මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි.
මහණෙනි, මෙහිලා භික්ෂුව හට අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරද්දී දුක් ඉන්ද්‍රිය උපදියි. ඔහු මෙසේ දැනගනියි. ‘මා හට මේ දුක් ඉන්ද්‍රිය උපන්නේ ය. එය වනාහී හේතු සහිත වූ, නිදාන සහිත වූ, සංස්කාර සහිත වූ, ප්‍රත්‍ය සහිත වූ දෙයකි. ඒකාන්තයෙන් ඒ දුක් ඉන්ද්‍රිය හේතු රහිත ව, නිදාන රහිත ව, සංස්කාර රහිත ව, ප්‍රත්‍ය රහිත ව උපදින්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි’ යි.
ඔහු දුක් ඉන්ද්‍රියය ත් දැනගනියි. දුක් ඉන්ද්‍රියෙහි හටගැනීමත් දැනගනියි. දුක් ඉන්ද්‍රිය නිරුද්ධ වීම ත් දැනගනියි. යම් තැනක උපන් දුක් ඉන්ද්‍රිය ඉතිරි නැති ව නිරුද්ධ වෙයි ද එය ත් දැනගනියි. උපන් දුක් ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ කොතැන ද? මහණෙනි, මෙහිලා භික්ෂුව කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. උපන් දුක් ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ මෙහි ය. මහණෙනි, මේ භික්ෂුව දුක් ඉන්ද්‍රියයේ නිරෝධය දැනගත්තේ ය. එබඳු බව පිණිස සිත යොමු කොට සිටින්නේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මෙහිලා භික්ෂුව හට අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරද්දී දොම්නස් ඉන්ද්‍රිය උපදියි. ඔහු මෙසේ දැනගනියි. ‘මා හට මේ දොම්නස් ඉන්ද්‍රිය උපන්නේ ය. එය වනාහී හේතු සහිත වූ, නිදාන සහිත වූ, සංස්කාර සහිත වූ, ප්‍රත්‍ය සහිත වූ දෙයකි. ඒකාන්තයෙන් ඒ දොම්නස් ඉන්ද්‍රිය හේතු රහිත ව, නිදාන රහිත ව, සංස්කාර රහිත ව, ප්‍රත්‍ය රහිත ව උපදින්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි’ යි.
ඔහු දොම්නස් ඉන්ද්‍රියය ත් දැනගනියි. දොම්නස් ඉන්ද්‍රියයෙහි හටගැනීමත් දැනගනියි. දොම්නස් ඉන්ද්‍රිය නිරුද්ධ වීම ත් දැනගනියි. යම් තැනක උපන් දොම්නස් ඉන්ද්‍රිය ඉතිරි නැති ව නිරුද්ධ වෙයි ද එය ත් දැනගනියි. උපන් දොම්නස් ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ කොතැන ද? මහණෙනි, මෙහිලා භික්ෂුව විතර්ක විචාරයන් සංසිඳීමෙන් තමා තුළ පැහැදීම ඇති කරවන සිතේ එකඟ බවින් යුතුව විතර්ක විචාර රහිත වූ සමාධියෙන් හටගත් ප්‍රීති සැපය ඇති දෙවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරද්දී උපන් දොම්නස් ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ මෙහි ය. මහණෙනි, මේ භික්ෂුව දොම්නස් ඉන්ද්‍රියයේ නිරෝධය දැනගත්තේ ය. එබඳු බව පිණිස සිත යොමු කොට සිටින්නේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මෙහිලා භික්ෂුව හට අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරයි සැප ඉන්ද්‍රිය උපදියි. ඔහු මෙසේ දැනගනියි. ‘මා හට මේ සැප ඉන්ද්‍රිය උපන්නේ ය. එය වනාහී හේතු සහිත වූ, නිදාන සහිත වූ, සංස්කාර සහිත වූ, ප්‍රත්‍ය සහිත වූ දෙයකි. ඒකාන්තයෙන් ඒ සැප ඉන්ද්‍රිය හේතු රහිත ව, නිදාන රහිත ව, සංස්කාර රහිත ව, ප්‍රත්‍ය රහිත ව උපදින්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි’ යි.
ඔහු සැප ඉන්ද්‍රියය ත් දැනගනියි. සැප ඉන්ද්‍රියයෙහි හටගැනීමත් දැනගනියි. සැප ඉන්ද්‍රිය නිරුද්ධ වීම ත් දැනගනියි. යම් තැනක උපන් සැප ඉන්ද්‍රිය ඉතිරි නැති ව නිරුද්ධ වෙයි ද එය ත් දැනගනියි. උපන් සැප ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ කොතැන ද? මහණෙනි, මෙහිලා භික්ෂුව ප්‍රීතියට ද නොඇලීමෙන් සිහියෙන් හා නුවණින් යුතුව උපේක්ෂාවෙන් වසයි. කයෙන් සැපයක් ද විඳියි. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතුව, සිහියෙන් යුතුව ඇති සැප විහරණය යැයි යම් ධ්‍යානයකට කියන ලද්දේ ද, ඒ තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. උපන් සැප ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ මෙහි ය. මහණෙනි, මේ භික්ෂුව සැප ඉන්ද්‍රියයේ නිරෝධය දැනගත්තේ ය. එබඳු බව පිණිස සිත යොමු කොට සිටින්නේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මෙහිලා භික්ෂුව හට අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරද්දී සොම්නස් ඉන්ද්‍රිය උපදියි. ඔහු මෙසේ දැනගනියි. ‘මා හට මේ සොම්නස් ඉන්ද්‍රිය උපන්නේ ය. එය වනාහී හේතු සහිත වූ, නිදාන සහිත වූ, සංස්කාර සහිත වූ, ප්‍රත්‍ය සහිත වූ දෙයකි. ඒකාන්තයෙන් ඒ සොම්නස් ඉන්ද්‍රිය හේතු රහිත ව, නිදාන රහිත ව, සංස්කාර රහිත ව, ප්‍රත්‍ය රහිත ව උපදින්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි’ යි.
ඔහු සොම්නස් ඉන්ද්‍රියය ත් දැනගනියි. සොමනස් ඉන්ද්‍රියයෙහි හටගැනීම ත් දැනගනියි. සොම්නස් උපන් ඉන්ද්‍රිය නිරුද්ධ වීම ත් දැනගනියි. යම් තැනක උපන් සොම්නස් ඉන්ද්‍රිය ඉතිරි නැති ව නිරුද්ධ වෙයි ද එය ත් දැනගනියි. සොම්නස් ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ කොතැන ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. උපන් සොම්නස් ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ මෙහි ය. මහණෙනි, මේ භික්ෂුව සොම්නස් ඉන්ද්‍රියයේ නිරෝධය දැනගත්තේ ය. එබඳු බව පිණිස සිත යොමු කොට සිටින්නේ යැයි කියනු ලැබේ.
මහණෙනි, මෙහිලා භික්ෂුව හට අප්‍රමාදී ව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, කාය ජීවිත දෙකෙහි අපේක්ෂා රහිත ව වාසය කරද්දී උපේක්ෂා ඉන්ද්‍රිය උපදියි. ඔහු මෙසේ දැනගනියි. ‘මා හට මේ උපේක්ෂා ඉන්ද්‍රිය උපන්නේ ය. එය වනාහී හේතු සහිත වූ, නිදාන සහිත වූ, සංස්කාර සහිත වූ, ප්‍රත්‍ය සහිත වූ දෙයකි. ඒකාන්තයෙන් ඒ උපේක්ෂා ඉන්ද්‍රිය හේතු රහිත ව, නිදාන රහිත ව, සංස්කාර රහිත ව, ප්‍රත්‍ය රහිත ව උපදින්නේ ය යන කරුණ සිදු නොවන දෙයකි’ යි.
ඔහු උපේක්ෂා ඉන්ද්‍රියය ත් දැනගනියි. උපේක්ෂා ඉන්ද්‍රයයෙහි හටගැනීම ත් දැනගනියි. උපන් උපේක්ෂා ඉන්ද්‍රිය නිරුද්ධ වීම ත් දැනගනියි. යම් තැනක උපන් උපේක්ෂා ඉන්ද්‍රිය ඉතිරි නැති ව නිරුද්ධ වෙයි ද එය ත් දැනගනියි. උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ කොතැන ද? මහණෙනි, මෙහිලා භික්ෂුව සියළු අයුරින් නේවසංඥානාසංඥායතනය ඉක්ම ගොස් සංඥා වේදයිත නිරෝධයට පැමිණ වාසය කරයි. උපන් උපේක්ෂා ඉන්ද්‍රිය ඉතුරු නැති ව නිරුද්ධ වන්නේ මෙහි ය. මහණෙනි, මේ භික්ෂුව උපේක්ෂා ඉන්ද්‍රියයේ නිරෝධය දැනගත්තේ ය. එබඳු බව පිණිස සිත යොමු කොට සිටින්නේ යැයි කියනු ලැබේ.
සාදු! සාදු!! සාදු!!!
උප්පටිපාටික සූත්‍රය නිමා විය.
සිව්වෙනි සුඛින්ද්‍රිය වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
සුද්ධක සූත්‍රය, සෝතාපන්න සූත්‍රය, අරහන්ත සූත්‍රය, සමණබ්‍රාහ්මණ සූත්‍ර දෙක, විභංග සූත්‍ර තුන, කට්ඨෝපම සූත්‍රය, සහ උප්පටිපාටික සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M