608. මේ බුදු සසුනේ පුහුණු කරන්ට ඕනෑ සීලයමයි. මේ ජීවිතයේදී හොඳට සිල් රැකගත්තොත් සියළු සම්පත් ලැබෙනවා.
609. නුවණ තියෙන කෙනා සිල් රකින්ට ඕනෑ සැප තුනක් බලාගෙන. ඒ තමයි ප්‍රශංසාව, ධන ලාභය වගේම සුගතියේ ඉපදිලා සතුටු වීම.
610. සිල් රකින කෙනාගේ සංවර ජීවිතය නිසා එයාට ගොඩක් හොඳ මිතුරන් ලැබෙනවා. ඒ වුණාට දුස්සීල කෙනා පාපී ක්‍රියා නිසා හොඳ මිතුරන්ගෙන් ඈත් වෙනවා.
611. දුස්සීල කෙනා ලබන්නේ ගැරහීමත්, අපකීර්තියත් විතරයි. සිල්වත් කෙනා හැම තිස්සෙම ගුණ කථාවත්, ප්‍රශංසාවත් ලබනවා.
612. මුලින්ම පිහිට වෙන්නෙ ශීලයයි. ශීලය කියන්නේ යහපත් ගතිගුණවලට අම්ම කෙනෙක් වගේ දෙයක්. සියළු ගුණ ධර්මවල ප්‍රමුඛයා ශීලයයි. එනිසා ශීලය පිරිසිදුව තබා ගන්ට ඕනෑ.
613. සිත මහ මුහුද නම් ශීලය වෙරළයි. සතුටත් සංවරයත් ලබාදෙන ශීලය හැම බුදුවරුන්ගේම පුණ්‍ය තීර්ථයයි. ඒ නිසා ශීලය පිරිසිදුව තියෙන්නට ඕනෙ.
614. ශීලය කියන්නේ අසහාය බලයක්. උත්තම ආයුධයක්. ලස්සන ආභරණයක්. අද්භූත ඇඳුමක්.
615. ශීලය කියන්නෙ මහේශාක්‍ය පාලමක්. අති උතුම් සුවඳක්. දස දිශාවටම හමාගෙන යන ශ්‍රේෂ්ඨ සුවඳ විලවුන් කියන්නෙ ශීලයටයි.
616. ශීලය කියන්නෙ ගමනක් යන කෙනෙකුගේ රසවත් බත් මුලක්. උතුම් ගමනකට හොඳ වියදමක්. දස දිශාවේ ගමන් කළ හැකි හොඳ වර්ගයේ වාහනයක්.
617. ජීවිතය නපුරු කර ගත්තොත් මේ ජීවිතයේදීම නින්දා ලැබෙනවා. පරලොවදීත් අපායේ ඉපදිලා දුක් විඳින්ට සිදුවෙනවා. ශීලයක් නැති, එකඟ වූ සිතක් නැති, අඥාන පුද්ගලයා හැම තැනකදීම දුකට ගොදුරු වෙනවා.
618. ජීවිතය යහපත් කර ගත්තොත් මේ ජීවිතයේදීම කීර්තිය ලැබෙනවා. පරලොවදී සුගතියේ ඉපදිලා සතුටු වෙනවා. සිල් රැකලා සිත එකඟ කරගෙන නුවණ ලබාගත් කෙනා හැම තැනකදීම සතුටු වෙනවා.
619. මේ ශාසනයේ ශීලය අග්‍ර දෙයක්. නමුත් උතුම්ම දෙය ප්‍රඥාවයි. මිනිසුන් අතරත් දෙවියන් අතරත් ශීලයත් ප්‍රඥාවත් යන දෙකෙන් ජය ලබන්ට පුළුවනි.
මෙය වනාහී ආයුෂ්මත් සීලව නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_12-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M