සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.1.10. දුතිය විභංග සුත්තං

4.1.10. විග්‍රහ කොට වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය.

මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, වීරිය ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා පටන් ගත් වීරිය ඇති වාසය කරයි. අකුසල් දහම් ප්‍රහාණය කිරීමට හා කුසල් දහම් උපදවා ගැනීමට දැඩි වීරියෙන් යුතු වූයේ, දැඩි පරාක්‍රමයෙන් යුතු වූයේ, කුසල් දහම් පිළිබඳ ව පසුබට නොවන වීරිය ඇත්තේ වෙයි. ඔහු නූපන් පාපී අකුසල් දහම් නූපදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. පධන් වෙර වඩයි. උපන් පාපී අකුසල් දහම් ප්‍රහාණය පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. පධන් වෙර වඩයි. නූපන් කුසල් දහම් ඉපිදවීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. පධන් වෙර වඩයි. උපන් කුසල් දහම් පැවැත්ම පිණිස, නැති නොවීම පිණිස, බොහෝ සෙයින් විපුල බවට පත්වීම පිණිස, වැඩීමෙන් සම්පූර්ණ කරගැනීම පිණිස කැමැත්ත උපදවයි. වෑයම් කරයි. වීරිය අරඹයි. සිත දැඩිකොට ගනියි. පධන් වෙර වඩයි. මහණෙනි, මෙය වීරිය ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, සති ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා සිහි ඇත්තේ වෙයි. උතුම් සිහියෙන් හා අවස්ථාවෝචිත නුවණින් යුක්ත වූයේ වෙයි. බොහෝ කලකට පෙර කළ දෑ ත්, බොහෝ කලකට පෙර කියූ දෑ ත් සිහි කරයි. නැවත නැවත සිහි කරයි. ඔහු කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, මනා සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරු කොට ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි. මහණෙනි, මෙය සති ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිතෙහි එකඟ බව ලබයි. ඔහු කාමයන්ගෙන් වෙන් ව, අකුසල ධර්මයන්ගෙන් වෙන් ව, විතර්ක විචාර සහිත වූ විවේකයෙන් හටගත් ප්‍රීති සුඛය ඇති පළමුවෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. ….(පෙ)…. දෙවෙනි ධ්‍යානය ….(පෙ)…. තුන්වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. සැපය ද ප්‍රහාණය කිරීමෙන්, දුක ද ප්‍රහාණය කිරීමෙන් කලින් ම සොම්නස් දොම්නස් ඉක්ම යෑමෙන් දුක් සැප රහිත වූ උපෙක්ෂා සති පාරිශුද්ධියෙන් යුතු සතර වෙනි ධ්‍යානය උපදවාගෙන වාසය කරයි. මහණෙනි, මෙය සමාධි ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, ප්‍රඥා ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ඔහු මෙය දුක යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මෙය දුකෙහි හටගැනීම යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මෙය දුකෙහි නිරෝධය යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මෙය දුක් නිරුද්ධ වන්නා වූ මාර්ගය යැයි ඒ වූ සැටියෙන් ම දැනගනියි. මහණෙනි, මෙය ප්‍රඥා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී පංච ඉන්ද්‍රියයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

දුතිය විභංග සූත්‍රය නිමා විය.

පළමුවෙනි සුද්ධක වර්ගය අවසන් විය.

එහි පිළිවෙල උද්දානයයි :

සුද්ධක සූත්‍රය, සෝත සූත්‍ර දෙක, අරහන්ත සූත්‍ර දෙක, ශ්‍රමණ සූත්‍ර දෙක, දට්ඨබ්බ සූත්‍රය සහ විභංග සූත්‍ර දෙක වශයෙන් මෙහි සූත්‍ර දසයකි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M