එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර මිගාරමාතු ප්‍රාසාදය නම් පූර්වාරාමයෙහි වැඩවෙසෙන සේක. එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ සවස් වරුවෙහි භාවනාවෙන් නැගී සිටි සේක් වෙහෙර පිටුපස අව්වට පිට තවමින් වැඩහුන් සේක. එකල්හී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියහ. එළඹ භාග්‍යවතුන් වහන්සේට සකසා වන්දනා කොට භාග්‍යවතුන් වහන්සේගේ පාදයන් අතින් පිරිමදිමින් භාග්‍යවතුන් වහන්සේට මෙය පැවසූහ.
“ස්වාමීනී, ආශ්චර්යයකි! ස්වාමීනී, අද්භූතයෙකි! දැන් වනාහී භාග්‍යවතුන් වහන්සේගේ සමෙහි පැහැය පෙර පරිද්දෙන් පිරිසිදු ව නොබබලයි. අත් පා සියල්ල ලිහිල් වී ඇත්තේ ය. රැළි හටගෙන ඇත්තේ ය. කය ද මදක් ඉදිරියට නැමුණේ ය. ඇස නම් වූ ඉන්ද්‍රියේ ත්, කන නම් වූ ඉන්ද්‍රියේ ත්, නාසය නම් වූ ඉන්ද්‍රියේ ත්, දිව නම් වූ ඉන්ද්‍රියේ ත්, කය නම් වූ ඉන්ද්‍රියේ ත් යන ඉන්ද්රියයන්ගේ වෙනස් බවකුත් පෙනෙයි.”
“ආනන්දයෙනි, එය එසේ ම නොවැ. යෞවනයෙහි දිරන ස්වභාව ඇත්තේ ය. ආරෝග්‍යයෙහි ලෙඩ වෙන ස්වභාව ඇත්තේ ය. ජීවිතයෙහි මැරෙන ස්වභාවය ඇත්තේ ය. සමෙහි පැහැය පෙර පරිද්දෙන් පිරිසිදු ව නොබබලයි. අත් පා සියල්ල ලිහිල් වී ඇත්තේ ය. රැළි හටගෙන ඇත්තේ ය. කය ද මදක් ඉදිරියට නැමුණේ ය. ඇස නම් වූ ඉන්ද්‍රියේ ත්, කන නම් වූ ඉන්ද්‍රියේ ත්, නාසය නම් වූ ඉන්ද්‍රියේ ත්, දිව නම් වූ ඉන්ද්‍රියේ ත්, කය නම් වූ ඉන්ද්‍රියේ ත් යන ඉන්ද්රියයන්ගේ වෙනස් බවකුත් පෙනෙයි.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. මෙය වදාළ සුගත වූ ශාස්තෘන් වහන්සේ යළි ත් මෙය වදාළ සේක.
(ගාථාවන් ය…)
1. එම්බා ලාමක ජරාව, දුර්වර්ණ බව ඇති කරදෙන ජරාවට නින්දා වේවා! ඒ තාක් මනෝරම්‍ය වූ සිරුර ජරාවෙන් දැඩි ලෙස මඩින ලද්දේ ය.
2. යමෙක් සියක් වසරක් ජීවත් වෙන නමුත් ඔහු ත් මරු වසඟයට යන්නේ ය. මරණය කිසිවක් අත්නොහරියි. සියල්ල ම දැඩි ලෙස මඩින්නේ ය.
සාදු! සාදු!! සාදු!!!
ජරා සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M