සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.5.3. සාකේත සුත්තං

4.5.3. සාකේත නුවර දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සාකේත නුවර අංජන වනය නම් වූ මිගදායෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ යම් පංච ඉන්ද්‍රියයන් ඇද්ද, ඒවා ම පංච බල වෙයි නම්, යම් පංච බල ඇද්ද, ඒවා පංච ඉන්ද්‍රියය වෙයි නම් එබඳු ධර්ම ක්‍රමයක් ඇද්ද?”

“ස්වාමීනී, අපගේ ධර්මය භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තේ ය. ….(පෙ)…. මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ යම් පංච ඉන්ද්‍රියයන් ඇද්ද, ඒවා ම පංච බල වෙයි නම්, යම් පංච බල ඇද්ද, ඒවා පංච ඉන්ද්‍රියය වෙයි නම් එබඳු ධර්ම ක්‍රමයක් ඇත්තේ ය.

මහණෙනි, යම් ධර්ම ක්‍රමයකට පැමිණ යම් පංච ඉන්ද්‍රියයන් ඇද්ද, ඒවා ම පංච බල වෙයි නම්, යම් පංච බල ඇද්ද, ඒවා පංච ඉන්ද්‍රියය වෙයි නම් එබඳු වූ ධර්ම ක්‍රමය කුමක් ද?

මහණෙනි, යම් ශ්‍රද්ධා ඉන්ද්‍රියයක් ඇද්ද, ශ්‍රද්ධා බලය වන්නේ එය යි. යම් ශ්‍රද්ධා බලයක් ඇද්ද, ශ්‍රද්ධා ඉන්ද්‍රිය වන්නේ එය යි.

යම් විරිය ඉන්ද්‍රියයක් ඇද්ද, විරිය බලය වන්නේ එය යි. යම් විරිය බලයක් ඇද්ද, විරිය ඉන්ද්‍රිය වන්නේ එය යි.

යම් සති ඉන්ද්‍රියයක් ඇද්ද, සති බලය වන්නේ එය යි. යම් සති බලයක් ඇද්ද, සති ඉන්ද්‍රිය වන්නේ එය යි.

යම් සමාධි ඉන්ද්‍රියයක් ඇද්ද, සමාධි බලය වන්නේ එය යි. යම් සමාධි බලයක් ඇද්ද, සමාධි ඉන්ද්‍රිය වන්නේ එය යි.

යම් ප්‍රඥා ඉන්ද්‍රියයක් ඇද්ද, ප්‍රඥා බලය වන්නේ එය යි. යම් ප්‍රඥා බලයක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රිය වන්නේ එය යි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. පෙරදිගට නැමුණු, පෙරදිගට නැඹුරු වූ, පෙරදිගට බර වූ නදියක් ඇත්තේ ය. ඒ නදිය මැද දූපතක් ඇත්තේ ය. මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩ පහරක් ය යන ගණනට යයි නම් එබඳු ක්‍රමයක් ද ඇත්තේ ය. මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ ඒ නදියෙහි සැඩ පහර දෙකක් ඇත්තේ ය යන ගණනට යයි නම්, එබඳු ක්‍රමයක් ද ඇත්තේ ය.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩ පහරක් ය යන ගණනට යයි නම් එබඳු වූ ක්‍රමය කුමක් ද? මහණෙනි, ඒ දූපතට නැගෙනහිර කොනෙනුත් ගලන යම් දියක් ඇද්ද, බටහිර කොනෙනුත් ගලන යම් දියක් ඇද්ද, මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ ඒ නදියෙහි එක ම සැඩ පහරක් ය යන ගණනට යයි නම් එබඳු වූ ක්‍රමය මෙය යි.

මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ ඒ නදියෙහි සැඩ පහර දෙකක් ය යන ගණනට යයි නම් එබඳු වූ ක්‍රමය කුමක් ද? මහණෙනි, ඒ දූපතට උතුරු කොනෙනුත් ගලන යම් දියක් ඇද්ද, දකුණු කොනෙනුත් ගලන යම් දියක් ඇද්ද, මහණෙනි, යම් ක්‍රමයකට පැමිණ ඒ නදියෙහි සැඩ පහර දෙකක් ය යන ගණනට යයි නම් එබඳු වූ ක්‍රමය මෙය යි.

එසෙයින් ම මහණෙනි, යම් ශ්‍රද්ධා ඉන්ද්‍රියයක් ඇද්ද, ශ්‍රද්ධා බලය එය යි. යම් ශ්‍රද්ධා බලයක් ඇද්ද, ශ්‍රද්ධා ඉන්ද්‍රිය එය යි. ….(පෙ)…. යම් ප්‍රඥා ඉන්ද්‍රියයක් ඇද්ද, ප්‍රඥා බලය වන්නේ එය යි. යම් ප්‍රඥා බලයක් ඇද්ද, ප්‍රඥා ඉන්ද්‍රිය වන්නේ එය යි.

මහණෙනි, මේ පංච ඉන්ද්‍රියයන් වැඩූ බැවින්, බහුල ව වැඩූ බැවින් භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කොට අනාශ්‍රව වූ චිත්ත විමුක්තිය ත්, ප්‍රඥා විමුක්තිය ත් මෙලොව දී ම ස්වකීය විශිෂ්ට ඥානයෙන් දැන සාක්ෂාත් කොට එයට පැමිණ වාසය කරන්නේ ය.

සාදු! සාදු!! සාදු!!!

සාකේත සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M