සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.5.2. උණ්ණාභබ්‍රාහ්මණ සුත්තං

4.5.2. උණ්ණාභ බ්‍රාහ්මණයාට වදාළ දෙසුම

එකල්හී උණ්ණාභ බ්‍රාහ්මණයා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූයේ ය. සතුටු විය යුතු සිහි කටයුතු පිළිසඳර කථාව නිමවා එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසුවේ ය.

“භවත් ගෞතමයන් වහන්ස, මේ ඉන්ද්‍රියයෝ පසකි. මේවා වෙන් වෙන් විෂය ඇත්තාහු ය. වෙන් වෙන් අරමුණු ඇත්තාහු ය. එකිනෙකාට අරමුණු වන දෙය හුවමාරු කොට නොවිඳිති. ඒ කවර පසක් ද යත්, ඇස නම් වූ ඉන්ද්‍රිය ය, කන නම් වූ ඉන්ද්‍රිය ය, නාසය නම් වූ ඉන්ද්‍රිය ය, දිව නම් වූ ඉන්ද්‍රිය ය, කය නම් වූ ඉන්ද්‍රිය ය. භවත් ගෞතමයන් වහන්ස, මේ වෙන් වෙන් විෂය ඇති, වෙන් වෙන් අරමුණු ඇති, එකිනෙකාගේ අරමුණු හුවමාරු නොකොට විඳින්නා වූ පංච ඉන්ද්‍රියයන් හට ඇති පිළිසරණ කුමක් ද? මොවුන්ට අරමුණු වන දෙය විඳින්නේ කවරෙක් ද?”

“බ්‍රාහ්මණය, මේ ඉන්ද්‍රියයෝ පසකි. මේවා වෙන් වෙන් විෂය ඇත්තාහු ය. වෙන් වෙන් අරමුණු ඇත්තාහු ය. එකිනෙකාට අරමුණු වන දෙය හුවමාරු කොට නොවිඳිති. ඒ කවර පසක් ද යත්, ඇස නම් වූ ඉන්ද්‍රිය ය, කන නම් වූ ඉන්ද්‍රිය ය, නාසය නම් වූ ඉන්ද්‍රිය ය, දිව නම් වූ ඉන්ද්‍රිය ය, කය නම් වූ ඉන්ද්‍රිය ය. බ්‍රාහ්මණය, මේ වෙන් වෙන් විෂය ඇති, වෙන් වෙන් අරමුණු ඇති, එකිනෙකාගේ අරමුණු හුවමාරු නොකොට විඳින්නා වූ පංච ඉන්ද්‍රියයන් හට ඇති පිළිසරණ මනස යි. මොවුන්ට අරමුණු වන දෙය විඳින්නේ ද මනස යි.”

“භවත් ගෞතමයන් වහන්ස, මනසට ඇති පිළිසරණ කුමක් ද?”

“බ්‍රාහ්මණය, මනසට ඇති පිළිසරණ සිහිය යි.”

“භවත් ගෞතමයන් වහන්ස, සිහියට ඇති පිළිසරණ කුමක් ද?”

“බ්‍රාහ්මණය, සිහියට ඇති පිළිසරණ විමුක්තිය යි.”

“භවත් ගෞතමයන් වහන්ස, විමුක්තියට ඇති පිළිසරණ කුමක් ද?”

“බ්‍රාහ්මණය, විමුක්තියට ඇති පිළිසරණ නිවන යි.”

“භවත් ගෞතමයන් වහන්ස, නිවනට ඇති පිළිසරණ කුමක් ද?”

“බ්‍රාහ්මණය, ප්‍රශ්නය ඉක්මවා ගියේ ය. ප්‍රශ්නයෙහි කෙළවරක් ගැනීමට නොහැකි වූයේ ය. බ්‍රාහ්මණය, නිවනට බැසගෙන, නිවන පිහිට කොට, නිවන අවසාන ඉලක්කය කොට බඹසර වසනු ලැබේ.”

එකල්හී උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ භාග්‍යවතුන් වහන්සේ භාෂිතය සතුටින් පිළිගෙන, අනුමෝදන් ව හුනස්නෙන් නැගී භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට, පැදකුණු කොට නික්ම ගියේ ය. ඉක්බිති උණ්ණාභ බ්‍රාහ්මණයා නික්ම ගිය නොබෝ වේලාවකින් භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.

“මහණෙනි, එය මෙබඳු දෙයකි. උස් මුදුන් වහළ ඇති නිවසක් හෝ උස් මුදුන් වහළ ඇති ශාලාවක් හෝ තිබෙයි. එහි නැගෙනහිර දෙසට ජනේල ඇත්තේ ය. හිරු නැගෙන විට ඒ ජනේලයෙන් වැටෙන හිරු රැස් පිහිටන්නේ කොහේ ද?”

“ස්වාමීනී, බටහිර බිත්තියේ ය.”

“එසෙයින් ම මහණෙනි, උණ්ණාභ බ්‍රාහ්මණයා තුළ තථාගතයන් වහන්සේ පිළිබඳ ව ශ්‍රද්ධාව බැසගත්තේ ය. මුල් හටගත්තේ ය. පිහිටියේ ය. දැඩිවූයේ ය. ලෝකයෙහි කිසි ශ්‍රමණයෙකු හෝ බ්‍රාහ්මණයෙකු හෝ දෙවියෙකු හෝ මාරයෙකු හෝ බ්‍රහ්මයෙකු හෝ ලෝකයෙහි කිසිවෙකු හෝ විසින් වැනසිය නොහැක්කේ ය. මහණෙනි, ඉදින් උණ්ණාභ බ්‍රාහ්මණයා මේ අවස්ථාවෙහි කළුරිය කරන්නේ නමුත් යම් සංයෝජනයකින් බැඳුණු උණ්ණාභ බ්‍රාහ්මණයා නැවත මනුලොවට පැමිණෙයි නම් එබඳු සංයෝජනයක් නැත්තේ ය.”

සාදු! සාදු!! සාදු!!!

උණ්ණාභබ්‍රාහ්මණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M