එක් සමයෙක්හි ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ සැවැත් නුවර සලලා ගාරයෙහි වැඩවෙසෙති. එහිදී ආයුෂ්මත් අනුරුද්ධයන් වහන්සේ ….(පෙ)…. මෙය වදාළහ.
“ඇවැත්නි, එය මෙබඳු දෙයකි. ගංගා නදිය පෙරදිගට නැඹුරු ව, පෙරදිගට යොමු ව, පෙරදිගට බර ව ඇත්තේ ය. එකල්හී මහාජනයෝ උදලු, පැසි රැගෙන විත් ‘අපි මේ ගංගා නදිය බටහිරට නැඹුරු කරන්නෙමු. බටහිරට යොමු කරන්නෙමු. බටහිරට බර කරන්නෙමු’ යි උත්සාහ කරත් නම්, ඇවැත්නි, ඒ කිමෙකැයි හඟිව් ද? ඒ මහාජනකාය පෙරදිගට නැඹුරු වූ ගංගා නදිය බටහිරට නැඹුරු කොට, බටහිරට යොමු කොට, බටහිරට බර වූ බවට පත් කරන්නේද?”
“ඇවැත්නි, එය නොවේ ම ය.”
“එයට හේතුව කුමක් ද?”
“ඇවැත්නි, ගංගා නදිය පෙරදිගට නැමුණේ ය. පෙරදිගට නැඹුරු වූයේ ය. පෙරදිගට බර වූයේ වෙයි. එය බටහිරට නැඹුරු කිරීම, බටහිරට යොමු කිරීම, බටහිරට බර ව ගලන්නට සැලැස්වීම පහසු දෙයක් නොවෙයි. හුදෙක් ඒ මහාජනකාය ක්ලාන්ත බවට, මහත් වෙහෙසට පත්වනු ඇත.”
“එසෙයින් ම ඇවැත්නි, සතර සතිපට්ඨානයන් දියුණු කරන, සතර සතිපට්ඨානයන් බහුල ව ප්‍රගුණ කරන භික්ෂුවකට රජෙක් හෝ රාජ මහාමාත්‍යයෙක් හෝ මිත්‍රයෝ හෝ අමාත්‍යයෝ හෝ ලේ ඥාතීහු හෝ භෝග සම්පත් රැගෙන විත් තමා වෙත පවරත් නම්, ‘එම්බා පුරුෂය, මේ කසාවතින් ඇති ඵලය කුමක් ද? හිස මුඩු කොට, කබලක් අතින් ගෙන හැසිරීම කුමක් ද? එව. පෙරලා ගිහි බවට පැමිණ මේ භෝග සම්පත් අනුභව කරව. පින් ද කරව’ යි. ඇවැත්නි, ඒකාන්තයෙන් සතර සතිපට්ඨානයන් දියුණු කරන, සතර සතිපට්ඨානයන් බහුල ව ප්‍රගුණ කරන ඒ භික්ෂුව ශික්ෂාව ප්‍රතික්ෂේප කොට ගිහි බවට පෙරලා වැටෙන්නේ ය යන කරුණ කිසිදා සිදු නොවන්නකි. එයට හේතුව කුමක් ද යත්; ඇවැත්නි, යම් සිතක් වනාහී දීර්ඝ කාලයක් විවේකයට නැඹුරු කොට, විවේකයට යොමු කොට, විවේකයට බර කොට තැබුවේ නම්, එබඳු වූ සිත නැවත හැරී හීන වූ ගිහි බවට පත්වන්නේ ය යන කරුණ කිසිදා දකින්නට නොලැබෙයි.
ඇවැත්නි, භික්ෂුවක් සතර සතිපට්ඨානයන් දියුණු කරන්නේ, සතර සතිපට්ඨානයන් බහුල ව ප්‍රගුණ කරන්නේ කවර අයුරින් ද?
ඇවැත්නි, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට කයෙහි කායානුපස්සී ව වාසය කරයි. වේදනාවන්හි ….(පෙ)…. සිත පිළිබඳ ව ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සිහියෙන් යුතුව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන්හි ධම්මානුපස්සී ව වාසය කරයි.
ඇවැත්නි, භික්ෂුවක් සතර සතිපට්ඨානයන් දියුණු කරන්නේ, සතර සතිපට්ඨානයන් බහුල ව ප්‍රගුණ කරන්නේ මේ අයුරිනි.
සාදු! සාදු!! සාදු!!!
සලලාගාර සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_8-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M