සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.5.10. ආපණ සුත්තං

4.5.10. ආපණ නියම්ගමෙහි දී වදාළ දෙසුම

එක් සමයක භාග්‍යවතුන් වහන්සේ අංග ජනපදයෙහි අංගයන්ගේ ආපණ නම් නියම්ගමෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් සාරිපුත්තයන් වහන්සේ ඇමතූ සේක.

“සාරිපුත්තයෙනි, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් තථාගතයන් පිළිබඳ ව ඒකාන්ත බවට පැහැදී ගොස් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ නම්, ඔහු තථාගතයන් පිළිබඳ ව හෝ තථාගතයන්ගේ සසුන පිළිබඳ ව හෝ සැක කරන්නේ ද? විචිකිච්ඡා කරන්නේ ද?”

“ස්වාමීනී, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් තථාගතයන් වහන්සේ පිළිබඳ ව ඒකාන්ත බවට පැහැදී ගොස් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ නම්, ඔහු තථාගතයන් වහන්සේ පිළිබඳ ව හෝ තථාගතයන්ගේ සසුන පිළිබඳ ව හෝ සැක නොකරන්නේ ය, විචිකිච්ඡා නොකරන්නේ ය.

ස්වාමීනී, සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා හට මෙය කැමති විය යුත්තේ ය. එනම් ‘අකුසල් දහම් ප්‍රහාණය පිණිස, කුසල් දහම් ඉපිදවීම පිණිස, කුසල් දහම් පිළිබඳ ව දැඩි වීර්යයක්, දැඩි පරාක්‍රමයක්, අත්නොහළ වීර්යයක් ඇති ව, පටන් ගත් වීරියෙන් වාසය කරන්නේ ය’ යන කරුණ යි. ස්වාමීනී, ඔහු තුළ යම් වීරියක් ඇද්ද, එය ඔහුගේ වීරිය ඉන්ද්‍රිය යි.

ස්වාමීනී, පටන්ගත් වීරිය ඇති සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා හට මෙය කැමති විය යුත්තේ ය. එනම් ‘උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. සිහි ඇත්තේ වෙයි’ යන කරුණ යි. ස්වාමීනි, ඔහු තුළ යම් සතියක් ඇද්ද, එය ඔහුගේ සති ඉන්ද්‍රිය යි.

ස්වාමීනී, පටන්ගත් වීරිය ඇති, පිහිටුවා ගත් සිහිය ඇති, සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා හට මෙය කැමති විය යුත්තේ ය. එනම් ‘නිවන අරමුණු කොට සමාධිය ලබන්නේ ය, සිතෙහි ඒකාග්‍රතාවය ලබන්නේ ය’ යන කරුණ යි. ස්වාමීනී, ඔහු තුළ යම් සමාධියක් ඇද්ද, එය ඔහුගේ සමාධි ඉන්ද්‍රිය යි.

ස්වාමීනී, පටන්ගත් වීරිය ඇති, පිහිටුවා ගත් සිහිය ඇති, සමාහිත සිත් ඇති, සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා හට මෙය කැමති විය යුත්තේ ය. එනම් ‘මේ සංසාරය කෙළවරක් දැක්ක නොහැකි ය. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්වයන්ගේ සසර සැරිසරායාමෙහි ආරම්භක කෙළවරක් නොපෙනෙයි. අවිද්‍යාව නම් වූ ඝනාන්ධකාරයෙහි ඉතිරි නැති ව විරාග නිරෝධයක් ඇද්ද, යම් මේ සියළු සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද, සියළු උපධීන්ගේ බැහැර කිරීමක් ඇද්ද, තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද, විරාගයක් ඇද්ද, නිරෝධයක් ඇද්ද, නිවනක් ඇද්ද මෙය ශාන්ත වූ දෙයකි. මෙය ප්‍රණීත වූ දෙයකි යනුවෙන් නිවන පිළිබඳ ව මෙසේ දන්නේ ය යන කරුණ යි. ස්වාමීනී, ඔහු තුළ යම් ප්‍රඥාවක් ඇද්ද, එය ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රිය යි.

ස්වාමීනී, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මෙසේ ඉතා බලවත් ලෙස වීර්යය කර කර, මෙසේ සිහි කර කර, මෙසේ සිත තැන්පත් කර කර, මෙසේ දැන දැන, මෙසේ ගැඹුරින් අදහයි. එනම් ‘යම් ධර්මයක් මා කලින් අසන ලද්දේ ද, මේ ඒ ධර්මයෝ නොවැ. ඒ ධර්මයන් මම දැන් කයෙන් ද ස්පර්ශ කොට වාසය කරමි. ප්‍රඥාවෙන් ද විනිවිද දකිමි. ස්වාමීනී, ඔහුගේ යම් ශ්‍රද්ධාවක් ඇද්ද, එය ඔහුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය යි.”

“සාරිපුත්තයෙනි, යහපති, යහපති. සාරිපුත්තයෙනි, යම් ඒ ආර්ය ශ්‍රාවකයෙක් තථාගතයන් පිළිබඳ ව ඒකාන්ත බවට පැහැදී ගොස් බලවත් ශ්‍රද්ධාවෙන් යුක්ත වූයේ නම්, ඔහු තථාගතයන් පිළිබඳ ව හෝ තථාගතයන්ගේ සසුන පිළිබඳ ව හෝ සැක නොකරන්නේ ය, විචිකිච්ඡා නොකරන්නේ ය.

සාරිපුත්තයෙනි, සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා හට මෙය කැමති විය යුත්තේ ය. එනම් ‘අකුසල් දහම් ප්‍රහාණය පිණිස, කුසල් දහම් ඉපිදවීම පිණිස, කුසල් දහම් පිළිබඳ ව දැඩි වීර්යයක්, දැඩි පරාක්‍රමයක්, අත්නොහළ වීර්යයක් ඇති ව, පටන් ගත් වීරියෙන් වාසය කරන්නේ ය’ යන කරුණ යි. සාරිපුත්තයෙනි, ඔහු තුළ යම් වීරියක් ඇද්ද, එය ඔහුගේ වීරිය ඉන්ද්‍රිය යි.

සාරිපුත්තයෙනි, පටන්ගත් වීරිය ඇති සැදැහැවත් ආර්ය ශ්‍රාවකයා හට මෙය කැමති විය යුත්තේ ය. ….(පෙ)…. සාරිපුත්තයෙනි, ඔහු තුළ යම් ප්‍රඥාවක් ඇද්ද, එය ඔහුගේ ප්‍රඥා ඉන්ද්‍රිය යි.

සාරිපුත්තයෙනි, ඒ මේ ආර්ය ශ්‍රාවකයා මෙසේ ඉතා බලවත් ලෙස වීර්යය කර කර, මෙසේ සිහි කර කර, මෙසේ සිත තැන්පත් කර කර, මෙසේ දැන දැන, මෙසේ ගැඹුරින් අදහයි. එනම් ‘යම් ධර්මයක් මා කලින් අසන ලද්දේ ද, මේ ඒ ධර්මයෝ නොවැ. ඒ ධර්මයන් මම දැන් කයෙන් ද ස්පර්ශ කොට වාසය කරමි. ප්‍රඥාවෙන් ද විනිවිද දකිමි. සාරිපුත්තයෙනි, ඔහුගේ යම් ශ්‍රද්ධාවක් ඇද්ද, එය ඔහුගේ ශ්‍රද්ධා ඉන්ද්‍රිය යි.”

සාදු! සාදු!! සාදු!!!

ආපණ සූත්‍රය නිමා විය.

පස්වෙනි ජරා වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

ජරා සූත්‍රය, උණ්ණාභබ්‍රාහ්මණ සූත්‍රය, සාකේත සූත්‍රය, පුබ්බකොට්ඨක සූත්‍රය, පුබ්බාරාම සූත්‍ර සතර, පිණ්ඩෝල සූත්‍රය සහ ආපණ සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M