එක් සමයක භාග්‍යවතුන් වහන්සේ සුම්භ ජනපදයෙහි සේදක නම් සුම්භයන්ගේ නියම්ගමෙහි වැඩවෙසෙන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් ඇමතූ සේක.
මහණෙනි, ජනපද කල්‍යාණිය යම් සේ ද, මහණෙනි, ජනපදකල්‍යාණිය යන නම අසා මහා ජනයා රැස් වෙයි. ඒ ජනපදකල්‍යාණිය නැටුමෙහි ඉතා උතුම් හැකියා ඇත්තී ය. ගායනයෙහි උතුම් හැකියා ඇත්තී ය. මහණෙනි, ජනපද කල්‍යාණිය නටන්නී ය. ගයන්නී ය යැයි ඇසූ විට බොහෝ සෙයින් ම මහාජනයා එය දැකීමට රැස් වෙයි. එකල්හී ජීවත් වනු කැමති, නොමැරෙනු කැමති, සැප කැමති, දුක පිළිකුල් කරන පුරුෂයෙක් එයි. ඔහුට මෙසේ ත් කියයි. ‘එම්බා පුරුෂය, මුවවිට තෙක් පිරී ඇති මේ තෙල් බඳුන ඔබ ගෙන මහාජනයා අතරින් ජනපද කල්‍යාණිය අසලින් රැගෙන යා යුත්තේ ය. කඩුවක් ඔසොවාගත් පුරුෂයෙක් ඔබ පසුපස ලුහුබඳිනු ඇත. යම් තැනක ස්වල්පයක් හෝ තෙල් බිම වැටෙන්නේ නම් එතැනදී ම ඔබගේ හිස කපා හෙලන්නේ ය.’
මහණෙනි, ඒ කිමෙකැයි හඟිව් ද? අර පුරුෂයා ඒ තෙල් බඳුන මෙනෙහි නොකොට බාහිර අරමුණු කෙරෙහි ප්‍රමාදයට පැමිණෙන්නේ ද?” “ස්වාමීනී, එය නොවේ ම ය.”
“මහණෙනි, අරුත් පැහැදිලි කරදීම පිණිස මා විසින් මේ උපමාව කරන ලද්දේ ය. මෙහි ඇති අර්ථය මෙය යි. මහණෙනි, මුවවිට තෙක් පිරී ඇති තෙල් බඳුන යනු මෙය කායගතාසතියට නමකි. එහෙයින් මහණෙනි, මෙසේ හික්මිය යුත්තේ ය. අප විසින් කායගතාසතිය වඩනු ලබන්නේ, බහුල කරනු ලබන්නේ, යානාවක් මෙන් කරනු ලබන්නේ, සිටිය හැකි තැනක් මෙන් කරනු ලබන්නේ, බලවත් ව පිහිටුවනු ලබන්නේ, ප්‍රගුණ කරනු ලබන්නේ, මනැවින් අරඹන ලද්දේ වන්නේ ය කියා ය. මහණෙනි, මෙසේ ත් ඔබ හික්මිය යුත්තේ ය.
සාදු! සාදු!! සාදු!!!
ජනපදකල්‍යාණි සූත්‍රය නිමා විය.
දෙවෙනි නාලන්දා වර්ගය අවසන් විය.
එහි පිළිවෙල උද්දානයයි :
මහාපුරිස සූත්‍රය, නාලන්දා සූත්‍රය, චුන්ද සූත්‍රය, උක්කචේල සූත්‍රය, බාහිය සූත්‍රය, උත්තිය සූත්‍රය, අරිය සූත්‍රය, බ්‍රහ්ම සූත්‍රය, සේදක සූත්‍රය සහ ජනපදකල්‍යාණි සූත්‍රය වශයෙන් මෙහි සූත්‍ර දසයකි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/sn5_3-2-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M