සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.3. සේඛ සුත්තං

4.6.3. නිවන් මගෙහි හික්මෙන භික්ෂුව ගැන වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මගෙහි හික්මෙන සේඛ භික්ෂුව සේඛ භූමියෙහි සිටියේ සේඛයෙක් වෙමි යි දන්නේ නම්, නිවන් මග සම්පූර්ණ කළ අසේඛ භික්ෂුව අසේඛ භූමියෙහි සිටියේ අසේඛයෙක් වෙමි යි දන්නේ නම්, එබඳු ක්‍රමයක් ඇත්තේ ද?”

“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ මුල්කොට අපගේ ධර්මය ඇත්තේ ය. ….(පෙ)….

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මගෙහි හික්මෙන සේඛ භික්ෂුව සේඛ භූමියෙහි සිටියේ සේඛයෙක් වෙමි යි දන්නේ නම්, නිවන් මග සම්පූර්ණ කළ අසේඛ භික්ෂුව අසේඛ භූමියෙහි සිටියේ අසේඛයෙක් වෙමි යි දන්නේ නම්, එබඳු ක්‍රමයක් ඇත්තේ ය.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මගෙහි හික්මෙන සේඛ භික්ෂුව සේඛ භූමියෙහි සිටියේ සේඛයෙක් වෙමි යි දන්නේ නම්, එබඳු වූ ක්‍රමය කුමක් ද?

මහණෙනි, මෙහිලා නිවන් මගෙහි හික්මෙන සේඛ භික්ෂුව මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුකෙහි නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම දනියි. මෙය දුක් නිරුද්ධ වන්නා වූ ප්‍රතිපදාව යැයි ඒ වූ සැටියෙන් ම දනියි.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මගෙහි හික්මෙන සේඛ භික්ෂුව සේඛ භූමියෙහි සිටියේ සේඛයෙක් වෙමි යි දන්නේ නම්, මෙය ත් වනාහී එබඳු වූ ක්‍රමයකි.

තව ද මහණෙනි, සේඛ භික්ෂුව මෙසේ නුවණින් සළකයි. ‘භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙසේ සිදු වූ, සත්‍ය වූ, නොවෙනස් වූ ධර්මයක් දේශනා කරන්නා වූ වෙනත් ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ බුදු සසුනෙන් බැහැර ව සිටින්නේ දැ’යි. ඔහු මෙසේ දැනගනියි. ‘භාග්‍යවතුන් වහන්සේ මෙන් මෙසේ සිදු වූ, සත්‍ය වූ, නොවෙනස් වූ ධර්මයක් දේශනා කරන්නා වූ අන්‍ය වූ වූ ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ මේ බුදු සසුනෙන් බැහැර ව නැත්තේ ය’ යි.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මගෙහි හික්මෙන සේඛ භික්ෂුව සේඛ භූමියෙහි සිටියේ සේඛයෙක් වෙමි යි දන්නේ නම්, මෙය ත් වනාහී එබඳු වූ ක්‍රමයකි.

තව ද මහණෙනි, සේඛ භික්ෂුව පංච ඉන්ද්‍රියයන් දනියි. එනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. යමක් ගතිය කොට, යමක් පරම කොට, යමක් බලය කොට, යමක් අවසානය කොට ඇද්ද, ඒ මේ ඉන්ද්‍රියයන් කයෙන් ස්පර්ශ නොකොට වාසය කරන නමුත් ප්‍රඥාවෙන් විනිවිද දකියි.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මගෙහි හික්මෙන සේඛ භික්ෂුව සේඛ භූමියෙහි සිටියේ සේඛයෙක් වෙමි යි දන්නේ නම්, මෙය ත් වනාහී එබඳු වූ ක්‍රමයකි.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මග සම්පූර්ණ කළ අසේඛ භික්ෂුව අසේඛ භූමියෙහි සිටියේ අසේඛයෙක් වෙමි යි දන්නේ නම්, එබඳු ක්‍රමය කුමක් ද?

මහණෙනි, මෙහිලා අසේඛ භික්ෂුව පංච ඉන්ද්‍රියයන් දනියි. එනම් ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය. යමක් ගතිය කොට, යමක් පරම කොට, යමක් බලය කොට, යමක් අවසානය කොට ඇද්ද, ඒ මේ ඉන්ද්‍රියයන් කයෙනුත් ස්පර්ශ කොට වාසය කරයි. ප්‍රඥාවෙනුත් විනිවිද දකියි.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මග සම්පූර්ණ කළ අසේඛ භික්ෂුව අසේඛ භූමියෙහි සිටියේ අසේඛයෙක් වෙමි යි දන්නේ නම්, මෙය ත් එබඳු ක්‍රමයකි.

තව ද මහණෙනි, අසේඛ භික්ෂුව ඉන්ද්‍රියයන් සය පිළිබඳ ව දනියි. එනම්, ඇස නම් වූ ඉන්ද්‍රිය ය, කන නම් වූ ඉන්ද්‍රිය ය, නාසය නම් වූ ඉන්ද්‍රිය ය, දිව නම් වූ ඉන්ද්‍රිය ය, කය නම් වූ ඉන්ද්‍රිය ය, මනස නම් වූ ඉන්ද්‍රිය ය. මේ ඉන්ද්‍රියයන් සය මුළුමනින් ම, සියල්ල ම, සියළු අයුරින්, සියල්ල ඉතිරි නැති ව නිරුද්ධ වන්නේ ය, අන්‍ය වූ ඉන්ද්‍රියයන් සයක් කොහේවත්, කොතැනකවත් යළි නූපදින්නේ ය යැයි දැනගනියි.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ නිවන් මග සම්පූර්ණ කළ අසේඛ භික්ෂුව අසේඛ භූමියෙහි සිටියේ අසේඛයෙක් වෙමි යි දන්නේ නම්, මෙය ත් එබඳු ක්‍රමයකි.

සාදු! සාදු!! සාදු!!!

සේඛ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M