සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.2.1. පටිලාභ සුත්තං

4.2.1. ලැබීම ගැන වදාළ දෙසුම

මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසකි. ඒ කවර පසක් ද යත්, ශ්‍රද්ධා ඉන්ද්‍රිය ය, විරිය ඉන්ද්‍රිය ය, සති ඉන්ද්‍රිය ය, සමාධි ඉන්ද්‍රිය ය, ප්‍රඥා ඉන්ද්‍රිය ය.

මහණෙනි, ශ්‍රද්ධා ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ශ්‍රද්ධා ඇත්තේ වෙයි. තථාගතයන්ගේ අවබෝධය අදහන්නේ වෙයි. එනම් ‘ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මේ කරුණින් අරහං වන සේක. සම්මා සම්බුද්ධ වන සේක. ….(පෙ)…. සත්ථා දේවමනුස්සානං වන සේක. බුද්ධ වන සේක. භගවා වන සේක’ යනුවෙනි. මහණෙනි, මෙය ශ්‍රද්ධා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, වීරිය ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, සතර සම්‍යක් ප්‍රධානයන් අරභයා යම් වීර්යයක් ලබයි ද, මහණෙනි, මෙය වීරිය ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, සති ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, සතර සතිපට්ඨානය අරභයා යම් සිහියක් ලබයි ද, මහණෙනි, මෙය සති ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, සමාධි ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා නිවන අරමුණු කොට සමාධිය ලබයි. සිතෙහි එකඟ බව ලබයි. මහණෙනි, මෙය සමාධි ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, ප්‍රඥා ඉන්ද්‍රිය යනු කුමක් ද? මහණෙනි, මෙහිලා ආර්ය ශ්‍රාවකයා ප්‍රඥාවන්ත වෙයි. හටගැනීම ත්, නැතිවීම ත් දැකීමට සමර්ථ ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. ආර්ය වූ තියුණු අවබෝධය ඇති කරවන, මැනැවින් දුක් ක්ෂය කරවන ප්‍රඥාවෙන් යුක්ත වූයේ වෙයි. මහණෙනි, මෙය ප්‍රඥා ඉන්ද්‍රිය යැයි කියනු ලැබේ.

මහණෙනි, මේ වනාහී පංච ඉන්ද්‍රියයෝ ය.

සාදු! සාදු!! සාදු!!!

පටිලාභ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M