සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.8. සූකරඛත සුත්තං

4.6.8. සූකරඛත ලෙනෙහි දී වදාළ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර ගිජ්ඣකූට පර්වතයෙහි සූකරඛත ලෙනෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක.

“සාරිපුත්තයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුවක් තථාගතයන් කෙරෙහි හෝ තථාගතයන්ගේ ශාසනය කෙරෙහි හෝ පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ කවර අර්ථයක් දකිමින් ද?”

“ස්වාමීනී, ක්ෂීණාශ්‍රව භික්ෂුව අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවන දකිමින් ය, තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතයන් වහන්සේගේ ශාසනය කෙරෙහි හෝ පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ.”

“සාරිපුත්තයෙනි, යහපති, යහපති. සාරිපුත්තයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුව අනුත්තර යෝගක්ඛේම නම් වූ නිවන දකිමින් තථාගතයන් කෙරෙහි හෝ තථාගතයන්ගේ ශාසනය කෙරෙහි හෝ පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ ය.

සාරිපුත්තයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුවක් තථාගතයන් කෙරෙහි හෝ තථාගතයන්ගේ ශාසනය කෙරෙහි හෝ පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ යමක් දකිමින් නම්, ඒ අනුත්තර යෝගක්ඛේමය කුමක් ද?”

“ස්වාමීනී, මෙහිලා ක්ෂීණාශ්‍රව භික්ෂුව සංසිඳවීමට යන පරිදි, අවබෝධයට යන පරිදි ශ්‍රද්ධා ඉන්ද්‍රිය වඩයි. ….(පෙ)…. විරිය ඉන්ද්‍රිය වඩයි. ….(පෙ)…. සති ඉන්ද්‍රිය වඩයි. ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය වඩයි. සංසිඳවීමට යන පරිදි, අවබෝධයට යන පරිදි ප්‍රඥා ඉන්ද්‍රිය වඩයි. ස්වාමීනී, ක්ෂීණාශ්‍රව භික්ෂුවක් තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතයන් වහන්සේගේ ශාසනය කෙරෙහි හෝ පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ යමක් දකිමින් නම්, ඒ අනුත්තර යෝගක්ඛේමය නම් මෙය යි.”

“සාරිපුත්තයෙනි, යහපති, යහපති. සාරිපුත්තයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුවක් තථාගතයන් කෙරෙහි හෝ තථාගතයන්ගේ ශාසනය කෙරෙහි හෝ පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ යමක් දකිමින් නම්, මේ ඒ අනුත්තර යෝගක්ඛේමය යි.

සාරිපුත්තයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුව තථාගතයන් කෙරෙහි හෝ තථාගතයන්ගේ ශාසනය කෙරෙහි හෝ යම් පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ නම් ඒ පරම යටහත් ගෞරවාදරය කුමක් ද?”

“ස්වාමීනී, මෙහිලා ක්ෂීණාශ්‍රව භික්ෂුව ශාස්තෘන් වහන්සේ කෙරෙහි ගෞරව සහිත ව යටහත් පැවැතුම් ඇති ව වාසය කරන්නේ වෙයි. ධර්මය කෙරෙහි ගෞරව සහිත ව යටහත් පැවැතුම් ඇති ව වාසය කරන්නේ වෙයි. සංඝයා කෙරෙහි ගෞරව සහිත ව යටහත් පැවැතුම් ඇති ව වාසය කරන්නේ වෙයි. ශික්ෂාව කෙරෙහි ගෞරව සහිත ව යටහත් පැවැතුම් ඇති ව වාසය කරන්නේ වෙයි. සමාධිය කෙරෙහි ගෞරව සහිත ව යටහත් පැවැතුම් ඇති ව වාසය කරන්නේ වෙයි. ස්වාමීනී, ක්ෂීණාශ්‍රව භික්ෂුව තථාගතයන් වහන්සේ කෙරෙහි හෝ තථාගතයන් වහන්සේගේ ශාසනය කෙරෙහි හෝ යම් පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ නම් ඒ පරම යටහත් ගෞරවාදරය මෙය යි.”

“සාරිපුත්තයෙනි, යහපති, යහපති. සාරිපුත්තයෙනි, ක්ෂීණාශ්‍රව භික්ෂුව තථාගතයන් කෙරෙහි හෝ තථාගතයන්ගේ ශාසනය කෙරෙහි හෝ යම් පරම යටහත් ගෞරවාදරයක් දක්වමින් සිටින්නේ නම් මේ ඒ පරම යටහත් ගෞරවාදරය යි.”

සාදු! සාදු!! සාදු!!!

සූකරඛත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M