සංයුත්ත නිකාය

මහා වග්ගෝ

8.1.10. ගිලාන සුත්තං

8.1.10. ගිලන් ව වැඩසිටිය දී වදාළ දෙසුම

එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සැවැත් නුවර අන්ධ වනයෙහි රෝගී ව, කායික දුකට පත් ව, දැඩි සේ ගිලන් ව වැඩවෙසෙති. එකල්හී බොහෝ භික්ෂූහු ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ වෙත එළැඹියහ. එළැඹ ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේගේ උපන් ශාරීරික දුක් වේදනා, සිත යටකොට නොයන්නේ කවර විහරණයකින් වාසය කරද්දී ද?”

“ඇවැත්නි, සතර සතිපට්ඨානයන්හි මනාකොට සිත පිහිටුවාගෙන වාසය කරද්දී උපන් ශාරීරික දුක් වේදනාවෝ මාගේ සිත යටකොට නොසිටිති. ඒ කවර සතරක් ද යත්;

ඇවැත්නි, මෙහි මම කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරමි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරමි.

ඇවැත්නි, මේ සතර සතිපට්ඨානයන්හි මනාකොට සිත පිහිටුවාගෙන වාසය කරද්දී උපන් ශාරීරික දුක් වේදනාවෝ මාගේ සිත යටකොට නොසිටිති.

සාදු! සාදු!! සාදු!!!

ගිලාන සූත්‍රය නිමා විය.

පළමුවෙනි රහෝගත වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

රහෝගත නමින් සූත්‍ර දෙකකි. සුතනු සූත්‍රය, කණ්ටකී සූත්‍ර තුනකි. තණ්හක්ඛය සූත්‍රය, සලලාගාර සූත්‍රය, අම්බපාලි සූත්‍රය සහ ගිලාන සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M