සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.2.5. බ්‍රාහ්මණ සුත්තං

7.2.5. බ්‍රාහ්මණයෙකුට වදාළ දෙසුම

එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවසන සේක. එකල්හී උන්නාභ බ්‍රාහ්මණයා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු පිළිසඳර කථාබහ නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් උන්නාභ බ්‍රාහ්මණයා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ආනන්දයෙනි, ශ්‍රමණ ගෞතමයන් කෙරෙහි බඹසර වසන්නේ කුමන යහපතක් සළකාගෙන ද?”

“බ්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බඹසර වසන්නේ තෘෂ්ණා ඡන්දය නැසීමෙන් වන යහපත සළකාගෙන ය.”

“භවත් ආනන්දයෙනි, මේ තෘෂ්ණා ඡන්දය ප්‍රහාණය පිණිස අනුගමනය කළ යුතු මාර්ගයක් තිබේ ද? ප්‍රතිපදාවක් තිබේ ද?”

“බ්‍රාහ්මණය, මේ තෘෂ්ණා ඡන්දය ප්‍රහාණය පිණිස අනුගමනය කළ යුතු මාර්ගයක් ඇත්තේ ය. ප්‍රතිපදාවක් ඇත්තේ ය.”

“භවත් ආනන්දයෙනි, මේ තෘෂ්ණා ඡන්දය ප්‍රහාණය පිණිස අනුගමනය කළ යුතු මාර්ගය කුමක් ද? ප්‍රතිපදාව කුමක් ද?”

“බ්‍රාහ්මණය, මෙහිලා භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි. බලවත් වීර්යය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවා ගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවා ගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුතු ඉර්ධිපාදය වඩයි.

බ්‍රාහ්මණය, මේ තෘෂ්ණා ඡන්දය ප්‍රහාණය පිණිස අනුගමනය කළ යුතු මාර්ගය මෙය යි. ප්‍රතිපදාව මෙය යි.”

“භවත් ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී සංසිඳීගිය අයෙකුට නම් වෙයි. නොසංසිඳුණු කෙනෙකුට නම් නොවෙයි. ඡන්දයෙන් ම ඡන්දය ප්‍රහාණය කරන්නේ ය යන්න විය හැකි දෙයක් නම් නොවෙයි.”

“එසේ වී නම් බ්‍රාහ්මණය, මෙහිලා ඔබගෙන් ම විමසන්නෙමි. යම් පරිදි ඔබ කැමති වෙයි ද, එපරිදි පිළිතුරු දෙන්න. බ්‍රාහ්මණය, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? ඔබ තුළ කලින් ‘ආරාමයට යන්නෙමි’ යි ඡන්දයක් තිබුණේ ය. ආරාමයට ගිය ඔබගේ ආරාමයට යනු පිණිස වූ යම් ඡන්දයක් තිබුණේ ද, එය සංසිඳී ගියේ ද?”

“එසේ ය, භවත”

“ඔබ තුළ කලින් ‘ආරාමයට යන්නෙමි’ යි වීර්යයක් තිබුණේ ය. ආරාමයට ගිය ඔබගේ ආරාමයට යනු පිණිස වූ යම් වීර්යයක් තිබුණේ ද, එය සංසිඳී ගියේ ද?”

“එසේ ය, භවත”

“ඔබ තුළ කලින් ‘ආරාමයට යන්නෙමි’ යි අධිෂ්ඨානයක් තිබුණේ ය. ආරාමයට ගිය ඔබගේ ආරාමයට යනු පිණිස වූ යම් අධිෂ්ඨානයක් තිබුණේ ද, එය සංසිඳී ගියේ ද?”

“එසේ ය, භවත”

“ඔබ තුළ කලින් ‘ආරාමයට යන්නෙමි’ යි නුවණින් සැලකීමක් තිබුණේ ය. ආරාමයට ගිය ඔබගේ ආරාමයට යනු පිණිස වූ යම් නුවණින් සැලකීමක් තිබුණේ ද, එය සංසිඳී ගියේ ද?”

“එසේ ය, භවත”

“එසෙයින් ම බ්‍රාහ්මණය, යම් ඒ භික්ෂුවක් රහත් ද, ආශ්‍රවයන් ක්ෂය වූයේ වෙයි ද, වැස නිම වූ බඹසර ඇත්තේ ද, කළ යුත්ත කරන ලද්දේ ද, කෙලෙස් බර පසෙකින් බහා තබන ලද්දේ ද, අනුපිළිවෙලින් පැමිණි උත්තමාර්ථය ඇත්තේ ද, ක්ෂය වූ භව සංයෝජන ඇත්තේ ද, මැනැවින් දැන කෙලෙසුන්ගෙන් නිදහස් වූයේ ද, ඒ රහත් භික්ෂුවට පෙර අරහත්වයට පත්වීම පිණිස යම් ඡන්දයක් තිබුණේ ද, අරහත්වයට පත්වීමෙන් ඒ අරහත්වයට පත්වීම පිණිස තිබූ ඡන්දය සංසිඳී ගියේ ය. පෙර අරහත්වයට පත්වීම පිණිස යම් වීර්යයක් තිබුණේ ද, අරහත්වයට පත්වීමෙන් ඒ අරහත්වයට පත්වීම පිණිස තිබූ වීර්යය සංසිඳී ගියේ ය. පෙර අරහත්වයට පත්වීම පිණිස යම් අධිෂ්ඨානයක් තිබුණේ ද, අරහත්වයට පත්වීමෙන් ඒ අරහත්වයට පත්වීම පිණිස තිබූ අධිෂ්ඨානය සංසිඳී ගියේ ය. පෙර අරහත්වයට පත්වීම පිණිස යම් නුවණින් විමසීමක් තිබුණේ ද, අරහත්වයට පත්වීමෙන් ඒ අරහත්වයට පත්වීම පිණිස තිබූ නුවණින් විමසීම සංසිඳී ගියේ ය.

බ්‍රාහ්මණය, ඒ කිමෙකැයි සිතන්නෙහි ද? මෙසේ ඇති කල්හී සංසිඳී ගිය අයෙකුට නම් වෙයි ද? නොසංසිඳුණු කෙනෙකුට නම් නොවෙයි ද?”

“ඒකාන්තයෙන් ම භවත් ආනන්දයෙනි, මෙසේ ඇති කල්හී සංසිඳී ගිය කෙනෙකුට වෙයි. නොසංසිඳුණු කෙනෙකුට නම් නොවෙයි. භවත් ආනන්දයෙනි, ඉතා මනහර ය. ….(පෙ)…. අද පටන් දිවි හිමියෙන් සරණ ගිය උපාසකයෙක් ලෙස පිළිගන්නා සේක්වා!”

සාදු! සාදු!! සාදු!!!

බ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-2-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M