සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.4.9. කට්ඨෝපම සුත්තං

4.4.9. ගිනිගානා දණ්ඩ උපමා කොට වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, සැපය නම් වූ ඉන්ද්‍රියයකි. සොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. දුක නම් වූ ඉන්ද්‍රියයකි. දොම්නස නම් වූ ඉන්ද්‍රියයකි. උපේක්ෂාව නම් වූ ඉන්ද්‍රියයකි.

මහණෙනි, සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිසා සැප ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු සැපයට පත් ව, සුඛිත වූයෙමි යි දැනගනියි. ඒ සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් සැප වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් සැප ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිසා දුක් ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු දුකට පත් ව, දුක්ඛිත වූයෙමි යි දැනගනියි. ඒ දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් දුක් වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් දුක් ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, මානසික සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිසා සොම්නස් ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු මානසික සැපයට පත් ව, සැපවත් සිත් ඇතිවූයෙමි යි දැනගනියි. ඒ මානසික සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් මානසික සැප වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් සොම්නස් ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, මානසික දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිසා දොම්නස් ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු මානසික දුකට පත් ව, දුකට පත් සිත් ඇතිවූයෙමි යි දැනගනියි. ඒ මානසික දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් මානසික දුක් වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් දොම්නස් ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, උපේක්ෂා විඳීමට හේතු වූ ස්පර්ශය නිසා උපේක්ෂා ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු උපේක්ෂාවට පත් ව, උපේක්ෂාව ඇතිවූයෙමි යි දැනගනියි. ඒ උපේක්ෂා විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් උපේක්ෂා වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් උපේක්ෂා ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, එය මෙබඳු දෙයකි. ගිනිගානා දඬු දෙකක් ඝට්ඨනය කිරීමෙන් එකිනෙක එකතු වීමෙන් උණුසුම උපදියි. ගින්න හටගනියි. ඒ ගිනි ගානා දඬු දෙකෙහි ම වෙන්වීමෙන්, වෙන් කොට තැබීමෙන් එයින් හටගත් යම් උණුසුමක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි.

එසෙයින් ම මහණෙනි, සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිසා සැප ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු සැපයට පත් ව, සුඛිත වූයෙමි යි දැනගනියි. ඒ සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් සැප වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් සැප ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිසා දුක් ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු දුකට පත් ව, දුක්ඛිත වූයෙමි යි දැනගනියි. ඒ දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් දුක් වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් දුක් ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, මානසික සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිසා සොම්නස් ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු මානසික සැපයට පත් ව, සැපවත් සිත් ඇතිවූයෙමි යි දැනගනියි. ඒ මානසික සැප විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් මානසික සැප වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් සොම්නස් ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, මානසික දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිසා දොම්නස් ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු මානසික දුකට පත් ව, දුකට පත් සිත් ඇතිවූයෙමි යි දැනගනියි. ඒ මානසික දුක් විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් මානසික දුක් වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් දොම්නස් ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

මහණෙනි, උපේක්ෂා විඳීමට හේතු වූ ස්පර්ශය නිසා උපේක්ෂා ඉන්ද්‍රිය උපදියි. එවිට ඔහු උපේක්ෂාවට පත් ව, උපේක්ෂාව ඇතිවූයෙමි යි දැනගනියි. ඒ උපේක්ෂා විඳීමට හේතු වූ ස්පර්ශය නිරුද්ධ වීමෙන් එයින් හටගත් යම් විඳීමක් ඇද්ද, එනම් උපේක්ෂා වේදනාව ඇති කළ ස්පර්ශය නිසා උපන් උපේක්ෂා ඉන්ද්‍රියයක් ඇද්ද, එය නිරුද්ධ වෙයි. එය සංසිඳෙයි යැයි දැනගනියි.

සාදු! සාදු!! සාදු!!!

කට්ඨෝපම සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M