සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.5.5. පුබ්බාරාම සුත්තං

4.5.5. පූර්වාරාමයේ දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමය නම් මිගාරමාතු ප්‍රාසාදයෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක. ….(පෙ)….

“මහණෙනි, කොපමණ ඉන්ද්‍රියයන් වැඩූ බැවින් ද, බහුල ව වැඩූ බැවින් ද ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ?”

“ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල්කොට ඇත්තේ ය. ….(පෙ)….

“මහණෙනි, එක ම ඉන්ද්‍රියයක් වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ ය. ඒ කවර එක ම ඉන්ද්‍රියයක් ද? ප්‍රඥා ඉන්ද්‍රිය යි.

මහණෙනි, ප්‍රඥාවන්ත ආර්ය ශ්‍රාවකයා හට ඒ අනුව යන ශ්‍රද්ධාව පිහිටයි. ඒ අනුව යන වීර්යය පිහිටයි. ඒ අනුව යන සිහිය පිහිටයි. ඒ අනුව යන සමාධිය පිහිටයි. මහණෙනි, මේ එක ම ඉන්ද්‍රියයක් වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් ක්ෂීණාශ්‍රව භික්ෂුව ‘ඉපදීම ක්ෂය විය, බඹසර වාසය නිමා විය, කළ යුත්ත කරන ලදී. නිවන පිණිස කළ යුතු වෙනෙකක් නැතැ යි දැනගතිමි’ යි අරහත්වය ප්‍රකාශ කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

පුබ්බාරාම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M