සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.7. බ්‍රහ්ම සුත්තං

4.6.7. සහම්පතී බ්‍රහ්මයා අනුමෝදන් වූ දෙසුම

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සම්බුද්ධත්වය ලැබූ මුල් අවදියෙහි උරුවෙල් ජනපදයෙහි නේරංජරා නදී තෙර අජපාල නුගරුක් සෙවණෙහි වැඩසිටි සේක. එකල්හී හුදෙකලාවෙහි භාවනාවෙන් වසන භාග්‍යවතුන් වහන්සේට මෙබඳු චිත්ත පරිවිතර්කයක් ඇති වූයේ ය. එනම්,

‘පංච ඉන්ද්‍රියයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නාහු ය. නිවන පිහිට කොට ඇත්තාහු ය. නිවන අවසන් කොට ඇත්තාහු ය. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නේ ය. නිවන පිහිට කොට ඇත්තේ ය. නිවන අවසන් කොට ඇත්තේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නේ ය. නිවන පිහිට කොට ඇත්තේ ය. නිවන අවසන් කොට ඇත්තේ ය. මේ පංච ඉන්ද්‍රියයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නාහු ය. නිවන පිහිට කොට ඇත්තාහු ය. නිවන අවසන් කොට ඇත්තාහු ය.’

එකල්හී සහම්පතී බ්‍රහ්මරාජයා භාග්‍යවතුන් වහන්සේගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම බඹලොවින් නොපෙනී ගොස් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියෙහි පහළ වූයේ ය. ඉක්බිති සහම්පතී බ්‍රහ්මරාජයා උතුරු සළුව ඒකාංශ කොට, භාග්‍යවතුන් වහන්සේ වෙත ඇඳිලි බැඳ වන්දනා කොට භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

‘භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය, සුගතයන් වහන්ස, එය එසේ ම ය. ස්වාමීනී, පංච ඉන්ද්‍රියයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නාහු ය. නිවන පිහිට කොට ඇත්තාහු ය. නිවන අවසන් කොට ඇත්තාහු ය. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නේ ය. නිවන පිහිට කොට ඇත්තේ ය. නිවන අවසන් කොට ඇත්තේ ය. විරිය ඉන්ද්‍රිය ….(පෙ)…. සති ඉන්ද්‍රිය ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නේ ය. නිවන පිහිට කොට ඇත්තේ ය. නිවන අවසන් කොට ඇත්තේ ය. මේ පංච ඉන්ද්‍රියයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට නිවනට බැසගන්නාහු ය. නිවන පිහිට කොට ඇත්තාහු ය. නිවන අවසන් කොට ඇත්තාහු ය.

ස්වාමීනී, මම පූර්වයෙහි දී කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි බඹසර හැසිරුණෙමි. එහිදී ද මාව ‘සහක භික්ෂුව, සහක භික්ෂුව’ වශයෙන් මෙසේ දනිති. ස්වාමීනී, ඒ මම මේ පංච ඉන්ද්‍රිය ධර්මයන් දියුණු කරගත් බැවින්, බහුල ව ප්‍රගුණ කරගත් බැවින් කාමයන්හි කාමච්ඡන්දය දුරු කොට කය බිඳී මරණින් මතු සුගති සංඛ්‍යාත බඹලොව උපන්නෙමි. එහිදී ත් මාව ‘සහම්පතී බ්‍රහ්මයා ය, සහම්පතී බ්‍රහ්මයා ය’ වශයෙන් මෙසේ දනිති. භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය. සුගතයන් වහන්ස, එය එසේ ම ය. මේ පංච ඉන්ද්‍රියයෝ දියුණු කරගත් විට, බහුල ව ප්‍රගුණ කරගත් විට යම් සේ නිවනට බැසගන්නාහු ය. නිවන පිහිට කොට ඇත්තාහු ය. නිවන අවසන් කොට ඇත්තාහු යි මම මෙය දනිමි. මම මෙය දකිමි.”

සාදු! සාදු!! සාදු!!!

බ්‍රහ්ම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M