එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් වූ වේළුවනයෙහි වැඩවෙසෙති. එසමයෙහි සිරිවඩ්ඪ ගෘහපති තෙමේ රෝගී ව, දුකට පත් ව, බොහෝ සේ ගිලන් වූයේ වෙයි. එකල්හී සිරිවඩ්ඪ ගෘහපති එක්තරා පුරුෂයෙකු ඇමතුවේ ය.
“එම්බා පුරුෂය, එව. ඔබ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත එළඹෙව. එළඹ මාගේ වචනයෙන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳුව. ‘ස්වාමීනී, සිරිවඩ්ඪ ගෘහපති තෙමේ රෝගී වූයේ, දුකට පත් වූයේ, දැඩි ව ගිලන් වූයේ වෙයි. ඔහු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳින්නේ ය.’ මෙසේ ත් කියව. ‘ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනුකම්පාව උපදවා සිරිවඩ්ඪ ගෘහපතියාගේ නිවසට වඩින සේක් නම් යහපති’ යි.”
“එසේ ය, ස්වාමීනී” යි ඒ පුරුෂයා සිරිවඩ්ඪ ගෘහපතියාට පිළිවදන් දී ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට වන්දනා කොට එකත්පස් ව හිඳගත්තේ ය. එකත්පස් ව හුන් ඒ පුරුෂයා ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසුවේ ය.
“ස්වාමීනී, සිරිවඩ්ඪ ගෘහපති තෙමේ රෝගී වූයේ, දුකට පත් වූයේ, දැඩි ව ගිලන් වූයේ වෙයි. ඔහු ආයුෂ්මත් ආනන්දයන් වහන්සේගේ පාදයන් සිරසින් වඳින්නේ ය. මෙසේ ත් කියයි. ස්වාමීනී, ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ අනුකම්පාව උපදවා සිරිවඩ්ඪ ගෘහපතියාගේ නිවසට වඩින සේක් නම් යහපති.”
එවිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ නිශ්ශබ්ද වීමෙන් එම ඇරයුම භාරගත්හ.
ඉක්බිති ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරොවාගෙන පාත්‍රය හා සිවුර ගෙන සිරිවඩ්ඪ ගෘහපතියාගේ නිවසට වැඩම කළහ. වැඩම කොට පණවන ලද අසුනෙහි වැඩහුන්හ. වැඩහුන් ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සිරිවඩ්ඪ ගෘහපතියාට මෙය වදාළහ.
“කිම, ගෘහපතිය, ඔබට ඉවසිය හැක්කේ ද? කිම, යැපිය හැක්කේ ද?කිම, දුක් වේදනා අඩු වෙයි ද? වැඩි නොවෙයි ද? කිම, දුක් වේදනා අඩු වීමක් පෙනෙයි ද? වැඩිවීමක් නොපෙනෙයි ද?”
“ස්වාමීනී, මට ඉවසිය නොහැක්කේ ය. යැපිය නොහැක්කේ ය. මාගේ දැඩි වූ දුක් වේදනා වැඩිවෙයි. අඩු නොවෙයි. වැඩිවීමක් පෙනෙයි. අඩු වීමක් නොපෙනෙයි.”
“එසේ වී නම් ගෘහපතිය, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ ය. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරන්නෙමි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරන්නෙමි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරන්නෙමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නෙමි. ගෘහපතිය, ඔබ විසින් මෙසේ ම හික්මිය යුත්තේ ය.”
“ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ සතර සතිපට්ඨානයෝ වදාරණ ලද්දාහු ද, ඒ ධර්මයෝ මා තුළ දිස්වෙති. මම ද ඒ ධර්මයන් තුළ දිස්වෙමි. ස්වාමීනී, මම කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරමි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරමි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරමි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරමි.
ස්වාමීනී, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ පංච ඕරම්භාගීය සංයෝජනයෝ වදාරණ ලද්දාහු ද, මා තුළ ප්‍රහීණ නොවූ ඒ කිසිවක් නොදකිමි.”
“ගෘහපතිය, ඔබට ලාභයකි. ගෘහපතිය, ඔබට මනා වූ ලාභයකි. ගෘහපතිය, ඔබ විසින් අනාගාමී ඵලය පවසන ලද්දේ ය.”
සාදු! සාදු!! සාදු!!!
සිරිවඩ්ඪ සූත්‍රය නිමා විය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M