සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.6.2. මල්ලක සුත්තං

4.6.2. මල්ලක නියම්ගමෙහි දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මල්ලක ජනපදයෙහි උරුවේලකප්ප නම් මල්ලකයන්ගේ නියම්ගමෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

මහණෙනි, ආර්ය ශ්‍රාවකයා හට යම්තාක් ආර්ය ඥානය නූපන්නේ වෙයි ද, ඒ තාක් ම ඉන්ද්‍රියයන් සතරක පිහිටීම නොවෙයි. ඒ තාක් ම ඉන්ද්‍රියයන් සතරෙහි බැසගෙන සිටීම නොවෙයි.

මහණෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා හට ආර්ය ඥානය උපන්නේ වෙයි ද, එකල්හී ඉන්ද්‍රියයන් සතරක පිහිටීම වෙයි. එකල්හී ඉන්ද්‍රියයන් සතරෙහි බැසගෙන සිටීම වෙයි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. උස් මුදුන් වහළ ඇති නිවසක කැණිමඬල යම්තාක් උඩට නොඔසොවන ලද්දේ වෙයි ද, ඒ තාක් පරාලයන් එක් ව පිහිටන්නේ නොවෙයි. ඒ තාක් ම පරාලයන්ගේ පිවිසීම පිහිටන්නේ නොවෙයි.

මහණෙනි, යම් කලෙක උස් මුදුන් වහළ ඇති නිවසක කැණිමඬල උඩට ඔසොවන ලද්දේ වෙයි ද, එකල්හී පරාලයන් එක් ව පිහිටන්නේ වෙයි. එකල්හී පරාලයන්ගේ පිවිසීම පිහිටන්නේ වෙයි.

එසෙයින් ම මහණෙනි, ආර්ය ශ්‍රාවකයා හට යම්තාක් ආර්ය ඥානය නූපන්නේ වෙයි ද, ඒ තාක් ම ඉන්ද්‍රියයන් සතරක පිහිටීම නොවෙයි. ඒ තාක් ම ඉන්ද්‍රියයන් සතරෙහි බැසගෙන සිටීම නොවෙයි.

මහණෙනි, යම් කලෙක ආර්ය ශ්‍රාවකයා හට ආර්ය ඥානය උපන්නේ වෙයි ද, එකල්හී ඉන්ද්‍රියයන් සතරක පිහිටීම වෙයි. එකල්හී ඉන්ද්‍රියයන් සතරෙහි බැසගෙන සිටීම වෙයි. ඒ කවර සතරක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය. මහණෙනි, ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයා හට ඒ ප්‍රඥාව අනුව යන ශ්‍රද්ධාව පිහිටයි. ඒ අනුව යන වීරිය පිහිටයි. ඒ අනුව සිහිය පිහිටයි. ඒ අනුව යන සමාධිය පිහිටයි.

සාදු! සාදු!! සාදු!!!

මල්ලක සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-6-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M