සංයුත්ත නිකාය

මහා වග්ගෝ

3.3.1. සීල සුත්තං

3.3.1. සීලය ගැන වදාළ දෙසුම

එක් සමයක ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ ත්, ආයුෂ්මත් භද්ද තෙරණුවෝ ත් පාටලීපුත්‍ර නුවර කුක්කුටාරාමයෙහි වැඩවෙසෙති. එකල්හී ආයුෂ්මත් භද්ද තෙරණුවෝ සවස් වරුවෙහි භාවනාවෙන් නැගිට ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ සමඟ සතුටු වූහ. ….(පෙ)…. ආයුෂ්මත් ආනන්දයන් වහන්සේට මෙය පැවසූහ.

“ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කුසල් සිල් පිළිබඳ ව වදාරණ ලද්දේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මේ කුසල් සිල් කුමක් සඳහා කියා ද?”

“ආයුෂ්මත් භද්දයෙනි, යහපති, යහපති. ආයුෂ්මත් භද්ද, ඔබගේ ප්‍රශ්න වැටහීම යහපති. ප්‍රතිභානය යහපති. ප්‍රශ්න විමසීම යහපති. ආයුෂ්මත් භද්ද, ඔබ මෙසේ ඇසුවෙහි ය. ‘ආයුෂ්මත් ආනන්දයෙනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කුසල් සිල් පිළිබඳ ව වදාරණ ලද්දේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරණ ලද්දේ මේ කුසල් සිල් කුමක් සඳහා කියා ද?’ යනුවෙනි.”

“එසේ ය ආයුෂ්මත.”

“ආයුෂ්මත් භද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කුසල් සිල් වදාරණ ලද්දේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුසල් සිල් පිළිබඳ ව වදාරණ ලද්දේ සතර සතිපට්ඨානය වැඩීම පිණිස ම ය. ඒ කවර සතරක් ද යත්,

ආයුෂ්මත, මෙහිලා භික්ෂුව කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, කය පිළිබඳ ව කායානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. විඳීම් පිළිබඳ ව වේදනානුපස්සනාවෙන් වාසය කරයි. ….(පෙ)…. සිත පිළිබඳ ව චිත්තානුපස්සනාවෙන් වාසය කරයි. කෙලෙස් තවන වීරියෙන් යුතු ව, සිහි නුවණින් යුතු ව, ලෝකයෙහි ඇලීම් ගැටීම් දුරුකොට, ධර්මයන් පිළිබඳ ව ධම්මානුපස්සනාවෙන් වාසය කරයි.

ආයුෂ්මත් භද්ද, භාග්‍යවතුන් වහන්සේ විසින් යම් මේ කුසල් සිල් වදාරණ ලද්දේ ද, භාග්‍යවතුන් වහන්සේ විසින් මේ කුසල් සිල් පිළිබඳ ව වදාරණ ලද්දේ මේ සතර සතිපට්ඨානයන් වැඩීම පිණිස ම ය.

සාදු! සාදු!! සාදු!!!

සීල සූත්‍රය නිමා විය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M