සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.2.4. මොග්ගල්ලාන සුත්තං

7.2.4. මහා මොග්ගල්ලානයන් වහන්සේ පිළිබඳව වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාර මාතු ප්‍රාසාදය නම් පූර්වාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි උඩඟු, ඔසොවාගත් මාන්නය නමැති නළ ඇති, චපල, වාචාල, විසිරුණු වචන ඇති, මුලා වූ සිහි ඇති, නුවණින් තොර ව වසන, සමාහිත සිත් නැති, භ්‍රාන්ත සිත් ඇති, ප්‍රකෘති ඉඳුරන් ඇති බොහෝ භික්ෂූහු මිගාර මාතු ප්‍රාසාදයෙහි යටි මහලෙහි වාසය කරති.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ ඇමතූ සේක.

“මොග්ගල්ලානයෙනි, ඔබගේ මේ සබ්‍රහ්මචාරීහු උඩඟු ව, ඔසොවාගත් මාන්නය නමැති නළ ඇති ව, චපල ව, වාචාල ව, විසිරුණු වචන ඇති ව, මුලා වූ සිහි ඇති ව, නුවණින් තොර ව, සමාහිත සිත් නැති ව, භ්‍රාන්ත සිත් ඇති ව, ප්‍රකෘති ඉඳුරන් ඇති ව මිගාර මාතු ප්‍රාසාදයෙහි යටි මහලෙහි වාසය කරති. යන්න මොග්ගල්ලානයෙනි, ඒ භික්ෂූන් සංවේගයට පත්කරවන්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් මහා මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී යම් සේ පාදයෙහි මහපට ඇඟිල්ලෙන් මිගාරමාතු ප්‍රසාදය කම්පා වෙයි ද, විශේෂයෙන් කම්පා වෙයි ද, වඩා ත් සැලෙයි ද, එබඳු ස්වභාව ඇති ඉර්ධිප්‍රාතිහාර්යයක් කළහ. එකල්හී ඒ භික්ෂූහු සංවේගයට පත් ව, ලොමුදහගැනුම් ඇති ව, එකත්පස් ව සිටගත්හ. ‘භවත්නි, ඒකාන්තයෙන් ආශ්චර්යයකි! භවත්නි, ඒකාන්තයෙන් අද්භූතයෙකි! ඒකාන්තයෙන් සුළඟකට අවකාශ නැත්තේ ය. ඒකාන්තයෙන් මේ මිගාරමාතු ප්‍රාසාදය ද ගැඹුරට සාරා මැනැවින් පිහිටුවන ලද්දකි. නොසැලෙන්නකි. අකම්පිතයෙකි. එසේ නමුත් බලවත් ව කම්පා වූයේ නොවැ. විශේෂයෙන් කම්පා වූයේ නොවැ. මහත් සේ සැලුණේ නොවැ.’

එකල්හී ඒ භික්ෂූහු යම් තැනක සිටගෙන සිටියාහු ද, භාග්‍යවතුන් වහන්සේ එතැනට වැඩි සේක. වැඩම කොට ඒ භික්ෂූන්ට මෙය වදාළ සේක.

“කිම? මහණෙනි, ඔබලා මෙතරම් සංවේග ව, ඇඟ මවිල් කෙලින් ව, එකත්පස් ව සිටියහු?”

“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයෙකි! ඒකාන්තයෙන් සුළඟකට අවකාශ නැත්තේ ය. ඒකාන්තයෙන් මේ මිගාරමාතු ප්‍රාසාදය ද ගැඹුරට සාරා මැනැවින් පිහිටුවන ලද්දකි. නොසැලෙන්නකි. අකම්පිතයෙකි. එසේ නමුත් බලවත් ව කම්පා වූයේ නොවැ. විශේෂයෙන් කම්පා වූයේ නොවැ. මහත් සේ සැලුණේ නොවැ.”

“මහණෙනි, ඔබලා ව සංවේගයට පත් කරනු කැමැති මොග්ගල්ලාන භික්ෂුව විසින් සිය පාදයේ මහපට ඇඟිල්ලෙන් මිගාරමාතු ප්‍රාසාදය කම්පා කරවන ලද්දේ ය. බලවත් ව කම්පා කරවන ලද්දේ ය. බලවත් ව සොළොවන ලද්දේ ය. මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? මොග්ගල්ලාන භික්ෂුව මේ සා මහත් ඉර්ධිමත් වූයේ, මේ සා මහානුභාව ඇතිවූයේ කවර ධර්මයන් දියුණු කිරීමෙන් ද? බහුල ව ප්‍රගුණ කිරීමෙන් ද?”

“ස්වාමීනී, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තාහ. ….(පෙ)….”

“මහණෙනි, ඉර්ධිපාද සතරක් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහා ඉර්ධිමත් වෙයි. මෙසේ මහානුභාව සම්පන්න වෙයි. ඒ කවර සතරක් ද යත්;

මහණෙනි, මෙහිලා මොග්ගල්ලාන භික්ෂුව බලවත් ඡන්දය තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ ඡන්දය අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.

“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”

මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි.

බලවත් වීර්යය තුළින් උපදවාගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් අධිෂ්ඨානය තුළින් උපදවාගත් සමාධියෙන් ….(පෙ)…. බලවත් ව නුවණින් විමසීම තුළින් උපදවාගත් සමාධියෙන් හා ප්‍රධන් වීර්යයෙන් යුක්ත ව ඉර්ධිපාදය වඩයි. මෙසේ මාගේ බලවත් ව නුවණින් විමසීම අතිශයින් සැඟවීමකට ද නොයන්නේ ය. (ඕනෑවට ත් වඩා ගත් වීර්යයෙන්) ඉතා දැඩිකොට ගැනීමක් ද නොවන්නේ ය. තමා තුළ ද හැකිලී නොයන්නේ ය. පිටතට ද විසිරී නොයන්නේ ය. පසු – පෙර සංඥාවෙන් ද වාසය කරයි.

“පෙරවරුවෙහි යම් සේ ද පස්වරුවේ ත් එසේ ය. පස්වරුවෙහි යම් සේ ද පෙරවරුවෙහි ත් එසේ ය. යටිකය ගැන විමසන්නේ යම් සේ ද, උඩුකය ගැන ත් විමසන්නේ එසේ ය. උඩුකය ගැන විමසන්නේ යම් සේ ද, යටිකය ගැන විමසන්නේ ත් එසේ ය. දහවල ගත කරන්නේ යම් සේ ද, රාත්‍රිය ත් එසේ ය. රාත්‍රිය ගත කරන්නේ යම් සේ ද, දහවල ත් එසේ ය.”

මෙසේ විවෘත වූ, බාහිර දෙයකට නොබැඳුණු සිතින් බැබලීම් සහිත සිත වඩයි. මහණෙනි, මේ ඉර්ධිපාද සතර දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහා ඉර්ධිමත් වෙයි. මෙසේ මහානුභාව සම්පන්න වෙයි.

මහණෙනි, මොග්ගල්ලාන භික්ෂුව මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් හෙයින්, බහුල ව ප්‍රගුණ කරගත් හෙයින්, අනේක ප්‍රකාර වූ ඉර්ධි විශේෂයන් කළ හැකි වන්නේ ය. එනම් එක් කෙනෙක් ව සිට බොහෝ අය ලෙස පෙනී සිටියි. බොහෝ අය වී එක් අයෙක් ව පෙනී සිටියි. ….(පෙ)…. බඹලොව සීමා කොට සිය කයින් වසඟයෙහි පවත්වයි. ….(පෙ)…. මහණෙනි, මොග්ගල්ලාන භික්ෂුව මේ සතර ඉර්ධිපාදයන් දියුණු කරගත් හෙයින්, බහුල ව ප්‍රගුණ කරගත් හෙයින්, ආශ්‍රවයන් ක්ෂය වීමෙන් අනාශ්‍රව වූ චිත්ත විමුක්තියත්, ප්‍රඥා විමුක්තියත් මේ ජීවිතයේදී ම තම විශිෂ්ට නුවණින් අත්දැක එයට පැමිණ වාසය කරයි.”

සාදු! සාදු!! සාදු!!!

මොග්ගල්ලාන සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M