සංයුත්ත නිකාය

මහා වග්ගෝ

4.1.7. දුතිය සමණ සුත්තං

4.1.7. ශ්‍රමණයා ගැන වදාළ දෙවෙනි දෙසුම

මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය නොදනිත් ද, ශ්‍රද්ධා ඉන්ද්‍රියෙහි හටගැනීම නොදනිත් ද, ශ්‍රද්ධා ඉන්ද්‍රියෙහි නිරෝධය නොදනිත් ද, ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය නොදනිත් ද, විරිය ඉන්ද්‍රිය නොදනිත් ද, ….(පෙ)…. සති ඉන්ද්‍රිය නොදනිත් ද, ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය නොදනිත් ද, ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය නොදනිත් ද, ප්‍රඥා ඉන්ද්‍රිය හටගැනීම නොදනිත් ද, ප්‍රඥා ඉන්ද්‍රියෙහි නිරෝධය නොදනිත් ද, ප්‍රඥා ඉන්ද්‍රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය නොදනිත් ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝ යැයි සම්මත නොවෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ යැයි සම්මත නොවෙති. ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණභාවයෙහි අර්ථය හෝ බ්‍රාහ්මණභාවයෙහි අර්ථය හෝ මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් පසක් කොට එයට පැමිණ වාසය නොකරති.

මහණෙනි, යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ ශ්‍රද්ධා ඉන්ද්‍රිය දනිත් ද, ශ්‍රද්ධා ඉන්ද්‍රියෙහි හටගැනීම දනිත් ද, ශ්‍රද්ධා ඉන්ද්‍රියෙහි නිරෝධය දනිත් ද, ශ්‍රද්ධා ඉන්ද්‍රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය දනිත් ද, විරිය ඉන්ද්‍රිය දනිත් ද, ….(පෙ)…. සති ඉන්ද්‍රිය දනිත් ද, ….(පෙ)…. සමාධි ඉන්ද්‍රිය දනිත් ද, ….(පෙ)…. ප්‍රඥා ඉන්ද්‍රිය දනිත් ද, ප්‍රඥා ඉන්ද්‍රිය හටගැනීම දනිත් ද, ප්‍රඥා ඉන්ද්‍රියෙහි නිරෝධය දනිත් ද, ප්‍රඥා ඉන්ද්‍රිය නිරුද්ධ වන්නා වූ මාර්ගය දනිත් ද, මහණෙනි, ඒ මේ ශ්‍රමණයෝ වෙත්වා, බ්‍රාහ්මණයෝ වෙත්වා, ශ්‍රමණයන් අතර ශ්‍රමණයෝ යැයි සම්මත වෙති. බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයෝ යැයි සම්මත වෙති. ඒ ආයුෂ්මත්වරු ශ්‍රමණභාවයෙහි අර්ථය හෝ බ්‍රාහ්මණභාවයෙහි අර්ථය හෝ මේ ජීවිතයේ දී ම සිය විශිෂ්ට නුවණින් පසක් කොට එයට පැමිණ වාසය කරති.

සාදු! සාදු!! සාදු!!!

දුතිය සමණ සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_4-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M