ඛුද්දක නිකාය

ථේර ගාථා

12.1.2. සුනීතත්ථේරගාථා

12.1.2. සුනීත තෙරුන්ගේ ගාථා

620. නීචේ කුලම්හි ජාතෝ’හං දළිද්දෝ අප්පභෝජනෝ
හීනකම්මං මමං ආසි අහෝසිං පුප්ඵඡඩ්ඩකෝ

620. මම ඉපදුණේ අඩු කුලයේ පවුලක. හරිම දුප්පත්. හරි කෑමක් බීමක් වත් තිබුණේ නෑ. මගේ රස්සාවත් හරිම පහත් දෙයක්. වැසිකිළිවල අශූචි බැහැරට ගෙනියන එකයි කළේ.

621. ජිගුච්ඡිතෝ මනුස්සානං පරිභූතෝ ච වම්භිතෝ
නීචං මනං කරිත්වාන වන්දිසං බහුකං ජනං

621. මිනිසුන් මාව පිළිකුල් කළා. පරිභව කරලා නින්දා කරල දැම්මා. ඉතින් මං ඉතා යටහත් සිතින් බොහෝ දෙනෙකුට වැඳගෙන හිටියේ.

622. අථද්දසාසිං සම්බුද්ධං භික්ඛුසංඝපුරක්ඛතං
පවිසන්තං මහාවීරං මගධානං පුරුත්තමං

622. මට පුදුමාකාර වාසනාවක් තිබුණේ. එදා රජගහ නුවරට ස්වාමීන් වහන්සේලා පිරිවරාගෙන මහා වීර වූ සම්බුදු සමිඳුන් වඩිනා ආකාරය මං බලාගෙන හිටියා.

623. නික්ඛිපිත්වාන ව්‍යාභංගිං වන්දිතුං උපසංකමිං
මමේව අනුකම්පාය අට්ඨාසි පුරිසුත්තමෝ

623. අශූචි කද පැත්තකින් තිබ්බා. උන්වහන්සේගේ සිරිපතුල් වැඳගන්ට ළං වුණා. එතකොට ඒ පුරුෂෝත්තමයා මං ගැන අනුකම්පා කරලා වඩින ගමන නතර කරල හිටගත්තා.

624. වන්දිත්වා සත්ථුනෝ පාදේ ඒකමන්තං ඨිතෝ තදා
පබ්බජ්ජං අහමායාචිං සබ්බසත්තානමුත්තමං

624. මං ශාස්තෘන් වහන්සේගේ සිරිපතුල් වන්දනා කළා. පැත්තකින් හිටියා. හැමදේටම වඩා උතුම් පැවිදි බව මටත් ලබාදෙන්න කියල ඉල්ලා හිටියා.

625. තතෝ කාරුණිකෝ සත්ථා සබ්බලෝකානුකම්පකෝ
ඒහි භික්ඛූති මං ආහ සා මේ ආසූපසම්පදා

625. හැමදෙනා ගැනම අනුකම්පාව පිරුණ මහා කාරුණික ශාස්තෘන් වහන්සේ ‘පින්වත් භික්ෂුව මෙහෙට එන්න’ කියල මට වදාළ සේක. ඒක තමයි මගේ උපසම්පදාව.

626. සෝ’හං ඒකෝ අරඤ්ඤස්මිං විහරන්තෝ අතන්දිතෝ
අකාසිං සත්ථු වචනං යථා මං ඕවදී ජිනෝ

626. මං අරණයේ තනිවමයි ඉන්නෙ. කිසිම කම්මැලි කමක් නෑ. බුදු සමිඳුන් මට කියා දීපු විදිහටම මං කටයුතු කළා.

627. රත්තියා පඨමං යාමං පුබ්බජාතිමනුස්සරිං
රත්තියා මජ්ඣිමං යාමං දිබ්බචක්ඛුං විසෝධයිං
රත්තියා පච්ඡිමේ යාමේ තමෝඛන්ධං පදාලයිං

627. රෑ පළමු යාමයේ පුබ්බේනිවාස ඤාණය ලබාගත්තා. මැදියම් යාමයේ දිබ්බචක්ඛු ඥානය පිරිසිදු කරගත්තා. රාත්‍රී පහන් වන වේලේ අවිද්‍යා අන්ධකාරය නැත්තට නැති කළා.

628. තතෝ රත්‍යා විවසනේ සුරියස්සුග්ගමනං පති
ඉන්දෝ බ්‍රහ්මා ච ආගන්ත්වා මං නමස්සිංසු පඤ්ජිලී

628. එදා හිරු නැග එද්දී සක් දෙවිඳුත්, මහ බඹුත් මං වෙත පැමිණිලා වැඳගෙන නමස්කාර කළා.

629. නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම
යස්ස තේ ආසවා ඛීණා දක්ඛිණෙය්‍යෝසි මාරිස

629. ඔබ ශ්‍රේෂ්ඨ පුරුෂයෙකි. ඔබට නමස්කාර වේවා! උතුම් පුරුෂය, ඔබට නමස්කාර වේවා! දුක් රහිත මුනිඳුනි, ඔබේ සිත තුළ කිසිම ආශ්‍රවයක් නෑ. ඔබ ලෝකයාගේ පුද පූජාවන්ට සුදුස්සෙක්.

630. තතෝ දිස්වාන මං සත්ථා දේවසංඝපුරක්ඛතං
සිතං පාතුකරිත්වාන ඉමමත්ථං අභාසථ

630. මං පිරිවරාගෙන සිටින දෙව් පිරිස දැකපු ශාස්තෘන් වහන්සේ සිනහ පහළ කළා. ඊට පස්සෙ මෙන්න මේ කරුණ වදාළා.

631. තපේන බ්‍රහ්මචරියේන සඤ්ඤමේන දමේන ච
ඒතේන බ්‍රාහ්මණෝ හෝති ඒතං බ්‍රාහ්මණමුත්තම’න්ති

631. කෙලෙස් තැවීමෙනුත්, බඹසර ජීවිතයෙනුත්, සංවර කමෙනුත් ඉන්ද්‍රියන් දමනයෙනුත් තමයි බ්‍රාහ්මණයෙක් වෙන්නෙ. මේ ඉන්නෙ උතුම් බ්‍රාහ්මණයෙක්.

ඉත්ථං සුදං ආයස්මා සුනීතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුනීත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

තස්සුද්දානං –

සීලවා ච සුනීතෝ ච ථේරා ද්වේ තේ මහිද්ධිකා
ද්වාදසම්හි නිපාතම්හි ගාථායෝ චතුවීසතී’ති.

ද්වාදසනිපාතෝ නිට්ඨිතෝ.

දොළොස්වෙනි නිපාතය නිමා විය.

(ගාථා දොළහ බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_12-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M