981. එයා සිල්වත් කෙනෙක් නම්, ඉතා හොඳට සිහිය පවත්වනවා නම්, සිතුවිලි දමනය කරල ධ්‍යාන වඩනවා නම්, අප්‍රමාදීව ධර්මයේ හැසිරෙනවා නම්, භාවනාවේ ඇලී වසනවා නම්, සමාධිමත් සිතින් යුතු නම්, හුදෙකලා ජීවිතයෙන් සතුටු වෙයි නම්, අන්න එයාට තමයි ‘භික්ෂුව’ කියල කියන්නෙ.
982. වළඳන දේ තෙත දෙයක් වෙන්ට පුලුවනි. වේලිච්ච දෙයක් වෙන්ට පුළුවනි. පමණ ඉක්මවා ගන්නෙ නෑ. කුසේ ඉඩ තියා ගන්නවා. භික්ෂුවක් වාසය කරන්න ඕන ඒ විදිහටයි. ප්‍රමාණයකට දානෙ අරගෙන, නුවණින් යුක්තවයි.
983. සතර පස් පිඩක් නොවළඳා, ඒ වෙනුවට පැන් වළඳන්න ඕන. නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවකට ඒක හරි පහසුවක්.
984. සිරුරේ වසාගත යුතු තැන් තියෙනවා. එය වසාගැනීම පිණිස කැප විදිහට ලැබෙන සිවුරක් තිබීම නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.
985. භාවනාවට වාඩිවුණාට පස්සෙ, දණහිස් දෙක වැස්සට තෙමෙන්නෙ නැත්නම්, අන්න ඒ විදිහෙ කුටියක් වුණත් නිවනට යොමු කළ සිත් ඇති වීරියවන්ත භික්ෂුවට හරි පහසුවක්.
986. යමෙක් සැප වින්දනය දුකක් වශයෙන් දකිනවා නම්, දුක් වින්දනය හුලක් වශයෙන් දකිනවා නම්, දුක් රහිත වින්දනයට මුලාවෙන්නෙ නැත්නම්, මේ ලෝකෙට එයා කෙසේ නම් බැඳෙන්ටද?
987. පාපී ආශාවන් තියෙන, හීන වීරිය තියෙන, සද්ධර්මය දන්නෙ නැති, ආදර ගෞරවය නැති කිසි කෙනෙක් සමග මා කවරදා වත් එක් නොවෙම්වා! ඒ උදවියත් සමග එකතු වීමෙන් ලෝකයට සිදුවන යහපත කුමක්ද?
988. ඒත් යම් කෙනෙක් බොහෝ කොට සද්ධර්මය දන්නවා නම්, නුවණ තියෙනවා නම්, සිල්වත් නම්, සමාධිමත් සිතකින් යුක්ත නම්, සිත සන්සිඳුවීමෙහි යෙදෙනවා නම් අන්න ඒ උත්තමයා මාගේ හිස මත වැඩ සිටීවා!
989. (කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක ආදී) මිථ්‍යා සංකල්පනාවේම යෙදෙමින්, මිථ්‍යා සංකල්පනාවටම ඇලිල කැලෑ සතෙක් වගේ ඉන්න කෙනාට සසර දුක් නැතිකරන ඒ අමා නිවන අහිමි වෙලා යනවා.
990. එහෙත් යම් කෙනෙක්, මිථ්‍යා සංකල්ප ඉවත් කරගෙන (එක එක දේවල් කල්පනා කර කර ඉන්නෙ නැතිව) ප්‍රපංච රහිත වූ සමථයත්, විදර්ශනාවත් තුළ ඇලී වසනවා නම්, එයාට සසර දුක් නැතිකරන, ඒ අමා නිවන හමු වෙනවා.
991. ගමක හෝ අරණ්‍යයක හෝ පහත් බිමක හෝ කඳු ගැටයක හෝ යම් කිසි තැනක රහතන් වහන්සේලා නම් වැඩසිටින්නේ, ඒ භූමිය හරිම ලස්සනයි.
992. කෙලෙස්වලට ඇලී ගිය කාමී ජනයා ඒ අරණ්‍ය සේනාසනවලට කැමති නෑ. කාමය නොසොයන වීතරාගී මුනිවරුන්ට ඒ අරණ්‍ය සේනාසන හරි ලස්සනයි. උන්වහන්සේලා ඒ තැන්වලට හරි කැමතියි.
993. නිධානයක් මතු කරල පෙන්වනවා වගේ දුටු වරද පෙන්වා දෙන, වරදට ගරහා කරන, ඤාණවන්ත උත්තමයින්වයි ඇසුරු කරන්ට ඕන. ඤාණවන්ත උතුමන් ඇසුරු කරනකොට යහපතක් මිස අයහපතක් නම් සිද්ධ වෙන්නෙ නෑ.
994. අවවාද කරන්න ඕන. අනුශාසනා කරන්ට ඕන. අකුසල් වලින් වළකාගන්ට ඕන. අන්න ඒ තැනැත්තාව සත්පුරුෂයින්ට හරි ප්‍රියයි. අසත්පුරුෂයින්ට නම් ප්‍රිය නෑ.
995. එදා සදහම් ඇස් ඇති බුදු සමිඳුන් වෙන කෙනෙකුටයි දහම් දෙසමින් සිටියේ. බුදු සමිඳුන් දේශනා කරමින් සිටි ඒ ධර්මයේ අර්ථ අවබෝධ කරගන්ට මාත් කන් යොමාගෙන හොඳ සිහියෙන් අහගෙන සිටියා. මගේ ඒ බණ ඇසීම හිස් දෙයක් වුණේ නෑ. ආශ්‍රව රහිතව සියලු දුකින් නිදහස් වුණා.
996. මං සොය සොයා සිටියේ, පුබ්බේනිවාස ඤාණය ලබා ගන්න හැටි නොවේ. මං සොය සොයා හිටියෙ දිවැස් ලබන හැටි නොවේ. මං සොය සොයා සිටියේ අනුන්ගේ සිත් දැනගන්න හැටි නොවේ. සෘද්ධි ප්‍රාතිහාර්ය ලබන හැටි නොවේ. චුතූපපාත ඤාණය ලබන හැටි නොවේ. දිව්‍ය කන උපදවා ගැනීමේ අවශ්‍යතාවක් මට තිබුණේ නෑ.
997. හිස මුඩු කරගෙන සඟළ සිවුරු පොරවගෙන, රුක් සෙවණකට ගිහින් භාවනා කරන්නෙ, ප්‍රඥාවෙන් උත්තම භාවයට පත් වූ, උපතිස්ස තෙරුන් වහන්සේ.
998. සම්මා සම්බුදු සමිඳුන්ගේ ශ්‍රාවක භික්ෂුව, ධ්‍යානයට සමවැදී ඉන්නවා. ඒකට කියන්නේ ආර්ය නිශ්ශබ්දතාව කියල. ඒ විතර්ක රහිත වූ ධ්‍යානයයි.
999. හොඳට පිහිටල තියෙන, ගල් පර්වතය සෙලවෙන්නෙ නෑ. මෝහය නැති කරපු භික්ෂුවත් නොසැලී ඉන්නෙ පර්වතයක් වගේ.
1000. කෙලෙස් රහිත පුරුෂයා නිතර ම සොයන්නෙ පිරිසිදු ජීවිතයක්. කෙස් ලෝමයේ අග ගැටුණු කුඩා වරදක් පවා, එයාට පෙනෙන්නේ වළාකුලක් වගේ.
1001. මරණය ගැන ද මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. හොඳ සිහියෙන් යුක්තව හොඳ ප්‍රඥාවෙන් යුක්තව මං මේ ශරීරය අත්හැරල දානවා.
1002. මරණය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. ජීවිතය ගැනත් මට දැන් කැමැත්තක් නෑ. පඩියක් බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් වගේ මං මේ පිරිනිවන් පාන්ටයි කල් බලා සිටින්නෙ.
1003. ඉස්සරහිනුත් පිටිපස්සෙනුත් දෙපැත්තෙන්ම තියෙන්නෙ මරණය මිසක් නොමැරී සිටීමක් නොවේ. ඒක නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි පිළිපදින්ට ඕන. වැනසී යන්න නම් ඒපා! මේ උතුම් අවස්ථාව මගහැරෙන්ට ඉඩ දෙන්න එපා!
1004. ජීවිතේ ධර්මය තුළින් ආරක්ෂා කරගන්ට ඕන, ඇතුළතිනුත් පිටතිනුත් හොඳින් ආරක්ෂා සංවිධානය කරපු නගරයක් වගෙයි. මේ උතුම් අවස්ථාව මගහැරෙන්ට ඉඩ දෙන්න එපා! මේ උතුම් අවස්ථාව අහිමි කරගත්ත ගොඩක් පිරිස නිරයේ ඉපදිලා දුක් විඳිනවා.
1005. උපශාන්ත වෙන්ට ඕන. වරදින් වැළකී සිටින්ට ඕන. කථා බස් කළ යුත්තේ නුවණින් විමසලාමයි. උඩඟු වෙන්ට හොඳ නෑ. සුළං හමලා ගහක කොළයක් ගලවලා දානව වගේ පාපී දේවල් ඉවත් කරන්ට ඕන.
1006. උපශාන්ත වෙලා, වරදින් වැළකිලා, නුවණින් විමසා කරන, උඩඟු නැති භික්ෂුව තමයි පාපී දේවල් ඉවත් කරන්නෙ සුළං හමලා ගහක කොළයක් ගැලවිලා යනවා වගෙයි.
1007. උපශාන්ත වෙලා, කෙලෙස් පීඩා නැතිව, පහන් සිතින්, නොකැළඹුණු සිතින් ඉන්න, යහපත් ගුණධර්ම ඇති නුවණැති භික්ෂුවට හැම දුකක්ම අවසන් කරන්ට පුළුවන්.
1008. සමහර ගිහිපැවිදි උදවිය ගැන විශ්වාස කරන්ට හොඳ නෑ. ඔවුන් කාලෙකට යහපත්. තව කාලෙකට අයහපත්. කාලෙකට අයහපත්. කාලෙකට යහපත්.
1009. කාමාශාවත්, තරහත්, නිදිමත හා අලස බවත්, සිතේ විසිරීම හා පසුතැවීම ආදියත්, සැකයත් තමා භික්ෂුවගේ සිත කෙලෙසලා දාන්නෙ.
1010. එහෙත් අප්‍රමාදීව ධර්මයේ හැසිරෙන භික්ෂුවගේ සමාධිය සත්කාර සම්මාන ඉදිරියේදීත්, අසත්කාර නින්දා ඉදිරියේදීත් කම්පා වන්නෙ නැතිනම්,
1011. හැම තිස්සෙම ධ්‍යාන වඩන, ඉති සියුම් දෘෂ්ටි පවා විදර්ශනා කරන, උපාදාන නැති කිරීමෙහි ඇලුණ, භික්ෂුවටයි ‘සත්පුරුෂයා’ කියල කියන්නෙ.
1012. මහා සාගරය, මහ පොළොව, මහමේරුව, මහ සුළං වගේ දේ පවා අපගේ ශාස්තෘන් වහන්සේ පෙන්වා වදාළ උතුම් විමුක්තියට උපමා කරන්ට බෑ.
1013. මහා නුවණක් තියෙන, සමාධිමත් සිතක් තියෙන, බුදු සමිඳුන්ගේ ධර්ම චක්‍රය ඒ අයුරින්ම පවත්වන ඒ සැරියුත් තෙරුන් වහන්සේ මහා පොළොව වගේ, ජලය වගේ, ගින්නක් වගේ කිසි අරමුණකට ඇලෙන්නෙත් නෑ. ගැටෙන්නෙත් නෑ.
1014. ප්‍රඥා පාරමිතාවට පත්වෙලා, මහා බුද්ධියකින් යුක්ත, මනා සිහිනුවණකින් යුක්ත, නිවී ගිය සිතක් ඒ භික්ෂුවට තියෙන්නේ. ඒ වුණත්, බුද්ධිහීන නැති ඒ භික්ෂුව හැමතිස්සෙම හැසිරෙන්නෙ කිසිවක් නොදන්න කෙනෙක් වගේ.
1015. මාත් ශාස්තෘන් වහන්සේව ගෞරවයෙන් ඇසුරු කළා. බුදු සසුන සම්පූර්ණ කරගත්තා. කෙලෙස් බර පැත්තකින් තිබ්බා. භව රැහැන් මුලින්ම සිඳල දැම්මා.
1016. අප්‍රමාදීව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරන්න. මට කියන්ට තියෙන්නෙ එච්චරයි. සියලු භවයෙන් නිදහස් වුණ මං දැන් පිරිනිවන්පාන්ටයි යන්නේ.
මේ වනාහී ආයුෂ්මත් සාරිපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_30-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M