එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුහුගේ ආරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
“මහණෙනි, එක් කලක මම සම්බුද්ධත්වය ලැබූ මුල් අවදියෙහි උරුවෙල් ජනපදයෙහි නේරංජරා නදී තෙර අජපාල නුගරුක් සෙවණෙහි වැඩසිටියෙමි. මහණෙනි, එකල්හී හුදෙකලාවෙහි භාවනාවෙන් වසන මට මෙබඳු චිත්ත පරිවිතර්කයක් ඇති වූයේ ය. එනම්,
‘මෙය ඒකායන මාර්ගයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්ම මාර්ගය අවබෝධ වීම පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස, මෙය පවතියි. එනම් මේ සතර සතිපට්ඨානය යි. ඒ කවර සතරක් ද යත්;
භික්ෂුවක් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. භික්ෂුවක් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. භික්ෂුවක් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. භික්ෂුවක් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
මෙය ඒකායන මාර්ගයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්ම මාර්ගය අවබෝධ වීම පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස, මෙය පවතියි. එනම් මේ සතර සතිපට්ඨානය යි.’
එකල්හී මහණෙනි, සහම්පතී බ්‍රහ්මරාජයා මාගේ චිත්ත පරිවිතර්කය සිය සිතින් දැන බලවත් පුරුෂයෙක් හැකිලූ අතක් දිගු කරන්නේ යම් සේ ද, දිගු කළ අතක් හකුලන්නේ යම් සේ ද, එසෙයින් ම බඹලොවින් නොපෙනී ගොස් මා ඉදිරියෙහි පහළ වූයේ ය. මහණෙනි, ඉක්බිති සහම්පතී බ්‍රහ්මරාජයා උතුරු සළුව ඒකාංශ කොට, මා වෙත ඇඳිලි බැඳ වන්දනා කොට මා හට මෙය පැවසුවේ ය.
‘භාග්‍යවතුන් වහන්ස, එය එසේ ම ය, සුගතයන් වහන්ස, එය එසේ ම ය. ස්වාමීනී, මෙය ඒකායන මාර්ගයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්ම මාර්ගය අවබෝධ වීම පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස, මෙය පවතියි. එනම් මේ සතර සතිපට්ඨානය යි. ඒ කවර සතරක් ද යත්;
ස්වාමීනී, භික්ෂුවක් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. ස්වාමීනී, භික්ෂුවක් කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.
ස්වාමීනී, මෙය ඒකායන මාර්ගයකි. සත්වයන්ගේ විශුද්ධිය පිණිස, ශෝක වැළපීම් ඉක්මවීම පිණිස, දුක් දොම්නස් නැතිවීම පිණිස, ධර්ම මාර්ගය අවබෝධ වීම පිණිස, නිවන සාක්ෂාත් කිරීම පිණිස, මෙය පවතියි. එනම් මේ සතර සතිපට්ඨානය යි.”
මහණෙනි, සහම්පතී බ්‍රහ්ම රාජයා මෙය පැවසුවේ ය. මෙය පවසා යළි මෙය ද පැවසුවේ ය.
(ගාථාවකි)
ඉපදීමෙහි නිමාව වන නිවන දකින්නා වූ හිතානුකම්පී වූ භාග්‍යවතුන් වහන්සේ ඒකායන නිවන් මග දන්නා සේක. යම් කෙනෙක් සසර සැඩපහර පෙර තරණය කළාහු ද, අනාගතයෙහි තරණය කරන්නාහු ද, මෙකල තරණය කරත් ද, ඔවුහු මේ මාර්ගයෙන් තරණය කළාහු ය. තරණය කරන්නාහු ය. තරණය කරති.
සාදු! සාදු!! සාදු!!!
මග්ග සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M