සංයුත්ත නිකාය

මහා වග්ගෝ

7.1.10. චේතිය සුත්තං

7.1.10. චාපාල සෑයෙහි දී වදාළ දෙසුම

එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විසල්පුර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන, පාත්‍රය හා සිවුර ගෙන විසල්පුරයට පිඬු පිණිස පිවිසි සේක. විසල්පුර පිඬු පිණිස හැසිර, පිණ්ඩපාතයෙන් වැළකුණු පසුබත් කාලයෙහි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“ගන්න ආනන්දයෙනි, හිඳගන්නා ඇතිරිල්ල. චාපාල චෛත්‍යය යම් තැනක ද, දිවා කාලය ගත කරනු පිණිස එහි යන්නෙමු.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේ පසුපසින් ඒ අනුව ගියහ.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යය යම් තැනක ද, එතැනට වැඩි සේක. වැඩමකොට පණවන ලද අසුනෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත් භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට එකත්පස් ව හිඳගත්හ. එකත්පස් ව හුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“රමණීය ය ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය උදේන චේතිය. රමණීය ය ගෝතමක චේතිය. රමණීය ය සත්තම්බ චේතිය. රමණීය ය බහුපුත්තක චේතිය. රමණීය ය සාරන්දද චේතිය. රමණීය ය චාපාල චේතිය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය.”

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙබඳු වූ ගොරෝසු නිමිති කරන කල්හි, ගොරෝසු එළි මතු කරන කල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමර්ථ වූහ. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා නොසිටියහ. මාරයා විසින් වසා ගත් සිත් ඇත්තෙක් යම් බඳු ද, එබඳු ය.

දෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ….(පෙ)…. තෙවෙනි වරටත් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“රමණීය ය ආනන්දයෙනි, විසල්පුර. රමණීය ය උදේන චේතිය. රමණීය ය ගෝතමක චේතිය. රමණීය ය සත්තම්බ චේතිය. රමණීය ය බහුපුත්ත චේතිය. රමණීය ය සාරන්දද චේතිය. රමණීය ය චාපාල චේතිය. ආනන්දයෙනි, යම් කිසිවෙකු තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත් ද, ඔහු කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය. ආනන්දයෙනි, තථාගතයන් තුළ දියුණු කරන ලද, බහුල කරන ලද, යානාවක් සේ කරන ලද, සිටිය හැකි තැනක් සේ කරන ලද, හොඳින් පිහිටුවාගන්නා ලද, පුරුදු කරන ලද, හොඳින් අරඹන ලද, සතර ඉර්ධිපාදයෝ තිබෙත්. ආනන්දයෙනි, ඒ තථාගත තෙමේ කැමති වන්නේ නම්, ආයුෂ්කල්පයක් හෝ ඊට ටිකක් වැඩියෙනුත් හෝ සිටිය හැක්කේ ය.”

භාග්‍යවතුන් වහන්සේ විසින් මෙබඳු වූ ත් ගොරෝසු නිමිති කරන කල්හි, ගොරෝසු එළි මතු කරන කල්හි, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ එය වටහා ගන්නට අසමර්ථ වූහ. ‘ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ආයුෂ්කල්පයක් වැඩසිටින සේක්වා! සුගතයන් වහන්ස, බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සුව පිණිස, ලෝකානුකම්පාව පිණිස, දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, හිත පිණිස, සැප පිණිස, කල්පයක් වැඩසිටින සේක්වා!’ යි භාග්‍යවතුන් වහන්සේ ගෙන් ඉල්ලා නොසිටියහ. මාරයා විසින් වසා ගත් සිත් ඇත්තෙක් යම් බඳු ද, එබඳු ය.

එකල්හී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ඇමතූ සේක.

“යන්න, ඔබ ආනන්දයෙනි, දැන් යමකට කාලය නම්, එය දැනගන්න.”

“එසේ ය, ස්වාමීනී” යි ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දී හුනස්නෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට, නොදුරෙහි වූ එක්තරා රුක් සෙවණක හිඳ ගත්හ.

ඉක්බිති පවිටු මාර තෙමේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වැඩහුන් සේක් ද, එතැනට පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළේ ය.

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, අරහත්වයට පත් ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, අරහත්වයට පත් ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විශාරද ව, අරහත්වයට පත් ව, විනීත ව බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා භික්ෂුණීහු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, අරහත්වයට පත් ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව විශාරද ව, මාර්ගඵලයන්ට පත් ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකවරු ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, මාර්ගඵලයන්ට පත් ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, මාර්ගඵලයන්ට පත් ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී නොවන්නාහු ද, තම ආචාර්යවාදය ඉගෙන නොපවසන්නාහු ද, නොදෙසන්නාහු ද, නොපණවන්නාහු ද, නොපිහිටුවන්නාහු ද, විවෘත නොකරන්නාහු ද, නොබෙදා දක්වන්නාහු ද, ඉස්මතු නොකරන්නාහු ද, උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය නොදෙසන්නාහු ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හී වනාහී භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත ව, විනීත ව, විශාරද ව, මාර්ගඵලයන්ට පත් ව, බහුශ්‍රැත ව, ධර්මධර ව, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත ව, සාමීචි ප්‍රතිපදාවෙන් යුක්ත ව, අනුධර්මචාරී ව සිටිති. තම ආචාර්යවාදය ඉගෙන පවසති. දෙසති. පණවති. පිහිටුවති. විවෘත කරති. බෙදා දක්වති. ඉස්මතු කරති. උපන් පරාපවාදයන් කරුණු සහිත ව මැඩ පවත්වා අනුශාසනා ප්‍රාතිහාර්යයෙන් යුක්ත ව ධර්මය දෙසති.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් පවසන ලද මේ වචනයක් තිබෙයි. ‘පවිටු මාරය, යම්තාක් කල් මාගේ මේ සසුන් බඹසර ඉතා දියුණුවට පත් නොවෙයි ද, සමෘද්ධිමත් නොවෙයි ද, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ නොවෙයි ද, පුළුල් ව පැතිරුණේ නොවෙයි ද, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ නොවෙයි ද, ඒ තාක් කල් මම පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය යි.

ස්වාමීනී, මෙකල්හි භාග්‍යවතුන් වහන්සේගේ සසුන් බඹසර ඉතා දියුණු වූයේ ත්, සමෘද්ධිමත් වූයේ ත්, බොහෝ ජනයා විසින් දන්නා ලද්දේ ත්, පුළුල් ව පැතිරුණේ ත්, යම්තාක් දෙවි මිනිසුන් විසින් මැනැවින් ප්‍රකාශ කරන ලද්දේ ත් වෙයි.

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! ස්වාමීනී, දැන් භාග්‍යවතුන් වහන්සේට පිරිනිවන් පෑමට කාලය යි.”

මෙසේ පැවසූ කල්හී භාග්‍යවතුන් වහන්සේ පවිටු මාරයා හට මෙය වදාළ සේක.

“පවිටු මාරය, ඔබ අල්ප උත්සාහයෙන් වසව. වැඩිකල් නොයා තථාගතයන්ගේ පිරිනිවන් පෑම වන්නේ ය. මෙයින් තුන් මසක් ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේ ය.”

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යස්ථානයෙහි දී සිහියෙන් හා නුවණින් යුතුව ආයු සංස්කාරය අත්හළ සේක. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත්හළ සැණින් බිහිසුණු වූ ලොමුදහගැනීම් ඇති වන මහා පොළොව සැළීමක් වූයේ ය. දිව්‍ය දුන්දුභීහු හෙවත් දෙව්බෙර පැලී ගියාහු ය. (අකල් වැස්සක් ඇද හැලුණේ ය.)

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අරුත දැන එවේලෙහි මේ උදානය පහළ කළ සේක.

“මුනි තෙමේ හටගත්තා වූ තුලනය කළ හැකි – තුලනය කළ නොහැකි සියල්ල ද, භව සංස්කාර ද අත්හළේය. ආධ්‍යාත්මය තුළ නිවනෙහි ඇලුණු සිත් ඇති ව, සමාහිත සිත් ඇති ව, මේ හටගත් ජීවිත සංස්කාර යුද ඇඳුමක් සිඳින සෙයින් සිඳ දැම්මේය.”

සාදු! සාදු!! සාදු!!!

චේතිය සූත්‍රය නිමා විය.

පළමුවෙනි චාපාල වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

අපාර සූත්‍රය, විරද්ධ සූත්‍රය, අරිය සූත්‍රය, නිබ්බිදා සූත්‍රය, පදේස සූත්‍රය, සමත්ත සූත්‍රය, භික්ඛු සූත්‍රය, අරහන්ත සූත්‍රය, ඤාණ සූත්‍රය සහ චේතිය සූත්‍රය වශයෙන් සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_7-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M