ඛුද්දක නිකාය

ථේර ගාථා

30.1.3. ආනන්දත්ථේරගාථා

30.1.3. ආනන්ද තෙරුන්ගේ ගාථා

1017. පිසුනේන ච කෝධනේන ච මච්ඡරිනා ච විභූතනන්දිනා
සඛිතං න කරෙය්‍ය පණ්ඩිතෝ පාපෝ කාපුරිසේන සංගමෝ

1017. කේලාම් කියාගෙන, ක්‍රෝධ කරගෙන, මසුරුකම් කර කර විනාශ වෙලා යන්ට කැමැති උදවිය ඉන්නවා. ඒ ගොල්ලන් එක්ක මිත්‍රවෙන්ට ඤාණවන්තයෙක් කැමැති නෑ. පවිටු පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමත් පවිටු දෙයක්.

1018. සද්ධේන ච පේසලේන ච පඤ්ඤවතා බහුස්සුතේන ච
සඛිතං හි කරෙය්‍ය පණ්ඩිතෝ භද්දෝ සප්පුරිසේන සංගමෝ

1018. ශ්‍රද්ධාවන්ත, සීලවන්ත, ප්‍රඥාවන්ත උදවිය ඉන්නවා. ඒගොල්ල ධර්මයත් හොඳට දන්නවා. ඤාණවන්තයා මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි. සත්පුරුෂයන් සමග ඇසුරු කිරීම සුන්දර දෙයක්.

1019. පස්ස චිත්තකතං බිම්බං අරුකායං සමුස්සිතං
ආතුරං බහුසංකප්පං යස්ස නත්ථි ධුවං ඨිති

1019. ඇට නහරවලින් ගලපා සකස් කරන ලද නොයෙක් ලෙඩ රෝගවලින් ගහන මේ ශරීරයේ සැබෑ තත්වය ගැනයි බලන්ට ඕන. එහෙත් අඥාන ජනයා නොයෙක් කාම සිතුවිලි සිත සිතා මේ ශරීරය විචිත්‍ර විදිහට සරසනවා. ඒ වුණත් මේ කයේ ස්ථිර පැවැත්මක් නෑ.

1020. පස්ස චිත්තකතං රූපං මණිනා කුණ්ඩලේන ච
අට්ඨිං තචේන ඕනද්ධං සහ වත්ථේන සෝභති

1020. මේ ශරීරය ඔතල තියෙන්නෙ හමකින්. ඇට ගොඩක් ඇතුළෙ තියෙනවා. නමුත් පිටතින් මුතු මැණික් ආභරණවලින් ලස්සනට හැඩ ගන්වල තියෙන්නෙ. මේ ශරීරය හැඩට පෙනෙන්නෙ වස්ත්‍රවලින් වෙළෙන නිසයි.

1021. අලත්තකකතා පාදා මුඛං චුණ්ණකමක්ඛිතං
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ

1021. යටිපතුල් පාට කරල තියෙන්නෙ. සුවඳ බුලත් විට කාල මුඛය සුවඳ කරල තියෙන්නෙ. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් කිසි පලක් නෑ.

1022. අට්ඨපාදකතා කේසා නෙත්තා අඤ්ජනමක්ඛිතා
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ

1022. ඔලුවට නොයෙක් කොණ්ඩා මෝස්තර දානවා. ඇස්වල අඳුන් ගානවා. අඥාන ජනතාවගේ මෝහයට නම් ඒක ගැලපෙනවා. නමුත් නිවනක් හොයාගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.

1023. අඤ්ජනීව නවා චිත්තා පූතිකායෝ අලංකතෝ
අලං බාලස්ස මෝහාය නෝ ච පාරගවේසිනෝ

1023. මේ කුණු ශරීරය නොයෙක් විදිහට සරසල අලුත් භාජනයක් වගේ තියාගත්ත ද, මෝඩ ජනතාවගේ මෝඩකමට විතරයි ඒක ගැලපෙන්නෙ. නමුත් නිවනක් සොයා ගෙන යන කෙනෙකුට එයින් පලක් නෑ.

1024. ඕදහි මිගවෝ පාසං නාසදා වාගුරං මිගෝ
භුත්වා නිවාපං ගච්ඡාම කන්දන්තේ මිගබන්ධකේ

1024. මුව වැද්දා මුවන් අල්ල ගන්ටයි උගුල අටෝල තියෙන්නෙ. ඒ වුණාට මුවා නම් උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා හඬන කොට අපි ගොදුරු කාල පැනල දුවනවා.

1025. ඡින්නා පාසා මිගවස්ස නාසදා වාගුරං මිගෝ
භුත්වා නිවාපං ගච්ඡාම සෝචන්තේ මිගලුද්දකේ

1025. මුව වැද්දාගේ උගුල කඩල බිඳල දැම්මා. මුවා නම් උගුලට අහුවුණේ නෑ. මුව වැද්දා දුක් වෙනකොට අපි ගොදුරු කාල පැන දුවනවා.

1026. බහුස්සුතෝ චිත්තකථි බුද්ධස්ස පරිචාරකෝ
පන්නභාරෝ විසඤ්ඤුත්තෝ සෙය්‍යං කප්පේති ගෝතමෝ

1026. ගෞතම ගෝත්‍ර ඇති ඒ භික්ෂුව විචිත්‍ර ධර්ම කථිකයෙක්. බහුශ්‍රැත කෙනෙක්. බුදු සමිඳුන්ගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ ඔහු තමා. කෙලෙස් බර පැත්තකින් තියල සියලු දුකින්ම වෙන්වෙලා සැතපෙන්නෙ.

1027. ඛීණාසවෝ විසඤ්ඤුත්තෝ සංගාතීතෝ සුනිබ්බුතෝ
ධාරේති අන්තිමං දේහං ජාතිමරණපාරගූ

1027. ඒ භික්ෂුව තුළ ආශ්‍රවයන් නෑ. ඔක්කොම කෙලෙස් වලින් ඉවත් වුණා. ඒ කෙලෙස්වලින් නිදහස් වුණා. ඇත්තෙන්ම එයා නිවී ගියා. ඉපදෙන මැරෙන මේ සංසාරෙන් එතෙර වෙලා අන්තිම ශරීරය දරාගෙනයි ඉන්නෙ.

1028. යස්මිං පතිට්ඨිතා ධම්මා බුද්ධස්සාදිච්චබන්ධුනෝ
නිබ්බානගාමනේ මග්ගේ සෝ’යං තිට්ඨති ගෝතමෝ

1028. හිරුගොත් වංශයේ උපන් බුදු සමිඳුන්ගේ ධර්මය තමයි ඔහුගේ හදවතේ පිහිටා තියෙන්නෙ. ඒ ගෞතම ගෝත්‍ර ඇති ආනන්ද භික්ෂුව නිවනට යන මාර්ගයේ ඉන්න කෙනෙක්.

1029. ද්වාසීතිං බුද්ධතෝ ගණ්හිං ද්වේ සහස්සානි භික්ඛුතෝ
චතුරාසීතිසහස්සානි යේ මේ ධම්මා පවත්තිනෝ

1029. බුදු සමිඳුන් ගෙන් ධර්මස්කන්ධ අසූ දෙදාහක් මං ලබාගත්තා. ශ්‍රාවකයින් ගෙන් දෙදහසක ධර්මස්කන්ධයක් මං ලබාගත්තා. මං ප්‍රගුණ කරගත්තා ධර්මස්කන්ධ අසූහාරදහසක්.

1030. අප්පස්සුතා’යං පුරිසෝ බලිවද්දෝ’ව ජීරති
මංසානි තස්ස වඩ්ඪන්ති පඤ්ඤා තස්ස න වඩ්ඪති

1030. ධර්ම ඥානයක් නැති කෙනා හැදෙන්නෙ හරකෙක් වගේ. ඔහුගේ මස් විතරයි වැඩෙන්නෙ. ඔහුට ප්‍රඥාව වැඩෙන්නෙ නෑ.

1031. බහුස්සුතෝ අප්පස්සුතං යෝ සුතේනාතිමඤ්ඤති
අන්ධෝ පදීපධාරෝ’ව තථේව පටිභාති මං

1031. එහෙත් බහුශ්‍රැත තැනැත්තා අර දහම් දැනීමක් නැති කෙනාව තමන්ගෙ ධර්ම ඥානයෙන් අවනත කර ගන්නවා නම් එබඳු බහුශ්‍රැත උදවිය ගැන මට හිතෙන්නෙ මෙහෙම. එයා පහනක් අතින් දරාගෙන ඉන්න අන්ධයෙක් වගේ.

1032. බහුස්සුතං උපාසෙය්‍ය සුතං ච න විනාසයේ
තං මූලං බ්‍රහ්මචරියස්ස තස්මා ධම්මධරෝ සියා

1032. ඇසුරු කරන්ට ඕන බහුශ්‍රැත කෙනෙක්වමයි. එතකොට තමන් අහල තියෙන දේ නැති වෙන්නෙ නෑ. මේ බ්‍රහ්මචාරී ජීවිතයට ඒක මුල් වෙනවා. එනිසා ධර්මධරයෙක් වෙන්ට ඕන.

1033. පුබ්බාපරඤ්ඤූ අත්ථඤ්ඤූ නිරුත්තිපදකෝවිදෝ
සුග්ගහීතං ච ගණ්හාති අත්ථං චෝපපරික්ඛති

1033. ඉතා හොඳින් ධර්මය ගැලපීමට දන්නා, ඒ ධර්මයෙහි අර්ථය දන්නා, ධර්ම අර්ථ විස්තර කිරීමට දක්ෂ කෙනා ඒ ධර්මය ගන්නේ ඉතා යහපත් ලෙසින්. අර්ථය ද නුවණින් විමසයි.

1034. ඛන්ත්‍යා ඡන්දීකතෝ හෝති උස්සහිත්වා තුලේති තං
සමයේ සෝ පදහති අජ්ඣත්තං සුසමාහිතෝ

1034. ජීවිතයට ධර්මය ගලපා බලන කොටයි ධර්මයේ හැසිරෙන්නට කැමැත්තක් ඇතිවන්නේ. එතකොටයි උත්සාහයෙන් ධර්මයේ හැසිරෙන්නෙ. ඒ කෙනා භාවනාවට වීරිය කරයි. තමන්ගේ සිතත් සමාධිමත් කරගනී.

1035. බහුස්සුතං ධම්මධරං සප්පඤ්ඤං බුද්ධසාවකං
ධම්මවිඤ්ඤාණමාකංඛං තං භජේථ තථාවිධං

1035. බහුශ්‍රැත වූ, ධර්මධර වූ, ප්‍රඥාවන්ත, බුද්ධිමත් ශ්‍රාවකයා, ධර්ම ඥානය ලබාගැනීමට හරිම කැමතියි. ඇසුරු කළ යුත්තේ අන්න එබඳු ශ්‍රාවකයන්වයි.

1036. බහුස්සුතෝ ධම්මධරෝ කෝසාරක්ඛෝ මහේසිනෝ
චක්ඛු සබ්බස්ස ලෝකස්ස පූජනීයෝ බහුස්සුතෝ

1036. මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරය ආරක්ෂා කරගෙන ඉන්න බහුශ්‍රැත, ධර්මධර, පූජනීය වූ ඒ භික්ෂුව සියලු ලෝකයට ඇසක් වගේ.

1037. ධම්මාරාමෝ ධම්මරතෝ ධම්මං අනුවිචින්තයං
ධම්මං අනුස්සරං භික්ඛු සද්ධම්මා න පරිහායති

1037. ධර්මය තුළ ජීවත්වෙන ධර්මයටම ඇලී සිටින, ධර්මයම සිහි කරන, ධර්ම චින්තා ඇති භික්ෂුව කවදාවත් ධර්මයෙන් පිරිහෙන්නෙ නෑ.

1038. කායමච්ඡේරගරුනෝ හිය්‍යමානේ අනුට්ඨහේ
සරීරසුඛගිද්ධස්ස කුතෝ සමණඵාසුතා

1038. ශරීරය ගැන ලෝභකමින්, ශරීරයටම ගරු කර කර ඉන්න කෙනා ශරීරය පිරිහෙන කොට ධර්මයෙනුත් පිරිහිලා යනවා. ශරීර සැපයට ගිජු වුණොත් ශ්‍රමණ සැපයක් කොහොම ලබන්ටද?

1039. න පක්ඛන්ති දිසා සබ්බා ධම්මා නප්පටිභන්ති මං
ගතේ කල්‍යාණමිත්තම්හි අන්ධකාරංව ඛායති

1039. මගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ තමයි සැරියුත් තෙරුන්. උන්වහන්සේ පිරිනිවන් පෑව බව ආරංචි වුණහම හැම දිශාවක්ම පේන්නෙ නැතුව ගියා. ධර්මය වැටහෙන්නෙ නැතුව ගියා. මට හැඟුණේ මුළු ලෝකයම අඳුරු වෙලා ගියා වගේ.

1040. අබ්භතීතසහායස්ස අතීතගතසත්ථුනෝ
නත්ථි ඒතාදිසං මිත්තං යථා කායගතා සති

1040. කළ්‍යාණ මිත්‍රයන් වහන්සේලා පිරිනිවන් පෑවට පස්සෙ ශාස්තෘන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ ඇත්තෙන්ම මට කායානුපස්සනාව තරම් වෙන මිත්‍රයෙක් නෑ.

1041. යේ පුරාණා අතීතා තේ නවේහි න සමේති මේ
ස්වජ්ජ ඒකෝ’ව ඣායාමි වස්සුපේතෝ’ව පක්ඛිමා

1041. ඒ පැරණි මිතුරන් දැන් නෑ. අළුත් මිතුරන් මට ගැලපෙන්නෙත් නෑ. ඒ නිසා වැස්සෙන් බේරෙන්ට කැදැල්ලට ආපු කුරුල්ලෙක් වගේ මං තනියම භාවනා කරනවා.

1042. දස්සනාය අභික්කන්තේ නානා වේරජ්ජකේ බහූ
මා වාරයිත්ථ සෝතාරෝ පස්සන්තු සමයෝ මමං

1042. නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින් මාව මුණ ගැසෙන්ට බලා සිටිනවා. ඒ ගොල්ලන්ව වලක්වන්ට එපා! බණ අහන්ට කැමති ඒ හැමදෙනාම මාව දකිත්වා! දැන් එයට කාලයයි.

1043. දස්සනාය අභික්කන්තේ නානා වේරජ්ජකේ පුථු
කරෝති සත්ථා ඕකාසං න නිවාරේති චක්ඛුමා

1043. නොයෙක් පළාත්වලින් බොහෝ දෙනෙක් ඇවිදින් බුදු සමිඳුන්ව දැකගන්ට බලාගෙන හිටියා. එතකොට ශාස්තෘන් වහන්සේ ඒකට ඉඩ දුන්නා. සදහම් ඇස් ඇති මුනිඳුන් ඔවුන්ව වැලැක්කුවේ නෑ.

1044. පණ්ණවීසති වස්සානි සේඛභූතස්ස මේ සතෝ
න කාමසඤ්ඤා උප්පජ්ජි පස්ස ධම්මසුධම්මතං

1044. මං අවුරුදු විසිපහක් ම ගත කළේ නිවන් මග පුහුණු වන (සේඛ) භික්ෂුවක් හැටියට. මේ ධර්මයේ ආශ්චර්යය බලන්න. එබඳු වූ මා තුළ කාමය ගැන හැඟීමක් වත් නෑ.

1045. පණ්ණවීසති වස්සානි සේඛභූතස්ස මේ සතෝ
න දෝසසඤ්ඤා උප්පජ්ජි පස්ස ධම්මසුධම්මතං

1045. අවුරුදු විසිපහක් ම මං ගත කළේ සේඛ භික්ෂුවක් හැටියට. ධර්මයේ ආශ්චර්යය බලන්න. එතෙක් කාලෙකට මං තුළ ද්වේෂය ගැන හැඟීමක් වත් ඇතිවුණේ නෑ.

1046. පණ්ණවීසති වස්සානි භගවන්තං උපට්ඨහිං
මෙත්තේන කායකම්මේන ඡායා’ව අනපායිනී

1046. අවුරුදු විසිපහක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත කයින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

1047. පණ්ණවීසතිවස්සානි භගවන්තං උපට්ඨහිං
මෙත්තේන වචීකම්මේන ඡායා’ව අනපායිනී

1047. අවුරුදු විසිපහක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත වචනයෙන්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

1048. පණ්ණවීසතිවස්සානි භගවන්තං උපට්ඨහිං
මෙත්තේන මනෝකම්මේන ඡායා’ව අනපායිනී

1048. අවුරුදු විසිපහක් මුළුල්ලේම භාග්‍යවතුන් වහන්සේට මං උපස්ථාන කළේ, මෛත්‍රී සහගත සිතින්මයි. මං හිටියේ උන්වහන්සේව අත් නොහැර සිටින සෙවණැල්ල වගෙයි.

1049. බුද්ධස්ස චංකමන්තස්ස පිට්ඨිතෝ අනුචංකමිං
ධම්මේ දේසීයමානම්හි ඤාණං මේ උදපජ්ජ්ථ

1049. බුදු සමිඳුන් සක්මන් කරද්දි මාත් උන්වහන්සේ පිටුපසින් සක්මන් කළා. උන්වහන්සේ දහම් දෙසද්දී තමයි මට ඥානය පහළ වුණේ.

1050. අහං සකරණීයෝමිහි සේඛෝ අප්පත්තමානසෝ
සත්ථු ච පරිනිබ්බානං යෝ අම්හං අනුකම්පකෝ

1050. මං තවමත් ඉන්නෙ නිවන් මග පුහුණු වන කෙනෙක් හැටියට. කළ යුතු දේවල් ගොඩක් තියෙනවා. අරහත්වයට පත්වුණ කෙනෙක් නෙමෙයි. නමුත්, මං ගැන ගොඩක්ම අනුකම්පා කොට වදාළ ශාස්තෘන් වහන්සේ දැන් පිරිනිවන් පෑමට ආසන්නයි.

1051. තදාසි යං භිංසනකං තදාසි ලෝමහංසනං
සබ්බාකාරවරූපේතේ සම්බුද්ධේ පරිනිබ්බුතේ

1051. සියලුම උත්තම ගුණාංගයන්ගෙන් පරිපූර්ණ වූ සම්බුදු සමිඳුන් පිරිනිවන් පා වදාළ වෙලාවෙ මුළු ලෝකයම කම්පා වුණා. බියජනක හඬ පැතිරුණා. ලොමුදහ ගැනීම් ඇතිවුණා.

1052. බහුස්සුතෝ ධම්මධරෝ කෝසාරක්ඛෝ මහේසිනෝ
චක්ඛු සබ්බස්ස ලෝකස්ස ආනන්දෝ පරිනිබ්බුතෝ

1052. මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ, මුළු ලෝකයට ඇසක් වැනි ආනන්දයන් වහන්සේත් පිරිනිවන් පෑවා.

1053. බහුස්සුතෝ ධම්මධරෝ කෝසාරක්ඛෝ මහේසිනෝ
චක්ඛු සබ්බස්ස ලෝකස්ස අන්ධකාරේ තමෝනුදෝ

1053. මහ ඉසිවර බුදු සමිඳුන්ගේ ධර්ම භාණ්ඩාගාරික වූ බහුශ්‍රැත වූ ධර්මධර වූ ආනන්දයන් වහන්සේ මුළු ලෝකයට ඇසක් වගේ අඳුර දුරලනවා.

1054. ගතිමන්තෝ සතිමන්නෝ ධිතිමන්තෝ ච යෝ ඉසි
සද්ධම්මධාරකෝ ථේරෝ ආනන්දෝ රතනාකරෝ

1054. ඥාන ගති ඇති, සිහි නුවණ ඇති, බලවත් ප්‍රඥා ඇති, ඉසිවරයෙක් වන ආනන්දයන් වහන්සේ ශ්‍රී සද්ධර්ම මාණික්‍යයන් දරාගෙන සිටින මැණික් ආකරයක් වගෙයි.

1055. පරිචිණ්ණෝ මයා සත්ථා කතං බුද්ධස්ස සාසනං
ඕහිතෝ ගරුකෝ භාරෝ නත්ථි දානි පුනබ්භවෝ’ති

1055. මාත් බුදු සමිඳුන්ව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. දැන් ඉතින් මට පුනර්භවයක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා ආනන්දෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මේ වනාහී ආයුෂ්මත් ආනන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

තස්සුද්දානං –

ඵුස්සෝපතිස්සෝ ආනන්දෝ තයෝ’තිංසේපකිත්තිතා
ගාථායෝ තත්ථ සංඛාතා සතං පඤ්ච ච උත්තරී’ති.

තිංසතිනිපාතෝ නිට්ඨිතෝ.

තිස්වෙනි නිපාතය නිමා විය.

ගාථා තිහ බැගින් වදාළ කොටස නිමා විය

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_30-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M