අංගුත්තර නිකාය

නවක නිපාතෝ

9.1.4.9. ආරඤ්ඤකනාගෝපම සුත්තං

9.1.4.9. වනයෙහි හස්තිරාජයා උපමා කොට වදාළ දෙසුම

සැවැත් නුවර දී ය …..

මහණෙනි, යම් කලක ගොදුරු සොයන්නට යන වනයෙහි හස්තිරාජයාට ඉදිරියෙන් ගොස් ඇත්තුත්, ඇතින්නියෝ ත්, තරුණ ඇත්තුත්, ඇත් පැටව් ත් තණඅග සිඳ කති. මහණෙනි, එයින් වනයෙහි හස්තිරාජයා පෙළෙයි, ලැජ්ජා වෙයි, පිළිකුල් කරයි.

මහණෙනි, යම් කලක ගොදුරු සොයන්නට යන වනයෙහි හස්තිරාජයා විසින් පහත් කොට තැබූ අතු ඉති, මහා ඇත්තුත්, ඇතින්නියෝ ත්, තරුණ ඇත්තුත්, ඇත් පැටව් ත් කති. මහණෙනි, එයින් වනයෙහි හස්තිරාජයා පෙළෙයි, ලැජ්ජා වෙයි, පිළිකුල් කරයි.

මහණෙනි, යම් කලෙක දියට බසින වනවැසි හස්තිරාජයාට කලින් කලින් ම ගොස් මහා ඇත්තු ත්, ඇතින්නියෝ ත්, තරුණ ඇත්තුත්, ඇත් පැටව් ත් සොඬින් දිය කළඹා දමති. මහණෙනි, එයින් වනයෙහි හස්තිරාජයා පෙළෙයි, ලැජ්ජා වෙයි, පිළිකුල් කරයි.

මහණෙනි, යම් කලක දියෙහි බැස සිටි වනයෙහි හස්තිරාජයාගේ සිරුරෙහි ගැටෙමින් ඇතින්නියෝ ද යති. මහණෙනි, එයින් වනයෙහි හස්තිරාජයා පෙළෙයි, ලැජ්ජා වෙයි, පිළිකුල් කරයි.

මහණෙනි, එසමයෙහි වනවැසි හස්තිරාජයාට මෙසේ සිතෙයි. ‘මම මෙකල ඇතුන් සමඟ, ඇතින්නියන් සමඟ, තරුණ ඇතුන් සමඟ, ඇත් පැටවුන් සමඟ එකට වාසය කරමි. සිඳුණු අග ඇති තණ ද කමි. මා විසින් පාත් කොට තැබූ අතු ත් ඔවුන් කඩා කති. කැලතී ගිය පැන් ද බොමි. දියට බැස්ස කල්හී මාගේ සිරුරෙහි ගැටෙමින් ඇතින්නියෝ ද යති. මම මේ පිරිසෙන් වෙන් ව හුදෙකලාවේ වාසය කරන්නේ නම් යහපති’යි.

ඒ හස්තිරාජ තෙමේ පසු කලක තනිවූයේ, පිරිසෙන් වෙන් වූයේ, හුදෙකලාව වාසය කරයි. නොසිඳී ගිය අග ඇති තණ ද කයි. ඔහු විසින් පහත් කොට තැබූ අතු කිසිවෙක් කඩා නොකති. නොකැළඹී ගිය පැනු ත් බොයි. ජලයට බැස්ස කල්හී ඔහුගේ සිරුරෙහි ගැටෙමින් ඇතින්නියෝ ද නොයති. මහණෙනි, එකල්හී ඒ වනවාසී හස්තිරාජයට මෙසේ සිතෙයි. ‘මම පෙර ඇතුන් සමඟ, ඇතින්නියන් සමඟ, තරුණ ඇතුන් සමඟ, ඇත් පැටවුන් සමඟ එකට වාසය කළෙමි. සිඳුණු අග ඇති තණ ද කෑවෙමි. මා විසින් පාත් කොට තැබූ අතු ත් ඔවුන් කඩා කෑහ. කැලතී ගිය පැන් ද බිව්වෙමි. දිය බැස්ස කල්හී මාගේ සිරුරෙහි ගැටෙමින් ඇතින්නියෝ ද ගියහ. දැන් ඒ මම මෙකල හුදෙකලා වූයේ, පිරිසෙන් වෙන් වී වාසය කරමි. නොසිඳී ගිය අග ඇති තණ ද කමි. මා විසින් පහත් කොට තැබූ අතු කිසිවෙක් කඩා නොකති. නොකැළඹී ගිය පැනු ත් බොමි. ජලයට බැස්ස කල්හී මාගේ සිරුරෙහි ගැටෙමින් ඇතින්නියෝ ද නොයති.

ඔහු සොඬින් අතු ඉති බිඳ ඒ අතුවලින් කය පිරිමැද සතුටු සිතින් කයෙහි කැසීම් නසයි.

මහණෙනි, එසෙයින් ම යම් කලක භික්ෂූන් සමඟ, භික්ෂුණීන් සමඟ, උපාසකයන් සමඟ, උපාසිකාවන් සමඟ, රජුන් සමඟ, රාජ මහාමාත්‍යයින් සමඟ, තීර්ථකයින් සමඟ, තීර්ථක ශ්‍රාවකයින් සමඟ භික්ෂුවක් එක් ව වාසය කරයි ද, එසමයෙහි ඒ භික්ෂුවට මෙසේ සිතෙයි.

‘මම වනාහී මෙකල භික්ෂූන් සමඟ, භික්ෂුණීන් සමඟ, උපාසකයන් සමඟ, උපාසිකාවන් සමඟ, රජුන් සමඟ, රාජ මහාමාත්‍යයින් සමඟ, තීර්ථකයින් සමඟ, තීර්ථක ශ්‍රාවකයින් සමඟ එක් ව වාසය කරමි. ඉදින් මම තනි වී, පිරිසෙන් වෙන් වී, හුදෙකලාව වසන්නෙම් නම් යහපති’ යි.

හේ හුදෙකලා සෙනසුන් සේවනය කරයි. අරණ්‍යය, රුක් සෙවණ, පර්වත, දියඇලි, ගිරි ගුහා, සුසාන, ගැඹුරු වනය, හිස් අවකාශය, පිදුරු ගෙවල් යනාදිය සේවනය කරයි. හේ අරණ්‍යයට ගියේ වේවා, රුක් සෙවණට ගියේ වේවා, හිස් ගෙයකට ගියේ වේවා, පළඟක් බැඳ කය ඍජු කොට භාවනා අරමුණෙහි සිහිය පිහිටුවා වාඩි වෙයි.

හේ ඒ ලෝකය කෙරෙහි දැඩි ලෝභය අත්හැර ලෝභය දුරු වූ සිතින් වාසය කරයි. ලෝභයෙන් සිත පිරිසිදු කරයි. ව්‍යාපාද දෝෂය අත්හැර ව්‍යාපාද නැති සිතින් සියළු ප්‍රාණ භූතයින් කෙරෙහි හිතානුකම්පී ව වාසය කරයි. ව්‍යාපාද දෝෂයෙන් සිත පිරිසිදු කරයි. ථීනමිද්ධය අත්හැර ථීනමිද්ධය දුරු කොට ආලෝක සංඥාවෙන් යුතුව, සිහි නුවණින් යුතුව වාසය කරයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කරයි. උද්ධච්ච කුක්කුච්චය අත්හැර, සිතේ විසිරීමෙන් තොර ව තමා තුළ සංසිඳුණු සිතින් වාසය කරයි. උද්ධච්ච කුක්කුච්චයෙන් සිත පිරිසිදු කරයි. විචිකිච්ඡාව අත්හැර විචිකිච්ඡාවෙන් එතෙර වී වාසය කරයි. කුසල් දහම් පිළිබඳ ව ‘කෙසේ ද, කෙසේ ද’ යන සැකයෙන් තොර ව වාසය කරයි. විචිකිච්ඡාවෙන් සිත පිරිසිදු කරයි.

ඔහු සිතට උපක්ලේශ වූ, ප්‍රඥාව දුර්වල කරන මේ පංච නීවරණ ප්‍රහාණය කොට කාමයන්ගෙන් වෙන් ව ….(පෙ)…. පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහු සතුටු සිතින් යුතු ව කෙලෙස් කැසීම් නසයි. විතර්ක විචාරයන් සංසිඳුවීමෙන් ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය ….(පෙ)…. සතරවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ඔහු සතුටු සිතින් යුතු ව කෙලෙස් කැසීම් නසයි.

සියළු අයුරින් රූප සංඥාවන් ඉක්මවීමෙන්, ගොරෝසු සංඥාවන් නැති වීමෙන් සංඥාවන්ගේ නා නා ස්වභාවය මෙනෙහි නොකිරීමෙන් ‘අනන්ත ආකාසය’ යැයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු සතුටු සිතින් යුතු ව කෙලෙස් කැසීම් නසයි. සියළු අයුරින් ආකාසානඤ්චායතනය ඉක්මවීමෙන්, ‘විඤ්ඤාණය අනන්ත’ යැයි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කරයි. ඔහු සතුටු සිතින් යුතු ව කෙලෙස් කැසීම් නසයි. සියළු අයුරින් විඤ්ඤාණඤ්චායතනය ඉක්ම ගොස් ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු සතුටු සිතින් යුතු ව කෙලෙස් කැසීම් නසයි. සියළු අයුරින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවීමෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරයි. ඔහු සතුටු සිතින් යුතු ව කෙලෙස් කැසීම් නසයි. සියළු අයුරින් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවාගොස් සංඥාවේදයිත නිරෝධ සමාපත්තියට පැමිණ වාසය කරයි. ප්‍රඥාවෙන් දැක ඔහුගේ ආශ්‍රවයෝ ද ක්ෂය වූවාහු වෙති. ඔහු සතුටු සිතින් යුතු ව කෙලෙස් කැසීම් නසයි.

සාදු! සාදු!! සාදු!!!

ආරඤ්ඤකනාගෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/an5_9-1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M