ඛුද්දක නිකාය

ථේරී ගාථා

20.5. සුභාකම්මාරධීතු ථේරීගාථා

20.5. රන්කරුවෙකුගේ දියණිය වන සුභා තෙරණියගේ ගාථා

337. දහරා අහං සුද්ධවසනා යං පුරේ ධම්මමස්සුණිං,
තස්සා මේ අප්පමත්තාය සච්චාභිසමයෝ අහු.

337. එතකොට මං හොඳ කරුණ වයසෙ හිටියෙ. සුදු ඇඳුමක් ඇඳගෙන බුදු සමිඳුන්ගෙන් සද්ධර්මය අසාගන්ට මාත් ගියා. එතැන දී අප්‍රමාදී ව සිහිනුවණ යොමු කරන කොට මට ආර්ය සත්‍ය අවබෝධය ඇති වුණා.

338. තතෝහං සබ්බකාමේසු භුසං අරතිමජ්ඣගං,
සක්කායස්මිං භයං දිස්වා නෙක්ඛම්මඤ්ඤේව පීහයේ.

338. එතැන ඉඳල මට කාමයන් ගැන ඇතිවුණේ අරතියක් මයි. පංච උපාදානස්කන්ධ ගැන නන්දිරාගය පැවතීම මං දැක්කේ භයජනක දෙයක් හැටියටයි. ඉතින් මං මහණ වෙන්ට කැමැති වුණා.

339. හිත්වානහං ඤාතිගණං දාසකම්මකරානි ච,
ගාමක්ඛෙත්තානි ඵීතානි රමණීයේ පමෝදිතේ.

339. අන්තිමේ දී නැදෑයන් ව ත්, දැසි දස්සන් ව ත්, කම්කරුවන් ව ත්, සරුසාර කුඹුරු වතුපිටි ත්, සිත්කළු, සිත් පුබුදුවන සැප සම්පත් ඔක්කොම අත්හැරියා.

340. පහායාහං පබ්බජිතා සාපතෙය්‍යමනප්පකං,
ඒවං සද්ධාය නික්ඛම්ම සද්ධම්මේ සුප්පවේදිතේ
න මේතං අස්ස පතිරූපං ආකිඤ්චඤ්ඤං හි පත්ථයේ.

340. මේ විදියට මං ගොඩක් සැප සම්පත් අත්හැරියා. ඉතා පැහැදිලි ව නිවන් මග පෙන්වා දෙන මේ ශාසනය තුළ මං මහණ වුණේ ශ්‍රද්ධාවෙන් ම යි. ඒ නිසා මට ආයෙමත් රන් රිදී වැඩ කිරීම සුදුසු නෑ. මං පතමින් ඉන්නෙ නිවන ම යි.

341. යෝ ජාතරූපං රජතං ඡඩ්ඩෙත්වා පුනරාගමේ
රජතං ජාතරූපං වා න බෝධාය න සන්තියා
නේතං සමණ සාරුප්පං න ඒතං අරියං ධනං.

341. රන් රිදී බඩු අත් හැරියට පස්සෙ, එයා ආයෙත් ඒවා අරගත්තොත් ඒක එයාට වන ලොකු අත්වැරැද්දක්. ආර්ය සත්‍යාවබෝධයට රන් රිදී උපකාර වෙන්නෙ නෑ. සැනසීමට හේතු වන්නෙ නෑ. අනික, ඒ දෙය ශ්‍රමණයන්ට ගැළපෙන්නෙත් නෑ. ඒක ආර්ය ධනයකුත් නොවේ.

342. ලෝභනං මදනං චේතං මෝහනං රජවඩ්ඪනං,
සාසංකං බහු ආයාසං නත්ථි චෙත්ථ ධුවං ඨිති.

342. එයින් කර දෙන්නෙ ලෝභකම ඉපදවීම විතරයි. අහංකාර කම ඉපදවීම විතරයි. ඊට පස්සෙ මුළා වෙනවා. කෙලෙස් වැඩෙනවා. සැක සංකා වැඩෙනවා. ගොඩක් කරදර ඇති වෙනවා. ස්ථිරසාර දෙයක් එතන ඇත්තෙ නෑ.

343. එත්ථ රත්තා පමත්තා ච සංකිලිට්ඨමනා නරා,
අඤ්ඤමඤ්ඤේන ව්‍යාරුද්ධා පුථුපුබ්බන්ති මේධගං.

343. මිනිස්සු ඕවට ඇලෙනවා. ප්‍රමාද වෙනවා. සිත් කිලුටු කරගන්නවා. එකිනෙකාට විරුද්ධ ව නැගී සිටිනවා. බොහෝ කෝලහල ඇති කරගන්නවා.

344. වධෝ බන්ධෝ පරික්ලේසෝ ජානි සෝකපරිද්දවෝ,
කාමේසු අධිපන්නානං දිස්සතේ ව්‍යසනං බහුං.

344. ඔය කාමයන්ට බැහැගෙන ඉන්න උදවිය ළඟ දකින්ට තියෙන්නෙ, නොයෙක් වද බන්ධන විතරයි. නොයෙක් කෙලෙස්, හැඬීම් වැලපීම් විතරයි. නොයෙක් කරදර විතරයි.

345. තං මං ඤාතී අමිත්තාව කිං වෝ කාමේසු යුඤ්ජථ,
ජානාථ මං පබ්බජිතං කාමේසු භයදස්සනිං.

345. ඉතින් ඔයාල මගේ නැදෑයන් වෙලා ඉඳගෙන ත්, මගේ හතුරු පිරිසක් වගේ මාව කාමයට ම යොදවන්ට හදන්නෙ ඇයි?

346. න හිරඤ්ඤසුවණ්ණේන පරික්ඛීයන්ති ආසවා,
අමිත්තා වධකා කාමා සපත්තා සල්ලබන්ධනා.

346. රන් කහවණුවලින් ආශ්‍රවයන් ක්ෂය වෙන්නෙ නෑ. කාමයන් තමයි සැනසීමට විරුද්ධ සතුරො, වධකයෝ. මිතුරෝ නම් නොවේ. ශෝක හුල් හිත්වලට බඳින්නෙ මේ කාමයන් තමයි.

347. තං මං ඤාතී අමිත්තාව කිං වෝ කාමේසු යුඤ්ජථ,
ජානාථ මං පබ්බජිතං මුණ්ඩං සංඝාටිපාරුතං.

347. ඉතින් ඔයාල මගේ නෑදෑයන් වෙලා ඉඳගෙන ත්, මගේ හතුරු පිරිසක් වගේ මාව මේ කාමයට ම යොදවන්ට හදන්නෙ ඇයි? තේරුම් ගන්න මාව. මං හිස මුඩු කරපු, දෙපට සිවුරක් පොරව ගෙන ඉන්න, මහණ වෙච්ච කෙනෙක්.

348. උත්තිට්ඨපිණ්ඩෝ උඤ්ඡෝ ච පංසුකූලං ච චීවරං,
ඒතං ඛෝ මම සාරුප්පං අනගාරූපනිස්සයෝ.

348. ජීවත් වෙන්නෙ ගෙයක් ගානෙ පිණ්ඩපාතෙ කරගෙන. පොරවන්නෙ පාංශුකූල චීවර. ඉතින් මට ගැලපෙන්නෙ ඒ වගේ පැවිදි පිරිකර විතර යි.

349. වන්තා මහේසීහි කාමා යේ දිබ්බා යේ ච මානුසා,
ඛේමට්ඨානේ විමුත්තා තේ පත්තා තේ අචලං සුඛං.

349. මහා ඉසිරු දිව්‍ය මානුෂික හැම කාමයක් ම අත්හැරල දානව. උන්වහන්සේලා ඉන්නෙ නිවන කියන ක්ෂේම භූමියේ. විමුක්තියට පත්වුණ සිත් ඇතිව. අචල සැපයට පත්වෙලා ඉන්නෙ.

350. නාහං කාමේහි සංගච්ඡිං යේසු තාණං න විජ්ජති,
අමිත්තා වධකා කාමා අග්ගික්ඛන්ධසමා දුඛා.

350. කාමයන් සමඟ මගේ කිසි ම ගණුදෙනුවක් නෑ. මට ඔය කාමයන් තුළ කිසි ම ආරක්ෂාවක් පෙනෙන්නෙ නෑ. කාමයන් කියන්නෙ මිතුරන් පිරිසක් නොවේ. වධකයෝ. ගිනිකඳු වගේ දුක් තියෙන්නෙ.

351. පරිපන්ථෝ ඒස භයෝ සවිඝාතෝ සකණ්ටකෝ,
ගේධෝ සුවිසමෝ ලේපෝ මහන්තෝ මෝහනාමුඛෝ.

351. මේ කාමයන් කියන්නෙ බියක් ම යි. කරදරයක් ම යි. පීඩාවක් ම යි. මහා වධයක් ම යි. අපිරිසිදු දෙයක් ම යි. විෂම දෙයක් ම යි. මුළා කරවන දෙයක් ම යි. ජනතාව රවටන ලොකු ම දොරටුව යි.

352. උපසග්ගෝ භීමරූපෝ කාමා සප්පසිරූපමා,
යේ බාලා අභිනන්දන්ති අන්ධභූතා පුථුජ්ජනා.

352. මේ කාමයන් කියන්නෙ භයානක උවදුරක්. භයානක සර්පයෙකු ගෙ ඔළුව පැත්ත වගේ. අන්ධබාල පෘථග්ජන සත්වයන් මේ කාමයන් පිළිගන්නෙ හරි ම ආශාවෙන්.

353. කාමපංකේන සත්තා හි බහූ ලෝකේ අවිද්දසූ,
පරියන්තං නාභිජානන්ති ජාතියා මරණස්ස ච.

353. කාම මඩ ගොහොරුවේ ඇලිල ඉන්න මේ බොහෝ සත්වයන් අවිද්‍යා සහගත ව යි ඉන්නෙ. මේ ඉපදෙන මැරෙන ලෝකෙ අවසානයක් ඔවුන්ට කවදාවත් දැකගන්ට ලැබෙන්නෙ නෑ.

354. දුග්ගතිගමනං මග්ගං මනුස්සා කාමහේතුකං,
බහුං වේ පටිපජ්ජන්ති අත්තනෝ රෝගමාවහං.

354. මිනිස්සු ඔය කාමයන් නිසා බැසගෙන ඉන්නෙ දුගතියට වැටෙන පාරවල්වල. තම තමන්ට බොහෝ රෝග උපදවා දෙන කාමයන් තුළ ම යි ඔවුන් බැසගෙන ඉන්නෙ.

355. ඒවං අමිත්තජනනා තාපනා සංකිලේසිකා,
ලෝකාමිසා බන්ධනීයා කාමා මරණබන්ධනා.

355. මේ කාමය විසින් බිහි කරන්නෙ හතුරන් ව යි. දුක් තැවුල් ඇති කරවනවා. සිත කිලුටු කරවනවා. ලෝකයා පිනවන එක ම අරමුණ බවට පත් කරවනවා. කෙලෙසුන්ට බන්දනවා. මරණයට ත් බැඳෙනවා.

356. උම්මාදනා උල්ලපනා කාමා චිත්තප්පමාථිනෝ
සත්තානං සංකිලේසාය ඛිපං මාරේන ඔඩ්ඩිතං.

356. මේ කාමයන් විසින් පිස්සු හදවනවා. උතුවෙන් දොඩවන්ට සලස්වනවා. සිත් කළඹවා දමනවා. සත්වයන් කෙලෙසා දමනවා. මාරයා විසින් අටවපු උගුලක් වගෙයි.

357. අනන්තාදීනවා කාමා බහුදුක්ඛා මහාවිසා,
අප්පස්සාදා රණකරා සුක්කපක්ඛවිසෝසනා.

357. මේ කාමයන් තුළ අනන්ත ආදීනව තියෙනවා. බොහෝ දුක් තියෙනවා. බොහෝ විස තියෙනවා. ආශ්වාදය හැටියට තියෙන්නෙ චුට්ටයි. නමුත් ගොඩාක් රාගය ඇති කරවනවා. කුසල් දහම් වියළවා දානවා.

358. සාහං ඒතාදිසං කත්වා ව්‍යසනං කාමහේතුකං,
න තං පච්චාගමිස්සාමි නිබ්බානාභිරතා සදා.

358. මේ කාමයන් නිසා හටගන්න මහා දුක් ගොඩ පේනකොට කාමයන්ගෙ පැත්තට නම් ආපසු හැරිල යන්නෙ නෑ. මං හැමදාම නිවනේම ඇලිලයි වාසය කරන්නෙ.

359. රණං තරිත්වා කාමානං සීතිභාවාභිකංඛිනී,
අප්පමත්තා විහස්සාමි තෙසං සංයෝජනක්ඛෙයේ.

359. මං කැමැති අරහත්වයටයි. කාමාශාව මං අත්හැරියා. සියලු බන්ධනයන් නැති කරල මං අප්‍රමාදීවයි ඉන්නෙ.

360. අසෝකං විරජං ඛේමං අරියඤ්චට්ඨංගිකං උජුං,
තං මග්ගං අනුගච්ඡාමි යේන තිණ්ණා මහේසිනෝ.

360. මහා ඉසිවරුත් සසරින් එතෙරට වැඩියේ ඒ මාර්ගයෙන් ම යි. ඉතින් මාත් ශෝක නැති කෙලෙස් නැති, බියක් නැති, සෘජු මාර්ගය වන ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තමයි ගමන් කරන්නෙ.

361. ඉමං පස්සථ ධම්මට්ඨං සුභං කම්මාරධීතරං,
අනේජං උපසම්පජ්ජ රුක්ඛමූලම්හි ඣායති.

361. ධර්මයේ සිත පිහිටුවා ගෙන ඉන්න මේ සුභා දිහා, රන්කරුවාගේ දුව දිහා බලන්න. ඇය ඉන්නෙ තණ්හාවෙන් තොරව. අරහත්වය ලබාගෙන ඉන්නෙ. ඇය ගස් සෙවණේ භාවනා කරනවා.

362. අජ්ජට්ඨමී පබ්බජිතා සද්ධා සද්ධම්මසෝභනා,
විනීතුප්පලවණ්ණාය තේවිජ්ජා මච්චුහායිනී.

362. මං මහණ වෙලා අදට දවස් අටයි. ශ්‍රද්ධාවන්ත වූ, සද්ධර්මය නිසා සුන්දර වූ, උප්පලවණ්ණා භික්ෂුණිය තමයි හික්මෙව්වෙ. මාරයා ව බැහැර කරල මාත් ත්‍රිවිද්‍යාව ලබාගත්තා.

363. සායං භුජිස්සා අනණා භික්ඛුනී භාවිතින්ද්‍රියා,
සබ්බයෝගවිසංයුත්තා කතකිච්චා අනාසවා.

363. මේ සුභා භික්ෂුණිය දොස් රහිතයි. ණය රහිතයි. වඩන ලද ශ්‍රද්ධා ආදී ඉඳුරන් ගෙන් යුක්තයි. සියලු බැඳීම්වලින් නිදහස් නිවන් මග සම්පූර්ණ කරගෙන ඉන්නෙ. හරිම නිදහස්.

364. තං සක්කෝ දේවසංඝේන උපසංකම්ම ඉද්ධියා,
නමස්සති භූතපති සුභං කම්මාරධීතරන්ති.

364. දෙව්ලොව අධිපති ශක්‍රයා දෙව් පිරිස පිරිවරා ගෙන ඉර්ධියෙන් ඇවිදින් සුභා නමැති රන්කරුවාගේ දියණියටයි ඒ වඳින්නෙ.

ඉත්ථං සුදං සුභා කම්මාරධීතා ථේරී ගාථායෝ අභාසීති.

මේ වනාහී රන්කරුවෙකු ගේ දියණිය වන සුභා නම් රහත් තෙරණිය වදාළ ගාථාවන් ය.

වීසතිනිපාතෝ නිට්ඨිතෝ.

විසිවෙනි නිපාතය නිමා විය.

(ගාථා විස්ස බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn6_20-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M