සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.4. පද සුත්තං

4.6.4. දහම් පදය ගැන වදාළ දෙසුම

මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්කිසි ඇවිද යන සත්වයන්ගේ පියවර සටහන් ඇද්ද, ඒ සියල්ල ඇත් පියවරෙහි ඇතුල් කළ හැක්කේ ය. ඇත් පියවර විශාලත්වයෙන් ඒ සියළු පා සටහන් වලට වඩා අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, අවබෝධය පිණිස යම්කිසි දහම් පදයෝ වෙත් නම්, ඒ සියළු දහම් පදයන්ට වඩා යම් මේ අවබෝධය පිණිස ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර යැයි කියනු ලැබේ.

මහණෙනි, අවබෝධය පිණිස ඇති දහම් පද මොනවා ද? මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය දහම් පදයකි. එය අවබෝධය පිණිස පවතියි. විරිය ඉන්ද්‍රිය දහම් පදයකි. එය අවබෝධය පිණිස පවතියි. සති ඉන්ද්‍රිය දහම් පදයකි. එය අවබෝධය පිණිස පවතියි. සමාධි ඉන්ද්‍රිය දහම් පදයකි. එය අවබෝධය පිණිස පවතියි. ප්‍රඥා ඉන්ද්‍රිය දහම් පදයකි. එය අවබෝධය පිණිස පවතියි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. යම්කිසි ඇවිද යන සත්වයන්ගේ පියවර සටහන් ඇද්ද, ඒ සියල්ල ඇත් පියවරෙහි ඇතුල් කළ හැක්කේ ය. ඇත් පියවර විශාලත්වයෙන් ඒ සියළු පා සටහන් වලට වඩා අග්‍ර යැයි කියනු ලැබේ. එසෙයින් ම මහණෙනි, අවබෝධය පිණිස යම්කිසි දහම් පදයෝ වෙත් නම්, ඒ සියළු දහම් පදයන්ට වඩා යම් මේ අවබෝධය පිණිස ප්‍රඥා ඉන්ද්‍රිය අග්‍ර යැයි කියනු ලැබේ.

සාදු! සාදු!! සාදු!!!

පද සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M