අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.4.10. තපුස්සගහපති සුත්තං

9.1.4.10. තපුස්ස ගෘහපතියාගේ ප්‍රශ්නය ගැන වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මල්ල ජනපදයෙහි උරුවේලකප්ප නම් මල්ලයන්ගේ නියම්ගමෙහි වැඩවෙසෙන සේක. එකල්හී භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන උරුවේලකප්පයට පිඬු පිණිස පිවිසි සේක. උරුවේල කප්පයෙහි පිඬු පිණිස හැසිර පසුබත් කාලයෙහි පිණ්ඩපාතයෙන් වැළකී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ආනන්දයෙනි, මම මහාවනය ඇතුළට ගොස් දිවාවිහරණය කොට එනතුරු ඔබ මෙහි ම සිටින්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මහාවනය ඇතුළට වැඩම කොට එක්තරා රුක් සෙවණක දිවාවිහරණයෙන් වැඩහුන් සේක.

එකල්හී තපුස්ස ගෘහපති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් තපුස්ස ගෘහපති තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“ස්වාමීනී, ආනන්දයන් වහන්ස, අපි කම්සැප අනුභව කරන ගිහියෝ වෙමු. කාමයන්හි ඇලෙමින්, කාමයන් තුළ වෙසෙමින්, කාමයන් තුළ සතුටු වෙමින් වෙසෙන අපට මේ ගිහිගෙයින් නික්මී පැවිදි වීම යනු ප්‍රපාතයක් සේ වැටහෙයි. නමුත් ස්වාමීනී, මා විසින් අසන ලද්දේ මේ ධර්ම විනය තුළ මේ පැවිදි බව ශාන්ත වශයෙන් දකිමින් ඉතා තරුණ භික්ෂූන්ගේ සිත ගිහිගෙයින් නික්ම ලබන පැවිද්දෙහි බැසගන්නා බව යි. පහදින බව යි. පිහිටන බව යි. නිදහස් වෙන බව යි. ස්වාමීනී, මේ ධර්ම විනයෙහි භික්ෂූන්ගේ යම් මේ ගිහිගෙයින් නික් ම පැවිදි වීමක් ඇද්ද, මෙය බොහෝ ජනයාගේ අදහසට නොගැලපෙන දෙයකි.”

“ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ බැහැදකිනු පිණිස මෙය කථා පඬුරෙකි. ගෘහපතිය, භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩසිටින සේක් ද, එතැනට යමු. ගොස් භාග්‍යවතුන් වහන්සේට මෙකරුණ සැළ කරමු. භාග්‍යවතුන් වහන්සේ යම් පරිදි අපට වදාරණ සේක් නම්, එපරිද්දෙන් දරා ගනිමු.”

“එසේ ය, ස්වාමීනී” යි තපුස්ස ගෘහපති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට පිළිතුරු දුන්නේ ය.

එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ තපුස්ස ගෘහපතියා සමඟ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ ….(පෙ)…. භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.

“ස්වාමීනී, මේ තපුස්ස ගෘහපති තෙමේ මෙසේ කියයි. ‘ස්වාමීනී, ආනන්දයන් වහන්ස, අපි කම්සැප අනුභව කරන ගිහියෝ වෙමු. කාමයන්හි ඇලෙමින්, කාමයන් තුළ වෙසෙමින්, කාමයන් තුළ සතුටු වෙමින් වෙසෙන අපට මේ ගිහිගෙයින් නික්මී පැවිදි වීම යනු ප්‍රපාතයක් සේ වැටහෙයි. නමුත් ස්වාමීනී, මා විසින් අසන ලද්දේ මේ ධර්ම විනය තුළ මේ පැවිදි බව ශාන්ත වශයෙන් දකිමින් ඉතා තරුණ භික්ෂූන්ගේ සිත ගිහිගෙයින් නික්ම ලබන පැවිද්දෙහි බැසගන්නා බව යි. පහදින බව යි. පිහිටන බව යි. නිදහස් වෙන බව යි. ස්වාමීනී, මේ ධර්ම විනයෙහි භික්ෂූන්ගේ යම් මේ ගිහිගෙයින් නික් ම පැවිදි වීමක් ඇද්ද, මෙය බොහෝ ජනයාගේ අදහසට නොගැලපෙන දෙයකි’ යනුවෙනි.

“ආනන්දයෙනි, එය එසේ ම ය. ආනන්දයෙනි, එය එසේ ම ය. ආනන්දයෙනි, මට පවා සම්බුද්ධත්වයට කලින් ම, සම්බුදු නොවී සිටිය දී බෝසත් වූයේ ම මේ අදහස ඇතිවූයේ ය. එනම්, ‘කාමයෙන් නික්මීම යහපති. හුදෙකලා විවේකය යහපති’ වශයෙනි. එනමුත් ආනන්දයෙනි, කාමයන් ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි නොබැස ගනියි. නොපහදියි. නොපිහිටයි. නිදහස් නොවෙයි.

එවිට ආනන්දයෙනි, මට මෙසේ සිතුණේ ය. කාමයන් ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් කාමයන්ගේ දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් කාමයෙහි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. කාමයන්ගෙන් නික්මීම මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් කාමයන් ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහිලා නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම කාමයන්හි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, කාමයන් ගෙන් නික්මීම නම් වූ මෙය ශාන්ත යැයි දකින්නා වූ මාගේ සිත කාමයන් ගෙන් නික්මීමෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි කාමයන්හි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. කාමයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත කාමයන්ගෙන් නික්මීමෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමු වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී කාම සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ කාම සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම විතර්ක විචාරයන් සංසිඳවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති’ යි. ආනන්දයෙනි, ‘මෙය ශාන්ත වූ දෙයකි’ යනුවෙන් දකිනා ඒ මාගේ සිත විතර්ක විචාර නැති බවෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත විතර්ක නැති බවෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් විතර්කයන්ගේ දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් විතර්කයන්ගේ ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. විතර්ක නැති බවෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. විතර්ක නැති බව මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත විතර්ක නැති බවෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම විතර්ක විචාරයන්හි ආදීනව දැක ඒ ආදීනවය බහුල ව සිහි කරන්නේ නම්, විතර්ක විචාරයන්ගෙන් නික්මීමෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නේ නම්, මාගේ සිත විතර්ක විචාරයන්ගෙන් නික්මීමෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි විතර්ක විචාරයන්හි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. විතර්ක විචාරයන්ගෙන් නික්මීමෙහි අනුසස් දැක, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත විතර්ක විචාරයන්ගෙන් නික්මීමෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

2. ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි විතර්ක විචාරයන් සංසිඳුවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී විතර්ක සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ විතර්ක සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම ප්‍රීතියට ද නොඇල්මෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති යි. ආනන්දයෙනි, ‘මෙය ශාන්ත වූ දෙයකි’ යි දකිනා ඒ මාගේ සිත ප්‍රීතිය නැති ධ්‍යානයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. මේ ප්‍රීති රහිත බව ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ප්‍රීතිය නැති ධ්‍යානයෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් ප්‍රීතියෙහි දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් ප්‍රීතියෙහි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. ප්‍රීතිය නැති ධ්‍යානයෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. ප්‍රීතිය නැති ධ්‍යානය මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මෙම ප්‍රීති රහිත බව ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ප්‍රීතිය නැති ධ්‍යානයෙහි මාගේ සිත නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම ප්‍රීතියෙහි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, ප්‍රීතිය නැති ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, මෙම් ප්‍රීති රහිත බව ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ප්‍රීතිය නැති ධ්‍යානයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි ප්‍රීතියෙහි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. ප්‍රීතිය නැති ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත ප්‍රීතිය නැති ධ්‍යානයෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

3. ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි ප්‍රීතියට ද නොඇලීමෙන් ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ ප්‍රීති සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම සැපය ද ප්‍රහාණය කොට, දුක ද ප්‍රහාණය කොට ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති යි. ආනන්දයෙනි, මෙම දුක් සැප රහිත බව ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත දුක් සැප නැති ධ්‍යානයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘මාගේ සිත දුක් සැප නැති ධ්‍යානයෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් උපේක්ෂා සැපයෙහි දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් උපේක්ෂා සැපයෙහි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. දුක් සැප නැති ධ්‍යානයෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. දුක් සැප නැති ධ්‍යානය මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මේ දුක් සැප රහිත බව ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත දුක් සැප නැති ධ්‍යානයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම උපේක්ෂා සැපයෙහි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, දුක් සැප නැති ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, මේ දුක් සැප රහිත බව ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත දුක් සැප නැති ධ්‍යානයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි උපේක්ෂා සැපයෙහි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. දුක් සැප නැති ධ්‍යානයෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත දුක් සැප නැති ධ්‍යානයෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

4. ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි සැපය ද ප්‍රහාණය කොට, දුක ද ප්‍රහාණය කොට ….(පෙ)…. සිව්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී උපේක්ෂා සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ උපේක්ෂා සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ….(පෙ)…. ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති. ආනන්දයෙනි, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් රූපයන්හි දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් රූපයන්හි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. ආකාසානඤ්චායතනයෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. ආකාසානඤ්චායතනය මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම රූපයන්හි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, ආකාසානඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි රූපයන්හි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. ආකාසානඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත ආකාසානඤ්චායතනයෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

5. ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ….(පෙ)…. ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී රූප සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ රූප සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති යි. ආනන්දයෙනි, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් ආකාසානඤ්චායතනයෙහි දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් ආකාසානඤ්චායතනයෙහි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. විඤ්ඤාණඤ්චායතනය මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම ආකාසානඤ්චායතනයෙහි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි ආකාසානඤ්චායතනයෙහි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. විඤ්ඤාණඤ්චායතනයෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත විඤ්ඤාණඤ්චායතනයෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

6. ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ ආකාසානඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති යි. ආනන්දයෙනි, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් විඤ්ඤාණඤ්ඤායතනයෙහි දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. ආකිඤ්චඤ්ඤායතනය මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම විඤ්ඤාණඤ්චායතනයෙහි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැස ගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි විඤ්ඤාණඤ්චායතනයෙහි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. ආකිඤ්චඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත ආකිඤ්චඤ්ඤායතනයෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

7. ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ විඤ්ඤාණඤ්චායතන සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම සියළු ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති යි. ආනන්දයෙනි, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් ආකිඤ්චඤ්ඤායතනයෙහි දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. නේවසඤ්ඤානාසඤ්ඤාතනයෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. නේවසඤ්ඤානාසඤ්ඤායතනය මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම ආකිඤ්චඤ්ඤායතනයෙහි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි ආකිඤ්චඤ්ඤායතනයෙහි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

8. ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය උපදවාගෙන වාසය කරමි. ආනන්දයෙනි, ඒ මට මේ විහරණයෙන් වාසය කරද්දී ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ මතුවෙති. එය මට පීඩාවකි. ආනන්දයෙනි, එය මෙබඳු දෙයකි. සැපසේ සිටින කෙනෙකුට පීඩාව පිණිස දුකක් උපදින්නේ යම් සේ ද, එසෙයින් ම ඒ ආකිඤ්චඤ්ඤායතන සහගත සංඥා මනසිකාරයෝ මා තුළ මතුවෙත් නම් එය මට පීඩාවකි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරන්නෙම් නම් යහපති යි. ආනන්දයෙනි, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත සංඥාවේදයිත නිරෝධයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ආනන්දයෙනි, ඒ මට මේ අදහස ඇතිවිය. මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත සංඥාවේදයිත නිරෝධයෙහි නොබැසගන්නා, නොපහදින, නොපිහිටන, නිදහස් නොවන හේතුව කුමක් ද? ප්‍රත්‍යය කුමක් ද? කියා ය. ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘මා විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි දුර්විපාකයන් නොදකින ලද්දේ ය. මා විසින් නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනව බහුල ව මෙනෙහි නොකරන ලද්දේ ය. සංඥාවේදයිත නිරෝධයෙහි අනුසස් අවබෝධ නොකරන ලද්දේ ය. සංඥාවේදයිත නිරෝධය මවිසින් සේවනය නොකරන ලද්දේ ය. එහෙයින් මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත සංඥාවේදයිත නිරෝධයෙහි නොබැසගනියි, නොපහදියි, නොපිහිටයි, නිදහස් නොවෙයි.

ඉක්බිති ආනන්දයෙනි, මට මේ අදහස ඇතිවිය. ‘ඉදින් මම නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි ආදීනව දැක ඒ ආදීනව බහුල ව සිහි කරන්නෙම් නම්, සංඥාවේදයිත නිරෝධයෙහි අනුසස් අවබෝධ කොට එය සේවනය කරන්නෙම් නම්, මෙය ශාන්ත යැයි දකිනා ඒ මාගේ සිත සංඥාවේදයිත නිරෝධයෙහි බැසගන්නේ ය, පහදින්නේ ය, පිහිටන්නේ ය, නිදහස් වන්නේ ය යන කරුණ සිදුවිය හැකි දෙයකි.

ආනන්දයෙනි, ඒ මම පසුකාලයෙහි නේවසඤ්ඤානාසඤ්ඤායතනයෙහි දුර්විපාක දැක, එය බහුල වශයෙන් මෙනෙහි කළෙමි. සංඥාවේදයිත නිරෝධයෙහි අනුසස් අවබෝධ කොට, එය සේවනය කළෙමි. එකල්හී ආනන්දයෙනි, එය ශාන්ත යැයි දකිනා මාගේ සිත සංඥාවේදයිත නිරෝධයෙහි බැසගනියි, පහදියි, පිහිටයි, නිදහස් වෙයි.

9. ආනන්දයෙනි, ඒ මම සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය උපදවාගෙන වාසය කරමි. මා විසින් ප්‍රඥාවෙන් දැක ආශ්‍රවයන් ද ක්ෂය කරන ලද්දේ වෙයි.

ආනන්දයෙනි, යම්තාක් නවයක් වූ මේ අනුපිළිවෙලින් සමවදින විහරණයන්ට මම මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමනොවැදුණෙම් ද, නැගී නොසිටියෙම් ද, ඒ තාක් කල් ආනන්දයෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා නොදුන්නෙමි.

ආනන්දයෙනි, යම් කලක නවයක් වූ මේ අනුපිළිවෙලින් සමවදින විහරණයන්ට මම මෙසේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් සමවැදුණෙම් ද, නැගී සිටියෙම් ද, එකල්හී ආනන්දයෙනි, දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත වූ දෙවි මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයෙහි අනුත්තර සම්මා සම්බෝධිය අවබෝධ කළෙමි යි ප්‍රතිඥා දුන්නෙමි.

මා හට ඥානදර්ශනය පහළ වූයේ ය. මාගේ චිත්ත විමුක්තිය නොවෙනස් වන්නේ ය. මේ අන්තිම ඉපදීම යි. දැන් පුනර්භවයක් නැත්තේ ය.

සාදු! සාදු!! සාදු!!!

තපුස්සගහපති සූත්‍රය නිමා විය.

සිව්වෙනි මහා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අනුපුබ්බ විහාර සූත්‍ර දෙක, නිබ්බාණ සූත්‍රය, ගාවී සූත්‍රය, ඣාන සූත්‍රය, ආනන්ද සූත්‍රය, බ්‍රාහ්මණ සූත්‍රය, දේවාසුර සූත්‍රය, නාග සූත්‍රය සහ තපුස්ස සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M