්ට ත්, නියම්ගම් වැසියන්ට ත්, ජනපද වාසීන්ට ත් හිතවත් ව සිටි ධාර්මික රජෙකි. තවම ත් මිනිස්සු ගුණ කියන සුළු ව වාසය කරති. ‘භවත්නි, ඒ ධාර්මික වූ දැහැමි රජු මෙසේ අප සුවපත් කරවා කලුරිය කළේ ය. මෙසේ අපි ඒ ධාර්මික වූ දැහැමි රජුගේ විජිතයෙහි පහසුවෙන් වාසය කළෙමු’ යි යනුවෙනි. ඒ රජු ත් වනාහී බුදුරජුන් කෙරෙහි පැහැදී, ධර්මය කෙරෙහි පැහැදී, සංඝයා කෙරෙහි පැහැදී, සිල් පුරමින් සිටියේ ය. මිනිස්සු මෙසේ ත් පැවසූහ. ‘මරණාවස්ථාව තෙක් ම සේනිය බිම්බිසාර මගධ රජු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් කලුරිය කළේ ය’ යි යනුවෙනි. මගධයෙහි මෑත භාගයෙහි සිටි ඔහු කලුරිය කළේ භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ පරලොව ගතිය පිළිබඳ තොරතුරු නොවදාරණ ලද්දේ ය. ඔහුගේ පරලොව ගතිය පිළිබඳ ව තොරතුරු වදාරණ සේක් නම් මැනවි. එය අසා බොහෝ දෙනා පහදිනු ඇත්තේ ය. ඒ හේතුවෙන් සුගතියට යනු ඇත්තේ ය. ඇරත් භාග්‍යවතුන් වහන්සේගේ අභිසම්බෝධිය වූයේ මගධ ජනපදයෙහි නොවැ. භාග්‍යවතුන් වහන්සේ අභිසම්බෝධියට පත් මගධ ජනපදයෙහි මෑත භාගයේ සිට කලුරිය කළ උපාසකවරුන් පිළිබඳ ව පරලොව ගතිය භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් නොවදාරණ සේක් ද? ඉදින් භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි මෑත භාගයෙහි සිට කලුරිය කළ උපාසකයින් පිළිබඳ ව පරලොව ගතිය නොවදාරණ සේක් නම්, ඒ හේතුවෙන් මගධවැසි උපාසකවරු දීන සිත් ඇති වන්නාහු ය. යම් කරුණකින් මගධවැසි උපාසකවරු දීන සිත් ඇතිවන්නාහු නම්, ඒ කලුරිය කළවුන්ගේ පරලොව ගති පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් නොවදාරණ සේක් ද?’
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ හුදෙකලාවෙහි තනිව ම හිඳ මගධවැසි උපාසකයින් අරභයා මෙම කරුණ බොහෝ කල්පනා කොට, රාත්‍රියෙහි අළුයම නැගිට භාග්‍යවතුන් වහන්සේ යම්තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, මෙය මා විසින් අසන ලද්දේ ය. කාසි, කෝසල, වජ්ජි, මල්ල, චේති, වත්ස, කුරු, පංචාල, මච්ඡ, සූරසේන යන අවට හාත්පස පිහිටි ජනපදවල කලින් සිට කලුරිය කළ උපාසකයන්ගේ උපත් පිළිබඳ ව ‘අසවලා අසවල් තැන උපන්නේ ය. අසවලා අසවල් තැන උපන්නේ ය’ යි.
එනම් නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පනහකට වැඩි උපාසකවරු ඕරම්භාගීය සංයෝජන පස ක්ෂය කිරීමෙන් සුද්ධාවාස බඹලොවෙහි ඕපපාතික ව ඉපිද, ඒ ලොවින් මෙලොවට හැරී නොඑනසුළු ව, එහි ම පිරිනිවන්පාන සුළු ව කලුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි අනූවකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන්, රාග ද්වේෂ මෝහයන්ගේ තුනී වීමෙන්, එක් වරක් පමණක් මෙලොවට පැමිණ දුක් අවසන් කරන්නාහු නම්, එසේ සකදාගාමී ව කළුරිය කළාහු ය.
නාදිකාවෙහි මෑත භාගයෙහි සිටි පන්සියයකට වැඩි උපාසකවරු සංයෝජන තුනක් ක්ෂය කිරීමෙන් සෝතාපන්න ව, සතර අපායට නොවැටෙන සුළු ව, නියත වශයෙන් ම නිවන පිහිට කොට කලුරිය කළාහු ය’ යි භාග්‍යවතුන් වහන්සේ පරලොව ගතිය පිළිබඳ ව වදාරණ සේක” යි. භාග්‍යවතුන් වහන්සේ (ඒ මියගිය අයගේ පරලොව උපත පිළිබඳ ව ඇසූ) ප්‍රශ්නයන්ට මෙසේ දුන් පිළිතුරු අසා ඒ හේතුවෙන් නාදිකාවැසි උපාසකවරු සතුටු සිත් ඇති ව, ප්‍රමුදිත ව, ප්‍රීති සොම්නසට පත්වූවාහු ය” යි.
ස්වාමීනී, මෑත භාගයෙහි මගධයෙහි සිටි බොහෝ කල් උපාසක ව සිටි, මේ බොහෝ උපාසකවරු ත් කලුරිය කළාහු ය. මෑත භාගයෙහි අංග මගධ ජනපදයන්හි සිටි උපාසකවරු ත් කලුරිය කළ කල්හී අංග මගධ ජනපදයන් හිස්වූවාක් මෙන් වැටහෙයි. ඒ උපාසකවරු ත් බුදුරජුන් කෙරෙහි පහන් ව, ධර්මය කෙරෙහි පහන් ව, සංඝයා කෙරෙහි පහන් ව සිටියාහු ය. සිල් පුරමින් සිටියාහු ය. කලින් සිට මියගිය ඔවුහු භාග්‍යවතුන් වහන්සේ විසින් පරලොව ගති පිළිබඳ ව තොරතුරු නොවදාරණ ලද්දාහු ය.
ඔවුන්ගේ පරලොව ගතිය කෙසේ ද? යන ප්‍රශ්නයට ත් පිළිතුරු වදාරණ සේක් නම් ඉතා යහපති. එය අසා බොහෝ ජනයා පහදිනු ඇත්තේ ය. ඒ හේතුවෙන් සුගතියෙහි උපදිනු ඇත්තේ ය.
ස්වාමීනී, මේ සේනිය බිම්බිසාර මගධ රජු වනාහී ධාර්මික ව බ්‍රාහ්මණ ගෘහපතීන්ට ත්, නියම්ගම් වැසියන්ට ත්, ජනපද වාසීන්ට ත් හිතවත් ව සිටි ධාර්මික රජෙකි. තවම ත් මිනිස්සු ගුණ කියන සුළු ව වාසය කරති. ‘භවත්නි, ඒ ධාර්මික වූ දැහැමි රජු මෙසේ අප සුවපත් කරවා කලුරිය කළේ ය. මෙසේ අපි ඒ ධාර්මික වූ දැහැමි රජුගේ විජිතයෙහි පහසුවෙන් වාසය කළෙමු’ යි යනුවෙනි. ඒ රජු ත් වනාහී බුදුරජුන් කෙරෙහි පැහැදී, ධර්මය කෙරෙහි පැහැදී, සංඝයා කෙරෙහි පැහැදී, සිල් පුරමින් සිටියේ ය. මිනිස්සු මෙසේ ත් පැවසූහ. ‘මරණාවස්ථාව තෙක් ම සේනිය බිම්බිසාර මගධ රජු භාග්‍යවතුන් වහන්සේගේ ගුණ වර්ණනා කරමින් කලුරිය කළේ ය’ යි යනුවෙනි. මගධයෙහි මෑත භාගයෙහි සිටි ඔහු කලුරිය කළේ භාග්‍යවතුන් වහන්සේ ඔහුගේ පරලොව ගතිය පිළිබඳ තොරතුරු නොවදාරණ ලද්දේ ය. ඔහුගේ පරලොව ගතිය පිළිබඳ ව තොරතුරු වදාරණ සේක් නම් මැනවි. එය අසා බොහෝ දෙනා පහදිනු ඇත්තේ ය. ඒ හේතුවෙන් සුගතියට යනු ඇත්තේ ය. ස්වාමීනී, ඒ ඇරත් භාග්‍යවතුන් වහන්සේගේ අභිසම්බෝධිය වූයේ මගධ ජනපදයෙහි නොවැ. ස්වාමීනී, මෑත භාගයේ සිට කලුරිය කළ උපාසකවරුන් පිළිබඳ ව පරලොව ගතිය භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් නොවදාරණ සේක් ද? ස්වාමීනී, ඉදින් භාග්‍යවතුන් වහන්සේ මගධයෙහි මෑත භාගයෙහි සිට කලුරිය කළ උපාසකයින් පිළිබඳ ව පරලොව ගතිය නොවදාරණ සේක් නම්, ඒ හේතුවෙන් මගධවැසි උපාසකවරු දීන සිත් ඇති වන්නාහු ය. ස්වාමීනී, යම් කරුණකින් මගධවැසි උපාසකවරු දීන සිත් ඇතිවන්නාහු නම්, ඒ කලුරිය කළවුන්ගේ පරලොව ගති පිළිබඳ ව භාග්‍යවතුන් වහන්සේ කෙසේ නම් නොවදාරණ සේක් ද?”
ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මගධවැසි උපාසකයින් අරභයා භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි මේ විස්තර කථාව කොට හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, නික්ම වැඩියහ.
එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් පිටත් ව ගිය නොබෝ වේලාවකින් පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන නාදිකාවට පිඬු පිණිස වැඩි සේක. නාදිකාවෙහි පිඬු පිණිස වැඩම කොට පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි, පා සෝදා ගඩොලින් කළ ගෘහයට (ගෙඩිගෙයට) පිවිස මගධයෙහි සිටි උපාසකවරුන් අරභයා ‘ඒ භවත්හු යම් පරලොවකට, යම් උපතකට ගියාහු ද, ඔවුන්ගේ පරලොව උපත පිළිබඳ ව දැනගන්නෙමි’ යි ඉතා හොඳින් සිත යොමු කොට, මෙනෙහි කොට, මුළු සිත ම ඒ අරමුණෙහි යොමුකොට, පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ඒ භවත්හු යම් පරලොවකට, යම් උපතකට ගියාහු ද, භාග්‍යවතුන් වහන්සේ මගධවැසි උපාසකවරුන් දුටු සේක.
ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට, ගෙඩිගෙයින් එළියට වැඩම කොට, විහාර සෙවණැල්ලෙහි පණවන ලද අසුනෙහි වැඩහුන් සේක.
එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ ඉතා ශාන්ත ව දිස්වන සේක. භාග්‍යවතුන් වහන්සේගේ මුව පැහැය වඩා ත් බබලයි. ඉන්ද්‍රියයන්ගේ මනා පහන් බවක් දිස්වෙයි. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ අද සංසිඳී ගිය විහරණයකින් වාසය කළ සේකැ’ යි සිතෙයි.”
“ආනන්දයෙනි, යම් වෙලාවක ඔබ මා හමුවෙහි මගධවැසි උපාසකවරුන් පිළිබඳ ව තොරතුරු විස්තර කොට, හුනස්නෙන් නැගී පිටත් ව ගියේ වෙයි ද, එකල්හී මම නාදිකාවෙහි පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි පා සෝදා, ගෙඩිගෙට පිවිස මගධයෙහි සිටි උපාසකවරුන් අරභයා ‘ඒ භවත්හු යම් පරලොවකට, යම් උපතකට ගියාහු ද, ඔවුන්ගේ පරලොව උපත පිළිබඳ ව දැනගන්නෙමි’ යි ඉතා හොඳින් සිත යොමු කොට, මෙනෙහි කොට, මුළු සිත ම ඒ අරමුණෙහි යොමුකොට, පණවන ලද අසුනෙහි හිඳගත්තෙමි. ඒ භවත්හු යම් පරලොවකට, යම් උපතකට ගියාහු ද, මම ආනන්දයෙනි, මගධවැසි උපාසකවරුන් දුටුවෙමි.
එකල්හී ආනන්දයෙනි, නොපෙනී සිටි දෙවියෙක් ‘භාග්‍යවතුන් වහන්ස, මම ජනවසභ වෙමි. සුගතයන් වහන්ස, මම ජනවසභ වෙමි’ යි හඬක් පැවැත්තුවේ ය. ආනන්දයෙනි, යම් මේ ජනවසභ යන නාමයක් ඇද්ද ඔබ මෙබඳු වූ නමක් මීට කලින් අසන ලද්දේ ද?”
“ස්වාමීනී, යම් මේ ජනවසභ යන නමක් අද්ද, මම මෙබඳු වූ නමක් මීට පෙර ඇසූ බවක් නොදනිමි. එනමුදු ස්වාමීනී, ජනවසභ යන නම අසා මාගේ ලෝමයෝ කෙලින් ව ගියහ. ස්වාමීනී, මට මෙය සිතෙයි. ස්වාමීනී, යම් මේ ජනවසභ යන නම යමෙකු උදෙසා මැනැවින් පණවන ලද්දේ ද, ඔහු නම් සුළුපටු දෙවියෙක් නොවන්නේ ය.”
“ආනන්දයෙනි, ශබ්දය පහළ වූ සැණින් උදාර වූ පෙනුමකින් යුතු දෙවියෙක් මා ඉදිරියෙහි පෙනී සිටියේ ය. දෙවෙනි වතාවට ත් හඬ පැවැත්වූවේ ය.
“භාග්‍යවතුන් වහන්ස, මම බිම්බිසාර වෙමි. සුගතයන් වහන්ස, මම බිම්බිසාර වෙමි. ස්වාමීනී, වෛශ්‍රවණ දෙව්මහරජුන්ගේ ලෝකයෙහි මම මේ සත්වන වර උපන්නෙමි. මෙයින් චුත වී ඒ මම මිනිස් රජෙකු වන්නට හැක්කෙමි.
මේ දෙව්ලොවෙහි සත් වතාවක් ද, මිනිස් ලොවෙහි සත් වතාවක් ද වශයෙන් මීට කලින් දහහතර වතාවක් මා විසින් දෙව් මිනිස් දෙගතියෙහි වාසය කළ බව දනිමි’
ස්වාමීනි, දීර්ඝ කාලයක් මම සතර අපායට නොවැටුණෙම්, සතර අපායට නොවැටෙන බව දනිමි. මා තුළ සකදාගාමී වීමට ආශාව පවතින්නේ ය.”
“ආයුෂ්මත් ජනවසභ දෙවියන්ගේ මේ වචනය ආශ්චර්යයකි! ආයුෂ්මත් ජනවසභ දෙවියන්ගේ මේ වචනය අද්භූත ය! ‘ස්වාමීනී, මම බොහෝ කලක් සතර අපායට නොවැටුණෙම්. සතර අපායෙන් මිදුණු බව හොඳින් දනිමි’ යි කියන්නෙහි ය. සකදාගාමී වීම පිණිස මා තුළ කැමැත්තක් ද තිබෙන්නේ යැයි කියන්නෙහි ය. ආයුෂ්මත් ජනවසභ දෙව් තෙමේ මෙබඳු උදාර වූ විශේෂ අධිගමයක් ඇති බව හඳුනාගත්තේ කුමක් පදනම් කොට ද?”
“භාග්‍යවතුන් වහන්ස, ඔබවහන්සේගේ සසුනෙන් පිට නොවෙයි. සුගතයන් වහන්ස, ඔබවහන්සේගේ සසුනෙන් පිට නොවෙයි. ස්වාමීනී, යම් දවසක මම භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි ඒකාන්ත කොට, නිසැක ව පැහැදුණෙම් ද, එදා සිට ස්වාමීනී, මම බොහෝ කලක් අපායට නොවැටෙන්නෙමි. අපායෙන් මිදුණු බවක් දනිමි. දැන් මා තුළ පවතින්නේ සකදාගාමී වීමේ ආශාවයි.
ස්වාමීනී, මෙහි මම කිසියම් කරුණක් අරභයා වෙසමුණි දෙව් මහරජු විසින් විරූළ්හක දෙව්රජු වෙත පිටත් කරන ලද්දෙමි. අහසින් යන අතරමග ගෙඩිගෙයට පිවිස මගධයෙහි සිටි උපාසකවරුන් අරභයා ‘ඒ භවත්හු යම් පරලොවකට, යම් උපතකට ගියාහු ද, ඔවුන්ගේ පරලොව උපත පිළිබඳ ව දැනගන්නෙමි’ යි ඉතා හොඳින් සිත යොමු කොට, මෙනෙහි කොට, මුළු සිත ම ඒ අරමුණෙහි යොමුකොට, වැඩහුන් භාග්‍යවතුන් වහන්සේ ව දුටුවෙමි.
ස්වාමීනී, ඒ භවත්හු යම් පරලොවක, යම් උපතක් වූවාහු දැයි යන මෙකරුණ පිළිබඳ ව වෙසමුණි දෙව් මහරජු විසින් දෙව් පිරිසෙහි කියන ලද වචනය ඒ දෙව්රජු ඉදිරියෙහි මා විසින් අසන ලද්දේ ය. ඉදිරියෙහි පිළිගන්නා ලද්දේ ය. ඒ මට ස්වාමීනී, මේ අදහස තිබුණේ ය. ‘භාග්‍යවතුන් වහන්සේවත් බැහැදකිමි. භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ ත් සැළකරන්නෙමි’ යන්නයි. ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ බැහැදකිනු පිණිස එළඹෙන්නට හේතු වූයේ ඔය දෙකරුණ යි.
ස්වාමීනී, පෙර බොහෝ දවසකට මත්තෙන් වස්සානය එළැඹි ඒ පුන් පොහෝ දිනයෙහි, පිරුණු සඳ ඇති රැයෙහි සියළු තව්තිසාවැසි දෙවියෝ සුධර්මා නම් දිව්‍ය සභාවෙහි එක්රැස් ව, එක් ව හුන්නාහු ය. හාත්පසින් ම මහත් වූ දිව්‍ය පිරිස එක්රැස් ව, එක් ව හුන්නාහු ය. සතර වරම් දෙව් මහරජවරු ත් සිව් දිශාවෙහි හුන්නාහු වෙති. ධතරාෂ්ට දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට බටහිර දෙසට මුහුණලා පෙරදිග දිශාවෙහි හුන්නාහු වෙති. විරූළ්හක දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට උතුරු දෙසට මුහුණලා දකුණු දිශාවෙහි හුන්නාහු වෙති. විරූපාක්ෂ දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට පෙරදිග දෙසට මුහුණලා බටහිර දිශාවෙහි හුන්නාහු වෙති. වෙසමුණි දෙව් මහරජහු දෙව් පිරිවර පෙරටු කොට දකුණු දෙසට මුහුණලා උතුරු දිශාවෙහි හුන්නාහු වෙති.
ස්වාමීනී, යම් කලෙක මුළු මහත් තව්තිසාවෙහි දෙව් පිරිස ද, සුධර්මා දිව්‍ය සභාවෙහි එක්රැස් ව හුන්නාහු වෙත් ද, මහත් වූ දිව්‍ය පිරිස ද හාත්පසින් රැස්ව හුන්නාහු වෙත් ද, සතර වරම් දෙව්මහරජවරු ද සිව් දිශාවෙහි හුන්නාහු වෙත් ද, මෙය ඔවුන්ගේ අසුන් ගැනීම වෙයි. අපගේ අසුන් ගැනීම වන්නේ ඊට පසුව ය.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බඹසර හැසිර ළඟදී තව්තිසාවෙහි උපන් යම් ඒ දෙවියෝ වෙත් ද, ඔවුහු අන්‍ය දෙවිවරුන්ට වඩා පැහැයෙන් ද, යසසින් ද බබලත්. ස්වාමීනී, එකරුණෙන් තව්තිසා දෙවියෝ බොහෝ සතුටු වෙති. ප්‍රමුදිත වෙති. ප්‍රීති සොම්නස් හටගත්තාහු වෙති. ‘භවත්නි, ඒකාන්තයෙන් දිව්‍ය කායයෝ පිරී යති. අසුර කායයෝ පිරිහී යති’ යනුවෙනි.
ඉක්බිති ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන්ගේ ප්‍රසාදය දැන මේ ගාථාවන්ගෙන් අනුමෝදන් වූයේ ය.
භවත්නි, ඒකාන්තයෙන් ඉන්ද්‍ර දෙව්රජ ප්‍රමුඛ තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, තථාගත ධර්මයෙහි ඇති උතුම් පිළිසරණට ද නමස්කාර කරමින් ප්‍රීති වෙති.
සුගතයන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර මෙහි අළුතෙන් උපන් දෙවියන් පැහැයෙන් ද, යසසින් ද සිටිනු දකිමින් සතුටු වෙති.
මහා ප්‍රාඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මගඵල ලබා මෙහි උපන් විට අන්‍ය වූ දෙවිවරුන්ට වඩා ඔවුහු පැහැයෙන් ද, යසසින් ද, ආයුෂයෙන් ද අතිශයින් ම බබලති.
මෙය දැක ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසාවෙහි දෙවිවරු තථාගතයන් වහන්සේට ත්, තථාගත ධර්මයෙහි තිබෙන උතුම් පිළිසරණට ත් නමස්කාර කරමින් සතුටු වෙති’
ස්වාමීනී, එකරුණෙන් තව්තිසාවැසි දෙවිවරු බොහෝ සෙයින් සොම්නස් ව, සතුටු ව, ප්‍රමුදිත ව, ප්‍රීති සොම්නස් හටගත්තාහු වෙති. ‘භවත්නි, ඒකාන්තයෙන් දෙව් පිරිස පිරී යති. අසුර පිරිස පිරිහී යති’ යි කියා ය.
ඉක්බිති ස්වාමීනී, යම් අර්ථයක් කරණ කොට ගෙන තව්තිසාවැසි දෙවියෝ සුධර්මා දිව්‍ය සභාවෙහි රැස්ව හුන්නාහු වෙත් ද, ඒ අර්ථය සිතා, ඒ අර්ථය සාකච්ඡා කොට, සතරවරම් මහරජවරු ඒ අර්ථය ගැන පවසන ලද වචන ඇත්තාහු, සතරවරම් මහරජවරු ඒ අර්ථය ගැන යළි යළි අනුශාසනා කරන ලද වචන ඇත්තාහු, එතැනින් නොගොස් තම තමන්ගේ අසුන්වල සිටියාහු ය.
තව්තිසා දෙවියන් විසින් කියන ලද වචන ඇති ඒ සතර වරම් මහරජවරු ඒ දෙවියන්ගේ අනුශාසනාව පිළිගෙන ඉතා පැහැදුණු සිතින් යුතුව සිය අසුන්හි රැඳී සිටියහ.’
ස්වාමීනි, එකල්හී උතුරු දිශාවෙන් උදාර වූ ආලෝකයක් හටගත්තේ ය. දෙවියන්ගේ දේවානුභාවය ඉක්මවා ගිය මහත් වූ ආලෝකයක් පහළ වූයේ ය.
ඉක්බිති ස්වාමීනී, ශක්‍ර දේවේන්ද්‍රයෝ තව්තිසා දෙවියන් ඇමතූහ.
“නිදුකාණෙනි, යම් සේ නිමිති දකින්නට ලැබෙයි ද, උදාර වූ ආලෝකයක් හටගත්තේ ද, එළියක් පහළ වූයේ ද, ‘බ්‍රහ්ම තෙමේ පහළ වන්නේ ය’ යම් මේ ආලෝකයක් හටගන්නේ ද, එළියක් පහළ වන්නේ ද, මෙය බ්‍රහ්මයාගේ පහළ වීමට පෙර නිමිත්ත යි.”
යම් සේ නිමිති දිස්වෙයි ද, බ්‍රහ්මයා පහළ වන්නේ ය. මහත් වූ විපුල වූ ආලෝකයක් පහළ වීම බ්‍රහ්මයාගේ පහළ වීමට මෙය නිමිත්ත ය.’
“එකල්හී ස්වාමීනී, තව්තිසා දෙවියෝ ‘මේ පහළ වූ එළිය ගැන දැනගන්නෙමු. මෙහි යම් ප්‍රතිඵලයක් වන්නේ නම්, එය ද ප්‍රත්‍යක්ෂ කොට ම යන්නෙමු’ යි තම තමන්ගේ අසුන්හි හිඳගෙන සිටියාහු ය. සතර වරම් මහරජවරු ත්, ‘මේ පහළ වූ එළිය ගැන දැනගන්නෙමු. මෙහි යම් ප්‍රතිඵලයක් වන්නේ නම්, එය ද ප්‍රත්‍යක්ෂ කොට ම යන්නෙමු’ යි තම තමන්ගේ අසුන්හි හිඳගෙන සිටියාහු ය. ‘මේ පහළ වූ එළිය ගැන දැනගන්නෙමු. මෙහි යම් ප්‍රතිඵලයක් වන්නේ නම්, එය ද ප්‍රත්‍යක්ෂ කොට ම යන්නෙමු’ යි යන කථාව අසා තව්තිසා දෙවිවරු චිත්තේකාග්‍රතාවයට සමවැදුණාහ.
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ යම් කලෙක තව්තිසා දෙවියන් අතර පහළ වෙයි නම්, ගොරෝසු ආත්මභාවයක් මවාගෙන පහළ වෙයි. ස්වාමීනී, බ්‍රහ්මරාජයාගේ යම් ප්‍රකෘති පැහැයක් ඇද්ද, එය තව්තිසා දෙවියන්ගේ නේත්‍ර පථයට ගෝචර නොවෙයි. ස්වාමීනී, යම් කලෙක සනංකුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා දෙවියන් අතර පහළ වෙයි ද, ඔහු අනිත් දෙවියන් අභිබවා වර්ණයෙන් හා යසසින් බබලයි. ස්වාමීනී, මිනිස් රූපය අභිබවා රනින් කළ රුව බබලන්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, යම් කලෙක සනංකුමාර බ්‍රහ්ම තෙමේ තව්තිසා දෙවියන් අතර පහළ වෙයි ද, ඔහු අනිත් දෙවියන් අභිබවා වර්ණයෙන් හා යසසින් බබලයි.
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ යම් කලෙක තව්තිසා දෙවියන් අතර පහළ වෙයි ද, එකල්හී ඒ පිරිසෙහි කිසි දෙවියෙක් ඔහුට නොවඳියි. දැක හුනස්නෙන් නොනැගිටියි. ළඟට නොයයි. අසුනෙන් නොපවරයි. සියල්ලෝ ම නිහඬ ව ඇඳිලි බැඳ වැඳගෙන හිඳගෙන සිටිති. ඒ ‘දැන් සනංකුමාර බ්‍රහ්මරාජයා යම් දෙවි කෙනෙකුගේ අසුනෙහි හිඳගනු කැමති වන්නේ ද, ඒ දෙවියාගේ අසුනෙහි හිඳගන්නේ ය’ යි සිතා ය. ස්වාමීනී, යම් දෙවියෙකුගේ අසුනෙහි සනංකුමාර බ්‍රහ්මයා හිඳගන්නේ ද, එකල්හී ඒ දෙවියා උදාර වූ මහා සතුටක් ලබයි. ඒ දෙවියා උදාර වූ මහා සොම්නසක් ලබයි. ස්වාමීනී, රාජ්‍යයෙන් අළුත අභිෂේක ලැබූ ඔටුණු පළන් ක්ෂත්‍රීය රජෙක් උදාර වූ සතුටක් ලබන්නේ යම් සේ ද, උදාර වූ මහා සොම්නසක් ලබන්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, යම් දෙවියෙකුගේ අසුනෙහි සනංකුමාර බ්‍රහ්මයා හිඳගන්නේ ද, එකල්හී ඒ දෙවියා උදාර වූ මහා සතුටක් ලබයි. ඒ දෙවියා උදාර වූ මහා සොම්නසක් ලබයි.
ඉක්බිති ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ ගොරෝසු ආත්මභාවයක් මවාගෙන පඤ්චසිඛ ගාන්ධර්ව දිව්‍යපුත්‍රයා බඳු කුමාර වේශයක් ගෙන තව්තිසා දෙවියන් ඉදිරියෙහි පහළ වූයේ ය. ඔහු අහසට නැග, අහසෙහි පළඟක් බැඳ හිඳගත්තේ ය. ස්වාමීනී, බලවත් පුරුෂයෙක් මැනැවින් ඇතිරිලි අතුරන ලද අසුනක හෝ සම බිමක හෝ පළඟක් බැඳ වාඩිවෙන්නේ යම් සේ ද, එසෙයින් ම ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ අහසට නැග, අහසෙහි පළඟක් බැඳ හිඳගෙන තව්තිසා දෙවියන් ගේ ප්‍රසාදය දැන මේ ගාථාවලින් අනුමෝදන් වූයේය.
භවත්නි, ඒකාන්තයෙන් ඉන්ද්‍ර දෙව්රජ ප්‍රමුඛ තව්තිසාවැසි දෙවියෝ තථාගතයන් වහන්සේට ද, තථාගත ධර්මයෙහි ඇති උතුම් පිළිසරණට ද නමස්කාර කරමින් ප්‍රීති වෙති.
සුගතයන් වහන්සේගේ සසුනෙහි බඹසර හැසිර මෙහි අළුතෙන් උපන් දෙවියන් පැහැයෙන් ද, යසසින් ද සිටිනු දකිමින් සතුටු වෙති.
මහා ප්‍රාඥයන් වහන්සේගේ ශ්‍රාවකයෝ විශේෂ මගඵල ලබා මෙහි උපන් විට අන්‍ය වූ දෙවිවරුන්ට වඩා ඔවුහු පැහැයෙන් ද, යසසින් ද, ආයුෂයෙන් ද අතිශයින් ම බබලති.
මෙය දැක ඉන්ද්‍ර දෙව් රජ ප්‍රමුඛ තව්තිසාවෙහි දෙවිවරු තථාගතයන් වහන්සේට ත්, තථාගත ධර්මයෙහි තිබෙන උතුම් පිළිසරණට ත් නමස්කාර කරමින් සතුටු වෙති’
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ මෙකරුණ පැවසුවේ ය. ස්වාමීනි, මෙකරුණ පවසන සනංකුමාර බ්‍රහ්මයාගේ හඬ අංග අටකින් යුක්ත වෙයි. සුවසේ වචන නික්මෙයි. අරුත් පැහැදිලි ය. මියුරු ය. කනට සුව එළවයි. හඬ එකට කැටි වෙයි. නොවිසිරෙයි. ගැඹුරු ය. දෝංකාර දෙයි. ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මයා යම් පමණ පිරිසකට හඬින් දන්වයි ද, ඔහුගේ පිරිසෙන් බාහිරට හඬ නොයයි. ස්වාමීනී, යම් කෙනෙකුට මේ අෂ්ට අංගයන්ගෙන් යුක්ත වූ කටහඬක් වෙයි ද, ඔහුට ‘බ්‍රහ්ම ස්වර ඇත්තා’ යැයි කියනු ලැබේ.
ඉක්බිති ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ තිස්තුන් ආත්මභාවයක් මවාගෙන තව්තිසා දෙවියන්ගේ එක් එක් අසුන්හි වෙන වෙන ම පළඟක් බැඳ වාඩි වී තව්තිසා දෙවියන් ඇමතුවේ ය.
“භවත් තව්තිසා වැසි දෙවිවරුනි. ඒ කිමෙකැයි හඟිව් ද? ඒ භාග්‍යවතුන් වහන්සේ මොනතරම් නම් බොහෝ ජනයා හට හිත පිණිස, බොහෝ ජනයා හට සුව පිණිස, ලොවට අනුකම්පා පිණිස, මොනතරම් නම් දෙව් මිනිසුන් හට යහපත, හිත සුව පිණිස පිළිපන් සේක් ද! භවත්නි, යම්කිසි කෙනෙක් බුදුරජුන් සරණ ගියාහු ද, ධර්මය සරණ ගියාහු ද, සංඝයා සරණ ගියාහු ද, සිල් පිරිපුන් කරන්නාහු ද, ඔවුහු ඇතැම් කෙනෙක් කය බිඳී මරණින් මතු පරනිම්මිත වසවර්තී දෙවියන් අතර උපදිත්. ඇතැම් කෙනෙක් නිම්මානරතී දෙවියන් අතර උපදිත්. ඇතැම් කෙනෙක් තුසිත දෙවියන් අතර උපදිත්. ඇතැම් කෙනෙක් යාම දෙවියන් අතර උපදිත්. ඇතැම් කෙනෙක් තව්තිසා දෙවියන් අතර උපදිත්. ඇතැම් කෙනෙක් චාතුම්මහාරාජික දෙවියන් අතර උපදිත්. යම් කෙනෙක් හැමට වඩා පහත් දෙවියන් අතර උපදිත් නම්, ඔවුහු ගාන්ධර්ව දෙවියන් අතර උපදිත්.”
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ මෙකරුණ පැවසුවේ ය. ස්වාමීනී, මෙකරුණ පවසන සනංකුමාර බ්‍රහ්මයාගේ හඬ පමණට ම ය. ‘යමෙක් මාගේ අසුනෙහි හිඳියි ද, ඔහු මා සමඟ පමණක් කථා කරයි’ යි දෙවියෝ සිතත්.”
‘එක් කෙනෙක් කථා කරන විට මවන ලද සියල්ලෝ ම කතා කරති. එක් කෙනෙක් නිහඬ වන විට ඒ සියල්ලෝ ම නිහඬ වෙති.
එකල්හී සක්දෙව් රජ සහිත තව්තිසා වැසි දෙවියෝ මෙසේ සිතති. යමෙක් මාගේ අසුනෙහි සිටියි ද, හේ මා සමඟ පමණක් කතා කරයි යනුවෙනි’
“ඉක්බිති ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ තමා තනි කෙනෙකු සේ පෙනෙන්නට සැළැස්සුවේ ය. එක් කෙනෙක් හැටියට පෙනී සිට සක් දෙවිඳුන්ගේ අසුනෙහි පළඟක් බැඳ වාඩිවී තව්තිසා දෙවියන් ඇමතුවේ ය.”
“භවත් තව්තිසාවැසි දෙවිවරුනි, ඒ කිමෙකැයි හඟියි ද? සියල්ල දන්නා වූ, දක්නා වූ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ ඉර්ධීන් පිණිස, ඉර්ධි වශීභාවය පිණිස, ඉර්ධි ප්‍රාතිහාර්යය පිණිස, මොනතරම් මැනැවින් මේ සතරක් වූ ඉර්ධිපාදයෝ පණවන ලද්දාහු ද? ඒ කවර සතරක් ද යත්;
භවත්නි, මෙහිලා භික්ෂුවක් බලවත් කැමැත්ත නිසාවෙන් ලත් සමාධියෙන් සහ ප්‍රධන් වීර්යයෙන් යුතුව, ඉර්ධිපාදය දියුණු කරයි. බලවත් වීර්යය නිසාවෙන් ලත් සමාධියෙන් සහ ප්‍රධන් වීර්යයෙන් යුතුව, ඉර්ධිපාදය දියුණු කරයි. බලවත් අධිෂ්ඨානය නිසාවෙන් ලත් සමාධියෙන් සහ ප්‍රධන් වීර්යයෙන් යුතුව, ඉර්ධිපාදය දියුණු කරයි. බලවත් වීමංසනය නිසාවෙන් ලත් සමාධියෙන් සහ ප්‍රධන් වීර්යයෙන් යුතුව, ඉර්ධිපාදය දියුණු කරයි.
භවත්නි, සියල්ල දන්නා වූ, දක්නා වූ, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ ඉර්ධීන් පිණිස, ඉර්ධි වශීභාවය පිණිස, ඉර්ධි ප්‍රාතිහාර්යය පිණිස, මේ සතරක් වූ ඉර්ධිපාදයෝ පණවන ලද්දාහු ය.
භවත්නි, අතීතයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, අනේකප්‍රකාරයෙන් ඉර්ධිබලයන් අත්දුටුවාහු ද, ඒ සියල්ලෝ ම මේ සතරක් වූ ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් ඒවා අත්දුටහ. භවත්නි, අනාගතයෙහි යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, අනේකප්‍රකාරයෙන් ඉර්ධිබලයන් අත්දකින්නාහු ද, ඒ සියල්ලෝ ම මේ සතරක් වූ ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් ඒවා අත්දකින්නෝ ය. භවත්නි, මෙකල්හී යම්කිසි ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, අනේකප්‍රකාරයෙන් ඉර්ධිබලයන් අත්දකිත් නම්, ඒ සියල්ලෝ ම මේ සතරක් වූ ඉර්ධිපාදයන් වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කළ බැවින් ඒවා අත්දකිති.
භවත් තව්තිසාවැසි දෙවිවරුනි, මාගේ පවා මෙබඳු මේ ඉර්ධි ආනුභාවය දකිව් ද?”
“මහා බ්‍රහ්මය, එසේ ය.”
“භවත්නි, මම ත් මේ සතරක් වූ ඉර්ධිපාදයන් ම වඩන ලද බැවින්, බහුල ව ප්‍රගුණ කරන ලද බැවින් මෙබඳු මහා ඉර්ධි ඇත්තේ වෙමි. මෙබඳු මහා ආනුභාව ඇත්තේ වෙමි.”
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මතෙමේ මෙකරුණ පැවසුවේ ය. ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ මෙකරුණ පවසා තව්තිසාවැසි දෙවියන් ඇමතුවේ ය.
“භවත් තව්තිසාවැසි දෙවිවරුනි, මේ ගැන කුමක් සිතන්නහු ද? සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැපය අත්පත් කරගනු පිණිස ඉඩ ප්‍රස්ථා තුනක් අවබෝධ කරන ලද්දේ ය. ඒ කවර තුනක් ද යත්;
භවත්නි, මෙහි ඇතැමෙක් පංච කාමයන් හා එක් ව වාසය කරයි. අකුසල් දහම් හා එක් ව වාසය කරයි. ඔහු පසු කාලයක ආර්ය ධර්මය අසයි. ඒ ඇසූ ධර්මය නුවණ යොදා මෙනෙහි කරයි. ධර්මයට අනුගත වූ ප්‍රතිපදාවක යෙදෙයි. ඔහු ආර්ය ධර්ම ශ්‍රවණයට පැමිණ නුවණ යොදා මෙනෙහි කිරීම ත්, ධර්මයට අනුගත වූ ප්‍රතිපදාවත් නිසා පංච කාමයෙන් වෙන් ව, අකුසල් දහමෙන් වෙන් ව වාසය කරයි. පංච කාමයෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව වාසය කරන ඔහු තුළ සැපයක් උපදියි. සැපයෙන් බොහෝ සොම්නස උපදියි. භවත්නි, ප්‍රීතියෙන් ප්‍රමුදිත බව ඇතිවන්නේ යම් සේ ද, එසෙයින් ම පංච කාමයෙන් වෙන් ව, අකුසල් දහමෙන් වෙන් ව වාසය කරන ඔහු තුළ සැපයක් උපදියි. සැපයෙන් බොහෝ සොම්නස උපදියි. භවත්නි, මෙය වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැපය අත්පත් කරගනු පිණිස අවබෝධ කොට වදාළ පළමු වෙනි ඉඩ ප්‍රස්ථාව යි.
තව ද භවත්නි, මෙහි ඇතැමෙකුට ගොරෝසු ආශ්වාස ප්‍රශ්වාසයෙන් යුතු කාය සංස්කාර නොසංසිඳුණේ වෙයි. ගොරෝසු විතර්ක විචාර වචී සංස්කාරයන් නොසංසිඳුණේ වෙයි. ගොරෝසු සංඥා වේදනා චිත්ත සංස්කාරයන් නොසංසිඳුණේ වෙයි. ඔහු පසු කාලයක ආර්ය ධර්මය අසයි. ඒ ඇසූ ධර්මය නුවණ යොදා මෙනෙහි කරයි. ධර්මයට අනුගත වූ ප්‍රතිපදාවක යෙදෙයි. ඔහු ආර්ය ධර්ම ශ්‍රවණයට පැමිණ නුවණ යොදා මෙනෙහි කිරීම ත්, ධර්මයට අනුගත වූ ප්‍රතිපදාවත් නිසා ගොරෝසු කාය සංස්කාරයෝ සංසිඳෙත්. ගොරෝසු වචී සංස්කාරයෝ සංසිඳෙත්. ගොරෝසු චිත්ත සංස්කාරයෝ සංසිඳෙත්. ඔහු තුළ ගොරෝසු වූ කාය – වචී – චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීමෙන් සැපයක් උපදියි. සැපයෙන් බොහෝ සේ සොම්නස උපදියි. භවත්නි, ප්‍රීතියෙන් ප්‍රමුදිත බව ඇතිවන්නේ යම් සේ ද, එසෙයින් ම ගොරෝසු වූ කාය සංස්කාරයන්ගේ සංසිඳීමෙන්, ගොරෝසු වූ වචී සංස්කාරයන්ගේ සංසිඳීමෙන්, ගොරෝසු වූ චිත්ත සංස්කාරයන්ගේ සංසිඳීමෙන් සැපයක් උපදියි. සැපයෙන් බොහෝ සොම්නස උපදියි. භවත්නි, මෙය වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැපය අත්පත් කරගනු පිණිස අවබෝධ කොට වදාළ දෙවෙනි ඉඩ ප්‍රස්ථාව යි.
තව ද භවත්නි, මෙහි ඇතැමෙක් ‘මෙය කුසලය ය’යි ඒ වූ සැටියෙන් නොදනියි. ‘මෙය අකුසලය ය’යි ඒ වූ සැටියෙන් නොදනියි. ‘මෙය වරද සහිත ය, මෙය නිවැරදි ය, මෙය සේවනය කළ යුතුය, මෙය සේවනය නොකළ යුතුය, මෙය පහත් ය, මෙය උසස් ය, මෙය කළු සුදු ප්‍රතිභාග සහිත දේ ය’යි ඒ වූ සැටියෙන් නොදනියි. ඔහු පසු කලෙක ආර්ය ධර්මය අසයි. ඒ ඇසූ ධර්මය නුවණ යොදා මෙනෙහි කරයි. ධර්මයට අනුගත වූ ප්‍රතිපදාවක යෙදෙයි. ඔහු ආර්ය ධර්ම ශ්‍රවණයට පැමිණ නුවණ යොදා මෙනෙහි කිරීම ත්, ධර්මයට අනුගත වූ ප්‍රතිපදාවත් නිසා ‘මෙය කුසලය ය’යි ඒ වූ සැටියෙන් දනියි. ‘මෙය අකුසලය ය’යි ඒ වූ සැටියෙන් දනියි. ‘මෙය වරද සහිත ය, මෙය නිවැරදි ය, මෙය සේවනය කළ යුතුය, මෙය සේවනය නොකළ යුතුය, මෙය පහත් ය, මෙය උසස් ය, මෙය කළු සුදු ප්‍රතිභාග සහිත දේ ය’යි ඒ වූ සැටියෙන් දනියි. මෙසේ දන්නා වූ, මෙසේ දක්නා වූ, ඔහුගේ අවිද්‍යාව ප්‍රහාණය වෙයි. විද්‍යාව උපදියි. ඔහු තුළ අවිද්‍යාව දුරුවීමෙන්, විද්‍යාව ඉපදීමෙන් සැපයක් උපදියි. සැපයෙන් බොහෝ සොම්නස උපදියි. භවත්නි, මෙය වනාහී සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැපය අත්පත් කරගනු පිණිස අවබෝධ කොට වදාළ තුන්වෙනි ඉඩ ප්‍රස්ථාව යි.
භවත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සැපය අත්පත් කරගනු පිණිස මේ ඉඩ ප්‍රස්ථා තුන අවබෝධ කොට වදාරණ ලද්දේ ය.”
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මරාජයා මෙකරුණ පැවසුවේ ය. ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මරාජයා මෙකරුණ පවසා තව්තිසා දෙවියන් ඇමතුවේ ය.
“භවත් තව්තිසා දෙවියනි, මේ ගැන කුමක් සිතන්නහු ද? සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් මොනතරම් යහපත් ලෙස, කුසල් දහම් උපදවා ගැනීම පිණිස, මේ සතර සතිපට්ඨානයෝ පණවන ලද්දාහු ද! ඒ කවර සතරක් ද යත්;
භවත්නි, මෙහි භික්ෂුව කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට තමා තුළ කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. තමා තුළ කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරද්දී එහි මනාකොට සිත සමාධිමත් වෙයි. මනාකොට පහන් වෙයි. ඔහු එහි මනාකොට සමාධිමත් සිත් ඇති වූයේ, මනාකොට පහන් ව ගියේ, බාහිර අන්‍යයන්ගේ කය පිළිබඳ ව ඥානදර්ශනය උපදවයි.
තමා තුළ විඳීම් හි වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. බාහිර අන්‍යයන්ගේ විඳීම් පිළිබඳ ව ඥාන දර්ශනය උපදවයි.
තමා තුළ සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. බාහිර අන්‍යයන්ගේ සිත පිළිබඳ ව ඥාන දර්ශනය උපදවයි.
කෙලෙස් තවන වීර්යයෙන් යුතුව, මනා සිහි නුවණින් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට තමා තුළ ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. තමා තුළ ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරද්දී එහි මනාකොට සිත සමාධිමත් වෙයි. මනාකොට පහන් වෙයි. ඔහු එහි මනාකොට සමාධිමත් සිත් ඇති වූයේ, මනාකොට පහන් ව ගියේ, බාහිර අන්‍යයන්ගේ ධර්මයන් පිළිබඳ ව ඥානදර්ශනය උපදවයි.
භවත්නි, සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් කුසල් දහම් උපදවා ගැනීම පිණිස, මේ සතර සතිපට්ඨානයෝ පණවන ලද්දාහු ය.”
ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මරාජයා මෙකරුණ පැවසුවේ ය. ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මරාජයා මෙකරුණ පවසා තව්තිසා දෙවියන් ඇමතුවේ ය.
“භවත් තව්තිසාවැසි දෙවියනි, මේ ගැන කුමක් සිතන්නහු ද? සියල්ල දන්නා, සියල්ල දක්නා, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සම්මා සමාධිය දියුණු කරගැනීම පිණිස, සම්මා සමාධිය සම්පූර්ණ කරගැනීම පිණිස, මොනතරම් නම් යහපත් ලෙස මේ සතක් වූ සම්මා සමාධියට උපකාරක ධර්මයෝ පණවන ලද්දාහු ද? ඒ කවර සතක් ද යත්; සම්මා දිට්ඨිය ය, සම්මා සංකල්ප ය, සම්මා වාචා ය, සම්මා කම්මන්ත ය, සම්මා ආජීව ය, සම්මා වායාම ය සහ සම්මා සතිය ය.
භවත්නි, මේ සප්ත අංගයෙන් යුක්ත වූ සිතක යම් ඒකාග්‍රතාවයක් ඇද්ද, පිරිවරාගත් බවක් ඇද්ද, භවත්නි, මෙය ආර්ය සම්මා සමාධිය යැයි කියනු ලැබේ. හේතු සම්පත් සහිත සම්මා සමාධිය යනුවෙනුත්, පිරිවරාගත් අංගයන් සහිත සම්මා සමාධිය යනුවෙනුත් කියනු ලැබෙයි.
භවත්නි, සම්මා දිට්ඨිය ඇති කෙනා තුළ සම්මා සංකල්පය බලවත් වෙයි. සම්මා සංකල්පය ඇති කෙනා තුළ සම්මා වාචා බලවත් වෙයි. සම්මා වාචා ඇති කෙනා තුළ සම්මා කම්මන්තය බලවත් වෙයි. සම්මා කම්මන්තය ඇති කෙනා තුළ සම්මා ආජීවය බලවත් වෙයි. සම්මා ආජීවය ඇති කෙනා තුළ සම්මා වායාමය බලවත් වෙයි. සම්මා වායාමය ඇති කෙනා තුළ සම්මා සතිය බලවත් වෙයි. සම්මා සතිය ඇති කෙනා තුළ සම්මා සමාධිය බලවත් වෙයි. සම්මා සමාධිය ඇති කෙනා තුළ සම්මා ඥානය බලවත් වෙයි. සම්මා ඥානය ඇති කෙනා තුළ සම්මා විමුක්තිය බලවත් වෙයි.
භවත්නි, යම් ධර්මයක් පිළිබඳ ව මනාකොට කියන්නේ නම්, ‘ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය දේශනා කරන ලද්දේ ය. එය මේ ජීවිතයේ දී තමා ම දැක්ක යුත්තේ ය. කල් නොයවා ඵල ලැබෙන්නේ ය. ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැතියන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය. අමා දොරටු විවෘත කරන ලද්දාහු ය’ යි වශයෙන් එය මෙකරුණ අරභයා ම මනාකොට පවසන්නේ ය. භවත්නි, භාග්‍යවතුන් වහන්සේ විසින් ඉතා මැනැවින් ධර්මය දේශනා කරන ලද්දේ ය. එය මේ ජීවිතයේ දී තමා ම දැක්ක යුත්තේ ය. කල් නොයවා ඵල ලැබෙන්නේ ය. ඇවිත් බලන්න යැයි කිව හැක්කේ ය. තමා තුළට පමුණුවා ගත යුත්තේ ය. නුවණැතියන් විසින් තම තම නැණ පමණින් දත යුත්තේ ය. අමා දොරටු විවෘත කරන ලද්දාහු ය.
භවත්නි, යම් කෙනෙක් බුදුරජුන් කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වූවාහු ද, ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වූවාහු ද, සංඝයා කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකින් යුක්ත වූවාහු ද, ආර්යකාන්ත සීලයෙන් යුක්ත වූවාහු ද, එමෙන් ම යම් කෙනෙක් ධර්මයෙහි හික්මුණාහු ද, මෑත භාගයෙහි මගධයෙහි සිටි උපාසකයෝ විසි හතර සිය දහසකට අධික පිරිසක් තුන් සංයෝජනයන් ක්ෂය කිරීමෙන් සෝවාන් ව, අපායෙන් මිදී නියත වශයෙන් නිවන පිහිට කොට, කලුරිය කොට මෙහි ඕපපාතික ව උපන්නාහු ද, මේ පිරිස අතර සකදාගාමීහු ද ඇත්තාහු ය.”
‘මේ අවශේෂ ප්‍රජාව අනාගාමී ව සුද්ධාවාස බඹලොවෙහි උපදින්නට තරම් පිනෙන් යුක්ත වූවාහු යැයි මාගේ හැඟීම යි. බොරු කීමට භය නිසාවෙන් ඔවුන් පිළිබඳ ව ගණන් කොට කියන්නට නොහැකියෙමි.’
“ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්ම තෙමේ මෙකරුණ පැවසුවේ ය. ස්වාමීනී, සනංකුමාර බ්‍රහ්මරාජයාගේ මේ වචනය ඇසූ වෛශ්‍රවණ දෙව් මහරජුට මෙබඳු චිත්ත සංකල්පයක් හටගත්තේ ය.
‘භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයකි! භවත්නි, ඒකාන්තයෙන් අද්භූත ය! මෙබඳු වූ උදාර ශාස්තෘන් වහන්සේ නමක් පහළ වූ සේක! මෙබඳු වූ උදාර ධර්ම කථාවකි. මෙබඳු වූ උදාර විශේෂ අධිගමයෝ ප්‍රකට වන්නාහු ය!’
ඉක්බිති ස්වාමීනී. සනංකුමාර බ්‍රහ්මරාජයා වෛශ්‍රවණ දෙව්මහරජුගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දැන, වෛශ්‍රවණ දෙව් මහරජු හට මෙය පැවසුවේ ය.”
“භවත් වෙසමුණි මහරජුනි, මේ ගැන කුමක් සිතන්නෙහි ද? අතීතයේ දී ත් මෙබඳු වූ උදාර ශාස්තෘන් වහන්සේ නමක් පහළ වූ සේක. මෙබඳු වූ උදාර ධර්ම කථාවක් වූයේ ය. මෙබඳු වූ උදාර විශේෂ අධිගමයෝ ප්‍රකට වූවාහු ය. අනාගතයෙහි ත් මෙබඳු වූ උදාර වූ ශාස්තෘන් වහන්සේ නමක් පහළ වන සේක. මෙබඳු වූ උදාර ධර්ම කථාවක් වන්නේ ය. මෙබඳු වූ උදාර වූ විශේෂ අධිගමයෝ ප්‍රකට වන්නාහු ය.”
“ස්වාමීනි, සනංකුමාර බ්‍රහ්මරාජයා තව්තිසා දෙවියන් හට මෙකරුණ පැවසුවේ ය.”
තව්තිසා දෙව්පිරිසට පවසන සනංකුමාර බ්‍රහ්මයාගේ වචනය ඔහු ඉදිරියේ අසා, ඔහු ඉදිරියේ පිළිගෙන වෙසමුණි දෙව් මහරජු සිය පිරිසට දැනුම් දුන්නේ ය. වෙසමුණි දෙව් මහරජු විසින් තම පිරිසට පැවසූ වචනය ඔහු ඉදිරියෙහි අසා, ඔහු ඉදිරියෙහි පිළිගෙන, ජනවසභ දෙවි තෙමේ මෙකරුණ භාග්‍යවතුන් වහන්සේට දැනුම් දුන්නේ ය. භාග්‍යවතුන් වහන්සේ ජනවසභ දෙවියා විසින් පැවසූ වචනය ඔහු ඉදිරියෙහි අසා, ඔහු ඉදිරියෙහි පිළිගෙන තමන් වහන්සේ ත් විශිෂ්ට ඥානයෙන් දැන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට දැනුම් දුන් සේක. භාග්‍යවතුන් වහන්සේගේ මේ වචනය භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි අසා, ඉදිරියෙහි පිළිගෙන ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකාවන්ට දැනුම් දුන්හ.
‘යම් තාක් ම දෙවි මිනිසුන් විසින් මැනැවින් පවසන ලද්දේ ද, ඒ තාක් මේ සසුන් බඹසර දියුණු වූයේ ත්, සමෘද්ධිමත් වූයේ ත්, පැතිරුණේ ත්, බොහෝ ජනයා අතර අතිශයින් ම පැතිරී ගියේ ත් වෙයි.’
සාදු! සාදු!! සාදු!!!
ජනවසභ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/dn2_5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M