මහණෙනි, මේ ඉන්ද්රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්රිය ය, විරිය ඉන්ද්රිය ය, සති ඉන්ද්රිය ය, සමාධි ඉන්ද්රිය ය, ප්‍රඥා ඉන්ද්රිය ය.
මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. විජ්ජාචරණ සම්පන්න වන සේක. සුගත වන සේක. ලෝකවිදූ වන සේක. අනුත්තරෝ පුරිසදම්ම සාරථී වන සේක. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා ඉන්ද්රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, වීරිය ඉන්ද්රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා පටන් ගත් වීරිය ඇතිව වාසය කරයි. අකුසල් දහම් ප්රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. මහණෙනි, මෙය වීරිය ඉන්ද්රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, සති ඉන්ද්රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා සිහි ඇත්තේ වෙයි. උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. මහණෙනි, මෙය සති ඉන්ද්රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, සමාධි ඉන්ද්රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිතෙහි එකඟ බව ලබයි. මහණෙනි, මෙය සමාධි ඉන්ද්රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, ප්‍රඥා ඉන්ද්රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා ඉන්ද්රිය යැයි කියනු ලැබේ.
මහණෙනි, මේ වනාහී පංච ඉන්ද්රියයෝ ය.
සාදු! සාදු!! සාදු!!!
විභංග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M